අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවෙන් මෙට්‍රෝ බස් සමාගමට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දී තිබේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත. මේ අතර මිලේනියම් සිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් නඩුවට මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස එක්වීමට කළ ඉල්ලීමට පැමිණිල්ලේ පාර්ශ්වය විරෝධය පළ කර තිබේ. එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, පදිංචිකරුවන්ගේ ඉල්ලීමට අවසර ලබා දී ඇත.
ආරවුලට තුඩු දී ඇති ඉඩම වටා කම්බි වැටක් ඉදිකිරීමට අවසර ඉල්ලා පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී සලකා බලන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ. අද නඩු විභාගය සඳහා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා ඇතුළු කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුවේ මීළඟ විභාගය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතය


