මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන උපදේශනය අද (05) පැවැත්වීමට නියමිත බව එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළේය.
වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 2.88කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) යෝජනා කර තිබේ. එහෙත් එම යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ විදුලි ගාස්තු සියයට 1.46කින් ඉහළ නැංවීමටය.
අද පැවැත්වෙන මහජන උපදේශනයේදී ඉදිරිපත් වන යෝජනා සහ අදහස් සලකා බැලීමෙන් අනතුරුව කොමිෂන් සභාව අවසන් තීරණය ගනු ඇතැයි ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.
මෙම වාචික උපදේශනය අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගික කණ්ඩායම් සහ විදුලිබල ක්ෂේත්රයට සම්බන්ධ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් 40කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිති.
කොමිෂන් සභාව සිය මූලික සමාලෝචනය අවසන් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඇතුළත් උපදේශන පත්‍රිකාවක් ද මහජන අදහස් විමසීම සඳහා නිකුත් කර ඇත.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය නොවැම්බර් මාසයේ දෙවැනි සතියේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.


