සුචරිත ගම්ලත් දුටු මනමේ
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය පළමු වරට රඟ දක්වන ලද්දේ 1956 නොවැම්බර් 3 වැනි දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ය. 2026 නොවැම්බර් 3 දිනට මනමේ නාට්‍යයට වසර හැත්තෑවක් සපිරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
සුචරිත ගම්ලත්ගේ මනමේ නාට්‍ය සේවනය කෘතිය ඇසුරින්, මනමේ නාට්‍යය තුළ ගැබ්වන මානවීය හරය සහ සමාජ යථාර්ථය නිරූපණය විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි
සුචරිත ගම්ලත්ගේ ප්‍රධාන තර්කය වන්නේ මනමේ නාට්‍යයේ බිසවගේ ඛේදවාචකය ඇගේ පෞද්ගලික “වරදක” හෝ අහඹු, අනපේක්ෂිත ඉරණමක ප්‍රතිඵලයක් නොව, ස්ත්‍රියට ස්වාධීන තීරණ ගැනීමට ඉඩ නොදෙන පුරුෂෝත්තමවාදී සමාජ සබඳතාවල ප්‍රතිඵලයක් බවයි.
වැදි රජු මරා නොදමන ලෙස මනමේ රජුගෙන් ඉල්ලා සිටීමත්, වැදි රජු මරා දැමීමට මනමේ රජුට කඩුව දිය යුතු ද යන්න පිළිබඳව බිසව තමාගේම තීරණයක් ගැනීමත් ඇගේ ස්වාධීනත්වය පළ කළ අවස්ථා වේ. එම තීරණ පුරුෂාධිපති බලසම්බන්ධතා සමඟ ගැටුණු බැවින් ඇගේ විනාශය ඇරඹිණි. එබැවින්, බිසවගේ විපත ඇගේ පතිද්රෝහය හෝ වෙනත් පෞද්ගලික “වරදක්” ලෙස අර්ථ දැක්වීම පුරුෂෝත්තමවාදී දෘෂ්ටියෙන් සත්‍යය වසන් කර, එම දෘෂ්ටිය නැවත තහවුරු කිරීමක් බව ගම්ලත් තර්ක කරයි.
කලා කෘතියක අර්ථය කලාකරුවා අදහස් කළ පණිවිඩයට පමණක් සීමා නොවන බවත්, මනමේ තුළ සරච්චන්ද්‍ර අපේක්ෂා කළ “අනපේක්ෂිත අභාග්‍යය” ඉක්මවා ස්ත්‍රී පීඩනය පිළිබඳ සමාජ සත්‍යයක් කියවිය හැකි බවත් ගම්ලත් පෙන්වයි. ඒ අනුව නාට්‍යයෙන් බිසව කෙරෙහි කරුණාව පමණක් නොව, එවැනි ඛේදවාචක නැවත ඇති කරන සමාජ සබඳතා හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට අවශ්‍ය අවබෝධයද ලැබිය යුතුය යන්න එහි අවසාන අදහසයි.
මනමේ රඟ දැක්වීමෙන් සතළිස් වසක් ගෙවී ගිය පසු, 1996 දී සුචරිත ගම්ලත්ගේ ‘මනමේ නාට්‍ය සේවනය’ මුද්‍රණයෙන් පළ විය. මේ කෘතිය මනමේ නාට්‍ය ඓතිහාසික සංදර්භයෙහි පිහිටුවා එහි සෞන්දර්යාත්මක වටිනාකම තක්සේරු කරයි. මනමේ නාට්‍යයේ ඓතිහාසික හා කලාත්මක වටිනාකම මෙරට ශාස්ත්රාලයීය බුද්ධිමතුන් සහ කලා විචාරකයන් විසින් නා නා නයින් පෙන්වා දී ඇත. දේශීය නාට්‍ය ශෛලියක් ගොඩ නැගීමට සරච්චන්ද්‍ර දැරූ අපරිමිත පරිශ්රමය, ඔහුගේ සුවිශිෂ්ට කවිත්වය සහ අසාමාන්‍ය ප්‍රතිභාව අවබෝධ කර ගැනීමට එම අදහස් සප්‍රයෝජනවත් වේ.
මනමේ පිළිබඳව පළ වූ විචාර සලකා බැලීමේ දී පෙනී යන්නේ, ඒ එකදු විචාරකයෙකු හෝ නාට්‍යයෙහි ගැබ් වන සමාජ යථාර්ථ නිරූපණය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට උත්සුක වී නැති බවයි. එක්කෝ ඔවුන් මනමේ නාට්‍ය පෙළ සරලව විස්තර කරයි. නැතිනම් නාට්‍යයේ අන්තර්ගතය නොතකා ආකෘතිය විදහා දක්වයි. එසේ නැතිනම් මනමේ පිළිබඳව සරච්චන්ද්‍ර පළ කළ අදහස් නැවත පුනරුච්චාරණය කරයි. එසේත් නැතිනම් සංයුක්ත අර්ථයක් නැති, ඕනෑම කලා කෘතියකට ඇලවිය හැකි ලේබල නාට්‍යයට අලවයි.
මනමේ ගැන ලියූ බොහෝ විචාරකයෝ නාට්‍යයේ ආකෘතිය ම ඔසවා තැබූහ. එනයින් නාට්‍යයේ ආකෘතික පක්ෂය අධිනිශ්චය වී නාට්‍යයෙහි එන ගීිත හා සංගීතය මඟින් ඇති කරන්නාවූ මනෝ රංජනයත් වේශ නිරූපණය, අංග රචනය, නර්තන ලීලා, රංග නිරූපණය, ආලෝකකරණය ආදී සියලූ ම දෘශ්‍ය අංගයන්ගෙන් ඇසට ගෝචර වන ප්‍රේක්ෂාව(Spectacle) මඟින් ලැබෙන නාට්‍යමය අනුභූතියත් උදෙසා ම මනමේ නැරඹිමේ ප්‍රවණතාවක් ඇති විය. ඒ අනුව මනමේ යනු හුදු කන් කලූ, දැකුම්කලූ නාට්‍යයක් බවට පත් වී ඇත; ඇසින් කනින් පමණක් රසවිඳින ප්‍රේක්ෂණීය (Spectacular) නාට්‍යයක් බවට පත් වී ඇත.
මේ තතු තුළ ගම්ලත්ගේ මනමේ නාට්‍ය සේවනය කෘතියේ මූලික වැදගත්කම වන්නේ, මනමේ නාට්‍යයෙහි ගැබ් වන සමාජ යථාර්ථ නිරූපණය විශද කොට නාට්‍යය ආස්වාදය කිරීමේ නිවැරදි මාර්ගයක් රසිකයාට පෙන්වා දීම ය. එනම්, කෘතියේ ඇති තතු ග්‍රහණය කරන තැනට ප්‍රේක්ෂක රුචිකත්වය ඔසවා තැබීම ය.
මනමේ නාට්‍යයට මූලාශ්‍ර වී ඇත්තේ සිංහල ජාතක පොතෙහි එන චුල්ල ධනුර්ධර ජාතකය සහ එය ඇසුරු කොට ගත් මනමේ කෝලම ය. මේ කථා දෙකෙහිම නිරූපිත ස්ත්‍රිය පරපුරුෂයෙකු කෙරෙහි හටගත් රාගික සිතිවිලි නිසා තම සැමියා මරන්නට එකී පරපුරුෂයාට ආධාර දෙයි. ඒ අනුව, මේ කථා ද්විත්වයම ස්ත්‍රියකගේ පතිද්රෝහීත්වය දක්වමින්, ස්ත්‍රීන් ළාමක, චපල ගති ඇති, විශ්වාස නොකළ යුතු පහත් සත්ව වර්ගයක්ය යන පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදය ජන මනසෙහි ඇඳීම අරමුණු කොට ගෙන නිර්මාණය වූ කථාන්දරයන් ය
වැද්දාට කඩුව ද, සැමියාට කඩු කොපුව ද දීමෙන් සලකුණු කළ පුරාණ මනමේ කථාවේ පතිද්රෝහය සරච්චන්ද්‍ර නිෂ්ප්‍රභ කරන්නේ මානවවාදී දෘෂ්ටියේ පිහිටා ය. මුල් ජාතකයෙහි හා ගැමි නාටකයෙහි බිසවගේ චරිතය දක්වා ඇත්තේ පතිද්‍රෝහී වූ ගැහැනියක මෙන් නිසා, එහි නිරූපිත සිද්ධිය වෙනස් අයුරකින් විවරණය කිරීමට තමාට අවශ්‍ය වූ බව සරච්චන්ද්‍ර පවසා ඇත. ඔහුට අනුව, වැදි රජු මුණගැසෙන අවස්ථාව සංකීර්ණ එකකි. ජාතක කථාවේ නම් ඈ එකහෙළා වැදි රජුට කඩුව දෙයි. එහි බිසවගේ සිත විග්රහ කොට තිබෙන්නේ සරල අයුරිනි; එනම් ස්ත්‍රියගේ චරිතය පිළිබඳ සුලභ ගතානුගතික ආකල්පයකට අනුකූලව ය
ගම්ලත්ගේ විමර්ශනය අනුව, චුල්ල ධනුර්ධර ජාතකයත් මනමේ කෝලමත් ස්ත්‍රී ගර්හාව සාධනය කිරීම සඳහා ගෙතූ කථා ය. ඒවායේ මතුපිටින් දිස් වන ස්ත්‍රී ගර්හාවෙන් වැසී ගොස්, ඊට පතුලේ සැඟවුණු ස්ත්‍රීන් පිළිබඳ යථාර්ථයක් නැද්දැයි සරච්චන්ද්‍ර පරීක්ෂා කරයි. එම යථාර්ථය ග්‍රහණය කොට ප්‍රකාශ කිරීමට දරන ප්රයත්නයේ දී පැරණි නාඩගම් ආකෘතිය පුපුරා ගොස් නව්‍ය රූප ගනී.
ගම්ලත්ගේ විග්‍රහය අනුව, පුරුෂෝත්තමවාදය හා ස්ත්‍රී පීඩනය සමාජ විකාසනයේ එක් අදියරක දී පැන නැගි සමාජ යථාර්ථයකි. එක් පුද්ගලයෙකු අත විශාල ධනයක් එකරාශී වීමත්, එම ධනය ඔහුගේ දරුවන්ට මිස අන් කිසිවකුට ලබා නොදීමට අවශ්‍ය වීමත් සමග ඒකභාර්යා වෘතය පැන නැගිණි. එහි ප්‍රකාශිත පරමාර්ථය වූයේ උපන් දරුවන්ගේ පීතෘත්වය සැක රහිතව ස්ථිර කිරීම ය. පියාගේ දේපළවල හිමිකාරකම යථා කාලයේ දී ඔහුගේ දරුවන්ට ලබා දීම පිණිස එය අවශ්‍ය විය. ඒකභාර්යා වෘතය පුරුෂයාගේ ආධිපත්‍යය මත පදනම් වෙයි. පුරුෂයා සහ ස්ත්‍රිය අතර පැන නැගි ප්රතිවිරෝධතාවත්, ස්ත්‍රිය පළමු වරට පන්තිමය වශයෙන් පෑගීමත් ඒ සමග සිදු විය.
එතැන් පටන් පුරුෂෝත්තමවාදය ලොව පහළ විය. ස්ත්‍රිය පුරුෂයාගේ වහලියක් බවට පත් වූවා ය; ඇය ඉමහත් අගෞරවයට පාත්‍ර කරන ලද්දා ය. ආගම ද ඒ් අනුව යමින් ස්ත්රීන්ට නිග්‍රහ කරන අදහස් පතුරුවමින් ඒ්වා තහවුරු කිරීමට කටයුතු කළේ ය.
පුරුෂෝත්තමවාදී සමාජයේ රජයන්නේ පුරුෂයන්ගේ රුචි අරුචිකම්, ආශා අභිලාෂ සහ සාරධර්ම ය. පිතෘමූලික හා පුරුෂකේන්ද්‍රීය බලය රජ කරන මේ සමාජයේ ස්ත්‍රිය පිළිබඳ නිර්මිත දෘෂ්ටිවාදය නම්, ඇය මුළු මහත් කයින්, වචනයෙන් හා මනසින් සපුරා පුරුෂයාට යටත් මිනිස් සත්වයෙකු යනු යි. ස්ත්‍රිය සිටින්නී පුරුෂයාගේ කාම සම්භෝගයත්, පරිභෝජනයත්, සේවයත් සඳහා ය. ඇය ස්වභාවයෙන්ම ලාමකය, චපලය යන අදහස සමාජයේ පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන් ද මේ දෘෂ්ටිවාදය මගින් තත්ත්වගත කරයි.
ස්ත්‍රිය යම් තාක් කල් මේ දෘෂ්ටිවාද පිළිපදිමින් ජීවත් වන්නී ද, ඒ තාක් කල් ඇගේ ඛේදවාචකය ඇගේ කයට හා අධ්‍යාත්මයට පමණක් සීමා වෙයි. එවිට බලන්නාට ඇය සතුටින් ජීවත් වන බවක් පෙනී යනු ඇත. යම් අවස්ථාවක ඇය මේ දෘෂ්ටිවාදයන්ගෙන් බැහැරව තමාගේම ස්වාධීනත්වය හා ස්වාභිමතය ප්‍රකාශ කිරීමට සිතන්නී ද, එවිට ඇගේ ඛේදවාචකය ඇරඹෙයි. ගම්ලත් විසින් පෙන්වා දෙන ලද මනමේ නාට්‍යයෙහි ප්‍රකාශිත චිරකාලීන සත්‍යය එය යි.
මනමේ නාට්‍යයේ වස්තු විකාශනය පිළිබඳ ගම්ලත්ගේ විශ්ලේෂණයේ දී චරිතවල, චරිත අතර අන්තර්සම්බන්ධතාවල හා ගැටුම්වල ක්‍රියාව මෙහෙයවන සමාජීය සහ මනෝවිද්‍යාත්මක බලවේග පැහැදිලි කරයි. අප සමාජයේ බලපවත්වන පුරුෂෝත්තමවාදය ඔහුගේ විචක්ෂණ විවේචනයට හසු වෙයි. පීතෘමූලික, පුරුෂකේන්ද්‍රීය සමාජයේ නිල භාවිතය තුළ කිසිදා ප්‍රශ්නයට භාජන නොකොට පිළිගත් “ස්ත්‍රිය යටත් පහත්ව, සුවචව, කීකරුව පුරුෂයාට රිසි පරිදි පැවතිය යුතුය” යන පොදු අභ්‍යුපගමය, රාජගුරු, මනමේ රජ සහ වැදි රජ යන චරිතවල ආකල්ප, සාරධර්ම හා හැඟීම් තුළින් සියුම්ව ප්‍රකාශයට පත් වන ආකාරය ගම්ලත් පෙන්වා දෙයි.
නාට්‍යයේ ආරම්භක දර්ශනයෙහි දැක්වෙන්නේ රාජගුරු තම දියණිය මනමේ රජුට සරණ පාවා දෙන සිද්ධි මාලාවයි. පුරුෂෝත්තමවාදී සමාජයේ පියාගේ යුතුකම දියණියන් පෝෂණය කොට රැකීම ය. ඒ අනුව පියාගේ අධිකාර බලය යටතේ දියණියෝ හැදී වැඩෙති. එම අධිකාර බලය පුරුෂයාට පවරා දී ඇති වරප්රසාදයකි. රාජගුරුගේ දියණිය පියාගේ ආදරය හා රැකවරණය ලබමින්, ඔහුගේ අණ පිළිපදිමින් සුවචව කීකරු ව විසුවා ය. ඇය කිසි කලෙක සිය පියාගේ අධිකාරී බලය ප්‍රශ්න කළේ නැත.
මනමේ කුමාරයා රාජගුරු දියණියගේ රූප ශෝභාව දැක ඇය කෙරෙහි දැඩි ප්‍රේමයකින් පසු වෙයි. එහෙත් ගම්ලත් පවසන්නේ එය ප්‍රේමය නොවන බව ය. ප්‍රේමය හෙවත් ආලය යනු කාය සංසර්ග රාගය නමැති භෞතික ආකර්ෂණය පදනම් කොටගෙන උපදින මනෝභාවයකි. එසේ උපන් රාගයට අනෙක් පුද්ගලයා සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ විට එය ප්‍රේමයක් බවට පරිවර්තනය වෙයි. නාට්‍යයේ දැක්වෙන පරිදි, මනමේ කුමාරයා තුළ රාජගුරු දියණිය කෙරෙහි උපන් “ප්‍රේමය” ඇගේ ධනාත්මක ප්‍රතිචාරය ලැබේ දැයි පරීක්ෂා කිරීමට භාජනය නොවී ය. ඔහුට අවශ්‍ය වූයේ දියණියගේ සිත දිනා ගැනීම නොව, රාජගුරුගේ අනුදැනුම පමණි. ඔහුගේ චින්තනය අනුව දියණියක් යනු ඇගේ පියාට සිතුවක් කළ හැකි ද්‍රව්‍යයකි. එබැවින් ඔහු තුළ ඇති වූයේ ප්‍රේමය නොව, කුමරියගේ සුලලිත සුදේහය පරිභෝජනය කිරීමේ ලෝලය ය.
කුමරියගේ සරණ බන්ධනයේ දී ද ඇගේ පියාගේ අධිකාරී බලය ඇය මත ක්‍රියාත්මක වෙයි. ගුරුකුල සිරිත අනුව දිසාපාමොක් ඇදුරු සිය දියණිය පාසැලෙහි දක්ෂතම ශිෂ්‍යයා වූ මනමේ කුමරුට සරණ පාවා දෙයි. එසේ පාවා දීම සඳහා දියණියගේ කැමැත්ත අවශ්‍ය නොවේ; මවගේ කැමැත්ත ද අවශ්‍ය නොවේ. දියණියක යනු ඇගේ පියාගේ කැමැත්තට අනුව ක්‍රියා කළ යුතු ද්‍රව්‍යයකි යන උපකල්පනය මත පදනම් වූ මේ ගුරුකුල සිරිත පුරුෂෝත්තමවාදී සමාජය ස්ත්‍රිය පෙළීම සඳහා පුරුෂයාට පවරා දුන් වරප්රසාදයකි. රාජගුරු මනමේ කුමාරයාගෙන් සිය දියණිය සරණ පාවා ගැනීමට සතුටු දැයි විමසූ නමුත්, තම දියණියගෙන් එය නොවිමසූ බව ගම්ලත් පෙන්වා දෙයි. පියා විසින් විවාහය තීන්දු කරනු ලැබීමෙන් පසු ඊට යටත් වීමේ කැමැත්ත ප්‍රකාශ කිරීම හැර ඇයට වෙනත් විකල්පයක් නැත. ඒ අනුව මේ විවාහය අන්‍යෝන්‍ය ප්‍රේමය මත පදනම් වී දෙදෙනෙකු ගත් ස්වාධීන තීරණයක ඵලයක් නොවේ.
මනමේ කුමාරයා සහ කුමරිය වනාන්තරය මැදින් යන දර්ශනයේ දී වන මෘගයන්ගේ ශබ්ද නිසා කුමරියගේ සිත සන්ත්රාසයෙන් කම්පනයට පත් වෙයි. එහෙත් එම ශබ්ද මනමේ කුමාරයාගේ සිතෙහි සන්ත්රාසය ඇති නොකරයි. මේ වෙනසින් ගම්ලත් පෙන්වා දෙන්නේ බිය ස්ත්‍රියගේ දොසක් නොව ගුණයක් ලෙසත්, නිර්භීතභාවය පුරුෂයාගේ ගුණයක් ලෙසත් සමාජයේ සලකන ආකාරය යි. මානව ඉතිහාසයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ශක්තිවන්තයා පුරුෂයා ය, ස්ත්‍රිය දුබල ය යන ව්‍යාජ විඤ්ඤාණය පැවත ආවේ ය. ස්ත්‍රිය මර්දනය කොට, යටත් කොට, වහල්භාවයට හෙළා තබා ගැනීම හේතු කොටගෙන ඇය භීරුක (බයාදු) සත්වයෙකු බවට පත් වෙයි. ඇය නිතර සිටින්නී සමාජයටත්, අතුරු ආන්තරාවන්ටත් බියෙනි.
මනමේ රජ සහ වැදි රජ අතර සටන නාට්‍යයේ සිද්ධි මාලාව අනපේක්ෂිත පැත්තකට පෙරළී ප්‍රේක්ෂකයා තුළ තීව්රතර ආතතියක් ඇති කරන නාට්‍යමය අවස්ථාවකි. මනමේ රජ මරු මුව වැටුණු කල “අනේ එ විපත සිදු වූණි නොදනිමි කාගෙ දොසා” යන පොතේ ගුරුගේ දුර්බෝධය සුබෝධ කොට දැක්වීමට විචාරකයන් අසමත් වී ඇත. ගම්ලත්ගේ විවරණය අනුව එහි දොස වන්නේ ස්ත්‍රිය මැඩ තබන පුරුෂෝත්තමවාදයේ දොස ය.
වැදි රජුගේ හිස සිදීමට මනමේ රජු කඩුව ඉල්ලා සිටි අවස්ථාවේ කුමරිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් තුළ සදාචාරමය උභතෝකෝටිකයක් මතු වූහ.
එනම්, මනමේ රජුගේ මරණය සිදු වුයේ කාගේ වරදින් ද?
එය, කුමරියගේ පතිද්රෝහය නිසා, ඇය වැදි රජු දැක ඔහු කෙරෙහි ඇති කර ගත් අනුරාගය නිසා සිදු වූවක් ද? නැතහොත් වැදි රජු කෙරෙහි කුමරිය තුළ පහළ වූ හුදු අනුකම්පාවේ අතුරු ථලයක් ලෙස සිදු වූවක් ද? එසේත් නැතහොත් කුමරියගේ යුක්ති ගරුකභාවයත් අවස්ථාවට නො ගැලපෙන අනුකම්පාවත් නිසා සිදු වූවක් ද? එසේත් නැතහොත් එය කාගේ දෝෂයක් නිසා සිදු වූවක් දැයි නිශ්චිත වශයෙන් කිව නො හැකි ද?. (මේ අවස්ථාව පිළිබඳ සත්‍ය, අවිනිශ්චිත ව තැබීමට තමාට අවශ්‍ය වූ බව සරච්චන්ද්‍ර පවසා ඇත)
වැදි රජුගේ හිස සිදීමට මනමේ කුමාරයා කඩුව ඉල්ලූ අවස්ථාවේ මනමේ බිසව මෙසේ අසයි:
වෙනත් සේනාවකගේ උදව්වක් පවා නොසොයා, තනියම සටන් කිරීමට සූදානම් වී පැමිණ, ඔබ සමඟ ධෛර්යයෙන් යුතුව සටන් කළ ඔහුගේ ගෙල මේ කඩුවෙන් කපා දමන්නේ ඇයි?
එවිට මනමේ කුමරු මෙසේ කිය:
“ඔබ කියන දේ මට නොතේරේ, සවුමියනි. මම මේ සාහසිකයා පරාජය කෙළෙමි. ඔහු අවසන් කිරීම සඳහා නොපමාව කඩුව දෙනු මැනවි.”
“ඔබ කියන දේ මට නොතේරේ” යනුවෙන් මනමේ රජු කළ ප්‍රකාශයෙහි අර්ථය පැහැදිලි කරමින් ගම්ලත් කියන්නේ, වැදි රජුට සමාව දෙන ලෙස බිසව කළ ආයාචනය මනමේ රජුට නොතේරුණේ ඔහුගේ අපරිමිත පුරුෂෝත්තමවාදය නිසා බව ය. පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදය අනුව ස්ත්‍රිය සිතෙන්, කයෙන් සහ වචනයෙන් පුරුෂයාට යටත්ව ඔහුට රිසි පරිදි පැවතිය යුතු ය. ඇයට ස්වාධීන කයක් හා අධ්‍යාත්මයක් ඇතැයි පුරුෂයාට නොසිතෙයි.
බිසව කල්පනා කොට බලා තර්ක බුද්ධියෙන් බැස ගත් නිගමනය ඉදිරිපත් කරයි: වැදි රජුට තම සෙනග සමග එක්වර ඔවුන් විනාශ කිරීමට ඉඩ තිබුණ ද, ඔහු තනිව සටන් කළේ ය; ඔහු වනචරයෙකු වුව ද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ; ඔහු මරා දැමීම නොවටනේ ය. මේ වචනය ඇසූ මනමේ රජ තිගැස්සී බිසව දෙස බලා සිටී. එවේලේ ඔහුගේ ග්‍රහණය ලිහිල් වන අතර වැදි රජු බිසවගේ අතින් කඩුව ගෙන මනමේ රජු මරා දමයි. ගම්ලත්ගේ තර්කය අනුව මනමේ රජ තිගැස්සෙන්නේ බිසව තම ස්වාධීන තීරණය ප්‍රකාශ කළ නිසා ය. ඇගේ අනපේක්ෂිත හැසිරීම සමග පෙළගැසීමට ඔහුට නොහැකි විය. ස්ත්‍රිය පුරුෂයාගේ අවිඥානක ද්‍රව්‍යයක් ලෙස නොව පණ ඇති මිනිස් සත්වයෙකු ලෙස ජීවත් වීමට දරන තැත, චිරාගත සමාජ සබඳතා නමැති කොටු පවුරේ හැපී බිඳී ඇගේ විනාශයේ ආරම්භය සලකුණු කරයි.
මෙතැන් සිට මනමේ බිසවගේ ඛේදවාචකය ඇරඹෙයි. වැදි රජු මනමේ රජු මරා දැමීමෙන් පසු, බිසව වනයේ අසරණ වෙයි. වැදි රජු පවසන්නේ මනමේ රජු තමා සටනට පොළඹවා ගත් නිසා තම පණ බේරා ගැනීමට ඔහු මැරූ බව ය. ගම්ලත්ගේ විවරණය අනුව වැදි රජුට ස්ත්‍රිය යනු ඇය අත්පත් කරගත් පුරුෂයාගේ පරිභෝජනය සඳහා තිබෙන ද්‍රව්‍යයකි. අත්පත් කර ගැනීම පැහැර ගැනීමකින් සිදු වූවක් වුව ද එය ඔහුට අදාළ නොවේ. බිසව වැදි රජුගෙන් ආරක්ෂාව අයැද සිටින්නේ අසරණභාවයත් මරණ බියත් නිසා ඔහු විශ්වාස කිරීම හැර වෙනත් විකල්පයක් නැති බැවිනි. වැදි රජු ඇයට ආරක්ෂාව සපයන බවට සපථ කරන අතර, ඇය නතු කර ගැනීම සඳහා රොමෑන්ටික හා චාටු වචන කියයි. බිසව ද ඔහුගේ සිත තමා කෙරෙහි බැඳගෙන උපරිම ආරක්ෂාව ලබා ගැනීම පිණිස ආංගික හා සාත්වික භාව ලීලා දක්වයි.
අසරණභාවය විසින් මෙහෙයවනු ලැබූ බිසව, වැදි රජුගේ ආරක්ෂාව නොමඳව ලබාගනු රිසියෙන්, ඔහුගේ දිවි රැකගනු පිණිස තමාට කඩුව දීමට සිතුණු බව පවසමින් බොරුවක් ගොතයි ( ඇගේ සැබෑ සිත හෙළිවන්නේ මනමේ කුමරු මළ විගස “මා පිය සැමියා මරුමුව වැටුණා – කිම ද කළේ ඔබ මේ අපරාදේ ” යනුවෙන් ඇය වැදි රජුට චෝදනා කරන මොහොතේ දී ය)
එහෙත් ඇය තමා වටා දමා ගැනීමට තැත් කරන ආරක්ෂක වළල්ල ඇගේ ගෙල වටා වැටෙන මාරක වළල්ලක් බවට පරිවර්තනය වෙයි. ගම්ලත් පවසන පරිදි බිසවගේ ප්‍රකාශය වැදි රජුට දිරවා ගත නොහැකි වූයේ හේතු දෙකක් නිසා ය. පළමුව, තමා වැනි අධිකාරී බලයක් දරන පුරුෂයෙකු බලහීන ගැහැණියක විසින් මරණයෙන් බේරා ගනු ලැබූ බව පැවසීම ඔහුට අවමානයක් විය. දෙවනුව, බිරිඳ ස්වාමිපුරුෂයාගේ අණ සුවචව කීකරුව පිළිපැදිය යුතු ය යන පොදු පිළිගැනීම අනුව, ස්වාමියා කඩුව ඉල්ලූ විට බිරිඳ එය දිය යුතු ය. එබැවින් බිසව වැදි රජුට කඩුව දීමට සිතූ බව කීම ඔහුට ඉවසිය නොහැකි විය.
වැදි රජු බිසවගෙන් අසා සිටින්නේ ඇය සැමියාගේ අණ පරිදි ඔහුට කඩුව දීමට සැරසුණු බව තමා දුටු බව ය. බිසව එයට පිළිතුරු දෙන්නේ කඩුව අතට ගත්තේ වැදි රජුට දීමට මිස මනමේ රජුට දීමට නොවන බව කියමිනි. වැදි රජුගේ අරමුණ සඵල වෙයි. බිසවගේ ප්‍රකාශය තහවුරු කරගත් ඔහු, මේ තරම් ප්‍රේම කළ සැමියා මරා දැමීමට ඇය තැත් කළා ද යි අසයි. බිසව අන්තයටම අසරණ වෙයි; විචාර බුද්ධිය ඇගෙන් ගිලිහී යයි. වැදි රජු සිතන්නේ බිසව චර්යාධර්ම උල්ලංඝනය කළ බව ය. බිරියකට තම සැමියා හැර අන් පුරුෂයෙකු පැතිය නොහැකි ය යන පුරුෂෝත්තමවාදයේ ශික්ෂාව ඇය උල්ලංඝනය කළා ය. පුරුෂයන්ට අන් සතු බිරියන් පැහැර ගැනීම අයිතියක් වන අතර, බිරියකට පරපුරුෂයෙකු පැතීම පවා තහනම් ය.
වැදි රජු බිසව හැර ගිය පසු, ඇය දැඩි ශෝකය දරාගත නොහැකිව ලය පැළී මිය යයි. තමා මෙවන් දුකකට වැටුණේ තම මෝඩකම නිසා යයි බිසව කියයි. ඒ් ඇය සිතන පරිදි ය. එය එසේ නො වන බව අපි දනිමු. ගම්ලත් පෙන්වා දෙන්නේ ඇගේ ඛේදවාචකය ආරම්භ වූයේ ස්වාධීන තීරණයක් ගෙන වැදි රජු නොමරන ලෙස මනමේ රජුගෙන් අයැද සිටි තැන් පටන් බව ය. තමා ස්වාධීන තීරණයක් ගත් බව වැදි රජුට දැන්වූ තැන එහි කූටප්‍රාප්තිය විය. පුරුෂයාට යටත්ව, සුවචව, කීකරුව, ඔහුගේ වහලියක ව සිටීම මොහොතකට අත්හිටුවා ස්වාධීන වීමට තැත් කළ තැන ඇගේ විනාශය ආරම්භ විය. එතැන් පටන් පුරුෂෝත්තමවාදී සමාජ සබඳතා නමැති යකඩ දඬු කඳ ඇය මිරිකීම ඇරඹිණි.
අප නිරීක්ෂණය කළ පරිදි, මනමේ නාට්‍යය විචාරයට ලක් කළ බොහෝ විචාරකයන්ගේ පොදු නිගමනය අනුව නම් මනමේ බිසව විපතට පත් වන්නේ ඇයගේ ම “වරද” නිසා ය.
මෙකී “වරද” පිළිබඳ ව විචාරකයන්ගේ අර්ථකථන එකිනෙකට වෙනස් ය.
කෙනකුගේ මතය අනුව ඇය අතින් යම් ප්‍රමාද දෝෂයක් සිදු විය. තව කෙනකුගේ මතය අනුව ඇයගේ විපතට හේතු වන්නේ ඇයගේ චිත්ත සන්තාන තුළ ජනිත වූ ආවේගයන් ම ය. තවත් කෙනකුගේ මතය අනුව ඇයගේ රූප සෝබාවට ආශාවෙන් ඇය ලබා ගැනීමට සටන් කරන හැඩි දැඩි පුරුෂයා කෙරෙහි ඇය තුළ හටගත් අනුකම්පාව සමග ඇයගේ යටි සිතේ සැඟවුණු ආශාවක සේයාවක් පැවතී ම හේතුවෙන් මේ විපත සිදු විය (මේ විපතට මුල් විය). වෙනත් කෙනකුගේ මතය අනුව යුක්ති ධර්මය වෙනුවෙන් ඇගේ පෙනී සිටී ම අවස්ථාවට නො ගැලපේ; එහි ම පසු ප්‍රතිඵලක් ලෙස මේ විපත සිදු විය. තවත් මතයකට අනුව ඈ යටි සිතින් වැදි රජුගේ ආරක්ෂාව පැතීය; ඇගේ ඒ් සිතිවිල්ල වැදි රජු කෙරෙහි ඇති වූ අනුරාගයක ස්වරූපය ගත්තේ ය; ඒ් අවස්ථාවේ දී ඇයගේ චෛතන්‍යය මෙහෙයවන ලද්දේ වනයේ තමා අනාරක්ෂිතය යන බිය විසිනි.
මේ මත අනුව බිසව විපතට වැටුණේ ඇගේම වරද නිසා ය.
මේ විචාරකයන් බිසවගේ විපතට පාදක වූ සැබෑ හේතු නොදැක්කේ ඔවුන්ගේ පුරුෂෝත්තමවාදී ආකල්ප සත්‍යය දැකීම වළක්වාලූ නිසා ය. පීතෘමූලවාදී පන්ති ආකල්පවලින් ගැලවීමට ඔවුන්ට නොහැකි විය. බිසවගේ විපත ඇගේ පතිද්රෝහය නිසා ය යන ව්‍යාජ දෘෂ්ටිවාදයකින් මනමේ කතාවේ සත්‍යය සැඟවී තිබිණි. එම ව්‍යාජ විඤ්ඤාණය විනිවිද සත්‍යය කරා එළඹීමට මේ විචාරකයෝ අසමත් වූහ.
ගම්ලත්ගේ මතය අනුව අප ජීවත්වන සමාජයෙහි අක්මුල් අපට නො තේරේ. දේවල් සිදු වන්නේ කුමන හේතුවක් නිසා දැයි අපට නො තේරේ. අප විඳින ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, යනාදියේ සැබෑ හේතු ප්‍රත්‍ය අපට නො තේරේ, ජීවිතය ම පඹ ගාලක් බඳු ය. ඒ අනුව මේ පඹ ගාලෙහි අප පැටලී සිටින්නේ කොතැන ද?, අපට සිදු වී ඇත්තේ කුමක් ද? යන්න පිළිබඳ ව යථාර්ථ ඥානය ලබා දීම උත්තර කලාවේ පරමාර්ථය යි. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යය එවැනි සත් කලා කෘතියකි.
එහෙත් සරච්චන්ද්‍ර තම සත් කලා කෘතිය පිළිබඳ ව අන් අයුරකින් සිතයි. මනමේ නාට්‍යයෙන් මතු වීමට සරච්චන්ද්‍ර අපේක්ෂා කළ අර්ථය ඔහු මෙසේ දක්වා ඇත:
“මුළු නාට්‍යයෙන් ම කියවෙන්නේ මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදු විය හැකි අභාග්‍යය ගැන ය. මනුෂ්‍ය ජීවිතයෙහි මෙබඳු අනපේක්ෂිත අභාග්‍යය සිදු විය හැකි හෙයිනි මනුෂ්‍ය ඉරණම වෙත ප්‍රේක්ෂකයා කම්පා වෙනු ඇතැයි මම සිතුවෙමි. මනුෂ්‍ය ලෝකයෙහි මෙවැනි අභාග්‍ය ඉරණමක් කෙනෙකුට අත් විය හැකි බව දැක්වීම්ටය මගේ අදහස් වූයේ. එනම්, ජීවිතයෙහි අනිත්‍යය මෙනෙහි කිරීමට ප්‍රේක්ෂකයාට තුඩු දීම ය”
කලා කෘතියකින් ප්‍රකාශ වන අර්ථය එම කෘතියෙන් ප්‍රකාශ වීමට කලාකරුවා අපේක්ෂා කළ අර්ථය ද?
කලා කෘතියක් නිර්මාණය වන්නේ කලාකරුවාගේ සවිඤ්ඤාණ හෝ තාර්කික චින්තනය මත පමණක් නොවේ. අන්තර්ඥානය, අතාර්කිකත්වය, අවිඤ්ඤාණය හෝ අර්ධ සවිඤ්ඤාණය ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. එහෙයින් කලාකරුවා අපේක්ෂා නොකළ බොහෝ අර්ථ කලා කෘතියක තිබිය හැකි ය. ගම්ලත්ගේ තර්කයට අනුව, මනමේ කුමරියට සිදු වූ විපත අනපේක්ෂිත අභාග්‍යයක් හෝ අනිවාර්ය ඉරණමක් නොවේ. පුරුෂෝත්තමවාදී සමාජ සබඳතා නමැති කොටු පවුරේ හැපීමෙන් ඇගේ ජීවිතය විනාශ විය. ස්ත්‍රී පීඩනය හා පුරුෂෝත්තමවාදය සමාජ විකාසනයේ එක් අදියරක දී හටගත් බැවින්, ඒවා අනිවාර්ය ඉරණමක් ලෙස පිළිගත යුතු නැත.
සරච්චන්ද්‍ර මිනිසා සුසංවාදී, පරිපූර්ණ ජීවිතයක් සඳහා දරන ප්රයත්නය පවත්නා සමාජ සබඳතා නමැති අයෝමය පවුරේ හැපී බිඳ වැටෙන ආකාරය රමණීය දෘශ්‍ය හා ශ්‍රව්‍ය සංකල්ප රූප මාලාවක් ඔස්සේ විදහා දක්වයි. එම අත්දැකීමට ගෝචර වන මානව සංහතියේ සුවිශේෂයක් ලෙස මනමේ බිසව කෙරෙහි අපගේ ලය කම්පා කරවයි. එහෙයින් එය හදවත් කරුණාවෙන් සීතල කරන කලා කෘතියකි.
ගම්ලත් පවසන පරිදි, මනමේ නාට්‍යය සහෘදයා තුළ පහන් සංවේගය එනම් භය වීම් ආකාරයෙන් පවත්නා නුවණ ඇති කරයි.
කරුණාව උපදින්නේ අනේක ශෝක සන්තාප විඳ මිය ගිය බිසව අරබයා ය. තවත් අනේක ලියන්ට එම ශෝක සන්තාප විඳ මිය යන්නට සිදු විය හැකි බැවින් භය උපදියි. ස්ත්‍රී සංහතියට එළඹ ඇති දශාව තත්වාකාරයෙන් වැටහීමෙන් හා සමාජ සබඳතාවල ගොරබිරම් භාවය පසක් කිරීමෙන් නුවණ උපදියි. කරුණාවෙන්, භයෙන් හා නුවණින් යුතු වන අපි නිෂ්ක්‍රිය නොවෙමු. එම හැඟීම්වලින් ප්රබෝධිතව, මිනිසාට සතුරු ව සිටිනා සමාජ සබඳතා නමැති බන්ධන, අඩස්සි හා යදම් පුපුරුවා හැරීමේ උත්තේජනයෙන් ප්රේක්ෂාගෘහයෙන් පිටත් ව ඒවා වෙත යන්නෙමු.
(මෙම ලිපිය, මේ ලේඛකයා විසින් පළ කරන ලද ‘සුචරිත ගම්ලත් කලා විචාරයේ විප්ලවීය සම්ප්රදානය’ කෘතියේ එන ‘මනමේ නාට්‍ය සේවනය’ පරිච්ඡේදය ඇසුරෙන් සකස් කරන ලද්දකි.)


