No menu items!
24.4 C
Sri Lanka
5 November,2024

අයවැයේ පාසල් ප්‍රවාහන හා ත්‍රීවීල් සහන
ඉදිරි මැතිවරණයකදී
තමන්ගේ අයට බෙදාදෙන්නද?

Must read

පාසල් ප්‍රවාහන රථ 48,000යි.
සහනය බෙදූ විට එකකට රුපියල් 8333යි.

මගී ප්‍රවහන ත්‍රීරෝද රථ 800,000යි.
සහනය බෙදූ විට එකකට රුපියල් 750යි.

‘ගරු කතානායකතුමෙනි,
පසුගිය කාලය තුළ පාසල් වසා තැබීම හේතුවෙන් පාසල් වෑන් රථ සහ බස් රථ හිමියන්ට තමන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ජීවන වෘත්තිය අහිමි වීමට අමතරව ලීසිං වාරික ගෙවීම හා වාහන නඩත්තුව සම්බන්ධයෙන්ද ඔවුන් අනපේක්ෂිත දුෂ්කරතාවකට මුහුණ දුන් බව අප තේරුම් ගත යුතුයි. මෙම ගැටලුව කෙරෙහි සංවේදී වෙමින් පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා කරනවා.’


මෙසේ සඳහන් වන්නේ 2022 වර්ෂයට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොවැම්බර් 12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේ ලිඛිත ප්‍රකාශනයේය. බැලු බැල්මට මේ අයවැය යෝජනාව පාසල් වෑන්රථ හා බස්රථ හිමියන්ට ආකර්ෂණීයය. මන්ද ඔවුන් වෙනුවෙන් අවධානය යොමු කිරීමක් ඒ තුළ දක්නට ලැබෙන නිසාය. එහෙත් ප්‍රායෝගිකව ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්නයට එයින් විසඳුමක් ලබාගත හැකිද? අප විමසා බලන්නට යන එක් ප්‍රශ්නයක් එයය.


අප විමසා බලන්නට යන අනෙක් ප්‍රශ්නයද එයට සමානය. ඒ ගැන මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ලිඛිත අයවැය කතාවේ සඳහන් වන්නේ මේ ආකාරයටය.


රට වසා තැබූ කාලය තුළ ආදායම් අහිමි වූ ත්‍රීරෝද රථ හිමියන් සඳහා සහන
‘ගරු කතානායකතුමෙනි,


විශේෂයෙන්ම ත්‍රීරෝද රථ වෘත්තිකයන් අපේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සේවයක් සපයන්නන් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ සේවා අංශයේ ඉහළම දායකත්වය දක්වන්නන් ඔවුන්. එහෙත් පසුගිය කාලය තුළ ත්‍රීරෝද රථ ධාවනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ආදායම් අහිමි වූ ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කරනවා.’


පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථ හා බස් රථ සම්බන්ධයෙන් ගත් කල සහ ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ගත් කල වෙන්කර ඇති එම මුදල් ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක්ද යන ප්‍රශ්නය පැන නඟී. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරිට අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ වෑන් හා බස් රථ 48,000ක ප්‍රමාණයක් තිබේ. ඒ අනුව ඔවුන් සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 400ක මුදල එම ප්‍රමාණයෙන් බෙදූ විට එක් අයකුට ලබාගත හැකි ප්‍රතිලාභය රුපියල් 8333ක් පමණ මුදලකි. ඒ මගින් මෙම සටහනේ වෙනම දක්වා ඇති ලලිත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරන ඔවුන්ගේ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් ලබාගත නොහැකි බව පැහැදිලිය.


සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර අප කළ විමසීමේදී පැහැදිලි කළ ආකාරයට මේ වනවිට ලියාපදිංචි මුළු ත්‍රීරෝද සංඛ්‍යාව 11,75,000ක් පමණ වේ. එම සංඛ්‍යාව තුළ ඇති යම් ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් අබලන් වීම මත දැන් ධාවනයේ නැති විය හැකි අතර තවත් ත්‍රීවීල් රථ සංඛ්‍යාවක් මගී ප්‍රවාහනය නොවන පෞද්ගලික හා ආයතනික පරිහරණයන් සඳහා ඇති ඒවා විය හැකිය. එසේ වුවද ආසන්න වශයෙන් ත්‍රීරෝද රථ ලක්ෂ අටක්වත් මගී ප්‍රවාහන සේවයේ නිරත වන බව ධර්මසේකර මහතාගේ අදහසය. මේ පිරිස පූර්ණකාලීනව හෝ අර්ධකාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන අය බව ඔහුගේ අදහසය. කෙසේ හෝ මේ ලක්ෂ අටක ප්‍රමාණයටම ආණ්ඩුව ප්‍රකාශයට පත්කර ඇති සහනය බෙදී යන්නේ නම් එක් අයකුට ලැබෙනු ඇත්තේ රුපියල් 750ක මුදලකි. මෙහි වෙනම දක්වා ඇති ධර්මසේකර මහතාගේ පැහැදිලි කිරීම අනුව ත්‍රීවීල් රථ සඳහා සහන ලබාදිය යුත්තේ අයවැය මගින්ම යෝජනා කර ඇති ත්‍රීරෝද රථ නියාමන ආයතනය පිහිටුවා ඒ මගින් වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරාව හඳුනා ගැනීමෙන් පසුය. එමෙන්ම තවදුරටත් ඒ අතරින් කොවිඩ් හේතුවෙන් රට වසා දැමීමේදී සැබෑ ලෙසම බලපෑමට ලක්වූ ත්‍රීරෝද රථ රියැදුරන් හඳුනා ගැනීම මගින්ය.


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හෝ කර්මාන්තයේ යෙදෙන සංඛ්‍යාව ලෙස ගෙන අයවැය මගින් යෝජිත සහනය ගැන කතා කිරීමේදී එය ප්‍රායෝගික නොවන හෝ බලපෑමට ලක්වූ අයකුට සහනයක් විය හැකි මට්ටමක එකක් නොවන බව පැහැදිලිය.


කරුණු එසේ නම් මෙවැනි අයවැය යෝජනා එන්නේ ඇයිද යන ප්‍රශ්නයද අපට මතු කරයි. පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද, ත්‍රීරෝද රථ සංගමයද කියන්නේ ඔවුන් අයවැයට පෙර මුදල් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් හමුවී සිය යෝජනා හෙවත් දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ බවයි. මේ අයවැය යෝජනා එම පිරිස් සිතුවත් අපට සිතෙන්නේ එහි ඊට වඩා දෙයක් ඇති බවය. ඒ සඳහා අයවැයේ ඇති අනිකුත් යෝජනාද සැලකිල්ලෙන් කියවිය යුතුය.


එහිදී පැහැදිලි දෙය නම් පොදුවේ මහජනයා එක මිටට ගෙන සහන ලබාදීම් කර ඇති ආකාරයක් පෙනෙන්නට නැතත් පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර හෝ නැතිව විශේෂ සහන ප්‍රදානය කිරීම් කර ඇති බවය. ඒවායින් කිහිපයක් වන්නේ සෑම ග්‍රාම නිලධාරි වසමකටම මුදල් වෙන් කිරීම, සෑම පළාත්පාලන කොට්ඨාසයකටම මුදල් වෙන් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කරන විමධ්‍යගත මුදල් වැඩි කිරීමයි. තමන් අරමුණු කළ පිරිසක් වෙනුවෙන් හෝ එම අරමුණු කරන පිරිසගේ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම මුදල් වැය කරන බව පැහැදිලිය.


පාසල් ළමුන් ප්‍රවාහන වෑන් හා බස් රථ සහනය මෙන්ම ත්‍රීවීල් රථ සහනය ගැනද අපට සිතාගත හැක්කේ එවැන්නකි. මන්ද ක්ෂේත්‍රයන්ට අදාළ සංගම් ඒ සම්බන්ධයෙන් කිනම් බලාපොරොත්තු තබාගෙන සිටියත් එම ප්‍රායෝගික නොවන අයවැය වෙන්කිරීම් බෙදා දීමේදී මීට පෙර මෙවැනි සහන ලබාදීමේදී සිදුවූ ආකාරයටම දේශපාලන ලැයිස්තු මත ඒවා බෙදිය හැකි බැවිනි. කර්මාන්තයේ මුළු ප්‍රමාණයටම නොව තමන්ට අවශ්‍ය අයට ඒ අනුව එම සහන යම් සැලකිය යුතු මුදල් ප්‍රමාණයකින් බෙදා දිය හැකිය.


ඒ සඳහා ළඟ එන හේතුව වන්නේ පළාත් සභා මැතිවරණයය. ඉන්දියාවට මේ වනවිටත් ලබාදී ඇති පොරොන්දු අනුව ලබන වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇත. ඡන්ද දේශපාලනයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ආකෘතිය අනුව මේ එළැඹෙන වසරේ සිය ඡන්ද පදනම යම් පමණකින් හෝ ආරක්ෂා කර ගැනීමට ගෙනඑන ලද අයවැය යෝජනා මිස වෙනකක් නොවේ.■

වෙන්කළ මුදලින් අපේ ඉල්ලීම් දෙන්න පුළුවන්ද?

සමස්ත ලංකා පාසල් ළමුන්ප්‍ රවාහන සංගමයේ ලේකම්ල ලිත් චන්ද්‍රසිරි

කොවිඩ් නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපිට පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා ෆිනෑන්ස් හා බැංකු ණය මගින් වාහන ගත්ත අය ලොකු අමාරුවක වැටිලායි හිටියේ. මේ සම්බන්ධයෙන් අපිට සහනයක් ලබාදෙන්න කියලා අපි බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගෙන් හා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ඉල්ලා සිටියා. එම සාකච්ජාවේදී අපි ඉල්ලා සිටියා නොදුවපු කාලය සඳහා ඇති ඉන්ෂුවරන්ස් ගෙවීම් ඉවත් කරලා දෙන්න කියා හා ආදායම් බලපත් ගාස්තු ඉවත් කර දෙන්න කියා. රජයට සල්ලි නැති නිසා ආදායම් බලපත් ගාස්තු ඉවත් කරන්න බැහැ කියලා තමයි කිව්වේ. ඒ වගේම රක්ෂණ ගාස්තු ඉවත් කිරීමේ ඉල්ලීමක් කරන්නත් බැහැ කියලා තමයි කිව්වේ.


ෆිනෑන්ස් හා බැංකු ණය වාරික සඳහා සහන ලබාදෙන්න කියලා තමයි අපි අවසන් වශයෙන් ඉල්ලුවේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අයවැයෙන් මෙම සහන යෝජනාව ඇවිත් තියෙන්නේ. අපේ ඉල්ලීම වන්නේ අවුරුදු දෙකක කාලයක් පාසල් තිබුණේ නැති නිසා අපේ ණය වාරික පාසල් පටන් ගැනීමෙන් පසු ගෙවීමට අවස්ථාව සලසලා දෙන්න කියන ඉල්ලීම. එම ණය ගෙවීමේදී අපි ණය වාරික නොගෙවපු කාලයට එකතු කරලා තියෙන පොළිය ඉවත් කරන්න කියන ඉල්ලීම. පරණ සාමාන්‍ය වාරිකයම එතැන් සිට ගෙවන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම හා එම වාරික අවසන් වුණාම වාරික නොගෙවපු කාලයේ ලබාදුන් සහන ණය අය කරගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.


ආණ්ඩුව වෙන්කරලා තියෙන මුදලින් මෙම ඉල්ලීම් ලබාදෙන්න පුළුවන්ද කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ සංගමයේ සාමාජිකත්වය ලබාගත් පාසල් ප්‍රවාහන වෑන් රථ හා බස් රථ විසිහත්දාහක් පමණ තියෙනවා. ඒ වගේම අපේ සාමාජිකත්වයේ නැතත් රට පුරා සම්පූර්ණ වශයෙන් පාසල් ප්‍රවාහන වෑන් සහ බස් හතලිස් අටදාහක් පමණ තියෙනවා.■

වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරාටයි සහනය දෙන්න ඕනෑ


සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති,

ලලිත් ධර්මසේකර

වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරාව හඳුනා ගැනීමකින් තොරව මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක කරන්නෙපා කියලා තමයි අපේ ඉල්ලීම. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් ජනතාවගේ මුදල් තමයි සහන වශයෙන් මේ දෙන්නේ. ඒ නිසා ත්‍රීවීල් රථයකට නගිනකොට මහජනයාට කේන්ති නොයන ආකාරයේ සේවාවකුත් ත්‍රීවීල් රථවලින් ලැබිය යුතුයි. ඒක කරන්න නම් අනිවාර්යයෙන් මේ අයවැය යෝජනාවේම එන ත්‍රීරෝද රථ නියාමන ආයතනය පළමුව පිහිටුවන්න ඕනෑ. ඒ යටතේ වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරන්ව ලියාපදිංචි කරන්න ඕනෑ. ඉන්පසු වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරන්ට තමයි මෙම සහනය ලබා දෙන්න ඕනෑ.


නැත්නම් සිදුවිය හැක්කේ වෘත්තීය ත්‍රීරෝද රථ වෙනුවට පෞද්ගලික පරිහරණය හෝ අර්ධකාලීනව ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන වෙනත් වෘත්තීන්වල යෙදෙන අයටත් මෙම සහනය ලබා ගැනීමට හැකිවීම. එසේම කොවිඩ් කාලයේ රට වසා දැමීමට අදාළව මෙම සහනය ලබාදීමේදී තවත් කරුණක්ද අප සලකා බැලිය යුතුයි. ඒ වසා දැමූ ප්‍රදේශවල නොවන වෘත්තීය ත්‍රීරෝද රථ රියැදුරන්ට මෙම සහනය ලබා නොදීම හා වසා දැමු ප්‍රදේශවල සිටියත් ඌබර් හා පික්මී වැනි සේවාවන් යටතේ ධාවනයේ යෙදුණු පිරිස්වලට මෙම සහනය ලබා නොදීම සම්බන්ධයෙන්.


ඒ ආකාරයට මෙම සහනය ලබාදීම සිදුනොවුණහොත් ආණ්ඩුවේ වෙනත් සහනවලට වෙන දේ මෙහිදීත් වෙන්න පුළුවන්.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි