No menu items!
23.1 C
Sri Lanka
5 October,2024

අපේක්ෂකයන් බඩු බෙදීම ගැන නිරීක්ෂණ සංවිධාන කොමිසමට ලියයි

Must read


මැතිවරණ සමයක් වන මෙම කාලසීමාව තුළ පළාත් පාලන ආයතන සතු සම්පත් උපයෝගී කරගනිමින් සකසනු ලබන ආහාර හා වියලි ද්‍රව්‍ය පාර්සල් තමන් විසින් ලබා දෙන්නේය යන හැඟීම දනවන සේ ජනතාව අතර බෙදාහැරීමට මැතිවරණ අපේක්ෂකයන් පියවර ගෙන ඇතැයි පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.


අපේ‍්‍රල් 02 දිනැතිව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායකගේ අත්සනෙන් එම ලිපිය යවා ඇත.


ලිපියෙහි තවදුරටත් පෙන්වාදී ඇත්තේ රාජ්‍ය යාන්ත‍්‍රණය පොදුවේ ජනතාවට සහන සැලසීමට ගන්නා යම් යම් උත්සහයන්ද සමහර දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගේ අනිසි සහභාගිත්වය තුළ අවදානමට පත්ව ඇති බවය.


මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ කිසිදු දේශපාලන බැඳියාවකින් තොරව හා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය නොවන ආකාරයට සහනාධාර බෙදීමේ ක‍්‍රියාවලිය සිදුවන්නේද යන්න පිළිබඳ විධිමත් පසුවිපරමක් සිදුකිරීමට වහා පියවර ගන්නා ලෙසය. සමස්ත යාන්ත‍්‍රණය දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිසි අධීක්ෂණයෙන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමක් කරන ලෙසද එම සංවිධාන ඉල්ලා ඇත.


පාර්ලිමේන්තු මැතිවරණය කල් තබා ඇතත් මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා බාරදී ඇති බවත් එම නාමයෝජනා මැතිවරණ කොමිසම අනුමත කර ඇති බවත් එම සංවිධාන පෙන්වාදී ඇත.


මෙවැනි ආපදා අවස්ථාවක ජනතාවට සහන සැලසීම අවතක්සේරු නොවන බවත්, ආධාර බෙදාදීම කෙතරම් සංවේදී කාරණාවක්ද යන්න වටහාගෙන සිටින බවත් නිරීක්ෂණ සංවිධාන පවසයි. ‘කෙසේ වෙතත් එම සහන සැලසීමේ ක‍්‍රියාවලිය සිදුවිය යුත්තේ අදාළ දිස්ත‍්‍රික්කයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය හා නායකත්වය යටතේ ය.’

යම් අපේක්ෂකයෙක්ට සහෝදර ජනප‍්‍රජාව වෙත උපකාර කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේනම් එය ක‍්‍රියාත්මක කළ යුත්තේ ඉහත කී යාන්ත‍්‍රණය ඔස්සේ බවද එම ලිපියෙන් අවධාරණය කර ඇත. ජනතාවට සහනයක් ලබාදීමේ යහපත් අරමුණින් යුත් කිසිවෙකුට මෙම යෝජනාවෙන් බැහැරව කටයුතු කිරීමේ හැකියාවක් ඇතැයි නොසිතන බව වැඩිදුරටත් පෙන්වාදී ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි