No menu items!
32.5 C
Sri Lanka
18 September,2024

ලංවිමට ඔක්තෝබර් බිලියන 20ක් ලාභයක්

Must read

දෙසැම්බර් අවසානයේ පාඩු අඩුකර බිලියන 34ක ලාභයක්
ඒකකයක සාමාන්‍යය රු.50.11ක් වූවත්
ඒකකයක ඔක්තෝබර් උත්පාදන වියදම රු. 17.82යි

ඔක්තෝබර් මස 20 වැනිදා සිට නැවත වරක් දරන්නට බැරි තරම් ඉහළ අගයකින් වැඩි කරන ලද විදුලි බිලට විරෝධය පළකිරීම සඳහා නොවැම්බර් 01 වැනිදා දිවුලපිටියේ සිට කොළඹ කොල්ලුපිටියේ ගාලු පාරේ පිහිටි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට ඒමට නියමිතව තිබූ මහජන විරෝධය එහි සංවිධායකයින් කිහිප දෙනෙකු අනීතිකව අත්අඩංගුවට ගැනීම මගින් පොලීසිය කඩාකප්පල් කළේ දිවුලපිටිය ප්‍රදේශයේදීමය. ඒ එම පාගමන වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ඇති බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින්ය.

පොලීසියේ එම ක්‍රියාවේ නිර්ලජ්ජිතභාවය වූයේ විදුලි බිලට එරෙහි විරෝධතාකරුවන්ගේ පා ගමන නැවැත්වීමට නියෝගයක් ලබාදෙන ලෙස ජා ඇළ, කඳාන, මහභාගේ හා වත්තල පොලීසි විසින් අධිකරණයෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද තත්වයක් හමුවේ එම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමය. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ, රැස්වීමේ හා නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස ආරක්ෂා කිරීමට අධිකරණය බැඳී ඇති බවයි. එමෙන්ම එම පාගමනට එක්වන ජනතාව සාමකාමී තත්වය කඩ කරනු ලැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නෛතික ප්‍රතිපාදන පොලීසියට ඇති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.

එසේ වුවද විදුලි බිලට එරෙහි මෙම විරෝධතා පා ගමන සම්බන්ධයෙන් මාධ්‍ය කරන ලද විමසීම්වලදී විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර කියා තිබුණේ මිනිසුන්ට විරෝධය දැක්වීමේ අයිතිය ඇති බවත් ඔවුන්ට සිය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්විය හැකි බවත්ය. විරෝධතා පා ගමන සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයාගේ තීරණය එසේ නම් පොලීසිය ඊටත් වඩා ඉදිරියට ගොස් සාමකාමී විරෝධතා පාගමනක් නැවැත්වීමට මෙතරම් උත්සාහ ගත්තේ ඇයිද යන්න ද ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවේදී ඇමති කංචන විජේසේකර පවසා ඇත්තේ මාස 3න් 3ට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව හා ලබන වසරේ අප්‍රේල් වන තෙක් යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවය. ඒ අනුව පසුගිය සතියේ අප පෙන්වා දුන් කරුණක් කංචන විජේසේකර ඇමති තහවුරු කර ඇත. ඒ අවසන් විදුලි ගාස්තු සංශෝධනය සිදුවූ ඔක්තෝබර් 20 වැනිදා වනවිට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණේ වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට බව හා එම විදුලි ගාස්තු සංශෝධනය කැබිනට් තීරණයට පටහැනි බවය. මන්ද එම විදුලි ගාස්තු සංශෝධනය මෙම වසරේ තුන්වන විදුලි ගාස්තු සංශෝධනය වූ නිසාය. ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉල්ලන ඉල්ලන වේලාවට ඉල්ලන ඉල්ලන ප්‍රතිශතවලින් විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලි බල ක්ෂේත්‍රයේ නියාමකයා වන රූකඩ මහජන උපයෝගිතා කොමිසම ඔවුන්ගේ අනුමැතිය එම අවස්ථාවේ ලබා දී තිබුණේ කැබිනට් මණ්ඩල තීරණයට පටහැනිවය.

පසුගිය සතියේ අප පෙන්වා දුන් තවත් එක් වැදගත් කරුණක් වූයේ විදුලි ගාස්තු වැඩි කිරීමේ විදුලි බල මණ්ඩල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එම ඉල්ලීමට අදාළ විදුලි නිෂ්පාදනයේ හා පිරිවැයේ පුරෝකථනයන් වත්මන් තත්වයට ගැළපෙන ලෙස නැවත සකස්කර එවන ලෙස උපයෝගිතා කොමිසම දැනුම් දී තිබුණත් (ඇත්තටම එම දැනුම් දීම සිදුකර තිබුණේ රූකඩ කොමිසමේ සාමාජිකයින් නොව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය) ඒ සඳහා පිළිතුරු ලබාදීමක් නොමැතිව හා ඒ පිළිබඳව සැලකිලිමත් නොවී කොමිසම විදුලි ගාස්තු වැඩි කිරීම ලබාදී ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මාසය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පුරෝකතනය හා ඇත්ත තත්වය සම්බන්ධ තොරතුරු මේ වනවිට අපට ලැබී තිබෙන අතර ඒ අනුව විදුලි බල මණ්ඩලයේ පුරෝකතනය වැරදිය. ඔවුන් විදුලිය නිෂ්පාදනය කර ඇත්තේ පුරෝකතනයට වඩා අඩුවෙනි. ඒ නිසා වැය වී ඇති මුදල පුරෝකතනයට වඩා අඩුය. එසේම විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරා ඇති වියදමද පුරෝකතනයට වඩා අඩුය. එහි අවසන් තේරුම වන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ගිගාවොට් පැය 1303ක විදුලිය උත්පාදනය කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇතත් ඔක්තෝබර් මාසයේදී ඇත්තටම උත්පාදනය කර ඇත්තේ ගිගාවොට් පැය 1265ක විදුලියක් පමණය. ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් සියයට 33ක විදුලියක් නිෂ්පාදනය කිරීමට පුරෝකථනය කර ඇතත් ඒ මගින් ඊට වැඩි සියයට 43ක විදුලියක් නිෂ්පාදනය කර ඇත. ගල් අඟුරු බලාගාර මගින් සියයට 38ක විදුලියක් නිෂ්පාදනය කිරීමට පුරෝකථනය කර ඇතත් නිෂ්පාදනය කර ඇත්තේ ඊට අඩු සියයට 28ක් පමණය.

ඉන්ධන තාප බලාගාර මගින් සියයට 5ක විදුලියක් නිෂ්පාදනය කිරීමට පුරෝකථනය කර ඇතත් ඒ මගින් ඊට වැඩි සියයට 6ක විදුලියක් නිෂ්පාදනය කර ඇත. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 24ක විදුලියක් නිෂ්පාදනය කිරීමට පුරෝකථනය කර ඇතත් නිෂ්පාදනය කර ඇත්තේ ඊට අඩු සියයට 22ක් පමණය. ඒ අනුව පුරෝකථනයට වඩා ජල විදුලිය නිෂ්පාදනය වැඩි වී ඇති නිසා විදුලි ඒකකයක නිෂ්පාදන වියදම අනිවාර්යෙන්ම පහළ ගොස් ඇත.

එම තත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කරගත හැකිය. ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන බලාගාරවල ජල විදුලියෙන් ගිගාවොට් පැය 432ක් නිපදවීමට පුරෝකථනය කර ඇතත් ගිගාවොට් පැය 548ක් නිපදවා ඇත. ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 494ක් නිපදවීමට පුරෝකථනය කර ඇතත් නිපදවා ඇත්තේ ගිගාවොට් පැය 356ක් පමණී. තාප බලාගාරවලින් ගිගාවොට් පැය 70ක් නිපදවීමට පුරෝකථනය කර ඇති අතර ඒ මගින් ගිගාවොට් පැය 79ක් නිපදවා ඇත. පුනර්ජනනීය ප්‍රභවයන් මගින් ගිගාවොට් පැය 307ක් නිපදවීමට පුරෝකථනය කර ඇතත් නිපදවා ඇත්තේ ගිගාවොට් පැය 281ක් පමණය.

ඒ අනුව එම මාසයේදී ප්‍රධාන විදුලි බලාගාරවලින් ජල විදුලිය නිපදවීමට රුපියල් මිලියන 1341.95ක්ද, ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 9765.03ක්ද, දැවි තෙල්වලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 5287.54ක්ද, ඩීසල්වලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 585.28ක්ද, නැප්තාවලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 961.83ක්ද, ලංවිම සුළං බලාගාරවලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 183.89ක්ද, පෞද්ගලික අංශයේ සුළං බලාගාරවලින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 298.32ක්ද, භූමිය මත ඇති පෞද්ගලික අංශයේ සූර්ය බල විදුලිය සඳහා රුපියල් මිලියන 346.53ක්ද, වහළ මත සූර්ය බල විදුලිය සඳහා රුපියල් මිලියන 1435.29ක්ද, කුඩා ජල විදුලිය සඳහා රුපියල් මිලියන 2032.65ක්ද, නගර සභා අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවීමට රුපියල් මිලියන 302.81ක්ද වශයෙන් රුපියල් මිලියන 22,541.11ක මුළු වියදමක් විදුලිය නිපදවීමට දරා තිබේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ කිලෝවොට් එකක විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය වී ඇත්තේ රුපියල් 17.82 මුදලකි. එහෙත් ඔක්තෝබර් ගාස්තු සංශෝධනයේදී එම වැඩි කිරීම්වලට අදාළ විදුලි ඒකකයක සාමාන්‍ය වී ඇත්තේ රුපියල් 50.11ක මුදලකි.

එම මාසයේ විදුලි සම්ප්‍රේෂණ වියදම වශයෙන් රුපියල් මිලියන 1426.06ක මුදලක්ද, විදුලිය බෙදා හැරීම් වියදම වශයෙන් රුපියල් මිලියන 5789.89ක්ද, ලංවිම මූල්‍ය වියදම් වශයෙන් රුපියල් මිලියන 2489.43ක්ද වශයෙන් එම ඔක්තෝබර් මාසයේ ලංවිමේ සම්පූර්ණ වියදම ලෙස රුපියල් මිලියන 32,246.50ක මුදලක් මහජන උපයෝගිතා කොමිසම ගණනය කර ඇත. එම මාසයේ විදුලිය විකිණීමෙන් ලංවිම උපයා ගැනීමට නියමිත මුදල රුපියල් මිලියන 50,660.49ක් වන අතර ඊට අමතරව ලංවිමට වෙනත් ආදායම් වශයෙන් එම මාසයේ තවත් රුපියල් මිලියන 755ක මුදලක් ගණනය කර ඇත. ඉහත සඳහන් කරන ලද වියදම් එම ආදායමෙන් අඩු කිරීමෙන් පසු ඔක්තෝබර් මාසයේදී පමණක් ලංවිම ලබන ලාභය රුපියල් මිලියන 19,168.99කි.

ලංවිම ඉල්ලිය යුත්තේ හා මහජන උපයෝගිතා කොමිසම ලබාදිය යුත්තේ පිරිවැය පදනම් කරගත් සාධාරණ ගාස්තුවක් පමණය. නොඑසේව ලංවිමට මාසයකට රුපියල් බිලියන 20ක් පමණ ලාභ ලැබෙන ගාස්තුවක් නොවේ.

මේ තත්වයම මේ වසරේ ඉදිරි මාස දෙක සඳහාද මහජන උපයෝගිතා කොමිසම ගණනය කර ඇති අතර ඒ මෙසේය. (මෙම ගණනය කිරීම් සිදුකරන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඇතුළු රූකඩ කොමිසම නොවන බවත්, විෂය පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති එහි ආයතනික කාර්ය මණ්ඩලය ලංවිම ඉදිරිපත් කරන දත්ත මත පදනම්ව බවත් සලකන්න.)

නොවැම්බර් මාසයේ විදුලිය උත්පාදනය සඳහා වැය වෙතැයි ගණනය කර ඇති මුදල රුපියල් මිලියන 31,226.18කි. සම්ප්‍රේෂණ වියදම රුපියල් මිලියන 1380.06ක් වන අතර බෙදා හැරීමේ වියදම රුපියල් මිලියන 5603.12කි. මූල්‍ය වියදම රුපියල් මිලියන 2409.13ක් වන අතර මුළු වියදම රුපියල් මිලියන 40,618.49කි. එම නොවැම්බර් මාසයේ විදුලිය විකිණීමෙන් ලංවිම ඉපැයීමට නියමිත ආදායම රුපියල් මිලියන 55,067.27කි. ලංවිම වෙනත් ආදායම් රුපියල් මිලියන 755ක් වන අතර ඒ අනුව එම මාසයේ සියලු වියදම් අඩු කිරීමෙන් පසු ලංවිම ලාභය රුපියල් මිලියන 15,203.78ක් වේ.

දෙසැම්බර් මාසයේ විදුලිය උත්පාදනය සඳහා වැය වෙතැයි ගණනය කර ඇති මුදල රුපියල් මිලියන 29,214.68කි. සම්ප්‍රේෂණ වියදම රුපියල් මිලියන 1426.06ක් වන අතර බෙදා හැරීමේ වියදම රුපියල් මිලියන 5789.89කි. මූල්‍ය වියදම රුපියල් මිලියන 2489.43ක් වන අතර මුළු වියදම රුපියල් මිලියන 38,920.07කි. විදුලිය විකිණීමෙන් ලංවිම ඉපැයීමට නියමිත ආදායම රුපියල් මිලියන 56,531.15ක් වන අතර ලංවිම වෙනත් ආදායම රුපියල් මිලියන 755කි. එම මාසයේ ලංවිම ලබන ලාභය රුපියල් මිලියන 18,366.08කි.

ඒ අනුව එම මාස තුනේදී පමණක් ලංවිම ලබන ලාභය රුපියල් මිලියන 52,738.85ක් වේ. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ එම ගණනය කිරීම් අනුව 2023 සැප්තැම්බර් මාසය දක්වා ලංවිම රුපියල් මිලියන 18,276ක අලාභයක් ලබා ඇති අතර එම අලාභය පියවීමෙන් පසුත් මෙම වසර අවසන් වීමේදී නව විදුලි ගාස්තු වැඩි කිරීමත් සමඟ ලංවිම ලබන ලාභය රුපියල් මිලියන 34,462.85කි.

මීට පෙර වැඩිවූ විදුලි බිල් පවා ගෙවීමට නොහැකිව ජනතාව අසීරුවෙන් ජීවත් වන තත්වයක් තුළ ලංවිම ඉල්ලිය යුත්තේ හා මහජන උපයෝගිතා කොමිසම අනුමත කළ යුත්තේ පිරිවැයට සරිලන ගාස්තුවක් මිස අති විශාල ලාභයක් ලැබෙන ගාස්තුවක් නොවේ. එමෙන්ම ආණ්ඩුවද, විෂයභාර ඇමතිවරුන්ද පණ්ඩිත කතා නොකියා තේරුම් ගත යුතු කරුණ වන්නේද එයයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි