ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ලබන ජනවාරි 28 වැනිදා කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ.
ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද (02) මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, මුතුරාජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන මහත්වරු ද අධිකරණය හමුවේ පෙනී සිටි පිරිස අතර වූහ.
කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන මහත්වරුන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි. නඩු විභාගයට අදාළ ඇතැම් ලේඛන මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල, මීළඟ නඩු දිනයට පෙර අදාළ ලේඛන විත්ති පාර්ශ්වයට ලබාදීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතාට නියෝග කළේය.
2015 පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම අධිචෝදනා ගොනු කර තිබේ.


