No menu items!
31.3 C
Sri Lanka
20 April,2024

මධු මාධවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු

Must read



ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මුලින්ම පැහැර ගැනෙන්නේ 2009 අගෝස්තු 27 දී ය. පසුව වැරදීමක් වූණේ යැයි කියමින් 2009 අගෝස්තු 28 දින උදෑසන කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ගල් වළක් අසල පැහැරගත් සහාසිකයින් ප්‍රගීත් අතහැර දමනු ලැබීය. එහිදී ප්‍රගීත්ට ජීවිතය ලැබුණි. එහෙත් පසුව කළ පැහැරගැනීම සහ අතුරුදන් කිරීම දෙස බලනවිට පෙනෙන්නේ මේ පැහැරගැනීම දෙවෙනි පැහැරගැනීමට පෙරහුරුවක් පමණක් බවය. ඉන්පසුව 2010.01.24 දින නිවසින් බැහැරට ගිය පසු ඔහු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත රාජපක්ෂ රෙජීමය පැතිරවූ මතය වුයේ ප්‍රගීත් කොටියෙක් බවය. ඊළඟට මෝඩ දේශපාලකයෙකු වන අරුන්ධික ප්‍රනාන්දුගේ කටින් ඔහු ගෙදර ආවේ ප්‍රංශයේ සිටය. දැන් නැවතත් ඔහු ගෙදර පැමිණ ඇත. ඒ ජාතිවාදී ආගම්වාදී උමතුවක සිරවී සිටින මදු මාධව අරවින්ද නම් ගායකයාගේ කෙටිකතාවක කතා නායකයා ලෙසය. ඔහු මේ කෙටිකතාව ලියන්නේ සිය ෆේස්බුක් පිටුවකය. අපි ඒ කතාවට පසුව යමු.
ප්‍රගීත් අතුරුදන් වූ පසු ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ තම සැමියා සමාජ කතිකාවතින් අතුරුදන්වීම වැළැක්වීමට මහත් වෙර වීරියක් ගත්තාය. ඇය තම සැමියාට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන්, ප්‍රගීත්ට මොකද්ද වුණේ? සොයා ගැනීමේ තිර අදිටනින් මැර ආණ්ඩුවක් පවතින සමයකදීද, ඉන්පසුව යහපාලන සමයකද සටන් වැදුණාය. තවමත් සටන් වදිමින් සිටින්නීය. හබයාස් කෝපුස් නඩුවක්ද ඇය ප්‍රගීත් වෙනුවෙන් අධිකරණයේ ගොනු කළාය. තමන්ට සහ දරුවන්ට බටහිර දියුණු රටකට ගොස් දේශපාලන රැ කවරණ ලබා හොඳ සුවපහසු ජීවිතයක් උරුමකරගන්න, මේ ප්‍රගීත් සෙවීමේ අරගලය ඇයට ඕනිවාටත් වඩා අවස්ථාව සලසා දී තිබුණි. එහෙත් ඇය ඒ සියල්ල පසෙක තබා තවමත් භුමියේ රැදෙමින් සටන් කරන්නේ අතුරුදන් කළ සිය සැමියාට යුක්තිය හා සාධාරණත්වය දිනාගැනීම උදෙසාය. එම සටනේම කොටසක් සේ ඇය පසුගිය දෙසැම්බර් 17 දා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නීය. ඒ මධු මාධවගේ මුහුණු පොතේ කෙටිකතාව පිළිබදව සොයා බලන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නය.
“2018/12/11 මධු මාධව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සදහන් කරලා තිබෙනවා ප්‍රගීත් ඩුබායිවල ඉන්දියන් කාන්තාවක් සමග ජීවත්වෙනවා කියලා. ඒ සඳහා ඔහුට තොරතුරු තිබෙනවා කියලා. ඉතිං මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මධු මාධවගේ මේ කතාව පිළිබඳව සොයලා ප්‍රගීත් මට ගෙනත් දෙන්න කියලා. අනික් පැත්තෙන් මේ කතාව ගොතපු බොරු කතාවක් නම් ඒකට සම්බන්ධ සියල්ලන්නටම දඩුවම් කරන්න කියලා. ඉතිං මම මධු මාධව මහත්තයාගෙන් ඉල්ලන්නේ ඔබ සිංහල ජාතිය ගැන ගොඩාක් හිතන ආදරය කරන රණවිරුවන්ට ආදරය කරන කෙනෙක් විදිහට ඔබ සතු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා ඔවුන්ගේ ප්‍රගීත් සෙවීමේ පරීක්ෂණවලට සහාය දෙන්න කියලා. මොකද මේ තොරතුරු ඔස්සේ ඔහු අපිට සොයා ගන්න පුළුවන් වුණොත් එමඟින් මේ සිද්ධියට දැනට සැක බුද්ධි නිලධාරින් ගලවා ගන්න පුළුවන්. ඔවුන්ට නිදහස් වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් මම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා ඔහු දන්නා තොරතුරු කියන්න කියලා මධු මාධව මහත්තයාට බලකරන්න කියලා. මොකද එතකොට ඔවුන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් තිබෙන චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන්.”‍ ඇය මේ අදහස් පළකළේ පසුගිය 17 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍ය අමතමින්ය.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ මෙම පැමිණිල්ලෙන් පසුව මේ ලියුම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් ඒ පිළිබද කරුණු විමසුවේය. ”‍ අපිට දැන් හිතන්න වෙනවා මධු මාධව මහත්තයා ෆේස්බුක් ගිණුමේ මේ ලියලා තියෙන්නේ ඇත්ත කියලා. ඒ අනුව අපිට මේ ප්‍රකාශය පිළිබඳව සත්‍ය මොකද්ද කියලා හොයන්න වෙනවා. මේ පැමිණිල්ල සමග අපි තීරණය කළා මේ පිළිබඳව මොකද කරන්න ඕනි, කුමන නීති ප්‍රතිපාදන යටතේද මධු මාධවගේ මේ ප්‍රකාශය පිළිබඳව කටයුතු කරන්නේ කියලා නීතිපතිගෙන් කරුණු විමසන්න. ඒ අනුව ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුව අපිට උපදෙස් දෙයි මේ පැමිණිල්ල සහ මධු මාධවගේ මේ ප්‍රකාශය පිළිබඳව කොහොමද කටයුතු කරන්න ඕනි කියලා.”‍
තත්ත්වය මෙසේය. එහෙත් අපිනම් කියන්නේ මධු මාධව අරවින්ද නැමැති මේ ගායකයා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා මේ පිළිබඳව ප්‍රශ්න කළයුතු බවය. රටක් බලාසිටින මෙම පරීක්ෂණ නොමග යැවීම සහ ඒ පිළිබඳව සිංහල ජනතාව තුළ විරෝධයක් වගාදිගා කිරීම මේ සහාසික ලියවිල්ලේ අරමුණ වන්නට බැරි නැත. මෙවැනි ගල්පැලෙන පට්ටපල් බොරු මෙලෙස රටක් ඉදිරියේ තබා ජනතාවක් ගොනාට ඇන්දවීම කොතරම්නම් නරුමද? සහාසිකද? අනෙක් පැත්තෙන් එය නීතියට පටහැනි නොවන්නේද? එනිසා ජනතාව මත විෂ පැතිරවීම ජනතාව කුලප්පු කිරීම ආදී කරුණු ඔස්සේ හෝ මෙම පරීක්ෂණවලට අනියමින් බාධා කිරීම යටතේ හෝ මේ පුද්ගලයාට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

මධු මාධවගේ ෆේස්බුක් ප්‍රකාශය
ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතර

ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ උන් අතරෙන් ඇදෙමින් තිබුණු කලාකරුවන් දෙපළකි. එකෙක් මධු මාධව වෙන මම සහ අනිකා මගේ මිතුරු අතුල අධිකාරි ය…..දේශපාලනය තුළ මා තිබ්බ සිංහල ලකුණට ආදරේ අපේ උන් අපේ සිංහලයා කියා ආදරෙන් පිට අත ගානකොට ජාතියක් යනු අකුරුවලට එහා ගිය බැඳීමක් බව යළි යළි උගතිමි….මගේ ජාතියට වින කරන එකෙක් මරාගෙන යන්න ඇත්තම්… මගේ නිවන මගේ ස්වර්ගය එය බව මාව දන්නො දනිති….මරා දමන උන් ජීවත්විය නොහැක….මරණය විකුණා ජීවත් වෙන උන්ද ඇත….ප්‍රසංගය අවසන අපේ උන්ගේ ආදරය මැද එන මගේ කනට ලන් වූ එකෙක් කී පණිවිඩයෙන් ඇඟ කිලි පොලා ගියේය……අයියේ අර එක්නැලිගොඩ ජීවත් වෙනවා…ගෑනියෙක් එක්ක…..ඩුබායිවල – – මාන්වල…
කලබලයෙන් කියූ ඒ කතාව මගේ පපුව හරහා විදුලි වේගයෙන් දිව ගියා…. මගේ අත තදින් ඇල්ලූ ඒ මල්ලී… අතේ තුන්ඩුවක් රඳවා… සෙනඟ මැද්දෙන් නොපෙනී ගියා…
කල බලයෙන් ලියන ලද දුරකථන අංකය….
මුලු‍ රෑ පුරා මට බොහෝදේ මතක් කරත්..ප්‍රසංගයක් අවසන පාන්දර වෙනකම් අපිට තනි රකින මිතුරන් සුපුරුදු ලෙසම අපි සමග රැය පහන් කලා. jecobs garden හෝටලයේ, 161 කාමරය හිස් උනේ පාන්දර පහට….අවසන් මිතුරන්ද නික්ම ගිය පසු…. මුලු‍ කාමරයේම තිබුණේ මහ වැස්සකට පසු අහස මෙන් නිහඬ කමක්…. වහා ප්‍රසංගයට ඇන්ද ඇඳුමේ ඇති…ගුලි කරගත් දුරකථන අංකයට කතා කලා……
ඉතා පැහැදිලිව කතා කල ඔහු … එම දුරකථන අංකයට ආයෙත් කතා නොකරන ලෙස ඉල්ලා. දහවල් 12 ට හෝටලයෙන් එලියට් පැමිණෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියා….. ඩුබායි යන්නට පෙර මගේ මිතුරන් දිගින් දිගටම කියා සිටියේ කිසි තැනක තනියම නොයන ලෙසයි……
මගේ මුරණ්ඩු හිත මාව හරියටම 11.55 ට හෝටලයෙන් එපිටට ගෙන ගියා…. වේගයෙන් පැමිනි වාහනයක් හරියටම 12.01ට හෝටලය ඉදිරිපස නැවතුනා…..පිටිපස tint කර තිබුන දොර පැමිණි වෑන් රථයේ ඇරුනා… ඔව් ඒ රුව මට මතකයි…. ස්තූතියි අයියේ මාව විශ්වාස කරාට….. ඔහු මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා මිමුනුවා……
අයියේ මම කසාද බැඳපු එකෙක්… මට පුතෙක් ඉන්නවා…මන් බැඳලා ඉන්නේ ඉන්දියානු ගැහැනියක්…. මගේ ගෑනි හරි හයියයි….
අපි ඉන්නේ – – මාන් වල…( ඔහුට දුන් පොරොන්දුව මත මට ඔහුගේ නම ලිපිනය සහ ඇතැම් කරුනු හෙළි කල නොහැක. සමාවෙන්න)
ඔහු කියවගෙන කියවගෙන යයි….වාහනය එලවන ඉන්දියානුවා හට මේ කිසිවක් නොතේරෙන බව දැනුනේ ඔහු කිසිම අපේ කතාවට වචනයක් පිට නොකළ බැවිනි….
මල්ලි ඊයේ උබ අදට වඩා වෙනස්…. රාත්‍රීයේ කලබලේ තොප්පියක් සමග පැමිණ ගිය ඔහු අද වෙනස් බැවින්… මා විමසූවෙමි….
ඔහු නිහඬ විය……. පසු පස පුටුවට බර විය… වාහනය නතර විය….. වාහනයේ රියදුරු වාහනයෙන් බැස පිටිපසින් ගොඩ වෙන විට වාහනයේ මෙතෙක් කතා කල මල්ලී වාහනයෙ රියදුරු විය…..
මගේ හිත මදක් තිගැස්සුනි..
ඔහු වහා මගේ හිත සන්සුන් කරන්න පටන් ගත්තේ….
”ඌ කිව්වේ මගේ කතාව අයියේ”‍
ඊයේ රෑ ආවේ මම…. මම හොඳින් බැලු‍වෙමි …ඔව් ඒ ඔහු තමා…
අපි මාන්වල විලා එකක් අරගෙන ඉන්නේ…මගේ නෝනා ඉන්දියානු කෙනෙක්… අපේ විලා එකේ කාමර හයක් තියෙනවා කුලියට දීලා.. මගෙ ගෑනී ඉන්දියානු කෙනෙක් නිසා අපි ඔක්කම කාමර දුන්නේ ඉන්දියානුවන්ට….අයියේ මාස හයකට කලින් අපේ කාමරයකට ආව ජෝඩුවක් ඉන්දියානු ගෑනියෙක් නිසා අපි කාමරය දුන්නා අවුරුද්දකට…..මම ගෙදර කතා කරන් නේ හින්දියෙන්….ඒත් අයියේ…. අපි කුලියට දුන්න කාමරයෙන් හැම වෙලේම ඇහෙන සිංහල ප්‍රවෘත්ති මාව පුදුම කලා…….ඔහු එක දිගට කියවන් යයි…. අයියේ මන් හමුදාවෙන් පැන්න එකෙක්….. ඒ නිසා තමා මන් ඉන්දියානු ගෑනියෙක් එක්ක් ජීවත් වෙන්නේ…. මා ප්‍රසංග බලන්න එන්නෑ… මට ලංකාවේ යාලු‍වෝ නෑ….අපේ ගෙදර කාමරයකට අලු‍තෙන් අපු වැඩි කතා නැතිව කාමරේ අස්සෙම ඉන්න එකාගේ මූණ මට හරි හුරුයි…කියලා මගේ හිත කිව්වා අයියේ….ඒ වගේම අපේ කාමරේ තලතුනා හින්දි ගෑනියෙක් එක්ක ඉන්න එකා, ලංකාවේ ප්‍රවෘත්ති මේ හැටි අහන්නේ… මොකද කියලා මගේ හිත වද දුන්න අයියේ….ඒ මිනිහා හැම වෙලේම අහන නන්දා මාලනීගේ ගීත හරහා මන් මූට ලන් උනේ මා හින්දි එකෙක් කියමින්…. (සැබැවින් ඔහුට හින්දි පෙනුමක් විය) ඔහු කොයි වෙලෙත් ලැප් ටොප් එකේ අකුරු කරමින් සිටියා…. හැමදාම රාත්‍රියේ ඩුබායි වෙලාවෙන් හතට ඔහු නිවසේ ඉදිරිපිට ඇති..කොහොඹ ගහ යට සිට ඇමතුමක් ගන්න එක අපිට හුරු උනා…දිනක මම ඒ අසල රැදුනේ මොහු වැඩි කතා නැති ගුප්ත චරිතයක් නිසා…..ඔය කියන දින කිසිවෙක් හමුවන්නට නො එන සිංහල ප්‍රවෘත්ති අහන ගීත අහන ඉන්දියානුවා ඇමතුම පිට කරන බොත්තම ඔබා අහස දෙස බලා සිටියා…..හමුදාවෙන් පැන්න කෙනෙක් නිසා මගේ හිත ටිකක් ගැස්සිල තිබ්බේ අයියේ… ඔහු කිය ගෙන කියා ගෙන යයි…..දුරකථනය ගත් සැනින් ඔහු සිංහලෙන් ඉලක්කම් කිහිපයක් කිව්වා…. අනික් පැත්තෙන් කියූ දේ ඇසුන් නැතත්….ඔහු ඇමතුවේ … සන්ධ්‍යා කියන නමට…..අයියේ ඒ ඌ තමා…. ඌ කතා කල සියල්ල මගේ පපුවට හෙන ගැහුව් වගේ අයියේ….අයියේ ඌ තමා එක්නැලිගොඩ.. උන්ගේ කතාව අහගෙන ඉන්න කොට මට මූව කෑලි කෑලිවලට කපන්න තරම් තරහයි අයියේ….
මම පත්තරවල විතරක් දැකපු මේ කාලකන්නියා ඉන්දියානු ගෑනියෙක් එක්ක ඩුබායිවල ඉන්න ගමන්…. මූ මැරිලා කියලා.. මූව මරලා කියලා…
ලෝකෙට කරන මේ බොරුව… මට උහුලන්න බැරි උනා අයියේ…. අදුරෙන් එළියට ඇදුන මගේ දිහා ඌ ඉතා තියුණුව බැලු‍වා…. මන් හින්දියෙන් ”උඹ ඔතන හිටිය එක් මන් දැක්කේ නෑ ”‍කියද්දි… උගේ මූන මලක් වගේ පිපුනා….
මම එතනින් එනකොට ඌ කිව්ව සිංහලෙන් ගෙදර අයිති එකා මෙතනින් ගියා … කියලා…අනික් පැත්තෙන් කියපු දේ මොකක්ද ඇහුන් නැතත්.. ඒ ගෑනු කට හඬක් බව තේරුණා…. ඒ අපේ හාමුදුරුවන්ව හිරේ දැම්ම සක්කිලි ගෑනි කියලා දැනෙද්දි මූව මට මරන්න හිතුනා අයියේ….
ඩුබායි දේශයම මට වාහනයේ ඇති බව හිතෙන තරම් මහා අමුත්තක් දැනුනි…ඒ මලයා කතා කරයි…..
අයියේ…මම එක පාරටම මුගෙ කාමරේ පැත්තට ගියා…..ඕනේ දෙයක් වෙන්න කියල කාමරේ ඇරියා… හින්දි ගෑනි ඒ වෙලාවේ හිටියෙ නෑ…. මුගේ මේසෙ පුරා තිබ්බේ කොල කෑලි… ලියලා ලියලා දාපු කොල කෑලි… ඔක්කම සිංහල අකුරු….. මුගේ පාස්පොර්ට් එක හෙව්වට ඒක හමු උනේ නෑ.. මම කලබලෙන් කලබලෙන් මොකක් හරි සාක්කියක් හෙව්වා අයියේ…. මුගෙ ලාච්චුව ඇරිය වෙලාවේ….පරණ වෙච්ච බැංකු කාඩ් එකක් තිබ්බා අයියේ…ගැහි ගැහී මම වෙව්ල වෙව්ල ඒ කාඞ් එක කියෙව්වා අයියේ…ඒ තමා ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා…..මම මගේ ජංගම දුරකථනය අරන් එන්න පැන්න කාමරෙන් එළියට….මට ඕනෙ උනේ මොකක්ද කරන්න කලිනුත් ඡායාරූපයක් ගන්න… එය රැගෙන මම නැවත එන කොට….දොර ළඟ සිට ඇරුන අගුල දිහා බලා හිටි ඒ පර බල්ලා මන් හරියටම ඇදුනුවා….ඌ ලොක් එක දිහා බලාගෙන ලොකු කල්පනාවක… මන් කිසිත් නොදන්න විදිහට උඩට ගියා… මට නින්ද ගියේ නෑ අයියේ…. දවසම මට රටේ නැති දේවල් හිතුනා… මූව මරලා හන්ගන්න හිතුනා… vedio කරල පෙන්නන්න හිතුනා…මගෙ දරුවගෙයි නෝනගෙයි අපේ හමුදුරුවන්ගේ මූණයි මාරුවෙන් මාරුවට මට පෙනුනා..අර කාලකන්නි ගෑනි ලෝකෙටම බොරු කරමින් යන ගමන්… මූ මෙහෙ ඉන්දියානු ගෑනියෙක් එක්ක එකිට බොරු කරනවා.. නැත්තම් මූ දුරකථන ඇමතුම ගන්න එළියට එන් නෑ…. මම රෑ පුරාම හිතුව අයියේ…මොකද කරන්නේ කියලා…..උදේ මම හිතුවා මුගෙන් කෙලින්ම අහනවා කියලා….. මම උන් හිටිය කාමරේ ඉස්සරහට් උදේ ම ගියා…. දොර ලොක් එක කරකවලා ඇරියා දොර ඕනෙ දෙයක් වෙන්න කියලා…. අයියේ මුන් දෙන්න කාමරේ ම හිස් කරලා යන්නම ගිහින් තිබ්බා…..මට සමාවෙන්න අයියේ.. මන් මූව රෑම කුදලලා තලලා හරි කියව ගත්තනම්.. ඩැාසද කලා නම්. අර බැල්ලිගේ කට වැහෙයි… සන්ධ්‍යා එක්නැලිගොඩ කියන ඩොලර් කාක්කි එහෙනම් රගල ඉවරයි….මා හොයනවා අයියේ… මම කොහොම හරි හොයනවා මුලු‍ — — මාන් එකම පීරලා… අයියේ මන් බොරු කියන්නෑ…..ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා , ජීවතුන් අතර……
එතනින් පසු බොහෝදේ ඔහු කියා…. මාව නැවත නවාතැන් පළ වෙත ගෙන එන්නෙ…දහසකුත් දේ හිතේ පුරවමිනි…ඔහු බොරුවක් කීවනම් ඒ බොරුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.. නම ගමවත් නොකියූ ඔහු එසේ කීවේ ඇයි….
කාලයට ඉඩ දෙමු.. ඔබ ඩුබායි ඉන්න කෙනෙක් නම්… හොයන්න බලන්න..
ඔහු කියන හැටියට…
ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතරලු‍…..
දැක්කොත් ඡායාරූපයක් vedio shot එකක් ගන්න… ජාතියට වින කරපු පරයෙක් සහ බැල්ලියක්ගේ බොරුව හෙළි කරන්න හොඳින් විමසිලිමත් වෙන්න…..ඔහුව මරා දැම්මාට කම් නැත… මොකද ඔහු ගේ මිනිය මගේ රට විකුණමින් ජීවත්වෙන බැවිනි. ඡායාරූප සියල්ල නැවත් බැලීමේදී එකම එක සාක්කියක් ඉතිරිවී තිබුණි…..■
මධු මාධව අරවින්ද
දෙසැම්බර් 11 දින 12.56 ට (මෙහි අක්ෂර නිවැරදි කර ඇත.)

■ කේ සංජීව

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි