No menu items!
27.5 C
Sri Lanka
29 March,2024

වැඩ බැරි ජනපති නිසා ඇසෙන බ්‍රසීලයේ අඳෝනාව

Must read

කොවිඩ්-19ලොව පුරා රාජ්‍යයන් ගණනාවකට නොසිතූ ලෙස එකවර කඩාවැදුණා. දැවැන්ත පෞරුෂයන් ගොඩනඟාගන්නට උත්සාහ කළ ඇතැම් පාලකයන් මේ අභියෝගය ඉදිරියේ සියල්ල අනාගත්තා. රාජ්‍ය පාලනය ගැන කිසිවක් නොදන්නා ඇතැම් ආධුනික නායකයන් මොනවා කරන්නදැයි සිතාගත නොහැකිව අසරණ වුණා.

විවිධ විශේෂඥයන් විවිධ උපදෙස් ලබාදෙන විට කුමන උපදෙස් පිළිගන්නදැයි සිතාගත නොහැකිව මේ ආධුනික නායකයන් සිටියා. ඇතැම් නායකයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට යෑමත්, තත්වය උග්‍ර කළා.

නායකයන් මෙලෙස අසමත් වෙද්දී පීඩාවට මුහුණදෙන්නේ රටවැසියන්. නායකයන්ගේ පෞරුෂය මත මාධ්‍ය හා අනෙකුත් ආයතන පද්ධති මෙහෙයවමින් එවැනි රටවල තුෂ්නිම්භූත වූ පුරවැසියන්ට විවිධාකාර වැරදි තොරතුරු ලබාදීමත්, කුමන්ත්‍රණ න්‍යායන් ගැන කීමත්, බාහිර සතුරන් ගැන බොරු කීමත් ඇතැම් නායකයන් කළා. තමන් දෙසට විරෝධය එල්ලවීම වැළැක්වීමට නොයෙකුත් උපක්‍රම යෙදුවා.

අපේ කතාව යන්නේ බ්‍රසීලයට. බ්‍රසීලයේ නගරවල බෙර වර්ග ආදිය වයමින්, බ්‍රසීල කොඩි රැගෙන, වාහන ආදියෙන් පවා එක්වෙමින් පෙළපාලි යන පිරිස් එකතුවෙන්නට පටන් අරගෙන. මෙවැනි ලොක්ඩවුන් විරෝධී රැලි බ්‍රසීලයේ එදිනෙදා දෙයක් වෙමින් පවතිනවා. මේ සටහන වයිස් නිව්ස් ආයතනයේ පුවත් වීඩියෝවක් ඇසුරෙන්.

බ්‍රසීලියාහි පදිංචිකාරියක වන මාරා ලෙමෝස් කියන්නේ මුඛ ආවරණ දැමීම කිසිම ප්‍රයෝජනයක් නැති බව. එය විකාරයක් බව ඇය කියනවා. ‘මේ විකාර ආණ්ඩුව මිනිසුන්ට එළියට යන්න නොදී සිරකර තබාගන්නවා.’යි ඇය කියනවා. ඔවුන්ගේ විරෝධය එල්ලවෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුවලට.

‘මගේ වයස අවුරුදු 64ක්. මම පරෙස්සම් වෙන්න ඕනෑ. ඒත් වැඩ නොකර ඉන්න බෑ. එහෙම වුණොත් බංකොළොත් වෙයි. කෑම නැතිව ඉන්න බෑ. රට වැහුවොත් බංකොළොත් වේවි.’ නල්දිර් මෙලෝ අසුන්කාඕ එසේ කියනවා.

මෙවැනි විරෝධතාකරුවන් ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කරන ප්‍රාන්ත නායකයන්ට විරෝධය දක්වනවා.

විද්‍යාඥයන් කියන්නේ බ්‍රසීල ජාතිකයන් තවදුරටත් නිවෙස්වල සිටිය යුතු බව. පසුගිය සතියේදී ගෝලීය මට්ටමෙන් විශේෂඥයන් අනතුරු හඟවා තිබුණේ බ්‍රසීලය ලොව වැඩිම වේගයෙන් රෝගය පැතිර යෑමේ මට්ටමක් තිබෙන රට බව.

එහෙත් විරෝධතාකරුවන් ඒවා සලකන්නේ නැහැ. බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බල්සනාරෝගේ නිවස ඉදිරිපිට පවා විරෝධතා තිබෙනවා. ඒ ඔහුට විරුද්ධව නෙවෙයි. ඔහුට පක්ෂව. විරෝධතාකරුවන් බල්සනාරෝට සහයෝගය පළ කරන වැකි කියමින් කෑගසනවා.

‘බල්සනාරෝ හරි’ විරෝධතාකරුවන් එකාවන්ව එලෙස කෑගසනවා. ‘බ්‍රසීල්, බල්සනාරෝඕඕ..’ තවත් විටෙක ඔවුන් කෑගසනවා

ඔවුන් එලෙස සහයෝගය පළ කරන්නේ මේ වසංගතය මාධ්‍යවලින් මැවූ බොරුවක් බව කී ජායිර් බල්සනාරෝටමයි. මේ වසංගතයට සූදානම් වීම සඳහා කිසිවක් නොකළ, පැතිර යන තුරු බලා සිටි, තවමත් කිසිවක් නොකරන බල්සනාරෝටම තමයි. ඔහු කිසිවක් නොකර ඉන්නවා පමණක් නොවෙයි, වසංගතය පාලනය සඳහා ප්‍රාන්ත නායකයන් ගනු ලබන ක්‍රියාමාර්ගවලට බාධා එල්ලකරනවා.

මේ මොහොතේ ලෝකයේ සිටින විකාර සහගතම නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඔහු කරන කියන දේවල් නිසා බොහෝ අය කල්පනා කරනවා. ඇමෙරිකාවේ ඖෂධ සම්බන්ධ ඉහළම ආයතනය කොවිඩ්-19 රෝගීන්ට පාවිච්චි නොකරන ලෙස උපදෙස් දුන් ඖෂධයක් තමන් පාවිච්චි කරමින් පරීක්ෂාවට ලක් කරන බව පසුගිය සතියේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා තිබුණා. විෂබීජ නාශක වර්ග පානය කිරීම ගැනත්, ඉර එළිය ඇඟ ඇතුළට රිංගවීමත් ගැන ඔහු කියන කතා නිසා ඇත්තටම මේ මොහොතේ ඔහු අසාර්ථක සහ විකාර සහගත නායකයෙක් තමයි.

එහෙත් ට්‍රම්ප් වැඩිපුර කැපී පෙනෙන්නේ ඔහු ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන නිසා විය යුතුයි. ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී රට විවෘත කරන ලෙස ඉල්ලා ඇමෙරිකානුවන් කළ විරෝධතාවන්ට සහාය පළ කරමින් ට්විටර් සටහන් තැබුවා පමණයි. ඔහුද, ප්‍රාන්ත ආණ්ඩුවලට එරෙහිව රට විවෘත කරන ලෙසට කළ ඉල්ලීම්වලට සහයෝගය පළ කළා.

එහෙත් ජායිර් බල්සනාරෝ එවැනි හැසිරීම් අතින් ට්‍රම්ප්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා. කලින් කී වර්ගයේ විරෝධතාවන්ට මාධ්‍යවලදී සහයෝගය පළකිරීම පමණක් නොවෙයි, ඒවාට වරින් වර සහභාගි වීම පවා මේ අමුතු ජනාධිපතිවරයා කරනවා. එලෙස සහභාගි වන අවස්ථාවක සියල්ලන් ‘බොල්ස-නාරෝ’ යැයි කෑගසනවා.

‘මම ජනාධිපතිවරයාව විශ්වාස කරනවා. ඔහුට හොඳ පිරිසක් උපදෙස් ලබාදෙමින් ඉන්නවා.’ එලෝ පෙරෙයිරා පින්ටෝ නම් උද්ඝෝෂකයා එලෙස කියනවා.

ජායිර් බල්සනාරෝ ජනාධිපතිවරයා මුල සිටම සමාජ දූරස්ථකරණයට එරෙහිව කතාකළා. රට ලොක්ඩවුන් කිරීමට එරෙහි වුණා. ඒ වෙනුවට හැකි තරම් රට විවෘතව තබාගැනීමට උත්සාහ කළා. කොවිඩ්-19 වසංගතය මාධ්‍යවලින් ගොඩනැංවූ බොරුවක් බව කීවා.

‘ජනාධිපතිතුමනි, කරුණාකරලා ගෙදර ඉන්න. කට පියං ඉන්න.  කට පියං ගෙදර ඉන්න.’ මෙසේ කියන්නේ සමාජ වෙබ් අඩවියක කටකාර තරුණයෙක් නොවෙයි. බ්‍රසීලයේ නගරයක් වන මැනාවුස්හි නගරාධිපතිවරයා. මැනාවුස් ඇමසෝනාස් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය.

‘අපි ආර්ථිකය විවෘත කළොත් සමූලඝාතනයක් වේවි. මට තේරෙන්නේ නැහැ මේ මනුස්සයාගේ ඔළුවේ මොනවා තියෙනවාද කියලා.’ මැනාවුස් නගරාධිපතිවරයා කියනවා.

මේ වන විට එම නගරයෙන් රෝගීන් 8000ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙලෙස නගර විවෘත කළොත් වෙනත් නගරවල පවා තත්වය එසේ වේවි.

වාහනයක රියදුරු අසුනේ සිට වයිස් නිව්ස් වෙත අදහස් දැක්වූ සැමුවල් ඩෙර්සි නම් තරුණයා මෙසේ කියා තිබුණා. ‘මම මේ කොවිඩ්-19 වැළඳුණු මගේ යාළුවෙක්ව මුණගැහෙන්න යනවා. එයා ගිලන් රථයක් ඉල්ලුවත්, ලැබී තිබුණේ නැහැ.’

ඇමසෝනාස් ප්‍රාන්තයේ අයිසීයූ ඇඳන් තිබෙන්නේ මැනාවුස්හි පමණයි. ඒ නිසා විවිධ ප්‍රදේශවලින් පිරිස් අයිසීයූ ඇඳන් සොයමින් නගරයට පැමිණ තිබෙනවා. රෝහල්වල තත්වය බලන්න බැරි තරම් දරුණුයි.

එක් කාන්තාවක් හඬා වැටෙමින් රෝහලෙන් පිට වෙනවා. ඇය සමඟ ඇවිදගැනීමේ අසීරුවෙන් පිරිමියෙකු ගමන් කරනවා. ඒ පිරිමියාව වත්තම් කරගත් තවත් කාන්තාවක්. මුලින් කී කාන්තාව බෙරිහන් දෙනවා.

‘අපි රෝහල ඇතුළට යනවා, එළියට එනවා. ඒත් අපට පරීක්ෂණයක් කරන්නේ නැහැ. උදව් කරන්නෙත් නෑ. මෙයාට අනිවාර්යයෙන්ම කොරෝනා වෛරස් තියෙනවා. ඩොක්ටර්ස්ලා කියන්නේ නිකන්ම උණ කියලා. උණ? මෙයාට තියෙන්නේ කොරෝනා.’ ඇය හඬනවා. පෙර කී පිරිමියා කෙළින් සිටගත නොහැකිව පපුව අල්ලාගෙන වාහනයකට හේත්තුවෙනවා. ‘කවුරුහරි උදව් කරන්න. කොරෝනා අපි හැමෝවම මරා දානවා.’ හඬා වැටෙන කාන්තාව කියනවා.

වයිස් නිව්ස්හි පළවූ ඉහත වීඩියෝවට අමතරව, මාධ්‍ය ආයතන රැසක් මෙවැනි සිදුවීම් වාර්තා කර තිබෙනවා. අසාධ්‍ය රෝගීන් මෙලෙස මහපාරේ සිටගෙන සිටීමත්, මැරී වැටීමත් එදිනෙදා දෙයක් වන තරම්. රෝහල් පමණක් නොවෙයි, මෘත ශරීරාගාර පවා පිරී ගිහින්. රෝහලකින් මිනියක් නිදහස් කිරීමට පවා ප්‍රමාද වෙනවා.

‘අපි දවස් කීයක් තිස්සේ එනවද? මිනිය දෙන්නෙ නැතිව රස්තියාදු කරන්නේ ඇයි.’ එක් කාන්තාවක රණ්ඩු වෙනවා.

මාස දෙකක් ඇතුළත මැනාවුස්හි 700කට වැඩි පිරිසක් මරණයට පත්වෙලා. මේ වන විට මියයන පුද්ගලයන්ට සමූහ මිනීවළවල් කපනවා. අවසන් කටයුතුවලට සහභාගි විය හැක්කේ පවුල්වල සාමාජිකයන්ට පමණයි. අනෙක් අය ගේට්ටුවල එල්ලී සමීපතමයන් සමුගන්නා හැටි හඬා වැටෙමින් බලනවා.

‘මේ දැන් මම දැක්කා රෝහලෙන් මිනී හයක් ගෙනාවා. ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. වෙනදාට මේ වගේ කවුරුත් නැතිව මිනී ගෙනැල්ලා දාන්නෙ නෑ. ඒත් දැන් වරින් වර මිනී ගෙනැල්ලා, ශීතකරණයක තියලා, පහුවදාට එකවර වළ දානවා.’ අසල මල්වඩම් ගොතන්නියක් කියනවා.

පාලනය ගැන නොදන්නා අසාර්ථක නායකයන්ගේ බලපෑමෙන් රටකට විය හැකි විනාශය ගැන දැන් බ්‍රසීලය හොඳම උදාහරණයක්. එය අද ඛේදවාචකයක්.

අනුරංග ජයසිංහ

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි