No menu items!
20.5 C
Sri Lanka
7 December,2024

කරන්නාගොඩ සැඟවෙයි

Must read


තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සැඟවී ඇතැයි වාර්තා වෙන අතර  ඔහු ඉන්නා තැනක් පිළිබඳව හෝඩුවාවක් ලද වහාම අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අද්මිරාල් වසන්ත කරන්නාගොඩට පසුගිය සතියේ දැනුම්දීමක් කර තිබුණු අතර, එම දිනයේ ඔහු ප්‍රකාශය ලබාදීමට පැමිණ තිබුණේ නැත.  ඉන් පසු දිනයේද ඔහුට පැමිණෙන ලෙස දන්වා තිබුණත් එම දැනුම්දීම ලබාදීමටද ඔහු සොයාගැනීමට වී ඇත. පෙබරවාරි 21 සහ 22 වැනි දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වසන්ත කරන්නාගොඩගේ කිරුළපන පිහිටි නිවසට ගොස් ඇති නමුත් ඔහු නිවසේ සිට නැත. 

හිටපු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරු තිදෙනෙක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වසන්ත කරන්නාගොඩව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස එම සිදුවීමෙන් පසු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළෝය.

2008/2010 කාලයේදී නාවික හමුදා බුද්ධි කණ්ඩායමක් විසින් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා අතුරුදන් කිරීමේ සිද්ධිය එවක නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දැන සිට ඇතැයි කරුණු හෙළිවීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන බව මීට බොහෝ කාලයකට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි සනාථ කළේය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඉහළ දේශපාලන බලාධිකාරය විසින් එම අත්අඩංගුවට ගැනීම වළකනු ලැබිණි. පසුගිය දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව වසන්ත කරන්නාගොඩට විරුද්ධව චෝදනා ගොනුකිරීම ආරම්භ කිරීම තුළ ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට පත්වන්නට නියමිත විය.

මේ තත්ත්වය තුළ පසුගියදා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබිණි. එම පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙබරවාරි 28 දින සලකා බලනු ලැබීය. එහිදී පුද්ගලික හේතු මත බව පවසමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා නඩු විභාගයෙන් ඉවත් වීම හේතුවෙන් නඩුව එලඹෙන මාර්තු 7 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් අධිකරණය විසින් ලබා දෙනු නොලැබිණි.

මෙහිදී අගවිනිසුරු නලීන් පෙරේරා අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්නගෙන් වසන්ත කරන්නාගොඩව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදිය හැකිදැයි විමසා ඇති අතර එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කර ඇත.

මෙලෙස වසන්ත කරන්නාගොඩ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම වාරණ නියෝගයක් නොපනවා මාර්තු 7 වෙනිදා තෙක් කල් යෑම නිසා එම දිනය තෙක් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි