No menu items!
30.4 C
Sri Lanka
17 September,2024

යුක්තිය අයුක්තියක් බවට පත්වෙලා – මානව හිමිකම් කොමිසම

Must read

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම අයුක්තියට ලක්වීම් පිළිබඳ සිදුවීම්වල මාතෘකාවක් බවට පත්වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ, මෙම මෙහෙයුමේදී වධහිංසාවට ලක්වීම, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සිදුවී ඇති බවට එම කොමිසමට පැමිණිලි රාශියක් ලැබී තිබීම හේතුවෙනි. එමෙන්ම එහිදී මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනයද එම කොමිසමේ නිරීක්ෂණයට ලක්වී ඇත.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ ක්‍රෑර අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට හෝ දඬුවමකට යටත් නොකළ යුතු බවට මූලික අයිතිවාසිකමක් ලෙස පවතින බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසම, එම අයිතිය පරම අයිතියක් හා අහිමි කළ නොහැකි අයිතියක් බවද, කිසිදු තත්වයක් යටතේ සීමාවන්ට ලක්කිරීම සිදුකළ නොහැකි එකක් බවද සඳහන් කරයි. අපරාධ විමර්ශනය කරන්නා වූ හා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වූ පොලිස් නිලධාරීන් එම අයිතිවාසිකම උල්ලංඝනය නොවන ආකාරයට සෑම අවස්ථාවකම කටයුතු කළ යුතු බවත්, එහිදී සැකකරුවන්ගේ ගෞරවය නොකෙළසෙන ලෙස ක්‍රියා කළ යුතු බවත් සඳහන් කරයි.

පොලීසිය මෙම මෙහෙයුම සිදුකරන අතරතුරේදී ළමයින්ද ඇතුළත් පුද්ගලයන් වෙත සිදුකළ බවට වාර්තා වී ඇති ක්‍රෑර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම පිළිබඳ වූ සිදුවීම් දැන ගන්නට ලැබීම කොමිෂන් සභාවේ කණස්සල්ලට හේතු වී ඇති බවත්, එම සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බවත් එහි සඳහන්ය.
2023 වර්ෂයේදී පමණක් වධහිංසාවට ලක්වීම් පිළිබඳ පැමිණිලි 200කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇති තත්වය තුළ කොමිෂන් සභාවේ දැඩි අවධානය මෙම පැමිණිලි ගැන යොමු වී ඇති බවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධහිංසා කළ සිදුකළ බවට වරදකරුවන් බවට තීරණය කර ඇති නිලධාරීන් පවා තවදුරටත් එම ධුරයන්ගේ කටයුතු කරන ආකාරය දකින්නට ඇති බවත්, එම නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට කොමිෂන් සභාව විසින් 2023.12.21 දින නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බවත්, වධහිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කර ඇති අවස්ථාවන්හිදී නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව සහතික කරමින් නීතිපතිවරයා විසින් කොමිසමට ප්‍රතිචාර දක්වා ඇති බවද එහි සඳහන් කර තිබේ.

එමෙන්ම සෑම පුද්ගලයකුටම ජීවත්වීමේ අයිතිය ඇති බව අවධාරණය කරන බවද, එය අපරාධයක සැක කටයුතු පුද්ගලයකුට හෝ අපරාධ නඩු ක්‍රියාමාර්ගයක වරදකරු බවට පත් වූවකුහට වුවද හිමි වන්නක් බවද, එසේ වුවද පොලිස් භාරයේ සිටියදී හා අත්අඩංගුවට ගැනීම් සිදුකරගෙන යෑමේදී සිදුවන්නාවූ මරණ තවදුරටත් ගැටලුවක්ව පවතින බවද, 2023 වර්ෂයේ මුල් මාස 6 තුළ පොලිස් භාරයේ සිටියදී සිදුවූ මරණ 6ක් හා අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේදී සිදුවූ මරණ 2ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවද සඳහන් කර තිබේ.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි