No menu items!
22 C
Sri Lanka
17 September,2024

මහසෝන් නායකයා වැලිකඩට යන විට ගෝඨාභය බේරුවලට

Must read

 

මහාචාර්ය සරත් විජේසූරිය

මහසෝන් බලකාය යන නාමය තුළින් ගම්‍යමාන වන්නේ එහෙම පිටින්ම තිරිසන් හැඟීම්ය. ඛේදය නම් මෙබඳු සංවිධාන පිටුපස බෞද්ධ භික්ෂූන් විවිධ ස්වරූපවලින් පෙනී සිටීමය. බෞද්ධ පතපොතේ මහසෝනුන් ගැන සඳහන්ව ඇතත් කිසිම මනුෂ්‍යයෙකුට මහසෝනෙකු පණ පිටින් දකින්නට ලැබී නැතැයි සිතමි.
වියරු හා විකෘත ආශාවන් පෙරදැරිව ගොඩ නඟා ගෙන තිබෙන බලකායන්ට නායකත්වය දෙන ගිහි පැවිදි පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ විශද කරන්නේ මහසෝනුන්ගේ සැබෑ ස්වරූපයන් ද?
සුළු ජාතීන්ට එරෙහිව බිහිවුණ තිරශ්චීන සංවිධාන ගැන විමසිලිමත් වන විට පසක් වන්නේ මේ ම්ලේච්ඡු සංවිධාන රාජපක්ෂ පාලන සමයේ ආශීර්වාදය හා අනුග‍්‍රහය ඔස්සේ වැඞී වර්ධනය වූ සහ කි‍්‍රයාත්මක වූ එ්වා බවය. මේ බලකායන්ට නායකත්වය දුන් නිල නොවූ විධායක ජනාධිපතිවරයෙකු වැන්නෙකු සිටි බව කුප‍්‍රකට රහසකි.
ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් ජාතිකයන් පිරිසක් තමන්ගේ උත්සවයකට ආගමික සංඥාවන් සමඟින් පෙරහැරින් වඩම්මවාගෙන ගිය සැටි නොබෝදා දකින්නට ලැබිණි. එ් වූ කලි උත්ප‍්‍රාසනීය වූ නාටකීය ජවනිකාවකි. ගෝඨාභය මේ උත්සවයට ගොස් මුස්ලිම්වරුන්ගේ ආහාර අනුභව කරන්නට ඇත්තේ ඔහුට ‘වඳ බියක්’ නැතිකම නිසා වන්නට ඇත. සමහර විට බියක් සැක නැතිව ආහාර ගන්නට ඔහුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිසි උපදෙස් ලැබුණා ද විය හැකිය.
කවර අරමුණකින් හෝ මුස්ලිම් ජාතිකයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආගමික උත්සවයකට කැඳවා ගෙන යන විට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කලහකාරී කටයුතුවලට නායකත්වය ලබා දුන් මහසෝන් බලකායේ නායකයා වැලිකඩ බන්ධනාගාරයේය.
මහින්ද රාජපක්ෂ තමන්ගේ සගයන් බන්ධනාගාර ගතවුණ පසුව සුවදුක් බලන්නට බන්ධනාගාරයට යාම සිරිතකි. ගෝඨාභය රාජපක්ෂ මහසෝන් බලකායේ නායකයාගේ සුව දුක් බලන්නට ගිය බවට නම් ආරංචියක් නැත. එය මුස්ලිම් ජාතිකයන් පිරිසකට තමන්ගේ හිත සුව පිණිස හේතු වී දැයි නොදනිමි.

මුළාවීම සහ මුළා කිරීම
සාමාන්‍යයෙන් මිනිසුන් මුළාවන්නේ නොදැනුවත්කම නිසාය. විචාරශීලී අන්දමින් සෑම අවකාශයකදීම කටයුතු නොකරන නිසාය. එහෙත් කවරෙකු වුව මිනිසුන් මුළා කරන්නේ දැනුවත්වය. එ් වූ කලි යම් අරමුණක් වෙනුවෙන් සංවිධානාත්මකව සිදු කරන කටයුත්තකි.
”කැළේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ.” යන කියමන ලංකාවේ සිංහල මිනිසුන් සමඟ කාලයක් තිස්සේ ජීවත් වූ, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලත් මුස්ලිම් ජාතිකයන් වුව අසා ඇතැයි සිතමි. එහෙත් එ් කියමනෙන් ඔවුන් හෝ පාඩමක් උගත් බවක් විද්‍යමාන නොවේ.
දේශපාලන බලය වෙනුවෙන් කටයුතු කරන සෑම පුද්ගලයෙකුම තම තමන්ට හිතෛෂී පුද්ගලයන් සමඟ සාකච්ඡුා කරමින්, ඇතැම් විට විශේෂඥ සහාය ද ලබමින් සැලසුම් සදන්නේ තම තමන්ට එල්ලවන අභියෝග පරාද කරන්නේ කෙසේද යන කාරණාවට මුහුණ දීමටය. එහි මූලික අභිප‍්‍රාය වන්නේ ජනතාව මුළා කිරීම මිස අන් කිසිවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, ¥ෂණය ගැන, ජාතික සමගිය ගැන, ලෝකය සමඟ මිත‍්‍රශීලීව කටයුතුු කිරීම යනාදිය ගැන තතන තතනා කතා කළේ තමාට එල්ලව තිබෙන අභියෝග පරාද කිරීමට යයි සිතමි. එ්වා ඔහුගේ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් වන කරුණු කාරණ විය නොහැකිය.
කොටියෙකුට මස් විනා පලතුරු අනුභව කළ හැකි ද? නොහැකිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනිව බලය පරිහරණය කළ පුද්ගලයෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කතා කිරීම නොව, එය අසන්නට සිදුවීමය අභාග්‍යය වන්නේ. තතු කෙසේ වෙතත් ගෝඨාභය තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දැන උගත් සුළු ජාතිකයන් ද කරළියට ගෙනඑ්මට සමත් වන්නේය. එ් වූ කලි සිංහල වේදිකා නාට්‍යයක ප‍්‍රධාන චරිත සිංහල බස නොදන්නා නළුවන් රඟපෑම හා සදිසිය.
ලාංකේය ජනතාව මුළා කිරීම බලය වෙනුවෙන් සිදු කරන අන්දම ගෝඨාභය බේරුවල ගමනින් විශද කළ අන්දම රමණීය වන්නේ යට කී යථාර්ථය ඔස්සේය.

අවිද්‍යාව සහ දේශපාලනය
බුදුන්වහන්සේ අවිද්‍යාව පරාද කළේය. ලොව පුරා බුදු දහම ගෞරවනීය අන්දමින් සම්භාවනාවට පාත‍්‍ර වීමට එය මූලික වී ඇත. දේශපාලනයේ දී බුදු දහමට ලංකාව තුළ තිබෙන්නේ සිවිල් බලයකි. සෑම දේශපාලනඥයෙකුම වාගේ සෑම අංශයකින්ම බලය උදෙසා බුදු දහම දඩමීමා කර ගන්නා බවක් පෙනේ. ගැඹුුරින් කරුණු විමසා බලන කල විශද වන්නේ බුදු දහම පෙරටු කර ගෙන භාවිතයට ගන්නේ අවිද්‍යාව බවයි. දේශපාලනයේ දී කරන්නේ අවිද්‍යාවට බෞද්ධ ඇඳුම් පැළඳුම් ඇන්දවීමය.
අවිද්‍යාවට කළ නොහැකි දෙයක් නැත. මනුෂ්‍ය ඝාතන පවා සාධාරණීකරණය කළ හැකිය. ගෝති‍්‍රක අදහස් ව්‍යාප්ත කළ හැකිය. මුස්ලිම් කඩවලින් කෑම කෑමෙන් ද, මුස්ලිම් කඩවලින් ඇඳුම් ගෙන ඇඳීමෙන් ද වඳභාවය ලැබෙන බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත කිරීමට උත්සූක වූ පිරිස් අතර කැපීපෙනුණේ රටේ සමහර තරුණ දරුවන්ය. එ් දරුවන් එ් සඳහා පෙළඹවීම සිදු කළේ ඇතැම් භික්ෂූන් වහන්සේලාය. මේවා බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අදාළ ද?
මහින්ද රාජපක්ෂ තරම් අවිද්‍යාව හිසින් ගත් නායකයෙකු ලංකාවේ පහළ වූයේම නැත. ඔහුගේ දෑත් ඔසවන විටම අවිද්‍යාව ළෙලදෙන අන්දම අපූරුය. එහෙත් ඔහු නිතරම ගැවසෙන්නේ පන්සල්වලය. අපූරුව නම් අවිද්‍යාව පිටු දකින ලෙස යමක් අවබෝධ කරදීමට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඔස්සේ කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමක් අද කිසිම පන්සලක නොසිටීමය. ඇතැම් භික්ෂූන් වහන්සේ නමකට ගඳ සුවඳ වටහා ගන්නට හැකි වෙතත්, තමන් සමඟ තිබෙන හොඳ හිත පළුදු වේය යන සංශයෙන් නිහඬව සිටිනු පෙනේ.
පශ්චාත් උපාධියක් වෙනුවෙන් පර්යේෂණවල නිරතව සිටින තරුණ භික්ෂූන් වහන්සේ නමක් පසු ගිය දිනක මා සමඟ පැවසූ කරුණක් මෙසේය.
”මං ඉන්න පන්සලේ නායක හාමුදුරුවො මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, ජනාධිපතිට ආශීර්වාද කරලා බෝධි පූජා පවත්වලා තියෙනවා. එ් වගේම ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට අධිකරණයෙන් කරදරයක් වෙන්න එපා කියලත් බෝධි පූජාවක් කළා. ළඟදීම පවත්වපු බෝධි පූජාව සංවිධානය කළේ මහසෝන් බලකායෙ නායකයා ඇතුළු දේශප්‍රේමීන්ට ආශීර්වාද කරලයි.”
මේ සියල්ල දකිමින් පන්සලේ ඉන්නේ කොහොමද? යන මගේ ප‍්‍රශ්නයට මේ භික්ෂූන් වහන්සේ දුන් පිළිතුර මෙයයි.
”වෙන දෙවල් දකිමින් ඉන්නවා විතරක් නෙමේ හුඟක් වෙලාවට එ්වාට සහභාගි වෙනවා. කරන්න දෙයක් නෑ. මං තව අවුරුද්දක් සිවුරෙ ඉන්නවා. එතකං හිතට විරුද්ධව වුණත් පවරන දේවල් කරන්න වෙලා තියෙනවා”
අවිද්‍යාව බොහෝ භික්ෂුන් වහන්සේලා භාවිතයට ගන්නේ ආර්ථික ප‍්‍රතිලාභ නොමඳව ඉන් සැපයෙන බැවිනි. බොහෝ විහාරස්ථාන අවිද්‍යාව පෙරටු කරගෙන කටයුතු කරන්නේ ලාභ ඉපයීමට නොපනත් දේ කරන වෙළෙඳ ආයතන ලෙසමය.

නිල නොවන කුඩා හමුදා
ජාතිවාදය සහ ආගමික අන්තවාදය උදෙසා විවිධ නම්වලින් නිර්මාණය කර තිබෙන තිරශ්චීන සංවිධාන දේශපාලනඥයන් ඉවහල් කර ගන්නේ ප‍්‍රචණ්ඩත්වය උදෙසාය. රටේ සිවිල් නීතිරීති උල්ලංඝනය කරමින් මේ සංවිධාන කටයුතු කරන්නේ දේශපාලන රැුකවරණය එ්වාට නොඅඩුව සෑම විටම ලැබෙන බැවිනි. නීතිය හා සාමය වෙනුවෙන් කටුයුතු කරන ආයතනවල සොයා ගැනීම් අනුව ජාතිවාදය හා ආගමික අන්තවාදය වෙනුවෙන් එළිපිට පෙනීසිටින භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු සංඛ්‍යාවක් රට තුළ සිටින බව සත්‍යයකි. උන් වහන්සේලා තමන්ට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ගොඩ නඟා ගෙන තිබෙන යම් යම් සංවිධාන ද ඇත. එ්වා නඩත්තු කිරීම ද හොඳින් සිදු කරන බව නොරහසකි. එ් සංවිධාන ව්‍යුහය තුළ නිල නොවන කුඩා හමුදා ඛණ්ඩයන්ගේ සොබාවයක් පවතින බව සොයා ගෙන තිබේ. මේ සංවිධාන ගලගොඩඅත්තේ භික්ෂුවගේ සිට සමන්තභද්‍ර භික්ෂුව දක්වා විවිධ තලවලින් පවතින බව ද අනාවරණය වී ඇත. මේවාට උත්පත්තිය ලබා දුන්නේ කවුරුන් ද? හිටපු බලසම්පන්න නිලධාරියෙකි. නිල නොවූ ජනාධිපතිවරයෙකි. අපූරුව නම් මේ පුද්ගලයා මස් මාංශ අනුභව නොකරන අසාමාන්‍ය සිංහල බෞද්ධයෙකු ද වීමය.
ඉහළම මට්ටමේ පොලිස් නිලධාරියෙකු මා සමඟ දිනක් ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කළේය. ඔහු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩ කිරීම ඉතා භයානක කටයුත්තක් බවය.
”ගෝඨාභය කිසිම වෙලාවක කිසිම කාරණාවකදී මැද තැනකට ඇවිත් කිසිම සාකච්ඡුාවක් කරන්න සූදානම් නෑ. එයාගෙ මතයක් යම් විදිහකට විවේචනය වුණොත් කිපෙනවා. දරුණු විදිහට කිපෙනවා. අදාළ පුද්ගලයාට නිහඬ වෙන්න සිද්ධ වෙනවා. නිහඬ නූනොත් ඉවරයි. මේ නිසා තමයි ඉතා හොඳ මහත්තරු විදිහට වැඩ කරපු හමුදා නිලධාරීන් අද අමාරුවෙ වැටිලා තියෙන්නෙ. හුඟක් අය රහසින් තෙපලපු දෙයක් තමයි, ”කන්ට්රි ලෝ කියන්නෙ, ගෝටාස් ලෝ” කියන එක. එයා කියන දේවල් ප‍්‍රශ්න නොකර කරනවා නම් එහෙම කෙනෙකුට ඕනෑ දෙයක් ලබා දෙනවා. මං දන්නවා එ් අනුව මහා ධනවතුන් උන අය ගැන. සමහරුන්ගේ දරුවන්ට පිටරට ගිහින් ඉගෙන ගන්න පවා උදවු කළා. මං ඇත්තටම හිතුවා යහපාලන ආණ්ඩුව නීතියට අත තියන එකක් නෑ කියලා. අගමැතිවරයා වගේම ජනාධිපතිවරයා එ් නරක වැඬේ කළා. ගෝඨාභය රටේ නායකයා වුණොත් කල්පනා කළ යුත්තේ එක දෙයයි. එ්ක තමයි නිවට ලෙස ජීවත් වෙනවා ද? නැත්නම් මැරෙනවා ද? කියන එක. ඊට එහා යමක් නෑ. අපේ මිනිස්සු නිර්භීත නායකයෙක් ඕනෑ බව කියනවා. මාත් පිළිගන්නවා නිර්භීත නායකයෙක් ඕනෑ බව. හැබැයි නිර්භීත නායකයා කියන්නේ නීතිය තමන්ය කියලා හිතන කෙනා නං නෙමේ. නීතියට ගෞරවනීය පුද්ගලයා තමයි නිර්භීත නායකයා. එහෙම කෙනෙක් පෞද්ගලික හේතු මත නීති රීති උල්ලංඝනය කරන්නේ නෑ. එහෙම කටයුතු කරන්න ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕනෑ…”
බේරුවල මුස්ලිම්වරුන් පිරිසක් ගෝඨාභය වැඩම්මවීම ගැන මම මුස්ලිම් ජාතිකයෙකු සමඟ දීර්ඝ වශයෙන් කතා කළෙමි. ඔහු එ් සිද්ධිය පිළිකුලෙන් මෙන්ම කිසියම් භීතියකින් හෙළා දුටුවේය. ඔහු පැවසුවේ, ‘‘යහපාලන ආණ්ඩුවෙන් සුළු ජාතිකයන්ගේ ආරක්ෂාව හා නිදහස තහවුරු නොවුණු නිසා සමහරු කල්පනා කරනවා මතු ආරක්ෂාවට එල්ලෙන්න වැල් හොයා ගන්න. ගෝඨාභය රට පුරා යන්නෙ විශ‍්‍රාම ගත්ත හමුදා නිලධාරීන් පිරිවරාගෙන. මේක සුළු ජාතිකයන්ට නරක සංඥාවක්. මේකට අපේ උදවිය ඇත්තටම බය වෙලා ඉන්නෙ. එක්කො බය කරලා තියෙන්නෙ. අපේ උදවියත් නොදන්නවා නෙමේ, කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියන එක. එ් වුණාට මොනවද කරන්නේ? මේකයි ප‍්‍රශ්නෙ. අගමැතියි ජනාධිපතියි ගැන විශ්වාසය බිඳිච්ච මුස්ලිම්වරුන් හිතන්නෙ මොකක් හරි ආරක්ෂාවට පාරක් ගැනයි. ගෝඨාභයට කැමැත්ත නෙමේ මෙතන තියෙන්නෙ. ඇත්තම කියනවා නං බය…..”.

සාපරාධී දේශපාලනය
මේ අවස්ථාවේ රටේ නීති ගරුක පුරවැසියෝ් අධිකරණයෙන් ලැබෙන තීන්දු දෙකක් ගැන විමතියෙන් හා තිගැස්මෙන් දෑස් දල්වා බලා සිටිති. එකක් ගලගොඩඅත්තේ හිමියන්ට ලබා දෙන දඬුවම කුමක් ද යන්නයි. අනෙක දුමින්ද සිල්වාගේ අභියාචනයෙන් ලැබෙන තීන්දුව කුමක් ද යන්නයි. මේ තීන්දු දෙක දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වන්නේය.
රටේ ජීවත්වන සියලූ සුළු ජාතීන් තුළ විශ්වාසය ගොඩ නඟා බලයට පැමිණි ජනාධිපතිවරයා ඉතා අවලස්සණ අන්දමට එ් විශ්වාසය බිඳ දමා ගත්තේය. එ් නිසා මංමුළා වූ ජනාධිපතිවරයා කල්පනා කරනු ඇත්තේ ඉදිරි මැතිවරණයක දී ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ පිළිසරණ බව පෙනේ. ගලගොඩඅත්තේලා සිය දහසක් වුව ආරක්ෂා කර ගැනීමට හැකිනම් එය තමන්ගේ ජයග‍්‍රහණයක් ලෙස ජනාධිපතිවරයා කල්පනා කරනු ඇත.
දේශපාලන බලය උරුමව සිටින විට කළු සල්ලි ඉපැද්දවීමට දේශපාලනඥයන්ගේ නිසි අනුග‍්‍රහය ද ලැබේ. මේ පිළිවෙතේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ බව කිව යුතු නැත.
ලංකාවේ ජනප‍්‍රියම තලයේ තිබෙන පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් එහෙම පිටින්ම නිර්මාණය වන්නේ කළු සල්ලිවලින්ය. ජනවාරි 08 වෙනස සිදු වුණ විට මේ මාධ්‍ය ආයතන දෙකේ හිමිකරුවන් භීතියට පත්ව සිටි බව සත්‍යයකි. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම විදහා පෑ නපුංසක ගතිපැවතුම් හේතුවෙන් මේ මාධ්‍ය ආයතන දෙක විවෘත කරළියේ අවි අමෝරා සටන් කිරීමට තරම් නිර්භීත තත්වයකට අවතීර්ණ වන්නේය.
දේශපාලන පක්ෂයක බලය අහිමි, නිර්පාක්ෂික පුරවැසියෙකු ලෙස ජනවරමක් ලබා ගත් ජනාධිපතිවරයා කර ගත් විනාශයන් බරපතළ බැවින් හැම විටම උත්සාහ දරන්නේ සිය බලය අවශ්‍ය ඕනෑම අන්දමකින් අවභාවිත කොට මේ මාධ්‍ය ආයතනවල සහයෝගය ලබා ගැනීමට බවද කැපීපෙනෙන කාරණාවකි. එ් වෙනුවෙන් ඔහු ගෙවන්නට සූදානම් මිල ඔහුවත් හරියට වටහා ගෙන නැති බව ද පෙනේ.
මේ මාධ්‍ය ආයතන දෙකෙන් එකක් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ දැමූ අත්තිවාරම මතය. අනෙක පවතින්නේ බැසිල් රාජපක්ෂ දැමූ අත්තිවාරම මතය. මේ අත්තිවාරම් දෙක බිඳන්නේ නැත. එ් නිසා ජනාධිපතිවරයා අබිමුව විද්‍යමාන වන්නේ නීතිය අවභාවිත කිරීමෙන් මේ මාධ්‍ය ආයතනවල සහයෝගය ලබා ගැනීම විය හැකිය. එය ගෝඨාභය රාජපක්ෂ බේරුවල යාමට සමාන සංදර්භයක කි‍්‍රයාවලියකි. එහෙත් එහි අවසන වැලිකඩින් නතර වේදැයි කිව හැක්කේ ජනාධිපතිවරයා වන්දනාමාන කරන පිරිහුණ භික්ෂූන්ට පමණක් යයි සිතමි.

බලය සහ නීතිය
ජනාධිපතිවරයා ශී‍්‍රලනිපයේ සභාපති පදවියට පත්ව මුලින්ම ආසන සංවිධායක පදවියක් ලබා දුන්නේ නිමල් ලාන්සාටය. නිමල් ලාන්සා එ් පදවිය ලබා ගෙන තිබෙන්නේ බැසිල් රාජපක්ෂගේ අනුමැතිය ලබා ගනිමින් බවය අසන්නට ලැබෙන්නේ. නිමල් ලාන්සාගේ නිවස රාජපක්ෂ පාලන සමයේ දී පාන්දර ආරක්ෂක අංශ මඟින් වැටලූ බව සුප‍්‍රකට පුවතකි. එහෙත් එළිවෙන පාන්දර මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හෙලිකොප්ටරයකින් නිමල් ලාන්සාගේ නිවසට ගොස් ඔහු සැනසුවේය. ඔහු ආරක්ෂා කර ගත්තේය. ඔහු තුළ විශ්වාසය තහවුරු කළේය. එවැන්නෙකු තමා ළඟට ගතහොත් එය තමන්ගේ දේශපාලන බලයේ පැවැත්මට හොඳ ආයෝජනයක් ලෙස ජනාධිපතිවරයා කල්පනා කළා විය හැකිය. එක්කෝ එ් සඳහා අවශ්‍ය උපදෙස් කේවට්ටයන්ගෙන් ලැබුණා විය යුතුය. එහෙත් නිදහසේ පොකුණක සැරිසැරූ මාළුවෙකු ටැංකියක ජීවත් වෙන්නේනට කැමති වේ ද? නිමල් ලාන්සා බැසිල්ගේ උපදෙස් මත අවශ්‍යම මොහොතේ පොහොට්ටුව වෙනුවෙන් ආයෝජනය කිරීමට බැසිල්ගේ අණට කීකරු වෙන්නට කල්පනා කිරීම එක අතකින් යුක්තියුක්තය.
දුමින්ද සිල්වා ගෝඨාභය, ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍රවරයා විය. ඔහු සහ ඔහුගේ පවුල ආශ්චර්යකින් ලංකාවේ මහා ධනවතුන් බවට පත්වුණ බව විස්මය දනවන රස පුවතකි. තතු කෙසේ වෙතත් දුමින්ද සිල්වා රටේ උගතුන් වැඩියෙන්ම සිටින කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් වූවෙකි. එ් කෙසේ ද?නූගත් දිළිඳු ජනයා ද වැඩියෙන්ම සිටින්නේ කොළඹ දිස්ති‍්‍රක්කයේය. නූගත් දිළිඳු ජනයාගේ ඡුන්දයට අවශ්‍ය මිල ගෙවීමට දුමින්ද සතු ක‍්‍රය ශක්තිය ඊට හේතු සාධක වේ.
භාරත දුමින්ද ගැටුමෙන් පසු භාරත ජාතික රෝහලටත්, දුමින්ද ජයවර්ධනපුර රෝහලටත් එතැනින් සිංගප්පූරුවටත් රැුගෙන යන්නේ කෙසේද යන්න විස්තර කළ යුතු නැත.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළ අංශවලට ජනාධිපතිවරයා ඉඩ නොදෙන්නේ ඇයි? එ් පිටුපස තිබෙන අදෘශ්‍යමාන බලයක් තිබේ ද? එ් කුමක් ද? එය වැඩිකල් යා නොදී අනාවරණය වන්නට පුළුවන.
කුමකින් කුමක් හෙට දවසේ සිදුවුව, මෙහි සඳහන් සියලූ කරුණු කාරණ යථෝක්ත නඩු තීන්දු දෙකට අදාළ වේදැයි යන සාධාරණ සැකයක් නීති ගරුක පුරවැසියන් තුළ කැකෑරෙමින් පවතී. නීති ගරුක පුරවැසියන්ගේ සාධාරණ සැකය තහවුරු වුවහොත් ඉන් ගම්‍ය වන්නේ ජනවාරි 08 වෙනසට දායක වුණ නීති ගරුක පුරවැසියන්ට අඩු වැඩි වශයෙන් වැලිකඩ උරුම වන බවය. නැතහොත් කොළඹ කනත්ත උරුම විය හැකි බවය. ජනවාරි වෙනසට දායක නොවුණ පුද්ගලයන්ට බේරුවල ගොස් වටලප්පන් භුක්ති විඳීමට ඉඩ ලැබෙනු නියතය.x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි