22.6 C
Sri Lanka
26 September,2022

පහන්තුඩාවේ නීතිය සහ
ලොහාන්ගේ නීතිය

Must read

‘එක රටක් තුළ එක නීතියක්’ පවත්වා ගන්නා බවට පොරොන්දු දී බලයට පත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ අඩක් ගතවන්නටත් පෙර ම ඒ උද්යෝග පාඨය දැන් විහිළුවක් බවට පත්ව තිබේ. එය එසේ වී තිබෙන්නේ, ආණ්ඩුවේ ඇත්තන්ගේ ම ක්‍රියාකාරිත්වය නිසා ය.

කාන්තාවක සහ පුරුෂයකු බලංගොඩ පැත්තේ පහන්තුඩාව නමැති දිය ඇල්ල ආශ්‍රිතව නිරුවතින් හැසිරෙමින් සකස් කළ වීඩියෝ දර්ශනයක් බැලූ භික්‍ෂුවක් ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් තුළ දී එම යුවළ කවුදැයි සොයා ගන්නට පොලිසිය සමත් විය. මේ වන විට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ, වරද පිළිගැනීම නිසා දඩයකට හා අත්හිටුවූ සිර දඬුවමකට ලක් ව දැන් නිදහස් ව ගොසිනි.

එහිදී පොලිසිය කටයුතු කළ ඉතාමත් ශීඝ්‍ර ආකාරයත්, නීතිය ක්‍රියාත්මක වුණු ශීඝ්‍ර ආකාරයත් කාගේත් පැපසුමට ලක්වනු නොඅනුමාන ය.

ඒ කාලයේ ම, බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස්, එහි රඳවා සිටින එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු වාට්ටුවලින් පිටතට කැඳවා දණ ගස්වා, ඔවුන්ගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළ බවට වාර්තා විය.

දිය ඇල්ලක් අසල නිරුවතින් සිටීම අත්හිටුවූ සිරදඬුවම් සහ දඩයක් ලැබීමට තරම් වන සුළු වරදක් වන විට, පිස්තෝලයක් ඔළුවට තබා පුද්ගලයකුට මරණ තර්ජන කිරීම බරපතළ දඬුවම් ලැබෙන අපරාධයක් බව අලුතෙන් කිව යුතු නැත. එහෙත්, පහන්තුඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ වේගයෙන් හා ආකාරයෙන් ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමතිවරයා කෙරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බව පෙනේ.

සිදු වූ එක ම දෙය නම්, තමා ගැන තිබෙන කතන්දර පිළිබඳ පරීක්‍ෂණයක් කරගෙන යාමට සහායක් හැටියට බන්ධනාගාර ඇමති ධුරයෙන් ඔහු ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, ඉල්ලා අස් නොවුණා නම් තමා අස් කරන්නට සිටි බව ජනාධිපතිවරයා රාජ්‍ය ඇමතිවරයාට කිව් බවත් මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු සියල්ල සතුටෙන් අවසන් වීම ය.

සාමාන්‍ය පුද්ගලයකු තවත් පුද්ගලයකුට හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනයක් කළහොත්, නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් රත්වත්ත ඇමතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ රත්වත්තේ ඇමතිවරයාගේ තර්ජනයට ලක්වූ රැඳවුවන් අටදෙනා, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එහි මුල් අවස්ථාවේ දී ම, මේ අටදෙනාට බන්ධනාගාරය තුළ ආරක්‍ෂාව සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතර ව දෙමළ දේශපාලන නායකයන් මේ සිදුවීම සම්බන්ධයෙන් ඇති තරම් පැහැදිලි කිරීම් හා විරෝධය පෑම් කර තිබේ. ආණ්ඩුවට හිතවත් පුවත්පත්වල පවා, ඇමතිවරයා (වැලිකඩ හා) අනුරාධපුර බන්ධනාගාරයට ගිය වේලාව, සිද්ධිය සිදුවුණු අනුක්‍රමය ආදි වශයෙන් මුළු සිද්ධිය ම වාර්තා කර තිබේ.

එසේ තිබියදීත්, ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාට කිසි ම නෛතික ප්‍රතිවිපාකයක් නැත.

ඊටත් වඩා විහිළුව නම්, අධිකරණ ඇමතිවරයා මේ සිදුවීම ගැන විමර්ශනය කර වාර්තා කරන්නට හිටපු විනිසුරුවරියකගේ සාමාජිකත්වයෙන් යුක්ත ඒකපුද්ගල කොමිසමක් පත් කිරීම ය. ලංකාවේ කොමිෂන් සභා, කමිටු පත් කරන්නේ, ආණ්ඩුවට වුවමනා විදියට ඕනෑ ම සිද්ධියක් මහජන අවධානයෙන් ගිලිහෙන තුරු කල් මරන්නට බව කියන ආප්තය, අධිකරණ ඇමතිවරයාගේ මේ කමිටුවෙන් ද යළිත් තහවුරු කෙරෙයි.

නැතිනම් මුළු රට ම හොඳින් ම දන්නා සිදුවීමක් වී තිබියදී, ඒ ගැන තොරතුරු හා සාක්‍ෂි තිබියදී, නීතිය නිසි පිළිවෙළට ක්‍රියාත්මක කරනවා වෙනුවට, කමිටු දමමින් කල් මරන්නේ කුමට ද?

පහන්තුඩාව සහ අනුරාධපුරය අපට කියන්නේ, එක රටක් එක නීතියක් යනුවෙන් අප තේරුම් ගන්නා දෙයට වඩා වෙනස් දෙයක් ආණ්ඩුවේ නායකකාරකාදින්ට පෙනෙන බව ය. ඔවුන්ගේ තේරුම් ගැනීම අපට වඩා වෙනස් බව ය.

ඔවුන්ට අනුව, තමන්ගේ එවුන්ටත්, බලය ඇත්තන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ එක විදියකට ය. ලොහාන් රත්වත්ත, තවමත් නීතියට යටත් නොවී සිටින්නේ ඒ මහානුභාවය නිසා ය. පහන්තුඩාවේ සිදුවීමට වග කිව යුතු දෙදෙනාට, ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වී දඬුවම් පවා ලැබෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට වෙනත් විදියකට නීතිය ක්‍රියාත්මක කෙරෙන නිසා ය.

රටක නීතියේ පාලනය යන්නෙන් අදහස් කරන්නේ තරාතිරම නොබලා සියලු දෙනා නීතියට එක සේ යටත් බව ය. එය සිදුවන බව පෙනෙනවා නම් පමණක් රටේ ජනතාව, නීතියට අවනත වීම කළ යුතුයැයි විශ්වාස කරති. එය එසේ නොවන විට, තමන් නීතියට යටත් වන්නේ කුමකටදැයි ප්‍රශ්න කරති. එක රටක් එක නීතියක් තනන්නට ආ අය මේ වන විට කර ඇත්තේ ජනතාවට නීතියේ පාලනය ගැන විශ්වාසය නැති කිරීම ය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි