No menu items!
26.8 C
Sri Lanka
12 November,2024

ආසියාවේ ණයකරුවන් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට

Must read

ආසියාවේ ඩොලර් බැඳුම්කර වෙළඳපොළ තුළ ඉහළම ආස්ථානයක ශ්‍රී ලංකාව රැඳී සිටියද, නව කොවිඩ් 19 ගෝලීය වසංගතයට රට ක්‍රමයෙන් ගොදුරු වීම හමුවේ එය දැන් බරපතල අගාධයකට වැටී තිබේ. එනම් ආසියාවේ රටවල් අතුරෙන් හොඳම මට්ටමක රටක් ලෙස ලංකාව නාමකරණය වී තිබුණ ද දැන් එය ඉතාම නරක තත්ත්වයක් දක්වා ලංකාව ගමන් කරමින් සිටියි. බ්ලූම්බර්ග් බාර්ක්ලීස් දර්ශකය පෙන්වනා දෙන පරිදි, පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන්හි වෙළඳපල වත්කම් පිළිබඳ සලකා බැලීමෙන් පමණක්ම එය තහවුරු වනු ඇත. එනම් සැප්තැම්බර් මාසයේ 15.5% කින් පහත වැටෙද්දී එය ඔක්තෝබර් මාසයේදී 20% කින් පහත වැටී තිබේ. එමෙන්ම පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාව වාර්තා තබමින්, ‘ආසියාවේ වැඩිම ණය බරින් පීඩිත රට’ බවට පත්ව තිබේ. 

මෙම ආර්ථික බිඳ වැටීම සිදු වන්නේ, මූඩි ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සිදු කළ බරපතල කප්පාදු කිරීමෙන් අනතුරුවය. නව කොරෝනා වසංගතයේ දෙවන රැල්ලකට රට යළිත් ගොදුරු වීම ඉදිරියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ 5.5% කින් සංකෝචනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව දරුණු අනාවැකියක් පළ කර තිබේ. ඇත්ත වශයෙන්ම එය වූකලී 1951 වසරේ සිදු වූ සංකෝචනයෙන් පසු සිදු වන විශාලතම සංකෝචනය වනු ඇත.

ඉහළ ලාභයක් උත්පාදනය කිරීම අරමුණු කොට ගෙන, වසර ගණනාවක් තිස්සේ අවම පොළී අනුපාතයකට අවදානම් සහගත ණය මුදල් ලබා දෙමින් කටයුතු කළ ගෝලීය මූල්‍ය කළමනාකරුවන්ට මෙම තත්ත්වය අනතුරුදායක ඇඟවීමකි. වර්තමාන වසංගත තත්ත්වය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ, මෙම ගෝලීය වසංගතය ඉතාමත් භයානක අන්තයක් දෙසට ගමන් කරමින් සිටින්නේ දැනට වසංගතය මූලික අදියරේ පටන් පැතිරෙමින් තිබෙන ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි වෙළඳපලවල් තුළ බවය. සංවර්ධිත රටවලට වඩා, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳපල මෙම ගෝලීය වසංගතයේ බලපෑමට දරුණු ලෙස නතු විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. එවන් බොහෝ රටවල් අතුරෙන්, සංචාරක කර්මාන්තය මත බෙහෙවින්ම රඳා පවතින ශ්‍රී ලාංකේය ආර්ථිකය වර්ධනයට ගෝලීය වසංගතයේ කම්පනය අතිශයින්ම දරුණු ලෙස බලපානු ඇත.

මෙවන් සන්දර්භයක් තුළ, අති සාර්ථක ලෙස පූර්ණ විධායක බලතල මුළුමනින්ම පවරා ගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුමෙන් පසුව ලංකාවේ පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයා රටේ ආර්ථිකය තවදුරටත් හානිවීම්වලින් වළක්වා ගැනීමට වහා පියවර ගත යුතුය. මෙම වසර ආරම්භයේදී රටේ බැඳුම්කර වෙළඳපොළ සක්‍රීයව මතු වූවේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ජයග්‍රහණය දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙනි. එය රටේ දේශපාලන ස්ථාවරත්වයක් සහ ප්‍රමාද නොවන ආර්ථික ප්‍රකෘතියක් කරා පරිවර්තනය වනු ඇතැයි යන සුභවාදී බලාපොරොත්තුව පැවතුණි. නමුත් රට තුළට සංචාරකයින් වහ වහා පැමිණෙනු ඇතැයි යන සංඥාවක් ඇති වුවද, දැන් වන විට ආයෝජකයින්ගේ සුභවාදී හැඟීම් මුළුමනින්ම පහව ගොස් ඇත.

(ඇමෙරිකාවේ බ්ලූම්බර්ග් පුවත් සේවයේ වෙබ් අඩවියේ වාර්තාවක සංක්ෂිප්ත පරිවර්තනයකි.)

පවිත්‍රා රූපසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි