No menu items!
21.8 C
Sri Lanka
30 April,2025
Home Blog Page 461

ගිටාරයක් ගත් කාව්‍යක්කාරයෙකුගේ ජීවිත ඉසිඹුව

0


තිරය මත පැරණි බටහිර සිනමා සිත්තමකි. එහි ප‍්‍රධාන නළුවා කඳුකර පෙදෙසක නිසොල්මන් වංගු පාරක මොටෝරියක් පදවාගෙන යයි. පහතින් ගලා යන ගඟුලක්ද, ඉහළින් වන වැටියක්ද හසු වන රූප රචනය හාත්පසින් ග‍්‍රහණය කර ගන්නේ පාළුවයි. එහෙත් එය නරඹන්නාගේ සිතට යම් ප‍්‍රබෝධයක්ද දනවන බවක් දැනේ. බිඳුණු, ඉරිතැලූණු රූ තිරය ඇස වෙහෙසවන නමුත් අතීතයකින් ගලා එන ඒ නොදිලිසෙන වර්ණ කැලතුමෙන් සිත එකවර ඉවතට ඇද ගත නොහැකිය. සිනමා පටයේ රූපම විනා පසුබිම් සංගීතයක් නොමැත. පුදුමයකි. ඒ දසුන් පෙළට මුසු කළ හැකි සංගීත ගැලපුමක් සිත තුළ සෙමෙන් මිමිණෙනු දැනේ. ඒ ඇකෝස්ටික් ගිටාරයක පැහැදිලි මිහිරි කම්පන සමග යා වූ බරසාර සොම්නස් කටහඬකින් ගැයෙන ගීයකි. ඒ කුමක්දැයි ඔබ පවා නිවැරදිව අනුමාන කරනු ඇත. ඔ්නැ පැ යදපැ, ක්‍දමබඑරහ ඍද්ාි ගීතය ගැන කතා බතා අනවශ්‍යය. ජෝන් ඩෙන්වර් ගැන හැඳින්වීම් නුවුවමනාය.


ඇගේ හඬ ඇසෙයි උදා පැයෙහි ඈ මා අමතයි මාගේ නිවහන තව බෝ දුර බව රේඩියෝව මට මතක් කරයි මාවත දිග රිය පදවා යන විට මට සිතුණා ඊයේ….ඊයේවත් මා ගෙදර යා යුතුව තිබුණා


පිරිසිදු ගිටාර් තත් හඬක, සුමිහිරි තනුවක සහ කදිම ගැයුමක සංකලනයකින් හුදකලාවක් ආලෝක ගන්වා ගැනුමට අවශ්‍ය වූ කල්හි මම ඔහුගේ නම ටයිප් කරමි. අතීතය තුළ කෙමෙන් ඈත්ව යන්නේ වුවද ඒ හඬ කිසි විටෙකත් පැරණි වී තිබුණේ නැත. Leaving on a Jet Plane” Sunshine on my shoulders” Rocky mountain high” Fly away” Annie’s Song යනාදී මියුරු ගීත කොතරම් වාර ගණනක් සවන් දුන්නද රසය විනාශ වන්නේද නොවේ.
ඩෙන්වර් සැලකෙනුයේ ඔහුගේ යුගයේ සිටි ආදරවන්තම රසගන්වන්නා වශයෙනි. 1943 වසරේ රොස්වෙල්හි උපත ලබන ඔහු, පියාගේ යුද හමුදා සේවය හේතුවෙන් විවිධ ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වෙමින් තරුණ වියට එළඹෙන්නේ දෛවෝපගත ලෙස සංගීතය මුණ ගැසීමටය. නමසිය හැටේ දශකය අගදී ජන සංගීත කණ්ඩායම්වල ආගමනය සමග කළ එළි බසින ඔහු තනි ගායකයෙකු ලෙස වහ වහා ජනප‍්‍රිය වෙයි. ඔහුගේ ජනප‍්‍රියතම ගීත තුන්සියයක් පමණ අතරින් දෙසීයයක පමණ පද රචකයාද ඔහුමය. සංගීතයට පමණක් සීමා නොවූ ඔහු නළුවෙකු, නිෂ්පාදකයෙකු, මානවවාදියෙකු සහ සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසද වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. පසු කලෙක කොලරාඩෝහි වාසය කරමින්, එහි ජනතා ප‍්‍රශ්න සහ පරිසර ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින්, එහි සොබා සෞන්දර්යය ගැන ගයමින් ජීවත් වූ ඩෙන්වර් කොලරාඩෝහි පූජනීය කවියා ලෙසද නම් කරනු ලැබිණි. ඔහුගේ ඍදජනහ පදමබඒසබ යසටය ගීතය කොලරාඩෝවේ පූජිත ගීත දෙකෙන් එකක් ලෙසද සැලකෙයි.


ජෝන් ඩෙන්වර් නමැති ගායනවේදියා, ගායනවේදීත්වය ඉක්මවා යන ආකාරයේ කාව්‍යක්කාරයෙකියි මට සිතෙයි. ඔහු ගීතවලට යෙදූ වදන් අතරින් කාව්‍යමය සුන්දරත්වය උතුරා යයි. එසේම ඔහු පරිසරය සහ සොබා සෞන්දර්යය තුළින් උකහා ගන්නා සංකල්පනා, ජීවිතය හා සමබද්ධ කරමින් දාර්ශනික කවියෙකුගේ නියැදීන් වෙත රිද්ම රටා විහිදුවන අයුර චමත්කාරජනකය.


ජීවිතය කවි රැුසක එකතුවකි. ඒ අතර සිනහ කවි මෙන්ම හැඬුම්බර කවිද, පුංචි පුංචි සිතුවිලි සංවේදනා සහිත කවි කැබලිද තිබ්බ හැකිය. ඒ අතර ආදර ආයාචනා, සුබපැතීම්, යැදුම් ඇතුළත් අපේක්ෂා පිරි හැඟුම් දහරකි. සෞන්දර්යාත්මක අර්ථයෙන් ජීවිතය විනිවිද දකින අතරම එහි යථාර්ථ ලක්ෂණයන්ද වටහා ගැනීම වටනේය. එකඟතා සහ පොරොන්දු දැවටුණු, සියුම් මානව බැඳීම් ගැවසුණු මේ ජීවිතය, නිම්තෙරක හිඳ නිරීක්ෂණය කරන්නාක් වැනි දෙයක් ඩෙන්වර් එක් ගීතයකින් සිදු කරයි. සවන් දෙන වාරයක් පාසා ජීවිතාවබෝධයේත්, අතීතාස්මරණයේත් සාවධාන කල්පනාවන්ගෙන් සිත පුරවන එයින් කොටස් ටිකක් සමවැහි රේඛාවකට පෙළගස්වන්නට සිතුණේ කලකට ඉහතදීය. මෑත සැන්දෑවක පාළු ඉසිඹුවකදී මතකය පෑදී අවුත් ඒ ගීය නැවත සවනට පෑ කල්හි තවත් ඊට පමා නොවිය යුතුයැයි සිතුවෙමි.


හැම දේ සලකන විට හොඳ ජීවිතයකි මෙය අගෙයි එහි රැුඳී ඉන්න වරමක් තිබුණා මට ගිනි මැළය අසළ ඇල වී නවතින්න හැන්දැකරයක වෙහෙස දැක ගන්න මිතුරනුත් මගෙ පැරණි ප‍්‍රියාවිත් එක්ව හිඳ පයිප්පය අතිනත යවන විට කවි පැතුම් සහ පොරොන්දු අප ඇදහූ දේවල් ගැන කතා කළ හැකියි කෙනෙකුට පෙම් කිරීම කෙතරම් මිහිරිද සැලකිල්ලක් දැක්වීම කොච්චර නිවැරදිද ඊයෙ පටන් කොතරම් කල් ගත වීලද හෙට වෙනකොට කුමක් වෙයිද කුමක් වෙයිද අපේ සිහිනවලට අප බෙදා ගත් සේරම මතකයන්ට


මේ Poems” prayers and promises නමැති ඩෙන්වර්ගේ ගීය ජීවිතයේ දුරක් ගෙවා අවුත් මඳක් හැරී බලන විට අපට පෙනෙන සැමරුම් සලකුණු, මතකාදී බොඳ පැල්ලම් තුළින් සැහැල්ලූ සුබවාදී සොම්නසක් විඳ ගැනීමට අපට කරන ඇරයුමක් නොවේද?


දැන් දවස් ගත වෙනවා ඉතාම වේගෙන් රැුයවල් දිගුවෙන්නෙත් කලාතුරකින් කාලය මා වටා සීතලේ කෙඳිරිගාමින් වෙනස්කම් ඇත කෙසේ හෝ මා බය කරමින් එතෙකුදු මා සිනාසිය යුතුයි වියපත් බව මතක් කර කර සිනාව පැමිණෙයි ජීවිතය මේ තාක් හොඳක් කළ බව සැබැයි එහෙත් කළ යුතු තවත් බොහෝ දේ තිබෙයි


ජීවිතය ගෙවි ගෙවී යන්නකි. ආපසු හැරීමක් නැත. ‘කාලය කවුළු දොරින් මිය යද්දී’ අපට කළ හැක්කේ කුමක්ද? ජීවිතයේ කුඩා මොහොතවල් හැකි උපරිම අයුරින් විඳ ගැනීම නොවේද? මෙබඳු සිහිනමය ගී පද සහ සර නද තුළ ශෝකය නොව ප‍්‍රසාදයම තරඟ නගන්නේ එබැවිනි. ඩෙන්වර්ගේ ඛැ්ඩසබට සබ ් වැඑ චක්බැ ගීය ගැයෙන්නේ මෙසේය.


මාව සිපගන්න මට සිනාවක් දෙන්න මා එනතුරු ඔබ බලා සිටින බව කියන්න මට කවමදාවත්ම යන්න නොදෙනා ලෙසින් මා වැළඳ ගන්න මන්ද මම ගුවන් යානයකින් යන්න යමි යළි එන්න ලැබේදැයි නොදන්නෙමි


ඇත්තෙන්ම ඔහු යන්න ගියේ ගුවන් යානයකින්මය. ගුවන් ගමන් ලෝලියෙකු වූ ඔහු 1997 වසරේදී තම ගුවන්යානය පදවාගෙන යද්දී මාරයාට සම්මුඛ වූයේ ඉහත ගීතයද සදාතනික කරවමිනි.

ලක්ෂාන්ත අතුකෝරල

විදුලිබල අර්බුදය හා විකල්ප

0

1980 දශකයේ මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව ජල විදුලි බලාගාර ආරම්භ වනවිට ජනප්‍රිය මතයක් වූයේ, රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් විදුලි ඒකක ප්‍රමාණය ඉක්මවා අතිරික්තයක් ජනනය කළ හැකි බවත්, එම අතිරික්ත විදුලියෙන් ඉන්දියාවටද යම් ප්‍රමාණයක් සැපයීමට හැකිවනු ඇති බවත්ය. එහෙත් 1990 දශකයේ මැදක් වනවිට මෙරට විශාල විදුලිය අර්බුදයක් නිර්මාණය විය. පසුව ඒ වකවානුවේ හදිසියේ ආරම්භ කල ඩීසල් බලාගාර හේතුවෙන් විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබුණි. වර්තමානය වනවිට රටේ විදුලි ඉල්ලුම වැඩිවීමේ ප්‍රවණතාව වාර්ෂිකව මෙගා වොට් 150ක් පමණ වේ. එසේ ඉල්ලුම වැඩිවුවත් අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණය ජනනය කිරීමේ විධිමත් සැලැස්මකට යාමට ලංකා විදුලිබල මණ්ඩලයට තවමත් හැකිවී නැත. රටේ සිදුවන ආයෝජන හා සමගාමීව විදුලිබල ක්‍ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයන් නිසි වේලාවට ගැනීමටත්, ක්‍රියාත්මක කිරීමටත් දේශපාලන අධිකාරිය සවිඥානික නොවීමේ ප්‍රතිවිපාකයට අද මුහුණ දෙන්නේ සාමාන්‍ය ජනතාවය.

ඉදිරිපත්ව ඇති දත්ත මගින් පෙන්වන්නේ, දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2,350 ක් පමණ වන අතර රාත්‍රි කාලයේදී මෙගාවොට් 2,600ක් පමණ වන බවයි. මේ වනවිට කරන විදුලි කප්පාදුවට හේතුව වී ඇත්තේ, දහවල් කාලයේ විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 400ක් පමණ හා රාත්‍රි කාලයේ අවශ්‍යතාවෙන් මෙගාවොට් 300ක් පමණ සැපයීමට නොහැකිවීමය.

1990 දශකයේ මැද භාගයේ ඇති වූ විදුලි අර්බුදයත් සමඟ, හදිසියේ ඩීසල් බලාගාර ආරම්භ කිරීම මගින් උපරිම විදුලි නිෂ්පාදනයක් ලබාගැනීම හැරෙන්නට, ඊළඟ පහසුම විකල්පය වූයේ ගල්අඟුරු බලාගාර ඉදිකිරීමය. එහිදී ඇතිවූ මහජන විරෝධතා මෙන්ම ආයෝජන ගැටලු හේතුවෙන් සාම්පූර්හි ගල්අඟුරු බලාගාරය නවතා දැමීමට සිදුවිය. එහෙත් මෙගාවොට් 900 විදුලි ජනන ධාරිතාවෙන් යුතු නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කිරීමට හැකිවීම නිසා රටට අවශ්‍ය ‘පදනම් බැර විදුලිය’ සැපයීමේ ගැටලුව පසුගිය වසර 4ක පමණ කාළය තුළ යම් ප්‍රමාණයකට විසඳා ගැනීමට හැකිවිය.

සාමාන්‍යයෙන් ඕනෑම දිනයක, දිනය පුරා ඇතිවන සාමාන්‍ය අවම විදුලි ඉල්ලුමක් පවතිී. ඒ අතර උපරිම විදුලි ඉල්ලුමක් ඇතිවන අවස්ථා පවතී. එම සාමාන්‍ය අවම විදුලි ඉල්ලුම පවතින වේලාවේ දී ඉල්ලුම් කරන විදුලි ඒකක ප්‍රමාණය දවස පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම පදනම් බැර විදුලිය :ඊ්ිැ ඛද්ා ඡදඇර* සැපයීම වශයෙන් හඳුන්වයි. පදනම් බැර විදුලිය අඛණ්ඩව පැය 24 පුරා සැපයිය යුතු බැවින්, එය අඩු වියදමින් ජනනය කර ගැනීම අවශ්‍යය. උපරිම විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී කරන්නේ, ඇතිවන අතිරික්ත විදුලි ඉල්ලුම වැඩි පිරිවැයකින් විදුලිය ජනනය කරන ඩීසල් බලාගාරවලින් ලබාගැනීමය. වඩාත් අවම පිරිවැයක් සහිත ජල විදුලි මගින් පදනම් බැර විදුලිය අඛණ්ඩව සැපයීමට ජල විදුලි බලාගාර නිමැවුම ප්‍රමාණවත් නොවන බැවින් මීළඟට අවම පිරිවැයක් සහිත විකල්පය වන්නේ ගල්අඟුරු භාවිතයයි. 

රටේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට, මෙම එක් එක් ප්‍රභවයන් කරන දායකත්වයද මෙහිදී සලකා බැලීම වැදගත්ය. දැනට රටේ පවතින විදුලි අවශ්‍යතාව සපුරාලීමට යාමේදී, පිරිවැය අඩුම විදුලි ප්‍රභවය වන ජල විදුලිය (ඒකකයක පිරිවැය රුපියල් 2.77) මගින් සපුරා ගැනීමට හැකිවන්නේ 24% කි. දෙවනුවට පිරිවැය අඩු ගල්අඟුරු තාපය (ඒකකයක පිරිවැය රුපියල් 9.74) මගින් සපුරාගන්නා විදුලිය ප්‍රමාණය 34.8%ක් හා ඩීසල් ඇතුළු ද්‍රව ඉන්ධන (ඒකකයක පිරිවැය රුපියල් 25.72) මගින් 34.4%කි. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ (ඒකකයක පිරිවැය රුපියල් 22 පමණ) දායකත්වය 10%කි. 

ඉන්ධන ආශ්‍රිත විදුලි ජනනයට විකල්ප ලෙස, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අප මාරු වුවද, නිෂ්පාදන පිරිවැය අඩුවීමේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඉහත මිල ගණන් සැසඳීමේදී පෙන්නුම් කරයි. එයට හේතුව විකල්ප විදුලි ප්‍රභවයන්ගේ විදුලි ඝනත්වය අඩුවීමයි. විදුලි ඝනත්වය යනු, යෙදවුම් ඒකකයකින් නිපදවිය හැකි විදුලි ඒකක ප්‍රමාණ වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව වැඩිම විදුලිය ඝනත්වයක් ඇත්තේ ඩීසල් හා ද්‍රව ඉන්ධන තුළය. සූර්යකෝෂ ආදියේ විදුලි ඝනත්වය අඩුය. එබැවින් ඉදිරි දශකයේ හෝ දෙකේ රටේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට යාමේදී, සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය විකල්ප බලශක්ති ප්‍රභවයන් වන සූර්ය බලය, සුළං බලය, ජෛව ස්කන්ධ වැනි විකල්පයන්ගේ දායකත්වය කෙරෙහි අවධානය යොමු කළ ද, ඒ මගින් මුළු ඉල්ලුම සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇත. එහෙත් බලශක්ති උපාංග නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ සිදුවන අවිච්ඡින්න තාක්ෂණික ප්‍රගතිය මත විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ කාර්යක්ෂමතාව වැඩිවීම ඒවායේ විදුලි ඝනත්වය වැඩිවීමකට හේතුවේ.

මේ අතර ඉදිරි අවුරුදු 20 සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති විදුලි ජනන සැලැස්ම තුළද අරමුණු කරන්නේ, අවම පිරිවැය සහිත විදුලිය නිෂ්පාදනයයි. ‘ලංකා විදුලිබල මණ්ඩලය සඳහා වන අවම පිරිවැය සහිත දිගුකාලීන විදුලි උත්පාදන විකාශන සැලැස්ම’ යනුවෙන් අනුමත එම සැලැස්ම 2018-2039 කාලසීමාවේ විදුලිය සැපයීම සඳහා වූ රාමුවකි. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දැනටමත් කටයුතු කරමින් සිටියි. එම සැලැස්ම තුළ විශේෂත්වය වන්නේ මෙගාවොට් 4,800ක නිෂ්පාදන ධාරිතාවක් පවතින ‘ස්වාභාවික ද්‍රව වායු’ (එල්එන්ජී) බලාගාර ආරම්භ කිරීමය. ස්වාභාවික වායු අපට හිමි සම්පතක් නොවන අතර එය ආනයනය කිරීමේ දී ද්‍රවීකරණය කර ආනයනය කළ යුතුය. මහජන උපයෝගිතා කොමිසම අනුමත කරන විදුලිබල මණ්ඩලයේ යෝජනාව තුළින් අරමුණු කරන්නේ ද ස්වාභාවික ද්‍රව වායු බලාගාර හැකි ඉක්මනින් ආරම්භ කර විදුලිය නිපදවීමය. ඒ හා සමගාමීව මන්නාරම් ද්‍රෝණියේ ඇතැයි හඳුනාගෙන ඇති ස්වාභාවික වායු නිධිය අපට වාසිදායක ආකාරයෙන් ලබාගත හැකි නම් ද්‍රවීකරණය නොකර ස්වාභාවික වායු ආශ්‍රිතවම විදුලිය නිෂ්පාදනය කළ හැකි වනු ඇත. එබැවින් ස්වාභාවික ද්‍රව වායු බලාගාර මත වැඩි බරක් තැබීම සුදුසු වන අතර එහි ඇති අනෙක් වාසිය වන්නේ පරිසර දූෂණය අවම වීමක්ද ඒ තුළ පැවැතීමයි.

2017 මහ බැංකු වාර්තාව අනුව දැනට ලංකා විදුලිබල මණ්ඩලය රජය සතු බලාගාරවලින් ලබාගන්නා විදුලි නිෂ්පාදන ධාරිතාව සමස්ත නිෂ්පාදනයෙන් 72.9%ක් වන අතර ඉතිරිය පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් මිලට ගනී. ඒ අනුව ඉදිරි වසර 20 සඳහා වූ සංවර්ධන වැඩසටහන මගින් ලංකා විදුලිබල මණ්ඩලයට තමන් වෙත පැවැරී ඇති විදුලි ජනන ක්‍රියාවලිය ජයගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ තවදුරටත් පෞද්ගලික සැපයුම්කරුවන් මත යැපීමටය. එවැනි පරිසරයක් උදාවුහොත් 2020 වනවිට පමණක් මණ්ඩලයට සිදුවන පාඩුව රුපියල් බිලියන 50 ඉක්මවන බව සඳහන් කරයි. 

විකල්ප විදුලිබල ප්‍රභවයන් ගැන උනන්දුවක් දක්වන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලය පිළිබඳව සිතීමට ද පුළුවන. එහෙත්  ශ්‍රී ලංකාවේ මේ පිළිබඳව ප්‍රබල මතයක් නිර්මාණය වී නොමැත. එයට හේතුව, එක් අතකින් අනතුරුදායකත්වය නිසා ඇතිවිය හැකි මහජන විරෝධය ගැන ඔවුන් කල්පනා කිරීම විය හැකිය. අනෙක එවැනි බලාගාරයක ආයෝජන පිරිවැය ගැන කල්පනා කරනවා විය හැකිය. 

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමෙන් ඇතිවන අනතුරේ බිය ගැන කථා කිරීමෙන් ඵලක් නැත. හේතුව එම අනතුරත්, බියත් යන දෙකම දැන් ගෙයි දොරකඩටම පැමිණ තිබීමය. ඒ ඉන්දියාවෙන්ය. දකුණු ඉන්දීය ප්‍රදේශයේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට ඇති න්‍යෂ්ටික බලාගාර දෙකක්ම පිහිටවා ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්නයේය. එහි එක් බලාගාරයක් පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය, මුලතිව් කෙලින් උතුරට වන්නට ඉන්දියාවේ චෙන්නායි නගරය ආසන්නයේය. අනෙක් බලාගාරය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියාවේ පහළම කොටසේය. එනම් මන්නාරමට ආසන්නයේ, ඉන්දියාවේ කුණ්ඩල්කුලම්හිය. ඉන්දියාවේ මෙම බලාගාර දෙකෙන් කවරක හෝ අනතුරක් සිදුවුවහොත් එහි බලපෑමට ශ්‍රී ලංකාවද ලක්වේ. 

න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ආයෝජන ගැටලුව විසඳා ගැනීමට සුදුසුම විකල්පය වන්නේ ඉන්දියානු ආයෝජනයක් ලෙස න්‍යෂ්ටික බලාගාරයක් ආරම්භ කිරීමය. න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ප්‍රාගුණ්‍යය මෙහිද භාවිත කිරීමට හැකිවනු ඇත. 2018 මාර්තු වනවිට ඉන්දියාවේ මෙගාවොට් 6,780ක ධාරිතාවක් ලබාගත හැකි න්‍යෂ්ටික බලාගාර 7ක් ස්ථාපනය කර විදුලිය ලබාගන්නා අතර, තවත් බලාගාර 5ක ඉදිකිරීම් සිදුවෙමින් පවති. මේ අතර තවත් මෙගාවොට් 39,800ක් ලබාගත හැකි බලාගාර 10ක් සැලසුම් කර ඇත. එබැවින් ඉන්දියාව සතු අත්දැකීම්ද සැලකිල්ලට ගෙන ඉන්දියානු සෘජු ආයෝජනයක් ලෙස න්‍යෂ්ටික විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අවකාශ සැකසීම වැදගත්ය.

විදුලි ඉල්ලුමේ සාපේක්ෂ වර්ධනය සැලකිල්ලට ගැනීමේදී, ඉදිරි දශක දෙකට අදාළව ඉදිරිපත් කර ඇති විදුලි ජනන සැලැසුම් ප්‍රමාණවත් වුවද වැදගත් වන්නේ ආරම්භ කිරීම කඩිනම් කිරීමය. ලංකා විදුලිබල මණ්ඩලය මෙම ඉලක්ක සම්පූර්ණ කිරීමට ප්‍රමාදවන තරමට සිදුවන්නේ ස්වාධීන සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිලට ගැනීමය. ඒ සඳහා වන පිරිවැය ඉතා ඉහළ අගක් ගනී. එමෙන්ම විදුලිබල මණ්ඩලය ලැබිය යුතු ලාභය පිටතට ගලායාමක් සිදුවනු ඇත. දැනට රාජ්‍ය වාණිජ ව්‍යාපාරවලින් වැඩිම පාඩුව ලබන්නේ විදුලිබල මණ්ඩලයයි. 2018 මුල් කාර්තු තුනේදී විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුව පමණක් රුපියල් මිලියන 35,141 කි. එම පාඩුව අවම කරගැනීමට ඉදිරි අවුරුදු 20 සඳහා වූ ජනන සැලැස්ම සාර්ථක කරගනු ලැබූහොත් හැකිවනු ඇත. එමෙන්ම ඉදිරි වසර 10 තුළවත් න්‍යෂ්ටික බලය කෙරෙහි යොමුවීමට හැකි නම් එයද වැදගත් තීරණයකි. මේ සඳහා දැනට අත්දැකීම් ඇති ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත්, ඔවුන්ට බලාගාර ඉදිකර පවත්වාගෙන යාමටත් අවස්ථාව ලබාදීම සලකා බැලිය යුතුය. න්‍යෂ්ටික බලය මගින් මෙගාවොට් 5,000ක් පමණ නිපදවීමට හැකි වන්නේ නම් ගල්අඟුරු, ඩීසල් හෝ ස්වාභාවික වායු සඳහා දරන විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරගැනීමට හැකිවනු ඇත. පරිසර සංරක්ෂණයට විශාල දායකත්වයක් සැපයිය හැකිවනු ඇත. අඩු පිරිවැය විදුලිය සැපයීම තුළ රටේ ආයෝජන අවස්ථා පුළුල් වීමේ වාසිය ද අවසානයේ සමස්ත ජනතාවටම හිමිවනු ඇත.

සරත් හේවගේ

සංහිඳියාව සහ වගවීම සමබන්ධව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියෙහි සුසමාදර්ශීය වෙනස්කමක් සිදුවී ඇත්ද?

0


2019 මාර්තු මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය පිළිබඳව පසු විපරමක්

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2019 මාර්තු මාසයේ පැවැත්වුණු මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව ඉදිරිපත් කරන්නේ 2017 මාර්තු මාසයේ පැවැති 34 වන සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේද සමඅනුග්‍රහයෙන් යුතුව මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව සම්මත කරගන්නා ලද 34/1 යෝජනාව පරිදි, මහ කොමසාරිස්වරිය වෙත කරන පැවරීමක් අනුවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු දේශපාලන ආයතනයකි. එය සමන්විත වන්නේ සාමාජික රාජ්‍යයන් විසින් වසර තුනක කාලයක් සඳහා තෝරා පත් කර ගනු ලබන සාමාජික රටවල් 47ක නියෝජිතයන්ගෙනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා යනු එම සංවිධානයෙහි මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන ඉහළම නිලධාරියාය. වසර තුනක කාලයක් සඳහා පත්කරනු ලබන මෙම නිලධාරියාගේ කාර්ය මණ්ඩලයට මහකොමසාරිස් කාර්යාලයෙහි නිලධාරීහු අයත් වෙති. වර්තමානයේ මහ කොමසාරිස් ධුරය දරන්නේ මිචෙල් බැෂලේ මහත්මියයි. ඇයගේ පූර්වගාමියා ලෙස කටයුතු කළේ සයිද් රාද් අල් හුසේන් ය. ඉන් ඉහත නවනීදන් පිල්ලේ, ලුවිස් ආබර් සහ මේරි රොබින්සන් යන මහත්මීහු මහ කොමසාරිස් ධුරය දරා ඇත.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව ඉහළ පෙළේ අන්තර් ක්‍රියාකාරී විවාදය මාර්තු මස 20 වන දා ජිනීවාහි පැවැත්විණි. එහිදී මහ කොමසාරිස්වරියගේ කථාවෙන් අනතුරුව පිළිතුරු කථාව කරන ලද්දේ ශ්‍රී ලංකා දූත පිරිසේ නායක සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගින් පළ වෙන ශ්‍රී ලංකා රජයේ සංහිඳියාව සහ වගවීම පිළිබඳ ප්‍රතිපත්තියෙහි සුසමාදර්ශීය වෙනස් වීමක් සිදු වී ඇත්ද යන්න විමසා බැලීමටය.

විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ කථාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේ සමහර නිර්දේශ පිළිබඳ විවේචනාත්මක සහ නිශේධනීය ස්ථාවරයක් ගැනීම සැලකිල්ලට ගත යුතුය. එහිදී විදේශ අමාත්‍යවරයාගේ කථාවෙහි එන පහත පළවන උපුටා ගත් කොටස් දෙස අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

‘එක් එක් රටෙහි පශ්චාත් යුද ගැටුම් වාතාවරණය එකිනෙකට වෙනස් ය යන්න පිළිබඳව ඔබතුමිය එකඟ වනවා ඇති. වෙනත් අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකි වුවත්, සංහිඳියාව කරා යන අපගේම ගමන්මඟ මූලික වශයෙන්ම පාලනය වනු ඇත්තේ රාජ්‍යයේ බැඳීම්වල උත්තරීතරභාවය තහවුරු කරන, අප කටයුතු කරන දේශීය සන්දර්භය මඟිනුයි.

දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමෙහිලා ඇවැසි නීති සම්මත කරගන්නා’ ලෙස ඉල්ලා සිටින මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල වාර්තාවේ (A/HRC/40/23) 68 (සී) ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, මෙම කරුණ පිළිබඳව අපගේ ස්ථාවරය පහත සඳහන් ආකාරයෙන් පැහැදිලි කරන්නට මා කැමැතියි.

සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහ කොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කරදී තිබෙනවා. ඉදින් පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගෙන් ලැබෙන අනුමතියෙන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියාවලට හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක, මා මේ කවුන්සිලයේදී පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයට, ගැටුම අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිව විනා කිසියම් ජන කොටසකට එරෙහිව නොවෙයි. තවද, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැඟෙන ඔප්පු වූ චෝදනා 2015


ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල විමර්ශන (OISL) වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිල ලියැවිල්ලක සඳහන් නොවන බව තරයේ කිව යුතුයි.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරියකුට, හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක්.

මේ ප්‍රකාශ කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයද ඇතුළු සෙසු ජාත්‍යන්තර සංවිධාන විසින් යවනු ලැබූ ස්වාධීන තක්සේරුකිරීම්වලට ඍජුවම පරස්පර විරෝධීයි. මේ සම්බන්ධයෙන්, දැඩි ලෙස වාරණය කරනු ලැබූ වාර්තා 2017 ඔක්තෝබර් 12 වැනි දින එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කළා පමණක් නොවෙයි, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ලියනු ලැබ ප්‍රසිද්ධියට පත් කළ ලියැවිලිවලත් අන්තර්ගත වනවා.’

කෙසේ වුවද, සැලසුම් කර තිබූ පරිදිම, මානව හිමිකම් කවුන්සිලය විසින් 2019 මාර්තු 21 වන දින ශ්‍රී ලංකාවේ
සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ වන 40/1 දරන යෝජනාව ශ්‍රී ලංකාවේද සමඅනුග්‍රාහකත්වයෙන් යුතුව ඒකමතිකව සම්මත කරන ලදි. 30/1 යෝජනාවෙහි ම අනුගාමී යෝජනාවක් වූ එයට සමඅනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව නැවත වරක් ප්‍රකාශ කරන ලද්දේ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය අනුව තමන් සතු වගකීම් සහ බැඳීම්වලට අනුකූලව ස්වේච්ඡාවෙන් ක්‍රියාකිරීමට තමන් එකඟ වන බවයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ගැටලුව සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවේශය 2015 වසරේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී ‘විප්ලවයෙන්’ අනතුරුව වෙනස් ප්‍රවේශයක් ගත් බව සැබෑය. එය ප්‍රකාශමාන වන තීරණාත්මක මොහොත වූයේ 2015 ඔක්තෝබර් 01 වන දින මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගන්නා ලද, ඇමරිකාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් විසින් ඉදිරිපත් කරන ලදුව, ශ්‍රී ලංකාව විසින්ද සම අනුග්‍රහය දක්වන ලද, 30/1 යෝජනාව සම්මත වීම මගින්ය. මෙම යෝජනාවට පූර්වගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුතුව 2012, 2013 සහ 2014 වසරවල දී ගෙන එන ලදුව සම්මත කරගත් යෝජනාවන්ට සමඅනුග්‍රහය දැක්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් වූ රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
2015 දී සම්මත කරගත් 30/1 යෝජනාව ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් සංහිඳියාව සහ මානව හිමිකම් උදෙසා වූ පියවර ගණනාවක් ගෙන ඇති බව සැබෑය. එමෙන්ම වගවීම සහතික කිරීම හෙවත් අන්තර්ජාතික මානවවාදී නීති සහ මානව හිමිකම් නීති කඩකිරීම් සම්බන්ධව යුද වැදි දෙපාර්ශ්වයටම එරෙහිව එල්ල වූ චෝදනා පරීක්ෂා කර වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සහ වගඋත්තරකරුවන්ට දඬුවම් ලබා දීම විෂයෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නැති බවද එසේම සත්‍යයකි. මෙහිදී විදේශ ඇමැතිවරයාගේ 2019 මාර්තු 20 දින
ප්‍රකාශයෙන්ම ඒ සඳහා නිදසුන් ලබා ගත හැකිය.

‘සත්‍යය සෙවීමේ කටයුත්ත ගත් විට, අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අවශ්‍ය සම්පත් වෙන්කොට දී තිබෙනවා. සත්‍යය හා සංහිඳියා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනට සලකා බැලෙමින් පවතිනවා.
යුක්තිය සම්බන්ධයෙන් ගත් කල, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු යළි සමාලෝචනය කිරීමද, එම නඩු කඩිනම් කිරීමද කර තිබෙන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට, ජාත්‍යන්තර ප්‍රමීතීන්ට සහ යහ-ව්‍යවහාරයන්ට අනුකූලවීම සහතික වෙමින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.

හානිපූරණය පිළිබඳව සලකා බැලීමේදී, හානිපූරණ කාර්යාලයක් නීතියෙන් පිහිටුවා ඇති අතර එයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. දැනටමත් අප්‍රාප්ති සහතිකයක් ලැබූ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500ක් වෙන් කොට තිබෙනවා.
ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූරණය කිරීමට අප තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා.

2019 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කළ පරිදි, මුදා හරිනු ලැබ ඇත්තේ 2009 දී ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන සිටි ඉඩම්වලින් 75% ක් පමණකැයි යන බවට මහකොමසාරිස්වරියගේ වාර්තාවේ 35 වැනි ඡේදයේ සඳහන් වී ඇති දත්ත සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වෙනස් බව අවධාරණය කිරීමට මා කැමැතියි. 2019 මාර්තු මාසය වන විට රජයේ ඉඩම්වලින් 88.87% ක් සහ පෞද්ගලික ඉඩම්වලින් 92.16%ක් මුදා හැර තිබෙනවා.’ (විදේශ අමාත්‍යවරයාගේ
ප්‍රකාශය, 2019.03.20, ජිනීවා)

2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් රාජ්‍යය අත්පත් කරගැනීමෙන් සිදුවූ කුමන්ත්‍රණයත්, එයින් දින 51 කට පසුව එම කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් අනතුරුව දේශපාලන බලවේගයන් යළි සැකසීමත් සමගම, එක් අතෙකින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් පිළිවෙළින් නියෝජනය වන රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙක අතර පැවැති සම්මුතිය බිඳ වැටීමත්, විධායක ජනාධිපතිවරයා විසින් රාජ්‍යය අත්පත් කරගැනීම පරදවා ලීමට, විධායක ජනාධිපති ධුරයේ බලතල අවනිශ්චය කරමින්, පසුගිය සිව් වසර තුළ ශක්තිමත් කරන ලද ප්‍රජාතාන්ත්‍රික ආයතන පද්ධතිය ශක්තිමත් වීමත්, විසින් සිදු කෙරෙන දේශපාලන ඇඟවුම් මත පදනම්ව අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් 2019 මාර්තු 20 වන දින ලකුණු වී ඇති බව විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි අවසන් ඡේදයෙන් පැහැදිලි වෙයි.

‘විශේෂයෙන්ම, 2018 අගභාගයේ ඇතිවූ දේශපාලන සිදුවීම් අතරතුරදී පෙන්වූවාක් මෙන්, අපගේ අධිකරණ, නිලධාරී තන්ත්‍ර හා ආරක්ෂක ආයතන ස්වාධීනත්වය, ප්‍රත්‍යස්ථිතිය, ශක්තිමත්බව හා අධිෂ්ඨාන සහගතබව ප්‍රදර්ශනය කොට ඇති අවස්ථාවක, ජාත්‍යන්තර යහ-ව්‍යවහාරයන් අන්තර්ගත නවෝත්පාදක හා ක්‍රියාත්මක කළ හැකි දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කළ යුතු අතර ඊට සහායද දැක්විය යුතුයි. මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි ‘වින්දිතයන්ගේ සහ පෘථුල සමාජයේ විශ්වසනීයත්වය දිනා ගන්නා’ ආකාරයකින් මෙම සිදුවීම් අවසානයක් කරා ගෙනයෑමට අපට හැකි වන්නේ එවිට පමණයි.’

මෙම වෙනස්කම් සඳහා දේශීය තත්ත්වයන්ට අමතරව අන්තර්ජාතික තලයෙහිද සිදු වී ඇති වෙනස්කම්වල බලපෑම අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකිය. 2015 සහ 2019 අතර වන සිව් අවුරුදු කාල සීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පරිපාලනය පරාජයට පත්වී, රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂකයා වූ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීම එහි විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි සැලකිය යුතු වෙනසක් ඇති කර ඇත. විශේෂයෙන්ම ඔබාමා පාලනය තුළදී මානව හිමිකම් කවුන්සිලයට ඇතුළු වී එහි නායකත්ව භූමිකාවක් රඟ දැක්වූ සහ 2012 වසරේ සිටම ශ්‍රී ලංකාව සමබ්න්ධයෙන් යෝජනාවන් ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූ එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිල සාමාජිකත්වයෙන් ඉවත් වීම ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදු විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ අනෙක් ප්‍රබල රාජ්‍යය වන එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකිව දේශපාලන සිරවීමකට ලක්ව සිටියි. 2012, 2013 සහ 2014 වසරවල මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව ගෙනඒමේදී ක්‍රියාකාරීව කටයුතු කළ ඉන්දියාවේ වසර 10 ක කොංග්‍රස් පක්ෂ පාලනය 2014 දී පරාජයට පත් වීමත්, එම ඡන්දයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂය පාලනය ස්ථාවර කරගැනීමත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලපෑම දුර්වල කිරීමට හේතු සාධක වී තිබේ.

එමෙන්ම 2015 දක්වාම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ යෝජනාවන්හිදී සක්‍රිය දායකත්වයක් දැක්වූ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන බලවේගද, ගෝලීය දෙමළ සංසදය ඇතුළු විදේශගත දෙමළ ප්‍රජාවේ සංවිධානද, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරීව මැදිහත්වූ කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජ සංවිධානද වර්තමාන රජය කෙරෙහි සහනශීලී ආකල්පයක් සහිතව ක්‍රියාකාරීව සම්බන්ධව සිටීමද මෙම වෙනස්කම ඇති වීම කෙරෙහි බලපෑමක් සිදු කොට ඇත.

මෙම තත්ත්වය මත මා තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ එළැඹුමෙහි සුසමාදර්ශීය විතැන් වීමක් සිදු වී ඇති බවය. 2015 වෙනසට බලපෑම ඇති කළ ඉහත දැක්වූ කණ්ඩායම් සියල්ලටම මෙම තත්ත්වය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගැනීමට බලකෙරී ඇති අතර, එයට හේතුව වන්නේ ආණ්ඩුවට විකල්පය ලෙස පෙනී සිටින දේශපාලන බලවේගය වන ඒකාබද්ධ විපක්ෂය නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ සම්බන්ධව එකඟතාවකට එළැඹීමට නොව, යටත් පිරිසෙයින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ හැකි දේශපාලන වාතාවරණයක් නැති බැවිනි. මෙම වෙනස් වූ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය මෙන්ම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් අවධානය යොමු කොට ඇත්ද යන්නත්, මෙම සුසමාදර්ශී විතැන් වීම තුළ තම න්‍යාය පත්‍රයන් ස්ථානගත කරන්නේ කෙසේද යන්නත් බරපතළ ලෙස සාකච්ඡාවට ලක් කළ යුතුය.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

නියමිත කාලයට නොවුණොත් යුක්තිය ඉෂ්ට වෙන්නේම නැහැ

ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ

අධිකරණයේ නඩු ප‍්‍රමාද වෙන බව සමාජයේ ජනප‍්‍රිය මතයක් පවතිනවා. ඒත් ඒ ප‍්‍රමාදයට හේතු ගැන බොහෝ අය සොයාන්නේ නැහැ නේද?

අපි බාහිරව බැලූවාම පෙනෙන්නේ උසාවියේ නඩු කල් යන එක විතරයි. සමහරු නීතීඥවරුන්ට බණිනවා. තවත් සමහරු විනිශ්චයකරුවන්ට බණිනවා. එහෙත් මේක නිවැරදි කරන එක ගැන ව්‍යවස්ථාදායකය හෝ රජය පවා හිතන්නෙ නැහැ. කොහොම ගත්තත් මේක ජාතික ප‍්‍රශ්ණයක්. අධිකරණය විසින් නියමිත කාලයට යුක්තිය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, බොහෝවිට යුක්තිය ඉෂ්ඨ වෙන්නේම නැහැ. අවුරුදු දහයකට පස්සේ සාධාරණ ලෙස යුක්තිය ඉෂ්ඨවෙන්න පුලූවන් වුණත් වින්දිතයාගේ පැත්තෙන් ඒක යුක්තිය ඉෂ්ඨ වීමක් විදියට දකින්න අමාරුයි. වින්දිතයන් පීඩාවටත් පත්වෙනවා.

‘බෙන්ච් ඇන්ඞ් බාර්‘ හෙවත් විනිසුරුවරුන් හා නීතීඥවරුන් කියන දෙපාර්ශ්වය මේ තත්වයට වගකියන්න ඕනෑ බව පොදු අදහසක් තියෙනවා..

මේ ප‍්‍රශ්ණයට විනිශ්චයකාරවරුන් හා නීතීඥවරුන් කියන දෙපාර්ශ්වයත් වගකියන්න ඕනෑ බව ඇත්ත. ඒ ගැනත් මම කතාකරන්නම්. එහෙත් මේක ඒ දෙපාර්ශ්වයේ ප‍්‍රශ්ණයක් පමණක් නොවෙයි. ලොකු සංකීර්ණ ප‍්‍රශ්ණ කිහිපයත්ම මේකට හේතුවෙනවා. අධිකරණ පද්ධතිය එක් ආයතනයක් මත නෙවෙයි රඳා පවතින්නෙ. අධිකරණය කියන්නෙ රාජ්‍ය යාන්ත‍්‍රණයේ එක් අංගයක්. ඒක රාජ්‍ය යාන්ත‍්‍රණයේ අනෙකුත් අංග සමඟ අපි හිතන්නේත් නැති තරම් බද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදියට නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක, පොලීසිය ආදී නොයෙකුත් ආයතන සමඟ බැෙක්‍ෂනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය මත ඒ ආයතනවල කාර්යක්ෂමතාවය රඳා පවතිනවා. අධිකරණ කටයුතු ඉක්මනින් සිද්ධවෙන රටවල රාජ්‍ය මූල්‍යයෙන් සෑහෙන කොටසක් යුක්තිය ඉෂ්ඨ කිරීමේ ක‍්‍රියාදාමයට යොමුවෙනවා. මුදල් ගැන එක් උදාහරණයක් කීවොත්, ඒ මුදල් මේ ක්ෂේත‍්‍රය තාක්ෂණය යොදා නවීකරණය කරන්න යොදවනවා. එහෙත් නවීකරණය කළ පමණින් කාර්යක්ෂම වෙන්නෙ නැහැ. ඒ නවීන තාක්ෂණය පාවිච්චි කරන්නට පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. තව අතුරු ප‍්‍රශ්ණ රාශියක් තියෙනවා.

මොනවගේ ප‍්‍රශ්ණද?

එක් අතුරු ප‍්‍රශ්ණයක් තමයි ලඝුලේඛකයන් පිළිබඳ ප‍්‍රශ්ණය. අධිකරණයේ පරිපාලනය පැත්තෙන් තියෙන බරපතලම ප‍්‍රශ්ණයක් තමයි ඒක. අද ලඝුලේඛකයෙක් වැඩ කරන්නේ පරිගණකයෙන්. අද වෙනත් රටවල්වලනම් කොල නැතිව පරිගණකයෙන්ම ටයිප් කරනවා. ඒක එක් උදාහරණයක්. ලඝුලේඛකයන් නැතිවෙන්න එක් ප‍්‍රධාන හේතුවක් තියෙනවා. ඔවුන්ගේ වැටුප බොහෝම අඩුයි. වෙන රටවල වගේ ලංකාවේ ලඝුලේඛකයන් කියන්නේ වෘත්තියක් නෙවෙයි. ලංකාවේ ලඝුලේඛකයන්ව බිහිකරන අධ්‍යාපන ආයතනයක්වත් නැහැ. මේ ක්ෂේත‍්‍රයේ වැඩ කරන්නේ තරුණයන්, පරිගණකයෙන් වැඩ කරන්නේ. ඉතින් මේ ක්ෂේත‍්‍රයට වැඩි වැටුපක් ගෙවන්න වෙනවා. ඒත් ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න උත්සාහ කළාම රාජ්‍ය තන්ත‍්‍රයේ ඉන්න පරිපාලන නිලධාරීන් ආදිය ප‍්‍රශ්ණ ඇති කරනවා, අපට වඩා පඩි වැඩි කරන්න බැහැ කියලා. ඔවුන්ගේ බාධක නිසා මේක වැඩි කරන්න බෑ. මම ටිකක් ඇතුලට ගිහින් කතාකළේ එක් ක්ෂේත‍්‍රයක්. මේ වෙද්දී පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභාවලින් මේ ප‍්‍රශ්ණය පිළිබඳව සලකා බලා තියෙනවා. දැනට විසඳුමක් නම් නැහැ.

අපරාධ නඩු ප‍්‍රමාදයට විශේෂ හේතු තියෙනවාද?

අපරාධ නඩුවක් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විමර්ශණයට ගිහින්, මහාධිකරණයට ගිහිල්ලා, ශේෂ්ඨාධිකරණය දක්වා ගිහින් අවසාන වෙන්නට සාමාන්‍යයෙන් අවුරුදු 10 – 17 දක්වා යනවා. බොහොම කලාතුරකින් තමයි නඩුවක් ටික කාලයකින් අවසාන වෙන්නෙ. අපරාධ නඩු ප‍්‍රමාද වෙන්නට තියෙන එක් ප‍්‍රධාන හේතුවක් තමයි විමර්ශණ ප‍්‍රමාද වීම. ලංකාවේ විමර්ශණ කටයුතු කරන සී.අයි.ඞී. වගේ ආයතනවල ඉතාම දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් බොහෝ අය දන්නේ නැහැ, සී.අයි.ඞීයේ එක් නිලධාරියෙක් එකම වෙලාවක විමර්ශණ 80 විතර කරන බව. ඒ අතරේ ඉතාම සංකීර්ණ විමර්ශණ 10 -15 ක් තියෙනවා. ඉතින්, තමන්ට අදාල විමර්ශණයක් ගැන සාක්ෂි දෙන්න උසාවියට ගිහින් දවසක් රස්තියාදු වුණාම අනෙක් විමර්ශණ කරන්න වෙලාවක් ඔවුන්ට නැතිවෙනවා.

පොලිස් නිලධාරීන්ට උසාවියට පැමිණෙන ලෙස නියෝග කළාම ඔවුන් එන්නේ නැහැ. ඔවුන් ප‍්‍රමාද වෙනකොට නඩුව ප‍්‍රමාදයි. අනෙක් පැත්තෙන් රජයේ සේවකයන් නඩුවලට සාක්ෂ්‍ය සපයන්න මැලිකමක් දක්වනවා. ඒකට දේශපාලනය හේතුවෙනවා. උදාහරණයක් කීවොත් හිටපු ආණ්ඩුවේ ¥ෂණ වංචා ගැන නඩුවක් තියෙනවානම් ඒ් ගැන නිලධාරීන් තොරතුරු දෙන්නෙ නැහැ. දැන් හමුදාවට අදාල නඩුවල ප‍්‍රශ්ණය ඒකයි. අද සෑහෙන අඩු වුණත්, දේශපාලඥයන් නඩුවලට මැදිහත් වෙනවා. නාවික හමුදාවට අදාල නඩුව එක් උදාහරණයක්.

ඇතැම් අපරාධ නඩුවල චූදිතයන් විශේෂ වරප‍්‍රසාද බවත් පෙනෙන්න තියෙනවා..

අපරාධ නඩු සම්බන්ධයෙන් තියෙන අලූත්ම තත්වය තමයි විමර්ශණයක් යන අතරේ, චූදිතයන් විසින් විමර්ශණ වළක්වමින් ශේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දැමීම. මම හිතන්නේ පරීක්ෂණ කටයුතුවලට මෙවැනි බාධක එල්ලකිරීම ගැලපෙන්නේ නැහැ.

ඞී.එන්.ඒ. වාර්තා, පරිගණක වාර්තා ආදිය ලබාගැනීම සඳහාත් පරීක්ෂණ ප‍්‍රමාද වෙනවාද?

දියුණු විදේශ රටවල නම්, ඞී.එන්.ඒ. ආදී පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය වෙන විද්‍යාගාර තියෙන්නේ පොලීසියේම කොටසක් විදියට. ඒ විද්‍යාගාරවල වැඩ කරන්නේ පොලීසියේ සේවය කරන විශේෂඥයන්. අනෙක් කාරණය තමයි ඉලෙක්ට්‍රොනික් සාක්ෂි පරීක්ෂා කිරීම. ඒවාට අවශය වෙන ඉලෙක්ට්‍රොනික් විද්‍යාගාරත් පොලීසිය සතුව නැහැ. දැනට සී.අයි.ඩි. එකේ විතරක් ඉලෙක්ට්‍රොනික් විද්‍යාගාරයක් තියෙනවා. විද්‍යාගාර නැති හින්දා ඞී.එන්.ඒ. අරගෙන ඒවා විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් ආයතනයකට යවන්න ඕනෑ. ඒවායේ වාර්තාව එන්නට මාස හයක් විතර ගතවෙනවා. පුපුරනද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් රජයේ රස පරීක්ෂකගෙන් ඉල්ලා සිටියොත්, ඒ වාර්තාව එන්න තව මාස හයක් ගතවෙනවා. එක් නිලධාරියෙක් වාර්තාව හදලා එක් තැනකින් තවත් තැනකට යවන්නට මාස පහක් හයක් යන අවස්ථා තියෙනවා. අනාගතයේදී නව තාක්ෂණය සම්බන්ධ නඩු සෑහෙන එනවා. ඒවාට ගැලපෙන විදියට ආයතන පද්ධතිය වෙනස් වෙන්න ඕනෑ.

ඒ විතරක් නෙවෙයි මේ සාක්ෂි මහේස්ත‍්‍රාත් උසාවියක ඉදිරියට අරගෙන යන්න ඕනෑ.

සාමාන්‍යයෙන් මහේස්ත‍්‍රාත් උසාවියක එක් කාලසීමාවක් ඇතුලේ නඩු 100ක් විතර තියෙනවා. ඒවා එකින් එක කැඳවලා ඉවරකරලා, විභාගයට අන්තිමට ඕනෑනම් පැය තුනක් පමණ ඉතිරිවේවි. මේ ඔක්කෝම නඩු ප‍්‍රමාද කරන්න හේතුවෙනවා. ඒ අතරතුරේ නීතීඥවරුන් තමන්ට ඕනෑ විදියට දින ගන්නවා. නඩුකාරවරුන්ට වැඩ වැඩියි. ඔවුන් අසනීප වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශණ කටයුතු ප‍්‍රමාද වෙන්නේ කොහොමද?

හැම නඩුවකම අවසානයේදී නඩුව මෙහෙයවීමේ කටයුත්ත කරන්නේ නීතිපතිවරයා විසින්. විශේෂයෙන්ම මහාධිකරණයේ නඩු පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නීතිපතිට විතරයි. විමර්ශණයකින් පස්සේ නඩුවක් නීතිපතිවරයාට ගියාම එතැනදී අධිචෝදනා පත‍්‍රය සකස් කරන්න කොච්චර කාලයක් යනවාද කියලා කාටවත් කියන්න බැහැ. සමහර කාලවල මාස හයෙන්. තවත් කාලයක ඊට වඩා සෑහෙන වැඩියි. ලංකාවේ ජනගහනයට සාපේක්ෂව නීතිපති දෙපාර්තමේන්තුවට සිටිය යුතු නිලධාරීන් ප‍්‍රමාණයෙක් 50%ක් පමණයි ඉන්නේ. ඒ නිලධාරීන්ටත් වැඩි අධිකයි. අපි හිතමු නිලධාරියෙකුට පිටු 1000ක නඩු ගොනුවක් ලැබුණා කියලා. ඔවුන් ඒවා කියවන්න ඕනෑ උසාවියට ගිහින් ආවාට පස්සේ. ඇතැම්විට උසාවිය අවසාන වෙලා එන්නේ හවස තුනට. එතකොට මොන තරම් පොඩි වෙලාවක්ද ඉතිරි වෙන්නේ. සමහර නීතිපති නිලධාරීන් එකවර නඩු 25ක් පමණ අඩුම තරමේ මෙහෙයවනවා. අනෙක් පැත්තෙන් රජයේ දෙපාර්තමේන්තුවල තියෙන පොදු ප‍්‍රශ්ණයක් නීතිපති දෙපාර්තමේන්තුවේත් තියෙනවා. ඒ තමයි සමහරු ඉහළින්ම වැඩ කරද්දී තවත් අය වැඩ කරන්නේම නැහැ. මේ ගැන විහිළුවට කියන්නේිසම්මා හාර්ඞ්වර්කින් හා සම්මා හාර්ඞ්ලි වර්කින්’ කියලා. අනෙක් රජයේ නිලධාරීන්ට වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන්ටත් ඉහළට යන්න ක‍්‍රමවේදයක් නැහැ. යා හැක්කේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණයි. ඇතැම් අතිදක්ෂ නිලධාරීන්ට ඉහළ සිටින අය විශ‍්‍රාම යනතෙක් උසස්වීම් නැහැ. මෙහෙම පසුබිමක මේ ආයතන කාර්යක්ෂම නැහැ.

විමර්ශණය වෙන නඩුවලින් 10%කවත් විමර්ශණය යන අතරේ නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට උදෘත ගොනුව ආවාට පස්සේ, මොනවාහරි ප‍්‍රශ්ණයක් ඇතිවුණොත් පොලිස් නිලධාරීන්ව ගෙන්වන්න ඕනෑ. එතකොට හිටපු නිලධාරීන් නැත්නම් අලූත් නිලධාරීන් දන්නේ නැහැ වෙච්ච දේ. ඒවා නිසාත් නඩු ප‍්‍රමාද වෙනවා. වෙනත් රටවල නම් නීතිපති නිලධාරීන්, පරීක්ෂණ නිලධාරීන් හා වෙනත් විශේෂඥයන් එකට වාඩිවෙලා තමයි සැලසුම් හදන්නේ. ඉස්සර ආකල්පයක් තිබුණා විමර්ශකයන් හා නීතිපති නිලධාරීන් එකට වැඩ කරද්දී ගැටීමක් ඒවි කියලා. ඒත් දැන් දියුණු රටවල් එකකවත් ඒ ආකල්පය නැහැ. එකට වැඩ කළ පමණින් විමර්ශකයා කියන හැමදේම නීතිපති නිලධාරියා විශ්වාස කළයුතු නැහැ. යල් පැනගිය විදියට හිතන ඇතැම් නිලධාරීන් විමර්ශණය අවසාන වෙනතෙක් පොලීසිය දෙස බලන්නේවත් නැහැ. අවසානයේ පොලීසිය විමර්ශණ වාර්තාව එව්වාම වසර ගණනාවකට පස්සේ නැවතත් ෆයිල් එක යවනවා, මේ දේවල් අඩුයි කියලා දන්වමින්.

අපරාධ නඩු වල සාක්ෂිකරුවන් හා වින්දිතයන් ඉන්නවා. අධිකරණවල නඩු ප‍්‍රමාදය නිසා මේ අය ස්වාධීනව අධිකරණයට එන්න මැලිකමක් දක්වනවා. ඉදිරිපත් වෙන කෙනෙක් වුණත් දහ වතාවක් හිතනවා. මම දන්න අවස්ථා තියෙනවා, ඇක්සිඩන්ට් එකක් වුණ මනුස්සයෙක්ව රෝහලට අරගෙන යනකොටත් මනුස්සයෙක් පසුබට වෙනවා. උසාවි ගානේ රස්තියාදු වෙන්න වේවි කියලා. අපරාධයක් නම් කොහොමත් මඟහරින්න උත්සාහ කරනවා. ඒකත් අපරාධ නඩු කල්යන්නට හේතුවෙනවා.

සිවිල් නඩු ප‍්‍රමාද වෙන්නේ මොන හේතු නිසාද?

ඉඩම් නඩුවක් උදාහරණයට ගත්තොත්, ඒවා පරම්පරා දෙකතුනක් යන අවස්ථා තියෙනවා. මොකද ඒවායේ සාක්ෂිකරුවන් ලැයිස්තුගත කරන්න, ඉඩම් මනින්න ඕනෑ. ඉඩම් මනින්න මිනින්දෝරුවන් හොයාගන්න ප‍්‍රමාද වීම වගේ හේතු තියෙනවා. ඒ ප‍්‍රශ්ණ විසඳන්න උත්සාහයන් තියෙනවා.

ඉහළම උසාවිවල නඩු ප‍්‍රමාදය ගැන කතාකළොත්..

ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විභාගයට ගැනෙන නඩු ලැයිස්තුව කලින් එනවා. සාමාන්‍යයෙන් එක් උසාවියකට නඩු 30කට වඩා තියෙනවා. ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල දෙකක් යටතේ. මේ හැම එකක්ම විභාග වෙන නඩු නෙවෙයි. සමහර ඒවා කැඳවන නඩු. කැඳවන නඩු වලට සෑහෙන වෙලාවක් ගතවෙනවා. මේ කැඳවීමේ කටයුත්ත සාමාන්‍ය ලිපිකරුවෙක් ලවා කරන්න පුලූවන් දෙයක්. දියුණු අධිකරණ පද්ධතියක නම් කැඳවන නඩුවක් උසාවියට එන්නේ නැහැ. ඒ නඩුව විභාග කිරීම සඳහා තමයි කෙළින්ම නඩුව උසාවියට එන්නේ. අපේ රටේ එහෙම නැති හින්දා නඩු සංඛ්‍යාව වැඩියි. ඒත් ඒක ප‍්‍රමාදය පිළිබඳ නිදහසට කරුණක් නෙවෙයි. මේවා ඉක්මන් කරන්න ක‍්‍රමවේද හදන්න ඕනෑ. ඒත් ඒ සඳහා උත්සාහයක් පෙනෙන්නට නැහැ. ඉස්සර නම් නඩු අඩුයි. මම අවුරුදු තිහක් විතර තිස්සේ අධිකරණයේ ඉන්නවා. ඉස්සර ශේෂ්ඨාධිකරණයේ නඩු දහයක් විතර තමයි තියෙන්නේ. ඒවායින් තුනක් පමණ විභාග වෙන නඩු. ඒ තුනම විභාගයට ගන්නවා. කල් යන්නේ නැහැ.

තවත් කාරණයක් තමයි පොදු නඩුවලදී විරෝධතා ගොනු කිරීමට ප‍්‍රමාද වීම. බොහොම කලාතුරකින් තමයි නීතිපති දෙපාර්තමේන්තුව නියමිත දිනයට විරෝධතා ගොනු කරන්නේ. ඉතාම වැදගත් කමකින් යුක්ත නඩු මිසක්, සාමාන්‍යයෙන් පොදු නඩුවලදී ඒක සිද්ධවෙනවා. ඉස්සර නම් මාස තුනක් ඇතුලත ශේෂ්ඨාධිකරණයේ නඩුවක තින්දුව දුන්නා. අද අවුරුදු ගණන් ඇදෙන නඩු තියෙනවා. අනෙක් කාරණය තමයි, ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට දිනයක් දෙන්නේ නැහැ. අනෙක් හැම උසාවියේම දෙනවා. ඔය අස්සේ ශේෂ්ඨාධිකරණයේ යම් නඩුවක් අතරතුර නඩුකාරවරයෙක් විශ‍්‍රාම ගියොත් ආපහු මුල ඉඳන් නඩුව විභාගයට ගන්න සිද්ධවෙනවා. අනෙක් කාරණය තමයි මොන තරම් දක්ෂ විනිසුරුවරයෙක්ට වුණත් වැඩ කරන්න පුළුවන් ප‍්‍රමාණයක් තියෙනවානේ. ඒ ප‍්‍රමාණය ඉක්මවලා වැඩ තියෙද්දී, ඒවා කරන එක මානුෂික වශයෙන් අමාරු වැඩක්. එතකොට මම අර කීව තරම් නඩු දිනයක් ඇතුලේ විභාග කරන්න බැහැ.

නීතීඥවරුන්ගේ ක‍්‍රියාකාරීත්වය නිසාත් ඇතැම්විට එවැනි නඩු ප‍්‍රමාද වෙනවා නේද?

අධිකරණයේ නඩු පරිපාලනයක් නැහැ. බොහෝ දියුණු රටවල ශේෂ්ඨාධිකරණයේ නඩුවකට කාලයක් තියෙනවා. බොහෝවිට උපරිම වශයෙන් පැය දෙකයි. නීතීඥයෙකුට ලිඛිත දේශණයක් කරන්න පුලූවන් වෙන්නේ පැය භාගයයි. කිසිම අයුරකින් විශේෂ වරප‍්‍රසාද ලබන නීතීඥවරුන් නැහැ. අපි දිවුරුම් දුන්න මුල් කාලයේදී සමහර නීතීඥවරුන් දවස් දෙකතුනක් ලිඛිත දේශණ ඉදිරිපත් කලා. ඒ කාලයේ නඩු අඩුයි. දැන් කාලසීමාව ප‍්‍රශ්ණයක්. අදත් සමහරු එක නඩුවේ ලිඛිත දේශණ පැය ගණන්, ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ඒක අසාධාරණයක්. අනෙක් නීතීඥවරුන්, වෙනත් නඩුවලට ආ අය ඇතුළු සියළුම දෙනා දවස තිස්සේ බලාගෙන ඉන්න ඕනෑ. මම හිතන්නේ නීතීඥවරුන්ට පැය භාගයක වගේ කාලසීමාවක් දෙන්න ඕනෑ. මේ ගැන යම් විනිශ්චයකාරවරුන්ගේ කැමැත්තක් තියෙනවා. ඒ්ත් මම හිතන්නේ නැහැ හැම විනිශ්චයකාරවරයෙක්ම හා හැම නීතීඥවරයෙක්ම මේකට කැමති වේවි කියලා.

ඉහළ අධිකරණවල තවත් ප‍්‍රශ්ණයක් තමයි සීමිත නීතීඥවරු පිරිසක් අතිවිශාල නඩු ප‍්‍රමාණයක් බාරගෙන සිටීම. ඔවුන් එක් උසාවියක නඩුවක් යන අතරේ අනෙක් උසාවියට ගිහින් නඩුවලට වෙනත් දින ලබාගන්නවා. ඒත් හරිනම් වෙන්න ඕනෑ නඩුව තියෙන වෙලාවට තමන්ට එන්න බැරිනම් වෙන නීතීඥයෙක්ව හරි ඉදිරිපත් කරලා නඩුව ඉදිරියට ගෙන යන එකයි. අධිකරණයේ සුවිශේෂ වරප‍්‍රසාද ලබන නීතීඥවරු ඉන්න බැහැ. දෙතුන්දෙනෙක්ට විශේෂ වරප‍්‍රසාද තිබෙන බව පෙනුණොත් සේවාදායකයන් ඔවුන් වෙත යොමුවෙනවා. ඇතැම්විට ඒ නීතීඥවරුන්ට විශේෂ දක්ෂතාවයක් නැහැ. අනෙක නඩු සඳහා දින ලබාදෙනකොට නීතීඥවරුන් කියන දිනයක් තමයි දෙන්නේ. නීතීඥවරු ඉල්ලන දිනය සාධාරණ නම් ඒ දිනය ලබාදෙන්න පුලූවන්. 1980 මුලදී එංගලන්තයේ මේ ප‍්‍රශ්ණය ඇවිත්, ඔවුන් රාජකීය කොමිෂමක් පත්කලා. ඔවුන් කීවා නඩු කල්යන්නට හේතුව නීතීඥවරුන්ට ඕනෑ විදියට දින ලබාදීම බව. ඒ නිසා දින ලබාදීම අධිකරණය විසින් සිදුකළ යුතු බව තීන්දු කළා. එතකොට කාටවත් වරප‍්‍රදාස නෑ. උසාවිය ලබාදෙන දිනවලට යන්න ඕනෑ. නීතීඥවරුන්ගේ පහසුව වෙනුවට අධිකරණයේ පහසුව කියන ක‍්‍රමයට පරිවර්තනය වෙන්න ඕනෑ බව එංගලන්තයේ රාජකීය කොමිෂම තීන්දු කළා. අතිශය සාධාරණ හේතුවක් තිබුණොත් නීතීඥවරයෙක්ට දින ලබාදීම සාධාරණ බව ඇත්ත.

නීතීඥවරුන්ගේ පැත්තෙන් වුණත් උසාවිය කියන්නේ බොහොම බරපතල කාලය කාදැමීමක්. සමහර වෙලාවට විනාඩි දහයක වැඩක් වෙනුවෙන් උසාවිය පටන්ගත් මොහොතේ පටන් දවල් 3.30 දක්වා වෙනත් කෙනෙකුගේ දේශන අහගෙන ඉන්න ඕනෑ. ඉගෙනගන්නා කෙනෙකුට මේක හොඳ වුණත්, මේ ප‍්‍රමාදයේ ඵලදායීතාවයක් නැහැ. මේක ඵලදායී වෙන්නට නම් මම දැනගන්න ඕනෑ මගේ නඩුව ගන්නේ 1.30ට නම් මම ඒ වෙලාවට යන්න ඕනෑ බව. උදේ ඉඳන් බලාගෙන ඉන්න ඕනෑ නැහැ.

විනිශ්චයකාරවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැනත් කතාකළ යුතුයි නේද?

දැනට අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් ගැන පහුගිය කාලයේදී කතාබහට ලක්වුණා. නඩු තීන්දු ගණනාවක තීන්දුව තියා ෆයිල් එකවත් නැහැ. ඒත් මේවා ගැන කිසිකෙනෙක් බලන්නේ නැහැ. ලංකාවේ නඩුකාරවරුන්ගේ කටයුතු අධීක්ෂණයට ලක්වෙන්නේ නැහැ. පහළ අධිකරණ අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් අධීක්ෂණයට ලක්වෙනවා. ඒත් ඉහළ අධිකරණ අධික්ෂණය වෙන්නේ නැහැ. සමහර විනිසුරුවරුන් විශ‍්‍රාම යද්දී නඩු තීන්දු සිය ගණන් ලියලා නැහැ. ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් කියලා ඉන්න අයවත් අධීක්ෂණයට ලක්වෙන්නේ නැහැ. අපේ වාසනාවකට වගේ අධීක්ෂණයට ලක් නොවුණත්, දක්ෂ ලෙස වැඩකරන විනිසුරුවරුන් බොහොමයක් ඉන්නවා. ඒත් මේ පද්ධතියේ තියෙන ප‍්‍රශ්ණ නිසා මනුෂ්‍යයන් වශයෙන් සීමාකම්වලට මුහුණදෙන්නට ඔවුන්ට සිද්ධවෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව වැනි ආයතනයටත් වෙනස්කම් කිරීමේ හැකියාවක් තියෙනවා නේද?
ඔව්. මේ ඔක්කෝම සම්බන්ධයි. අධිකරණවල නඩු ඉක්මන් කරන්න කියලා අධිකරණ සේවා කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදීම චක‍්‍රලේඛ නිකුත් කළා. ඒක ඉතාම සද්භාවයෙන් කරනු ලබන ක‍්‍රියාවක්. ඒත් ඒවායින් පමණක් නඩු ඉක්මන් කරන්න බැහැ. නඩුකාරයෙක්ට හවස හය වෙනතුරු නඩු අහන්න කී පමණින් ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න බැහැ. අපරාධ නඩු, සිවිල් නඩු හා පොදු නඩු තමයි තියෙන්නෙ. මේ විවිධ නඩු වර්ගවලට අදාලව විවිධ ප‍්‍රායෝගික ප‍්‍රශ්ණ නිරාකරණය කළ යුතුව තියෙනවා. ලංකාවේ තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ඒ වගේ විදේශ රටවල තියෙන ආයතනවල ඉන්නේ අධිකරණය නියෝජනය කරන අය විතරක් නෙවෙයි. ඒවාට සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින්, සමාජයේ ගෞරවය ලද පුද්ගලයන් සහභාගී වෙනවා. ඒ නිසා ඔවුන් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරමින්, අධිකරණයේ කාර්යක්ෂමතාවය ගැන සැලකිලිමත් වෙනවා.

සිසුන් හතරක් ගෙදර යැවූ විදුහල්පති

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක්ව මත්පැන් පානය කළ බව චෝදනා කරමින් පාසැලෙන් අස්කිරීමට එම විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.බී. පියතිස්ස මහතා කටයුතු කර තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට සිසුන්ව නැවත පාසැලට බඳවාගන්නා ලෙස නියෝග කර තිබුණද, විදුහල්පතිවරයා එම නියෝගය පිළිනොගෙන කටයුතු කරමින් සිටියි. දැනටමත් මාස හයකට ආසන්න කාලයත් තිස්සේ එම සිසුන්ගේ පාසැල් ජීවිතය නතර වී තිබෙන්නේය. එක් සිසුවෙකුගේ මවක් වන ඊ.එල්.පී. සඳමාලි මහත්මිය එම සිදුවීම විස්තර කළේ මෙසේය.

‘මේ සිද්ධිය වුනේ සැප්තැම්බර් 26 සිකුරාදා. එදා පාසැලේ දෙවෙනි පීරියඞ් එකේදි අපේ ළමයි පංතිය ඇතුලේ මත්පැනි බීලා හිටපු බවට විදුහල්පතිවරයා චෝදනා කරනවා. ඒත් ඒ චෝදනාව කළේ සැප්තැම්බර් 26 වැනිදා නෙවෙයි. ඉන් දවස් 3කට පස්සේ. සැප්තැම්බර් 29 වැනිදා. මගේ සැමියාට එදා ඇමතුමක් දීලා ඉස්කෝලෙට ගෙන්වලා තිබුණා. ළමයි 4 දෙනෙක් මත්පැන් පානය කරපු බව මහත්තයාට කියලා තිබුණා. ඒත් ඒ අය මත්පැන් පානය කරනවා දැක්කේ කවුදැයි කියලා නැහැ. විදුහල්පතිවරයා ළමයි හතරදෙනාට චෝදනා කරන්නේ පන්තියේ වෙනත් ළමයෙකුගේ තාත්තා කෙනෙක් කෝල් කරපු බව එදා කියලා තිබුණා. පස්සේ කියලා තිබුණා ගුරුවරු කිහිපදෙනෙකෙුත් ළමයින් මත්පැන් පානය කරපු බව දැක්කාලූ. ඒත් දෙවැනි පීරියඞ් එකේදී ළමයි මත්පැන් බිව්ව බව ගුරුවරු දැක්කානම් පාසැල ඇරෙන තෙක් ඒ ගැන ප‍්‍රශ්ණ නොකර, අපට දැනුම් නොදී දවසේම ළමයි පන්තියේ හිටියේ කොහොමද කියන ප‍්‍රශ්ණය තියෙනවා. ඒ වෙලාවේ පාසැලේ විනයභාර ගුරුවරයායි, විදුහල්පතිවරයායි ළමයාට බීපු බව පිළිගන්න කියලා බල කරලා තියෙනවා. ඒත් පුතා ඒක පිලිගත්තේ නැහැ.’

කෙසේ හෝ ඒ සිදුවීමෙන් පසුව මත්පැන් පානය කළ බව චෝදනා කරමින් සිසුන් 4 දෙනෙක්ව පාසැලෙන් ඉවත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි. දරුවන්ට සුදුසු දඬුවම් ලබාදී පාසැලට ඇතුලත් කරදෙන ලෙස මාපියන් ඉල්ලූවද, එය ප‍්‍රතික්ෂේප කර තිබුණි. මාසයකට වැඩි කාලයක් තිස්සේ දරුවන්ව පාසැලට ඇතුලත් කර නොතිබුණු අතර නොවැම්බර් 12 වැනිදා වාර විභාගය ආරම්භ වී තිබුණි. දරුවන්ට විභාගයට මුහුණදීමටද ඉඩ ලබාදී තිබුණි. නොවැම්බර් 14 වැනිදා තැපැල් මාර්ගයෙන් එම සිසුන්ට අස්වීමේ ලිපි යැවීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි.

ඉන්පසුව මෙම මාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලීසිය ආදී ආයතන රැුසකට පැමිණිලි කර තිබුණි. 2018 නොවැම්බර් 24 වැනිදා එච්.ආර්.සී. / එන්.සී. / 269 / 18 / 9 අංකය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ල සිදුකර තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කළ පැමිණිල්ල ඊ.ඞී. / 1 / 68 / එන්.ඒ. / 30 යන අංකය යටතේ සිදුකර තිබුණි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කළ පැමිණිල්ල අනුව අමාත්‍යාංශයේ විනය විමර්ශණ ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකොට මෙම දරුවන්ව පාසැලට බඳවාගත යුතු බව නියෝග කර තිබුණි. එසේ වුව මේ වනතෙක් දරුවන්ව පාසැලට බඳවාගැනීමට ශාන්ත තෝමස් විදුහල්පති ඩබ්ලිව්.බී. පියතිස්ස මහතා කටයුතු කර නැත.

දරුවන් සිව්දෙනාව පාසැලට යළි ඇතුලත් කිරීමට මාපියන් පාසැලට යෑමට සූදානමින් සිට ඇත. විදුහල්පතිවරයා විසින් එදින පාසැලට එන ලෙස දැනුම් දුන් බව මාපියන් කියන්නේය. එහෙත් මාර්තු 19 වැනිදා මාපියන් පාසැලට යද්දී, ඔවුන්ගේ දරුවන්ව පාසැලට නොගන්නා ලෙස ඉල්ලමින් පාසැල ඉදිරිපිට මාපියන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබී ඇත. පීඩාවට පත්වූ මාපියන් චෝදනා කරන්නේ මෙම උද්ඝෝෂණය විදුහල්පතිවරයා විසින්ම සංවිධානය කරවූ එකක් බවය. මාපියන්ට පාසැලට ඇතුළුවිය නොහැකි ලෙස ගේට්ටු අගුලූ දමා තිබුණු බවත්, ඒ නිසා දරුවන් සමඟ මාපියන්ට ගේට්ටුවෙන් පිටත එළියේ ඉන්නට සිදුවූ බවත් ඔවුන් කියයි.

‘විදුහල්පතිවරයා අපට චෝදනා කරනවා දේශපාලඥයන්ගේ බලපෑම මත පැමිණිල්ලේ තීන්දුව අපට ඕනෑ විදියට වෙනස් කරගත්තා කියලා. ඒ චෝදනාවම ළමයින්ව බඳවාගැනීමට විරුද්ධව උද්ඝෝෂණය කරපු අයත් කියනවා.’ මාපියන් එසේ කියයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ අජිත් අනුර කුමාර, කේ.පී. නිශාන්ත, ඊ.එල්.පී. සඳමාලි යන පීඩාවට පත් මාපියන් විසින් පවසා තිබුණේ මේ සිදුවීමේදී තමන්ගේ දරුවන් මත්පැන් පානය කර නොසිටි බවය. විදුහල්පතිවරයාගේ පැත්තෙන් කියන්නේ දරුවන් මත්පැන් පානය කර සිටි බවය. එහෙත් අපට ඇති පැනය දරුවන් මත්පැන් පානය කළාද නැද්ද යන්න නොවේ. වයස අවුරුදු 14ක දරුවෙකු මත්පැන් පානය කර තිබුණද එතැනින් එහා පාසැල් අධ්‍යාපනය නැවැත්වීමට තරම් එය බරපතල වරදක් නොවන බව පැහැදිළි කාරණයකි. සිසුවා විසින් බරපතළ අපරාධයක් සිදුකර නොමැත.

මේ දරුවන්ව පාසැලෙන් ඉවත්කිරිම හුදෙකලා සිද්ධියක් නොවේ. ඒ නිසා මේ සිදුවීමෙනුත් එහා ගොස් කතා කළ යුතුය. බොහෝ ජනප‍්‍රිය පාසැල්වල මෙලෙස චෝදනා ලබන දරුවන්ට ප‍්‍රසිද්ධියේ අපහසුතාවයට පත්කරමින් පාසැලෙන් ඉවත්කිරීමේ අවස්ථා නිතර වාර්තා වෙයි. මෙවැනි අත්දැකීමකට මුහුණදීමෙන් පසුව දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ වීමේ ඉඩකඩක් පවතින්නේය. මෙවැනිිවැරදි’ යැයි සම්මත ක‍්‍රියාවක් කිරීම පිළිබඳව චෝදනා ලත් දරුවෙක් නැවත එම ක‍්‍රියාව සිදු නොකරන තත්වයට පත් කිරීමට තරම් නිර්මාණශීලී නොවන උදාසීන ගුරුවරුන් නිසා, කිසිදා නොසිතූ ලෙස සිසුන්ගේ ජීවිත විනාශ වන්නේය. නව යොවුන් වියේ සිසුවෙක් තම වයස සමඟ හටගන්නා කුතුහලය නිසා මත්පැන්, දුම්වැටි පානය කිරීම පමණක් නොව, වෙනත් බොහෝ දේ අත්හදා බැලීමේ ඉඩක් ඇති බව සැබෑය. එවැනි සිසුන් සමඟ සමීපව ගණුදෙනු කරමින්, ඔවුන්ගේ වයසට ගැලපෙන ලෙස උපදෙස් ලබාදීම ගුරුවරුන්ගේ වගකීමකි. ඒ වගකීමෙන් පලායන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මහජන බදු මුදලින් වැටුප් ගෙවන්නේ කුමකටදැයි අප විමසිය යුතුය. එවැනි චෝදනාවක් ලත් සිසුවෙක්ව සියළු පාසැල්වලින් ප‍්‍රතික්ෂේප කළොත් ඒ සිසුන් ඉගෙනගන්නේ කොහේදැයි විමසිය යුතුය. එවැනි චෝදනාවක් ලැබීමෙන් පසුව සිසුවෙකුට ඉගෙනගැනීමේ අයිතිය අහිමිවන්නේදැයි විමසිය යුතුය.

‘අපේ පුතා මේ කාලය ඇතුලේ සෑහෙන මානසිකව වැටුණා. පුතාව දොස්තර කෙනෙකුටත් පෙන්වුවා. දොස්තර මහතා කිව්වා දරුවාව එක්කෝ මේ ප‍්‍රදේශයකින් එක්කාගෙන යන්න, නැත්නම් වෙන පාසැලකට දාන්න කියලා. ඉන්පස්සෙ අපි දරුවාව ගමේ තියෙන පොඩි පාසැලකට දැම්මා.’ සඳමාලි මහත්මිය කියන්නේය. කෙසේ වෙතත් වෙනත් පාසැලකට යන දරුවාට අහවල් පාසැලේදී මත්පැන් බී හසුවූ සිසුවෙක්ය යන කළු පැල්ලම සමඟ ගණුදෙනු කරන්නට සිදුවෙන බව පැහැදිළිය. නව පාසැලේ මිතුරන්ද, ගුරුවරුන්ද දරුවා සමඟ ගණුදෙනු කරන්නේ පෙර සිදුවීම මත පදනම් වෙමින්ය.

‘දැන් ළමයාව පෞද්ගලික පන්තියකටවත් යවන්න බැහැ. අනෙක් ළමයි බේබද්දෝ කියලා විහිළු කරනවා. මේ සිද්ධිය නිසා ළමයාගේ අනාගතය අඳුරු වේවි කියලා අපට බයක් තියෙනවා.’ එක් සිසුවෙකුගේ පියා වන නිශාන්ත මහතා එසේ කියන්නේය. මේ සිසුන් සිව්දෙනාට මුහුණදෙන්නට සිදුව තිබෙන මෙම අත්දැකීම් මත ඔවුන්ගේ සම්පූර්ණ අනාගතයම තීරණය වීමේ ඉඩක් පවතින්නේය.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සිදුවීම ගැන මෙසේ අදහස් දැක්වීය.ිමේ සිද්ධියේදී මූලික විමර්ශනයකින් තහවුරු වුණ දෙයක් තමයි ළමයෙක්ව ඉස්කෝලෙකින් අයින් කරනවානම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙක් අනුමැතිය ඕනෑ වුණත්, මේ විදුහල්පතිවරයා කිසිම කෙනෙකුගේ අනුමැතියක් නැතිව ළමයින්ව පාසැලෙන් ඉවත් කරලා තියෙන බව. අස්වීම් සහතිකයත් ගෙදරට තැපැල් කරලා යවලා තිබුණා. ඒකත් නීතිවිරෝධී ක‍්‍රියාවක්. අනෙක් පැත්තෙන් මේ දරුවන්ට වාර විභාගය ලියන්න ඉඩ දීලාත් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සිදුවීමට අදාල විමර්ශණය අවසන් කරන්නට මාස තුනක් ගතකරලා තියෙනවා. 2018 සැප්තැම්බර් වල සිදුවීමක් ගැන විමර්ශණයක් කරන්නට ඊළඟ අවුරුද්දේ මාර්තු මාසය දක්වා කාලය ගතවෙනවා. මෙවැනි පරීක්ෂණයකට අධ්‍යාපන අමාත්‍යාංශයට මෙතරම් කාලයක් ගතවීම බරපතල ප‍්‍රශ්ණයක්. මේ ප‍්‍රමාදය නිසා දරුවන් පාසැලක් නැතිව රස්තියාදු වෙනවා. දරුවන් ගැන මේ තරම් කතාකරන අතරේ මෙලෙස ළමයින්ට පාසැලක් නැතිව එළියේ තැබීම වැරදියි.’

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.බී. පියතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කළේය.ිමාධ්‍ය එක්ක විස්තර කතාකරන්නෙ නැහැ. ඒකට අපට අවසරයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම විස්තර අහගන්න. මම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාට වාර්තාවක් යවලා තියෙන්නේ.’ ඔහු එසේ පැවසීය.

පසුගිය කාලසීමාව පාසැල් දරුවන් හා ගුරුවරුන් අතර සම්බන්ධය පිළිබඳව දීර්ඝ සංවාදයක් ඇතිවූ කාලයකි. ළමයින් සමඟ ගුරුවරයෙකු කටයුතු කළයුත්තේ කෙසේදැයි පුළුල් සංවාදයක් ඇතිකරගැනීමට පසුබිම සැපයූ කාලයකි. එයට අදාල සිදුවීම් හා අදහස් දැක්වීම් රැුසක් පසුගිය කාලසීමාව තුළ සිදුවිය. එහෙත් එම සංවාද ඉදිරියට ගෙනගොස්, ලංකාවේ පාසැල් අධ්‍යාපනයෙහි ප‍්‍රමිතිය ඉහළ දැමීමට තරම් වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ආණ්ඩුවට උනන්දුවක් ඇති බව නොපෙනේ. පාසැල් සිසුන්ට ඉහළම භෞතික පහසුකම් ලබාදීම මිස පාසැල් අධ්‍යාපනය පිළිබඳ ආකල්ප වෙනස් කිරීමේ වුවමනාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇති බව පෙනෙන්නේ නැති බව ලියා තැබිය යුතුය.

ජනාධිපති අපේක්‍ෂකත්වයේ ගැටලූ


ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධ දේශපාලන ක‍්‍රියාවලිය සහ සාකච්ඡුාව පසුගිය සතියේ තරමක් අලූත් සහ උණුසුම් විය. ඒ සම්බන්ධ ප‍්‍රවෘත්ති අතර වඩාත් වැදගත් එක වූයේ, ශ‍්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ්, එනම් එස්එල්පීපී එකේ, ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා යැයි රාජපක්‍ෂ පවුල විසින් තීරණය කරනු ලැබ ඇත යන ප‍්‍රවෘත්තියයි.


මේ ප‍්‍රවෘත්තිය තවත් කරුණු දෙකක් නිසා වැදගත්ය. ඉන් පළමුවැන්න නම්, දැනට සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, එස්එල්පීපීයේත්, රාජපක්‍ෂ පවුලේත්, ශ‍්‍රීලනිපයේත් පොදු ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අපේක්‍ෂාව තව දුරටත් පවත්වා ගැනීමට නොහැකි වීමයි. දෙවැන්න ශ‍්‍රීලනිපයේ-එස්එල්පීපී සන්ධානයක් සඳහා පසුගිය කාලයේ පැවැති සකච්ඡුා බිද වැටීමයි. මේ අනුව බලන විට පසුගිය සතිය අවසානයේදී පටන් ගත් අලූත් දේශපාලන ප‍්‍රවණතාවෙන් වඩාත්ම පසු බැස්මට ලක්වී තිබෙන්නේ, නැවත වරක් ජනාධිපති ධුරයේ රැුඳී සිටීම සදහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය මාස හය පමණ කාලයක් තිස්සේ ඉදිරියට දමා තිබුණු ව්‍යාපෘතියයි. ‘මෛත‍්‍රී දෙවැනි වාරයක් ව්‍යපෘතිය’ ලෙස හැඳින්විය හැකි එය යළි මතුකර ගැනීම එතරම් පහසු නැති බවද පෙනේ.


එජාපෙ අපේක්‍ෂකයා


මේ අතර එජාපයේ (එජාපෙරමුණේ* ජනපති අපේක්‍ෂකයා පිළිබඳ පවතින අභ්‍යන්තර විවාදය තවමත් අවසන් වී නැත. ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්ධයෙන්, එජාපය තුළ දැනට අපේක්‍ෂකයන් තිදෙනෙකු සිටින බව පෙනේ. ඔවුන් නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස යන තිදෙනාය. එස්එල්පීපීයේ ජනාධිපති අපේක්‍ෂකයා ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ වන්නේ යැයි එම පක්‍ෂයද තීරණය කළහොත් – තවමත් අප දන්නේ රාජපක්‍ෂ පවුලේ තීරණය පමණි -, එජාපයටද, තීරණයක් වහාම ගැනීමට බල කෙරෙනු ඇත.


ගෝඨාභය රාජපක්‍ෂට අභියෝගයක් කිරීමට වඩාත් හැකියාව ඇති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න මේ දිනවල එජාපෙරමුණේ අභ්‍යන්තර සකච්ඡුාවල ප‍්‍රධාන ප‍්‍රශ්නය වී ඇතිවාට කිසිදු සැකයක් නැත. ඒ ගැන විවිධ ආරංචි තිබේ. සමහරුන්ගේ මතය වී තිබෙන්නේ යැයි ආරංචි වන්නේ, අගමැති රනිල් වික‍්‍රමසිංහ අවශ්‍ය තරම් ප‍්‍රබල අපේක්‍ෂකයෙකු නොවන බවයි. සජිත් පේ‍්‍රමදාස හෝ කරු ජයසූරිය අගමැතිවරයාට වඩා ප‍්‍රබල අපේක්‍ෂකයන් වනු ඇතැයි යන මතයද එජාපය ඇතුළතින් මතුවී තිබේ.


තවත් මතයක් වී තිබෙන්නේ රනිල් ූ සජිත් හෝ රනිල් ූ කරු යන කට්ටලයක් වඩාත් ශක්තිමත් වනු ඇත යන්නයි. එහි තේරුම නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වන ගමන් සජිත් හෝ කරු හෝ අගමැති අපේක්‍ෂකයා වන බවද ප‍්‍රකාශ කරමින්, ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවන ආකාරයට සමාන ජනාධිපතිවරණ ව්‍යාපාරයක් ගෙන යාමයි. ඇමෙරිකාවේ සිදුවන්නේ, ජනාධිපති අපේක්‍ෂකයා, තමාගේ ජයග‍්‍රහණයට වඩාත්ම දායකවෙතැයි සිතෙන උපජනාධිපති අපේ්ක්‍ෂකයකු තෝරාගෙන ජනාධිපතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමයි.

මෛතී‍්‍රගේ විකල්ප


මේ අතර, එස්එල්පීපීය සහ එජාපය ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් තම තමන්ගේ තීරණවලට අනුව කි‍්‍රයා කළහොත්, එවැනි තත්වයක් තුළ ජනාධිපති සිරිසේන මහතාගේ තත්ත්වය කුමක් වනු ඇද්ද? මෙය පැහැදිලි පිළිතුරක් නැති ප‍්‍රශ්නයකි. එතුමා ඉදිරියේ තිබෙන ප‍්‍රධාන දුෂ්කරතාව නම්, ප‍්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන් එකකවත් ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම එතුමාට නොහැකි වීමයි. එසේ නැතිව දෙවැනි වරටත් ජනාධිපති ධුරය ලබා ගැනීමේ එතුමාගේ අපේක්‍ෂාවට කිසිදු පදනමක් නොමැත. තමන්ගේ දේශපාලන ගමන් මග අවසානයකට පැමිණ ඇත යන තක්සේරුවට පැමිණ, දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමේ සූදානමක් එතුමාගේ සිතේ තිබෙන බවක්ද නොපෙනේ. මේ ලිපිය ලියන බදාදා උදේ පුවත්පත්වල එතුමා සම්බන්ධව තිබෙන වාර්තා කියවන විට පෙනෙන්නේ, සක‍්‍රිය දේශපාලන සත්ත්වයෙකු ලෙස දිගටම සිටීමේ අධිෂ්ඨානය එතුමාගේ සිතේ තදින්ම මුල් බැසගෙන තිබෙන බවයි.


එහෙත් එතුමාට විකල්ප දෙකක් තිබේ, පළමුවැන්න, ජනාධිපති තරගයට ඉදිරිපත් වන ප‍්‍රධාන පාර්ශ්ව දෙකෙන් එකකට සහයෝගය දී, එහි ජයග‍්‍රහණයට වැඩ කිරීමයි. ඒ මගින්, මේ වසර අවසානයෙන් පසු තමන්ට සහ පවුලේ අයට කරදරයක් නොවන බව සහතික කරගෙන, සාපේක්‍ෂ වශයෙන් නිහඬ විශ‍්‍රාමික ජීවිතයක් ගත කිරිමේ අවකාශය ලබා ගත හැකිය.


දෙවැන්න, ප‍්‍රධාන දේශපාලන කදවුරු දෙකට ස්වාධීනව සිටිමින්, එතුමා දැනට දියත් කර තිබෙන දූෂණ විරෝධී ව්‍යාපාරය ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමේ අරමුණ ඇතිව, ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. එසේ කරන්නේ නම්, තමා වටා සිටින දූෂිත දේශපාලනඥයන් සහ එහෙයියන් පිරිස සම්පූර්ණයෙන් අතහැර දැමීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක්් වනු ඇත. එහෙත් එය නම් එතුමාට කළ හැකි දෙයක් නොවේ. දූෂිතයන්ද, දූෂිත භාවිතයන්ගෙන්ද, තමත් දූෂිත වීමෙන්ද තොර සාර්ථක මැතිවරණ දේශපාලනයක් යනු හුදෙක් මිථ්‍යා සිහිනයකට වඩා වැඩි යමක් නොවන හෙයිනි. මේ අතර ජනාධිපති මෛත‍්‍රීට තවත් විකල්පයක් තිබේ. එය හැඳින්වීමට, මැතිවරණ පිළිබද දේශපාලන විද්‍යා භාෂාවේ නිශ්චිත වචනයක් තිබේ. එනම් ඊළඟ ජනාධිපතිවරණයේදී ස්පොයිලර් (spoiler) කනෙකු වීමයි. මැතිවරණවලදී ස්පොයිලර් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. වෙන එකක් තබා අපේ විශ්වවිද්‍යාලවල උපකුලපති ධුරයට සුදුස්සන් තෝරා ගැනීමේදී පවා ස්පොයිලර් අපේක්‍ෂකයෝ ඉදිරිපත් වෙති. ඔවුන්ගේ කාර්යය, තමන් කැමති අපේක්‍ෂකයෙකුට වාසි වන පරිදි, නැතහොත් තමන් අකමැති අපේක්‍ෂකයන් සියලූ දෙනාටම අවාසි වන පරිදි, ඡන්ද කැඞීමයි. ජනාධිපතිතුමාට ලක්‍ෂ දෙකතුනක්වත් ඡුන්ද තිබේ නම්, එයට ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම රිද්දවිය හැකි සංඛ්‍යාවකි. ජනාධිපතිවරණයක ඡන්ද ගණන් කිරිමේදී ඡන්ද පන්සීයක පවා ඇති වැදගත්කම සුළුපටු නොවේ. ජනාධිපතිවරණයකදී ස්පොයිලර් අපේක්‍ෂක කාර්යය කළ හැකි විවිධ ක‍්‍රම තිබේ. ඒවා නොමිලේ කියා දිය යුතු නැති ඒවාය.


සුළුජන ප‍්‍රජාවගේ ඡන්දය


මේ අතර, එජා පෙරමුණ සහ පොහොට්ටු පෙරමුණ යන ප‍්‍රධාන කදවුරු දෙකෙන්ම එන ජනාධිපති අපේක්‍ෂකයන් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් වන්නේ දෙමළ, මුස්ලිම් සහ උඩරට දෙමළ සමාජවල ඡන්ද ලබා ගැනීමයි. විශේෂයෙන් උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද තමන්ට ලෙහෙසියෙන්ම ලැබෙතැයි කිසිදු අපේක්‍ෂකයෙකුට බලාපොරොත්තු තැබිය නොහැකිය. එම ජනතාව සිටින්නේ, දකුණේ සෑම දේශපාලන පක්‍ෂයක්ද, දේශපාලන නායකයෙකුද පිළිබද බරපතළ අපේක්‍ෂා භංගත්වයකින් සහ කළකිරීමකිනිි.


උතුරන් ලැබෙන ආරංචි අනුව ටීඑන්ඒ සම්බන්ධව පවා එම ජනතාව ඉන්නේ කළකිරීමකින් සහ කෝපයකිනි.
තමන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් ප‍්‍රශ්න පිළිබ`දව කිසිදු සාධනීය දෙයක් කිරීමට මේ කිසිවෙකුට නොහැකි වීම, ඔවුන්ගේ කළකිරීමේ පදනමයි.


නොපැහැදිලිය


මේ පසුබිම තුළ ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට සම්බන්ධ දේශපාලන තත්ත්වය තිබෙන්නේ නොපැහැදිලි පසුබිමකය. මේ නොපැහැදිලිභාවය ජවිපෙට පවා බලපාන බව පෙනේ. ස්වාධීන මගක ගමන් කරන ජවිපෙට මතුවන අභියෝගය වන්නේ, ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලයට තමන් කරන බලපෑමේ කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන දේශපාලන ප‍්‍රතිඵලය කුමක් වනු ඇත්ද? යන්නයි. ප‍්‍රායෝගික වශයෙන් බලන විට මෙම අභියෝගය එක් තනිි ප‍්‍රශ්නයකට ලඝු වෙනු ඇත. එය නම්, තමන් වඩාත් කැමති වන්නේ රනිල්/කරු/මෛත‍්‍රී/ගෝඨාභය යන අයගෙන් කවුරුන් ජනාධිපති වනවාට පාර කැපීමටද? මෙය ලෙහෙසි පිළිතුරක් නැති බරපතළ ප‍්‍රහේලිකාවකි.


ප.ලි.


පසුගිය සතියේ ‘යුක්තිය, බලවත්තු සහ බලය නැති වින්දිතයෝ’ යන ලිපියේ අවසාන ෙඡ්දයට කලින් ෙඡ්දයේ පහත සඳහන් වාක්‍ය ඛණ්ඩය තිබිණ. ‘..අපක්‍ෂපාතීව යුක්තිය පසිඳලීම තම වගකීම කරගත් අධිකරණයක කාර්ය ගැති විනිශ්චයකාරවරුන් කවර සංවේදීභාවයක් ප‍්‍රකාශ කළ යුතුද යන්න..’ මෙම වාක්‍යයේ ‘ගැති’ යනුවෙන් පළවී ඇත්තේ මුද්‍රණ දෝෂයකිනි. එය ‘ගැන’ යනුවෙන් නිවැරදි විය යුතුය.


මුද්‍රණයේදී සිදුවන අකුරු, වචන එහාට මෙහාට ගොස් වැරදි ඇතිවීම ගැන ඉංග‍්‍රීසියෙන් කියන්නේ ‘ Printer’s Devi’ කියාය. ‘මුද්‍රණකරුවාගේ යක්‍ෂයාගේ වැඩක්’ යනු එහි අර්ථයයි. ‘ගැන’ යන වචනය ‘ගැති’ කියා වෙනස්කර, මෙම වාක්‍යයේ අර්ථය විකෘති කිරීමෙන්, යක්‍ෂයා කර ඇත්තේ ‘අනිද්දා’ කර්තෘතුමාත්, ලේඛක මාත් යන දෙදෙනාම අමාරුවේ දැමීමේ යක්‍ෂ කුමන්ත‍්‍රණයක්දැයි වෙලාවකට මට සිතේ.

මම ධර්මාචාර්ය විභාගයත් කළා

විදර්ශන කන්නංගර

විචාරකයෙක්, දේශපාලන ක‍්‍රියාකාරිකයෙක්, ගී පද රචකයෙක් වගේ විවිධාකාරයෙන් ඔබව හඳුන්වන්න පුලූවන්. ඔබේ ගමනේ ආරම්භයට ඔබේ පියා වන කේ.ඞී. නිකලස් මහතා බලපෑවෙ කොහොමද?

අපේ තාත්තා මූලික වශයෙන් සිනමා තිර රචනයේ තමයි හිටියෙ. 1970 විතර ඉඳලා ප‍්‍රකට චිත‍්‍රපටි රැුසක තිරනාටක රචනා කළා. ඊට අමතරව ඔහු පොත්පත් හා සිනමා සාහිත්‍යයක් එකතුකළා. මම ගෙදර තනි දරුවා. ඒ නිසා ඒවා කියැවීමෙන් ආභාෂය ලැබුවා. තාත්තා විසින් පැරණි සම්භාව්‍ය සාහිත්‍යය එකතුකරලා තිබුණා. අනූව දශකයේ මැද වෙද්දී යොවුන් කාලයට ආපු මම සංස්කෘතික සමාජයේ ඇවිදින්න පටන්ගත්තා. කොළඹ ආශ‍්‍රිතව නව නූතනවාදී සාහිත්‍යයක් ඇතිවෙලා තිබුණා. ජෝන් ද සිල්වා එකේ ධනංජයලා, බුද්ධික දමයන්තලාගේ නාට්‍ය තිබුණා. නවගත්තේගමලාගේ සාහිත්‍ය තිබුණා. ලතින් ඇමෙරිකානු පරිවර්තන සාහිත්‍යය තිබුණා. ඒවා එක්ක බැඳුණා. ඒ අස්සෙ ආනන්ද විද්‍යාලයේමිත‍්‍ර පසුබිමක් හැදුණා. පාසැල් කාලයේදීි මුණගැහුණ කසුන් කල්හාර, කෞෂල්‍ය කුමාරසිංහ, ඉන්ද්‍රචාප ලියනගේ, විදුර මුණසිංහ, සුදන්ත මාධව, චාමර ගුරුගේ, සමනලී ෆොන්සේකා වගේ යාළුවෝ හිටියා. ඔක්කෝම රස්තියාදු ගහමින්, කලාව ඇතුලේ යම්කිසි තේරුමක් හොයමින් හිටපු කාලයක්. ඒ ගමනේදී අපට රොහාන් පෙරේරා, කේ්.කේ. සමන් කුමාර, ප‍්‍රවාද සඟරා, එක්ස් කණ්ඩායම වගේ පුද්ගලයන් හා ක‍්‍රියාකාරීත්වයන් මුණගැහුණා. සමාජය හා ජීවිතය අතර සම්බන්ධය ගැන අලූතෙන් හිතන තැනට අපි පත්වුණා. ඉස්සර සංස්කෘතිය මූලික කරගෙන ජීවිතය ගැන හිතුවානම්, පස්සේ දේශපාලනය මුල් කරගෙන සංස්කෘතිය හා ජීවිතය දෙස බලන්න ගත්තා.

එක්ස් කණ්ඩායමට සම්බන්ධ වුණාද?

රොහාන් පෙරේරා එක්ක යම් කවයක කටයුතු කළා. ඒ අතරේ එක්ස් කණ්ඩායමේ වැඩසටහන්වලටත් ගිහින් තියෙනවා. ඒත් අපි තීරණය කළා දේශපාලන කවයක් විදියට සංවිධානය වෙන්නට. ඉන්පස්සෙ අපි පානදුරේ, පන්නිපිටියේ වගේ තැන්වලට එකතුවෙලා ටුමාරෝ කියලා කණ්ඩායමක් හදාගත්තා. ජීවිතය ගැන අධ්‍යනය කිරීමක් කළේ. එකට ජීවත්වෙමින්, ජීවත්වෙන තැන හදාගනිමින්, චර්යාවන් වෙනස් කරගනිමින් කළණ මිතුරන්ගේ ඇසුරක් ගෙනගියා. ඒ වෙනකොට ලෝකයේ තිබුණු වාමාංශික බුද්ධිමය දැනුම එක්ක ගණුදෙනු කළා. පොත්පත් හෙව්වා, ෆොටෝකොපි කළා, අමාරුවෙන් කියෙව්වා, පරිවර්තනය කළා. 2004 පමණ දක්වා අපි ඒ විදියට ගියා. ඔය අස්සේ එක්ස් කණ්ඩායම අවසාන වුණා. අපට එකතුවෙන්න තිබුණු සංකේත ආධාරකය නිෂ්ප‍්‍රභ වෙලා ගියා. ඉතින්, අපේ එකතුව තුළ තිබුණු සීමාවන් අපට හමුවුණා. අපේම පරිකල්පන සමාජයක් ඇතුලෙ දේශපාලනය කරන්න පුලූවන්ද කියන ප‍්‍රශ්ණය ආවා. ඉන්පස්සේ යුද්ධයට ලංකාව ඇදිලා ගියා. අපි හුදෙකලා මට්ටමෙන් තැන් තැන්වල වළ බහිමින් කලින් උගත් දේවල් ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා.

යුද්ධයේ අවසානයේ සිට 2014 දක්වා කාලය තුළ ලංකාවේ දේශපාලනයෙ කලබලකාරී සමයක් තිබුණා නේද?

ඒ වෙද්දී ජවිපෙ තමයි ලංකාවෙ ජාතිවාදයේ ගාමක බලවේගය විදියට හිටියෙ. ඔය අස්සෙ අපි උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙ තිබුණු ජනතා විමුක්තිය පිළිබඳ අදහස සාකච්ඡුාවට අරගෙන අලූත් දේශපාලන කතිකාවක් ගොඩනගන්න. ඊට සමාන්තරව 2010 පමණ කාලයේදී නව කතිකාවකට ඇරඹුමක් කියලා වාමාංශික කණ්ඩායම් එකතුවෙලා සංවාදයක් ගෙනගියා. ජවිපෙ ඛණ්ඩනය සිද්ධවුණා. අලූත් කණ්ඩායම එක්ක අපි සංවාදයක් ඉදිරියට ගෙනගියා. මට හිතෙන්නෙ 2010න් පස්සෙ තමයි විසිරිලා තිබුණ ශක්තීන් එකතු කරගෙන යම් සංයුක්ත දේශපාලන අරමුණක් වෙනුවෙන් වැඩ කළේ. ඔය අස්සෙ සංස්කෘතික හා කලා විචාරයත් මම කරගෙන ආවා. අදත් ඒ ආපු ගමන තමයි ඉදිරියට ගලාගෙන යන්නෙ.

ඔබට තිබුණු ලෝක දැක්ම පවුල එක්ක ගැටුම් ඇතිකරන්න හේතුවුණේ නැද්ද?

පවුල හා ආගම කියන බල සම්පන්න ආයතන දෙකට දැඩි විවේචනයක් අපට තිබුණා. අදත් ඒ විවේචනය තියෙනවා. ඉතින්, අනිවාර්යයෙන්ම පවුල එක්ක ගැටුමකට යනවා. ලංකාවේ තියෙන පවුල දැන් එකම දේ නැවත නැවත කරන, ජරාජීර්ණ ආකෘතියක් බවට පත්වෙලා. පවුල එක්ක මට මානුෂික බැඳීමක් තිබුණත් ගැටුමකුත් තිබුණා. මම අම්මා සහ තාත්තා එක්ක හිටියෙ. ඒත් මට රුස්සන්නෙ නැහැ. එයාලා යෝජනා කරපු දේවල් මට නයාට අඳුකොල වගේ. උදාහරණයක් විදියට අම්මා මාව දේව කන්නලව්වලට එහෙම එක්කාගෙන යන්න උත්සාහ කරනවා. මම මේවාට විරුද්ධව කතාකරනවා. ඒත් මම එක වෙලාවක හිතුවා මගේ පැත්තෙන් ඔවුන්ට තේරුම් කරන්න අවශ්‍ය පසුබිම නෑ කියලා. විරෝධය පළකරලා වැඩක් නැති බව තේරුණා. ඉතින්, සමහර වෙලාවක පන්සලකට යන්න කියලා කරදර කරද්දී පන්සලකට යනවා වගේ දේවල්වලට එකඟ වෙන්න මම තීන්දු කළා.

ඔබේ පියා ජීවිතය හැරගිහින් වසරක් ඇතුලත මව සහ ආච්චී කියන දෙදෙනාම ජීවිතය හැරගියා. කෙටි කාලයක් ඇතුලත ඔබේ පවුල සම්පූර්ණයෙන් ඔබව හැරගියා. මේක දැනුණේ කොහොමද?

ඒක මගේ ජීවිතයේ එක් යුගයක් අවසාන වීමක් විදියටයි මම දැක්කේ. අම්මා, තාත්තා හා ආච්චී සමඟ තිබුණු ජීවිතයේ පරිසමාප්තියට මම ඇවිත් හිටියා. අවසන් කාලයේදී ඔවුන් සමඟ උණුසුම් සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ගෙදර හිටියත්, නොඉඳ ඉඳීමක් තිබුණේ. මම හිතන්නේ අමානුෂික විදියට හිතුවත් ඒ පරිච්ෙඡ්දය අවසන් වීම ගැන මම කැමතියි කියලා. මානුෂික සම්බන්ධයක් නිසා වෙන්වීමේ දුකක් තියෙනවා. එහෙත් ඔවුන් එක්ක එතැනින් එහාට ඉදිරි ගමනක් තිබුණේ නැහැ. ඔවුන් එක්ක තිබුණු ජීවිතය මට කෘත‍්‍රිම ජීවිතයක් වුණා. මාවත් වෙනස් කරමින් ඔවුන්වත් වෙනස් කරමින් ගෙනයන ජීවිතයක් මිසක්, පවතින දේ පිළිඅරගෙන ජීවත්වීම මානුෂීය සම්බන්ධයක් විදියට දැනෙන්නෙ නෑ. ඒක මට බල සම්බන්ධයක් විදියටයි දැනෙන්නෙ.

පවුලේ විතරක් නෙවෙයි. ආගම කියන ආයතනය එක්ක ගැටුමකුත් තිබුණා. මම සිංහල බෞද්ධ සංස්කෘතියේ මුදුන් මල්කඩක් කියලා කියන ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත්තෙ. ඊට අමතරව විද්‍යාලංකාර පිරිවෙනේ දහම් පාසැලේ ක‍්‍රියාකාරී ශිෂ්‍යයෙක් වෙලා හිටියා. මම ධර්මාචාර්ය විභාගයත් කළා. ඉතින් ඒ හැම දෙයක් ගැනම තිබුණු ආකල්ප සියල්ල කඩාවැටුණා. මම සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා කියන ආයතන පද්ධතිය ඇතුලේ හිටපු හින්දා, බෞද්ධ සංස්කෘතිය ගැන ඕනෑ සිංහල ජාතිකවාදී චණ්ඩියෙක් එක්ක කතාකරන්න පුලූවන්. ඔය පද්ධතියේ තියෙන කිසිම නූතනත්වයක් නැති ජරාජීර්ණ ලක්ෂණ ටික අපි දන්නවා. මම හිතන්නෙ ඔය ජාතිකවාදීන්ගෙ චෝදනාවට ලක්වෙන අපි තමයි සිංහල සංස්කෘතිය නවීකරණය කරන්නෙ. සාහිත්‍යය, සංස්කෘතික ලෝකය පෝෂණය කරන්නෙ.

සඳ සඳ වගේ, ටයිටැනික් නැව ගිලූණෙ නෑ, තාරුකේ වගේ විශිෂ්ඨ ගීත ඔබ ලියා තිබෙනවා. සාහිත්‍ය ක්ෂේත‍්‍රය ඇතුලේ මීට වඩා මැදිහත්වීම් කරන්න හිතුණේ නැද්ද?

මම කලා නිර්මාණ පැත්තට යොමුවුණේ අඩුවෙන්. මං හිතන්නෙ සෞන්දර්ය නැවත හොයාගන්න ඕනෑ බව. කාලයක් මම සාහිත්‍ය, නාට්‍ය නිර්මාණ, කවි වගේ දේවල් එක්ක සම්බන්ධ වුණා. මම දේශපාලනික දේශපාලනය එක්ක අනුරාගයෙන් බැඳිලා හිටියේ. ඉදිරියේදී මම කල්පනා කරනවා කලාව ඇතුලේ නිර්මාණාත්මක මැදිහත්වීම් කරන්නට. නාට්‍ය, ගීත, සිනමාව, කවිය වගේ ක්ෂේත‍්‍ර ගැන හිතනවා. ඒකට පොඩි ඉඩක් හදාගන්න ඕනෑ. එහෙම ඉඩක් මම හදාගනිමින් ඉන්නවා. මම කහඹිලියා යායටයි අපි ආස යන නමින් නාට්‍යයක් ලියමින් හිටියා. ජෙහාන් ශ‍්‍රීකාන්ත තමයි අධ්‍යක්ෂණය කරන්න ඉන්නේ. ඒ වැඬේ තාවකාලිකව නැවතිලා තියෙනවා. ඒකත් නැවත පටන්ගන්න බලාපොරොත්තු වෙනවා.

දේශපාලන වැඩවල නිරත වීම නිසා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන්න බැරිවීම ගැන දුකක් නැද්ද?
දුකක් නැහැ. එහෙත් දැන් ඇහෙන ගීත, නාට්‍ය ආදී දේවල් දිහා බැලූවාම අපට යමක් කරන්න බැරිවුණා නේද කියලා අදහසක් තියෙනවා. මම විතරක් නෙවෙයි, අපේ පරම්පරාවේ අව්‍යාජ හා දක්ෂ නිර්මාණකරුවන් බොහෝදෙනෙක් විවේක බුද්ධියක් නැති හින්දා නිර්මාණකරණයෙන් ඈත්වෙලා ඉන්නවා. අපි හිටපු යුගයක නිර්මාණ මේ වගේ නේද කියලා පොඩි විස්සෝපයක් තියෙනවා.

ඩොබුවාගේ හීනය

0


බි‍්‍රතාන්‍යයේ කැනින් නගරයේ පීකොක් ජිම් එක ඉදිරියේ මියගිය බොක්සින් ක‍්‍රීඩකයෙකුගේ පිළිරුවක් තියෙනවා. ‘හීන හඹායද්දී ජීවිතය අහිමි වූ නිර්භීත තරුණයා, බ‍්‍රැඞ්ලි ස්ටෝන්ගේ ආදරණීය මතකයෙන්.’ පිළිරුව අසල ලියා තිබෙනවා.


බ‍්‍රැඞ්ලි ස්ටෝන් 1994 දී රිචී වෙන්ටන් නම් ක‍්‍රීඩකයා සමඟ බොක්සින් තරඟයකදී හිසට වැදුණු පහරවල් නිසා මියගොස් තිබුණා. බොක්සින් තරඟයේ 10 වැනි වටයේදී හිසට පහර කිහිපයක් වැදීමෙන් පසුව විනිසුරුවරයා තරඟය නවත්වා, පරීක්ෂා කිරීමෙන් පසුව ස්ටෝන්ව ගෙදර යවා තිබුණත්, නිවසේදී ඔහු බිම ඇදවැටී කෝමා තත්වයට පත්ව තිබුණා. දවස් දෙකක් තිස්සේ හිසේ අභ්‍යන්තර ලේ ගැලීම් වලින් පීඩාවිඳි ඔහු රෝහලේදී මියගියා. මේ හදිසි මරණයට මුහුණදෙද්දී ස්ටෝන්ගේ වයස අවුරුදු 23යි, ඒත් මේ සිදුවීමෙන් පසුව බොක්සින් ක‍්‍රීඩාව තහනම් කිරීම පිළිබඳ සංවාදය බි‍්‍රතාන්‍යයේ යළිත් මතුව තිබුණා. අද වෙනතුරු බොක්සින් තහනම් වී නැහැ. එදා මෙදාතුර ලෝකයේ විවිධ තැන්වල විවිධ සිදුවීම් නිසා බොක්සින් ක‍්‍රීඩාව දියුණු ශිෂ්ඨාචාරයකට නොසුදුසු බවට සංවාද මතුව තිබුණත්, භයානකකම ඇතුලේම බොක්සින් ක‍්‍රීඩා රසය විඳීමේ අසීමිත ආශාව ලොවපුරා රසිකයන්ට තිබෙනවා. ඒ ආශාව විසින්ම ඩැනියෙල් ඩොබුවා නම් තරුණයාවත් බොක්සින් ක‍්‍රීඩකයෙක් බවට පත්කරවනවා.


ඒ ඛේදජනක සිදුවීමෙන් වසර තුනකට පසුව ඩැනියෙල් ඩොබුවා උපත ලබා තිබෙනවා. මේ පීකොක් ජිම් එකේදීම පුහුණුව ලබමින් බොක්සින් ක‍්‍රීඩාවට පැමිණ, අද ලෝකයේ කතාබහට ලක්වෙන්නට පටන්ගෙන තිබෙනවා. උදේ හවස බ‍්‍රැඞ්ලි ස්ටෝන්ගේ පිළිමය පසු කොට ගියද, ඩැනියෙල් ඩොබුවාට බොක්සින් ක‍්‍රීඩාව ගැන බියක් හෝ, වේදනාවට බියක් දැනී නැහැ. ඒ වෙනුවට බොක්සින් ක‍්‍රීඩාවෙන් උපරිමයට යෑමේ ආශාවෙන් ඔහු පසුවෙනවා. ඔහු බි‍්‍රතාන්‍ය බොක්සින් ක‍්‍රීඩාවේ අනාගත තරුව වනු ඇතැයි ඇතැමුන් කියනවා.


ඩැනියෙල් ඩොබුවා කියන්නේ මේ වෙද්දී බි‍්‍රතාන්‍යයේ සිටින විශිෂ්ඨම තරුණ හෙවිවේට් බොක්සින් ක‍්‍රීඩකයන් අතරින් කෙනෙක්. ඩොබුවා මේ වෙද්දී තරඟ 9ක් අපරාජිතයි. එක් තරඟයක් හැර අනෙක් තරඟ සියල්ලෙහිදී ඔහු ප‍්‍රතිවාදියාව බිම හෙළා තිබෙනවා. මාර්තු 08 වැනිදා රස්වාන් කොජානු නම් අත්දැකීම් සහිත ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයාව පරාජය කිරීම නිසා ඩොබුවා ක‍්‍රීඩා ලෝකයේ කතාබහට ලක්ව තිබුණා. ඔහු ලෝක හෙවිවේට් ශූරයෙකු වනු ඇතැයි ඇතැමුන් කියනවා.
බොක්සින් වලින් ඕනෑ කුමක්දැයි විමසද්දී ඔහු පවසන්නේ ‘හැමදේම.‘ කියායි.
බ‍්‍රැඞ්ලි ස්ටෝන් එදා බි‍්‍රතාන්‍යයේ සුපර් බැන්ටම්වෙයිට් බොක්සින් ශූරයාව සිටියා. එයින් වසර 25කට පසුව ඩොබුවා බි‍්‍රතාන්‍යයේ හෙවිවේට් ශුරයා බවට පත්ව සිටිනවා. අතීතයේ බියකරු සිහින වලින් බියට පත්වීම වෙනුවට මේ වෙද්දී ඩොබුවා සිහින දකින්නේ ලෝක හෙවිවේට් ශුරයා බවට පත්වීමටයි. බොක්සින් කියන්නේ මගේ දෙයක්. ඒ නිසා මට වේදනාවට පත්වීම ගැන කිසිම බියක් නැහැ. ඔහු එසේ කියනවා.
තවත් මනුෂ්‍යයෙක්ට පහරදී වේදනාවට පත්කිරීම ගැන ඔහුට හැගෙන්නේ කුමක්දැයි ගාඩියන් මාධ්‍යවේදියෙකු වන ඩොනල්ඞ් මැක්රේ ඔහුගෙන් විමසා තිබුණා. ‘මම ඒ ගැන හිතන්නෙ නැහැ. මම කවදාවත් ඒක සැලකිල්ලට ගන්නේවත් නැහැ’. ‘මම වළල්ල ඇතුලට ගියාම, මම ඉන්නෙ ප‍්‍රතිවාදියාට රිද්දන්න තමයි. ප‍්‍රතිවාදියාගේ ශරීර සෞඛ්‍යය මට අදාල නැහැ’ ඩොබුවා එසේ කියනවා.


ඔබේ ප‍්‍රතිවාදියා වේදනාවට පත්වුණාම ඔබට සතුටක් දැනෙනවාදැයි විමසද්දී ඩොබුවා උත්තර දෙන්නේ ‘ඔව්’ කියායි. ඩොබුවාගේ ප‍්‍රියතම බොක්සින් ක‍්‍රීඩකයා මයික් ටයිසන්. හෝලිෆීල්ඞ්ගේ කණ හපාකමින් වුව, ප‍්‍රතිවාදියාට රිද්දන්නට ක‍්‍රම සෙවූ ටයිසන් ගැන ඩොබුවා ගෞරවයෙන් කතාකරනවා. ‘ටයිසන් මේක ටිකක් දුරදිග අරන් ගියා. ඒත් වළල්ල ඇතුලේදී මිනිස්සු වේදනාවට පත්වෙනවා තමයි, ජීවිත අවදානමට ලක්වෙනවා තමයි.’ ඔහු කියනවා. කෙසේ වෙතත් ඩොබුවාව මුණගැසුණු ක‍්‍රීඩා මාධ්‍යවේදී ඩොනල්ඞ් මැක්රේ කියන්නේ, ටයිසන් සමඟ සම්මුඛ සාකච්ඡුාවලදී ලද අත්දැකීමට වඩා ඩොබුවා බොහෝ වෙනස් බවයි. ටයිසන්ට වඩා නිවුණු ස්වභාවයක් ඩොබුවාට තිබුණු බව ඩොනල්ඞ් මැක්රේ ගාර්ඩියන් වෙත ලියනවා.


‘බොක්සින් ක‍්‍රීඩකයො විදියට අපි සාමාන්‍ය මිනිස්සුන්ට සමාන නැහැ. ටික කාලයක් මේක කළාම ඔබට කලබලකාරී හැඟීම් එනවා. ඒ හැඟීම් පාලනයක් නැති, දරුණු හැඟීම් බවට පත්වෙන්න පුළුවන්. මට මාව පාලනය කරගන්න වෙනවා. බොක්සින් කියන්නෙ ඒක තමයි. තමන්ව පාලනය කරගැනීම.’
බොක්සින් වල කරන්නට අමාරුම දේ තමයි තමන්ව පාලනය කරගැනීම. විනයෙන් යුතුවීම හා තමන්ව පාලනය කරගැනීම ලෙහෙසි නැති බව ඔහු කියනවා.
ඩැනියෙල් ඩොබුවා ගැන කතාබහක් මුලින්ම ඇතිවුණේ පුහුණු වටයකදී ඇන්තනි ජෝෂුවාව පහරදී බිමහෙළන්නට ඩොබුවා සමත්වූ බවට පළවූ වාර්තා නිසායි. මේ වෙද්දී බි‍්‍රතාන්‍යයෙහි ජනප‍්‍රි ඩැනියෙල් ඩොබුවා දෙසට නැවත අවධානය යොමුව තිබුණේ රස්වාන් කොජානුව ප‍්‍රසිද්ධ තරඟයකදී පරාජය කරන්නට ඔහු සමත්වීම නිසායි.


ඩොබුවා අතින් පුහුණු වටයකදී බිමහෙළූ බව කියන ඇන්තනි ජෝෂුවා කියන්නේ මේ වෙද්දී බොක්සින් වළල්ලේ ක‍්‍රීඩා කරන වෘත්තිමය හෙවීවේට් බොක්සින් ක‍්‍රීඩකයන් අතරින් විශිෂ්ඨතමයෙක්. මේ වෙද්දී ජීවත්වෙන විශිෂ්ඨතම බි‍්‍රතාන්‍ය බොක්සින් ශූරයා ඔහු බව විශ්වාස කරන බොහෝ දෙනෙක් කියනවා. ජෝෂුවා දැන් බි‍්‍රතාන්‍යයට සීමා නොවූ ලෝක මට්ටමේ ශූරයෙක්.
අයි.බී.එෆ්. හා ඩබ්ලිව්.බී. ඕ. හෙවීවේට් බොක්සින් ශූරතාවය යන ප‍්‍රධාන බොක්සින් ශූරතා දෙකක්ම ඔහු සතුව තිබෙනවා. ඊට අමතරව ඩබ්ලිව්.බී.ඒ. සුපර් ශූරතාවයත් ඔහු සතුව තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කමක්ද ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. අපරාජිත ක‍්‍රීඩකයෙක් වන ඔහු තරඟ 22ක් ජයගෙන තිබෙනවා. ඉන් 21ක් නොකවුට් ජයග‍්‍රහණ. එහෙව් ජෝෂුවා සමඟ පුහුණු සැසියකට සහභාගී වීමට අවස්ථාව ලැබීම තරුණ ක‍්‍රීඩකයෙකුට සිහිනයක්. ඩැනියෙල් ඩුබොයිස්ට ඒ පුහුණු සැසියේදී ඇන්තනි ජෝෂුවාව බිම හෙළන්නට හැකිවූ බවට තිබෙන කතාව සැබෑවක්නම් එය විශ්මයක්.


ගාර්ඩියන් මාධ්‍යවේදියා විසින් ජෝෂුවාව බිම හෙළීම ගැන කතාව සැබෑවක්දැයි විමසද්දී ඩොබුවා නිහඬව සිනහවී තිබුණා. ඒ සිනහව ‘ඔව්’ යැයි බාරගන්නදැයි මාධ්‍යවේදියා විමසා තිබුණා. ඔබ විසින් වමත් පහරකින් ජෝෂුවාව බිම හෙළූ බව. මාධ්‍යවේදියා කී විට ඩොබුවා පිළිතුරු දී තිබුණේ ‘ඔව්, ඒක හොඳ පාරක්.’ කියලයි.
ජෝෂුවා ඒ පහරින් පුදුමයට පත්වුණාදැයි ඔහු විමසා තිබුණා. ‘මාත් එක්ක සටන් කරපු හැම සටන්කාරයෙක්ම මගේ පහරවල් නිසා පුදුමයට පත්වෙලා තියෙනවා.’ ඩොබුවා පිළිතුරු දී තිබුණා.
ඩොබුවා බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ඉහළම ක‍්‍රීඩකයන් සමඟ මුහුණට මුහුණ හමුවීමටයි. දැනට ලොව සිටින දැවැන්තම බොක්සින් ක‍්‍රීඩකයන් තිදෙනා වන ඇන්තනි ජෝෂුවා, ටයිසන් ෆියුරි සහ වයිල්ඩර් යන ශුරයන් තිදෙනාම මේ වෙද්දී ලෝකයේ සිටින අපරාජිත හෙවිවේට් ශූරයන් තිදෙනා ලෙස සැලකෙනවා. ලෝකයේ ප‍්‍රධාන පෙළේ හෙවිවේට් ශූරතා මේ තුන්දෙනාගේ නම්වලට ලියැවී තිබෙනවා.


ඒ තිදෙනා සමඟ තරඟ කරන්නේ කවදාදැයි විමසද්දී ඩොබුවා පිළිතුරු දී තිබුණේ ‘තව අවුරුදු දෙකකින්’ කියායි.
බොක්සින් ක‍්‍රීඩාව පැවතිය යුතුද නැද්ද යන පැනයට උත්තර සෙවීම අසීරුයි. ගෝත‍්‍රික යුගයකදී මෙන්, ප‍්‍රසිද්ධියේ පුද්ගලයන් ගහමරාගැනීම ශිෂ්ඨ සමාජයකට නොගැලපෙන බව කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත් ඩොබුවා වැනි විශිෂ්ඨයන් ක‍්‍රීඩාවට යොමුවී, ක‍්‍රීඩාව ගැන සිහින දකින තාක් මෙවැනි ක‍්‍රීඩා පවතින ඇති බවත් විශ්වාස කළ හැකියි.

ත‍්‍රස්තවාදියාට උදව් කළ මාධ්‍ය

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලියක සිටි පුද්ගලයන්ට මාර්තු 15 වැනි සිකුරාදා සුදු ජාතික අන්තවාදී අදහස් මත පදනම්වූ පුද්ගලයෙකු විසින් වෙඩිතබා තිබුණි. ලෝකයේම කතාබහට ඒ සිදුවීම ලක්විය. එය ලංකාවේද ප‍්‍රවෘත්තියක් විය. ලෝකයේ පිළිගත් මාධ්‍ය ආයතන රැුසක් මේ සිදුවීම ගැන වාර්තා කරද්දී අතිශයින් ප‍්‍රවේශම් වෙන්නට උත්සාහ කර තිබුණි. ඒ අතර ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලින් බහුතරයක් ඇතුළු ලෝකයේ මාධ්‍ය ආයතන රැුසක් කිසිදු වගකීමකින් තොරව මේ සිදුවීම වාර්තා කර තිබුණි.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුව තිබුණේ රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි විසින්ය. මෙම ප‍්‍රහාරය සිදුකළ ත‍්‍රස්තවාදියා විසින් තමන්ගේ ත‍්‍රස්තවාදී මතය ප‍්‍රචාරය කිරීමේ අරමුණෙන් වීඩියෝවක් ප‍්‍රසිද්ධ කර තිබීම මාධ්‍යවල වගකීම පිළිබඳ පරීක්ෂාවට ලක් වෙන අවස්ථාවක් විය. එම වීඩියෝව සම්පූර්ණයෙන්ම සකස් කර තිබුණේ අහිංසක මිනිසුන් පිරිසකට වෙඩි තැබීම වීරත්වයෙන් උත්කර්ශයට නැංවෙන ආකාරයටය. වෙඩි තබන්නාගේ දෘෂ්ඨිකෝණයෙන් එම වීඩියෝව සකස් කර තිබුණි. ලෝකයේ පිළිගත් මාධ්‍ය ආයතන බොහොමයක් එම වීඩියෝ තම වාර්තාකිරීම් සඳහා පාවිච්චි කර තිබුණේ නැත.

එහෙත් ලංකාවේ මාධ්‍ය ආයතන රැසක් එම වීඩියෝ පළ කරන්නට දෙපාරක් සිතා තිබුණේ නැත. හිරු ප‍්‍රවෘත්ති, දෙරණ ප‍්‍රවෘත්ති, ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති, රූපපවාහිනී ප‍්‍රවෘත්ති යන පුවත් ආයතන විසින් එම වීඩියෝව හෝ කොටස් පළ කර තිබුණි. හිරු ටීවී ආයතනය විසින්ිසංවේදී දර්ශණ සහිතයි’ යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව විකාශය කර තිබුණි. නිව්ස් ෆ‍්‍රස්ට් ආයතනය විසින් වීඩියෝවේ මුල්ම කොටස පමණක් විකාශය කර තිබුණි. ස්වාධීන රූපවාහිනී හා ටී.එන්.එල්. යන ආයතන දෙක එම වීඩියෝ විකාශය කර තිබුණේ නැත.

අනෙක් පැත්තෙන් ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ මෙම සිදුවීම ගැන සිය වෙබ් අඩවිවල හා පුවත්පත්වල පළ කරන ලද වාර්තාවලදී සැලකිල්ලට ගෙන තිබුණේ මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් හානියට පත් මිනිසුන් පිළිබඳව සංවේදී කතාව නොවේ. ප‍්‍රහාරය එල්ලකළ ත‍්‍රස්තවාදියා එම ප‍්‍රහාරය එල්ලකිරීම සඳහා පදනම් කරගත් තර්කනය පිළිබඳ කතාවය. සාමාන්‍ය සිවිල් පුරවැසියන් වෙත එල්ලවූ මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳ අත්දැකීම් රැුසක් තිබුණත්, එවැනි සිදුවීමක් පිළිබඳ ප‍්‍රවෘත්තියක් වාර්තාකරද්දී වගකීමක් ඇති මාධ්‍ය ආයතනයක් විසින් අනුගමනය කළ යුතු මූලික ආචාරධර්ම ටික ආරක්ෂා කරන්නටවත් ලංකාවේ මාධ්‍ය ආයතන කටයුතු කර තිබුණේ නැත.

ආචාරධර්ම

ජනමාධ්‍ය ආචාරධර්ම අනුව ත‍්‍රස්තවාදය පිළිබඳ වාර්තාකිරීමේදී මූලික ආචාරධර්ම දෙකක් ආරක්ෂා කළ යුතුය. පළමුවැන්න නම් ත‍්‍රස්තවාදියාට අනවශ්‍ය ඔක්සිජන් සැපයීමෙන් වැළකීමයි. දෙවැන්න අනවශ්‍ය ලෙස පොදු සමාජ විනය කඩ නොකර සිටීමට වගබලාගැනීමයි.

නිශ්චිතව මෙම සිදුවීම ගැන සලකද්දී මෙම ත‍්‍රස්තවාදියා විසින් සකස් කර තිබුණායැයි කියන පිටු ගණනාවක ප‍්‍රකාශය, ඔහු විසින් පටිගත කොට සමාජ මාධ්‍ය වෙත එක්කළ වීඩියෝව ආදී ප‍්‍රකාශණවලින් ඔහු උත්සාහ කරන්නේ තම මතය සමාජගත කිරීමටය. ඉහතින් කී පරිදි ඔහු විසින් පටිගත කළ වීඩියෝව ප‍්‍රසිද්ධ කිරීමෙන් හා සියත, නෙත් නිව්ස්, ලංකා සි නිවුස්, හිරු ගොසිප් ආදී වෙබ් අඩවි රැුසක් විසින් මෙම ත‍්‍රස්තවාදියා විසින් සිදුකළ ප‍්‍රකාශවලින් කොටස් උපුටා දැක්වීම මඟින් එම ත‍්‍රස්තවාදියාගේ මූලික අරමුණට ලංකාවේ මාධ්‍ය ආයතන විසින් උදව් සපයා තිබුණි.

මෙම වීඩියෝ දර්ශණවලින් හා ඔහුගේ ප‍්‍රකාශණයෙන් කුඩා කොටසක් හෝ ප‍්‍රචාරය කිරීම ත‍්‍රස්තවාදියාගේ ම්ලේච්ඡු අරමුණ ඉටු කිරීමක් බව දැන දැනම මාධ්‍ය විසින් එම කොටස් ප‍්‍රචාරය කර තිබුණි.

තොරතුරු දැනගැනීම

බැලූ බැල්මට වගකීම් විරහිතව හැසිරුණු මාධ්‍ය ආයතන විසින් ලබාදෙන පිළිතුර වනු ඇත්තේ පුරවැසියන්ට තොරතුරු ලබාදීම තමන්ගේ කාර්යභාරය බවය. එහෙත් මාධ්‍යවලට තොරතුරු ලබාදීමේ වගකීම සමඟම එම තොරතුරු වගකීම් සහගතව ලබාදීමේ වගකීමක්ද ඇත. සිදුවීමට හේතුව, ප‍්‍රහාරයේ පසුබිම, ප‍්‍රහාරය එල්ලකළ පුද්ගලයාගේ පසුබිම ආදී තොරතුරු සමාජගත කිරීම තමන්ගේ උත්තරීතර වගකීමක්යැයි ජනමාධ්‍ය ආයතනවලට තර්ක කළ හැකිය.

එහෙත් ලංකාවේ මාධ්‍ය ආයතන තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින තරම ලංකාවේ බොහෝ සිදුවීම්වලදී ඔවුන් කටයුතු කළ ආකාරයෙන්ම පැහැදිළි වනු ඇත. හිරු ටී.වී. ආයතනය දුමින්ද සිල්වා ගැන ප‍්‍රවෘත්ති වාර්තා කරන අන්දම ඒ තරම පෙන්වන එක් කුප‍්‍රකටම උදාහරණයක් පමණි. වෙනත් ප‍්‍රහාරයකදී නැති තරම් මෙම සිදුවීමේදී ත‍්‍රස්තවාදියාගේ පැත්තෙන් වාර්තා පළවීමට පැහැදිළි හේතුව මේ මාධ්‍ය ආයතනවල ඉහළ පුටුවල සිටින උදවියගේ පුංචි මොළවල පිළිකා මෙන් ඔඩුදුවා තිබෙන ඉස්ලාමෝෆෝබියාවය. ඉස්ලාම් ජාතිකයෙක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලකළොත් එය හුදු ත‍්‍රස්තවාදයකි. හේතු හොයන්නට ඕනෑ නැත. ඉස්ලාම් ජාතිකයන්ට එරෙහි ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවුණොත් හේතු සොයා බැලිය යුතුය. ලංකාවේ මාධ්‍ය ආයතන විසින් අලූත්ගම, තෙල්දෙණිය ආදී ප‍්‍රදේශවලදී මුස්ලිම් ජාතිකයන්ට බෞද්ධ අන්තවාදීන් විසින් එල්ලකළ ප‍්‍රහාරයන් වාර්තාකර තිබුණේ දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ලෙස බව සිහිතබාගත යුතුය.

මෙම සිදුවීම ක්ෂණිකව වාර්තා කිරීමට තිබුණේ ත‍්‍රස්තවාදියා විසින් පටිගත කළ වීඩියෝ දර්ශණ පමණි. එහෙත් එම වීඩියෝවේ මුල්ම කොටසක් පමණක් විකාශය කිරීමෙන් එම වාර්තා කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකිව තිබුණි. අනෙක් අතට ලංකාවේ රාත‍්‍රී පුවත් විකාශය වෙද්දී සිදුවීමට අදාල වෙනත් වීඩියෝ දර්ශණ ඕනෑතරම් ලැබී තිබුණි. විශේෂයෙන්ම ප‍්‍රහාරයෙන් සිදුවූ මහා හානිය පෙනෙන අන්දමේ වීඩියෝ දර්ශණ තිබුණි. එහෙත් ලෝකය පුරා සාමාන්‍ය ඉස්ලාම් භක්තියන්ට එරෙහිව ප‍්‍රචාරය කෙරෙන අලංකාරිකවලින් හිස පුරවාගත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් විසින් එම වීඩියෝ විකාශය කිරීමට පෙළැඹී තිබුණේ නැත.

මෙම ත‍්‍රස්තවාදියා විසින් ප‍්‍රහාරය එල්ල කරන්නට කුමන හෝ හේතුවක් තිබෙන්නට ඉඩ ඇත. ඒ කුමන හෝ හේතුව තවත් ජනවර්ගයක් කෙරෙහි අසීමිත වෛරය බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්ිත‍්‍රස්ත ප‍්‍රහාරයට හේතුව පිටදේශක්කාරයන්’ වැනි සිරස්තල වලින් ප‍්‍රහාරය එල්ලකළ තැනැත්තාව උත්කර්ශයට නංවන වාර්තා පළකිරීමට තරම් ලංකාවේ මාධ්‍යවල ඉස්ලාමෝෆෝබියාව බරපතල තත්වයක තිබුණි. මෙම ත‍්‍රස්තවාදියා විසින් ලීවායැයි කියන ලිපියේ කොටස් උපුටා දක්වා තිබුණි. මෙය බටහිර මාධ්‍ය ආයතන රැුසකද තිබුණු ලක්ෂණයකි. ප‍්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ වයස අවුරුදු 3ක දරුවාගේ සිට වින්දිතයන් රැුසක් ගැන තොරතුරු තිබුණද, බොහෝ මාධ්‍ය ආයතන ඒවා වාර්තා කිරීමට උනන්දු වී තිබුණේ නැත. එක් ලිපියක මෙම ප‍්‍රහාරයට මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරක් ඇති බව ලියා තිබුණේ මනුෂ්‍ය ඝාතනයක ගැඹුර සොයන්නට උත්සාහ කරමිනි.

මෙම සිදුවීමට අදාල වීඩියෝ මිලියන ගණන් ගූග්ල්, ෆෙස්බුක් වැනි සමාජ මාධ්‍ය මෙහෙවන දැවැන්ත සමාගම් විසින් ඉවත් කර තිබුණු බව සැබෑය. සිදුවීම්වලට අදාලව සමාජ මාධ්‍යවල වගකීම වෙනම කතාබහට ලක්කළ යුතුය. විනාඩි 17ක වීඩියෝවක පිටපත් මිලියන ගණන් සැකසෙන තෙක් එම වීඩියෝ ඉවත් කිරීමට අසමත්වීම, තමන් සතු කෘත‍්‍රිම බුද්ධිය වැනි ඉහළම තාක්ෂණය ගැන උදම් අනන සමාජ මාධ්‍ය මෙහෙවන්නන්ගේ භයානක අඩුපාඩුවකි. එහෙත් ලොවපුරා ඉස්ලාම් භක්තිකයන් ගැන ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමේ කටයුත්ත පිළිබඳව ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජාතිවාදී දේශපාලඥයන් හා ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන බව විද්වතුන් බොහෝ දෙනෙක් මුළු ලෝකයටම අදාලව ප‍්‍රකාශ කරන කාරණයකි. ලංකාවේ කතාවත් ඒකමය. මේ මාධ්‍ය ත‍්‍රස්තවාදීන්ට උදව් කරන්නේය.

පරණ බෝතලේ අලූත් වයින් මහින්ද වෙනුවට ගෝඨා

0



ගෝඨාභය රාජපක්ෂව තම කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බාරගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ නායකයන් සූදානම්ව සිටින බව පසුගිය සති කිහිපයේදී ඒ පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් නිර්නාමිකව හා නිල වශයෙන් විවිධ මාධ්‍ය වෙත කර තිබුණු අදහස් දැක්වීම් වලින් පෙනී යන්නේය. අනිද්දා පසුගිය සතියේ වාර්තා කළ අන්දමින්ම, මහින්ද රාජපක්ෂද ගෝඨාභය රාජපක්ෂව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බාරගැනීමට එකඟ වී ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට තමන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්ණය විසඳාගත හැකි වුවහොත් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්විය හැකිය. තවමත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයේ ප‍්‍රශ්ණය විසඳී නැත. ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙකි.


කෙසේ වෙතත් පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්ණය තිබියදීම ගෝඨාභය රාජපක්ෂව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සූදානම් කිරීමට ඒකාබද්ධ විපක්ෂ පිළ එකඟ වී තිබේ. ඇතැම්විට ද්විත්ව පුරවැසියෙක් ලෙසම ජනාධිපතිවරණයට ඔහු විසින් නාමයෝජනා ඉදිරිපත් කිරීමටද ඉඩ තිබේ. ඒ කතාබහ ඉදිරියට තබාගත යුතුය.


දැනට පැහැදිළිව පෙනෙන කාරණය නම් මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගැනීමට අකැමැත්තෙන් වුව කැමති වී තිබෙන බවය. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂව අපේක්ෂකයා ලෙස පිළිගැනීමට අකමැති බව අපි කියන්නේ කෙසේදැයි කෙනෙකුට විමසිය හැකිය. පැහැදිළි උත්තරය පසුගිය කාලය තුළදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින්ම ලබාදී ඇත. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් සංවිධාන නිර්මාණය කරගනිමින්, රැුස්වීම් පවත්වමින්, හොරගල් අවුලමින් ගෝඨාභය රාජපක්ෂ විසින් කාලය ගත කළ අන්දම පහුගිය කාලයේදී දකින්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ වුවමනාවෙන් කටයුතු කරන අතරේ මහින්ද රාජපක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එකඟතාවයක් ඇතිකරගනිමින්, කුප‍්‍රකට ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණය දියත් කිරීමද මහින්දගේ අකැමැත්තෙහි එක් ප‍්‍රකාශණයකි.


දැන් නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගැනීම හැර අන් කිසි විකල්පයක් නැත. මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගත්තද, නොගත්තද ගෝඨාභය රාජපක්ෂ ළඟට මහින්ද රාජපක්ෂගේ සුචච කීකරු අතවැසියන් එකිනෙකා ළංවෙමින් සිටින්නේය. මහින්ද රාජපක්ෂට ඇති සංකේත වටිනාකම හැර තවදුරටත් මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන අනාගතයක් ගැන ඒ අතවැසියන් සිහින දකින්නේ නැත. උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු නායකයන් මේ වෙද්දී ප‍්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂව ප‍්‍රවර්ධනය කිරීමේ කටයුත්තට බැස හමාරය. ඒ නිසාම මහින්ද රාජපක්ෂගේ තීරණ ඉහ මුදුනින් පිළිගන්නටත් ඒ කණ්ඩායම සූදානම් නැත. මියැදෙමින් සිටින සුනඛයෙකුගේ ඇෙÛන් මැක්කන් එකිනෙකා ඉවත්වෙන සේ, දුර්වල වෙමින් සිටින වහල් හිමියාගෙන් අලූත් වහල් හිමියෙක් කරා ඔවුන් මාරුවෙමින් සිටියි.


ඒ අනුව සිංහල ජාතිකවාදය නියෝජනය කරන එම කඳවුරේ නායකත්වය මහින්ද රාජපක්ෂගෙන් ගෝඨාභය රාජපක්ෂගේ අතට මාරුවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන්නේය.
එය තහවුරු වෙන සිදුවීම්ද ඇත. මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන යෝජනාවකට සහයෝගය දැක්වීමේ සූදානමකින් සිටි බව ලියුම්කරුට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අදහස් දැක්වීම් මත පෙනීගිය කරුණකි. ඔහු 20 වැනි සංශෝධනයට සහයෝගය දැක්වීමේ ඉඩකඩක් වුව තිබුණි. ඔහුට නැවත අගමැතිධූරයට පත්වීමේ හැකියාව නිසා එවැන්නකට ඔහු එකඟ වීම සඳහා ඉඩකඩක් තිබුණු බව ප‍්‍රතික්ෂේප කළ නොහැකිය.


එසේ වුව මහින්ද රාජපක්ෂ මහතාගේ අතවැසියන් ලෙස ඇපකැපවී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් බහුතරයක් මහින්ද රාජපක්ෂගේ යෝජනාවට ප‍්‍රසිද්ධියේ විරෝධය පළ කර තිබුණි. විමල් වීරවංශ විසින් මහින්ද පිළෙන් ඉවත්වෙන බවට තර්ජනය කර තිබුණි. නායකයාට එරෙහි විමට තරම් හයියක් මීට ටික කාලයකට පෙර කිසිවෙකුට තිබුණේ නැත. ඒ සිදුවීම්වලින් පෙනෙන අන්දමට සියලූ කාරණා පෙළගැසෙන්නේ මේ සියළු වහලූන් මහින්ද රාජපක්ෂ වෙනුවට ගෝඨාභය රාජපක්ෂගේ වහලූන් බවට පත්වීමේ මගකටය.


‘මහින්ද රාජපක්ෂගේ අනුප‍්‍රාප්තිකයා’,ිමහින්ද චින්තනය ඉදිරියට ගෙනයන බාල සහෝදරයා’ වැනි ලේබල් කිසිවක් බාරගැනීමට ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැති බව පැහැදිළි කාරණයකි. වියත්මඟ, එළිය වැනි සංවිධාන වලින්ිනව දහමක්’ දේශනා කරන්නෙක් බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව සිටින්නේය. මහින්ද රාජපක්ෂත් ඇතුළුිදේශපාලඥයන්ට’ එරෙහිිවිද්වත් වෘත්තිකයන් පෙරටු කරගත්’ නායකයෙකු ලෙස පෙනී සිටින්නට ගෝඨාභය රාජපක්ෂ කැමතිය. 70 වසරක් තිස්සේ රට ගොඩගන්නට නොහැකි වූිදේශපාලඥයන්’ වෙනුවට රටිනවීනත්වය’ කරා ගෙන යනිවෘත්තිකයෙකු’ ලෙස ගෝඨාභය රාජපක්ෂව ලේබල් කර තිබෙන්නේය.


ගෝඨාභය රාජපක්ෂ අලූත් දහමක් දේශණා කරන බව පෙන්වනවා පමණක් නොවේ. ඔහුගේ ව්‍යාපාරයෙහි බාහිර පෙනුමද මහින්ද රාජක්ෂගේ දේශපාලන ව්‍යාපාරයට වඩා වෙනස්ය. මහින්ද රාජපක්ෂ මෙන් සුදු ඇඳීම වෙනුවට කෝට් එක ඇඳීමට ගෝඨාභය රාජපක්ෂ කැමතිය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් ලංකාවේ දේශපාලනයටිඅලූත්’ විජ්ජාවක් පෙන්වන්නට සූදානම් වෙන බව මවා පෙන්වන්නේය.

මේි අලූත්’ පෙනුමට මහින්ද රාජපක්ෂ විරෝධී සිංහලයන් අතරින්ද යම් පිරිසක් එකඟත්වය පළකරන බව පෙනෙන්නට තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපාරයෙහි මතුපිටින් පෙනෙනිදේශපාලඥයන්ට එරෙහි විද්වතුන්ගේ හා වෘත්තිකයන්ගේ’ ප‍්‍රවේශය ගැන ඔවුන් ආසක්ත වී සිටියි.
මේ සටහන ඒ ප‍්‍රතිපත්ති ගැන එකින් එක ගැඹුරෙන් විමසන්නට නොවේ. ඒ ප‍්‍රතිපත්තිය ඇත්තටම අලූත් ප‍්‍රතිපත්තියක්දැයි කල්පනා කළ යුතු බව යෝජනා කරන්නටය. ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපාරයෙහි මතුපිටින් තිබෙන දවටනය මිස, අභ්‍යන්තරයේ වෙනසක් තිබෙනවාදැයි කල්පනා කළ යුතුය.
ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ වටා සිටින්නේද මහින්ද රාජපක්ෂ සමඟ සිටි ජාතිකවාදී බලවේගමය. සුදු ඇඳගත්තවුන්ට සාපේක්ෂව සූට් ඇඳගත්තවුන් වැඩි පිරිසක් ඉදිරි පේළියේ සිටීම පමණක් වෙනසකට ඇත. එළිය හා වියත් මඟ සමුළුවල කතාකරන්නේද දේශීයත්වය, සංස්කෘතිය, දේශපේ‍්‍රමය ගැන මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු අදහස්මය. පසුගාමී ගෝත‍්‍රික අදහස්ම එම රැුස්වීම්වලදී කතාබහට ලක්ව තිබෙන්නේය.


අලූත් දවටන, අලූත් වර්ණ, අලූත් හැඩතල සමඟ ගෝඨාභය රාජපක්ෂ නම් අලූත් බෝතලයේ තිබෙන්නේද මහින්ද රාජපක්ෂ නම් පරණ බෝතලයේ තිබුණු වයින්ම බව සිහිතබාගත යුතුය. ඒ නිසා නවීනත්වය ගැන සිහින දකින අය ගෝඨාභයගෙන් ඒ නවීනත්වය බලාපොරොත්තු වන්නේනම් තව මොහොතක් ඒ ගැන කල්පනා කළ යුතුය.

අනුරංග ජයසිංහ