No menu items!
23.2 C
Sri Lanka
13 May,2024

දෙයියො බෙදාගන්න බැරුව ධම්මින්න හිමිට වෙඩි

Must read

කේ. සංජීව

‘හාමුදුරුවන්ට වෙඩි තිබ්බට අපිට කමක් නෑ. මොකද හාමුදුරුවෝ කියන්නේ හොඳ චරිතයක් නෙවෙයි. අපිට ප‍්‍රශ්නය තියෙන්නේ කිරිවෙහෙර පුදබිම ලෙයින් තෙත් කරපු එකයි. ඒක කැත වැඩක්. අනික මෙතැන අනුහස් තියෙන නිසා තමයි කකුලටයි බඩටයි වෙඩි පිට වෙඩි වැදිලත් හාමුදුරුවෝ බේරුණේ.”‍
කතරගම කිරිවෙහෙර ආසන්නයේ දිවි ගෙවන මගේ මිත‍්‍රයා දුරකතනයෙන් මා සමග පවසන්නේය. හොඳ චරිතයක් නොවෙයි කියූ සැණින් ප‍්‍රශ්නයක් පැනනැගෙන අතර, අනෙක් පසෙකින් හොඳ චරිතයක් නොවෙයි කියා ඔහු හෝ ඇය ඝාතනය කරන්නට හෝ ඒ සඳහා උත්සාහ කරන්නට හෝ කුමන පුද්ගලයෙකුටවත් අයිතියක් නැති බවද කිවයුතුය. දැන් රට අරාජිකයි, හමුදුරුවොන්ටත් වෙඩි තියන කාලයක් මේක, මේ වෙඩි තැබීම අරබයා කතාවන් පැතිරෙන බැවින්ද, එනිසාම බොහෝ දෙනෙකු බොරදියේ මාළු බාන්නට කැසකවන බැවින්ද, කිරිවෙහෙර පන්සලේ නායක හාමුදුරුවන්ගේ කැරැුට්ටුව නොදන්නා බෞද්ධයන් මෙම වෙඩි ප‍්‍රහාරය බුදු දහමට විරුද්ධව එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් සේ සලකා නැවත දියසෙන් කුමාරයෙකු හොයන්නට උත්සාහ ගන්නට පුළුවන් නිසාද අපි මේ කිරිවෙහෙර පන්සලේ වෙඩි තැබීමේ කතාවේ සුලමුල සොයන්නට සිතුවෙමු.

කතරගම කිරිවෙහෙර
කිරිවෙහෙර යනු මහසෙන් රජ විසින් තැනුණු සහ ශ‍්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්තූපයකි. අඩි 95ක උසකින් යුතු එය අඩි 280ක වට ප‍්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක‍්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි. මේ කිරිවෙහෙර ඉතිහාසය පිළිබඳව සාමාන්‍යයෙන් කියන කතාවය. ලංකාවේ ජනප‍්‍රිය මෙන්ම පිංවත් සැදැහැවතුන්ගෙන් වැඩියෙන්ම මුදල් සහ ආධාර ලැබෙන වෙහෙර විහාර අතර කිරිවෙහෙරද ඉහළින්ම සිටියි. දේශපාලකයන්ගේද ධනවතුන්ගේද නිරන්තර ගරු බුහුමනට ලක්වෙන මෙම ස්ථානය, ඔවුන් අතර ජනප‍්‍රිය වන්නට හේතුව වී තිබෙන්නේ තමන්ට තිබෙන බලාපොරොත්තු මෙම ස්ථානයේ දී භාරයක් වීම මගින් සපල වෙන බවට වන විශ්වාසයයි. එනිසාම සල්ලිද රන් ද තවත් බොහෝ දේවල්ද මේ පන්සලට ලැබෙන්නේ තොග ගානටය. මේ මහා පන්සල ඇතුළත මහසෙන් දේවාලය නමින් දෙවොලක්ද පවත්වාගෙන යයි. එතැනටද සල්ලි සහ රන් ලැබෙන්නේ දෙවියන් ගෙනත් දෙන්නා සේ ය. ඉතිං මේ බිමේ වැඩවසන නායක හිමිද එහිමිගේ ගෝල හිමියෝද මේ මහසෙන් දෙවොලේ කපුවෝද මේ සල්ලි ලබාදෙන දෙවියන්ගේ නියෝජිතයින් සේ මේ බිමේ සෝබමාන ජීවිත ගතකරති. මේ තත්ත්වය තුළ දැනට වාර්තා වෙන විදියට සහ ගම්මුන් කියන විදිහට මේ ඝාතන තැතටද, මේ අසිරිමත් පුදබිමේ ලේ සෙලවීමේ පාපකරුමයටද හේතුව පන්සලට ලැබෙන මේ අසීමිත ධනය බෙදාගන්නට කුලල් කා ගැනීමය.

සිද්ධිය
කිරිවෙහෙර පුදබිමේදී පසුගිය 12 වැනි දින රාත‍්‍රි 10.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අතර එයට ඉලක්ක වන්නේ පන්සලේ වර්තමාන විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමක් ය. ඒ කිරිවෙහෙර වැදපුදාගෙන පහළ මළුවේ ධාතු මන්දිරයට දෙසට යන විටය. ගම්මුන් කියන්නේ විහාරාධිපති හිමියෝ පන්සලේ සිටිත් නම් සාමාන්‍යයෙන් රාත‍්‍රියට මෙම චාරිකාව සිදුවන බවය. මෙහිදී කොබවක හිමිගේ උදර ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාර 5ක් එල්ල වී ඇති බව හම්බන්තොට මහා රෝහලේ ප‍්‍රකාශකයෙකු පවසන අතර එනිසාම එහිමියන් හදිස්සි සැත්කමකට ද ලක්කර ඇත. මේ ලිපිය ලියන පසුගිය බදාදා සවස වනවිට එහිමියන් හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගුවනින් කොළඹ ගෙනැවිත් ඇත.
එහිමියන් කොළඹ ගෙනේමත් සමග ජාතික රෝහලට පැමිණෙන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ කතරගම නායක හිමියන්ට කතරගමදීම වෙඩි තැබීම වර්තමාන පාලනයේ දුර්වලතාවක් බවය. වර්තමානයේදී නීතිය වල්වැදී ඇතැයි එහිදී පවසන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොලීසිය සහ ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම විහිලූ‍ සහගතය. වර්තමානයේ පාතාල ක‍්‍රියාකාරකම් මෙන්ම සමාජ ප‍්‍රචණ්ඩත්වයද උත්සන්න වී ඇත. දකුණේ පාතාල ක‍්‍රියාකාරකම්වලම දිගුවක් ලෙස පසුගියදා කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඞ් සම්පත් ද මහපාරේ වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. ඔහු හිටපු පාලකයාගේ සුවච කීකරු ගෝලයෙක්ය. මේවායින් පෙනෙන්නේ රාජපක්ෂ යුගයේ සමාජ තත්ත්වයන් සමාජයෙන් උදුරා දැමීමට වර්තමාන ආණ්ඩුවට නොහැකිවී ඇති බවය. භාවනාවට මුල් තැන දෙන පොලිස්පතිවරයෙකු ලැබීමේ වාසනාව නිසා මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරිත්වයන් ඉහළ ගියා යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය.
එනිසා බොරු සෝබන පොලිස්පති දැන්වත් වැඩ පෙන්විය යුතුය.

මෙම සිද්ධියේදී තුවාල ලැබූ අනෙක
ඇත්තටම මේ වෙඩි තැබීමට හේතුව කවරේද? අපි ගම්මුන්ගෙන් විමසුවෙමු.
‘පන්සලේ ඉස්සෙල්ලා හිටපු නායක හාමුදුරුවෝ, අලූ‍ත්වැව සෝරත ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ තමයි පානදුරේ කෙසෙල්වත්ත පන්සලේ ඉඳලා මේ හාමුදුරුවෝ කිරිවෙහෙරට වඩින්නේ. එතකොට මහසෙන් දේවාලේ කපු මහත්තයා සහ සහයකයා විදිහට හිටියේ අසේල බණ්ඩාරයි, ජනක බණ්ඩාරයි කියන අයියයි මල්ලියි. කොහොම හරි මේ දෙගොල්ලෝ හොඳට හිටියා. දේවලේත් හොඳට කළා. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෝ හොඳට මේ දේවාලෙට සල්ලි රත්තරන් දුන්නා. මෙහෙම දේවාලෙට දීපු රත්තරං මාලෙකට වංචා කළා කියලා ධම්මින්න හාමුදුරුවෝ මෙයාලා එක්ක විරසක වුණා. මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ගේ යාළුවෙක් තමයි දේවාලෙට මාලය තෑගි කළේ, ඊට කලින් ඒක වීඩියෝ කරලා හාමුදුරුවන්ට දීලා කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ මාලේ ගැන කපු මහත්තයාගෙන් ඇහුවාම කපු මහත්තයා වෙන මාලයක් තමයි ගෙනත් දීලා තියෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවොයි මේ කපුවෝයි විරසක වුණා. හාමුදුරුවෝ දේවාලෙට සීසීටීවී හයිකරන්න හැදුවත් කපුවෝ නිසා ඒක කරගන්න බැරිවුණා. අන්තිමට මේ දෙගොල්ලෝ දේවාලේ අයිතියට නඩු කිව්වා. අවුරුද්දක් විතර ගිහිං නඩුවෙන් හාමුදුරුවෝ දිනුවා. දේවාලේ කිරිවෙහෙරට අයිති වුණා. අර කපු මහත්තුරු එළියට දැම්මා. ඊට පස්සේ දිගටම ප‍්‍රධාන කපු මහත්තයා කියලා තියෙනවා ධම්මින්න හාමුදුරුවෝ මරනවා කියලා, තනියෙන් දේවාලේ කන්න ඉඩ තියන්නේ නැහැ කියලා.’
කිරිවෙහෙර අවට මිනිසුන් කියන ලෙස මේ වෙඩි තැබීමේ මූලය තිබෙන්නේ මෙතැනය. ගම්මුන් කියන ලෙස මේ කාලය තුළ හාමුදුරුවන්ට විරුද්ධව කැලෑ පත්තර විශාල ලෙස ගසා ඇත. එම කැලෑ පත්තර සහ මේ විරසකය නිසා හාමුදුරුවන්ගේ රහසිගත කොළඹ ජීවිතය කිරිවෙහෙර අවට මිනිසුන්ට තවදුරටත් රහසක් වන්නේ නැත. එනිසා ගමේ මිනිසුන් කියන්නේ හාමුදුරුවන්ගේ කැරැුට්ටුවද භික්ෂුවකට තරම් නොවෙන බවය. එහෙත් එයින් වෙඩි තැබීම සාධාරණ වන්නේ නැත. අනික් පසෙකින් දෙවියන් සහ දෙවියන්ගෙන් එන සල්ලි බෙදාගන්නට සහ බදාගන්නට සැපත අතහැර මහණ වෙනවා යැයි කියන මේ භික්ෂූන්ට යුතු නැත. එය විකාරයකි.

තරම් නොවෙන ක‍්‍රියා
මෙම හාමුදුරුවන්ට පානදුර ප‍්‍රදේශයේ අඹුවන් දෙදෙනෙක් සිටින බව කිරිවෙහෙර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කරුණක්ය. මෙම ලිංගික කාරණාවන් පිළිබඳව මේ ලියුම්කරුට නම් කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බව කිව යුතුය. එහෙත් මෙම කාන්තාවන් දෙදෙනා මේ හාමුදුරුවන්ට විරුද්ධව තිස්සමහාරාම අධිකරණයේ නඩු දෙකක් පැවරීම ප‍්‍රශ්නකාරීය. මේ කියැවෙන එක කාන්තාවකට එක දරුවෙකු සිටින අතර, අනෙක් කාන්තාවට දරුවෙකු ලැබෙන්නට සිටින බවද අසන්නට ලැබෙයි. ඔවුන් තමන්ට සාධාරණය ඉටුකරගැනීම සඳහා නඩු මගට පිවිස ඇත. ඒ මේ හිමියන් එම කාන්තාවන් මේ වන විට අමතක කර දමා තිබෙන නිසා වන්නට පුළුවන්ය. ප‍්‍රශ්නය තිබෙන්නේ මෙතැනය. පන්සල්වල සිටින භික්ෂූන් රහත්වී නැති නිසා හැඟීම් දැනීම් නැති පිරිසක් යැයි සිතන්නට බැරිය. එනිසා හොඳම දෙය තමන්ට ගිහි ජිවිතයක් ගතකරන්නට අවැසි නම් මහණ දම් අතහැරීමය. එවිට සමාජයටත් එය ප‍්‍රශ්නයක් නැතිය. පන්සලටත් ප‍්‍රශ්නයක් නැතිය. එහෙත් අද සිවුර ඇඳ සිවුරට මුවාවී බොහෝ භික්ෂූන් කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමය. මේ තත්ත්වය තුළ අද පන්සල් යනු ව්‍යාපාරික ස්ථානයන් ය. ලොකු ලස්සන විසිතුරු හිටි පිළිම හිඳි පිළිම සපිරි පන්සල් ලොකු ව්‍යාපාරික ආයතනයන්ය. එනිසා ඒවාට ලැබෙන මුදල් ප‍්‍රමාණයද, එනිසාම ලාභයද ඉහළය. මේ විහාර ඇතුළත තිබෙන්නේ බුදු දහම නොව පිළිකුල් සහගත කුලල් කා ගැනීම්ය. බල්ලාට වැටුණු බලූ‍ පොරයන්ය.

පොලිස් පරීක්ෂණ
කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන්ම පැමිණි තුන් දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි පොලීසිය සිය මූලික පරීක්ෂණ පිළිබදව අනාවරණය කරමින් කියන්නේය. මෙම ලිපිය ලියවෙන පසුගිය 13 වැනි බදාදා සවස වනවිට කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත. ප‍්‍රධාන සැකකරු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත්තේ අසේල බණ්ඩාරය. පොලිස් ආරංචි මාර්ග කියන්නේ ඔවුන් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවය. පොලීසිය ප‍්‍රකාශ කරන්නේ ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කරැුති බවය. මෙම වෙඩි තැබීම සඳහා පැමිණි වාහනය මේ වනවිට සොයාගෙන ඇත. තවත් දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම වෙඩි තැබීම බෞද්ධ ආගමට තැබූ වෙඩි පහරක් සේ දකින ඉක්මන් සිංහලයන්ට අවසන් ලෙස කියන්නට ඇත්තේ මෙවැනි සිද්ධීන් දෙස විචාරශීලි ලෙස බලන්නට ඉගනගන්න කියා ය. තිරය දෙසම නොබලා තිරය විවරකර ඇතුළත බලන ලෙසය. බුදු දහම කියන්නේද එයමය.x

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි