යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් ප්රජාතන්ත්රවාදී නිදහස සීමා කිරීමට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩ ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් දැඩි ප්රජාතන්ත්රවාදී පරීක්ෂාවක් සහ අර්ථවත් මහජන සාකච්ඡාවක් අවශ්‍ය බව ලංකා සමසමාජ පක්ෂය පවසයි.
රටේ වත්මන් දේශපාලන, ආයතනික සහ සමාජ-ආර්ථික අර්බුදය පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබේ.
ත්‍රස්තවාදයෙන් සහ අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීම රාජ්‍යයේ නීත්‍යනුකූල වගකීමක් වුවද, පුළුල් ලෙස සකස් කරන ලද ආරක්ෂක නීති විරුද්ධ මත මර්දනය කිරීමට, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩාල කිරීමට සහ පුරවැසි අයිතිවාසිකම් සීමා කිරීමට අනිසි ලෙස යොදාගත හැකි බව එම පක්ෂය පෙන්වා දෙයි.
එබැවින් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ දේශපාලන පළිගැනීම් වැළැක්වීම සඳහා ශක්තිමත් ආරක්ෂක විධිවිධාන පනත් කෙටුම්පත්වලට ඇතුළත් කර ඇති බව තහවුරු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අර්ථවත් මහජන සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් ලංකා සමසමාජ පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.
මේ අතර, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පක්ෂය පවසන්නේ නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ ආගමික ගෞරවය එකිනෙකට පටහැනි නොවන ආකාරයෙන් ආරක්ෂා කළ යුතු බවයි.
ආගමික තනතුර, සමාජ තත්ත්වය හෝ දේශපාලන බලපෑම කුමක් වුවද සෑම පුද්ගලයකුටම නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බවත්, කිසිවකු නීතියට ඉහළින් නොතැබිය යුතු බවත් එම පක්ෂය අවධාරණය කරයි.
ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වූ මතභේදය පුද්ගලයකුගේ සිවුර පිළිබඳ ගැටලුවකට පමණක් සීමා නොකර, බන්ධනාගාර පරිපාලන ක්‍රියාපටිපාටි සහ ආගමික වස්ත්‍ර සම්බන්ධ නීතිමය විධිවිධාන අතර පවතින හිඩැස් පිළිබඳ ආයතනික ගැටලුවක් ලෙස සලකා බැලිය යුතු බව ද පක්ෂය සඳහන් කරයි.
එමෙන්ම, මෙම සිද්ධිය පදනම් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී සහ ආගම්වාදී ප්රවණතා උත්සන්න වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ලංකා සමසමාජ පක්ෂය, එය වාර්ගික හෝ ආගමික ගැටුමක් බවට පත් නොකර නීතියේ ආධිපත්‍යය, පරිපාලන වගකීම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් ලෙස විමසා බැලිය යුතු බව පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පක්ෂය අවධාරණය කරන්නේ ඉන්දියාව, චීනය සහ බටහිර බලවතුන් අතර පවතින භූදේශපාලනික බල තරගය හමුවේ රටේ ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගත යුතු බවයි.
විදේශ ප්‍රතිපත්තිය කිසිදු බල කඳවුරක අනුගාමිකත්වයකට සීමා නොවී, අන්‍යෝන්‍ය ගෞරවය, නොබැඳිභාවය සහ ජාතික අවශ්‍යතා මත පදනම් විය යුතු බව ද එම පක්ෂය සඳහන් කරයි.
රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති ලංකා සමසමාජ පක්ෂය පවසන්නේ ආදායම් අහිමිවීම, ජීවන වියදම ඉහළ යාම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු, රැකියා අවස්ථා හිඟය සහ ජීවන තත්ත්වය පිරිහීම වැනි අභියෝගවලට ජනතාව මුහුණ දෙමින් සිටින බවයි.
විශේෂයෙන්ම උගත් තරුණ පරපුරට තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා ලබාගැනීමට ඇති දුෂ්කරතා ව්‍යුහාත්මක ගැටලුවක් බව පෙන්වා දෙන එම පක්ෂය, ගුණාත්මක රැකියා උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව, සාධාරණ ආදායම් බෙදීයාම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැඟීම රජයේ ප්‍රමුඛතා විය යුතු බව සඳහන් කරයි.
අවසාන වශයෙන්, වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා වාම හා ප්රජාතන්ත්රවාදී බලවේග එක්විය යුතු බව ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරයි.
අභ්‍යන්තර මතභේද සහ පටු දේශපාලන අරමුණු අභිබවා පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් මත සියලු වාම බලවේග එක්සත් වීම අවශ්‍ය බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ කාංචන හර්ෂ කුමාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහළින්
ලංකා සම සමාජ පක්ෂය
වත්මන් දේශපාලන, ආයතනික සහ සමාජ–ආර්ථික අර්බුදය පිළිබඳ
ලංකා සම සමාජ පක්ෂයේ ස්ථාවරය
ශ්‍රී ලංකාව උග්‍ර දේශපාලනික, ආර්ථික සහ සාමාජික අවිනිශ්චිතතාවයකට මුහුණ දී ඇති මෙවන් මොහොතක, ප්රජාතන්ත්රවාදී නිදහස ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් ජාතික ජීවිතයේ කේන්ද්‍රස්ථානයෙහි තබන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වේ.
ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම
යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. ත්‍රස්තවාදයෙන් සහ අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීමේ නීත්‍යානුකූල වගකීමක් රාජ්‍යයට පැවරී තිබුණද, පුළුල් ලෙස කෙටුම්පත් කරන ලද ආරක්ෂක නීති මඟින් ප්රජාතන්ත්රවාදී නිදහස සීමා කිරීම, විරුද්ධ මත මර්දනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩාල කිරීම සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කණ්ඩනය කිරීම සඳහා පහසුවෙන්ම සාවද්‍ය ලෙස මෙන්ම අනිසි ලෙස භාවිත කළ හැකි බව ශ්‍රී ලංකාවේ මෙන්ම අන් රටවල ද අත්දැකීම් පෙන්වා දෙයි. එබැවින් රාජ්‍යයට සුවිශේෂී බලතල පවරන ඕනෑම ව්‍යවස්ථාවක් දැඩි ප්රජාතන්ත්රවාදී පිරික්සුමකට සහ සඵලදායී අධිකරණ අධීක්ෂණයකට යටත් විය යුතුය.
වාම සහ ප්රජාතන්ත්රවාදී දෘෂ්ටිකෝණයකින් බලන කල, සැබෑ ආරක්ෂාව ගොඩනැගිය හැක්කේ නිදහස, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය පාවා දීමෙන් නොවේ. ත්රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන මෙහෙයවිය යුත්තේ මානව අයිතිවාසිකම්, නීතියේ නිසි ක්‍රියා පටිපාටිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සංගම්වලට එකතු වීමේ නිදහස සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය පූර්ණ ලෙස සුරකින රාමුවක් තුළය. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ දේශපාලනික පළිගැනීම්වලට එරෙහිව මෙම පනත් කෙටුම්පත්වල ශක්තිමත් ආරක්ෂක විධිවිධාන ඇතුළත් කර ඇති බව තහවුරු කරන ලෙසත්, අර්ථවත් මහජන සාකච්ඡාවක නිරත වන ලෙසත් ලංකා සමසමාජ පක්ෂය රජයෙන් ඉල්ලා සිටී. ප්රජාතන්ත්රවාදී සමාජයක් ආරක්ෂා විය යුත්තේ හිංසනයෙන් සහ අපරාධවලින් පමණක් නොව, රාජ්‍ය බලය සීමාවකින් තොරව භාවිත කිරීමෙන්ද වේ.
නීතිය ඉදිරියේ සමානත්වය සහ ආගමික ගෞරවයට ගරු කිරීම
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුව පිළිබඳව ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය වන්නේ නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ ආගමික ගෞරවය යන මූලධර්ම එකිනෙකට පටහැනි නොවන අයුරින් ආරක්ෂා කළ යුතු බවයි. ආගමික තනතුර, සමාජ තත්ත්වය හෝ දේශපාලන බලපෑම කුමක් වුවද, සෑම පුද්ගලයෙකුටම නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු අතර කිසිවකු නීතියට ඉහළින් තැබිය නොහැකි ය. එහෙත්, ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වූ මතභේදය හුදෙක් පුද්ගලයකුගේ සිවුර පිළිබඳ ගැටලුවක් ලෙස නොව, බන්ධනාගාර පරිපාලන ක්‍රියාපටිපාටි සහ ආගමික වස්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධාන අතර ඇති විය හැකි හිඩැස් පිළිබඳ පුළුල් ආයතනික ගැටලුවක් ලෙස විමසා බැලිය යුතුය. මෑත කාලීනව භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික පූජකවරුන්ද විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇති පසුබිමක, මෙවැනි තත්ත්වයන් පූර්වයෙන් හඳුනාගෙන, ආගමික ගෞරවය සුරකින අතරම නීතියේ සමානාත්මතාව තහවුරු කරන පැහැදිලි හා සාධාරණ රෙගුලාසි සකස් කිරීම දේශපාලන බලධාරීන්ගේ සහ අදාළ පරිපාලන ආයතනවල වගකීමක් විය යුතුව තිබුණි. එබැවින්, අදාළ නීති හා රෙගුලාසි කාලෝචිතව සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අපොහොසත් වීම මෙම අර්බුදය උත්සන්න වීමට බලපෑ ආයතනික දුර්වලතාවක් ලෙස ලංකා සමසමාජ පක්ෂය දකියි. ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක වගකීම වන්නේ අර්බුදයක් ඇති වූ පසු එයට ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, එවැනි අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහා දූරදර්ශී නීතිමය හා පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. එබැවින්, අපගේ අවධාරණය වන්නේ කිසිවකුට විශේෂ නීතිමය වරප්‍රසාද ලබා නොදෙන අතරම, සියලු දෙනාගේ ආගමික ගෞරවය සහ මානව අභිමානය ආරක්ෂා වන පරිදි නීතිය සාධාරණව, සමානව සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම රාජ්‍යයේ අනිවාර්ය වගකීම බවයි.
ජාතිවාදය, ආගමික අන්තවාදය සහ සාමාජික බෙදීම් ප්‍රතික්ෂේප කිරීම
මෙහිදී අප විසින් විශේෂයෙන් අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතු වූ මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා සමාජය තුළ ජාතිවාදී සහ ආගම්වාදී ප්රවණතා යළිත් උත්සන්න වීමේ අවදානමක් පවතින බවයි. බහුජාතික, බහුආගමික සහ බහුසංස්කෘතික සමාජයක් වන ශ්‍රී ලංකාවෙහි මෙවැනි සිදුවීම් පටු ජාතිවාදී හෝ ආගමික දෘෂ්ටිවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගැනීම සමාජ සහජීවනයට, ප්රජාතන්ත්රවාදී ස්ථාවරත්වයට සහ ජාතික සමගියට බරපතළ තර්ජනයක් විය හැකිය. එබැවින්, මෙම ගැටලුව ආගමික හෝ වාර්ගික ගැටුමක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදී, එය නීතියේ ආධිපත්‍යය, පරිපාලන වගකීම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් ලෙස තාර්කිකව හා වගකීමෙන් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. ප්රජාතන්ත්රවාදී සමාජයක සෑම පුරවැසියෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමට, රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග විවේචනය කිරීමට, ඒවාට විරෝධය පළ කිරීමට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිය මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අතරට අයත් වේ. එහෙත්, එම අයිතිවාසිකම් භාවිත කිරීමේදී වෛරය, ප්රචණ්ඩත්වය සහ වාර්ගික හෝ ආගමික වෛරය උසිගැන්වීමෙන් වැළකීම ද සමාජීය වගකීමකි. ඒ අනුව, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව, ඒවා සාමකාමීව හා සමානාත්මතාවයෙන් භුක්ති විඳීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ද රජයේ මූලික වගකීමක් බව ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරයි. අපගේ ස්ථාවරය වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ නාමයෙන් පුරවැසි නිදහස සීමා නොකළ යුතු සේම, නිදහස භාවිත කිරීමේ නාමයෙන් ජාතිවාදයට, ආගම්වාදයට හෝ සමාජ බෙදීමකට ද ඉඩ නොතැබිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී අනාගතය රඳා පවතින්නේ විවිධත්වය ගැටුමක මූලාශ්‍රයක් බවට පත් කිරීම මත නොව, එය අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ සහජීවනය ශක්තිමත් කරන සමාජීය පදනමක් බවට පත් කිරීම මතය.
භූදේශපාලනික බල තරගය හමුවේ ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ-ආර්ථික අර්බුදය විශ්ලේෂණය කිරීමේදී ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන භූදේශපාලනික බල තරගය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉන්දියාව, චීනය සහ බටහිර බලවතුන් ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර පාර්ශ්වයන්ගේ ආර්ථික හා ආරක්ෂක අවශ්‍යතා මෙරට කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙවැනි පසුබිමක, විදේශ ආයෝජන, ණය සහ සංවර්ධන සහයෝගිතා ජාතික සංවර්ධනය සඳහා යොදාගැනීමේදී රටේ දිගුකාලීන ස්වාධීනත්වයට හා ආර්ථික ස්වෛරීත්වයට ඇති විය හැකි බලපෑම් විවේචනාත්මකව තක්සේරු කිරීම අත්‍යවශ්‍ය වේ. ලංකා සමසමාජ පක්ෂයේ දෘෂ්ටිකෝණයෙන්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිදු බල කඳවුරක අනුගාමිකත්වයට සීමා නොවී, අන්‍යෝන්‍ය ගෞරවය, නොබැඳිභාවය සහ ජාතික අවශ්‍යතා මත පදනම් විය යුතුය. එමෙන්ම, භූදේශපාලනික තීරණවල ප්රතිලාභ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොමු කිරීම ද රාජ්‍යයේ මූලික වගකීමකි.
ජනතාව මුහුණ දෙන සමාජීය සහ ආර්ථික අර්බුදය
මෙහිදී අපගේ විශේෂ අවධානය යොමු විය යුතු තවත් තීරණාත්මක කරුණක් වන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ගැඹුරු ආර්ථික හා සමාජීය අර්බුදයයි. ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ආදායම් අහිමිවීම, ජීවන වියදම ඉහළ යාම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු, රැකියා අවස්ථා හිඟය සහ ජීවන තත්ත්වය පිරිහීම වැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටින පසුබිමක, රටේ සැබෑ ප්‍රමුඛතා පිළිබඳව ගැඹුරු සමාජ විමර්ශනයක් අවශ්‍ය වේ. විශේෂයෙන්ම උගත් තරුණ පරපුරට තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා ලබාගැනීමට ඇති දුෂ්කරතා, මානව සම්පත ඵලදායී ලෙස භාවිත කිරීමට රාජ්‍යය අපොහොසත් වීමේ ලක්ෂණයක් පමණක් නොව, අනාගතය පිළිබඳ තරුණ පරපුර තුළ අවිනිශ්චිතතාව සහ කලකිරීම වර්ධනය කරන ව්‍යුහාත්මක ගැටලුවක් ද වේ. එසේම, ආහාර ලබාගැනීමේ දුෂ්කරතා, ජීවන වියදමේ පීඩනය සහ රැකියා ස්ථානවල පවතින අසතුට වැනි තත්ත්වයන් හුදෙක් පුද්ගලයන්ගේ පෞද්ගලික ගැටලු ලෙස නොව, ආදායම් බෙදීයාමේ අසමානතාව, ශ්‍රම වෙළෙඳපොළේ දුර්වලතා සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ සීමාවන් සමඟ සම්බන්ධ වූ පුළුල් සමාජ-ආර්ථික අර්බුදයක ප්රකාශනයන් ලෙස හඳුනාගත යුතුය. මේ අනුව, ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමට හෝ රාජ්‍ය මූල්‍ය දර්ශකවල යම් වැඩිදියුණුවකට පමණක් සීමා කර මැනිය නොහැකිය. එහි සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට, ප්‍රමාණවත් ආහාර ලබාගැනීමට, සුරක්ෂිත රැකියා හිමිකර ගැනීමට සහ අනාගතය පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වීමට ඇති හැකියාව මතය. ලංකා සමසමාජ පක්ෂයේ දැක්ම අනුව, රටේ දේශපාලන හා පරිපාලන අවධානය යොමු විය යුත්තේ ජනතාවගේ දෛනික ජීවන ගැටලු විසඳීම, ගුණාත්මක රැකියා උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, සාධාරණ ආදායම් බෙදීයාමක් ඇති කිරීම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැඟීම වෙතය. ආර්ථික ප්‍රතිසංස්කරණවල අවසාන අරමුණ විය යුත්තේ සංඛ්‍යාලේඛනවලින් පමණක් පෙනෙන සාර්ථකත්වයක් නොව, වැඩකරන ජනතාවගේ සහ ආන්තික කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවන, තරුණ පරපුරට අනාගතයක් සහතික කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කරන මානව කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීමයි.
වමේ එකමුතුකම සහ ප්රගතිශීලී දේශපාලන ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව
අවසාන වශයෙන් ලංකා සම සමාජ පක්ෂය අවධාරණය කර සිටින්නේ, මෙම සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද සඳහා තිරසාර විසඳුම් සෙවිය හැක්කේ වාම හා ප්රජාතන්ත්රවාදී දෘෂ්ටිකෝණයකින් පමණක් බවයි. පවතින අර්බුදවල ව්‍යුහාත්මක මූලයන් හඳුනාගෙන, සමාජ සාධාරණත්වය හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සංවිධානාත්මක දේශපාලන මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වාම බලවේගවල එක්සත්භාවය හුදු විකල්පයක් නොව, ඓතිහාසික හා දේශපාලනික අවශ්‍යතාවකි. එබැවින්, අභ්‍යන්තර මතභේද හා පටු දේශපාලන අරමුණු අභිබවා, පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් මත සියලු වාම බලවේග එක්සත් වීම අනිවාර්ය කොන්දේසියක් ලෙස සැලකිය යුතුය. එවැනි පුළුල් එක්සත්භාවයක් තුළින් පමණක් ජනතා බලය ශක්තිමත් කරමින් ප්රගතිශීලී සමාජ පරිවර්තනයකට අවශ්‍ය දේශපාලන පදනම ගොඩනැගිය හැකිය.
නීතීඥ කාංචන හර්ෂ කුමාර,
ප්‍රධාන ලේකම්,
ලංකා සමසමාජ පක්ෂය


