No menu items!
29.1 C
Sri Lanka
28 April,2024

අමු සිංදු කල්තරය, කලීෆා සහ ගාසා ආතතිය

Must read

‘සසඟ චලන රූ’ අන්තර් ජංජාල විමසුම්වරණයේ ලෝක කුසලානය හිමිකරගත් නොහොත් කප් ගැසූ ශ්‍රී ලාංකික ප්‍රජාවට මියා කලීෆා යනු දන්න කියන ෆැන්ටසිගත නාරි නිමිත්තකි. නමුත් කලීෆාව, කලාව ලෙස සිංහල සන්තානයට අභිමුඛ වූයේ සංජීව ලෝන්ලිනස් නමැති සුන්දර ගයුවා ගැයූ අමු නොවන ගීතය හින්දා ය. ‘දරාගෙන වේදනා උහුලගෙන හිටියත්, රහසේම හඬනවා කලීෆත් දවසක්’ ලෙසින් රමණීය වේදනා ආතතියක කූටප්‍රාප්තිකර වන පරිදි, චාම් සමඟ එක්ව එය ලියා මෙලඩිගත කර තිබුණේ ද ඔහු ම ය.

වෘත්තීමය වශයෙන් කෙමෙස්ටි්‍ර ගුරුවරයකු වන ඔහු පතළ චරිතයක් බවට පත් වන්නට වී අමු ගී කල්තරය සමාජ ස්ථාපිතයක්ව තහවුරු වන්න විය. යූ ට්‍යුබක්කාර ගයුවෙකුව උන් ලෝන්ලියස්සුවා දැන් පළමු පෙළේ රූපාවාහිනි නාලිකා අතර කරක් ගසන සොමිබර පොරකි. අමු රහ දනවන ඕනෑ තරම් ගී ඉතිහාසය පුරා වුවත් ‘අමු’ වචනය රහ කර සමාජගත කෙරුවේ ඔහු ය. ගැයුමෙහි, ලියුමෙහි මතු නොව ඇඳුමෙහි පවා සම්භාව්‍ය හැඩතල රඳවා ගත් අභිෂේකා විමලවීර බඳු රසාලිප්ත චරිත ද, අමු රහ සමඟ අනන්‍ය වීම එහි දිශානතිය පෙන්නන්නකි.

සීතා සමඟ පටලැවිම නිසා මහත් හුටප්පරයක් වී ඇති ලෝන්ලියසියානු පිටකවරේ හරියටම ගැළපෙන්නේ ඔහුගේ ම කලීෆාට බව යෝජනා කිරීම මෙම ලියවිල්ලේ අරමුණ සමඟ ගැට ගැසුණු දේශපාලන අදහසයි.

මියා කලීෆා නාමය යළි වරක් වර නඟා ඇසෙන්න වූයේ ගාසා තීරයේ පිපිරුම් හඬත් සමඟිනි. මියා කලීෆා මෙහිදී මූලිකව ට්විට් කරන ලද දේ අදහසක් ලෙස ගතහොත්, ඇය කීවේ පලස්තීනය තුළ සිද්ධ වෙන දේ දෙස බලා පලස්තීනුන්ගේ පාර්ශ්වයේ හිට නොගන්නේ නම්, එවන් අයවලුන්ගේ ස්ථාවරය පිළිබඳ ඉතිහාසය විසින් විනිශ්චය දෙනු ලබන බවයි. ගාසා තීරය ආක්‍රමණය කරමින්, භූමිය කොල්ලකමින් සිටින්නේ සියොන්වාදී ආක්‍රමණිකයන් බව ඇය පැහැදිලිවම ලීවා ය. එතැනින් නො නැවතුණු ඇය ඊශ්‍රායෙලය සහ සියොන්වාදය වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට චරිත සමඟ සමාජ මාධ්‍ය යුද්ධයක් ආරම්භ කළා ය.

සුප්‍රකට නිළි කයිලි ජෙනර්ගේ ඊශ්‍රායෙල් හිතවාදී සමාජ මාධ්‍ය පෝස්ටුවට එරෙහිව කතා කළ කයිෆා කීවේ ‘කයිලිගේ ප්‍රකාශයේ උවමනාව මිලියන 400ක් වන ඇගේ ෆලෝවරයන් සහ ෆලෝවරියන් පිනවීමේ තවත් එක් ඉරියව්වක් පමණක් බව’යි. සැබෑ ජනමාධ්‍යවේදය තුළ තවමත් වලංගුභාවයක් තිබෙනවා නම්, කයිලී ජෙනර් හමුවට යන මීළඟ ජනමාධ්‍යවේදීයා ඇගෙන් මැද පෙරදිග පවතින භූ දේශපාලනික ආතතිය ගැන එක ප්‍රශ්නයක් අසා ඇගේ ඉරියව් බලා ගන්නා ලෙස මියා යෝජනා කළා ය.

ඊශ්‍රායෙල් මිලිටරිය විසින් සම්පාදිත ඔක්තෝබර් 7 සංසිද්ධිවලින් සමන්විත ‘සප්‍රයිසික ප්‍රහාරය’ මැයෙන් යුතු මිනිත්තු 47ක වීඩියෝව සමාජ තුළ සංසරණය කිරීමට සක්‍රීයව දායක වූ ඊශ්‍රායෙල් සම්භවයක් සහිත නිළියක සහ නිරූපිකාවක වන වොන්ඩර් වුමන් තාරුකාව වන ගාල් ගෙඩෝ යනු වර්ග සංහාරික බාර්බියක බව මියා කයිෆා චෝදනා කළා ය. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා කර ගසා සිටි, හොඳම කෙටි සිනමාපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය පවා හිමිකරගත් ඊශ්‍රායෙලික -ඇමරිකන්කාර ගයි නතීව් ද මියාගේ වාග් ප්‍රහාරයට නතු විය.

පලස්තීන ජනයා වෙනුවෙන් නිර්භීතව හිට ගැනීම නිසා මියා කලීෆාට බොහෝ දේ අහිමි වන්නට විය. ටොඩ් ෂපිරෝ සමඟ වූ පොඩ් කාස්ටයික ව්‍යාපාරික සම්බන්ධය කඩන් වැටිණ. එය ගෙවුණු සමයේ ඇය නිරතව සිටි මූලිකම වෘත්තීමය ක්‍රියාන්විතයයි. ඉක්බිති බොහෝ ආදායම් මාර්ග ක්‍රමයෙන් වැසී යන්න විය. ඒත් මියා කලීෆා තවමත් සමාජ මාධ්‍ය ජාලා තුළ මෙන්ම අන්තර්ජාලය තුළ නිදහස් පලස්තීනයක් වෙනුවෙන් හිටගනිමින් සිටින්නී ය. සියල්ලන්ම පිළිතුරු දෙන අතරතුර ය. ඇගේ ට්විටර් පණිවුඩ එකින් එක ලිහා බැලූ කල පවා පැහැදිලිව පෙනෙන්නේ දේශපාලන තියුණුකමෙකි.

ඇය තමා වටා උන් ව්‍යාපාරික ජාලය එක ගොඩකට ගසා, පවසා සිටියේ තමා හිටගන්නේ පීඩනයට එරෙහිව නැගී සිටින්නන්ගේ පාර්ශ්වයේ බවයි. තමා ලෙබනනයේ සිට පැමිණි තැනැත්තියක බවත්, තොප තමාගෙන් අපේක්ෂා කරන්නේ යටත්විජිතවාදය සමඟ හිටගන්නා මියා කයිෆා කෙනෙක්ද යනුවෙන් ඇය නිර්භීතව ප්‍රශ්න කෙරුවා ය.

ගාසා තීරයේ සිදුවන මහා සංහාරය නොදැක්කා සේ සිටින්නට ඇයට පුළුවන්කම තිබිණ. එය දුටුවද ඒ ගැන අදහස් පළ නොකර ඉන්නට අවශ්‍ය තරම් ඉඩ තිබිණ. නමුත් මියා ඒ ගැන සිය ස්ථාවරය ලියුවා ය. මහා සංසිද්ධීන් වලදී පතෝල – වැටකොළු සේ නො ඉඳ, ස්ථාවරයක් ගැනීම බරපතළ දේශපාලනික වැඩකි. මියා සිදුකළේ මෙකී දේශපාලන කාර්යභාරයයි. ඒ වෙනුවෙන් ඇයට පුද්ගලිකව ගෙවන්නට සිදුවූ වන්දිය අති විශාල විය. නමුත් පුද්ගලිකව ගෙවන්න සිදුවන වන්දිය ගැන දැන දැනම ඇය මැදිහත් වූ වා ය. ශෘංගාරී සසඟ චලන රූ වෙනුවෙන් නිරුවත් වන්නට ධෛර්යය වඩා තිබීම ම නිර්භීතව ස්ථාවරයක් ගැනීමට ඇය තුළ වන අධිෂ්ඨානය වැඩවූ පුහුණුවක් යැයි අර්ථකතනය කරන්නට බැරි ද?

ඇගේ නිර්භීතභාවය විසින් ඔප්පු කරනු ලබමින් තිබුණේ, ඉතිහාසය ඇරඹෙන්නේ ඔක්තෝබර් 7වැනිදා නොවන බව යි.

ප්ලේබෝයි ආයතන සමූහයේ නියාමකත්වය දරන බෙන් කොහ්න්, 2022 පෙබරවාරියේ මියා සමඟ ගිවිසුමකට එළඹෙන මොහොතේ ප්‍රකාශ කළේ ඇගේ නිර්භීතභාවය මෙන්ම කෙලින් කතාව ඇයව සමාඟම ඒකතු කර ගැනීම බලපෑ බව යි. නමුත් ඇය නිර්භීතව කෙලින් කතා කළ විට 2023 ඔක්තෝබර් ඇයව ගිවිසුමෙන් ලිහා දමන්නේ ඔක්තෝබර් 7 ප්‍රහාරය පිළිබඳ මියාගේ අදහස් පිළිකුල් සහගත බව ප්ලේබෝයි ග්‍රාහකයන් වෙත දැනුම් දෙමිනි. තම සමාගම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම දේශපාලන විවාදයන්ගේ නිර්මාණශීලීබව අගය කරන්නේ වන නමුදු මියාගේ ප්‍රකාශය වෛරීසහගත බවත් එය ආයතන ප්‍රතිපත්තියට පටහැනි බවත් ඇගේ භාවිතයේ ප්‍රතිවිපාක ඇය විසින් නුදුරේ අවබෝධ කරගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මියා කලීෆා කෙරෙන් මෙසේ නැඟැ ආයේ ඇගේ ආත්මගත දේශපාලන සහජය බව පෙනෙන්න තිබිණ. ඇය ඇගේ අශ්ලීල ඉතිහාසයට මකා දමන්නට වෙර දරමින් සිටියා ය. ඇගේ නොම පැරණිය ශෘංගාරී සසඟ චලන රූ අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස මියා කලීෆා ඒ ඒ ආයතනවලින් දිගින් දිගටම ඉල්ලිම් කළා ය. ඈ වෙනුවෙන් පෙත්සම් අත්සන්කාර චේන්ජ් ඩොට් කොම් හරහා එක්කාසු කෙරුණු අත්සන් ද මිලියන ගණනකි.

නමුත් ඊ සමාන්තරව මෙකී ශෘංගාරී සම්භෝගී වීඩියෝ ඉවත් නොකරන ලෙස ඉල්ලූ අත්සන් ද මිලියන ගණනින් එකතු වන්න විය. ‘මියා කලීෆා යුක්තිය ඉටු කරනු’ සන්දර්භය තුළ කුළුගැන්වුණු මෙකී අත්සන්කාරී ව්‍යාපෘති එසේ තිබියදී ම, මියා කලීෆාගේ වසඟකාරී සිනහවේද, පීන පයෝධර මණ්ඩලයේ ද, කාමෝද්වේගී පතරංග උපැස සඟලේද වන සංකේතිය වටිනාකම දත් බැංග් බ්‍රොස් වැනි කුප්‍රකට කාමුක වෙබ් අඩවි ඒවා අලුත් වටයකින් යාවත්කාලීන කරමින් අලෙවි කරන්නට පටන් ගෙන තිබිණ.

පසු කලෙක ඇය ම විග්‍රහ කළ පරිදි උගුළක් වූ ශෘංගාර සම්භෝග කරුමාන්තයට ඇය ඇද වැටුණේ 2014 වර්ෂයේ ඔක්තෝබරයේදී ය. මාස දෙක තුනක් ඇතුළත ඇය නිරූපණය කළ ඕලාරික සිනමාපට 11ක් සඳහා ඇය ලද මිල ඇමරිකානු ඩොලර 11,000ක් පමණි. පසුව නැරඹුම් වාර අනුව සහ ගිවිසුම් ප්‍රකාරව තව මුදල් ලැබෙන්න ඇත. ඇගේ සිනමාපට අන්තර්ජාල ගතවීමෙන් ඉක්බිති පෝන්හබ් වෙබ් අඩවියේ වැඩිම නැරඹුම වාර ගණනක් හිමිකාරිය වූයේ මියා ය. 2015 වසරේ ඇය පෝන් හබ් වෙබ් අඩවියේ නැරඹුන්කාමීන්ගේ අශ්ලීල ඡන්ද විමසීමේදී අංක එකේ අශ්ලීල තාරුකාව වූයේ ඇය යි. 2017 ජනවාරියේ එක්ස් හැම්ස්ටර් වෙබ් අඩිවිය නිවේදනය කළේ ගෙවුණු වර්ෂය තුළ වැඩිම නැරඹුම් විමසුම් වාර ගණනක් සහිත නාමය ඇය සතු බවයි. 2018 වන විටත් පෝන්හබ් වැඩිම සෙවුම්වාර සහිත නාමය මියා කලීෆා වූවා ය.

මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ කුමක් ද? කවර ෆැන්ටසියක් ද? මගේ විග්‍රහය වන්නේ එය මුස්ලිම් විරෝධයේ ෆැන්ටසියක් බවයි. එය ඉස්ලාම ෆෝබියාමය ෆැන්සියක් බව යි. සැබැවින් ම නම් මෙකී නැරඹුම්කාමය පිටුපස වන ෆැන්ටසිය මියා කයිෆා නොව සසඟ අතරතුර ඇය පැළඳ සිටින හිජාබයයි. අරාබී විරෝධි, මුස්ලිම් විරෝධී මෙන්ම ඉස්ලාමෝෆෝබියාවේ ගැලුණු වෘත්තාකාර හදවත් නිවා දමන දිව දසුනක් වූයේ හිජාබය පැළඳ නිර්වස්ත්‍රව සිටින 20හැවිරිදි ඉරාන සම්භවයක් සහිත තරුණියයි.

සාරා ජෝව් ශමුන් නමින් නම් කෙරුණු ලෙබනනයේ බීරූට් නගරයේ උප්පත්තිය ලද්දී, දිග්ගැස්සුණු සංකීර්ණ දේශපාලන ආතතියක් සහිත ලෙබනනයෙන්, 2001 වසරේදී සිය දෙමාපියන් සමඟ ඇමරිකාවට සංක්‍රමණය වන කල වයස 7කි. ඇය උගුළේ වැටෙන මොහොතේ ඇස පළඳා තිබූ ශෘංගාරී උපැස පසුකලෙක ඇය ඩොලර බර ගණනකට වෙන්දේසි කළා ය. ඉන් ලද මුදල ඇය කෙලින්ම බැර කරන ලද්දේ ලෙබනනීය රතු කුරුස ව්‍යාපෘතිය වෙනුවෙනි. ඒ ලෙබනන ජනතාවගේ සුභ සිද්ධිය පිණිස ය. ඇය එවන් ස්ත්‍රියකි.

අමු කල්තරයේ එකෙල මෙකෙල වන සංජීව ලෝන්ලියස් මට මුලින්ම අභිමුඛ වූයේ ඔහු කලීෆා රැගෙනවිත් සිංහලෙන් ගීතයක් මත තැබූ විට ය. ඔහුගේ අමු ගීත කෙරෙහි මා ආකර්ෂණය කර ගත් පදනම මෙකී ප්‍රස්තුත කාලීෆා ම විය. මා මේ බව ඔහුට කියා තිබේ. ලෝන්ලියන්සියානු අමු ප්‍රවාදය මත රැඳුණු කට කැඩුණු අත්තිඩි වචන ගහණ ‘පිටකවරේ’ ගැන වෙන ම සංවාද කළ යුතු ය. නමුත් මෙකී පිටකවර ගීතය අවසාන වශයෙන් යෝජනා කරන්නේ කුමක් ද? මානවයකුගේ මතුපිට කියවීම ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තරය මනින මිනුම්දණ්ඩ නොවිය යුතු වගයි. පිටකවරය සහ කෘතියක අභ්‍යන්තරය අතර වන සහසම්බන්ධය කවරාකාර අර්ථයක් ගත්ත ද එය මියා කලීෆා සම්බන්ධයෙන් වන යථාව සමඟ සමාන්තරකරණය කළ හැකිය. ඒ කෙසේ ද යන්න තීන්දු වන්නේ ගාසා තීරය මත ඔබ දේශපාලනිකව හිටගෙන ඉන්නා උත්කර්ෂය අනුව ය. එසේ ම උතුරේ මංමාවත් වල ඔබ දේශපාලනිකව ඇවිද යන උද්වේගය අනුව ය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි