No menu items!
28 C
Sri Lanka
18 September,2024

හිජාබය හැඳ විභාගයට ගිය සිසුවියන් හරවා යැවූ බවට චෝදනා

Must read

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියන් පිරිසක් විභාග ශාලාධිපතිවරයා හරවා යැවීමේ සිදුවීමක් සාමාන්‍යපෙළ විභාගය ආරම්භ කළ දෙසැම්බර් 02 වැනිදා වාර්තා විය. එම සිසුවියන් හිජාබය (හිස වැසෙන ඇඳුම් ෆර්දාව ලෙසද හඳුන්වයි.* හිජාබය ඇඳ පැමිණිම නිසා මෙසේ හරවා යවා ඇති බවට වාර්තා විය. එම සිදුවීම් සම්බන්ධයෙන් අනුරාධපුර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දෙසැම්බර් 03 වන දින ලංකා ගුරු සංගමය පැමිණිල්ලක් කර තිබුණි. ඉන්පසුව අනුරාධපුර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප‍්‍රියංකර දෙසැම්බර් 03 වැනිදාම එම විද්‍යාලවලට පැමිණ විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී එම සිසුවියන්ට හිජාබය හැඳ විභාගය ලියන්නට අවස්ථාව ලැබී ඇත. එහෙත් එම සිසුවියන්ට දින දෙකක් හිජාබය නොමැතිව විභාගය ලියන්නට සිදුවී ඇති අතර, විභාගය මැද ඔවුන් අපහසුතාවට පත්වී ඇත.


මේ අත්දැකීමට මුහුණදී ඇත්තේ කැකිරාව කඩාටුගම ජයා විද්‍යාලය, බ¥ර්දීන් මොහොමඞ් විද්‍යාලය හා අනුරාධපුර සහිරා විද්‍යාලය යන පාසල්වල සිසුවියන්ය.


හිජාබය හැඳ සිටි කාන්තාවන්ට රජයේ සේවාවන් ලබා නොදීමේ සිදුවීම් පසුගිය කාලයක් තිස්සේ වාර්තා විය. 2019 අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව මුහුණු ආවරණය කිරීම තහනම් කරමින් නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය මෙම සිදුවීම්වලට මූලික හේතුවයි. එම ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇත්තේ මුහුණ ආවරණය කිරීමය. එසේ නොමැතිව කිසිදු සංස්කෘතියකට අයත් නිශ්චිත ඇඳුම් පැළඳුම් තහනම් කර නොමැත. එහෙත් ඒ පිළිබඳව මාධ්‍යවලින් හා සමාජ මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ බුර්කාව තහනම් කරන ගැසට් නිවේදනයක් ලෙසය. බුර්කාව හා හිජාබය අතර වෙනස නොදන්නා ඇතැම් උදවිය පොදු ස්ථානවලදී හිජාබය ගැලවීමේ සිදුවීම් ගණනාවක් ඉන්පසුව වාර්තා විය. වෛද්‍යවරියක හිජාබය හැඳ සිටි කාන්තාවකට ප‍්‍රතිකාර නොකර සිටි අවස්ථාවක්ද වාර්තා විය. බොහෝ ඒවා හුදෙකලා සිදුවීම නිසා ඒවා එකිනෙක වාර්තා කිරීමක් සිදු නොවුණි. අනෙක් අතට මෙය හැම තැනකම දකින්නට ඇති තත්වයක් නොවීය.
කෙසේ වෙතත් පාසල් සිසුවියන්ට තීරණාත්මක විභාගයකදී මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවීම ගැන ඉතා බරපතළ ලෙස සලකන්නට සිදුවෙයි. මෙවැනි විභාගවලදී ශාලාධිපතිවරුන් හා විභාග නිලධාරීන් ලෙස පත් කරන්නේ එම සිසු සිසුවියන්ට හුරු පුරුදු පාසලේ ගුරුවරුන් නොවේ. වෙනත් නිලධාරීන්ය. ඒ ඇතැම් නිලධාරීන්ට මෙවැනි ඇඳුම් පැළඳුම් ගැන කිසිදු දැනුමක් නොමැති විය හැකිය. අප ධනාත්මක පැත්ත දෙසටත් මොහොතකට අවධානය යොමුකළ යුතුය. ඇත්තෙන්ම ඉහත කී පාසල්වල හැර දිවයින පුරා මෙවැනි සිදුවීම් වාර්තා වී නැත.


කෙසේ වෙතත් ඉහත කී පාසල්වල නිලධාරීන් නොදැන සිට ඇති කාරණය වන්නේ හිජාබය ලංකාවේ පාසල්වල නිල ඇඳුමක් ලෙස පිළිගන්නා බවය. ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ පවා ඇත. එක් උදාහරණයක් වන්නේ 2017 නොවැම්බර් 16 වැනිදා නිකුත් කළ අංක 2017/46 දරන චක‍්‍රලේඛයයි.


එහි ඇත්තේ පාසල් නිල ඇඳුම්වලට වවුචර් නිකුත් කිරීම පිළිබඳවය. හිස ආවරණය කරන ගවුම් රෙදිවලට රුපියල් 600 ත් 800 ත් අතර මිලක වවුචර් ලබා දී තිබුණි. ඒ අනුව සාමාන්‍ය ගවුම්වලට වඩා වෙනස් මිලක් හිස ආවරණය කරන නිල ඇඳුම්ලට ලබාදී තිබේ. පාසල් නිල ඇඳුම් අතර හිස ආවරණය වන ඇඳුමද කොටසකි.
මේ අත්දැකීමෙන් පීඩාවට පත්වූ සිසුවියන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙකු සමඟ කතාකළෙමු. ඉන් එක් අයෙකු වන එච්.එම්. ශමීන් මහතා අදහස් දැක්වූවේ මෙසේය.
‘කඩාටුගම ජායා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ ලියන්න ගිය සිසුවියන් 20 දෙනෙකු විභාග ශාලාධිපතිවරයා හරවලා යැව්වාට පස්සේ ඒ සිසුවියන් ළඟ තියෙන ගෙවල්වලට ගිහින් කොණ්ඬේ වැහෙන්න සේලයක් පැළඳගෙන ඇවිත් විභාගය ලීවා. ඒකෙන් ඒ ළමයි ගොඩක් අපහසුතාවට පත්වුණා. ෆර්දාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිගත්ත ඇඳුමක් බව කීවත් එය පිළිගත්තේ නැහැ. සමහර ළමයින්ගේ ගවුමටම අල්ලලා තමයි ෆර්දාව මහලා තිබුණේ. ඒ නිසා ඒ ළමයින්ට සම්පූර්ණයෙන්ම අලූත් ගවුම් හොයන්න සිද්ධවුණා. ඒ ළමයි ගියේ විභාගයක් ලියන්න. මේ වගේ සිදුවීම් නිසා එයාලා ලොකු බයකට පත්වෙලා තිබුණා. ඒ නිසා විභාගය හරිහැටි ලියන්න සමහර ළමයින්ට බැරිවෙලා තිබුණා. පහුවදා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇවිත් ශාලාධිපතිවරුන්ගෙන් මේ ගැන ඇහුවාම ඒ ශාලාධිපතිවරුන් කියලා තිබුණේ ඒ විදියට ළමයින්ව එළියට දැම්මේ නැහැ කියලයි. කොහොම වුණත් අධ්‍යක්ෂතුමා ඒ නිලධාරීන්ට අවවාද කරලා ගිහින් තිබුණා. ඒ ගැන අපි ස්තූතිවන්ත වෙනවා. අපි මේ සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලකුත් දැම්මා. සිද්ධියට මුහුණදුන් හැම ළමයෙක්ම ඒ ගැන ලිඛිතව ලියලා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට බාරදුන්නා.‘


මෙම සිදුවීම මාධ්‍යවලින් වාර්තා කළ පසුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එම සිදුවීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත් ඉහත දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල හා ලංකා ගුරු සංගමය පෙන්වන්නේ එවැනි සිදුවීමක් සිදුව ඇති බවයි. දෙසැම්බර් 04 වැනිදා පවා ෆර්දාව හැඳ පැමිණි සිසුවියන් හරවා යවන්නට උත්සාහ කර ඇති බව ඇතැම් චෝදනා එල්ලවෙයි. කෙසේ වෙතත් බියට පත්වූ ඇතැම් සිසුවියන් සාමාන්‍ය රෙද්දකින් හිස ආවරණය කරගෙන විභාගයට පැමිණ ඇත.
මෙය බැලූ බැල්මට සුළු සිදුවීමක් ලෙස පෙනී යා හැකිය. එහෙත් මෙවැනි සුළු සිදුවීම්වලට වුව ඉඩ නොතැබීම ඉතා වැදගත්ය. අධ්‍යාපන අමාත්‍යාංශය මේවා හදිසියේ ප‍්‍රතික්ෂේප කිරීම වෙනුවට, ඒ ගැන සොයා බැලූවා නම් එය යහපත්ය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි