No menu items!
21.7 C
Sri Lanka
7 July,2025
Home Blog Page 80

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට පුරා තැනින් තැන අපට පෙනෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ මාදිලියේ විරෝධතාවන් ය. ගෝල්ෆේස් පිටිය යනු එම අදහස සක්‍රිය විරෝධාකල්පයකින් ප්‍රකාශයට පත්වෙන කුඩා බිම්කඩකි. රටේ වෙනත් සෑම තැනකම එම අදහස, වෙනත් මාදිලිවලින් දෛනිකව ප්‍රකාශයට පත්වෙයි. වසා ඇති සෑම ඉන්ධන පිරවුම්හලකම ඇති හිස්කමත්, විවෘතව ඇති සෑම ඉන්ධන පිරවුම්හලක්ම ඉදිරියේ ඇති දීර්ඝ පෝලිම් රාශියත්, රෑ දවල් දින ගණන් පාරේ පේළියට තබා ඇති දීර්ඝ ගෑස් සිලින්ඩර පේලිත්, තවත් පැත්තකින්, වෙළෙඳසල් තුළ හාල් කිලෝවක්, එළවළු ටිකක් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිලදී ගැනීමට ළතවෙන මිනිසුන්ගේ සහ බෙහෙත් ටික සොයාගැනීමට නොහැකිව රෝහල්වල විඳවන රෝගීන්ගේ මුහුණුවලින් පළ වන කලකිරීම සහ කෝපයත් ආදි සෑම කැඩපතක්ම, ගෝඨාභය ඇතුළු සකල රාජපක්ෂලා වහා ගෙදර යා යුතු බව කියන සජීවී ප්‍රකාශනයන් ය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය, රාජපක්ෂ පවුලේ අනාගතය වෙනුවෙන් ගෝඨාභය තියාගෙන වෙනත් රාජපක්ෂ කෙනෙකු හෝ දෙන්නෙකු විටින් විට මාරු කොට රටේ පාලනය තවදුරටත් ගැටගසාගෙන යාමට බලන සාමූහිකයක තත්වයට පත්ව තිබේ.


චරිත සහතිකයක් අවශ්‍ය කරන්නේ, නොදන්නා කෙනෙකු හඳුනා ගැනීමට ය. නම කී පමණින් එයම චරිත සහතිකයක් වන මිනිස්සු සිටිති. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල වැනි නම් ඇසූ පමණින් කෙනෙකුගේ කල්පනාවට එන දුර්ගුණ ගති ලක්ෂණ රාශියකි. මොවුන් දැන් දෙපෝයකට කලින් ‘අවලස්සන ඇමරිකානුවාගෙන්’ රටත් ජාතියත් බේරාගැනීමට පන්දම් අතට ගෙන ආවේශ වී සිටි බවක් පෙනුණි. අපේ බොහෝ දෙනා ඒ ගැන ප්‍රමෝදයට පත්වූහ. අතීතයේ මොන වැරදි කර ඇතත්, මේ මොහොතේ වීර චරිත සේ අප ඔවුන්ව භාරගත යුතුව ඇතැයි කියැවුණි. එය හැඳින්වුණේ රාජපක්ෂලා පෙරලා දැමීමේ ‘දේශපාලනික උපායමාර්ගයේ’ එක් කොටසක් වශයෙනි.


මෙය ලියන මොහොත වන විට ඔවුන් සියල්ලන් සිටින්නේ අර රාජපක්ෂලා සමග ය. තමන්ගේ එකෙකු බා ගැනීම ගැන කෝපයට පත්ව, ඒකා අස්කරන තෙක් කිසි සමාවක් නැතැයි කී ඊනියා ‘ස්වාධීනයෝද’ මේ වන විට ඒ පෝලිමේ සිටිති. රටේ මිනිසුන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල රස්තියාදු වන අතරේ මෙකී පරපුටුවන් දැන් පෝලිම් ගැසෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බේරාගැනීමට ය.

ජනතාව අඩි ගණනක් ඉස්සරහින්


සම්මත නායකත්වයට ඉදිරියෙන් ජනතාව පෙළගැසෙන අසිරිමත් අවස්ථාව මෙයයි. සුපුරුදු පරිදි සම්මත නායකත්වයන් පසුපස්සේ නොගොස්, තමන්ගේ න්‍යාය පත්‍රය එකී සම්මත නායකත්වයන් මගින් පිළිගන්වනු ලබන අද්විතීය අවස්ථාව මෙයයි. ඒ ප්‍රවණතාව කොතෙක් දුරක සාර්ථකත්වයක් අත්කර ගනීද යන්න ගැන ස්ථිරව යමක් කිව නොහැකි වෙතත්, මෙය ලංකාවේ ඓතිහාසික මොහොතක් බව නම් ඉඳුරා කිව හැකිය. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල සහ රාජපක්ෂවාදය ගෙදර යැවීමෙන් තොරව අර්බුදයට විසඳුමක් නැති බව තේරුම්ගැනීමට තරම් අද ලංකාවේ හුදී ජනයා මුහුකුරා ගොස් සිටින බව එයින් පෙනේ.
අත්හදාබැලීම් කරන සාමාන්‍ය තැන විද්‍යාගාරයයි. අත්හදාබැලීම් කරන්නේ විද්‍යාඥයා ය. ඒ, සත්‍යය දැනගැනීම සඳහා ය. කරන අත්හදාබැලීම වැරදුණොත් විද්‍යාඥයා කරන්නේ ඒ වැරැද්දෙන් පාඩම් උගෙන ඊළඟට වඩාත් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ අදාළ අත්හදාබැලීම් වෙත නැවත යොමු වීමයි. එහිදීත්, ඔහුගේ/ඇගේ අරමුණ වන්නේ සත්‍යය දැනගැනීමයි. (සත්‍යය යන වචනය නිරපේක්ෂ අර්ථයකින් නොගන්න).


විද්‍යාඥයා යනු, දැනුම් මට්ටමින් සහ බුද්ධි මට්ටමින් ඉහළ පුද්ගලයෙකි. එබැවින් ඔහුගේ/ඇගේ අත්හදාබැලීම් අසාර්ථක වුණත්, ඔහුගේ/ඇගේ ක්‍රමවේද, දැනුම සහ තර්ක ඥානය ගැන සාධාරණ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් කෙනෙකුට තැබිය හැකිය. එහෙත් ජන්ම මෝඩයෙකු සහ මන්දබුද්ධිකයෙකු අත්හදාබැලීම් කිරීමට ගියොත්, ඔහුට/ඇයට කිසි දවසක සත්‍යය සොයාගැනීමට නොහැකි වෙනවා පමණක් නොව, ආපසු හැරවිය නොහැකි විනාශයන් රාශියක් ඔහුගේ/ඇගේ අත්හදාබැලීම් හරහා සිදුවීමටත් ඉඩ තිබේ. එසේම, ජන්ම මෝඩයෙකු වීමට අමතරව, ඔහු/ඇය බොරුකාරයකුත් වන්නේ නම්, අත්හදාබැලීම් කොච්චර කළත් සත්‍යය වෙනුවට ලැබෙන්නේ බොරුවම සහ මිථ්‍යාවම ය. තවද, ජන්ම මෝඩයෙකු සහ බොරුකාරයෙකු වීමට අමතරව එම පුද්ගලයා අවස්ථාවාදියෙකුත් තක්කඩියෙකුත් වන්නේ නම්, එවැන්නෙකු අත්හදාබැලීම් කිරීමෙන් සාක්ෂාත් කරගැනීමට බලන්නේ, බොරුව සහ ස්වාර්ථයම පමණි. ගෝඨාභය රාජපක්ෂ අයිති වන්නේ මේ අවසාන ප්‍රභේදයටයි. ඔහු පළමුව මෝඩයෙකි/නූගතෙකි. දෙවැනුව වංචනිකයෙකි. තෙවැනුව, ස්වාර්ථය පතන පවුල්වාදියෙකි. එවැනි ‘විද්‍යාඥයෙකුගේ’ පරීක්ෂණයක් සඳහා පාවිච්චි කෙරෙන විද්‍යාගාරය වන්නේ මුළු රටක්ම නම්, ඒ පරීක්ෂණ සඳහා යොදාගන්නා රටහාවුන් වන්නේ මුළු මහත් ජනතාවක්ම නම්, එම රටට සහ ජනතාවට අත්විය හැකි විනාශයේ තරම කෙතරම්දැයි මේ මොහොත වන විට අපි ප්‍රත්‍යක්ෂයෙන් වටහාගනිමින් සිටිමු.

රටම බංකොලොත්ලු


ඊයේ (04) මුදල් ඇමති අලි සබ්රි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙළේය. ලංකාවේ විදේශ විනිමය සංචිතය මේ මොහොත වන විට ඩොලර් මිලියන 50 ටත් අඩු මට්ටමකට වැටී ඇති බව ඔහු කීවේය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මේ රටේ පාලනය භාරගන්නා අවස්ථාවේ ඩොලර් මිලියන නොව, බිලියන 7.6 ක විදේශ විනිමය සංචිතයක් තිබුණි. එය ඩොලර් මිලියන 50 දක්වා හිඳෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ කෙළේ කුමක්ද? මෙතෙක් කල්, අජිත් නිවාඩ් කබ්රාල්, බන්දුල ගුණවර්ධන සහ ආණ්ඩුවේ වෙනත් බකපණ්ඩිතයන් පුනපුනා අපට සුරංගනා කතා කීවේය. ඒ කතාවලට අනුව, කිසි දෙයකට අප බිය විය යුතු නැත. අපේ ණය ගෙවීමට පමණක් නොව, එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ සහ සේවා සපයාගැනීමටත් අවශ්‍ය කරන තරම් විනිමය සංචිතයක් අපට ඇත. රටේ ආර්ථිකය හැසිරවීම, ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ අතේ පවතින බවට කිසි සැකයක් ඇති කර නොගන්නැයි මේ පිරිස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එක් අවස්ථාවකදී ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවා දැමූ දා රෑ අජිත් නිවාඩ් කබ්රාල් රට ඉදිරියට විත් ලොකු කයිවාරුවක් ගැහැව්වේය. එකී ණය ගෙවාගැනීමට තමන්ට නොහැකි වෙතැයි අනාවැකි කී දුෂ්ට පුද්ගලයන්ට දැන් ඇස් ඇර බලන්නැයි ඔහු ආරාධනා කෙළේය.


ගෝඨාභය බලයට පත්වූ දා සිට මෙවැනි අත්හදාබැලීම් ගණනාවක් කර තිබේ. ඒ සෑම අත්හදාබැලීමක්ම තකතිරුයි. මුග්ධයි. ඒ නිසාම, ඒ කිසිවකින් හරවත් ප්‍රතිඵල අත්නොවුණා පමණක් නොව, ඔහුගේ අවසාන (අ)ගුණය වන ඔහුගේම ස්වාර්ථයේ අවසාන අරමුණ පවා (පවුල ආරක්ෂා කරගැනීමේ අරමුණ පවා) ඒ සියල්ල මගින් අනතුරට පාත්‍ර කරගත්තේය. අද වන විට “ගෝඨා ගෝ හෝම්” කියන තත්වයට මුළු රටම පත්ව ඇත්තේ, ඔහුගේ ඒ මුග්ධභාවයේ තරම ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් ඇඟට වදින තරමට මෝරා ගොස් ඇති බැවිනි.

ගෝඨාභයගේ ‘අත්හදාබැලීම්’ කිහිපයක්


බලයට පත්වූ ගමන් ඔහු කළ ප්‍රථම අත්හදාබැලීම වුණේ, ආණ්ඩුවේ ආදායම ව්‍යපාරිකයන්ගේ සුඛ විහරණය සඳහා කැප කිරීමයි. රටක් ආණ්ඩු කිරීමට ආදායමක් තිබිය යුතුය. ඒ ආදායම සහ වියදම අතර හිඟයක් ඇතොත්, එය දරාගත හැකි මට්ටමේ හිඟයක් විය යුතුය. පවුලක් නිදර්ශනයට ගන්න: යම් පවුලක් තමන්ගේ දෛනික ආදායම සහ වියදම අතර විශාල හිඟයක් තබාගෙන දිගටම ක්‍රියා කළොත් සිදුවන්නේ කුමක්ද? යම් දවසක, ලෝකයාට දස අතේ ණය වීමට අමතරව, ඊළඟ වේල කෑමට පවා සතයක් අතේ නැති වන යම් මොහොතකට ඒ පවුල පත්වීමයි. රටේ අයවැය පරතරය පිළිබඳ කාරණයත් ඊට සමානයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන අවස්ථාවට කලින් අවසාන වරට (2018) අපේ අයවැය හිඟය වශයෙන් පැවතියේ (රටේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව) සියයට 5.32 කි. ඔහු බලයට පත්වී මාසයක් ඇතුළත (2019 නොවැම්බරයේදී) ඔහු පළමු අත්හදාබැලීම පටන්ගත්තේය. එනම් බදු සහන මාලාවක් සැපයීමෙනි. බදු සහන කියූ ගමන් කෙනෙකුගේ හිතට එන්නේ ජනතාවට සපයන සහන වැනි හැඟීමකි. එහෙත් ඇත්ත වශයෙන්ම 2019 නොවැම්බර් මාසයෙන් පසු මේ රටේ සාමාන්‍ය ජනතාවට තමන් මිල දී ගනිමින් සිටි කිසි භාණ්ඩයක හෝ සේවාවක මිල අඩු වීමක් පිළිබඳ මතකයක් තිබේද? නැත, ගෝඨාභය රාජපක්ෂගේ බදු සහන කෙලින්ම ගියේ ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට ය. මේ බදු සහන මාලාව දීම නිසා, රජයට එතෙක් ලැබෙමින් තිබුණු ආදායම සියයට 20 කින් අඩු විය. ඒ අනුව, 2020 අයවැය හිඟය (දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව) සියයට 12.76 ක් දක්වා වැඩි විය. මේ අත්හදාබැලීම ගෝඨාභය ආණ්ඩුවෙන් කළ ලොකු වැරැද්දක් බව මුදල් ඇමති අලි සබි්‍ර ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ජනතාව යනු පරීක්ෂණ සඳහා බඩ පලන රටහාවුන්ද?


ඊළඟ අත්හදාබැලීමට ගෝඨාභය රාජපක්ෂ යොදාගත්තේ මේ රටේ ගොවි ජනතාව ය. අතුරලියේ රතන සහ චන්න ජයසුමන වැනි කෘෂි විශේෂඥයන් නොවන පිරිසක් කාලයක් තිස්සේ වකුගඩු පිස්සුවකින් විඳෙව්වෝය. රජරට ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝගයේ හේතුකාරකය රසායනික පොහොර භාවිතය යැයි ඔවුන්ගේ ප්‍රවාදයෙන් කියැවිණ. නාථ නමැති දෙවි කෙනෙකු ඒ ‘සත්‍යය’ ඔවුන්ට හෙළිදරව් කළ බවත් කියැවුණි. මේ රසායනික පොහොර-වකුගඩු සහසම්බන්ධය ඔප්පු කිරීමට අදටත් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත. එය කෙසේ වෙතත්, මේ සමග ඈඳුණු තවත් ප්‍රවාදයක් ආවේය. එනම්, කාබනික ආහාර නිෂ්පාදනය මගින් රටකට ශුද්ධ ලාභයක් අත්වන්නේය යන්නයි.


වර්තමාන ලෝක වෙළෙඳපොළේ කාබනික ආහාර පංගුව සියයට 2-4 අතර ප්‍රමාණයකි. ධනවත් යුරෝපයේ එය සියයට 2 කටත් අඩුයි. එසේ වී ඇත්තේ ඇයි? නිෂ්පාදන වියදම අධික නිසා ය. උදාහරණයක් වශයෙන්, කාබනික නොවන ආහාරයක මිල මෙන් තුන් ගුණයක මිලක් කාබනික ආහාරයක් සඳහා වෙළෙඳපොළේදී ගෙවන්නට සිදු වෙයි. ඊටත් අමතරව, රසායනික පොහොර භාවිතයෙන් ලබන අස්වැන්න කාබනික වගාවෙන් ලබා ගැනීමට නම්, ඒ සඳහා යෙදවිය යුතු භූමි ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි කළ යුතු වන්නේය. එහෙත් වගා කළ හැකි බිම් ප්‍රමාණය, දවසින් දවස ලෝකය පුරා අඩු වෙනවා මිස වැඩි වීමක් සිදු නොවන බැවින්, (වැඩි වීමක් කළ හැක්කේ තිබෙන කැලෑ ටිකත් එළි කිරීමෙන් පමණක් නිසා) කාබනික ගොවිතැන, වැඩි වන ජනගහනයක් පෝෂණය කිරීම සඳහා කොහෙත්ම නොසෑහෙන්නේය. ඒ සියලු තර්ක පැත්තකින් තියමු. දශක ගණනාවක් තිස්සේ කරගෙන ආ රසායනික පොහොර භාවිතයේ සිට කාබනික ගොවිතැනට පරිවර්තනය වීම කිසිසේත් එක රැයකින් කළ හැකි දෙයක් විය නොහැකි බව, කෘෂි විද්‍යාව ගැන හෝ වකුගඩු රෝග ගැන මෙලෝ අවබෝධයක් නැතිව සාමාන්‍ය බුද්ධියකින් සිතාගත හැකි දෙයකි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ නමැති ‘විද්‍යාඥයාට’ ඒ දැනුම නොතිබුණි. ඉතිං ඔහු අතුරලියේ රතන, චන්න ජයසුමන සහ fදාස්තර පාදෙනිය වැනි ‘උගතුන්’ කී නිසා රසායනික පොහොර ආනයනය එක රැයකින් තහනම් කෙළේය. අවසානයේ ප්‍රතිඵලය කුමක්ද? ගොවියන් දුප්පත් වීම, ආහාර හිඟය සහ මිල අධික වීම, එය පියවීමට වැඩියෙන් ආනයනය කිරීම සහ ඒ සඳහා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීම වැනි අබග්ග රාශියකි.


ඊළඟට, වසංගතය ආවේය. එහිදී මොහු කළ මුල්ම අත්හදාබැලීම් ඔබට මතකද? එන්නතකින් තොරව, දේශීය ඖෂධ මාර්ගයෙන් කොරෝනාව සුවපත් කළ හැකි බව කීවේය. ඒ වෙනුවට ඔහු නිර්දේශ කෙළේ, පැණියක් සහ ගඟට මුට්ටි දැමීමකි. එය බොරුවක් බව, විද්‍යාවෙන් ඔප්පු කිරීමට කලින්, මුට්ටි දැමූ එකාම එම රෝගයෙන් කාලක්‍රියා කරමින් ඔප්පු කෙළේය. එන්නත ආවේ ඊළඟටයි. ඒ එන්නත දුන්නේ කෙසේද? වසංගතයෙන් වැඩියෙන්ම මියයන්නේ වයස අවුරුදු 60 ට වැඩි මිනිසුන් බව ඒ වන විට මුළු ලෝකයාම නිරීක්ෂණය කොට තිබුණු සත්‍යයකි. එහෙත් ලංකාවේ එවැනි භාවිතයක් තිබුණේ නැත. බාල මහලු සියලු දෙනාට, වයස පිළිබඳ අනුපිළිවෙලකින් තොරව, එන්නත දීගෙන ගියේය. මරණයට පත්විය යුතුව සිටි ස්වාභාවික මරණ මෙන් දෙගුණයක් වැඩිහිටි ජීවිත ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූහ.

ආර්ථික ‘මොළයක්’ රටකට කළ විපතක්


ඩබ්. ඩී. ලක්ෂමන් නමැති ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් මොහු ළඟට විත් අලුත් සොයාගැනීමක් තමන් ළඟ ඇතැයි කීවේය. එය හැඳින්වෙන්නේ, ‘නූතන මූල්‍ය න්‍යාය’ නමිනි. එම න්‍යායට අනුව, රටක කොච්චර සල්ලි අච්චු ගැසුවත් වෙළෙඳපොළේ බඩු මිල ඉහළ යාමකට එය බලපාන්නේ නැත. ආර්ථික විද්‍යාව යන වචනය ඉස්කෝලේදීවත් අසා නැති නායකයෙකුට, හතරඅතේ ආර්ථික පඹගාලක හිර වී සිටින නායකයෙකුට මෙවැනි ‘හෙළිදරව්වක්’ දිව ඔසුවක් වනු නියති. අච්චු ගැසීමට මැෂිමක් තිබේ නම්, කඩදාසි සහ තීන්තත් තිබේ නම්, තවත් ප්‍රශ්න කුමටදැයි එවැනි පුද්ගලයෙකුට නිතැතින් සිතෙනු ඇත. ඒ අනුව (අද වන විට) රුපියල් ටි්‍රලියන පහකුත් ඉක්මවන මුදලක් අලුතෙන් අච්චු ගැසීම ඇරඹුණි. ඔබ අද වෙළෙඳපොළට ගොස් පාන් ගෙඩියක් සඳහා රුපියල් 140 ක් ගෙවන්නේ ඒ හේතුවෙනි. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 343 ක් ගෙවන්නේ ඒ හේතුවෙනි. එය ගෝඨාභය රාජපක්ෂගේ තවත් ‘අත්හදාබැලීමකි.’


ඊළඟ ‘අත්හදාබැලීම’ ගැන මෙසේ සිතමු. යම් කෙනෙක් මගෙන් ණයක් ඉල්ලයි. ඔහු බේබද්දෙකි. සූදු අන්තුවෙකි. නාස්තිකාරයෙකි. ඒ නිසා, ඔහු ඉල්ලන ණය දීමට නම්, ඒ ණය ආපසු මට ගෙවන්නේ කෙසේදැයි පෙන්විය යුතු බව මම ඔහුට කියමි. අහවලාගෙන් තවත් ණයක් ඉල්ලා එය ගෙවිය හැකි බව ඔහු කියයි. නැත්නම්, දැනට මිල දී ගෙන ඇති ලොතරැයිය ඊළඟ ඉරිදා සහතික වශයෙන්ම ඇදෙන බැවින් මගේ ණය එයින් පියවිය හැකි බව ඔහු කියයි. ඒ කිසිවක් විශ්වාස නොකරන මම, ඔහු බීමෙන් සහ සූදුවෙන් අත්මිදෙන්නේ නම් සහ නාස්තිය නතර කරන්නේ නම් පමණක් යම් ණයක් දිය හැකි බව කියමි. ඔහුට ඒ ‘කොන්දේසි’ අල්ලන්නේ නැත. ඒ නිසා ඔහු පොලීකාරයන් සොයා ගියේය. අවුරුදු දෙකක් ගත විය. ඉහත කී පරිදි, දෙකෝටියක් ජනතාවට ආහාර, ඖෂධ සහ වෙනත් සේවා සැපයීම සඳහා තමන් අතේ දැන් ඇත්තේ, ඩොලර් මිලියන 5 ක් පමණක් යැයි කියන මොහොතට දැන් ඔහු පැමිණ සිටී. අයි.එම්.එෆ්. හෙවත් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ යාමට අවුරුදු දෙකකුත් කල්මැරූ කතාව කෙටියෙන් එයයි. මෙය තමා අතින් සිදු වූ වරදක් බව ගෝඨාභය රාජපක්ෂ අද අපට කියයි.
අද අප ගෙවන්නේ 74 වසරක ශාපයක් යැයි කීම, නිශ්චිත ප්‍රශ්නයක් සාමාන්‍යකරණයට ලක්කිරීමකි. එම කතාවේ ඇත්තක් ඇතත්, එයින් සිදුවන්නේ නිශ්චිත සහ හදිසි හේතුව දියාරු කිරීමයි. මෙය වනාහී, සත්තකින්ම දෙවසරක ශාපයකි. මොහොතක් මෙසේ සිතන්න: අද උදේ 8 ට ලයිට් කපන බව ඔබට දැනුම් දී තිබේ. එය පැය 12 ක ලයිට් කැපීමක් බවත් ඔබ දනී. ඒත්, අදත් උදේට නැගිටින ඔබ වෙන දවස්වල කරමින් සිටි දේවල්ම කරනවා මිසක, ලයිට් තියෙන වෙලාවේ වහා කරගත යුතු වැඩ කොටස නොකර සිටී. උදාහරණයක් විදිහට, රක්ෂාවට යාමට ඇඳුම් ටික මැදගැනීම, රයිස් කුකර් එකේ බත් ටික උයාගැනීම, ටෙලිෆෝනය චාර්ජ් කරගැනීම ආදි, ලයිට් තියෙන වෙලාවේ කරගත යුතු වැඩ පැත්තකින් තියා, වෙනදා වගේම බුදුන් වැඳීම, ශරීර අභ්‍යාස කිරීම වැනි දේවල් කරමින් සිටී. උදේ 8 ට ලයිට් යයි. බුදුන් වඳින වෙලාවේ ඇඳුම් ටික මැදගත්තා නම් මොන තරම් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ එවිට ය. පසුගිය අවුරුදු දෙකහමාරේ කතාව දළ වශයෙන් ඊට සමානයි.


මගේ ප්‍රශ්නය මෙයයි: ජනතාවක් සමග කරන මුග්ධ අත්හදාබැලීම්වල විනාශයට වන්දි ගෙවිය යුත්තේ ජනතාවද? එම අත්හදාබැලීම් කළ පාලකයාද?■

ඉහළ ගිය රසායනික පොහොර මිල නිසා යල කන්නය අවදානමේ

0

■ නිශානි සවින්දිකා රාජපක්ෂ

රට පුරා ගොවීන් යල කන්නය සඳහා සූදනම් විය යුතු කාලය උදා වී තිබේ. නමුත් තවමත් ගොවිබිම්වලින් ඇසෙන්නේ ගිය කන්නයේ වී ගොවිතැනෙන් අසරණ වූ ගොවීන්ගේ අඳෝනාත්මක රාවය පමණි. පසු ගිය කන්නය ගොවීන්ට මහත් පීඩාවක් ගෙන දුන්නකි. හිටි හැටියේම කෘෂි රසායනික පොහොර ගෙන්වීම නවතා දැමීම රාජපක්ෂ පාලනය ගත් අදූරදර්ශී තීරණයකි. මෙනිසා ගොවීන් කබලෙන් ලිපට වැටී හමාරය. රටේ අස්වැන්න 50%කින් අඩුවීම නිසා සහල් මිල ද අදහාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබේ. යල කන්නය සදහා ද රසායනික පොහොර ගොවීන්ට ලබා නොදුන්නොත් සිදුවන්නේ ද මහ විපතකි. මිලෙන් වැඩි පොහොර හෝ කෘමිනාශක ගොවීන්ට ලබා ගත නොහැකි වී ඇත්තේ ද ඒවායේ පවතින හිඟකම නිසායි. සමස්ත වගා භූමිවලට අවශ්‍ය රසායනික පොහොර හෝ කෘමිනාශක ගෙන්වීමට රජය අපොහොසත් බව නම් පැහැදිලි ය.


යල කන්නයේ වී වගාව සදහා මේ වන විට රටේ ගොවි ජනතාවගේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:
“මේ ආණ්ඩුව බලයට පත්වන විට කිලෝ 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 1,500 යි. මේ වෙන කොට රුපියල් 40,000කට වැඩි මුදලක් වැය කරලා පොහොර ලබා ගනිමින් යල කන්නය වගා කිරීමට ගොවීන්ට සිදුව තිබෙනවා. පොහොර වෙනුවෙන් පාලන මිලක් තවමත් ක්‍රියාත්මක නැහැ. අතරමැදියන්ට අවශ්‍ය විදියට පොහොර මිල නියම කරනවා- කෘමිනාශක, වල්නාශක යන දේවල් බොහොම හිඟයි. ඊටත් වඩා මිලෙන් වැඩියි. කලින් නම් වී ගොවියන්ට පොහොර ලබා දුන්නේ නොමිලේ. මේ වෙනකොට කිසිම සහනයක් වී ගොවීන්ට ලැබෙන්නේ නැහැ. රුපියල් 40,000ට පොහොර අරන් රටේම කුඹුරු කරන්න පොහොර ලංකාවේ නැහැ. එහෙම කුඹුරු කරන එක ගොවියන්ට පාඩුයි.”


“වගා භූමි සැකසීම භාවිත කරන මහ ට්‍රැක්ටර් සහ අත් ට්‍රැක්ටර් සඳහා භාවිත කරන ඉන්ධන මිල වැඩි වීම නිසා ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.’ මේ වන විට කුඹුරු අක්කර දෙකහමාරක වගා බිම් සැකසීම සදහා රුපියල් 60,000ක පමණ මුදලක් වැය බවයි නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. එමෙන්ම වගාවේ අස්වනු නෙළනා කාලය වන විට අස්වනු නෙළීමේ යන්ත්‍ර සඳහා ඉහළ මිලක් නියමවනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.


ගොවි සංවිධාන සහ ගොවි ජනතාව පවසන්නේ රසායනික පොහොර නොදෙනවා නම් යල කන්නය වගා කිරීම අසීරු බවයි. මහ කන්නය වගා කිරීමේදී ගොවීන් රසායනික පොහොර නොමැතිව අසරණ වූ නිසා යල කන්නයට අත පෙවීමට ගොවීන් අකමැති ය. පවතින ආණ්ඩුව බලයට පත් වූයේම පොහොර සහනාධාර ලබා දෙන බවට සිය මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් කරමින් ය. නමුත් මේ වන තුරුද පොහොර සහනාධාර ගොවි ජනතාවට නම් ලැබී නැත. යල කන්නය සදහා ජලය ලබා දිය හැකි වුවත් ගොවීන් යල කන්නය සඳහා තවමත් සූදානමක් නැති බව නම් පෙනී යයි. නමුත් යල කන්නයේ වගා භූමි සැකසීම මැයි මස මුල් සති කිහිපයේ සිදු කළ යුතුය. නැතහොත් ගොවීන් තව දුරටත් අපහසුවට පත් වන අතර වගා බිම්වලට සිදු වන කෘමි හානි සහ වසංගතවලට මුහුණදීමට පවා සිදු වනු නොවනුමානය.
ගොවීන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය කලට වේලාවට නොලැබීම නිසා ගොවීන් මේ වන විට පත්ව ඇති අර්බුදය පිළිබඳව අදහස් දැක්වූ ජාතික ගොවි හඬ ව්‍යාපාරයේ ජාතික මණ්ඩල සභික ටෙරන්ස් ගාමිණී:


“රටේ ගොවිතැන් කිරීම නියමිත කාලයට සිදු කළ යුතු යි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලැබෙනකල් බලාන හිටියොත් රටේ කාටත් කන්න නැතිවෙනවා. මහ කන්නයේ වගාකිරීම ආරම්භ කරද්දි හාල් කිලෝවක් තිබ්බෙ රුපියල් 100ට. අස්වැන්න නෙළන කාලය වන විට රුපියල් 200ක් වෙලා. තවම යල කන්නය පටන්ගත්තේ නැහැ. දැන් හාල් කිලෝවක් රුපියල් 240ක්. මේ කන්නයේ අස්වැන්න නෙළන්නෙ අගෝස්තු මාසයේ දී- ඒ වෙනකොට හාල් කිලෝ එක රුපියල් 500කටවත් ගන්න වෙයි. ඒ නිසා පොහොර නෑ කියල වගා නොකර ඉඳලා බෑ. අඩුම තරමෙ සුළු ගොවියන් වත් වගා කිරීම ආරම්භ කළ යුතුයි.”
රටේ කෘෂිකර්මාන්තය බිඳවැටීම තුළින් දරුණු ආර්ථික ආහාර හිඟයක් නිර්මාණය වනු ඇත. රසායනික පොහොර නොමැතිව ගිය කන්නයේ ලබාගත්තේ මුළු අස්වැන්නෙන් අඩකටත් අඩු ප්‍රමාණයකි. ඒවායේ ප්‍රතිඵල අපි වර්තමානයේ භුක්ති විඳිමින් සිටිමු. පොහොර නැත්නම් වතුරත් එපා කියූ ගොවීන් මහ කන්නය වගා කිරීමට කුඹුරට බැස්සේ පොහොර දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ නිසාය. නමුත් මහ කන්නය ඉබාගාතයේ යන්නට හරිමින් පාලකයන් උඩ බලාගෙන සිටියේ බත් නොකන්නන් ලෙසිනි. යල කන්නය වගා කිරීම ගොවීන් අතහැර තිබෙන්නේ ඔවුන් පසුගිය කන්නයේදී පොහොර නැතිව දැඩි අපහසුතාවට පත් වූ නිසාය-
ටෙරන්ස් ගාමිණී මහතා වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි.


“මැයි පළවෙනිදාට යෙදුණු කම්කරු දිනයේ දී ගොවීන් සංවිධානය කළ පෙළපාළියේ ප්‍රධාන සටන් පාඨය වූයේ “පොහොර දියව්, පොහොර දියව්, වල් නාශක අපටදියව්” යන්නයි. රටට අවශ්‍ය රසායනික පොහොර හදිසියේ ගෙන්වීමට හෝ කෘමිනාශක ගෙන්වීමට තරම් ඩොලර් වත්කමක් ලංකාවට දැන් නැහැ. රසායනික පොහොර නොමැතිව හෝ ගොවියන් වගා කිරීම ආරම්භ කළ යුතුයි. නැතහොත් කබලෙන් ළිපට වැටෙන්නේද කුඩා පරිමාණයේ ගොවීන්මයි. එනිසා ගොවිතැන නතර කිරීම, පවතින අර්බුදයට විසඳුම නොවෙයි. කාබනික පොහොර භාවිතයෙන් කරන වගාවන් රසායනික පොහොර යොදා කරන වගාවට වඩා අස්වැන්න අඩුවිය හැකියි. නමුත් වගා නොකර අතහැර දමනවාට වඩා අඩු අස්වැන්නක් ලබාගැනීමට හෝ වගා කළ යුතුයි. නැතහොත් මේ කන්නය අවසානය වන විට ආහාර හිඟයක් ඇතිවනු නිසැකයි. මෙම මොහොතේ ආණ්ඩුවට පළිහක් සේ සිටීමෙන් ගොවීන්ට සිදුවන්නේ මහත් පාඩුවක්-”
ආණ්ඩුවේ අලුත්ම රැවටිල්ල වන්නේ ගොවීන්ට අවශ්‍ය පොහොර කලවමේ ලබා දෙන බව පැවසීමයි. ඒ 50%ක් රසායනික පොහොරත් ඉතිරි 50% කාබනික පොහොරත් ලෙසින් ය. යල කන්නයට අවශ්‍ය පොහොර හිඟකම සහ කලවම් පොහොර ගොවියාට ලබාදීමෙන් කෘෂිකර්මාන්තයට බලපාන ආකරය පිළිබඳව මහාචාර්ය බුද්ධි මාරඹේ දැක්වූ අදහස මෙසේ ය.
“සෑම ජීවියෙකුටම හොඳ පෝෂණයක් අවශ්‍යයි. ගසක් කියන්නෙත් ජීවියෙක්. සිංහරාජ වනාන්තරයේ ශාකවලට අවශ්‍ය පෝෂක කොටස් ඒ තුළම නිෂ්පාදනය කරගන්නවා. ඒක චක්‍රීය ක්‍රියාවලියක්. නමුත් වී ගොවිතැනේදී අස්වැන්න නෙළාගත් පසුව පසට දිරා යාමට අවශ්‍ය කොටස් වගා භූමිවලින් ඉවත් කරනවා. ඒ නිසා ගොවි බිම්වල පස නිසරු වෙලා තියෙන්නේ. යල සහ මහ කන්නයේදී හෙක්ටයාරයකින් නයිට්‍රජන් 100%-105% ත් අතර ප්‍රමාණයක් වගා භූමියෙන් ඉවත් වෙනවා. ඒ ඉවත්වන පොහොර නැවත වගා කිරීමේදී ගොවි බිම්වලට ලබා දිය යුතුයි. ඒ නිසා කෘෂිකර්ම පර්යේෂණ ආයතනය හෙක්ටයාරයකට යූරියා කිලෝ 225ක් අවස්ථා කිහිපයකදී ලබා දිය යුතු බව නිර්දේශ කරලා තියෙනවා.


යල කන්නයට 35%ක් සහ මහ කන්නයට 65%ක් ලෙසින් වී ගොවිතැන රටේ සිදු කරනවා. පසුගිය යල කන්නය අතර මැද දී රසායනික පොහොර ගෙන්වන එක නතර කළා. කලින් ගෙනාව පොහොර තිබුණ නිසා යල කන්නය යාන්තමට ගොවීන් ගැටගහගත්තා. නමුත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට තිබුණේ නැහැ. යල කන්නයේදී ඇතැම් පිරිසක් පොහොර යම් ප්‍රමාණයක් අරන් තියාගත්තා. කෙසේ නමුත් මහ කන්නය අසාර්ථක වුණා. පසු ගිය කාලයේ දියර පොහොර ගැන නිතරම කතා කළා. නමුත් වී ගොවිතැනේදී දියර පොහොර වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස දකින්න බැහැ. මොකද වී ශාකය කියන්නෙ මූල පද්ධතිය හරහා ගසට පෝෂණය ලබාගන්නා ශාකයක්. පත්‍රවලින් ගසට පොහොර ලබාගන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. පසු ගිය කාලයේ දියර පොහොර ගැන නිතරම කතා කළා. නමුත් වී ගොවිතැනේදී දියර පොහොර වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස දකින්න බැහැ. මොකද වී ශාකය කියන්නෙ මූල පද්ධතිය හරහා ගසට පෝෂණය ලබාගන්නා ශාකයක්. ගොයම් ගසේ පත්‍රවලින් ගසට පොහොර ලබාගන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්.


ලෝකයේ යූරියා පොහොර නිෂ්පාදනය කරන දෙවැනි රට ඉන්දියාව. පසුගිය දිනවල ඉන්දියාවෙන් ලැබෙන ණය ආධාර ගැන කතා කළත් එහි කෘෂිකාර්මික යෙදවුම්වලට ණය දීලා නැහැ. නමුත් ඉන්දියාවෙන් 50%ක් වත් පොහොර ගෙන්වීම සිදු කළ යුතුයි. නැතිනම් මේ කන්නය වගා කිරීම සඳහා පොහොර සහ වතුර යන දෙකම වී ගොවීන්ට අහිමි වනවා.
දැන් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා රසායනික පොහොර සහ කාබනික පොහොර 50%ක් ලෙස ගොවීන්ට ලබාදෙන්න. මුකුත්ම නැතුව වගා කරනවාට වඩා 50ට 50 කියන්නෙ හොඳ සංකල්පයක්.”■

අමාත්‍යාංශවලට විෂයන් වෙන් කිරීමෙන්ද ජනාධිපතිවරයා ෆේල්ය

තමා සමඟ කටයුතු කරන විද්වතුන් රට පුරා ඇති ගම්මාන 25,000කට ගොස් හඳුනාගත් ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් සකස් කර ඇතැයි කී ජනාධිපතිවරයාට ඒ කිසිදු සැලසුමක් ඉදිරිපත් කිරිමට බැරිවීමෙන් දැන් ගෝ හෝම් ගෝටා හෙවත් ගෙදර යන්න යැයි ජනතාව පාරට බැස කියන්නට පටන් ගෙන ඇත.


ජනතාවගේ ගතට සිතට දැනෙන ජනාධිපතිවරයාගේ මෙම ෆේල්වීම ඔහු බලයට පත්වී අවුරුදු දෙකහමාරක් ගතවීමේදී අමාත්‍යාංශ සඳහා විෂයන් වෙන් කිරීමේ ගැසට්ටුව 24 වරක් මේ දක්වා වෙනස් කරමින් ප්‍රකාශයට පත්කිරීම තුළින්ද අපට හඳුනාගත හැකිය. මෙවර ඔහු එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අලුතින් පත්කරන ලද කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සඳහාය. මෙම කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය වූ කලීද එකම විහිළුවකි. රට පුරා ජනතාව ගෝ හෝම් ගෝටා යැයි පාරට බැස විරෝධතා දක්වමින් කියන විට ඔහු කළේ ඔහු ගෝ හෝම් නොවී හා අගමැති මහින්ද රාජපක්ෂද ගෝ හෝම් නොවී අනෙකුත් කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වීමට සැලැස්වීමය. එම ඉල්ලා අස්වීමෙන් පසු ඇමති ධුර බාර ගන්නයැයි ඔහු නිල නොවන ආකාරයට විපක්ෂයට ආරාධනා කළේය. කැබිනට් මණ්ඩල සාමාජිකයින් අස්වීම හා ඉන්පසු විපක්ෂය එම තනතුරු බාර ගැනීම ගැන කිසිඳු සාකච්ඡාවක් සිදු නොවී එසේ සිදුවූයේ රාජපක්ෂවරුන්ම දන්නා අමුතු සෙල්ලමක් ආකාරයටය. ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය උත්සන්න වනවිට නිමල් ලාන්සා, රොෂාන් රණසිංහ යන පොහොට්ටු පක්ෂයේ රාජ්‍ය ඇමතිවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය ඇමතිවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය ඒ වනවිටත් පැවතියේ දියාරු වන තත්වයකය. කැබිනට් තබා රාජ්‍ය ඇමතිවරයකුටවත් ආරක්ෂක සේනා නොමැතිව පාරේ බැස යා නොහැකි තත්වයක් ඒ වනවිට උත්සන්න වෙමින් පැවති අතර මේ මොහොතේත් එය එසේමය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැර කැබිනට් මණ්ඩලයේ සියල්ලන් ඉල්ලා අස්වීමෙන් පසු සිදුවූයේ තවත් සෙල්ලමකි. අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කරනවා යැයි කියා පරණ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ පරණ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවිරුම් දීම මුලින් සිදුවිය. සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩු එහි නොවූ අතර තමන්ට අවශ්‍ය කැබිනට් අමාත්‍යාංශ මුලින් වෙන්කර ගැනීම එහිදී සිදුවිය. විපක්ෂය ඒවා ප්‍රතික්ෂේප කළේ ඒ නිසාය. ජීඑල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අලි සබ්රි හා රමේෂ් පතිරණ එකී ඇමතිවරුන් වූ අතර තිබූ විෂයන් මාරු වූයේ අලි සබ්රිගේ පමණය.


එයත් හරිගියේ නැති තැන නැවත කැබිනට් මණ්ඩලයක් පත්කරන ලද අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට පමණක් එහිදී තනතුර අහිමි විය. එසේ වුවද මුල් ඇමතිවරුන් අතර නොසිටි ප්‍රසන්න රණතුංග වැනි අයටද නැවත කැබිනට් ඇමතිකම් ලැබුණි. කැබිනට් මණ්ඩලයේ ඉතිරි තනතුරු පුරවන ලද්දේ රාජ්‍ය ඇමතිවරුන්ට කැබිනට් ඇමති ධුර පිරිනමමින්ය. රාජ්‍ය ඇමති ධුරවල පිරිසක් ඒ ආකාරයටම සිටි අතර මෙතෙක් තනතුරු නොලත් නවක මන්ත්‍රීවරුන්ගෙන් පුරප්පාඩු පුරවනු ලැබිණි. මෙහිදීත් ජනාධිපතිවරයා කළේ සිය සෙල්ලම ඉදිරියට ගෙන යෑමය. ඉහතින් සඳහන් කරන ලද අමාත්‍යාංශ විෂයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය අප්‍රේල් 28 දින සහිත නිකුත් කර ඇත්තේ මේ අලුත් යැයි කියන පරණ පිරිස්ද ඉන්නා අලුත් කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් සඳහාය.


එයට අනුව රට අලුතින් නිර්මාණය කිරීමට කැබිනට් අමාත්‍යාංශ 31ක් ඇති කර තිබේ. ඉන් ආරක්ෂක හා තාක්ෂණ යන අමාත්‍යාංශ දෙක ජනාධිපතිවරයා යටතේය. බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස යන අමාතයාංශ දෙක අගමැතිවරයා යටතේය. අයියා මලෝ දෙන්නා අමාත්‍යාංශ 4ක් බෙදාගත් පසු සෙස්සන්ට ඇත්තේ අමාත්‍යාංශ 27ක් පමණය. රාජ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාව 39කි. එම ගැසට් පත්‍රයට අනුව එකී රාජ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බව අනුමාන කළ හැකිය. ඒ මුදල්, පරිසර, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ, ඉඩම්, බලශක්ති,වරාය හා නාවික, ජනමාධ්‍ය, මහජන ආරක්ෂක හා සමෘද්ධි සංවර්ධන යන කැබිනට් අමාත්‍යාංශවලට රාජ්‍ය අමාත්‍යාංශ තවම නම්කර නැති බැවිනි.


ආරක්ෂක අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ දෙකකි. එකක් ආරක්ෂකය. අනෙක ආපදා කළමනාකරණය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ 4කි. ඒ නාගරික සංවර්ධන, නිවාස, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් සහ වෙරළ සංරක්ෂණ වශයෙන්ය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද රාජ්‍ය අමාත්‍යාංශ දෙකකි. ඒ ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන වශයෙන්ය. අධ්‍යාපන අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ 4කි. ඒ අධ්‍යාපන, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා, උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයටද රාජ්‍ය අමාත්‍යාංශ දෙකකි. ඒ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය වශයෙන්ය. කෘෂිකර්ම අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ තුනකි. ඒ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම, පශු සම්පත් සහ ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන වශයෙන්ය. වාරිමාර්ග අමාත්‍යාංශයටද රාජ්‍ය අමාතයාංශ දෙකකි. ඒ වාරිමාර්ග සහ මහවැලි වශයෙන්ය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයටද රාජ්‍ය අමාත්‍යාංශ දෙකකි. ඒ වැවිලි සහ සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන වශයෙන්ය. මහාමාර්ග අමාත්‍යාංශයටද රාජ්‍ය අමාත්‍යාංශ දෙකකි. ඒ මහාමාර්. හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වශයෙන්ය. වෙළඳ අමාත්‍යාංශයටද රාජ්‍ය අමාතයාංශ දෙකකි. ඒ වෙළඳ සහ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ වශයෙන්ය. කර්මාන්ත අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශ තුනකි. ඒ කර්මාන්ත, පේෂ කර්මාන්ත හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධන සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත වශයෙන්ය.


මේ ආකාරයට කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ කුමකටද යන ප්‍රශ්නය මෙම විෂයන් වෙන්කීරීමේ ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කිරීමේදී අපට යළි යළිත් පෙන්නුම් කරන කාරණය වේ. ඊට හේතුව අමාත්‍යාංශයක් යනු දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන කිහිපයක් පාලනය කළ යුතු හා නායකත්වය දිය යුතු එකක් වන නිසාය. එහෙත් මෙම විෂයන් වෙන් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය තුළින්ද අපට පෙන්නුම් කරන්නේ සමහර අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවලට එවැනි කාර්යභාරයක් නැති බවයි.


නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍යාංශය ගතහොත් ඒ යටතේ ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා හොටෙල් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගම පමණය. එම අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ යුත්තේ නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත පමණය. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඊට වඩා කාර්යභාරයක් පවරා තිබේ. ඒ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය(පොදු පහසුකම් මණ්ඩලය) සහ සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන ආයතන තිබේ. ඒ යටතට නාගරික සංවර්ධන අධිකාරි පනත, නාගරික සංවර්ධන ව්‍යාපෘති පනත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරි පනත, බද්ධ නිවාස අයිතිවාසිකම් 2018 හා 1999 පනත් හා පොදු පහසුකම් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමේ බලය පවරා තිබේ. එහි තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් වන නිවාස රාජ්‍ය අමාත්‍යාංශයට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ඕෂන් විව් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් පවරා තිබේ. ඒ අනුව එම විෂයට කැබිනට් අමාත්‍යාංශයක් කුමකටද යන ප්‍රහ්නය පැනනඟී.


විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ගතහොත් ඒ යටතේ ඇත්තේ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යාන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය පමණය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය පමණය. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය පමණය. ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇත්තේ ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණ හා ජනාවාස අධිකාරිය පමණය. වාරිමාර්ග රාජ්‍ය ඇමතිවරයාට ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුබද්ධ ආයතන පමණය.(ඒවා කුමක්දැයි නම්කර නැත) මහවැලි රාජ්‍ය ඇමතිවරයාට ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පමණය. ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයාට ඇත්තේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව පමණය.


අමාත්‍යාංශවලට විෂයන් වෙන් කිරීමේ මෙම ගැසට් පත්‍රය මගින්ද ජනාධිපතිවරයා මේ රටේ පොදු මහජනයා පාරට බැස කියනා ලෙසම නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ ඔහු ෆේල් බවය. ආර්ථික අතින් තවදුරටත් වැටෙන්නට තැනක් නැති මේ රටට මෙතරම් කැබිනට් හා රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. කොහොමත් රාජ්‍ය ආයතනයක් හෝ කිහිපයක් පාලනය කිරීම සඳහා කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යාංශ අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දී සංතෝෂ කිරීම නොව රට කාර්යක්ෂමව පාලනය කිරීමට කැබිනට් හා අනෙකුත් ඇමතිවරුන් අවශ්‍ය නම් පත් කිරීමය.
මෙම විෂයන් වෙන්කිරීමේ ගැසට් පත්‍රයේ සිදුවී ඇති එකම වෙනස වන්නේ කාගේ හෝ ඔළුව අමාරුවට දමන ලද උක්,බඩඉරිඟු, අලිවැට අගල් වැනි ලෙස වූ රාජ්‍ය අමාත්‍යාංශ නාමකරණයන් ඉවත් කර තිබීම පමණය.■

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ

0

■ ධනුෂි ලිහිණිකඩුව


මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඖෂධ හිඟය සඳහා ඉදිරියේ දී කඩිනමින් විසඳුම් නොලැබුනහොත් රෝගීන්ගේ ජීවිත අනතුරට පත් විය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිළධාරියකු අනිද්දාට අදහස් දක්වමින් පැවසීය.


රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මහරගම අපේක්ෂා රෝහගේ රෝගීන්ට අවශ්‍ය වී ඇති ඖෂධ වර්ගවල හිඟය හේතුවෙන් රෝගීන් සඳහා අඛණ්ඩව ප්‍රතිකාර සැපයිය නොහැක තත්ත්වයක් උදා විය හැකි බවත් ජාත්‍යන්තර හෝ දේශීය වශයෙන් පරිත්‍යාග මත මේ මොහොතේ යම් යම් බෙහෙත් වර්ග එම රෝහලට ලැබුන ද ඒවා කෙතරම් කාලයක් සඳහා ප්‍රමාණවත් වේ ද යන්න නිශ්චිතවම කිව නොහැකි බවත් එම නිළධාරියා පැවසී ය.


ඒ අනුව පැක්ලිටැක්සෙල් නැමැති ඩිම්බකෝෂයේ උසස් පිළිකා සහ පියයුරු සහ පෙනහළු පිළිකා ඇතුළු අනෙකුත් විවිධ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට පළමු පෙළ සහ පසුව ප්‍රතිකාර ලෙස භාවිතා කරන ටැක්සොයිඩ් රසායනික චිකිත්සක කාරක ඖෂධය මේ වන විට පවතින්නේ මාත්‍රා 10ක ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරියේ දී එය හිඟ විය හැකි බවත්, පිලිකා සෛල වර්ධනය අඩු කරන ෆිල්ග්‍රාස්ටිම් නැමැති ඖෂධය නැවත නොලැබුණහොත් දැනට පවතින ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ අද දිනයට (මැයි 05) පමණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය. ක්ලෝරැම්බසිල් ඕරල් නැමැති නිදන්ගත වසා ලියුකේමියාව, හොඩ්කින්ගේ රෝගය සහ අනෙකුත් ලිම්ෆෝමා වැනි රුධිර හා වසා පද්ධතියේ විවිධ වර්ගයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන, බාහිර රෝගී අංශයෙන් ලබාගත යුතු පිළිකා නාශක ඖෂධය මේ වන විට සම්පූර්ණ හිඟ තත්ත්වයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කරයි.


මේ පිළිබඳ අප කළ විමසීමේ දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ රට තුළ පවතින තත්ත්වයත් සමග සියලු රෝගවලට ලබා දෙන ඖෂධවල හිඟ තත්ත්වයක් පවතින බවයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ වැඩ පිළිවෙළවල් හරහා හිඟ බෙහෙත් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.■

රාජපක්ෂවරු ප්‍රසිද්ධියේ මැදමුලනේ නෑ

0

■ ඉඳුවර බණ්ඩාර


රාජපක්ෂවරුන්ට එරෙහිව රටතුළ මහජන විරෝධතා උත්සන්න වීමෙන් පසු ඔවුන්ගේ උපන් නිවස වන මැදමුලනට දේශපාලනයේ නිරත කිසිඳු රාජපක්ෂවරයකු ප්‍රසිද්ධියේ පැමිණ නැති බව එම ප්‍රදේශයේ අප වාර්තාකරුවෝ පවසති.


එම වාර්තාකරුවන් සඳහන් කරන්නේ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත රාජපක්ෂවරුන් නිතරම වාගේ මැද මුලන නිවසට පැමිණීම මෙතෙක් සිදුකළත් මහජන උද්ඝෝෂණවලින් පසු එසේ ප්‍රසිද්ධියේ නොපැමිණි බවයි. දේශපාලනයේ නියුතු රාජපක්ෂවරු එම නිවසට පැමිණීම ඒ අවට ජනතාවට රහසක් නොවන බවත් විවිධ අවශ්‍යතා සඳහා අවට ජනතාව ඔවුන්ව හමුවීමට යෑම සිදුවූ බවත්ය.


මේ ආකාරයට ප්‍රසිද්ධියේ නාවත් රහසිගතව රාජපක්ෂවරු මැදමුලනට සමහරවිට පැමිණෙනවාද මේ නිසා හඳුනාගත නොහැකි කාරණාවක් බවද එම වාර්තාකරුවෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.
මාතර ප්‍රදේශයේ වාහනයකින් ගමන් කරමින් සිටියදී රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වූ නිපුන රණවක මීට පෙර හූ සංග්‍රහයකට ලක්විය.■

පොහොර රැස්වීම මහින්දානන්ද ශෂීන්ද්‍ර ප්‍රධානත්වයෙන්

0

ඉදිරි යල කන්නය සඳහා පොහොර ලබාදීම සම්බන්ධයෙන් මැයි 05දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති රැස්වීම මෙහෙයවා ඇත්තේ එම අමාත්‍යාංශයේ හිටපු කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ බව වාර්තාවේ. වත්මන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයා මෙන්ම රාජ්‍ය ඇමතිවරයාද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද එයට සහභාගි වී ඇත.■

දැඩි භාණ්ඩ හිඟයක් බැංකු වැටීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

0

■ ධනුෂි ලිහිණිකඩුව


මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රටේ බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් විය හැකි බවත් ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආදියෙහි පැහැදිලි හිඟයක් ඇති විය හැකි බවත් ආර්ථික විද්‍යා විශේෂඥයෝ අනතුරු අඟවති.

මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන ආර්ථික විද්‍යා විශේෂඥයින් එම අනතුරු ඇඟවීම කළේ ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට වඩා අඩු බවට මුදල් අමාත්‍ය අලි සබ්රි මැයි 04 වන දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබඳ අනිද්දා කළ විමසීමේදී අදහස් දක්වමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න වැඩිදුරටත් අදහස් දක්වමින් අනිද්දා වෙත ප්‍රකාශ කළේ විදේශ විනිමය හිඟයත්, විදේශ විනිමය ඉපයීමේ මාර්ග පිළිබඳ අවධානය නොයෙදීමත් හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ මෙරට ආර්ථික තත්ත්වය අතිශය තීරණාත්මක වන බවයි. ණය ලබා ගත්තත් එය ද කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.


පවතින මුදල් සංචිතය පිළිබඳ පමණක් සිතා දෛනිකව මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අමතක කළ මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශය නිර්භීත එකක් වුව ද ඒ හරහා ජනතාව විශාල ලෙස නොසන්සුන් වන බවත් වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


මුදල් ඇමතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය චන්දන අලුත්ගේ ප්‍රකාශ කළේ මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශයත් සමග කලු කඩ ව්‍යාපාරය ශක්තිමත් වීමට ඉඩකඩ පවතින බවයි. අසංවිධිත ආර්ථික කටයුතුවල වර්ධනයක් ඇතිවන බවත් ඒ හරහා වෙළඳපොල විධිමත් පාලනයෙන් ගිලිහී යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.■

වර්ණ මැදින් නිරුවත් දෙපයින්: බාබරා සන්සෝනි

0

■ අරුණ ජයවර්ධන

බාබරා සන්සෝනි-ලෙව්කොක්, පසුගිය සතියේ සිය වර්ණාලංකෘත දීප්තිමත් දිවිසැරිය නිමා කරන විට, අවුරුදු 94 සම්පූර්ණ කර, ගත වී තිබුණේ එක් දිනක්. මේ දිගු දිවිසැරිය තුළ ඇය ලංකාවේ විවිධ ක්‍ෂෙත්‍රවල කැපී පෙනුණු දෘශ්‍ය කලා ශිල්පිනියක ලෙස පුරාවෘත්තමය නමක් සටහන් කරන්නට සමත් වුණා.


බාබරා සන්සෝනි ගැන කියන විට මතක් වන කාරණා තුනක් තිබෙනවා. එක, කොළඹ, බම්බලපිටියේ ගාලුපාර අද්දර, බෙයාර්ෆුට් ගැලරිය සහ රෙස්ටොරන්ට් එක. දෙක, දීප්තිමත් වර්ණ. තුන, ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි, ඇඳුම් විලාසිතා සහ ඒ රෙදිවළින් සැකසූ සෙල්ලම්බඩු. ඊටත් අමතරව, ඇය ලේඛිකාවක්. මූර්ති ශිල්පිනියක් සහ චිත්‍ර ශිල්පිනියක්.
බාබරා උපන්නේ මහනුවර. ජීවිතය ආරම්භයේ සිට ඇය කලාව කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර වර්ණ කෙරෙහි දැඩි ඇල්මකින් පසුවුණ බවයි කියැවෙන්නේ. ප්‍රකාශන මාධ්‍යයක් ලෙස රෙදි විවීමට ඇය මුලදී ඇදී ගියේ නැහැ. කෙසේ වෙතත්, 1960 ගණන්වල මුල් භාගයේදී පවුලේ මිතුරෙකුගේ යෝජනාවක් මත ඇය රෙදි මෝස්තර නිමවීමට පටන් ගත්තා. ඒවා නිමවුණේ රෙදි වියන අත්යන්ත්‍රවලින්.


ජීවිතයේ සහ ස්වභාව ධර්මයේ වර්ණවලින් ඇගේ නිර්මාණ දීප්තිමත් වී තිබුණා. ඇගේ නිර්භීත, විචිත්‍රවත් පැහැයෙන් යුත් අත්යන්ත්‍ර මෝස්තර ඉතා ඉක්මනින් අවධානයට ලක් වීමට පටන් ගත්තා. අතින් වියන ලද ඇගේ රෙදි පළමු අලෙවිය කොළඹ පිහිටි ඇගේ නිවසේ සිට සිදුවුණා. 1960 ගණන්වල අගභාගයේදී බාබරා කොළඹ කොටුව ප්‍රදේශයේ ඇගේ පළමු සිල්ලර වෙළඳසැල වන HOUSE විවෘත කළා. දෙවන වෙළඳසැල BAREFOOT. බෙයාෆුට් ඇගේ ආභාසය ලබමින් වර්ධනය වුණා.


ඇය සිය පළමු ඒකපුද්ගල දෘශ්‍ය කලා ප්‍රදර්ශනය 1966දී ලන්ඩනයේ පැවැත්වූවා. බාබරා ලේඛිකාවක ලෙසත් නිර්මාණාත්මක කටයුතු කරගෙන ගියා. 1960 දශකයේ මුල් භාගයේදී ‘සිලෝන් ඩේලි මිරර්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක සහ රචිකාවක ලෙස ඕ සේවය කළා. එහි ඇගේම සතිපතා විශේෂාංග පිටුවක් ආරම්භ කළා. ඒ පිටුව දරුවන් සඳහා නිර්මාණය කළ කථාවලට වෙන්වුණා. සුන්දර පරිසරයක සතුන් සහ ජීවීන් ඒවායේ චරිත බවට පත්වුණා. ඒවා සඳහා ඇගේම චිත්‍ර එකතු කරමින්, තමන්ගේ ප්‍රීතිමත් ළමා කාලයේ අත්දැකීම් එතුළින් පිළිබිඹු කළා. ඇගේ ලිවීම් සහ නිදර්ශන චිත්‍ර එකතු කරන ලද පොත් ‘මිසී ෆු සහ ටිකිරි බණ්ඩා’ (2002), ‘මිසී ෆු ඉන් යාල’ (2015) සහ ‘ප්‍රෙස් විත් ද ටෝස්’ (2003) යන නම්වලින් පසුව පළවුණා. 1960දී ජෙෆ්රි බාවා විසින් ගෘහ නිර්මාණය කරන ලද කොළඹ 7, ශාන්ත බි්‍රජට් මොන්ටිසෝරියේ පඩිපෙළ දිගට කුරුල්ලන් සහ තුරුලතා සිතුවම් කළේත් බාබරා.


බාබරා වරෙක පැරණි ගොඩනැඟිලිවල චිත්‍ර අඳින්නට පටන්ගත්තා. ඒ සංවර්ධනයේ නාමයෙන් සාම්ප්‍රදායික ගොඩනැගිලි කඩාබිඳ දැමීමෙන් කලබලයට පත්වීම නිසායි. ඒ 1960 ගණන්වලදී. ඒවා අගය කිරීමටත් අවශ්‍ය තරමටම ඒවා සංරක්ෂණය කිරීමටත් උත්සාහයක් ලෙස මෙම ගොඩනැගිලි ඇඳීම සලකන්නට පුළුවන්. මෙම චිත්‍ර 1962 සහ 1963 දී Ceylon Daily Mirror පුවත්පතේ Collecting Old Buildings නමින් සතිපතා තීරුවක පළවුණා. ඇගේ ‘Some Notes on Old Furniture’ (Times of Ceylon Annual 1962), ‘Sri Lankan Vernacular’ (Architecture, ඉන්දියාව, මාර්තු-අප්‍රේල් 1990) සහ ‘ලීලාස් පාර‘ (සිලෝන් ඔබ්සර්වර් පික්ටෝරියල් 1963) ලෙස පළවී තිබෙනවා. ඒවා විෂය කරුණු පිළිබඳ ඇයගේ තීක්ෂ්ණ බුද්ධිය සහ රුචිකත්වය ප්‍රකට කළා.


1960 ගණන්වල මුල් භාගයේදී, යහපත් එfඩ්රාගේ කන්‍යාරාමයේ රෙදි වියන මධ්‍යස්ථානය සැලසුම් කිරීමට උපකාර කිරීම සඳහා බාබරා සම්බන්ධ කරගැනුණා. වර්ණය කෙරෙහි ඇති උනන්දුව නිසා සායම් කළ නූල් සහ රෙදිපිළි සමඟ කටයුතු කිරීමට හා තේරුම් ගැනීමට එහිදී ඇයට හැකිවුණා. 1989දී එලන් දිසානායක සමඟ සම්මුඛ සාකච්ඡාවකදී බාබරා මෙහෙම කියා තිබෙනවා. “මගේ උනන්දුව සහ කුතුහලය පවතින්නේ වර්ණ සහ වර්ණවල සම්බන්ධතා තුළයි. නමුත් මගේ පුහුණුව චිත්‍ර ඇඳීමටයි. කෙනෙකුට ප්‍රාථමික පැඩල් දෙකේ රෙදි වියනයක් මත ඇඳිය ​​නොහැකියි. කුරුල්ලෙකු, ගසක්, ගඟක සංකීර්ණ දසුනක් – වර්ණ ඇති ඕනෑම දෙයක් මා උද්දීපනය කරනවා. රෙදි වියනයෙහි ඇති සීමාවම මට වර්ණ ගැඹුරින් ගවේෂණය කිරීමට බලකළා. කහ පාටට තැඹිලි පාට නූලක් හරස් කිරීමෙන් නව රන්වන් උපතක් සිදුවෙන බව මා දැනගත්තා.’ 1964 දී ආරම්භ වූ බෙයාර්ෆුට්හි සභාපතිනිය සහ ප්‍රධාන නිර්මාණකාරිනිය හැටියට, අත්යන්ත්‍ර රෙදි ලෙස නම්කෙරුණු ප්‍රාදේශීය රෙදිවිවීමේ මධ්‍යස්ථානවල නිර්මාණ, සත්ත්ව හා වෘක්ෂලතාවලින් ආභාසය ලැබූ බාබරාගේ පැහැදිලි මෝස්තර රාමුව සමග මුසුවුණා. මධ්‍යස්ථාන පහක සිටින බෙයාෆුට් ආයතනය වෙනුවෙන් රෙදි වියන්නන් සඳහා බාබරාගේ ප්‍රධාන සැලකිල්ල වූයේ, ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහාය වීම සහ නුපුහුණු ශ්‍රමය ලෙස සූරාකෑමෙන් මුදාගෙන ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමටයි. මාරි ඥානරාජ්, ප්‍රීති හපුවත්ත සහ නිලූෆර් වික්ටෝරියා ඇතුළු නිර්මාණකරුවන් ඇගේ ආභාසය මත නැගි ආ ශිල්පිනියෝ. ඇගේ සෑම රෙදි වියන්නෙකුම හොඳම සහ ඉහළම තත්ත්වයේ අතින් වියන ලද රෙදි නිර්මාණය කිරීම සඳහා හොඳින් පුහුණු කර තිබෙනවා. බාබරා කියූ විදියට බෙයාර්ෆුට් නිර්මාණ සඳහා කාලය ලබා දුන් අයට ලැබෙන හොඳම ප්‍රතිලාභය වන්නේ ඒ ගෘහ කර්මාන්ත එම කාන්තාවන්ගේම ස්වයං කළමනාකරණය යටතේ දියුණු වන බව දකින්නට ලැබීමයි. ඇගේ නිර්මාණ දායකත්වයෙන් බිහිවුණ අත්යන්ත්‍ර රෙදිවලින් නිමවන ලද විවිධ සෙල්ලම් බඩු, ඒ ව්‍යවහාරික කලා ඉසව්වේ විශේෂ සලකුණක්. අද බොහෝ දෙනකු විසින් අනුකරණය කරනු ලබන නමුත්, සතකුගේ හැඩතල, වර්ණවත් හා මන බඳින පෘෂ්ඨීය අලංකාරත්වයෙන් යුත් කුඩා අනුරුවක් බවට පත්කිරීමේදී ඇය විදාහළ නව පරිකල්පන චින්තාවන් ඉතාම නිර්මාණාත්මකයි. ආකර්ෂණීයයි. බාබරා මූර්ති නිර්මාණයේද නිරතවුණා. සුප්‍රසිද්ධ ඕස්ටේ්‍රලියානු චිත්‍ර ශිල්පී ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් සමඟින් ඇය දංකොටුව ප්‍රදේශයේ අමු උළු මත නිර්මාණ කළ ඉන් සමහරක් කොළඹ ඇන්ඩර්සන් පාරේ පිහිටි ඇයගේ නිවසේ තිබෙනවා. 1963 දී ජෙෆ්රි බාවා සහ උල්රික් ප්ලෙස්නර් විසින් නිර්මාණය කරන ලද බණ්ඩාරවෙල යහපත් එfඩ්රාගේ දේවස්ථානයේදී බාබරා ජීවමාන ප්‍රමාණයේ උත්ථාන වූ ක්‍රිස්තුස් මූර්තිමත් කර තිබෙනවා.


තම කලා කටයුතුවල නිරත වෙන අතර ඇය වෙනත් කලාකරුවන්ගේ කෘති බෙදාගැනීමටත් මාර්ග සකස් කළා. 1968දී (ජෙෆ්රි බාවා සමග එකට වැඩ කළ) උල්රික් ප්ලෙස්නර් බාබරා වෙනුවෙන් ’කලම්බු ගැලරි’ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා යොදවනු ලැබුවා. කොළඹ ඇන්ඩර්සන් පාරේ ඇගේ නිවසේ ඉදිකරන ලද එය, චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සහ විකිණීමට පටන් ගත් අතර, කොළඹට සිය පළමු ‘පුද්ගලික ගැලරිය’ තිළිණ කළා. 43 කණ්ඩායමේ අයිවන් පීරිස්, හැරී පීරිස් සහ රිචඩ් ගේබි්‍රයෙල් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ කලාකරුවන් කොළඹ ගැලරියේ ප්‍රදර්ශන පැවැත්වූවා. තිස්ස රණසිංහ, ලකී සේනානායක, නෙවිල් වීරරත්න, එච්.ඒ. කරුණාරත්න, සිබිල් කීට්, නදීන් රත්නම්, නොලීන් ප්‍රනාන්දු නිර්මාණ ප්‍රදර්ශනය කළ තවත් අය. බාබරාගේ පුත්, ඩොමිනික් සන්සෝනි (ඔහු විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක්.) සමඟ සංවාදයකදී ඔහු සඳහන් කළේ, කොළඹ ගැලරියේ පැවති මෙම ප්‍රදර්ශන කලාකරුවන්, මිතුරන් සහ සමාන ආගන්තුකයින් අතර බොහෝ ප්‍රීතිමත් සංවාද පසුබිමක සිදුවූ බවයි.


1980 ගණන්වල රටේ සිවිල් ආරවුල් හේතුවෙන් කොළඹ ගැලරිය වැසුණා. එය 1991දී ‘ගැලරි 706’ ලෙසින් දැන් බෙයාර්ෆුට් ගැලරිය ස්ථානගතවී තිබෙන තැන, නැවත ඇරඹුණා. අද එය බෙයාර්ෆුට් ගැලරිය. නස්රින් සන්සෝනි විසින් කළමනාකරණය කරන ලද ගැලරි 706, කලාකරුවන්ගේ ප්‍රදර්ශන රැසකට සත්කාරකත්වය සැපයූවා. ප්‍රසංග, කවි කියවීම් සහ විකල්ප රඟහල සඳහා පහසුකම් සපයන අවකාශයක් ලෙසද එය ක්‍රියාකළා. අනෝමා විජේවර්ධන, මතියස් ස්පීස්, පීටර් ස්කලා, ලකී සේනානායක, ඇලෙක්ස් ස්ටුවර්ට්, ඉංග්‍රීසි සහ ස්කොට්ලන්ත කලාකරුවන් – එඩ්වඩ් ස්කොට් සහ රේචල් සදර්ලන්ඩ්, උපේඛා චිත්‍රසේනගේ ප්‍රසංග එහි ප්‍රදර්ශනය කර තිබෙනවා. පොත් එළිදැක්වීම් සඳහාද එය ප්‍රචලිතයි.


බාබරා සන්සෝනි පුරාවෘත්තයක් වන්නේ, ඒ ලෙස සිය දිවිසැරිය තුළ ලංකාවේ නූතන දෘශ්‍ය කලාවට කළ මහත් දායකත්වය නිසා. ඈ සැබවින්ම වර්ණවල දීප්තිය මැදින් නිරුවත් දෙපයින් ඇවිද ගිය දුර්ලභ නිර්මාණකාරිනියක්.■

ARTRA සඟරාවේ ලිපියක් ඇසුරෙනි.

පුටින්ගේ ගමන සහ ලෝක සාමය පිළිබඳ අවදානම: Putin’s Way සහ Putin’s Road to War වාර්තා චිත්‍රපට

0

■ අතුල දිසානායක

පුටින් ගැන වාගාලංකාර දොඩවන, පුටින් වගේ කෙනෙක් ඕනෑ යයි සිතූ අතිමහත් ජනකායක් මෙරට සිටී. ඒ අය අතර ප්‍රජාතන්ත්‍රවාදීහු මෙන්ම තවමත් සෝවියට් සමාජවාදය පිළිබඳ අනුරාගයෙන් පෙළෙන වාමාංශිකයෝද සිටිති. එහෙත් පුටින්ගේ මතුපිට ස්වරූපය හැර අභ්‍යන්තරය හා ඒ හා සබැඳුණු අබිරහස් පිළිබඳව මෙරට ජනයාට නිවැරදි අදහසක්, අවබෝධයක් ඇතැයි සිතිය නොහැක. අනෙක් අතට පුටින්, ලෝක සාමය පිළිබඳ තීරණාත්මක සාධකයක් වෙමින් පවතී. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සොයන ගමන් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ඒකාධිපතියෙකු ලෙස හැසිරෙන පුටින් පිළිබඳ අනුරාගයෙන් පෙළෙන අය තුළ ඇති දෙබිඩ්ඩ සහ අවිචාරය උත්ප්‍රාසජනකය.


2000 දී බලයට පැමිණි පුටින් ප්‍රජාතන්ත්‍රවාදයට වෙට්ටු දමමින් මේ වන විට 2036 වන තෙක් බලයේ සිටින්නට පොට පාදා ගෙන ඇත. ඒ අනුව පුටින් බලයේ සිටින කාලය වසර 36ක් විය හැකි අතර 2036දී ඔහුගේ වයස අවුරුදු 84ක් වනු ඇත. මිය ගියහොත් මිස, පුටින් බලය අත නොහරින බව සහතිකය. සාමාන්‍යයෙන් ලෝකයේ සිටි ඒකාධිපතියෝ ඔවුන් බලයෙන් ඇද දමන තෙක් හෝ මිය යන තෙක් බලයේ රැඳී සිටිති.


යුක්රේණ යුද්ධය ආරම්භ වීමත් සමග ලෝකයේ වාර්තා චිත්‍රපටකරුවෝ රුසියාව ගැන, පුටින් ගැන සහ යුක්රේණය ගැන සුවිශේෂ වර්තා වැඩසටහන් රැසක් එළිදක්වා ඇත. මේ අතරින් ෆ්‍රොන්ට්ලයින් (FRONTLINE) වෙනුවෙන් Neil Docherty අධ්‍යක්ෂණය කළ මිනිස්තු 53 ක Putin’s Way (2022) වාර්තා චිත්‍රපටයත්, මයිකල් කර්ක් (Michael Kirk) අධ්‍යක්ෂණය කළ Putin’s Road to War (2022) සහ How Vladimir Putin Rose To Power(2016) යන වාර්තා වැඩසටන් වැදගත් වේ. මීට අමතරව බීබීසී ආයතනය විසින් නිපැයූ Vladimir Putin’s Secret Riches – Documentary (2018) යන වාර්තා වැඩසටහනත් පුටින් පිළිබඳ ඉතා පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට ප්‍රමාණවත්ය.


ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින්, 1989 දී බටහිර සහ නැගෙනහිර ජර්මන් වැසියන් විසින් බර්ලින් තාප්පය බිඳ දමන ලදි. ඒ වන විට පුටින් නමැති කේජීබී ඔත්තුකරුවා සිටියේ නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනියේ යයි කියනු ලැබේ. තමන්ගේ දෑස් ඉදිරිපිට කොමියුනිස්ට් අධිරාජ්‍යය බිඳ වැටෙන විට, එය ඉවසා දරාගන්නට ඔහුට නොහැකි වන්නට ඇත. ඒ වන විට පුටින්ගේ වයස අවුරුදු 37කි.

කොමියුනිස්ට් අධිරාජ්‍යය එලෙස බිඳ වැටෙන විට, තමන් කවදා හෝ ඒ කොමියුනිස්ට් අධිරාජ්‍යය නැවත ගොඩනගන බව ඔහු සිතන්නට ඇත. ඉන් පසු සූක්ෂ්මව රුසියානු දේශපාලනයට රිංගා ගත් පුටින් එරට ජනාධිපතිවරයා වී සිය බිඳ වැටුණු සෝවියට් අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට ස්වාධීන වූ රටවල් ආක්‍රමණය කරමින් සිටී. මුලින් ජෝර්ජියාව ආක්‍රමණය කළ ඔහු දෙවනුව යුක්රේණයේ කොටසක් වූ ක්‍රිමියාව ආක්‍රමණය කළේය. දැන් යුක්රේණය ආක්‍රමණය කරමින් සිටී.


පුටින්ට සිය ඉලක්කය සපුරාගන්නට යන ගමනේ දී ඉවසන්නට බැරි කරුණ තමන් පරිවාරයේ තිබූ පැරැණි සෝවියට් අධිරාජ්‍යයට අයත්ව තිබූ රටවල් එකින් එක ස්වාධීන වීම හා ඒවා යුරෝපා සංගමයට එකතු වීම සහ එකතු වන්නට උත්සහ කිරීමයි. පැරණි සෝවියට් අධිරාජ්‍යයෙන් වෙන් වී ස්වාධීන වී ඇති රටවල් වන්නේ ආර්මේනියා, අසර්බයිජාන්, බෙලාරුස්, එස්තෝනියා, ජෝර්ජියා, කසකස්තාන්, කිර්ගිස්තාන්, ලැට්වියා, ලිතුවේනියා, මෝල්දෝවා, ටජිකිස්තාන්, ටර්කිමෙනිස්තාන්, යුක්රේන් සහ උස්බෙකිස්තාන් යන රටවල්ය. මෙයින් රටවල් 09ක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. මෙම රටවල් නේටෝව ආක්‍රමණය කොට බලහත්කාරයෙන් යුරෝපා සංගමයට ඈඳාගත් ඒවා නොවන අතර සිය ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමට කොමියුනිස්ට් ක්‍රමය පිළිබඳ විශ්වාසය නොතබන රටවල්ය. 1917 ඔක්තෝබරයේ රුසියානු පන්ති විප්ලවය ඇති වුණත් යාබද රටවල එලෙස පන්ති විප්ලව ඇති වූයේ නැත. සිදුවූයේ රුසියානු බලහත්කාරයට හෝ බලපෑමට යාබද රටවල් නතු වීමයි. එය එසේ නම් සෝවියට් සමාජවාදය බිඳ වැටුණු විට ස්වාධීන ලෙස තම දේශපාලන අභිලාෂයන් අනුව තීන්දු තීරණ ගැනීමේ අයිතියක් මේ ස්වාධීන රටවලට ඇත්තේය.


යුක්රේණ යුද්ධයේ දී නේටෝව ප්‍රමුඛ රටවල් යුක්රේණයේ සහායට යුද්ධයට එක් වන්නේ නැත්තේ ඇයි ද? යන්න බොහෝ දෙනා නගන ප්‍රශ්නයකි. නේටෝ රටවල් යුක්රේණයට අවි ආයුධ ලබා දීමෙන් සහ මානුෂීය ආධාර සැපයීමෙන් සහය දෙනවා විනා සෘජු යුද්ධයකට පැටලෙන්නේ නැති බව පෙනෙන්නට තිබේ. නේටෝව එලෙස යුද්ධයකට සෘජුව මැදිහත් නොවන්නේ එවන් යුද්ධයක් තෙවන ලෝක යුද්ධයක් කරා ගමන් කළ හැකි නිසාය. තෙවන ලෝක යුද්ධයක් යනු න්‍යෂ්ටික යුද්ධයකි. යුද අවි පාලනය කිරීමේ සංගමයේ (Arms Control Association) වෙබ් අඩවියට අනුව දැන් ලෝක බලවතුන් අතර තිබෙන න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 13,000කි. එයින් අධි බලැති න්‍යෂ්ටික අවි සියයක් භාවිත කිරීමෙන් ලෝකය එක් වරක් විනාශ කළ හැකි බව කියැවේ. එයින්ම තෙවන ලෝක යුද්ධයක් ඇති වීම යනු කොතරම් විනාශයක් ද යන්න අවබෝධ කරගත හැකිය.


ජනමාධ්‍යවේදීන් පමණක් නොව විපක්ෂ ක්‍රියාකාරීහු පවා පුටින්ගේ පාලනය යටතේ අබිරහස් ලෙස මිය යති. නැතහොත් මරා දැමෙති. පසුගිය සතියේ බීබීසිය නිෂ්පාදනය කළ විනාඩි 21ක ධාවන කාලයකින් යුක්ත Who Killed Nemstov @ New Evidence on Russia’s most shocking assassination වාර්තා වැඩසටහන තුළින් පුටින්ගේ පාලන කාලය තුළ විරුද්ධ පාක්ෂිකයන්ට අත්වන ඉරණම හොඳින් නිරූපණය වේ. මේ ගවේෂණාත්මක වාර්තා චිත්‍රපටයෙන් දැක්වෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබූ, එමෙන්ම සෝවියට් ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට දායකත්වය සැපයූ, බොරිස් යෙල්ට්සින් ජනාධිපති වශයෙන් සිටිය දී ඔහුගේ උප අගමැතිවරයා වශයෙන් කටයුතු කළ Boris Yefimovich Nemtsovගේ ඝාතනය ගැනයි. රුසියානුවන් බොහෝ දෙනෙකු සිතුවේ රුසියාවේ ජනාධිපතිවරයා ඔහු වනු ඇති බවයි. එහෙත් සිදුවූයේ පුටින් බලයට පැමිණීමයි. බොරිස් නෙම්ස්ටෝව් තදබල ලෙස පුටින්ව විවේචනය කළ අතර පුටින්ගේ රජයේ දූෂිත තත්වයන් හෙළිදරව් කළේය. නමුත් 2015 වසරේ ඔහු අබිරහස් ලෙස මහ මග දී වෙඩි තබා ඝාතනයට ලක් වන්නේය.


Committee to Protec Journalist (CPJ) වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට පුටින් බලයට පැමිණි 2000 වර්ෂයේ සිට මේ දක්වා රුසියාවේ ඝාතනය වී ඇති ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 58කි. රුසියාවේ බලපෑමට ලක්වූ යාබද රටවල මිය ගිය ජනමාධ්‍යවේදීන් ගත් විට මරා දැමුණු ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව ඊට වඩා විශාලය. එයින්ම ජනමාධ්‍ය නිදහස තර්ජනයට ලක්වුණු රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් චිත්‍රයක් මවාගත හැක. පුටින් බලයට පත්වූ වහාම ජනමාධ්‍ය උපරිම අන්දමින් සිය ප්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කළ අතර ඔහු ඔහුගේ සියලු කටයුතු ඡායාරූපයට සහ වීඩියෝකරණයට ලක්කොට මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත්වේ. පුටින් සිහිගන්වන්නේ කොමියුනිස්ට් යුගයේ සෝවියට් දේශයේ දශක තුනක කාලයක් ප්‍රචාරකවාදය උපරිම අන්දමින් භාවිත කළ ජෝශප් ස්ටාලින්ය. පුටින්ගේ ප්‍රචාරක වීඩියෝ පටවල වරෙක ඔහු අශ්වාරෝහකයෙකි, තවත් වරක තරුණ යුවතියන් සමග නර්තනයේ යෙදෙන්නකි. මෝටර් රථ ධාවකයකු ලෙස තවත් තැනක ඔහු පෙනී සිටියි. තවත් තැනක ඔහු ප්‍රහාරක ගුවන් යානයක අසුනේ සිටිනු පෙනේ. අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙන පුටින් තවත් විටක දැක ගත හැකිය. ස්කුබා කිමිදීම්වල මෙන්ම, තවත් විටක ඔහු කළුපටිධාරී ජූඩෝ ශූරයකු නිසා ජූඩෝ ක්‍රීඩාවේ යෙදෙනු දක්නට ලැබේ. පුදුමයට කරුණ වයස්ගතව සිටියදීත් තරුණ ක්‍රීඩකයින් පරාජය කිරීමට ඔහු සමත් වීමයි. මේවා දකින සාමාන්‍ය රුසියානුවන් පමණක් නොව බාහිර ලෝකය ද පුටින් වීරයකු ලෙස දැකීම පුදුමයක් නොවේ.


රුසියාවේ එකල සිටි ධනවත්ම මිනිසා එරට Yukos තෙල් සමාගමේ ප්‍රධාන විධායක වූ මිකාහෙල් බොරිසොවිච් ක්හොඩොරකොව්ස්කි (Mikhail Borisovich Khodorkovsky) ය. එවකට ඔහුගේ ධනය ඩොලර් බිලියන 15ක් වූ අතර ෆෝබ්ස් සඟරාවේ ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ 16 වන ධනවත්ම මිනිසා විය. ඔහුට පුටින් සලකන ලද්දේ කෙසේ ද?
දිනක් ප්‍රසිද්ධ රැස්වීමක දී මිකායිල් විසින් රුසියාවේ බිලියන තිහක් වූ අන්ත දූෂිත තත්වය විවේචනයට ලක්කරන ලදි. එය එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 10-12% අතර ප්‍රමාණයකි. ඔහු ප්‍රසිද්ධියේ අදහස් දක්වන දර්ශන මෙම වාර්තා චිත්‍රපටයේ දැක්වේ. එම ප්‍රකාශය පුටින්ගේ උදහසට ලක්වේ. එපමණක් නොව යුරෝපයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කළ මිකායිල් රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම පිණිස විපක්ෂයට ආධාර උපකාර කළේය. පුටින් කරන්නේ චෝදනා ඉදිරිපත් කොට මිකායිල් අත්අඩංගුවට ගෙන අවුරුදු දහයක් සයිබීරියාවේ සිරගත කිරීමයි. අනතුරුව පුටින් මිකායිල්ගේ තෙල් සමාගම සිය සහචර ව්‍යාපාරිකයන් අතර බෙදාහරින අතර මිකායිල් නිදහස ලැබීමෙන් පසු දේශපාලන රැකවරණ ලබා ස්විට්සර්ලන්තයට පලා යයි.


පුටින්ගේ සමීපතමයන්ට ඇමරිකාවේ සහ යුරෝපා සංගමයෙන් තහංචි පනවා ඇත. පුටින් සතුව ඇති පුද්ගලික ධනය ඩොලර් බිලියන 40ක් බව කියවේ.


2003 දී ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර සිදුවුණු කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වනJurgen Roth විසින් සොයාගන්නා ලදි. එය සිදුකර ඇත්තේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවර මාෆියා කල්ලියක් විසිනි. ඔවුන් සිදුකර ඇත්තේ රුසියාවේ කළු සල්ලි ජර්මනියේ දේපළ වෙළඳාම් සමාගමක ආයෝජනය කිරීමයි. ව්ලැද්මීර් පුටින් එම සමාගමේ උපදේශක කණ්ඩායමේ සාමාජිකයකු ව සිට ඇත. එම ගවේෂණය කිසිදු නඩු විභාගයකින් තොරව යටපත් වන්නේ එවකට ජර්මනියේ චාන්සලර්වරයා වූ Gerhard Fritz Kurt Schröder නිසාය. එම ජර්මන් චාන්සලර්වරයාත් පුටිනුත් තවමත් හොඳ මිතුරෝය. ඔවුහු උපන්දින සාදවලදී හමුවෙති. ගර්හාර්ඩ් චාන්සලර්වරයා ධුර කාලය අවසන් වන්නට තිබියදී රුසියාව සමග ගෑස් නළ එලීමේ දැවැන්ත ව්‍යාපෘතියකට අත්සන් තැබුවේය. පසුව ඔහු රුසියානු බලශක්ති සමාගමක් වූ Rosneftහි සභාපතිවරයා වූයේය.


පුටින් නිසා රුසියාවෙන් පලාගොස් සිටින තවත් බිලියනපතියෙකු වන්නේ වැලරි මොරසොව්ය (Valery Morozov). ඔහුගේ අදහස වන්නේ මෙවන් දූෂිතයින් ඇමරිකාවේ හෝ කැනඩාවේ සිටියේ නම් ඔවුන් පරීක්ෂාවට ලක්කොට, නඩු පවරා දඬුවම් ලබා දෙන බවයි.


රුසියාවෙන් පිටමං වී එස්තෝනියාවේ ජීවත් වන තවත් ව්‍යාපාරිකයකු වන සෙර්ගෙයි කොලෙස්නිකොව් ( Sergei Kolesnikov) පවසන්නේ රුසියාවේ ව්‍යාපාර කිරීමට නායකයන්ට ත්‍යාග ලබා දිය යුතු බවයි. වෙනත් වචනයකින් කිවහොත් ඒ අල්ලස්ය. එවිට ඕනෑ කෙනෙකුගේ ව්‍යාපාර සුරක්ෂිත වේ. එම මුදල් වැටෙන්නේ පුටින්ගේ සාක්කුවටය. ඒවා සෘජු ලෙස පුටින්ගේ සාක්කුවට නොයන ලෙස ක්‍රම පද්ධති සකසා ඇත. සෙර්ගි විසින් ගෙවිය යුතු මුදල් අවසානයේ ඉහළ යන්නේ පුටින්ගේ විශ්‍රාම දිවියට අවශ්‍ය ඩොලර් මිලියන ගණනක විශ්‍රම නිවසක් තැනීම නිසාය. ව්‍යාපාරික සෙර්ගි මෙයට කැමැත්ත නොදක්වයි. විශ්‍රාම නිවස ඩොලර් මිලියන 250ක ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනුණු දැවැන්ත මාලිගාවක් බවට පත්වන අතර එය කළු මුහුද අතර සොචි නගරයේ ගොඩනැගී ඇත. මෙලෙස ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය නිසා පුටින්ගේ කෙරුවාවල් හෙළිවෙයි.


පුටින්ගේ නපුරු සිහිනය අන් කවරක් වත් නොව අරාබි වසන්තයේදී ඒකාධිපතියන් අවසන් ගමන් ගිය අන්දමට තමන්ට ද ගමන් යන්නට සිදුවේ ද යන්න ගැන වූ බියයි. දූෂණයෙන්, භීෂණයෙන්, විරුද්ධවාදීන් මරා දැමීමෙන් තමන් කර ඇති පාපකර්මවලට ජනතා විරෝධය නැගෙන විට එල්ලෙන්නට වැල් සොයන ඔහුට බේරෙන්නට ඇති එකම වැල “අන්න විදේශ කුමන්ත්‍රණ” කියමින් රුසියානු ජාතිකවාදයේ එල්ලීමයි. මහජනයාගේ අවධානය එයින් වෙනතක යොමුවන අතර ඉදින් තවත් කල් යෙහෙන් වැජඹීමට පුටින්ට හැකිය.


ලෝකයේ විශාලතම සම්පත් ඇත්තේ රුසියාවටය. එමෙන්ම විශාලතම ස්වාභාවික සම්පත් (ගල් අඟුරු, ස්වාභාවික ගෑස්, තෙල්, රන් සහ දැව) ඇත්තේද රුසියාවටය. ඉතා දියුණු සංවර්ධිත රටක් බවට රුසියාව පත්කිරීමට ඉඩක් තිබියදී ව්ලැද්මීර් පුටින් සිය සහචරයින් සමග රට විනාශට ඇද ගෙන යයි. රුසියාවේ දරිද්‍රතාව ඉහළ යමින් තිබෙන අතර යුක්රේණ ආක්‍රමණයත් සමග ජාත්‍යන්තර සම්බාධක හමුවේ රට තවත් අගාධයට යමින් තිබේ. වාර්තා වැඩසටන පුරා පෙනී සිටින Karen Dawisha (Author of Putin’s Kleptocracy) පවසන්නේ රුසියාවේ ආර්ථික තත්වය අනුව එහි සාමාන්‍ය වැසියෙකුට වඩා ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකු වැඩි ආදායමක් උපයන බවයි.


2014 දී ඔස්ටේ්‍රලියාවේ පැවැති ලෝක බලවතුන්ගේ G20 සමුළුවේ දී දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් නම් ඊට සහභාගි වූ ව්ලැද්මීර් පුටින් කොන් වී සිටිනු දකින්නට ලැබීමයි. සමූහ ඡායාරූපයේ කෙලවරක පුටින් දකින්නට ලැබුණු අතර ඔහුට දිවා ආහාරය ගන්නට වූයේ තනිවම මේසයකය. ඒ වන විට පුටින් අගය කළ බැරැක් ඔබාමා පවා ඔහුගෙන් දුරස්වී සිටිනු දක්නට ලැබිණි. අවසානයේ සමුළුව නිමවන්නට පෙර පුටින් පිටත් විය.


ලෝකයේ කවර කොනක සිටියත් තමන්ට විරුද්ධව යන්නේ නම් ඔහු ඝාතනය කිරීම පුටින්ගේ පිළිවෙත බව ඔහුට එරෙහිව නැගෙන චෝදනාවයි. බි්‍රතාන්‍යයට පලා ගිය හිටපු කේජීබී ඔත්තුකරුවකු වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කො (Alexander Litvinenko) බි්‍රතාන්‍යයේදීම වසදීමකට ලක්ව මියගියේය. කොමියුනිස්ට් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් (Kim Jong-un) සිය විරුද්ධවාදීන් සඳහා මෙම ක්‍රමය අනුගමනය කරයි.
ලෝකයේ කවර තැනක වුවද පාලකයකුගේ සාර්ථකත්වය මැන ගත හැක්කේ ඔහු කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නෙක් ද යන්න මතයි. පසුගිය සියවසේත් මේ සියවසේත් ජාතික රාජ්‍යවල බිහිවූ සහ බිහිවෙමින් පවතින ඒකාධිපතියන්ගේ ස්වරූපය ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කිරීමයි. අවසානයේ දශක කිහිපයක් ගිය තැන ඒ රටවල් විනාශ මුඛයට වැටී අවසන්ය.
රටක පාලකයකු දීර්ඝ කාලයක් බලයේ සිටීම, විපක්ෂය මර්දනය කිරිම, ජනමාධ්‍ය මර්දනය කිරීම හා ජනමාධ්‍යවේදීන් මරාදැමීම, එම රටේ සිටින ව්‍යාපාරිකයින්, පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් රාජ්‍ය පාලනයට ළංකර ගැනීම, උගතුන්, විපක්ෂ දේශපාලනඥයින් දේශපාලන රැකවරණ පතා වෙනත් රටවලට පැන යාම, රටේ ව්‍යස්ථාවන් වෙනස්කරමින් බලතල තමන් වටා ඒකරාශී කරගැනීම, රටේ නායකයා ලෙස තමන් නිරතුරුවම උත්කර්ෂයට නංවා ගැනීම, ජාතිකවාදය ගොඩනැගීම, බාහිර සතුරන් සහ ඔවුන්ගේ කුමන්ත්‍රණ භීතිකාවන් මතු කිරීම වැනි කාරණා තුළින් මේ යුගයේ පාලකයකු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වන්නේ ද යන්න ගැන නිවැරදි දෘෂ්ටිවාදයක් ගොඩ නගා ගැනීමට හැකිවේ. මේ සෑම ලක්ෂණයක්ම පුටින්ගේ රුසියාවේ තිබේ. ඉදින් ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ට සම්පන්නබව ගරුකරන කවරෙකුට හෝ පුටින්ගේ පැත්ත ගත හැකිද? ඉතිං අපි තවත් පුටිං වැනි අය ඕනෑ යයි කියමුද?■

දෙවියන් වහන්සේ හදලා මහපොළවට එවන යාන් ගැන ඩබ්ලිව් ජයසිරි

0

යාන්ස් හෙවත් යාං හෑලි, මළගෙයකදී, දානෙ ගෙදරකදී, චාරිකාවකදී, කෑමක් බීමක් වෙලාවකදී විතරක් නෙවෙයි නිකරුණේ කාලය ගතකරන ඕනෑම වෙලාවකදී අපිට සමීප දෙයක්. රෑ එළිවෙනකං වුණත් යාන් එක දිගට කියන්න දක්‍ෂයො ඉන්නවා. පරණ යාන්ස් කියනවා විතරක් නෙවෙයි අලුතෙන් හදන්න දක්‍ෂයොත් ඉන්නවා.

රංගවේදී ඩබ්ලිව් ජයසිරි, කලා ලෝකයේ යාන්ස්වලට නම් දැරූවෙක්. සාමාන්‍යයෙන් ඔහු සිටින හැම තැනක්ම යාන්ස්වලින් පිරිලා යනවා. යාන්ස්වලට එක්තරා දුරකට සමීපවෙන කතා ඇතුළත් ‘ලට්ට ලොට්ට’ නමැති පොතකුත් ඔහු පසුගිය කාලේ එළිදැක්වූවා. මේ ජයසිරිත් එක්ක යාන්ස් හෙවත් යාං හෑලි ගැන කළ කතාබහකදී, ඔහු කියාගෙන කියාගෙන ගිය දේවල් පෙළගැස්වීමක්.

■ අරුණ ජයවර්ධන

මමයි චින්තන ජයසේනයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා පත්තරයක් කළා ‘ශ්‍රී විකාර’ කියලා. කලාප හතරයි ගහන්න පුළුවන් වුණේ. ඒක නැවතුණා. ඉතින් ඒ පත්තරේ ගහන්න ඉස්සෙල්ලා මායි චින්තනයි ගිහිල්ලා හම්බවුණා සිරා, බීඒ සිරිවර්ධන, සිරා ඒ කාලේ අපේ බොහොම හොඳ මිත්‍රයෙක්. චින්තනයි මායි සිරායි බොහොම හොඳට අඩිපුඩි ගහනවා බොරැල්ලේ ඊඒපී බාර්රෙකේ. ඒ වෙනකොට සිරා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඳක් උඩ ඉන්නේ. අපි සිරා හම්බවෙලා කියනවා, ‘අපි මෙහෙම පත්තරයක් පටන්ගන්නවා. යාන් හෑලි විහිළු අරව මේවා තියෙන පත්තරයක්. ඒකේ පළමු කලාපයට කර්තෘ වාක්‍යයක් ඕනනේ. මේ කර්තෘ වාක්‍යය ලියන්න මොකක් හරි අදහසක් දෙන්න’ කියලා.


එතකොට සිරා කිව්වා, ‘දැන් මේ විහිළු කියන ඒවා, යාං හෑලි කියන ඒවා කවුරුද හදන්නේ කියලා මිනිස්සු අහනවා. අපිව මැව්වේ දෙවියන් වහන්සේ වගේ මේ විහිළු හදන්නෙත් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ විහිළු හදලා මහපොළවට එවනවා. ඉතින් ඒවා කියවලා අහලා සන්තෝස වෙන මිනිස්සු බුද්ධිමත්තු. ඒවා කියවලා අහලා තරහ යන මිනිස්සු මෝඩයෝ.’
මම හිතන්නේ යාං හෑලි ගැන මුලින්ම කියන්න ඕන නිර්වචනය ඒක තමයි. යාං හෑලි හැදුවෙ කවුද, කොහෙන්ද මේක නිර්මාණය වුණේ කියලා කාටවත් හරියට හොයලා කියන්න බෑ. අපි හදාපු යාං හෑලිත් තියෙනවා. නමුත් මූලික වශයෙන් යාං හෑලි කවුද හැදුවෙ කියලා යාං හෑලි කියවන, කියන, අහන කවුරුත් දන්නේ නෑ.


හැබැයි ඉතිං යාං හෑලිවල තියෙන විශේෂත්වය තමයි බුද්ධිමත් මනුස්සයෙන් යාං හෑලි කියවලා සන්තෝස වෙනවා. ඒක රසවිඳිනවා. මෝඩයෙක් යාං හෑලි කියවලා තරහ ගන්නවා. එහෙම නැත්තං මේකෙ රසය විඳින්න තේරෙන්නේ නෑ.

තුන්පාරක් හිනාවෙන්න


සාමාන්‍යයෙන් කියනවා යාං හෑල්ලක් අහපු කෙනෙක් තුන් පාරක් හිනා වෙනවාලු. මුලින්ම මේක කියන වෙලාවේ, මේක අහන් ඉන්න කට්ටිය හිනා වෙනවානේ. කවුරුත් හිනාවෙන හින්දා එයාත් හිනාවෙනවා. දෙවැනි පාරට හිනාවෙන්නේ ගෙදර යන ගමං, මොකටද මං හිනාවුණේ කියලා තේරුණෙත් නෑනේ කියලා ඒකට හිනාවෙනවා. අන්තිමට ගෙදර ගිහිල්ලා කල්පනා කර කර ඉන්න කොට යාන් ඒක තේරෙනවා ඒ වෙලාවේ. තේරිලා තුන්වෙනි හිනාව හිනාවෙනවා. ඕක තමයි යාන්හෑලිවල උප්පත්ති කතාවෙ ඉඳලා මේක හැදිච්ච විදිය.


මේක ඇත්තටම තේරුම් ගන්න පුළුවන් එක යාං හෑල්ලක් තියෙනවා, හැබැයි මේක පත්තරේකට ලියනකොට ටිකක් ශිෂ්ට සහ හොඳ භාෂාවෙන් ලියන්න පුළුවන්. මම මේක ලියලා තියෙනවා මගේ ‘ලට්ට ලොට්ට’ (යාන් හෑලි ඇතුළත් ජයසිරිගේ අලුත්ම පොත, පසුගියදා නිකුත් විය. නිර්මල ප්‍රකාශනයකි.) පොතේ.


එක්තරා අවුරුද්දක තිස් එක් වෙනිදා රාත්‍රියේ, ටීවීටී ආයතනය නාවල තියෙන කාලේ, ඒ ගොඩනැගිල්ලේ තිබුණා විසාල බැල්කනි එකක්. ඒ බැල්කනි එකේ තමයි අපේ තිස්එක් වෙනිදා රාත්‍රි සාදය. පරාක්‍රම නිරිඇල්ල, රවීන්ද්‍ර ගුරුගේ, සිඩ්නි චන්ද්‍රසේකර ඇතුළු තවත් බොහෝ අය හිටියා. ඔහොම ඉන්න ගමන් මම යාන් එකක් කිව්වා. යාන් එක කිව්වාම ඔක්කොම හිනාවුණා, බඩ පැලෙන්නයි, බඩ අල්ලගෙනයි ඔක්කොම හිනාවුණා. එහෙම වෙලා අපි ඉතින් සාදය යන අතරේ හිටි ගමන් (මියගිය රංගන ශිල්පී) එච්ඒ පෙරේරා ආවා. එච්ඒ ආවෙ දොරෙන් නෙවෙයි. බැල්කනියෙ ඉඳලා බිමට වැටිලා තිබුණා බොහොම හයිය සරුසාර වැලක්. අන්න ඒ වැල දිගේ එල්ලිලා කෙලින්ම බැල්කනියට ආවා. එතකොට පරාක්‍රම මට කිව්වා මචං අන්න අර යාන් එක එච්ඒට ආයිත් කියාපන්කො කියලා. මං කිව්වා දැන් එක සැරයක් කිව්වනේ කියලා. හරි හරි කමක් නෑ මූට කියපං.. ඉතින් මම ඒ යාන් එක ආයෙත් කිව්වා. යාන් එක මොකක්ද..


බොහොම ශක්තිවන්ත මනුස්සයෙක් කෑමබීම විටමින් සියල්ලම පොඩි බැක්පැක් එකක දාගෙන කාන්තාරයක් මැද්දෙ පයින් යනවා. එයාගෙ එක ආසාවක් තමයි මේ කාන්තාරෙ පයින් යන එක. දවසක් එකහමාරක් ඇවිදගෙන යනකොට මිනිහාගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වුණා. හස්තෝපක්‍රමයෙන් මේක නවත්තගන්න මිනිහාට හිතෙන්නේත් නෑ, මිනිහා වටපිට බැලුවා. ඔටුදෙනක් ඉන්නවා. කවුරුත් දකින්නෙත් නෑනේ. මිනිහා හිතුවා මේ ඔටුදෙනට රමණය කළාම මේ වැඩේ ඉවරයක් කරගත්තෑකි කියලා. හැබැයි ඔටුදෙන උසයිනේ. මිනිහා වැලි ගොඩක් ගහලා ඒක උඩට නැගලා වැඩේට සැරසෙනවාත් එක්කම ඔටුදෙන පොඩ්ඩක් ඉස්සරහට යනවා. මිනිහා ඒ වගේ වැලි ගොඩවල් දෙක තුනක්ම ගැහුවා, හැම වෙලාවෙම ඔටුදෙන ඉස්සරහට යනවා. ඒ අතරේ මිනිහාට එක පාරටම ඇහුණා කවුරුහරි ගෑනු ළමයෙක් කෑගහනවා අනේ මාව බේරගනියෝ කියලා. බලනකොට ඩෙසර්ට් බැන්ඩිට්ස්ලා කීපදෙනෙක් මේ කෙල්ලට අතවර කරන්න යන්නේ. මෙයා හයිය හත්තිය තියෙන මිනිහානේ. ඩෙසර්ට් බැන්ඩිට්ස්ලාට ගහලා එලවාගත්තා. පස්සේ අර ගෑනු ළමයා කිව්වා අනේ අයියේ උඹ මාව බේරගත්තා, උඹ ඉල්ලන ඕන දෙයක් මම උඹට දෙනවා කියලා. එතකොට මිනිහා කිව්වා, ‘නංගි මං මේ ඔටුදෙන එක්ක රමණය කරනකං පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඔටුදෙන පොඩ්ඩක් අල්ලං ඉන්න’ කියලා.
කතාව කිව්වාට පස්සේ එච්ඒ පෙරේරා, ‘එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්නෙ කොහොමද, හරි වැඩක්නේ, ඔටුවන්ට එහෙම කරන්න යනවාද මිනිස්සු?’ අරෙහම මෙහෙම කියලා හෙණ කතන්දරයක් කියන්න පටන් ගත්තා, මම කියපු කතාව විස්වාස නොකර. මං කිව්වා එච්ඒ, මේක යාන් එකක් මචං. යාන් එකක ඒවා තේරුං කරන්න බෑනේ කියලා. අහං හිටපු අයට තවත් හිනායි මේ එච්ඒගේ රියැක්ෂන් එකට.

යාන් තේරුම් ගැනීම


ඔය කතාවම මේ ඉතාමක් මෑතකදී මම කිව්වා ෂූටිං එකක් ඉවරවෙලා පොඩි අඩියක් ගහගහ ඉන්න වෙලාවේ. එතන හිටියා මේ අලුත් පරපුරේ නළුවෙක්. ඌ විතරක් හිනාවෙන්නේ නෑ. මං ඇහුවා ඇයි මචං උඹට හිනායන්නේ නැත්තේ, උඹට තේරුණේ නැද්ද කියලා. එතකොට මූ කියනවා, නෑ අයියෙ මම මේ කල්පනා කළේ මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉන්දැද්දි මූ අර ඔටු දෙනටම ඒ වැඩේ කළේ මොකද කියලා.


ඉතින් තේරෙනවානේ, යාන් එකක් තේරුං ගන්නත් වටහාගන්නත් ඥානයක් තියෙන්න ඕන. හොඳ ඔළුවක් නැත්තං යාන් එකක් වටහා ගන්න බෑ. ඇත්තටම අපේ සමාජයේ ඉන්නවා ගොඩාක් අය, ටියුබ් ලයිට් වගේය කියලා අපි කියන්නේ. ඒ වගේ අයට යාන් එකක් තේරුං ගන්න ටිකක් වෙලා යනවා. සමහරු ඉන්නවා, සෑහෙන්න වෙලාවක් ගන්නවා, මර්කරි බල්බ් වගේ. හැබැයි ඉතිං ඒ විදියටඩ බැලුවාම යාන් එකක් තේරුම් ගන්න පුළුවන් වීම මිනිහෙකුගේ බුද්ධිමත්කම මනින්න පුළුවන් මිනුම් දණ්ඩක්.


මම හදපු යාන් එකක් තියෙනවා. ඒක අපේ රටේ පොලිස් සේවය පිළිබඳ යාන් එකක්. හැබැයි ඒකෙන් ගොඩාක් දේවල් කියවෙනවා. නුවර පෙරහැර තියෙන කාලයට පෙරහැර තියෙන තැන ඉඳලා හැතැම්ම තුන හතරක් ඈතට නගරෙ වටේම පාර මුරකරන්න පොලිස්කාරයො දානවානේ. ඉතින් කටුකැලේ හරියෙ එස්අයි කෙනකුයි සාජන් කෙනකුයි දාලා ඉන්නවා. මිනිස්සු, වාහන හසුරුවන්න. ඉතින් පෙරහැර ඉවර වෙනකං මේගොල්ලන්ට ඩියුටියක් නෑනේ. ඒ වෙලාවෙ ළඟ ගේක මිනිහෙක් වාඩිවෙන්න පුටු දෙකක් දීලා අරක්කු බාගයක් වගේ පොඩි ඩි්‍රන්ක් එකකුත් දුන්නා. ඩි්‍රන්ක් එක දදා ඉන්න ගමන් එස්අයි ඇහුවා සාජන්ගෙන්, ‘සාජන් මහත්තයා මේ රටේ දැන් නායකයා කවුද’ කියලා. සාජන් කිව්වා ජනාධිපති කියලා. එස්අයි කිව්වා, ‘අනේ තමුසෙ දන්න කෙංගෙඩිය. ජනාධිපති මොන නායකයෙක්ද’ කියලා. ආ.. එහෙනං අගමැති වෙන්න ඇති. නෑ ඕයි අගමැතිම කියන්නෙ එයා රබර් සීල් එකක් වගේ කියලා. එහෙනං මල්වත්තේ හාමුදුරුවො?.. තමුසෙට පිස්සුද ඕයි. එහෙනං අස්ගිරියෙ ලොක්කා? අස්ගිරියෙ හාමුදුරුවන්ට පුළුවන්ද අයිසෙ ලංකාවෙ ලොක්කා වෙන්න. දැන් මේක හරි ප්‍රශ්නයක්. සාජන් කිව්වා, මං දන්නේ නෑ සර්, සර්ම කියන්නකො කවුද ලංකාවේ ලොක්කා කියලා. එතකොට එස්අයි සාජන්ට කිව්වා, ‘ලංකාවෙ ලොක්කා තමුසෙ’ කියලා. සාජන්ට අප්සෙට් වෙලා ‘මම කොහොමද ලොක්කා වෙන්නෙ. මම නිකං සාජන් කෙනෙක්නෙ’ කිව්වා. තමුසෙ ලොක්කා වෙන්නේ කොහොමද දන්නවද? දැන් තමුසෙ මට බයයි. මම අයිපීට බයයි. අයිපී එච්කිවුඅයිට බයයි. එච්කිවුඅයි ඒඑස්පීට බයයි. ඒඑස්පී එස්පීට බයයි. එස්පී එස්එස්පීට බයයි. එස්එස්පී ඩීඅයිජීට බයයි. ඩීඅයිජී අයිජීපීට බයයි. අයිජීපී නියෝජ්‍ය ඇමතිතුමාට බයයි. නියෝජ්‍ය ඇමතිතුමා ඇමතිතුමාට බයයි. ඇමතිතුමා අගමැතිතුමාට බයයි. අගමැතිතුමා ජනාධිපතිට බයයි. ජනාධිපති ජනතාවට බයයි. ජනතාව තමුසෙට බයයි. ඉතින් තමුසෙ තමයි ලොක්කා.

ලිංගික කාරණා


යාන්ස්වල ලිංගික කාරණා මත හැදිච්ච ඒවා ගොඩාක් වැඩියි. හැබැයි ඒවා හරිම විටි. (witty) සහ ගැඹුරුයි. ඔන්න ආමිකාරයෙක් හිටියා. එයා ගෙදර එන්නේ මාස තුන හතරකට සැරයයිනේ. පොඩි දරුවයි වයිෆුයි තමයි ගෙදර ඉන්නේ. නිවාඩුවට ආපු දවස් දෙක ඉස්කෝලේත් නිවාඩු. මෙයා කිව්වා පුතා, බැල්කනි එකට වෙලා පොඩ්ඩක් බලන්න පාරෙ තොප්පි දාගෙන කී දෙනෙක් යනවාද කියලා. හරියට ගණං කළොත් එක්කෙනෙක්ට සතපනහ ගානේ මම දෙනවා කියලා. ඉතිං කොල්ලා බැල්කනියට ගිහිං එකායි දෙකායි කියනවා ඇහෙනවා. එහා ගෙදර පොඩි එකත් උන්ගෙ බැල්කනියට ඇවිල්ලා. මේ පොඩි එකා හයියෙං ගණං කරනවා ඇහිලා අර පොඩි එකා උන්ගෙ බැල්කනියෙ ඉඳලා අහනවා, උඹලයි තාත්තාත් ….ද කියලා. අපේ ගෙදරත් ඒකයි මට බැල්කනියට එන්න කිව්වේ කියලා. අන්න ඒ වගේ බොහොම සියුම් දේවල්.

අහසින් ගිය ඉබ්බා අලුත් එක


හැබැයි, ලිංගික කාරණා ආශ්‍රිත නොවන යාන්සුත් සෑහෙන්න තියෙනවා.


අර කොක්කු දෙන්නා ඉබ්බාව අහසින් අරං ගිය එක ඒ වගේ එකක්නේ. ඒක ඩිවෙලොප් කරලා හදලා තියෙනවා මරු යාන් ටිකක්. මුල් කතාව කවුරුත් දන්නවානේ. ඉබ්බා වතුර හිඳිච්ච විලේ ඉන්නකොට කොක්කු දෙන්නා අහසින් අරගෙන ගිය කතාව. ඒකෙදී බිම හිටපු කොල්ලො ඉබ්බෙක් අහසින් යනෝ කියලා කෑගැහුවාම ඉබ්බාට කට ඇරිලා බිමට වැටුණානේ. දැන් ඉබ්බා අහසියන් යාම-දෙක. අර විදියටම විල හිඳුණා. කොක්කු දෙන්නා වතුර තියෙන විලක් හොයන්න යනවා කියලා ඉබ්බාට කිව්වාම අනේ මචං මාව දාලා යන්න එපා, මාවත් එක්ක පලයං කියනවා. කොකෙක් කිව්වා, උඹට යන්න බෑනේ. අර කලිං ගිය ඉබ්බාට වෙච්ච වැඩේ උඹ දන්නවානේ. කට පරිස්සං කරගන්න බැරිව වැටිලා මැරුණානේ. ඉබ්බා කිව්වා, මෙදා සැරේ කොච්චර කෑගැහුවත් මම නං කට අරින්නේ නෑ කියලා. එහෙනං කට වහගෙනම හිටපං කියලා කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ලා කොක්කු දෙන්නා ඉබ්බා අහසින් අරගෙන ගියා. යනකොට ඔන්න කොල්ලො කෑගහනවා යට. කට ඇරුණොත් ඉවරයි කියලා හිතලා ඉබ්බා කෝට්ට විකාගෙනම කතානොකර හිටියා. එක කොකෙක් කිව්වා ‘කට අරින්න එපා මචං’ කියලා. අනිත් කොකා කිව්වා, ‘උඹ වැඩේ කෑවා’ කියලා. ඉතින් ඒ ඉබ්බාත් බිම වැටිලා මැරෙනවා.


ඔන්න තුන්වෙනි කතාව. අර වගේම විලේ වතුර හිඳිලා. කොක්කු දෙන්න යන්නයි ලෑස්තිය. ඉබ්බා කියනවා අනේ මාව දාල යන්න එපා කියලා. කොකා කියනවා උඹ දන්නවානේ ඉතිහාසේ සිද්දවෙච්ච දේ. එක පාරක් උඹලෑ වර්ගෙ ඇයො කට වරද්දගෙන මළා. ඊළඟ සැරේ අපේ ඈයො කට ඇරලා ඉබ්බා මළා. ඉබ්බා කියනවා, මෙදා සැරේ උඹලා දෙන්න කතාකරන්නත් එපා, මාත් කතා කරන්නේම නෑ. ඊට පස්සේ කෝට්ට ගෙනත් අර විදියට යනවා. තුන් දෙනාම කතාකරන්නේ නෑ කියලා තදින්ම එකඟවෙලා උඩින් යනවා. පල්ලෙහා සෙල්ලං කරන කොල්ලො ටික කෑගහන්න හදනවා. එක කොල්ලෙක් කිව්වා, අනේ බං ඔය තුන්වෙනි පාරනෙ ට්‍රයි කරන්නෙ උඩින් යන්න, මුල් දෙපාරම බැරිවුණානේ, මෙදා සැරේ ඔන්න ඔහේ යන්න ඇරපං, අපි කෑගහන්නේ නැතිව ඉම්මු කියලා. කොල්ලො කෑගැහුවේ නැහැ. සෑහෙන්න ඈතට පියාඹගෙන ගියාට පස්සේ ඉබ්බා අහනවා, මොකද බං අද අරුන් කෑගැහුවෙ නැත්තේ කියලා. එදා සැරේත් ඉබ්බා ඉවරයි.


ඔන්න හතරවෙනි සැරේ. අර විදියටම ඉබ්බා කියනවා අනේ මචං මාවත් අරගෙන පලයල්ලා කියලා. කොක්කු දෙන්නා කිව්වා, උඹ ඉතිහාසේ වෙච්ව දේවල් දන්නවානේ. පළවෙනි සැරේ උඹලෑ එකා කට වරද්ද ගත්තා. දෙවෙනි පාර අපේ වරිගෙ ඈයො කට වරද්ද ගත්තා. තුන්වෙනි පාර කොල්ලො කෑගහුවේ නෑ කියලා උඹලාගෙ එකා කට වරද්ද ගත්තා. ‘නෑ නෑ මෙදා පාර කවුරු සද්ද කළත් නොකළත් අපි තුන්දෙනා සද්ද නැතිව යමු’ කියලා ඉබ්බා කිව්වා. අපි තුන්දෙනාම පොරොන්දුවක් වෙමු කවුරුවත් කට අරින්නේ නෑ කියලා. ඔන්න ඉතිං ගියා. අද යන්නේ රෑ වෙලාවක. යට ග්‍රවුන්ඩ් එකේ නයිට් ක්‍රිකට් මැච් එකක් යනවා. පියාඹන්නත් තියෙන්න එපායැ කන්සෙන්ටේ්‍රෂන් එකක්. ඒක නැතිව පියාඹන්න බෑනේ. නයිට් ක්‍රිකට් දැකලා එක කොකෙකුගේ කන්සෙන්ටේ්‍රෂන් එක අප්සෙට් යනවා. කෝටුව පොඩ්ඩක් උගේ හොටෙං ගිලිහෙනවා. කොකා මොකද කරන්නේ, ටක්ගාලා ෆ්ලයිං කික් එකක් දාල ආයෙත් කෝටුව අල්ලගන්නවා. අල්ලගත්ත ගමං ඉබ්බා ‘තැන්කියු මචං’ කියනවා. ඒ කතාව නං ඔය ගෝඨාභය රාජපක්‍ෂට වුණත් හරි. ගෝඨාභය තමයි ඉබ්බා. උඩින් යන්නම බෑ. පාලනය කරන්නත් බෑ වගේනේ.


සාමාන්‍ය යාන්ස් ගත්තාම ඒවාත් ජනකතා වගේනේ. ඉබ්බාගේ කතාවත් ජනකතාවක්නේ. ඩිවෙලොප් වෙලා යාන් එකක් බවට පත්වෙලා තියෙන්නේ.

ගැළපෙන යාන්ස්


හැම වෘත්තියකටම ගැළපෙන්නත් යාන්ස් තියෙනවා. මේ එකක්. හැම මැතිවරණ කොට්ඨාසෙකටම දාලා ඉන්නවා පශු සම්පත් සංවර්ධන නිලධාරියෙක්. ජාඇළ වත්තල පැත්තෙ කුකුල් කොටු, තාරාවො ඌරො හරක් ඇතිකරනවානේ. මේ සංවර්ධන නිලධාරියා යනවා ඒ පැත්තේ තියෙන ඌරු කොටුවක් බලන්න. අයිතිකාරයාගෙන් අහනවා, හොඳයි, කීදෙනෙක් ඉන්නවාද ඌරො කියලා. අනේ සර් සීයක් විතර ඉන්නවා. එතකොට මේ සීයට කෑම දෙන්නේ කොහොමද? අනේ සෑර් නගරෙ වටේටම තියෙන හෝටල්වල කුණුවෙච්ච නරක් වෙච්ච කෑම ගෙනත් දෙනවා. නිලධාරියාට තරහ ගිහිං, තමුසේ මේ මසට ඇතිකරන ඌරන්ට කන්න දෙන්නේ නගරේ හෝටල්වලින් ඉවත් කරන කුණුද අහලා, රුපියල් පන්සීයක් දඩ ගහනවා. මාස හයකට විතර පස්සේ ආයෙත් නිලධාරියා එනවා. දැන් ඌරො කීදෙනෙක් විතර ඉන්නවාද අහනවා. එකසිය පනහක් විතර ඉන්නවා සර්. කොහොමද මුන්ට කෑම දෙන්නේ? සුපර් මාර්කට් ඇරපු ගමන් ඒකෙ තියෙන හොඳම එළවලු වර්ග ගෙනල්ලා දෙනවා කියලා අයිතිකාරයා කිව්වා. නිලධාරියාට තරහ ගිහිං, මිනිස්සුන්ට කන්න තියෙන හොඳ එළවළුද තමුසෙ මේ ඌරන්ට කන්න දෙන්නේ කියලා දාහක් දඩ ගහලා යනවා. මාස හයකට පස්සේ ආයිත් එනවා. දැන් කොහොමද කොටුවෙ ඌරො කීදෙනක් ඉන්නවාද? දැන්නං සර් දෙසීයක් විතර ඉන්නවා. මොනවද කන්න දෙන්නේ මුන්ට? මං සර් පාන්දරම රුපියල් සීය සීය දෙනවා, උඹලාට කැමති දෙයක් කාල වරෙල්ලා කියලා.!


ඇත්තටම මටත් අමතක වෙන ඕන තරම් යාන්ස් තියෙනවා. අඩියක් ගහන වෙලාවට, ගමනක් යද්දි, මිත්‍ර සමාගම්වලදිනේ මේවා කියවෙන්නේ. තවත් යාන් කියන කෙනෙක් හිටියොත් ඉතාම ලස්සනට යාන් උපදිනවා. ඒ වෙලාවට ඉතිං කවුරුත් කතාව තේරුම් ගන්නවා. තේරුම් නොගන්න අය හරි අඩුයි.


රඟපාන කෙනක් ඉන්නවා නම්, එයාට යාන්ස් තේරෙන්නේ නැත්නං, එයාට රඟපාන්නත් බෑ කියලා තමයි මං නං හිතන්නේ. රඟපාන එකේ තියෙන සියුම්කම තේරුම් ගන්න නම් යාන් එකක තියෙන සියුම්කම තේරුම් ගන්නත් ඕන. යාන්ස් කියන කාන්තාවො නම් හරිම අඩුයි. ඒගොල්ලෝ අතරෙ කියනවා ඇති නමුත් පිරිමි අයත් එක්ක කියන්නේ නැති ගතියක් තියෙනවා. මේක පුරුෂ මූලික සමාජයක්නේ. හැබැයි නිළියෝ නම් ඔය පුරුෂ මූලික කියන කන්සෙප්ට් එක සත පහකට ගණන් ගන්නේ නැහැ.■