No menu items!
30.5 C
Sri Lanka
13 May,2025
Home Blog Page 138

මේ ගඟ
මං හොඳට දන්නවා

0

■ මුහම්මද් තාරික්

කෙනෙකු රාසික් තම්බි යනුවෙන්ද තවත් කෙනෙකු තම්බි අයියා යනුවෙන්ද ආමන්ත්‍රණය කළද ඔහුගේ නම මොහොමඩ් අලි රාසික් ෆරීඩ්ය. කොළඹ-නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි ගඟේ සිට මීටර් 100ක දුරින් ඔහුගේ රැකියා ස්ථානය සහ නිවස පිහිටා ඇත.


“මැරෙන්න ඕනෑ කියලා හිතලා ගඟට පනින ඕනෑම කෙනෙක් වතුරේ ගිලෙන කොට බේරෙන්න දඟලනවා. ගඟ බලන්නේ ඕනෑම කෙනෙක්ව බිලිගන්නයි. ගඟ එක්ක පොරබදලා ගිලෙන්න යන කෙනෙක් බේරගන්න එක ලේසි නෑ. පොඩි වරදකින් මගේ ජීවිතේ නැතිවෙන්නත් පුළුවන්”


රාසික් වයස අවුරුදු පනහ ඉක්මවූ පුද්ගලයෙකි. සහෝදර සහෝදරියන් සමඟ ඔහු එදා ජීවත් වූයේද අද ජීවත්වන කොළඹ-නුවර පාරේ පේරාදෙණිය පාලම යට ස්ථානයේය. කුඩා කල සිටම සහෝදර සහෝදරියන් සමඟ ඔහු සෙල්ලම් කිරීමට යන්නේ ගංඉවුර වෙතය. ගඟට පැන දිය නාමින් සෙල්ලමෙහි යෙදුණු ඔහුට ගඟේ වතුර ගලායන අයුරුත්, වතුර වැඩිවන විට සුළි සෑදෙන අයුරුත්, ගල් අතර දෙබොක්කා ඇති අවදානම් ස්ථානත් හුරුපුරුදුය.


“මම ඉස්කෝලෙ ගියේ පැණිදෙනිය දෙමළ මහා විද්‍යාලයට. තුන වසරේ ඉද්දි මට ඉස්කෝලෙ ගමන එපා උනා. වයස දහතුනක් වගේ වෙද්දි තාත්තා මාව එයාගේ මස්සිනාගේ ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්න දැම්මා. බයිසිකල් හදන රස්සාව උපරිම මහන්සියෙන් ඉගෙනගත්තා. මෝටර් බයිසිකල් නම් ඇඟේ කොටසක් වගේ තමයි. ඉතිං කැමතිම දේ රස්සාව විදියට කරගෙන යනවා.’


රාසික් අද තමන්ගේම යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ වැඩපොලක් පේරාදෙණියේ පවත්වාගෙන යයි. කවුරුන් හෝ ගඟට පැන්නොත් හෝ ගඟේ ගසාගෙන යනවිට කාගේත් මතකයට නැගෙන්නේ රාසික්ය. “රාසික්… මිනිහෙක් ගඟට පැනලා” යැයි ඇසුණු සැණින් ඔහු දෙවරක් නොසිතා ගඟ කරා දිවයන්නේ මොහොතක ප්‍රමාදයකින් වුවද ජීවිතයක් අහිමි වීමට ඉඩ ඇති බැවිනි.


‘මුලින්ම ගඟට වැටුණු කෙනෙක්ව බේරාගත්තේ 1976 අවුරුද්දේදි වගේ. එදා ඉඳන් මේ වෙනකම් ගඟට වැටුණු අය පණපිටින් නැත්නම් මැරුණ අය කොච්චර ප්‍රමාණයක් ගොඩ අරන් තියෙනවාද කියලා මටවත් මතක නෑ. දාහකට කිට්ටු වෙන්න ගොඩඅරන් ඇති. ඉස්සර පේරාදෙණිය පාලම ළඟ කඩපේළිය තිබුණේ නෑ. බස් නවත්තන තැනක් තිබුණේ. ශ්‍රීපාද වන්දනාවේ යන අයගේ බස් නවත්තන්නෙත් මෙතන. ඒ වන්දනා නඩ ගොඩක් වෙලාවට ගඟට බැහැලා නානවා. ගඟේ ගැඹුරු අවදානම් තැන් පෙන්නලා දුන්නත් සමහරු ගණන් ගන්නෙ නෑ. ඉතිං සමහරු ගිලෙනවා නැත්තම් ගහගෙන යනවා. එතකොට ගඟට පැනලා පණපිටින් හරි මළමිනිය හරි ගොඩට ගේනවා.


පේරාදෙණිය පාලමෙන් කවුරුවත් සියදිවි නසා ගන්න පැන්නොත් ඉස්සර වෙලාම දැනගන්නෙ එතන හන්දියේ රථවාහන රාජකාරි කරන පොලිස් මහත්තුරු. ඒ මහත්තුරු තම්බි තම්බි කියලා දුවගෙන එන්නෙ මාව හොයාගෙන. මම ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම ගඟට පැනලා ඒ කෙනාව පණපිටින් නැත්තම් මළසිරුර ගොඩ ගේනවා. ගඟේ ගිලෙන්න ගිය මිනිහෙක්ව මම බේරුවා කියලා දවසක් එයාගේ ඥාතියෙක් මට රුපියල් පන්සීයක් දුන්නා. බනින්න බැරිකමට ඉතිං මම නිකං හිටියා. ඒත් ඒ මිනිහාට මං කිව්වා මේක සල්ලි බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නෙවෙයි, මේ මිනිහව තවත් කාලයක් ජීවත් වෙන්න කරපු දෙයක් කියලා.


ඇඳුම් මාරුකරගෙන ඉන්න වෙලාවක් නැහැ. ගරාජ් එකේ වැඩ කරන් ඉද්දිමයි ගඟට පනින්න වෙන්නෙ. සමහර විට මගේ සාක්කුවෙ තියෙන වටින ආයුධයක් උපකරණයක් හෝ මුදලක් විනාශ වෙනවා. එහෙම කියලා මට දුකක් නෑ. මනුස්සයෙක්ව පණපිටින් ගොඩ දාන්න හම්බුණාම ලොකු සතුටක් දැනෙනවා.’


පිහිනීම පිළිබඳ ජීවිතාරක්ෂක පාඨමාලා හදාරා නොමැති රාසික් තම්බි දියේ ගිලෙන අයෙකු බේරා ගන්නා සැටි විස්තර කළේ මෙසේය.


“ගඟේ ගිලෙන කෙනෙක් බේරාගන්න යනකොට කෙළින්ම එයා ළඟට යන්න හොඳ නෑ. අතේ දුරින් තමයි වැඩේ කරන්න ඕනෙ. එහෙම නැති උණොත් ගිලෙන කෙනා බේරාගන්න යන කෙනාව බදාගන්නවා. එතකොට දෙන්නටම ගිලෙන්න වෙනවා. ඒ නිසා ගිලෙන කෙනාගේ පිටිපස්සෙන් ගිහින් බෙල්ලෙන් අල්ලගෙන අනිත් පැත්තට හරවලා එයාගේ ඔළුව වතුරෙන් උඩට අරගෙන එයාව මගේ පිටට ගන්නවා එහෙම තියාගෙන ගොඩට ගේන්න ඕනෙ.’


1988-89 කාලපරිච්ඡේදයේ සෑම තරාතිරමකම ජනයා විසුවේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවෙනි. නිරතුරුව ඇසුණේත් දුටුවේත් බාල තරුණ වැඩිහිටි මිනිසුන් බල්ලන් බළලුන් සේ මරා දමා ඇති අයුරුය.


“ඒ කාලේ පුරුද්දට උදේ හයහමාරට විතර හැමදාම වගේ ගඟට යනවා. එහෙම ගිය දවසක කපපු මිනියක් ගහගෙන ඇවිත් මාරගහ ළඟ රැඳිලා තිබුණා. උඩ පැත්තට හරවලා බලද්දි හිස බූගාලා තැඹිලි පාට සරමක් වගේ ඇඳලා හිටපු කෙනෙක් නිසා ඒ හාමුදුරුනමක් කියලා තේරුණා. ඒ භීෂණ කාලේ හැමදාම වගේ ගඟ උඩහ පැත්තෙ ඉඳන් මළමිනි ගහගෙන එනවා. මම උණ ගහක් කපලා පාලම යටින් වතුර යන තැන හරහට ඇදලා තියනවා. පහුවදා ඇවිත් බලද්දි සමහර දවසට මිනි දහය පහළොව ඇවිත් රැඳිලා තියෙනවා. සමහර දවසට එක්කෙනා දෙන්නාත් රැඳිලා තියෙනවා. අතපය ගැටගහලා මරලා දාපු මිනි. උදේට මිනිස්සු පිරිලා පාලමේ ඉඳන් ගඟ දිහා බලන් ඉන්නවා. මං උණ ගහ ඇදලා දානවා. ඒත් පස්සේ පස්සේ ඒ මළමිනි ගොඩ ගෙනත් දානවා. කාගේ හරි දරුවන්නේ කියලා හිතලා.


දවසක් මං පාලමේ යට ඉඳන් බලන් ඉද්දි පාලමේ උඩ කණුවට ඔළුව ගහලා ගහලා මරලා ඊට පස්සේ පාලමෙන් පහළට තල්ලු කළ සිදුවීමක් දැක්කා. තවත් දවසක් පාලමේ තියලා මරන්න යද්දි පාලමෙන් වාහන ආ නිසා අතෑරලා ගිය කොල්ලෙක්ව මම බේරගත්තා. ඒ කොල්ලා ලේ පෙරාගෙන හිටියේ. මම උස්සං ගිහිං ඉස්පිරිතාලෙට දැම්මා. තවත් දවසක පාලම යට වැටිලා හිටියා කොල්ලො හතර දෙනෙක්. මං ගිහින් බලද්දි ඒ අයට පණ තිබුණා. ඒ අයව පාලම උඩ තියලා ගහලා වතුරට දාද්දී පාලමේ යට වතුර නැති අයිනකට වැටිලා. ඒ අයවත් ඉස්පිරිතාලෙට අරන් ගියා. පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ.

පාලමේ උඩ ඉඳන් පහළට දාන සමහර මළමිනිවල ඔළුව නැහැ. එහෙම නැත්තම් කඳේ බාගයයි. අතපය කපලා දාලා. හිස්කබල ඇතුළේ මොකුත් නැතිවම ඔළු කට්ට විතරක් තිබිලා ඇඟේ මොකුත්ම තුවාලයක් වත් නැති මළමිනිත් මේ ගඟෙන් ගහගෙන ඇවිත් තියෙනවා මං දැකලා තියෙනවා.’


ජීවිතය බේරාගත් නිසා බැනුම් ඇසීමට සිදුවූ අවස්ථාද රාසික්ගේ මතකයේ තිබේ.
“මිනිස්සු ගොඩ දෙනෙක් පාලමේ ඉඳලා කෑගහනවා ඇහිලා මං ගඟ දිහා බලද්දී මිනිහෙක් ගඟේ දඟලනවා දැක්කා. දෙපාරක් හිතන්නෙ නැතිව ගඟට පැනලා මිනිහව ගොඩට ගත්තා. ගොඩට ගෙනා ගමන්ම පොලිසියෙන් ඇවිත් මිනිහව අල්ලගත්තා. බලද්දී මිනිහා පොලිසියෙන් බේරිලා දුවන්න ගඟට පැනලා. ඉතිං මං බේරපු ඒ මනුස්සයා පොලිසියත් එක්ක ගියේ මට බැන බැන.”


“ගොඩක් කෙල්ලො කොල්ලෝ මේ පාලමේ ඉඳන් ගඟට පනින්නේ ලව් කේස් නිසා. එහෙම නැත්තම් ණය කේස් නඩුහබ නිසා. පවුල් ප්‍රශ්න නිසා. දොස්තර මහත්තුරු, නීතිඥ මහත්තුරු පවා මේ පාලමෙන් පැනලා මං බේරගෙන තියෙනවා. ඉස්සර ගඟට පැනලා ගොඩගත්තාම මටත් කටඋත්තර දෙන්න යන්න වෙලා තියෙනවා. ඒත් පස්සේ පස්සේ මගේ මේ වැඩ නිසා පොලිස් මහත්තුරු මං ගාවටම ඇවිත් කටඋත්තර අරන් යනවා.”
ඔයා බේරපු කවුරුත් ආපහු ඔයාව හමුවෙන්න ඇවිත් නැද්ද?


‘මහියංගණේ පැත්තේ වයස දහසයේ විතර කොල්ලෙක් මේ පාලමෙන් පැන්නා. ගහගෙන යනවා. මං ගෙනත් ගොඩට දැම්මා. ඉස්පිරිතාලෙට දැම්මා. පස්සෙ දවසක ඒ කොල්ලා මාව හොයන් ඇවිත් කතාබහ කරලා ගියා. අදටත් මාව බලන්න එනවා. අනිත් අය නම් ඇවිත් නෑ.’ රාසික් තම්බි සිනාමුසු මුහුණින් කියයි.


මහගෙදර අසලම කුඩා නිවසක් තනා බිරිඳ දියණියන් දෙදෙනා හා පුතු සමඟ රාසික් තම්බි ජීවිකාව පවත්වාගෙන යයි.


“මං කැමති මගේ පුතාත් මේ වැඩේ කරනවා නම්. එයත් එක පාරක් දෙපාරක් වගේ ගිලෙන්න ගිය අයව බේරාගත්තා. මං නැති කාලෙක මේ ගඟට වැටෙන මිනිස්සුන්ව බේරගන්න කවුරු හරි ඉන්න ඉපැයි. ඒත් මට බයක් දැනෙනවා. මේ ගඟත් ඉස්සර වගේ නෙවෙයි. හිටිහැටියේ දරුණු වෙනවා. පුතා ගල්කුළු දෙබොක්ක වළවල් ගැන දන්නේ නෑ. ගඟට බැහැපු වෙලාවට අනතුරක් වෙන්න තත්පරයක් උනත් ඇති.


මං පොඩි දවස්වල ඉඳන් හැදුණේ මේ ගඟත් එක්ක. ඒ වගේමයි මේ ගස්වැල් හැදුණ විදිය මං හොඳටම දන්නවා. ඉතිං මං මගේ දරුවන්ට වගේම මේ ගඟටත් ගොඩක් ආදරෙයි.’ ■

මානව හිතවාදී
දේශපාලනයක නිරතවීමට
නව වාමාංශික සමාජයට අපූරු පාඩමක්

0

ලාල් විජේනායක: ජීවිතය හා දේශපාලනය
ස්වර්ණ ප්‍රකාශනයකි.
දූ.අ. 033 2287837

කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙකු බිහි නොවන බව ලාල්ගේ අරුත් සරු ජීවිත කතාව අපට කියයි.

■ චන්ද්‍රරත්න බණ්ඩාර

‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය මට වැදගත් වන කාරණා කීපයක් තිබේ. එහෙයින් ම එය මට නම් පොදු කියවීම්වලින් ඔබ්බෙහි පවතින වැදගත් කෘතියකි.
ලාල් මගේ ජීවිතයේ ප්‍රාථමික දේශපාලන ගුරුවරයෙකි. පුදුමය වන්නේ ඔහුම මගේ ජීවිතයේ ද්විතීයක හා තෘතීයක දේශපාලන ගුරුවරයෙකු ද වීමයි.

ඔහු මගේ පාසලේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ) ආදි ශිෂ්‍යයෙකි. මා උපන් වර්ෂයේ ලාල් අපේ පාසලේ උසස් පෙළ පන්තියට ඇතුළත් වී ඇත. ලාල්ගේ පරම්පරාව නියෝජනය කරන්නේ ධර්මරාජය වැනි වරප්‍රසාදලාභී පාසල් පමණක් නොව, මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය පවා අද විශ්වවිද්‍යාලවලට වඩා උසස් ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායයක් හා දැනුම මුදාහැරීමක් තිබූ යුගයක ආනුභාවයන් ය. එමෙන්ම පාසල් ගුරුවරු අද විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ට වඩා ශාස්ත්‍රවන්තභාවයක් තිබූ යුගයකි.

ලාල් ධර්මරාජයේ අධ්‍යාපනය ලබන්නේ එස්. විජේතිලක විදුහල්පතිවරයා වූ යුගයේ ය. මා අධ්‍යාපනය ලබන්නේ ඒ. පී. ගුණරත්න විදුහල්පතිවරයාව සිටි යුගයේ ය. මෙය පැහැදිලිව ම යුග දෙකකි. විජේතිලක අවධිය පූර්ව ආසන්න යුගයේ විදුහල්පතිවරයා ව සිටියේ මෙත්තානන්ද නම් විදුහල්පතිවරයාය. සිංහල බෞද්ධ පුනර්ජීවනය ව්‍යාපාරයේ නායකයකු වූ ඔහුගේ පෞරුෂනීය මුද්‍රාව පාසලේ ඒ වන විටත් තිබෙන්නට ඇත. එහෙත් විජේතිලක විදුහල්පතිවරයා ගැන විස්තර කරන ලාල් ඔහුගේ පුද්ගල හා දැනුම පෞරුෂය තමන්ට ජීවිත මාවතක් සකස් කර දුන් ආකාරය පැහැදිලි කරයි. සාමාන්‍ය පරිශ්‍ර චාරිකාවේ දී චිත්‍ර ගුරුවරයා පැමිණ නැති චිත්‍ර පන්තියට යන විජේතිලක විදුහල්පතිවරයා කළුලෑල්ලේ ඉරක් අඳිමින් අසන්නේ එහා පැත්තේ ගඟෙන් එගොඩ ජීවත්වන චිත්‍ර ශිල්පියා ගැන දන්නවාද කියාය. ඒ චිත්‍ර ශිල්පියා මේ මම ඇඳි ඉර ඇන්දා නම් එය ලක්ෂ ගානක් වටිනා ඉරක් වනු ඇති බව ඔහු පවසා ජෝර්ජ් කීට් ගැන විස්තර කරයි. ඒ අහඹු පන්තියේ දී ජෝර්ජ් කීට් ගැන අසන ලාල්, පසු කාලීනව ඔහුගේ භාරකරුවා ද පහසුකම් සපයන්නා ද, චිත්‍ර මිලදී ගන්නා ද පමණක් නොව කීට් ඇඳි අවසන් චිත්‍රයේ හිමිකරුවා ද වන්නේ ය. ආනුභාව සම්පන්න ගුරුවරු ශිෂ්‍යයන්ගේ ජීවිතයට ජීවය සපයන්නේ එයාකාරයටය.

ඔහුගේ රසායන විද්‍යා ගුරුවරයා වන්නේ පසු කලෙක අසීමාන්තික සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වූ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන් ය. එහෙත් ඔහු පවා පාසල තනිකර තම දේශපාලනය බෙදාහරින තැනක් බවට පත් කර නොගෙන දරුවන්ට විද්‍යාව, විද්‍යාවේ අරුතින් ම ඉගැන් වූ ආකාරය ලාල් මෙම කෘතියේ සඳහන් කරයි. දළදා මාලිගාවේ කොතින් රැස් විහිදීම පිළිබඳ මිථ්‍යාව විද්‍යාත්මක අත්හදා බැලීමක් මගින් විජේතුංගයන් විසින් නිෂ්ප්‍රභ කරන අයුරු එයට කදිම උදාහරණයකි.

‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය දේශපාලනඥයෙකු අරබයා ලියැවුණු චරිතාපදාන අතර තවත් එකක් පමණක් නොව ලාංකීය දේශපාලකයන් අරබයා ලියවුණු හොඳම කෘති තුනෙන් එකක් ය යන්න මගේ හැඟීමයි. පළමුවැන්න කේ.එම්.ඩී. සිල්වා සහ හාවඩ් රිගින්ස් විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයයි. දෙවැන්න එස්. තොන්ඩමන් මහතාගේ ඔැ් ්බා ඡදකසඑසජි නම් වූ චරිතාපදානයයි. අනික මෙම ප්‍රස්තුත කෘතියයි. අනෙකුත් බොහෝ දේශපාලනඥයන් අරබයා ලියවී ඇති කෘති වනාහි කර්තෘකයා කෙරෙහි ලියන්නාට ඇති භක්තිය ප්‍රකාශ කරන කෘති ලෙස හැඳින්වීම නිවැරදි ය. මළල්ගොඩ බන්දුතිලක, ඇන්.ඇම් හා කොල්වින් අරබයා ලියූ කෘති පවා ඒ ගණයේ ලා සැලකිය හැකි ය.

චරිතාපදානයක් වනාහි අතීතයේ අප නොදුටු අහුමුළු වෙත ආලෝක ධාරාවන් විහිදුවන, එමෙන් ම අදාළ දේශපාලන චරිතයේ සමස්තය පිළිබඳ මනා චිත්‍රයක් ඇඳ ගැනීමට සහායකයක් විය යුතු එකකි. මෙම කෘති තුන ම වාගේ එම කටයුත්තේ දී ධනාත්මක මෙහෙවරක් ඉටු කරයි.

නිර්මාණාත්මක ලේඛකයකු ද වැඩිමනක් වශයෙන් සවිඥානකව වත්මන් දේශපාලනයේ නියැලෙන්නෙකු ද ලෙස මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ලාල්ගෙන් ප්‍රශ්න කරන්නා ද, නැවත ස්වකීය විමංසනයෙන් පසුව සටහන් කරන්නා ද වීම මෙම කෘතියේ සාරගර්භ බවට හේතු වී යැයි මට සිතේ. මහාචාර්ය අමරකීර්තිගේ සගයන් ලෙස විජේනායකයන්ගේ දේශපාලන ඉතිහාසය මැනවින් දන්නා දයානන්ද කුලසේකර හා ආනන්ද ස්ටීවන් විසින් පාර්ශ්ව කිහිපයකින් කර්තෘකයා විමසීම සිදුවී ඇති බවක් පෙනේ. එය කෘතියේ සාර්ථකත්වයට අනඟි මෙහෙයක් සපයා ඇත. ප්‍රවීණ ඡායාරූප ශිල්පි හේමන්ත අරුණසිරි හා කෘතිය සැලසුම් කළ පුෂ්පානන්ද ඒකනායක ප්‍රසන්න කියවීමක් සඳහා සිය නිර්මාණ කුසලතාවන් වැය කර ඇත.

මෙම කෘතිය මා වටහා ගත් ආකාරයට පාර්ශ්ව පහක් වෙත ආලෝකධාරා විහිදුවයි.

  1. පශ්චාත් යටත් විජිත ආරම්භක කාලයේ හා 1956ට පෙර යුගයේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක හා සාරධාර්මික ස්වරූපය.
  2. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය බිහිකළ සමාරම්භකයන්ගේ චේෂ්ටාවන් නිරූපණය වූ උසස් අධ්‍යාපන ක්‍රමය හා ඒවා ගුණාත්මක මිනිසුන් බිහි කළ ආකාරය.
  3. එකල විප්ලවවාදී දේශපාලන ක්‍රමයක වුවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ඇතුළු වී තිබීම හා එලෙස ඇතුළුවීමට අදාළව රටේ අනෙකුත් දේශපාලනික ප්‍රභවයන්ගේ ස්වරූපය.
  4. සාරාර්ථයන් බහුල විශ්වීය අරුතකින් පණ ගැහුණු ලංකාවේ කලා සංස්කෘතික සමාජය.
  5. ආදර්ශ නගරයක් (මහනුවර) ඇසුරෙන් ලංකාවේ ප්‍රාදේශීය දේශපාලන හා සමාජ සංස්කෘතික ස්වරූපයන් හඳුනා ගැනීමට හැකි වීම.

මේ පංචවිධ කාරණා මේ කෘතිය ඇසුරින් පෙළ ගැස්වීමට හැකි යයි මට සිතේ. හෘදයංගමව සිතන්නෙකුගේ, ඒ අනුව හැසිරෙන්නෙකුගේ, උදාහරණයකට සුදුසු, නායක මට්ටමේ සිවිල් පුරවැසියෙකු ලෙස විජේනායකයන් දශක ගණනාවක් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වනු මම දුටිමි. එකිනෙකට පටහැනි, සමහර විට තමා දරන මතයට සතුරු සමාජ ස්තරයන් ගණනාවක් සමඟ වුව ද මනා සංහිඳියාවකින් යුතුව පයුරුපාසනයන් පවත්වන අයුරු මේ ගෙවී ගිය අතීතය තුළ ඔහුගෙන් මා දුටු විශේෂතාවකි. මෙම කෘතියේ තැනක ප්‍රශ්නකරුවන් විසින් ඇසෙන ඔබ කැමතිම දේශපාලනඥයා කවුද යන ප්‍රශ්නයට ලාල් විජේනායක දෙන පිළිතුරෙන් ඔහුගේ මෙම සුවිශේෂත්වය මැනවින් හඳුනාගත හැකිය. ඔහුගේ පිළිතුර ඇන්.ඇම්. යනුයි.

ලංකා සමසමාජ පක්ෂය අතිදැවැන්ත දේශපාලන හා දැනුම පෞරුෂයන් හතරක් එක වර නායකත්වය දැරූ පක්ෂයකි. ආචාර්ය සරත් අමුණුගම නිවැරදිව, එවන් පෞරුෂයන් හතරක් එකම පක්ෂයක එකවර නායකත්වය මණ්ඩලයක සාමූහික ව සිටි අවස්ථාවක් ලෝක දේශපාලනයේ පවා නොමැති බව සඳහන් කරයි. එම දේශපාලන පෞරුෂයන් හතර නම්, ඇන්. ඇම්., කොල්වින්, බර්නාඩ් සහ ලෙස්ලි ය. එමෙන්ම ඔවුන් සමග සිටි දෙවන පෙළ නායකත්වය ද දැනුමෙන් කැපවීමෙන් සමාජයේ සම්භාවනාවට පත් වීම යන කාරණාවලින් ඉහළ අගයක් සටහන් කළේය. හෙක්ටර් අබේවර්ධන, ඔස්මන්ඩ් ජයරත්න, කරාලසිංහම්, බැටී වීරකෝන්, සිඩ්නි වනසිංහ ආදි මධ්‍යම කාරක සභිකයන් හා දේශපාලන මාණ්ඩලිකයන් ඒ සඳහා මනා උදාහරණයන්ය. ලාල් එවැනි වර්ණ පූර්ණ මහා පෞරුෂයන් සමග නායකයෙකු ලෙස සිය දේශපාලන ක්‍රියාකාරිත්වය පණගැන්වීය. ඔවුන් අතර තිබූ විභේදනයන් ද, නිපුණතා ද සැලකිල්ලට ගනිමින් ඇන්.ඇම්. පක්ෂය මෙහෙය වූ ආකාරය විජේනායකයන්ගේ දේශපාලන ආත්මය සකස් කළ බව, අප දන්නා සේම මෙම කෘතියෙන් ද මනාව ඒ බව පෙන්නුම් කරයි.

විජේනායකයන්ගේ විශ්වවිද්‍යාලයීය ජීවිතයේ ද, දේශපාලන ජීවිතයේ ද, එම පද්ධතීන් මෙහෙයවන කාරකයක් ලෙස කුලය ක්‍රියාත්මක වූ ආකාරය මෙම කෘතියේ අපූරුවට දක්වා තිබේ. විශ්වවිද්‍යාල ජීවිතයේ දී, සර් නිකුලස් ආටිගලගේ හා මහාචාර්ය එම්. බී. ආරියපාලගේ හැසිරීම් මේ සඳහා එක් උදාහරණයකි.

මෙම කෘතියේ මැනවින් කතාබහට ලක් නොවුණත් අනෙකුත් තදානුබද්ධ කාරණාවල බලපෑම ද තිබුණේ වී නමුත් ඇන්.ඇම්.ගේ අනුහස් සහිත නායකත්වය අහිමි වීමත් සමග ලංකා සමසමාජ පක්ෂයේ පරිහානිය ආරම්භ වේ. වෙනස් පෞරුෂයන් හා වෙනස් අනන්‍යතා තිබුණු නායක මණ්ඩලයක් හැසිරවීමට ඇන්.ඇම්.ට තිබූ පෞරුෂය ඉනික්බිති නායකයන්ට නොතිබුණි. ඒ සඳහා පසු නායකයන්ගේ ‘කුල’ ප්‍රේමිත්වයන් ද බලපෑවා විය හැකිය.

උත්තම ගණයේ ජාත්‍යන්තරවාදියෙකු වූ ද, න්‍යායවාදියෙකු වූ ද අද නිතර වරනැගෙන පටු දේශප්‍රේමය නොව, සැබෑ ගණයේ දේශප්‍රේමයෙකු වූ ලෙස්ලි ගුණවර්ධන පක්ෂය නොම්මර එකට තබා (තම පෞද්ගලික ජීවිතයටත් වඩා) පක්ෂයේ මාර්ග සිතියම සකස් කළ අයුරු මෙම කෘතිය තුළ සාකච්ඡා කිරීම මගහැරුණු එක් අඩුපාඩුවක් ලෙස මම දකිමි. එමෙන්ම තම දේශපාලන කඳවුරෙන් බැහැර ඩඩ්ලි සේනානායකගේ ප්‍රජාතාන්ත්‍රික ගුණාංග, ටී.බී. ඉලංගරත්නයන්ගේ අවංක හා අදූෂිත දේශපාලනය, චන්ද්‍රකාගේ විපිළිසර දේශපාලන චරිත ස්වභාවයන් ආදිය ගැනද ප්‍රමාණවත් විස්තර මෙහි අඩංගුය.

ලාල් අකුරු කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. ඔහු එහි ගෙවූ ජීවිතය පිළිබඳ විස්තර කිරීම, එදවස ඔසවා තැබූ විසල් අධ්‍යාපනික හා සමාජ පරමාර්ථ ඒ විද්‍යාලයට පමණක් නොව ලංකාවේ පොදුවේ අධ්‍යාපනික රටාවේ හැඩරුව මැනවින් හඳුනා ගැනීමට සමත් විශ්ලේෂණයකි. විජේනායකයන්ට සමාසන්න කාලයේ උපන් (1940) සයිමන් නවගත්තේගමගේ පාසල අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි. ලාල් පාසලට, පාසල අනුබද්ධ වටපිටාවට සවිඥානක වන්නේ යම් සේ ද, සයිමන් ද රජරටට, වන්නියට සවිඥානකව තම පාසල සිය සාරාර්ථවත් වැඩිහිටි ජීවිතයට ආලෝකයක් කරගනී. ඒ එදා අධ්‍යාපනයේ ගමන් මගේ ස්වරූපයයි. අද තමන්ගේ පාසල අතිශ්‍රේෂ්ඨය, අනෙක්වා කවරක් ද, ලෙස පාසල් රටේ පවත්නා වර්ගවාදයට තවත් වර්ගවාදයක් බෝ කරමින් පෝර දමනවා වෙනුවට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී වපසරියේම නිරූපණයක් වූ ආකාරය විජේනායකයන් සිය පාසල අරබයා කරන විග්‍රහයෙන් පෙනේ.

ලාල්ගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන සලකා බැලීමේ දී සුවිශේෂ පරිසරයක සුවිශේෂ චරිතයක්ව ක්‍රියා කළ ආකාරයට හොඳම උදාහරණයක් වේ. සර් නිකුලස් ආටිගල යනු ඉතා අභීිෂ්ඨ, එමෙන්ම දරදඬු හා පරමාර්ථගවේෂි පුද්ගලයකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය අපට කියාපායි. ස්වකීය හා ආයතන ගෞරවය යන දෙකම ගැන තරමට වැඩියෙන් සිතූ ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අවධිය වනාහි පසුගිය දශක පහ පමණ ලංකාව බැබළවූ අලංකාරම මිනිසුන් බිහි කළ අවධිය ලෙස ගත හැකිය. රටේ නායකයාට දෙකට නැවෙනවා වෙනුවට, ඔහු හෝ ඇය වැළඳගෙන සුබ පැතීමට සමත් පෞරුෂයක් තිබුණු දැවැන්තයෙකි සර් නිකුලස් ආටිගල. ඒ යුගයේ ආයතන නායකත්වය දැරුවේ පොදුවේ ඔවුන් වැනි උදවිය ය. පසුකාලීනව තමන්ගේ ඇමතිවරයා සිරස ‘සටන’ වැඩසටහනට සහභාගි වන විට එහි ප්‍රේක්ෂකයකු ලෙස සහභාගි වී ඇමතිවරයා වෙනුවෙන් ප්‍රශ්න අසන තැනට වැටුණේ ද ඒ විශ්වවිද්‍යාලයේ ම මෑතකාලීන උපකුලපතිවරයෙකි. විශ්වවිද්‍යාල යනු රටක් තුළ තවත් රටකි. (බුද්ධියේ රාජ්‍යයයි) ඒවාට ලබා දී ඇති ස්වාධීනත්වය වනාහි ඒ රටේ නීති සම්පාදනයට ලබාදී ඇති අයිතියයි. එවැනි රටක් පාලනයට අයිවෝ ජෙනිංන්ස්ලා, නිකුලස් ආටිගලලා බිහිනොවන කල ලාල් විජේනායකට, ආචාර්ය සරත් අමුණුගමට හෝ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසට අභිමානයෙන් කියන්නට පුළුවන් වූ ‘අපි මිනිස්සු කළේ පේරාදෙණියයි’ යන්න මැත කාලීන විද්‍යාර්ථීන්ට තවදුරටත් කියන්නට නොහැකිය.

ලාල්ගේ ජීවිත ආවර්ජනය වෙතින් අපට අපගේ දේශපාලන ගමන් මග පිළිබඳව විමර්ශනයට අපුරු මංපෙතක් විවර වෙයි. විසිවන සියවසේ දෙවන කාර්තුවේ ආරම්භ වූ ලංකාවේ වාමාංශික ප්‍රභවයක් සහිත දේශපාලනය, මාක්ස්වාදී පදනමක් සහිතව නව අදියරකින් ඇරඹෙන්නේ ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමත් සමග ය. සැබවින් ම එම පක්ෂය න්‍යායිකව සන්නද්ධ විප්ලවය සම්බන්ධව ධනාත්මක ආකල්ප දැරුවත්, ගෙවී ගිය කාලය මුළුල්ලේම ඔවුන්ගේ සටන් උපක්‍රම හා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම හා ඒ හා බැඳුණු සමාජ සුබසාධන ක්‍රියාමාර්ග ශක්තිමත් වීමයි. නිදහස් අධ්‍යාපන යෝජනාව කවරෙකුගේ වුවත් එය බලගැන්වීමටත් රැකගැනීමටත් සමාජයේ ප්‍රතිගාමී බලවේගවලින් පැමිණි අභියෝගයන්ට මුහුණ දුන්නේ මෙරට වාමාංශික ව්‍යාපාරයයි. විශේෂයෙන් ප්‍රධාන පැරණි වාමාංශික පක්ෂ දෙකේ පළමු හා දෙවැනි පෙළ නායකයන් අසමසම ජාත්‍යන්තර ගණයේ උගතුන් වීම නිසා මෙම කටයුත්ත ප්‍රමුඛ කාර්යයක් ලෙස වටහා ගැනීමට ඔවුහු සමත් වූහ. එමෙන්ම නැගී එමින් පැවැති ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස වැඩවසම් පැලැන්තියට අයත් නොවූ නිර්ප්‍රභූ ධනපති පන්ති සම්භවයක් සහිත තරුණයන් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයට පිටත්ව ගියෝය. එකල බි්‍රතාන්‍යයේ සිදු වූ සමාජ ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණත්, රුසියානු විප්ලවයේ ගතිකයන්ගේ ස්වරූපයත් සමීපව හැදෑරීමට මෙම පුරෝගාමී තරුණ කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒවායෙන් පන්නරය ලබා ලංකාවට පැමිණ ආරම්භ කළ ව්‍යාපාරයට කම්කරු පංතියට අමතරව වඩාත් ම ආකර්ෂණය වූයේ උගත් තරුණ පිරිස්ය. එහෙයින්ම එම ව්‍යාපාරය දේවල් දුටුවේ පොතේ හැටියටමත් වඩා තර්කණයේ හා විමර්ශනයේ ද ආලෝකය ලබමිනි. යටත් විජිත බි්‍රතාන්‍ය පාලනයේ ඉදිරිගාමී දායාදයන් රැක ගැනීමටත් (උදාහරණ -නීතිමය ආධිපත්‍යය උදෙසා කළ සටන්, වැඩවසම් ක්‍රමයට එරෙහි සුවිශාල පියවර) අත්තනෝමතිකත්වයට එරෙහි නව ප්‍රගතිශීලී පියවර ගැනීමටත් සහාය දැක්වීමයි. ලාල් වැනි බුද්ධිමතුන් ලංකා සම සමාජ පක්ෂයට ආකර්ෂණය වන්නේ මෙවැනි පසුබිමක් යටතේ ය. ඔහුගේ ආධානග්‍රාහී නොවන ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්තිවලට බලපාන්නේ ද එම පසුබිම ය. විශේෂයෙන් දෘඪ වාමාංශික පක්ෂයක් වෙනුවට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්මිතයක් සහිත පක්ෂයක් බවට ල.ස.ස.ප. සකස්වීමට බලපෑ ප්‍රධාන චරිතය ඇන්.ඇම්.ය. ලාල්ගේ වඩාත් ආකර්ෂණයට ලක් වූ ආනුභාවයක් පෑ නායකයා වන්නේ ද ඇන්.ඇම්.ය.


‘ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය’ කෘතිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා වාමාංශික ව්‍යාපාරයේත් නිදහස් අධ්‍යාපනයේත් මැදිහත්වීම මනාව නිරූපණය වේ. ප්‍රධාන වශයෙන් 1957 දී පමණ ඇරඹී 1983 උත්සන්න වූ වාර්ගික භේදතාවන් නිසා තීව්‍ර වූ දේශපාලන අර්බුදය, ලංකාවේ සමාජ හා සංස්කෘතික අර්බුදය නිර්මාණයටද දායක විය. ඒ සමඟම අද පරිහානිගත ව ඔත්පල ව තිබෙන අධ්‍යාපනික හා දේශපාලනික ආයතනික පද්ධතිය, එසේ වූයේ කෙසේ ද යන්න වටහා ගැනීම සඳහා අගනා විවරණයක් මේ කෘතිය විසින් සපයයි.

එමෙන්ම කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙක් බිහි නොවන බව ලාල්ගේ අරුත් සරු ජීවිත කතාව අපට කියයි. ලාල්ගේ අතීත මතකයන් සහ අත්දැකීම් සමග අද්‍යතන විශ්වවිද්‍යාල, පාසල් හා දේශපාලන සංස්ථා ක්‍රියාත්මක වන ආකාරය සංසන්දනය කිරීම අද දවසේ වටිනා කාර්යයකි.

එමෙන් ම තමන්ගේ ජීවිතය තෘප්තිමත් හා අර්ථ සම්පන්නබවින් පුරවාලමින් මානව හිතවාදී දේශපාලනයක නිරත වීම උදෙසා නව වාමාංශික සමාජයට අපූරු පාඩමක් මේ කෘතිය කියා දෙයි.■

වසංගතයට
එරෙහි වූ
දිදුලන හදවත් එකතුව
අසිරි හදවත

0

■ අමන්දිකා කුරේ

කොරෝනා වෛරසය ලොව පුරා පැතිරී යාම ආරම්භ වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ජනතාවගේ ජීවිත දුක්ඛිත වූ අඳුරු පටලයකින් වැසී ගොස් තිබුණි. රජයටද එම ජනතාව මුදාගැනීමට තරම් ප්‍රමාණවත් මැදිහත්වීමක් කළ නොහැකි බව සමාජයට පසක් වෙමින් තිබුණි.


වසංගතයට එරෙහිව මිනිසුන්ම නැගී සිටිය යුතු බව අවබෝධ කරගත් පිරිසක් වසංගතයට එරෙහි මිනිස් පවුරක් ගොඩනගන්නේ ඒ අතරය. ඒ ”‍අසිරි හදවතයි”‍. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, කලාකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්, දේශපාලන ක්‍රියාකාරීන් වැනි විවිධ අය මෙහි සාමාජිකයෝ වෙති.


කොරෝනා රෝගීන් ස්වේච්ඡාවෙන් රෝහල්වලට ගෙන යාම, විෂබීජහරණය, රෝහල් පිරිසිදු කිරීම, රෝහල්වල අඩුපාඩු සකස් කර දීම වැනි කාර්යයන් රැසක් ”‍අසිරි හදවත”‍ හරහා සිදුකෙරෙමින් පවතියි.


”‍අසිරි හදවත”‍ පවත්වාගෙන යන ස්වේච්ඡා සේවයන් අතර රෝහල් කාර්ය මණ්ඩල ඉලක්ක කරගෙන සිදු කරනු ලබන සංගීත ප්‍රසංග කැපී පෙනුණි. පිළියන්දල, කළුබෝවිල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයකම මෙලෙස සංගීත ප්‍රසංග පවත්වනු ලැබුවේ විවිධ කලාකරුවන්ගේ ද සහභාගිත්වයෙනි.

විදර්ශන කන්නන්ගර
දේශපාලන විචාරක


”‍අසිරි හදවත”‍ සංවිධානය අපි නිර්මාණය කළේ ම, සමාජයක් විදිහට මේ පවතින වසංගත තත්වය ඇතුළේ එන්න එන්නම සීමා තුළට කොටුවීම වගේම වසංගතය හේතුවෙන් අසුබවාදී හැඟීම්වලින් සමාජය හැකිළෙමින් ඉන්න වෙලාවක, වසංගතයට එරෙහිව සමාජය තුළින්ම විකල්පයක් ගොඩනගන්නෙ කොහොමද කියන කාරණයත් එක්ක. මේ රෝගය වැළඳීම නිසා අපේක්ෂාභංගත්වයට, අධෛර්යයට පත්වෙලා ඉන්න රෝගීන්ට තමන්ගෙ ජීවිතය ගැන සුබවාදී හැඟීමක් දෙන්න, අපේක්ෂාභංගත්වයට පත් වෙලා හිටපු රෝහල් කාර්ය මණ්ඩලවලට සුබවාදී හැඟීමක් දෙන්න වගේම රෝහල් කාර්ය මණ්ඩල අතර තිබෙන යාන්ත්‍රික බෙදීම් පවා යම්තාක් දුරකට නැති කරන්න අපි රෝහල් තුළ ආරම්භ කළ සංගීත ප්‍රසංග පිටිවහලක් වුණා.


මේ සංගීත සංදර්ශන පවත්වපු රෝහල්වල පීඩනයෙන් ඉඳපු පුද්ගලයන් ඔල්වරසන් දෙමින් විනෝදවුණු ආකාරය හරිම සුවිශේෂ අත්දැකීමක් වුණා. වසංගතයත් එක්ක යාන්ත්‍රික වෙලා හිටපු ඒ මිනිස්සු සාමාන්‍ය මනුෂ්‍යයන් බවට පත්වුණා කියලා හිතෙනවා.

පුබුදු ජයගොඩ
දේශපාලන ක්‍රියාකාරී


මුල් අවස්ථාවේදී කලාකරුවො වුණත් රෝහල් තුළට ඇවිත් අවදානමක් අරගෙන මේ වගේ ප්‍රසංග පැවැත්වීමට යම් පැකිළීමක් දැක්වූවත් වැඩසටහන් කිහිපයක් කරද්දි, ඒ පීඩනයෙන් ඉන්න මිනිස්සු හිනා වෙලා ඉන්නවා දකිනකොට ඔවුන්ටත් හැඟීමක් ආවා මේක අපේ වගකීමක් කියලා.


පිළියන්දල රෝහලේ ප්‍රසංගයේදි වෛද්‍යවරු, කාර්ය මණ්ඩලයේ අය සිංදු කිව්වා. කාර්ය මණ්ඩලවල අය නටලා විනෝද වුණා. ඉහළ මහලක තිබුණ කොවිඩ් වාට්ටුවේ හිටපු රෝගීන් ජනෙල්වලින් ඒ ප්‍රසංගය නැරඹුවා. පීඩනයෙන් ඉඳපු සියලු දෙනාටම සුබවාදී හැඟීමක් ලැබුණා වගේම රෝහල්වල තිබුණු ධුරාවලිවලින් ඔබ්බට ගිහින් අපි හැමෝම මිනිස්සු කියන හැඟීමත් ඔවුන් විඳගත්තා.


කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් ආණ්ඩුව කරන වැඩේම අපිත් කරනවා කියලා. නමුත් මෙතනදී මැදිහත්වෙන්නේ සමාජය වෙනුවෙන් සමාජයක්. වසංගතයට එරෙහිව සමාජයක් වශයෙන් මුහුණ දෙන එක තමයි අපි කරන්නේ.

ජෙහාන් අප්පුහාමි
රංගන ශිල්පී


මේ වෙලාවෙ අපි මිනිස්සු වෙනුවෙන් කලාවෙන් මොනවද කරන්න පුළු‍වන් කියලා බලන්න ඕනෑ. ඒ මිනිස්සුන්ට කලාව සම්ප්‍රේෂණය කරලා ඔවුන්ව පීඩනයෙන් මුදවගන්න ඕනෑ. ඒ විදිහට තමයි අපි සංගීත ප්‍රසංග හරහා රෝහල්වලට මැදිහත් වෙන්නේ.
රෝහලක් ඇතුළට ගියාට පස්සෙ තමයි ඒ රෝහල ඇතුළෙ රෝගීන් බවට පත් වෙලා ඉන්න කුඩා දරුවො, වැඩිහිටියන් වගේම ඔවුන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩල කෙතරම් පීඩනයකින් ඉන්නවාද කියලා තේරෙන්නෙ.


කලාකරුවො ඇවිත් තමන් එක්ක තමන්ගෙ දුක බෙදාගන්නවට මිනිස්සු කැමතියි. ඒ නිසා මේ ගෙවෙමින් තිබෙන සංස්කෘතිකමය මොහොත කලාකරුවො හැටියට වසංගතයට නිරාවරණය වුණු මිනිස්සු එක්ක බෙදාගන්න ඕනේ.


මේ වෙලාවෙ අපි මේ අසිරි හදවත හරහා සිදුකරන සංගීත ප්‍රසංගය වගේම අනෙකුත් වැඩකටයුතු සඳහා එකතුවෙන්න කියලා මා මගේ කලා ක්ෂේත්‍රයේ සියලුම කලාකරුවන්ගෙන් ඉල්ලන්න කැමතියි.

ජේ.ඩී. ඩයස්
අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය


මම සේවය කරන ගම්පහ රෝහලේ වසංගතය එක්ක සෘජුව මැදිහත් වෙන කාර්ය මණ්ඩලය එක දිගට රෝගීන් මිය යාම, රෝගීන් දුක් විඳින ආකාරය, රෝගීන් ඔවුන්ගෙන් ජීවිතය අයදින මොහොතවල් එක්ක එක දිගට වැඩ කරලා විශාල මානසික පීඩනයක ඉන්නේ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල

කිසිකෙනෙක් අවුරුදු එකහමාරකින් විතර ගෙදර ගිහින් නිදහසේ ඉඳලා නෑ. ගෙදර ගියත් අපි හරහා අපේ ආදරණීයයන්ට රෝගය වැළf​ඳයි කියලා බයකින් පීඩනයකින් ඉන්නෙ. ඒ අතරතුරේ දී තමයි අසිරි හදවත සංගීත ප්‍රසංගය ගම්පහ රෝහලේ පැවැත්වෙන්නේ. ඒ අවස්ථාවට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට දීර්ඝ කාලයකට පස්සේ මට මගේ පීඩනය ඉවත් වෙලා සුබදායක හැඟීම්වලින් මගේ හදවත පිරෙනවා වගේ හැඟීමක් දැනුණා. සියලු‍ම කාර්ය මණ්ඩලවල අය එදා තමන්ට කාලෙකින් විඳින්න බැරිවුණු සතුට, විනෝදය අත්වින්දා.


අපේ කාර්ය මණ්ඩලවල මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසාම මේ අවස්ථාව කාර්ය මණ්ඩලයේ සියලු තලවල සේවකයන් අගය කරනවා. ඔවුන් මට රෝහලේ හමුවුණාමත් ඔවුන් ඒ ලබපු සුන්දර අත්දැකීම ගැන කතා කරනවා. ඔවුන්ගේ පීඩනය අඩුවෙලා යම් සුබවාදී ආකල්පයක් ඔවුන් තුළ ඇතිවී තිබෙන බව ඔවුන්ම කියනවා.■

වචන මිනිසා

නූතන සිංහල කවිය ගැන අවධානය යොමු කරන කවරෙකුට වුව හැත්තෑවේ දශකයේ කවිය විශේෂ වන්නේ ය. ඊට හේතුව හැත්තෑවේ දශකයේ කවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘තරුණ කවියක්‘ වීම ය. මේ තරුණ කවිය තත්කාලීන සමාජයේ තියුණු භාව ප්‍රකාශනයකි. නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණ තරුණ පරම්පරා කීපයකට තම තමන්ගේ ජීවිත සුපුෂ්පිත කරගැනීමට නොහැකිව ඉච්ඡාභංගත්වයකින් පෙළීම ප්‍රබල සමාජ ප්‍රශ්නයකි. සමාජ මාධ්‍ය නොපැවති – පාදඩකරණය වූ මාධ්‍ය භාවිතාවකින් ද වියුක්ත වූ ඒ යුගයේ සාහිත්‍ය කලාව ජන විඥානයට කිසියම් බලපෑමක් කළ හැකි තත්වයක පැවතිණි. ජනතාවාදී සාහිත්‍යයක් බිහිවීම සිදු වන්නේ ද මේ පසුබිම තුළ ය. පපඩම් නාට්‍ය ලෙස තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය දෝෂ දර්ශනයට ලක් වුණේ ද මේ කාලයේ දී ය. කෙසේ වුව අවසන තරුණ අසහනය පිපිරිණි. ඒ පිපිරීම කෘත්‍රිමව සිදු කළ එකක් බව අද පිළිගැනීම ය. ඒ කෙසේ වෙතත් ඒ යුගයේ නිර්මාණය වුණ සියලු‍ සාහිත්‍ය කලා ‘කලාත්මක අගය‘ නම් මිම්මෙන් පහර දී පලවා හරින්නට උත්සුක වීම සාහසිකය.

පසුබිම – වගතුග


‘වචන මිනිසා‘ බිහිවන්නේ හැත්තෑවේ දශකයේ දී ය. වචන මිනිසා අහම්බයක් නොවේ. ඔහු විදහාපෑවේ හෘදය සාක්ෂියක සංවේදනාවන්ය. විස්මය ජනක ලෙස ඔහු කවි පරපුරක් තනන්නට ප්‍රබල විදුලියක් විය. එනමුත් ඉක්බිතිව ඒ විදුලිය උන් හිටි ගමන් අතුරුදන් විය. දශක කීපයකට පසු ‘වචන මිනිසා‘ පරිණතව පිබිදෙයි. ඒ පිබිදීමට බෞද්ධ සාහිත්‍යය හැදෑරීම පාදක කර ගනියි. එනමුත් ආයෙමත් ඔහුට අත්විඳින්නට සිදු වන්නේ තමා තරුණ කල අත්විඳි සමාජ දේශපාලන අත්දැකීම්වලට වඩා ගොරබිරම් යථාර්ථයකි.
කවුරුන් ද මේ ‘වචන මිනිසා’?


පරාක්‍රම කොඩිතුවක්කු නම් උණුසුම් පුරවැසියා මම වචන මිනිසා ලෙසින් හඳුන්වන්නේ ඔහුට බුහුමන් පිණිස ය. ‘වචන මිනිසා‘ යන නාමකරණය ද සහසුද්දෙන්ම පරාක්‍රම කොඩිතුවක්කුගේ ය. මේ යෙදුම ගැන යමක් ප්‍රථමව කියනු කැමැත්තෙමි.


කවියා සම්බන්ධව කවර වියත් – විදග්ධ නිර්වචන ගෙනහැර පෑවත් කවියා නම් භාෂා වාදකයෙක්ම ය. අලු‍ත් බසක් නිමවන කවියා යනු නූතනවාදී දෘෂ්ටියකින් මඬනා ලද්දෙකි. ඔහු ප්‍රථමව කරන්නේ සම්ප්‍රදායට අභියෝගයකි. ඒ අභියෝගය වනාහි විනාශකාරී පෙළඹවීමක් නොව සකල විධ මානවයන් උදෙසා විවෘත වීමට අභිනව ප්‍රවේශයක් පැතීම වේ.


පසුගිය කාලයේ පරාක්‍රම කොඩිතුවක්කු සිය නෙතට – හිතට ‘දැනුණ‘ නිර්මාණකරුවෙකු වෙනුවෙන් මේ ‘වචන මිනිසා‘ යන යෙදුම නිමැවී ය. මට හිතෙන්නේ එය නිරුත්සාහකව ඔහුගේ අභ්‍යන්තරයෙන් ගලා ආ ‘හැඟීමක්‘ කියා ය. කවර දවසක හෝ කවරෙකු වුව අලු‍තින් යමක් සිතා ඇත්නම් – මේ මොහොත තුළ අලු‍තින් යමක් හිතනවා නම් පරාක්‍රමට අනුව ඔහු වචන මිනිසෙකි. ඔහු දකින ළෙන්ගතුවන වචන මිනිසා තුළින් ඔහු කරුණු තුනක් පතන බව මම නිරීක්ෂණය කළෙමි. පළවෙනි කරුණ නම් ‘නූතන‘ බව ය. දෙවෙනි කරුණ නම් ‘මානවවාදී‘ බව ය. තුන්වැන්න නිර්භීත – නිර්ව්‍යාජ ස්වාධීනත්වය වේ. කෙනෙකුට පරාක්‍රම දකින මිනිසා ඔහුගේ දැක්මට අදාළවම වචන මිනිසෙකු නොවන්නට පුළුවන. එයත් ඔහුට අදාළ නැති සේ ය. කිසියම් මොහොතක ඔහු සසල වී නම් – උණුසුමක් ලද්දේ නම් එයින් ඔහු තෘප්ත වන්නා සේය.

තුන් ඈඳුතු කවිය


‘වචන මිනිසා‘ සම්ප්‍රදාය පුපුරුවාගෙන එන්නේ ‘පොඩි මල්ලි‘ සමඟිනි. පොඩි මල්ලිගේ ලෝකය ඔහුට ‘අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය‘ වේ. ඔහු අවසන පැතුවේ පොඩි මල්ලි ‘අලුත් මිනිහෙකු‘ බවට පත්වීම ය. සිය අවංක ප්‍රාර්ථනය බොඳවී ගිය නිසාමදෝ ඔහු දීර්ඝ විවේකයක් ගනියි. එය ඇතමුන් දුටුවේ සාහිත කෙත තුළ මතුවුණ වල්පැලෑටියක් වඳවීයාමක් ලෙසිනි. තරුණ වචන මිනිසා අද පරිණත වචන මිනිසෙකි.


තතු කෙසේ වුව මේ ජ්‍යේෂ්ඨ පුරවැසියා – අකම්පිතව නිර්මාණකරණයේ – ලේඛනයේ – භාෂණයේ තත්පරව සිටින්නේ කවර අවකාශයක් තුළින් හෝ ජීවන ලාලසාව වඩවමිනි. ඔහුගේ අස්වැන්න බර ය, විශාල ය. එනමුත් තරුණ ජීවිත අබිමුව පිපුණු ඔහුගේ තුන් ඈඳුතු කවිය අලු‍තෙන් කියවීම මඟහැර වචන මිනිසෙකුට අලු‍ත් ගමනක් තිබේද?
හැටේ දශකය නිමා කරන්නේ විමල් දිසානායක සහ ඩබ්ලියු.ඒ. අබේසිංහ යන කවියන් ය. හැත්තෑවේ දශකය ආරම්භ කරන්නේ මොනිකා රුවන් පතිරණ – බුද්ධදාස ගලප්පත්ති සහ පරාක්‍රම කොඩිතුවක්කු ය. මේ තිදෙනාම තමන්ගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය තෝරාගැනීම පමණක් නොව, කවියට තත්කාලීන සමාජ ජීවිතය විෂය කරගැනීම ද එකම සංදර්භයක් තුළ සිට සිදු කර ඇති බවය මට හැඟෙන්නේ. සමහර විට තිදෙනා මුහුණුට මුහුණ හමු නොවී මේ ව්‍යායාමයේ තත්පර වූවා විය හැකි ය.


මොනිකා රුවන් පතිරණ 1971 දී ‘අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක්‘ නමින් සිය පළමු කවි පොත පළ කර තිබේ. බුද්ධදාස ගලප්පත්ති 1972 දී සිය පළවෙනි කවි පොත ‘කැටපත් පවුර‘ නමින් පළ කර ඇත. පරාක්‍රම කොඩිතුවක්කුගේ පළවෙනි කවි පොත වන ‘පොඩි මල්ලියෙ‘ පළ වෙන්නේ 1972 දී ය. මේ නම් කවිය ප්‍රකාශන මාධ්‍යය බවට පත් කරගත් තරුණ පිබිදීමක්ම ය.


මේ තිදෙනාටම අනන්‍ය වූ වැදගත් කාරණාවක් ඇත. එය නම් ඔවුන් සිය කවි ගීත බවට නොපෙරළීමය, කවිය පාගාගෙන ගීතයට මුසපත් නොවීම ය. මේ තිදෙනාම ගීත කිහිපයක් ලියා ඇත. හොඳටම ගීත ලියන්නට හැකි බවත් විශද කර ඇත. පසු කලක හෝ ගීතය මේ තිදෙනාගෙන් කෙනෙකු හෝ ලු‍හුබැන්දේ නැත. ඒ ගැන වෙන තැනක විමසිය යුතු ය.


හැත්තෑවේ දශකයේ මතුවුණ තිදෙනාගෙන් එකම කිවිඳිය අකල් මරණයකට ගොදුරු විය. අනෙක් දෙදෙනාම තවමත් වචන මිනිසුන් ලෙස පණ නසානොගෙන ජීවත් වීම -වැඩ කිරීම, අලු‍තෙන් හිතන අය සමඟ වැඩ කිරීම අසිරිමත් යයි සිතමි.

අලු‍ත්ම වචන ලියූ වග


ඉහතින් සඳහන් කළ තිදෙනා අතුරින් පරාක්‍රම ‘ගිනිසිළුවක්‘ වන්නේ පළවෙනි ප්‍රයත්නයේ දීම ‘වචන මිනිසෙකු‘ ලෙස සිය අනන්‍යතාව තහවුරු කර සිටියි.


‘පොඩි මල්ලියෙ‘ කාව්‍ය සංග්‍රහයේ අන්තිම කවිය වන ‘නැත‘ නමැති කවිය සිහි කරනු කැමැත්තෙමි.


පුතේ නුඹේ
දවාලට අම්ම දුන්න පාන් රොඩ්ඩ මදිවෙලා
අඩන විට,
ඒ ගැටලු‍ව විසඳදෙන්න….
මහෞෂධ පණ්ඩිතයෝ
බස් එහෙකින් බැස අපෙ ගෙදරට ආවේ නැත.
සක්‍ර දෙවියො
උඩ විසිකර වරම් ගන්න
එක ගුලියක් දුන්නේ නැත
රත්තරන් පාත්තයා
වලාකුළෙන් පියඹා විත්
රත්තරන් පිහාටුවක් දුන්නේ නැත.
එකමත් එක
හාවෙක්වත් – නරියෙක්වත් – බල්ලෙක්වත්
යාළුවේ
යාළුවේ
උඹ අඬන්නේ ඇයිදැයි
ඇහුවේ නැත.


පොඩි මල්ලිගෙන් වචන මිනිසා ඉගැන්වූයේ කුමක් ද? රස කතාවලින් ඇත්ත කතාවලට පැමිණිය යුතු බව නොවේද? පොඩි කාලේ සිටම සිහින ලෝකය හෙවත් මිථ්‍යාව හැරදමා සත්‍යය පසක් කර ගත යුතු බව නොවේ ද? එදා තරුණ වචන මිනිසා අනන්‍ය වන්නේ සත්‍යයටය. ඔහු සාම්ප්‍රදායික සිතිවිලිවලින් වියුක්තව තරුණ සිත් පුබුදු කරන්නට සමත් වෙයි. තරුණ සිත් අසනීපයට බෙහෙත පැණිය නොව කසාය බව තේරුම් නොගත්තේ ද? ඒ කෙසේ වුව වචන සිය පළවෙනි කවි පොතෙන්ම එදා මෙදාතුර සහෘද සම්භාෂණය මත දිදුළ‍න මනරම් කවියක් ද ලියයි. ඒ කවිය ලියන්නේ ද අලු‍ත් වචනවලිනි. ඒ අලු‍ත් වචන නොවැටහුණ කෙනෙක් වීද? ඒ කවියේ මාතෘකාව, ‘දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්‘ යන්නය. වැලි කෙළියේ සිට පැවති ආදරය මල්පල නොගැන්වේ. ඒ ඇයි? උනුනට උනුන් නොරිස්සීම ද? නැත. එසේ නම් ඒ පරම ප්‍රේමයට ඉදිරි පැවැත්මක් මහ පොළව මත නැති වීම ය.


නොවැලපෙමි ඔබ යන්න – වැලප ඇති පල කිම් ද?
ජීවිතේ වැරදුණේ මෙතැන විතරක් නොවේ
සූරලාගෙන යන්න මා හදේ පිපුණ මල්
මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකි ද?
නොවැලපෙමි, ඔබ යන්න – වැලප ඇති පල කිම් ද?
ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ
ඔබ නැත ද – ජීවිතේ නසාගත නොහැක මට
ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන
අපේ වචන මිනිසා අප මනසේ චිත්‍රණය කරන වදන් සිත්තම හැම සංවේදී සිතකම බිතුසිතුවමක් වේ. මේ සිතුවම නෙත්වලින් නොව හදවත්වලින් හෙළන කඳුළු උල්පතකි. ඒ තරුණ උණුසුම් කඳුළුය. මේ කවර නම් අභාග්‍යයක් ද? වේදනාවක් ද? ‘සූරලාගෙන යන්න මා හදේ පිපුණ මල්‘ නිසැකවම ලේ ගලන වේදනාවකි. ඇය කුමක් කරන්න ද?
ඔබ යන්නේ මධුරධර සප්ත ස්වරය අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉරහඳ අරන්
ඔබ යන්න මහද තෙත් වැහි වලාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්


කවිය පුරාම ඉල්ලන්නේ ජීවිතයයි. පෙම්වතා යන්න යයි කීවාට කියන්නේ නොයන්න කියා ය. පෙම්වතිය යන්නට අවසර ඉල්ලන්නට පැමිණ නැත. විසඳුම දිවි නසා ගැනීම ද? නැත. මීටත් වඩා තරුණ හදවත්වල අසරණවීමක් කොයින්ද? එහෙත් ජීවිතය අත් හැරිය යුතු නැත. ජීවත් විය හැකි ලෝකයක් අවශ්‍ය වේ. එය අදට නොව හෙටට ය, මතුවටය.
‘තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගනිමි‘


ඉතින් මේ වචන මිනිසා තරුණ සිත් සතන් අවුළුවා ලූ උණුසුම් කළ වචන මිනිසෙකු නොවූවා නම් නොවේද පුදුමය වන්නේ?

අකීකරුකම යනු අසම්මතයයි


සම්මතය තුළ අලු‍ත් කිසිවක් ‘නිර්මාණය‘ කළ නොහැකි ය.
ගොලු‍ බෙල්ලෙක් නොකරව් මා
සෛලයන් කපා දා
බිය ගුල්ලෙක් නොකරව් මා
දේව ධර්මය දෙසා
මීහරකෙක් නොකරව් මා
මුසාදම් කර ගසා
”‍හොඳ ළමයෙක්”‍ නොකරව් මා
දෑත කට බැඳ දමා


‘අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය‘ අද කියවූ මා කල්පනා කළේ මේ කවි පොතෙන් කවි කීයක් අදට අදාළ ද කියා ය. ඇත්තටම මට හිතුණේ සේරම අදාළ බව ය.


හැම අසම්මත පියවරක්ම ප්‍රශ්නකාරීය. ඒ එහි බලය මතුවීම ය. අප වචන මිනිසා සිය අකීකරු හස්තය පරිහරණය කළ සැටිය මේ.


සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නඟන්නට ඉඩ දියෝ
ඩේකාට්ස් වගේ සැක කරන්නට ඉඩ දියෝ
ගඟක් මෙන් ගසාගෙන යන්ට මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්ට මට ඉඩ දියෝ
පුරුෂ ලිංගයක් සේ මතුවෙන්ඩ ඉඩ දියෝ


අසම්මතය යනු අකීකරුකම නම් ඊට අවශ්‍ය චරිතය අන් කෙනෙකුට නොව තමන්ට අවශ්‍ය එකක් ම විය යුතු ය. ඒ චරිතය තුළ ‘පිස්සුවක්‘ – ‘පිස්සු කෙළීමක්‘ සම්මතය දකියි. අප වචන මිනිසා සිය ‘පිස්සුව‘ එදාටත් වඩා අද හොඳින් පළ කරයි. ඒ ඇයි? හැම අතින්ම පිරිහුණු – බොරුව රජයන – අන්තවාදය පිටාර ගලන සමාජයක පියවි සිහියෙන් වචන මිනිහෙකුට සිටිය නොහැකි ය. පිස්සුව කියවාගැනීමටත් තරමකට හෝ පිස්සුවම අවශ්‍යම වේ.

අලු‍ත් මිනිහෙක් නොපැමිණීම


ලෝකය මීට වඩා යහපත් වන දවසක්ය කවියන් පතන්නේ. එහෙත් කවියන් දකින්නේ බලසම්පන්නයන් තව තවත් බලසම්පන්නවීම ය. මේ කවර පාපයක් ද? කුඩා කල සිට මිථ්‍යාව – අවිද්‍යාව පිරවූ ඔලු‍ ගෙඩිවලින් අලු‍ත් මිනිස්සු බිහි වන්නේ කෙසේ ද? අප වචන මිනිසා අලු‍ත් මිනිහෙක් ඇවිත් කවි පොතේ ලියූ එක් කවියක පුදුමාකාර නූතනවාදී ගුණයක් එය අද කියවන විට මට දැනිණි. ඒ කව ‘පිළිතුරක් ඔබ වෙත‘ නම් වේ. කථකයාට මිතුරෙකුගෙන් ලැබුණ ලිපියකින් පවසා සිටින කරුණකි මේ.


”‍…ඔබ වැනි කවියෙකු ගොරෝසු සමාජවාදයකට ළංවෙන සැටි දකින මා තුළ විශාල සංවේගයක් ඇති වුණා. මේ නිසා මා ඔබෙන් දිනෙන් දින ඈත්වන බව මට දැනෙනවා.”‍
කවියේ නිමිත්තය මේ.


වචන මිනිසා සිය මිතුරා වෙනුවෙන් වචන මවයි. එහි අවසන ඔහු පළ කර සිටින්නේ ද මිත්‍රත්වයමයි. වෙන්වී නොව ගමන එකටම අවශ්‍යම වේ. ඉතින් මිතුරෙකු මඟ දමා ඉදිරියට යන්නට නොහැකි ය. කවිය තුළ අන්තිමට එන ඔහුගේ ආයාචනය මෙයයි.


එන්න මිත්‍රය අප වෙතට
බෙදාගත නොහැකි වන
කිසිත් නැත
අප අතර
බෙදා ගනිමු අපි සමෝසමේ
ජීවිතේ දුක – සැප
බෙදා ගනිමු අපි එකහා සමානව
මුළු මහත් ජීවිතය
මා සුමිතුර
අපේ ඇඟිලි ගොරහැඩිය
නොකිපෙන්න ඒ ගැන
එපා එහි එල්ලෙන්න
ළංවෙන්න
ඇඟිල්ලෙන් ඔබට පෙන්වන
සූර්ය මණ්ඩලයට


අප වචන මිනිසාගේ ආයාචනය සුමිතුරා පිළි නොගත්තේ ඇයි? සුමිතුරන් තුටු වන්නේ තනිව බුදුවන්නටය. මේ සුමිතුරන් අද වන විට තක්කඩින් බලසම්පන්න කර තිබෙන සැටි හරි අපූරුය. එහෙත් අප වචන මිනිසා අලු‍ත් මිනිහෙකු නොඑන බව එදවසම වටහා ගත්තේ ද? ඔහු කම්පිතව ගල් වන්නට සිතුවා ද? ඒ ඇයි? ගල පලාගෙන මතු වෙන්නට යයි සිතමි.

අලු‍ත් පාරෙන් පුරුදු පාරට


දීර්ඝ විවේකයකින් පසුව වචන මිනිසා යළි පිබිදෙන්නේ රශ්මියක් විහිදමිනි.
‘හුදෙකලා වී
සාදාගත් සිතින්
යා යුතු ජන සමූහයට
එකල්හි
දින දින අභිනවයෙන්
ජීවත් විය හැකි,
ජීවත් වෙමින් ම
ජීවිතය දුට හැකි ය
ජීවිතය දකිමින් ම
උදව් කළ හැකි ය අන් අයට
ජීවත් වන්නට සොඳුරුව”‍


අලු‍ත් වචන මිනිසෙකු දුන් කමටහනයි මේ. ථෙරි ගාථා ප්‍රති රචනය කරන කාව්‍යය පුරාම අප නෙත ගල්වන කමටහන් වචන මිනිසාගේ ජීවන අපේක්ෂාව කුළු ගන්වයි. එබැවින් ‘රශ්මි‘ තුළ මනරම් කවියෙකු යළි උපදියි. ඔහු සිය වැඩ බිම තුළ අඛණ්ඩව වැඩ පටන් ගනියි. මට යළිත් එදා අලු‍ත් මිනිහෙක් පැතූ වචන මිනිසාම පෙනෙයි.


නොහැක්කෙකු නොවී වියපත් වීම තුළින් ජීවන ලාලසාව පැතීම හා දැකීමට පුළුවන් වන්නේ කවියෙකුටම ය. පරාක්‍රමට අනුව වචන මිනිසෙකුටම ය. ඔහු විචාර බලකොටුවට පහර දෙයි. අලු‍ත් ලෝකයක් වෙනුවෙන් හුස්ම ගන්නා තාරුණ්‍යය දකියි. මහන්සියෙන් තමා විසින්ම කැලයක් කපා හෙළි පෙහෙළි කොට හේනක් වැවූ ගොවියෙකු එහි අස්වනු පරම්පරා කීපයකට බෙදා දී දකින්නේ තමන්ට යළි හේනේ වැඩ තිබෙන බවය.


වචන මිනිසාගේ වැඩ බිම ගැන යළි ලියන්නට සිතමි. එතෙක් ‘රතු රෝස නිල් රෝස‘ තිළිණ කරමින් වචන මිනිසා ආදරය වෙනුවෙන් වෙණ තත් පිරිමදින අන්දම එහි වග මෙසේ සටහන් කරමි. ඔහු අලු‍ත් පාරකින් පුරුදු පාරට එන්නේ පැරණි දේ අලු‍තින් කියවමිනි. වචන මිනිසා කියන ඒ සත්‍යය නොවේද මේ පබැඳුමෙන් (ප්‍රති රචනයෙන්) දීප්තිමත්ව විකසිතව තිබෙන්නේ?


”‍හෙමි හිට අපි
වචන පෙරළමු
මිනිසාගෙන් මිනිසාට
එක් දිවකින් තව තොලකට

දන්නේම නැතුව
මළගිය සිය පිය මුහුණුවර
සිය පුංචි පුතුට
කියා දෙන පියෙකු ලෙස

…තම මුහුණුවර
එයම බව නොදැනම
හෙමිහිට අපි
වචන පෙරළා දෙමු.”‍■

සුදත් දේවප්‍රිය හෙවත්
සෝම මීදෙණිය

0

■ ප්‍රියාශා හෙට්ටිහේවා


තමාව කෙටියෙන් හඳුන්වනවා නම් ඒ කෙසේ ද යැයි ඇසූ විට අඹ යහළුවෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියගේ පිළිතුර වුණේ ‘අඹ යහළුවෝ’ කියන වචන දෙක පමණයි.


0මඩොල්දූව, නාමල්ගොල්ල, වංකගිරිය, අග්නි කංකාරිය, හඳයා, සුළඟ මහමෙරක වැනි ටෙලිනාට්‍ය නිර්මාණ හරහා ද තරණය, උඩුගං යාමය වැනි සිනමාපට හරහා ද නිර්මාණකරණයේ නියැලු‍ණු ඔහු අධ්‍යක්ෂවරයෙක් සේ ම තිරපිටපත් රචකයෙක්.

මේ දවස්වල මොකද කරන්නේ?
අවුරුදු දෙකක ඉඳලා නිර්මාණ කටයුත්තක් නම් කළේ නෑ. කොරෝනා අර්බුදයත් එක්කත් නිර්මාණ කටයුතු කරන්න පුළුවන්කමක් නෑ.

අධ්‍යක්ෂවරයෙක් වෙන්න හීනයක්?
ලොකු ඇම්මක් තිබුණා රංග ශිල්පියෙක් වෙන්න. ඒ ගමනේදී සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ නාට්‍ය හා රංග කලාව හදාරන්න අවස්ථාව ලැබුණා. ඒ 1981 වගේ කාලේ. සෝමලතා මිස්ගේ ‘විකෘති’ නාට්‍යයේ තාත්තා හැටියට පළවෙනි දර්ශන 100 රඟපාන්න මට අවස්ථාව ලැබුණා. සුසිල් ගුණරත්නගේ නාට්‍යයකින් තමයි රඟපෑම පටන් ගත්තේ. විජය නන්දසිරිගේ කුස පබාවතී, හේමසිරි ලියනගේගේ චිත්‍රාගේ ප්‍රේම කතාව වගේ නිර්මාණ කිහිපයක රඟපෑවා. 1983 ඔක්තෝබර් මාසේ තමයි මම ජාතික රූපවාහිනියට එන්නේ. ඒ පුහුණු වන නිෂ්පාදන සහකාර කෙනෙක් විදියට. ඕනෑ වුණේ නාට්‍ය අංශයට යන්න. නමුත් මාව වැටුණේ ළමා අංශයට. ඩොක්ටර් සොලමන් ෆොන්සේකා තමයි හෙඩ් විදියට හිටියේ. එහෙ හිටියා හොඳ නිෂ්පාදක කෙනෙක් ශ්‍රීමතී ලියනගේ කියලා. එයා ඒ කාලේ කළා ‘හත්පණ’ ටෙලිනාට්‍යය එහෙම. මම එහි සහාය අධ්‍යක්ෂ කෙනෙක් විදියට වැඩ කළා. මට එතකොට අවුරුදු 20ක් විතර ඇති.

අඹ යහළුවෝ කරන්න පෙළඹුණේ කොහොම ද?
එතකොටත් මම පුහුණු වන නිෂ්පාදන සහකාර තනතුරේ තමයි හිටියේ. ළමා අංශයේ නාට්‍ය කරන අයට ඇසිස්ට් කර කර ඉන්නකොට මට ලොකු වුවමනාවක් තිබුණා අඹ යහළුවෝ නවකතාව කරන්න ටෙලි නාට්‍යයක් හැටියට. ලොකු බාධා ආවා ඒක කරන්න.

ඒ මොනවද?
ඒ වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව තිබුණේ. ඉලංගරත්න මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නිසා රූපවාහිනී බෝඩ් එක අඹ යහළුවෝ කරනවාට කැමති වුණේ නැහැ. රූපවාහිනී අධ්‍යාපන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රානි හේරත් ගුණරත්න බෝඩ් එකට කිව්වා, ඉලංගරත්න මහත්තයා දැන් දේශපාලනේ නැහැ, මේක හොඳ නවකතාවක් ඒ නිසා අපට මේක කරන්න අවසර ඕනෑ කියලා. පස්සේ අවසරය හම්බවුණා.


ඊළඟ ප්‍රශ්නේ ආවේ පුහුණුව ලබන ආධුනික කෙනෙක් විදියට මම කොහොම ද මේ වගේ නවකතාවකින් ටෙලිනාට්‍යයක් කරන්නේ කියලා. එතැනදිත් අවසරය ආයිත් හිරවුණා. ඒ අවස්ථාවේදීත් ඉන්ද්‍රානි හේරත් ගුණරත්න මං වෙනුවෙන් ඇපවෙලා මේ දරුවා ගැන මම බලාගන්නම් වගකීම මම ගන්නවා කියලා අවසර අරන් දුන්නා.


තව ප්‍රශ්නයක් වුණේ කැමරා, ට්‍රොලි ඉක්විප්මන්ට් එහෙමත් තිබුණේ නෑ. තිරනාටකය ලියනකොටත් ඒකට මට අවසර ලැබුණේ නැහැ නවකයෙක් නිසා.

අවසානයේ තිරරචනය සිද්ධ වුණේ කොහොම ද?
තිරරචකයා විදියට මට ඒක ලියන්න එපා කිව්වේ මම තරුණ කෙනෙක් නිසා වගේ ම නවකයෙක් නිසා. තිරරචනයට කෙනෙක් හොයාගන්න බැරි වුණා. අවසානයේ මම ම තිරනාටකය ලිව්වා. මගේ නම නොදා වෙන නමකින් ලිව්වේ. තිස්ස අබේසේකරගේ ‘විරාගය’ චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ සෝමදාස මල්දෙණිය. ඒ නමෙන් සෝම කියන කොටස ගත්තා. රූපවාහිනියට යනකොට මම දැක්කා අයිරාංගනී සේරසිංහ මහත්මිය තමන්ගේ වාහනය පදවාගෙන යනවා. ඇගේ විවාහයට පෙර වාසගම මීදෙණිය. වාසගම විදියට මීදෙණිය කියන වාසගම ගත්තා. සෝම මීදෙණිය කියන නම සටහන් කළා තිරරචකයා විදියට අඹ යහළුවෝ ස්ක්‍රිප්ට් එකේ. ඒකට අනුමැතිය ලැබුණා. මම ලිව්වා කිව්වා නම් අනුමැතිය නොලැබෙන්න තිබුණා. ගාමිණී වේරගම දවසක් මගෙන් ඇහුවා සුදත් කවුද ඔය සෝම මීදෙණිය කියලා. එදා මම ඔහුට ඒ රහස කිව්වා. අදටත් අඹ යහළුවෝ නාමාවලිය බැලු‍වොත් සෝම මීදෙණිය කියලා තියෙන්නේ.

සාර්ථක නිර්මාණ කළ ඔබ හිරු නාලිකාවේ ‘හඳයා’ ටෙලිනාට්‍යයෙන් අතරමගදී ඉවත්වෙනවා. ඇයි ඒ?
හඳයා අධ්‍යක්ෂණය තිරරචනය දෙක ම මගේ. මගේ තිරනාටකයේ තිබුණේ කොටස් තිහෙන් නාට්‍ය ඉවරවෙන විදියට. කොටස් තිහ ළං වෙනකොට එයාලට ඕනෑ වුණා මේක දිගට කරගෙන යන්න. ඊට පස්සේ තිහ, පනහ වුණා. පනහක් ගිහිල්ලාත් ඉවරවෙන්නේ නැතිකොට කොටස් සීය වෙනකොට බොහෝ ම අමාරුවෙන් මම ඒකෙන් ඉවත්වුණා.

හඳයාගෙන් පස්සෙ?
බොහො ම ආසාවෙන් නිර්මාණයක් කළා ‘සුළඟ මහමෙරක’ කියලා. ලක්ෂ්මි දමයන්ති තමයි ප්‍රඩියුස් කළේ. 89 ජුලි කලබලත් එක්ක තරුණ පරම්පරාව අතුරුදන් වෙන කාලෙදි ජීවිතයත් මරණයත් එක්ක ජීවත් වෙන්න සටන් කරන මිනිසුන්ගේ කතාවක් ඒක. කොටස් 45යි. අද වෙනකොට කොටස් 45ක් 50ක් නැත්නම් හොඳ ටෙලිනාට්‍යයක් වුණත් චැනල් එකක් ගන්නේ නෑ.


කොටස් 30ක ටෙලිනාට්‍යයක් තියෙනවා කිව්වොත් එයාල කැමති වෙන්නෙත් නෑ භාර ගන්නෙත් නෑ.

මේ රටේ තියෙන වසල වෙළෙඳ කුලය, ඒක තමයි ඇත්ත. ඔය වචනේ කිව්වේ ගුණදාස අමරසේකර මහත්තයා.

ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරනකොට අතීතයේ ඉඳලා වර්තමානය වන තෙක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් හසුරුවා තියෙනවා. කාලයත් සමග වෙනසක් දැනිලා තියෙනවා ද පරණ පරම්පරාවේ සහ අලු‍ත් පරම්පරාවේ ශිල්පීන් හැසිරවීමේදී?
වෙනසක් දැනිලා නැහැ. මොකද නිර්මාණයේදී මම තෝරාගන්නේ මගේ හිතේ මැවුණ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කෙනෙක්ව. මූලික තෝරාගැනීම හරියට කළෝතින් එහෙම ගැටලු‍වක් මතුවෙන්නේ නැහැ.


හැබැයි ඉතා පැහැදිලිව කියන්න පුළුවන් එක නිර්ණායකයක් තියෙනවා. ඒ තමයි අපි පටන් ගන්න කාලේ රංගනයට පිවිසිච්ච අය බොහෝ ඇසූ පිරූ අය. ඇසූ පිරූ නෑ කියනවා නෙමෙයි දැන් ඉන්න තරුණ අය. ඒගොල්ලන්ට වරදක් කියන්න බැහැ, ජීවත්වීම උදෙසා ඒගොල්ලන්ට ඒක කරන්න වෙලා තියෙනවා. නමුත් රංග ශිල්පියෙක් කියන්නේ කිසියම් පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් වීම වැදගත් වෙනවා.


රංගන ශිල්පියා සහ අධ්‍යක්ෂවරයා සමග තිබුණා වූ ඒකමිතියක් නිසා තමයි හොඳ නිර්මාණයක් බිහිවන්නේ. රංගන ශිල්පීන් රිද්දලා තමන්ට ඕනෑ රඟපෑම ඔවුන්ගෙන් ගන්න ගියොත් ඒක හරියට එන්න නැහැ.

වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන මොකක්ද හිතන්නේ?
දැන් ටෙලිනාට්‍ය කලාව ගැන මම කතා කරන්න කැමතිත් නැහැ. මම ඒ ගැන හිතන්නෙත් නැහැ. මේ රටේ කලාව මේ වෙනකොට තීරණය කරන්නේ මේවාට මුදල් දාන්නේ කවුද, මේ රටේ චැනල් තීරණය කරන්නේ මොකක්ද වගේ දේවල් එක්ක. අවසානයේ ගත්තොත් සමහර විට දේශපාලනිකයි. යහපත් රූපවාහිනී කලාවක් කරන්න අමාරුයි දැන්. මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් කලාවක් බිහිවෙන්න ඕනෑ.■

යළිත්
අලුත්ගම, දිගන කරා?

රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ ගිහි පැවිදි අනුගාමිකයන්ගේ මුසාබසට රැවටී යළිත් අගාධයේ වැටෙමුද? රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ ජනපතිවරයකු හා නාමල් රාජපක්‍ෂ ජනපතිවරයකු වෙනුවෙන් අපේ අනාගතය බිලිදෙමුද?

ඉක්බාල් අහමඩ් යනු ලෝක ප්‍රකට පකිස්තානු බුද්ධිමතෙකි. මුස්ලිම් රටවල නායකයන් තමන්ගේ ජනප්‍රියතාව හීන වන විට බලය රැකගැනීම සඳහා ඉස්ලාම් දහම අවියක් කරගන්නා අයුරු ඔහු සිය Confronting Empire ග්‍රන්ථයේ විස්තර කළේය.


ඉක්බාල් අහමඩ් හෙළා දුටු මේ පුරුද්ද මුස්ලිම් රටවලට පමණක් සීමා නොවේ. බලය ලබාගැනීමටත් බලය රැකගැනීමටත් ‘ජාතිය’ හා ‘ආගම’ තරම් දේශපාලනඥයන් අතින් අපයෝජනයට පත් වෙනත් යෙදුම් දෙකක් නොමැති තරම්ය. මිනිසුන්ගේ මොළය අවුල් කිරීමට මෙතරම් සුදුසු උපක්‍රමයක් නොමැති බව දේශපාලකයෝ දනිති. රටක ප්‍රශ්න වැඩිවත්ම, ජනතා කලකිරීම ඉහළ යත්ම, ජාතික කොඩිය හා ජාතික ගීය වඩාත් වැළඳගැනීමටත්, පන්සල් කෝවිල් හෝ කිතුනු/මුස්ලිම් දේවස්ථාන කරා නිරන්තරයෙන් (මාධ්‍යද පිරිවරා) ගමනාගමනය කිරීමටත් දේශපාලනඥයන් පෙළඹෙනුයේ එබැවිනි.


2019 රාජපක්‍ෂවරුන් යළි බලයට ආවේ ‘සිංහල බෞද්ධ’ රටත් ‘සිංහල-බෞද්ධයාත්’ රැකීම තම එකම අරමුණ ලෙස පෙන්වමිනි. රාජපක්‍ෂ ජනපතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේ දේශපාලන භික්‍ෂූන්ය. ඔවුහු පන්සල් දේශපාලන වේදිකාවක් බවට පත්කළෝය. ඉන්න රටක් ඉතුරු වනුයේ රාජපක්‍ෂවරුන් යළි බලයට පත්වුවහොත් පමණක් යන මතය ගමක් නගරයක් ගානේ දේශනා කළහ. රටේ ඉදිරි පැවැත්මත් රාජපක්‍ෂ බලයත් අතර සමාන ලකුණක් යෙදීමට මේ දේශපාලනික-භික්‍ෂු නිකාය ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළේය. 2019 හා 2020 රාජපක්‍ෂවරුන් ලත් මහා ජයග්‍රහණයන්හි වැඩි බරක් ඇද්දේ මේ භික්‍ෂූන්ය. රාජපක්‍ෂවරුන්ට තුනෙන්-දෙකේ බලයක් දීම පිනක්- මරණ මංචකයේදී සිහිකොට සතුටුවිය හැකි පිනක්-යැයි දෙසන තරමට මෙම රාජපක්‍ෂවාදී භික්‍ෂූහු බුදුන් වහන්සේගේ වචනය විකෘති කළහ.


රාජපක්‍ෂ බලය වෙනුවෙන් මෙලෙස භික්‍ෂූන් පෙළගැසීම අහම්බයෙන් වූවක් නොවේ. තම සිංහල බෞද්ධ ඡන්ද පදනම 50%කට අධික ජනපතිවරණ – මහා මැතිවරණ බහුතරයක් දක්වා පුළුල් කිරීමේ රාජපක්‍ෂ ව්‍යායාමයේ දැනුවත් හා සැලසුම්සහගත පියවරකි. එය ඇරඹුණේ 2015 ජනපතිවරණ පරාජයේ සිටයි.


2015 ජනපතිවරණ පරාජයෙන් පසු මැදමුලනට ගිය මහින්ද රාජපක්‍ෂ මහතා වළව්වේ ජනේලයක එල්ලී රැස්ව සිටි පාක්‍ෂිකයන්ට කීවේ ඊලමේ ඡන්ද නිසා තමන් පැරදුණ බවය. උතුරේ, නැගෙනහිර හා වතුකරයේ ඡන්ද හේතුවෙන් තම ප්‍රතිවාදියා ජයගත් බව ඔහු තම පාක්‍ෂිකයන්ට තවදුරටත් කියා සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලාංකිකයන් බහුතරයක ඡන්ද ලැබුණද සිංහල බහුතරයක ඡන්ද නොලැබුණ නිසා ඔහුගේ ජය සැබෑ ජයක් නොවන බව මෙම මැදමුලන ප්‍රකාශනයේ යටි අරුත විය.


‘මහින්ද සුළඟේ’ සිට රාජපක්‍ෂ විපක්‍ෂයේ මතවාදීමය පදනම වූයේ මෙම මැදමුලන ප්‍රකාශනයයි.


2015-2019 කාලය තුළ රාජපක්‍ෂවාදී විපක්‍ෂය ආමන්ත්‍රණය කළේ ලාංකික ඡන්දදායකයන්ට නොව සිංහල-බෞද්ධ ඡන්දදායකයන්ටය. සිරිසේන -වික්‍රමසිංහ පාලනය පිළිබඳව ඔවුන් සිදුකළ සියලු විවේචන පදනම් වූයේ මෙම දෘෂ්ටි කෝණය මතය. සතියක් පාසා පන්සලක් පන්සලක් ගානේ යමින් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ, සිරිසේන-වික්‍රමසිංහ පාලනය ‘සිංහල-බෞද්ධ’ රටේත් ජනතාවගේත් පැවැත්මට තර්ජනයක් බවය.
සිංහල-බෞද්ධ ඡන්ද සුනාමියක් නිර්මාණය කොට බලයට ඒමේ මෙම රාජපක්‍ෂ උත්සාහයේ ප්‍රධානතම අංගයක් වූයේ සිංහල සමාජය තුළ ජාතිවාදය හා ආගම්වාදය හැකිතාක් උත්සන්න කිරීමය. සිංහල-බෞද්ධ නොවන ලාංකික පුරවැසියන් මෙරට නිජබිම කරගත් සහෝදර ජනතාවක් නොව ලංකාව වැනසීමට උගුල් අටවන සතුරන්ය යන විශ්වාසය ප්‍රචලිත කිරීම රාජපක්‍ෂ විපක්‍ෂයේ ප්‍රධානතම කාර්යභාරයක් විය.
සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ මුල් වසර එකහමාරක පමණ කාලය තුළ මෙම ජාතිවාදී-ආගම්වාදී දේශපාලනය එතරම් සාර්ථක නොවීය. මන්ද ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ බහුතර ජනතාව තුළ ප්‍රසාදයක් තිබුණු බැවිනි. ‘මහින්ද සුළඟ’ අසාර්ථක වූයේත් 2015 මහා මැතිවරණයෙන් රාජපක්‍ෂවරුන් යළිත් පරාජය වූයේත් එබැවිනි. නමුත් සිරිසේන- වික්‍රමසිංහ පාලනයේ වැරදි, අඩුපාඩු වර්ධනය වත්ම රාජපක්‍ෂවරුන්ගේ මෙම අගතිගාමී ප්‍රචාරයන්ට තෝතැන්නක් සිංහල සමාජාය තුළ නිර්මාණය විය.


රටේ ජනකොටස් අතර සැකය, බිය, වෛරය සහ අසමගිය වර්ධනය වීම රටේත් ජනතාවගේත් අනාගතයට අයහපත් වුවද, රාජපක්‍ෂවරුන්ගේ අනාගතයට එය අත්‍යවශ්‍යය. 2015-2019 කාලයටත් වඩා අදටත්, අදට වඩා හෙටටත් මෙය සත්‍යයකි. සිංහල-බෞද්ධ අගතිවාදය උත්සන්න කොට බලයට පැමිණි රාජපක්‍ෂවරුන්ගේ පවුල්-ව්‍යාපෘතියේ පැවැත්ම රැඳී ඇත්තේ ජාතිවාදය හා ආගම්වාදය මහමෙරක් කිරීම මතය.


එවැනි උත්සාහයක ප්‍රතිඵලය රට යළිත් ලේ විලක් වීම විය හැක. නමුත් ගෝඨාභයගෙන් පසු බැසිලුත් බැසිල්ගෙන් පසු නාමලුත් ජනපතිවරයා වන අනාගතයක් සහතික කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයක් පාලක පවුලට තිබේද?

මැරෙන්න රටක්?


ඊළාම් යුද්ධය ජයග්‍රහණයෙන් නිමවූ පසු ජනතාව විශේෂයෙන්ම සිංහල බහුතරය අපේක්‍ෂා කළේ මරණ බිය නැති අත මිට සරු අනාගතයකි. නමුත් යුද්ධයෙන් පසු ඒ අපේක්‍ෂිත ප්‍රතිලාභ- විශේෂයෙන්ම ආර්ථික සහනයන්-ජනතාවට ලැබුණේ නැත.


සාමයේ ආර්ථික ප්‍රතිලාභ (peace dividends) ලාංකික සමාජයට අහිමි වූයේ රාජපක්‍ෂ දේශපාලනය හා ආර්ථික උපායේ ඍජු ප්‍රතිඵලයක් ලෙසය. එක් අතකින් ආරක්‍ෂක වියදම් වසරින් වසර ඉහළ දැමීමටත් අනෙක් අතින් තමන්ගේ නම යන ප්‍රදර්ශනවාදී හා නාස්තිකාරී ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය දීමටත් 2010-2015 කාලය තුළ රාජපක්‍ෂවරු ක්‍රියාකළහ. මෙහි ප්‍රතිඵලය වූයේ යුද්ධ සමයටත් වඩා වැඩි ආර්ථික පීඩනයක් ජනතාව මතට වැටීමය.


ජනතාවට තම ආර්ථික ප්‍රශ්න අමතක කරවීම සඳහා අලුතින් සතුරකු නිර්මාණය කිරීම එකලද රාජපක්‍ෂ අරමුණ විය. දෙමළ-විරෝධී හා කිතුනු -විරෝධී ක්‍රියාවන් විටින් විට සිදුවුවද වැඩි බරක් යෙදුණේ මුස්ලිම්-විරෝධය වෙතය. බොදු බල සේනාව මනා මූල්‍යමය හා සංවිධානාත්මක බලයකින් හිටිඅඩියේ නිර්මාණය වූයේත් හලාල් විරෝධය රටේ බරපතළම ප්‍රශ්නය ලෙස ඉස්මතු වූයේත් මෙම සංදර්භය තුළය.


මේ මුස්ලිම් විරෝධී රැල්ලේ ගමනාන්තය වූයේ අලුත්ගමයි.


ප්‍රදේශයේ භික්‍ෂුවක්, ඔහුගේ රියැදුරා හා මුස්ලිම් මුස්ලිම් තරුණයන් තිදෙනෙකු අතර ඇතිවූ කුඩා ආරවුලක් මහා අර්බුදයක් බවට පත්වූයේ බොදු බල සේනාව අලුත්ගමට අවතීර්ණ වීමෙන් පසුවය. අලුත්ගම නගරයේ පැවති රැස්වීමක් නිමාවූයේ බොහෝ විට සුදුවතින් සැරසුණු පිරිස් මුස්ලිම් නිවෙස්, කඩ-සාප්පු හා දේවස්ථානවලට පහර දීමෙනි.
2015න් පසු යළිත් සංවිධානාත්මක මුස්ලිම්-විරෝධය උත්සන්න විය. මෙවර එහි මූලික තේමාව වූයේ සිංහල ජාතිය වඳ කනවාය යන චෝදනාවයි. වඳ පෙති, වැඳ කොත්තු, වඳ සැත්කම් ප්‍රචලිත වූයේ ඒ අවධියේය. 2018 දිගන මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයට මග සැකසුණේ මෙම ‘වඳ’ උන්මාදය තුළිනි.


2018 පෙබරවාරි 20දා තෙල්දෙණිය නගරයේ ලොරියක් හා ත්‍රිරෝද රථයක් අතර වූ රිය අනතුර නිමා වූයේ ත්‍රිරෝද රථයේ මගීන් ලොරි රියැදුරාට ක්‍රෑර ලෙස පහර දීමෙනි. මාර්ග අනතුරුවලට පසු එලෙස පහරදීම්, රථ ගිනි තැබීම් මෙරටේ සුලබය. තෙල්දෙණිය සිදුවීමේදී පහර කෑ ලොරි රියැදුරා සිංහල ජාතිකයකු වූ අතර, පහර දුන් ත්‍රිරෝද රථ මගීහු මුස්ලිම් ආගමිකයෝ වූහ. ලොරි රියැදුරා වහාම රෝහල්ගත කෙරුණු අතර, පහරදුන් මගීන් වහාම ඇප නැතිව රිමාන්ඩ්භාරයට පත්කෙරිණි.


2018 මාර්තු 3දා ලොරි රියැදුරා රෝහලේදී මියගියේය. තරුණ සැමියකු හා පියකුගේ මෙම ඛේදජනක මරණය නිසා දිගන කම්පා වූවා නිසැකය. නමුත් මෙම වේදනාව තුළින් මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයක් ස්වයංවම හට ගත්තේය.


මරණය වූ දාට පසුදා එනම් මාර්තු 4දා රාත්‍රියේ බොදුබල සේනාධිපති ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුව මරණ ගෙදරට පැමිණියේය. ඔහු නික්ම ගොස් පැය කිහිපයකින් පසු මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.


අලුත්ගම හා දිගන සිද්ධීන් දෙකේදීම ප්‍රධාන රංගනයක් කළ බොදු බල සේනාධිපති භික්‍ෂුව යළිත් කරළියට පැමිණ ඇත. මෙවර ඔහුට රජයට අයත් ජාතික රූපවාහිනියෙන්ද වේදිකාවක් ලැබී තිබේ.


මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ඉතාලියේ බොලොඤ්ඤා නගරයට ගොස් ආගමික සහජීවනය ගැන දේශනා කළේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයා නිව්යෝර්ක් නගරයේදී ජනවාර්ගික සාමය ගැන දේශනා කළේය.


රටේ ඉහළම නායකයන් දෙපළ ජාත්‍යන්තර වේදිකාවලදී සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින විට රාජපක්‍ෂවාදී භික්‍ෂූහු රට තුළ මුස්ලිම්-විරෝධය හා කිතුනු විරෝධය අවුළුවති.
නායකයන් සංහිඳියාව ගැන ඉංග්‍රීසියෙන් දෙසද්දී අනුගාමිකයෝ සිංහලෙන් යළිත් රට ගිනිවද්දන්නට උත්සාහ කරති.


රාජපක්‍ෂ පාලනයේත් රාජපක්‍ෂ දේශපාලනයේත් යථාර්ථය මෙයයි.


යළිත් මුස්ලිම් – විරෝධී (හෝ කිතුනු විරෝධී) ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වූවායැයි මොහොතකට අනුමාන කරමු. එවැන්නක ආර්ථික හා සමාජමය ප්‍රතිඵල කවරක් වේදැයි මඳකට කල්පනා කරමු.


ජනවාර්ගික, ආගමික ප්‍රචණ්ඩත්වයක් ඇති රටකට විදේශ ආයෝජකයන් එන්නේ නැත. එපමණක් නොවේ. ජීඑස්පී වැනි සහන අහිමිවීමට පවා එය හේතුවක් විය හැක. යළිත් වරක් මුස්ලිම් නිවෙස්, කඩසාප්පු හා දේවස්ථානවලට ප්‍රහාරයන් එල්ල වුවහොත් හදිසියට ඩොලර් අතමාරුවක් බංග්ලාදේශයෙන් ලබාගැනීමට හෝ ඉරානයෙන් ණයට තෙල් ඉල්ලීමට ආණ්ඩුවට නොහැකි වනු ඇත. අස්ථාවර රටකට විදෙස් සංචාරකයන් පැමිණීම අඩුවීමද ස්වාභාවිකය. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ රටේ ආර්ථික අර්බුදයත් විදෙස් විනිමය අර්බුදයටත් දෙගොඩ තලා යාමය. එවැනි ආර්ථික ගංවතුර කිසිම භේදයකින් තෝරව සියලුම ජනතාව විපතට පත්කරනවා නිසැකය. අද තිබෙන කිරිපිටි හා ගෑස් පෝලිම් මදිවාට ඉන්ධන පෝලිම් නිර්මාණය වීමත් ජීවන බර තවත් ඉහළ යාමත් දුප්පත්කම හා විරැකියාව වර්ධනය වීමත්, විදුලිය හා ජලය කප්පාදුවලට මුහුණ දීමත් ජාති ආගම් වෙනසකින් තොරව ලාංකික අපගේ ඉරණම වනු ඇත.

රාජපක්‍ෂ අනාගතය වෙනුවෙන්
ලංකාවේ අනාගතය බිලිදීම


2015-2019 දක්වා රාජපක්‍ෂවරුන් දේශපාලනය කළේත්, 2019දී ඔවුන් යළිත් බලයට පත්වූයේත්, සිංහල-බෞද්ධ පාරාදීසයක් ලංකාවේ නිර්මාණය කරන පොරොන්දුව මතය.


මාස 22ක් වැනි කෙටි කලක් තුළ ඒ රම්‍යවූ සිහිනයෙන් පෙර කිසි කලෙක අත් නොවිඳි කටුක යථාර්ථයකට අවදිවීමට 69 ලක්ෂයක් වූ රාජපක්‍ෂ ඡන්දදායකයන්ට සිදුව ඇත.


වර්තමානයට වඩා අනාගතය දුෂ්කරය. දශක ගණනක් රසායනික පොහොර භාවිතයට හුරුවූ මෙරට කෘෂිකර්මය එක කන්නයකින් කාබනික පොහොර භාවිතයට පරිවර්තනය කිරීමේ ගෝඨාභය සැලැස්මේ භයංකර ප්‍රතිඵල දැන් පැහැදිලි වෙමින් පවතී. චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කරන කාබනික පොහොරවල මෙරට පසට හා ශාකයන්ටද අහිතකර බැක්ටීරියා ඇති බව පරීක්‍ෂණවලින් දෙවන වරටත් සනාථ වී තිබේ. මේ ප්‍රතිඵල යට ගසා චීන පොහොර ගෙන්වීමට රාජපක්‍ෂ පාලනය ක්‍රියාකළහොත්, එයින් ලංකාවේ පාරිභෝගික හා අපනයන කෘෂිකර්මයටත් ඒ මත රැඳුණු ජනජීවිතවලටත් විය හැකි විනාශය අපරිමිතය.


කොරෝනා තුන්වෙනි හා හතරවෙනි රැලි නිර්මාණය වන විට රට වසන්නැයි වෛද්‍ය විශේෂඥයෝ හා සෞඛ්‍ය සේවකයෝ යළි යළිත් ඉල්ලා සිටියහ. රාජපක්‍ෂ පාලනය ඒ ඉල්ලීම් නොතැකීමෙන් රැකගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් රටට අහිමි විය. රාජපක්‍ෂවරුන් රට වැසුවේ දෛනික මරණ සංඛ්‍යාව 200ද ඉක්මවූ පසුය.


රට වසා තිබෙන තත්වයන් තුළ සෞඛ්‍ය උපදේශ නොතකමින් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් පෙනීයනුයේ ජනතාව අනතුරට පත්කොට හෝ මුදල් රැස්කිරීම රාජපක්‍ෂ ආර්ථික පිළිවෙත බවයි. ජනතාව ආහාර අහේනියකින් පෙළෙද්දී වැව් වටා ‘ජොගින් ට්‍රැක්’ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2ක් වෙන්කිරීමෙන් හෙළිදරව් වනුයේ රාජපක්‍ෂ යථාර්ථය හා ජනතා යථාර්ථය අතරැති පරතරයයි.


සහල් ‘මාෆියාවට’ මේඝ ගර්ජනා කළ පාලකයන් උපරිම සහල් මිලක් නියම කළ අලුත්ම ගැසට්ටුවත් හකුළා ගැනීමෙන් පෙනෙනුයේ ධනය හා බලය ඉදිරියේ රාජපක්‍ෂවරුන් කෙතරම් නිවටද යන්නය.


තමන්ගේ ජනප්‍රියතාව හීන වන බව රාජපක්‍ෂවරුන්ටද වැටහෙනවා නොඅනුමානය. මේ සෝදාපාලුව නතර කරන්නට ඔවුන් සතුව ඇත්තේ එකම පිළියමකි. එනම් රට ජාතිය හා ආගමයි. සිංහල-බෞද්ධ ධජය වැනීමයි. දෙමළ-මුස්ලිම් කිතුනු විරෝධය උත්සන්න කිරීමයි.


අලුත්ගම හා දිගන සිදුවීම් දාමය තුළ තීරණාත්මක රංගනයක් කළ ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුව රාජ්‍ය මාධ්‍ය තුළින්ම යළිත් කලඑළි බැසීම අනාගත විනාශයක පෙර නිමිත්තක්ද?


2019 පාස්කු ඉරිදා සංහාරයට හේතුපාදකවූ ජාතික හා ජාත්‍යන්තර සාධක ගණනාවකි. ඒ සංහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන්ගේ චින්තනය සම වනුයේ අයිඑස්/තලේබාන් චින්තනයටය. ඔවුන් මනසින් ජීවත්වී ඇත්තේ ශතවර්ෂ ගණනාවක් පැරණි අතීතයකය. එවැනි අතාර්කික අගතිගාමීන්ගේ චින්තන රටාව මුළුමනින්ම පුරෝකථනය කිරීම අසීරුය. අලුත්ගම හා දිගන සිද්ධීන් සහරාන් හෂීම්ට විශාල උදව්වක් වූ බව අවිවාදිතය. කොටි සංවිධානයට කළු ජූලිය ඉමහත් ආධාරකයක් වූ ලෙසම සහරාන් හෂීම්ගේ විනාශකාරී දේශපාලනයට අලුත්ගම හා දිගන ආශීර්වාදයක් වූවා නිසැකය.


යළිත් අලුත්ගමක් දිගනක් නිර්මාණය වුවහොත් එයින් නව ජීවයක් ලබනු ඇත්තේ ඉස්ලාමීය අන්තවාදයයි.


බහුතරයේ අගතිගාමීත්වය හා සුළුතරයේ අගතිගාමීත්වය අතර නොබිඳෙන සහසබඳතාව පිළිබඳව අපේ පශ්චාත් -1948 ඉතිහාසයෙන් උගත හැකි පාඩම් බොහෝය. බහුතරයේ අන්තවාදය සුළුතරයේ අන්තවාදය පෝෂණය කරන බවත්, එය ලේ වැගිරීම්වල සිට යුද්ධ දක්වා වර්ධනය වන බවත් අපි අත්දුටුවෙමු. එයින් අපට අහිමි වූ ජීවිත කෙතරම්ද? එයින් රටට වූ විනාශය කෙතරම්ද?


යළිත් එවැනි විෂම චක්‍රයක්, නිර්මාණය කිරීමට ඉඩ දුනහොත් එයින් බැට කන්නේ අපිම නොවේද?


තමන්ගේ අහිමිවන ජනප්‍රියතාව වර්ධනය කරගනිමින් තම පවුල් ව්‍යාපෘතියේ අනාගතය තහවුරු කරගැනීම සඳහා ජාතිවාදයට හා ආගම්වාදයට අමතර මගක් රාජපක්‍ෂවරුන්ට නැත. ගැලවුම්කාරයන්ට වීරයන්ට අඳින්න නම් තර්ජනයන් හා සතුරන් සිටිය යුතුය. එවැනි රැවටිල්ලකින් තොරව රාජපක්‍ෂ පවුල් දේශපාලනයට 2024න් එපිට අනාගතයක් නොමැත.


රාජපක්‍ෂ පවුල් දේශපාලනයේ පැවැත්මත් ලංකාවේ අනාගතයත් අතර ඇති ප්‍රතිවිරෝධතාව අද වන විට සමනය කළ නොහැකි මට්ටමට උත්සන්නව ඇත. ඊට මූලික හේතුව මේ ආණ්ඩුවේ අඳ-බාල දැක්ම හා ළදරු වලිප්පු ක්‍රියාකාරිත්වයයි. එරහි ප්‍රතිඵලය වී ඇත්තේ තිබෙන ප්‍රශ්න උග්‍රවීමත් නැති ප්‍රශ්න නිර්මාණය වීමත්ය.


රාජපක්‍ෂවරුන් හොඳටම කළ හා ඔවුන්ට හොඳටම කළ හැකි එක් දෙයක් ඇත. එනම් ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීමයි.


යළිත් දෙමළ-මුස්ලිම්-කිතුනු සතුරකු නිර්මාණය කොට සිංහල-බෞද්ධ සිත්සතන් භීතියෙන් මූඪ කොට තම බලය රැකගනීමට රාජපක්‍ෂවරුන් ක්‍රියාකරනු නිසැකය. එවැනි පිළිවෙතක් රාජපක්‍ෂවරුන්ට වාසිදායක විය හැක. නමුත් එයින් රටටත් ජාති ආගම් භේදයකින් තොරව ජනතාවටත් වනු ඇත්තේ තිස්-අවුරුදු යුද්ධයේ ශාපයෙන් වූ විනාශයටද වඩා වැඩි විනාශයකි.


යළිත් එවැනි විෂම චක්‍රයක් නිර්මාණය වුවහොත් එයින් ඵල ලබනුයේ රාජපක්‍ෂවරුන්ය. මහ මග මැරෙනුයේ අපය.


මේ බුද්ධියෙන් ක්‍රියාකළ යුතු කාලයකි. රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ ගිහි පැවිදි අනුගාමිකයන්ගේ මුසාබසට රැවටී යළිත් අගාධයේ වැටෙමුද? රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ ජනපතිවරයකු හා නාමල් රාජපක්‍ෂ ජනපතිවරයකු වෙනුවෙන් අපේ අනාගතය බිලිදෙමුද?■

මට්ටක්කුලිය ඝාතන පරීක්‍ෂණයෙන් හමුදා බුද්ධි අංශ අඩපණ වේද?

0

■ අරුණ ජයවර්ධන

මට්ටක්කුලිය ප්‍රදේශයේ එල්ලේ ක්‍රීඩකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ සිරුර ගලක ගැටගසා කැලණි ගඟට විසිකර දැමීමෙන් පසු ගොඩගසා තිබියදී හමුවිය. ඒ ගැන පොලිස් විමර්ශන ඇරඹුණු විට, ඝාතනය පිටුපස සිටින්නේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් බව හෙළිදරව් වී තිබේ.


පසුගිය සති අන්තයක දිවයින පුවත්පත රසවත් ලෙස වාර්තා කර තිබුණ අන්දමට, මේ පුද්ගලයා මැරූ බුද්ධි අංශ හමුදා සෙබළුන්ට, ඔවුන් ආධුනිකයන් නිසා මරණකරුගේ බඩ කපා ගඟට දමන්නට අමතක වී තිබේ. බඩ කපා දැමුවේ නම්, මළසිරුර වතුරේ පාවෙන්නේ නැත. පුද්ගලයා සදාකාලිකවම අතුරුදහන් තත්වයක් ඇති වන අතර, අපරාධකරුවන්ට දඬුවම් නොලබා සිටිය හැක.


මේ බිහිසුණු කතා කියවන විට අපට මතක් වන්නේ, කොළඹ අවටදී තරුණ ශිෂ්‍යයන් 5 දෙනකු ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ගන්සයිට්හි සිරකර තබාගෙන පසුව මරාදැමූ අපරාධයයි. එහිදීද ඝාතකයන් පාවිච්චි කළ බවට අපරාධ විමර්ශනවලින් හෙළිවුණේ මේ බඩ කපා මුහුදට දැමීමේ ක්‍රමවේදයයි. ඒ නිසා අදටත් ඒ අසරණයන්ගේ මළසිරුරු සොයාගන්නට නැත. අපරාධය කළවුන් ආණ්ඩුවේ හිතවතුන් නිසා, ඔවුන් ගලවාගන්නට ආණ්ඩුවම ඉදිරියට ඇවිත් ජනාධිපති කොමිෂන් සභා පවත්වා විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කළ අතර, එහි ප්‍රධන සැකකරුවකු වූ වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව තවදුරටත් නඩු නොකියන බව නීතිපතිවරයා උසාවියටද දන්වා ඇත.


මට්ටක්කුලිය මිනිමැරුමේදී, මරණකරු මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු බවද, ඔහු ‘ඉවත්කිරීම’ සමාජයට යහපතක් බවද කඳවුරේ බුද්ධි අංශය බාර නිලධාරියාට ඒත්තු ගන්වා තිබුණු බවද, සාමාන්‍ය සෙබළුන් අපරාධයට එකතු වුණේ එම ‘යහපත් චේතනාවෙන්’ බවද හෙළිදරව් වි තිබේ.


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමාජයෙන් ඉවත් කර සමාජයට යහපතක් කිරීමේ නිල නොවන රාජකාරියක් හමුදාව පවරාගෙන කටයුතු කර ඇති බව ඒ කතාවෙන් පැහැදිලි වෙයි.
ඊටත් වඩා පුදුමය නම්, මේ ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකවයන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගෙන තිබියදී, ‘හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන් අධෛර්යමත් වී පාස්කු ප්‍රහාරය සිදුවුණායැ’යි පහුගිය කාලයේ පැය විසිහතරේම මොරගෑ වියතුන් දැන් නිශ්ශබ්දව සිටින්නේ ඇයිද යන්නයි. ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව තවත් අන්තවාදී ප්‍රහාරයක් ඕනෑම මොහොතක සිදුවෙතැයි අනතුරු අඟවාද තිබියදී, මේ විදියට හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව කටයුතු කිරීමෙන් ඔවුන් අධෛර්යයට පත්වී, අන්තවාදී ප්‍රහාරයකින් රට ගලවාගන්නට ඉදිරියට නොපැමිණෙන්නට ඉඩ තිබෙනවා නොවේද? එසේ නම්, කොයි මොහොතක හෝ ප්‍රහාරයක් එල්ල වෙතැයි කියන මෙවැනි භයානක අවස්ථාවක මෙසේ කටයුතු කිරීමෙන් මේ ආණ්ඩුවද යහපාලන ආණ්ඩුව හමුදා බුද්ධි අංශවලට කළ ‘මහා විනාශය’ම නැවත කරමින් සිටිනවා නොවේද?


මේවා ඉතාම භයානක නමුත් විහිළු සහගත කතාය.


යහපාලන ආණ්ඩුව කාලයේ යුද නාවික හමුදාවල බුද්ධ අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගත්තේ නඩු පැවරුවේ ඔවුන් යුද්ධය කළ නිසා නොවේ. යුද්ධයට මුවාවී, යුද්ධ භූමි කලාපයෙන් පිටතදී කළ කප්පම් සඳහා පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතන ආදිය සම්බන්ධයෙනි. උදාහරණයක් හැටියට නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගත්තේ අහිංසක තරුණ ශිෂ්‍යයන් 5දෙනකු ඇතුළු 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ගැනය. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගත්තේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, උපාලි තෙන්නකෝන් පැහැරගෙන යන්නට තැත් කිරීම, කිත් නොයාර් පැහැරගෙන ගොස් හිංසා කිරීම වැනි අපරාධයන් ගැනය. ඒ කාලයේ විපක්‍ෂයේ සිට අද ආණ්ඩුවේ තනතුරු හොබවන ජාතික චින්තන හා එසේ නොවන වියතුන් උගතුන් මේවා පෙන්වූයේ, හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමට යහපාලන ආණ්ඩුව සංවිධානාත්මකව කළ දේවල් හැටියටය. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවුණේ එලෙස හමුදා බුද්ධි අංශ අඩපණ කිරීම නිසා බවය. මේ අමූලික බොරුවලින් මුළු සමාජයම රෝගි කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 69 ලක්‍ෂයක් ඓතිහාසික වැරදි තීරණයක් ගත්හ. අද මුළු රටම විඳවන්නේ ඒ ලක්‍ෂ 69හි අමනොඥ තීරණයේ පසුවිපාකය.


මට්ටක්කුලියේදී පුද්ගලයකු මරා දැමීම ගැන බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාවේ හෝ වෙනත් හමුදාවක, පොලිසියේ බුද්ධි අංශ අධෛර්යමත් වන බව අද කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැත. ආණ්ඩුවේ බුද්ධිමතුන් කවුරුත් අද එහෙම කියන්නේත් නැත. හැම කෙනකුම කියනු ඇත්තේ, බුද්ධි අංශ සාමාජිකයන් නෙවෙයි මොකා වුණත්, කළ අපරාධයට නීතියෙන් විපාක විඳිය යුතුය කියාය.
එහෙම නම්, යහපාලන ආණ්ඩුව කාලයේ අපරාධ විමර්ශන බුද්ධි අංශ අඩපණ කිරීමක් හැටියට පෙන්නුවේ ඇයි? උත්තරය පැහැදිලිය. රටේ ආරක්‍ෂාව නැතිකළායැයි යහපාලන ආණ්ඩුවට අසත්‍ය චෝදනා ආරෝපණය කර බලය ඩැහැගැනීමටය. ඒ සඳහා බුද්ධිමතුන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ‘මානසික මෙහෙයුමක්’ (ඡිහ-දච) සැලසුම්සහගතව පවත්වාගෙන යන ලදි. අද වන තුරුත් පාස්කු මහමොළකරුවන් හමුනොවීමේ හේතුවක්ද එය විය හැකිය.


දැන් මේ සිදුවන දේ එක පැත්තකින් යහපත් වන්නේ පරණ බොරු තේරුම් ගැනීමට ඒවා උදව් වන නිසාය.■

මයි කාර් මයි පැට්රෝල්
පාලනය

0

රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමයයි. එය වෙනස් කළ යුතු වේ. එවැනි අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන රටේ ජනතාවට ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව
ගෙදර යන කෙනෙකු ඉදිරිපත් කළ යුතුවේ.

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පීඩනය දැඩිව දැනෙන්නට පටන්ගෙන ඇත. පාලකයන් හැසිරෙන ආකාරය බිය උපදවනසුලු වේ. යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීම යනු මයි කාර් මයි පැට්රෝල් වැඩකි. එය තහවුරු කරන අලුත්ම සිද්ධිය බලාගාර ගිවිසුම් කතාවය. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සාමාජිකයන් හෝ ඒ බව දන්නේ නැත. හිරගෙදර වහලෙට නැග්ග රැඳවියන් කරන්නේත්, දේශබන්ධු තෙන්නකෝන්ලා යුනිපෝර්ම් පිටින් අස්ගිරි පන්සලට ගිහින් කරන්නේත් එකම වර්ගයේ ඉල්ලීමකි. එනම් පුද්ගලික සහනයන්ය. එවැනි සහන, සමා, අභයදාන ලබාගත හැකි නෛතික විධිවිධාන හෝ සම්මතයන් රටේ පවතී. ලංකාව යනු ගෝත්‍රික සමාජයක් නොවේ. සියවස් එකහමාරක් පුරා පැවති යටත් විජිත පාලනයකින් පසුව, ව්‍යවස්ථානුකූල නිදහස ලැබූ දිගු ලංකාව, ශ්‍රී ලංකාව ලෙස බව්තීස්ම වන තෙක්ම, විධිමත් පාලනයක් පැවති ආසියාවේ විශිෂ්ටතම රාජ්‍යයකි. එහෙත් බලාගාර ගිවිසුම් කතාවට සමගාමීව, විමසමින් පවත්නා සමහර නඩු අස්කර ගැනීම්, හිරේ ගිය එවුන් මුදා ගැනීම්, මහ රෑ ගිනි අවි ලෙලවමින් බීමතින් බන්ධනාරවල සැරිසැරීම් අපට සිහිපත් කරන්නේ කුමක්ද? නිදහස සමග රටේ ජනතාව වෙස්ට්මිනිස්ටර් ක්‍රමය යටතේ හිමිකර ගත් මිනිස් අයිතිය, නිදහස සාධාරණත්වය අවභාවිත වෙමින් පවත්නා බවය.


නීතියත් රටත් රාජ්‍යයත් කිහිප දෙනෙකුගේ සාක්කුවට වැටී හමාරය.

මේ තත්වය ඇති කළේ නීනිය යනු මමයි කී ගෝඨාභය හෝ මහා වංචාවකට සැකකරුවූ මහ බැංකු අධිපතිවරයා ගැන වගකීම පාර්ලිමේන්තුවේදී භාරගත් රනිල් හෝ, පාර්ලිමේන්තු බහුතරයක් නැති මහින්ද රාජපක්‍ෂ රටේ අගමැති ලෙස නම් කොට ජෝකරයෙකුවූ මෛත්‍රීපාල හෝ අපේ මිනිහෙක් වරදක් කළොත් ෂේප් කරනවා කී මහින්ද පමණක් නොවේ. මේ බිඳවැටීමේ අඩිතාලම වැටුණේ 1973 පළමු ජනරජ ව්‍යවස්ථාව සමගය. නිදහස් ලංකාවේ 1947 සහ 1953 පිහිටුවූ ආණ්ඩු දෙකටම උතුරු දකුණු නියෝජිත සහභාගිත්වය ලැබිණ. ඒ ජාතික සමගිය 1956 පෙරළිය සමග දෙදරා ගියේය. ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවක් සහිතව වසර දහස් ගණනක් මේ රටේ එකට ජීවත්වූ ජාතීන් දෙකක අසමගිය බිඳ වැටිණ. 1958 ජාතිවාදී කෝලාහලය 56 දේශපාලන පෙරළියේ ප්‍රතිඵලයකි. ඊයේ පෙරේදා නවසීලන්තයේ අගමැතිවරිය ලාංකේය සම්භවයක් ඇති ත්‍රස්වාදියෙකු මරා දැමීමෙන් පසුව කළ විශිෂ්ට ප්‍රකාශය ලෝකයේම ගෞරවයට පාත්‍ර විය. අපට එය වැදගත් වන්නේ පාස්කු සිද්ධියේ දේශපාලනික සුලමුල හෙළිවීම නිසාය. ඊට සාපේක්‍ෂව, 1958 ජාතිවාදි අරගලයේදී, අන්තවාදීන් අතින් යාපනේ නාග විහාරය සමතලා විය. එවකට රජයේ වැඩ අධ්‍යක්‍ෂව සිටි එච්.ආර්. ප්‍රේමරත්න කැඳවූ අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක “නාග විහාරයයි, නාගදීපයයි දෙකම විනාසයි. මේ ආරංචිය මගේ ලේකම්වත් දන්නේ නෑ. අප මේ සිද්ධස්ථාන තිබුණ ආකාරයටම වහාම හදන්න ඕනැ. එසේ නොකළොත් තත්වය තවත් බරපතළ වේවි.”යනුවෙන් කීවේ වෙව්ලමිනි. එහි සිටි තෙවැන්නා ප්‍රසිද්ධ වැඩ ඇමති මෛත්‍රිපාල සේනානායකය. එකී දැනුම්දීමෙන් සති හයක් තුළ එකී සිද්ධස්ථාන යළි පැවති අයුරෙන් ස්ථාපනය කෙරිණ. (චරිතවත් චරිත- 83 පිට, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සරසවිය ප්‍රකාශනයකි. 2012) නවසීලන්තයේ 41 හැවිරිදි ජෙසින්තා ආර්ඩ්න්ගේ විශිෂ්ටත්වය, මෙයින් වසර 63කට ඉහත ලංකාවේ පාලකයන් සහ නිලධාරීන් අතර පැවති බව අප අමතක කළ යුතු නැත. එපමණක් නොවේ. එකී සිද්ධීන්ගේ වින්දිතයන්ට සෑහීමට පත්විය හැකි ආකාරයට රටේ නීතිය එදවස ක්‍රියාත්මක විය. ඊට සමගාමිව පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙනයන යන තවත් අවනඩුවකි.


මිනිසුන් සතු අයිතිවාසිකම් හැකිළී යාම දිනෙන් දින වැඩි වේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට වැසුණේ පාර්ලිමේන්තුවේ දොර පමණකි. රාජ්‍ය තනතුරු ලබා ගැනීමේ අවසරය ඉතිරි කෙරිණ. ඒ එවකට සිටි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලාංකිකයෙකු නොවූ නිසාය. 2015 ජනවාරි 8 වෙනිදා ප්‍රතික්‍ෂේප කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිකමට නම් කළ විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වර්තමානයේ රාජපක්‍ෂලා සමග ය. යහ පාලන ජයග්‍රහණ විනාස කළ, බැංකු මංකොල්ලයට චෝදනා ලැබූ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කළ රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපති වීමට පොර කමින් සිටියි. 2024 රාජපක්‍ෂ පළවා හැර පත් කර ගත යුත්තේ රනිල්, සිරිසේන හෝ සජිත් ය. රටක් විනාස කළ විධායක ක්‍රමය ඉවත් කිරීමට බලය අපේක්‍ෂා කරන කිසිවෙක් කැමති නොවේ. යථාර්ථය නම් රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමය මිස, රාජපක්‍ෂලා නොවේ. එය වෙනස් කළ යුතු බවට කිසිදු සැකයක් නැත. ඒ සඳහා පවත්නා ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව ගෙදර යන කෙනෙකු නිර්මාණය කළ යුතුවේ. ඔහු වෙනුවෙන් රටෙන් අඩක් පෙනී සිටිනු ඇත.


අප හැමදාම කවුරුන් හෝ දිනවනවා කියන්නේ කවුරුන් හෝ පැරදවීමය. කිසි විටෙක අපට යහපත් කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි නොවේ. කොන්දේසි රහිතව කාට හෝ රට භාරදීමෙන් රට ගොඩගත නොහැකිය.


හැම පාලන කාලයකම විවිධ ප්‍රශ්න මතුවේ. විධායක ක්‍රමය පැවති 43 වසර පුරා ඡන්දෙන් සත් දිනක් ගෙවී ගිය තැන පාලකයා ජනතාවගේ හතුරා බවට පත්විය. ඒ සමග විපක්‍ෂය නියෝජනය කළ ඇතැම්හු මහ දවල් විකිණෙති. රිෂාඩ් බදියුදීන් සිටිද්දී ඔහුගේ ගෝලයෝ ආණ්ඩුව සමග පෙනී සිටිති. විපක්‍ෂය සීරියස්ය. එහෙත් කතා කරන්නේ තෝරා බේරාගෙනය. තනි මිනිහෙකු අතට අසුවුණ බලය පැවති කොතැනත් එහෙමය.


බලයට පත්ව සත් දිනයක් ගිය තැන් සිට ජනතාව උඹට දෙන්නම් කියා මාන බලති. ඉන්පසුව සිද්ධ වෙන්නේ ඊට පෙර එළවා දැමූ එකා දිනවා අනාගත තවත් හතුරෙකු නිර්මාණය කර ගැනීමය. මෙය සෝල්බරි යුගයේ අප හඳුන්වන ලද්දේ තට්ටුමාරුව කියාය. 1977න් පසුව, තත්වය වෙනස් විය. අද අප කරන්නේ වැරදි කළ පාලකයන් ඉවත් කිරීම මිස අප නිවැරදි වීම නොවේ. වැරදි කළ එවුන් ඉවත් කිරීම කළ යුතුවේ. එහි තර්කයක් නැත. එහෙත් ක්‍රමය වෙනස් කරන තෙක් රට නිවැරදි නොවේ.


එක දිගට නිල නාම තනතුරුවලින් ඉවත්ව යන පුද්ගල සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. විපක්‍ෂයේ කිසිදු දේශපාලන චරිතයක් ඒ හරහා ලැබෙන හරවත් පණිවිඩය කියවා නැත. හෝ එය මගහැර අනම්මනම් දොඩවයි. ඔවුන් කියන්නේ කුමක්ද? ප්‍රතිපත්ති සම්පාදනය මිස රාජ්‍ය පාලනයට දේශපාලනඥයන් මැදිහත්වීම රටේ බරපතළම අරුබුදය වේ. බීමත්ව හෝ නැතිව ගිනි අවි ගෙන හෝ නොගෙන හිරගෙදරට අවේලාවේ ඇතුල්විය නොහැකිය යන්න පාර්ලිමේන්තුව සමම්ත කළ රෙගුලාසියකි. එය කැඩූ බවට අවලාද නැගෙන පුද්ගලයා කියන්නේ කුමක්ද? මට ඕනැ වෙලාවක එහි යා හැකි බවය. එහිදී ආයතනය භාර නිලධාරීන් එහෙයියන් සේ හැසිරෙන්නේ රාජ්‍ය පාලනය නූගත් දේශපාලනඥයන්ගේ ග්‍රහණයට පත්ව ඇති නිසාය.


ආසන්න වසර හතළිස් ගණනක් පුරා මේ වරද එක දිගට සිදුවී ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන් ගණනාවක් ඉල්ලා අස්වී හමාරය. ඇබෑර්තු වන හැම තනතුරකටම විශ්‍රාමික හමුදා නිලධාරීහු පත් කෙරෙති. 2024 මැතිවරණයට දෙවසරක් තිබියදී රටේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් විශ්‍රාමික හමුදා නිලධාරින් වීම වළක්වාගත හැකි ජගතා කවුද? 2010 ජනාධිපති මැතිවරණය ප්‍රතිඵලය පැය විසි හතරක් පමාවූ රහස කිසිවෙක් නොදනිති. දයානන්ද දිසානායක යම් කාල සීමාවක් අවතැන්වී සිටි බව පවුලේ අය පවා දැන ගත්තේ පසුවය. එය මහා මංකොල්ලයකි.


තනි මිනිහෙකු අතට බලය පැවරෙන මේ ක්‍රමය ගමන් කරන්නේ කොහාටද?

පොළොන්නරුවේ ජීවත්වන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ යෝජිත සක්මක් තීරුව එපා කියති. කොළඹ සහ මහනුවර ජීවත්වන ශ්‍රමණ ප්‍රතිරූපකයෝ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ යෝජිත සක්මන් තීරුව අනුමත කරති. ජනතාව වෙනස වටහාගෙන සිටිති. විපක්‍ෂය බලය අල්ලා ගැනීමේ හීන දකිති. දේශපාලනඥයන් නොවන ජනතාවාදී නිර්දේශපාලනික පුරවැසි එකතුවක් පෙළ ගැසිය යුතුවේ. රාජ්‍ය සේවයට කතා කළ හැකි රාජ්‍ය සේවයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වර්තමාන රාජ්‍ය සේවයට ආමන්ත්‍රණය කළ යුතුව ඇත.


රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමයයි. එය වෙනස් කළ යුතු වේ. එවැනි අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන රටේ ජනතාවට ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව ගෙදර යන කෙනෙකු ඉදිරිපත් කළ යුතුවේ. ඔහු වෙනුවෙන් රටෙන් අඩක් පෙනී සිටිනවා නොඅනුමානය. ජනාධිපති ක්‍රමය රටට රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම, දේශපාලනඥයන්ටද එක සේ හානිකර වේ. 1973ට පෙර පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය තීරණාත්මකය. යුගදනවි බලාගාර ගිවිසුම් කතාවේ කාලය රාත්‍රිය වේ. එහි පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට ඉඩක් නැත. එපමණක්ද නොවේ.


2020 මහ මැතිවරණයේදී කොළඹින් වීරවංශලා, ගම්මන්පිලලා අබිබවා, සරත් වීරසේකරද, ගම්පහින් ප්‍රසන්න රණතුංගලා අබිබවා, නාලක ගොඩහේවාද, මාතරින් ඩලස්ලා අබිබවා, නිපුන් රණවකද, අනුරාධපුරයෙන් ෂෙහාන් සේමසිංහලා, දුමින්ද දිසානායකලා අබිබවා චන්න ජයසුමනද, ඉහළට ආවේ වියත් මග නිසා නම්, කුරුණෑගලින් මහනුවරින් මාතලෙන් කෑගල්ලෙන් වියත්මග පහළට වැටුණේ කෙසේද? මේවා මැතිවරණ නීතියේ ලියැවී නැති රෙගුලාසි ඉක්මවා ගිය, පුද්ගලබද්ධ අතපෙවීම්ය. ජනාධිපති ක්‍රමය, පළමුව රැහේ එවුන්ටද, පසුව විපක්‍ෂයටද රටේ පොදු සතුරා වන්නේ එහෙමය. ශුද්ධවූ මහා මැතිවරණ සංසිද්ධියක යම් අවස්ථාවක් මෙසේ පවුලක පැවැත්ම වෙනුවෙන් මෙසේ හසුරුවයි නම්, රටේ සාමාන්‍ය ජනතාවගේ පැවැත්මට සුරක්‍ෂිතභාවයට දෙයියන්නේ පිහිටය. ජනතා අභිලාෂය එසේ දෙපයින් මැඩ, ස්වකීය ආධිපත්‍යය පාර්ලිමේන්තුවේ ගොඩ නගා ගත් විට, යුගදනවි බලාගාරය නොව, රටම තම කැමැත්තට වෙනත් රටකට විකිණිය හැකි බව විපක්‍ෂය දනියි. ඒ බව විමල් වීරවංශලා ගම්මන්පිලලා තේරුම් නොගන්නේ නම් ඔවුන් මැතිවරණ සිතියමෙන් මැකී යනවාමය. රොකට් රාජපක්‍ෂ කුරුණෑගලට බෙදන්නට පටන් ගෙන ඇත. සත් කෝරළේ ජනතා අයිතිය කොල්ලකෑමේ දෙවන පියවර එය වේ. ශෂින්ද්‍ර රාජපක්‍ෂ මොනරාගල පැටව් ගසමින් සිටියි. ලෙනාඩ් වුල්ෆ් නවසිය හැට ගණන්වල ලංකාවට පැමිණි අවස්ථාවේ කීවේ හම්බන්තොට ඡන්ද කොට්ඨාස බෙදෙන්නේ පවුලක වර්ධන වේගයට අනුව බවය. දැන් පවුල බෙහෙවින් පු`ථල්ව අමෙරිකාව තෙක් පැතිරි ඇත. එහෙත් මේ ලියුම්කරු ඉන්තේරුවටම කියා සිටින්නේ අප රටේ පවත්නා තත්වය ගැන කිසිදු පවුලකට සාප කළ යුතු නැත. අප පෙළ ගැසිය යුත්තේ කොල්වින්ලා ජේ.ආර්.ලා රෝපණය කොට රාජපක්‍ෂලා පවත්වා ගෙන යන විධායක ජනාධිපති හූනියම කපා දැමීමටය.


මේ සාකච්ඡාව අතර සමහර ඇසුවේ ක්‍රමය වෙනස් කර ගෙදර යන ඒ පුද්ගලයා කවුද යන්නය. ප්‍රභූන් කිහිප දෙනෙක් තම ගමට පන්සලක් තැනීමට කතිකා කළහ. එකී ක්‍රියාවලිය අතර, පන්සල භාරදෙන භික්‍ෂුන් වහන්සේ කවුද යන්න කෙනෙක් විමසීය. එක් නමක් යෝජනා විය. ඊට එකඟ නොවූ කෙනෙකු තවත් නමක් යෝජනා කළේය. පසුව, නම් තුන හතරක් යෝජනාවීමෙන් පසුව, පන්සල තැනීමේ උවමනාව යටපත් විය. පන්සලක් තැනෙයි නම් භික්‍ෂුවක් සොයාගත හැකිවා මෙන්ම, පළමුව ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකු වෙනුවෙන් පෙළ ගැසිය යුතුවේ. එවිට පුද්ගලයෙකු හමුවීම අරුමයක් නොවෙනු ඇත. තෝරා ගන්නා මිනිසා බලය හැර යන්නෙකි. එවිට, ඔහු කිසිදු සක්‍රිය දේශපාලනඥයෙකුට තර්ජනයක් අභියෝගයක් වන්නේ නැත. තවත් මොනවාද?■

සියතින් ගෙල වැල
දා ගැනීම

0

තමන් කළ දේවල නපුරු විපාක තමන් ම විඳින භයානක අවස්ථාවලට මේ ආණ්ඩුව 2019 නොවැම්බරයේ, එහි උපතේ සිට ම මුහුණු දුන්නේ ය. දැන් මුහුණ දෙමින් සිටින්නේ ද ඒ නපුරු ඉරණමේ ම තවත් පියවරවලට ය.

යුගදනවි ද්‍රවීකෘත වායු විදුලි බලාගාරය අයත් සමාගමේ මහා භාණ්ඩාගාරයට අයත් කොටස් සියයට හතළිහ අමෙරිකානු සමාගමකට විකුණා දැමීම නිසා ආණ්ඩුව පත් වී ඇත්තේ එසේ මෙසේ අර්බුදයකට නොවේ. එක පැත්තකින් ආණ්ඩුව ලක්‍ෂ හැටනවයක තම ඡන්දදායකයන්ට මහා බොරුවක් කළ බව හෙළිදරව් වෙමින් තිබේ. අනෙක් අතින් ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්‍ෂවල විරෝධයට හා ප්‍රසිද්ධ විවේචනයට මුහුණ දෙමින් සිටියි. තවත් අතකින්, යුදගනවි ගිවිසුම සාධාරණීකරණයට මාධ්‍ය ඉදිරියට යවන තමන්ගේ දේශපාලන නායකයන්, මුළු මහත් ජනතාවට ම විහිළු සපයන ආකාරය බලමින් විලියෙන් ඇඹරෙන්නට ද ආණ්ඩුවට සිදු වී තිබේ.

පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියන්නේ ගිවිසුම මහ රෑ අත්සන් කළේ, දෙපැත්තටම යවමින් එහි කෙටුම්පත් සකස් කරන්නට සිදු වුණු නිසාත්, මුද්‍රණ දෝෂ හරි ගස්සන්නට සිදු වුණු නිසාත් බව ය. එසේ දෙපැත්තට ම කෙටුම්පත් යවමින් මහ රෑ වෙන තුරු කළ සාකච්ඡාව නිසා ලංකාවට උපරිම වාසි ගෙන දෙන අයුරින් ගිවිසුම සකසා ගන්නට හැකි වුණු බව ද ඔහු කිව්වේ ය. සියයට හතළිහක කොටස් හා අවුරුදු ගණනාවක ද්‍රවීකෘත වායු විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමට පවරා දීම ‘රටට උපරිම වාසි ගෙන දෙන’ කොන්දේසි යැයි මන්ත්‍රීවරයා කියන විට, ගිවිසුම මුල් තත්වයේ කොයි ආකාරයෙන් තිබුණේ ද යන්න අපට සිතා ගත හැකි ය.

ආණ්ඩුව මුලින් එවැනි ගිවිසුමක් මහ රෑ 12.06ට අත්සන් කළ බව පිළිගත්තේ නැත. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ද එවැනි දෙයක් ඇතැ’යි නිශ්චිතව නොකීවෝ ය. එහෙත්, වටින් ගොඩින් තොරතුරු හෙළිවන විට ටිකෙන් ටික ආණ්ඩුව එය පිළිගත්තේ ය. ගාමිණී ලොකුගේ ඇමතිවරයා, එවැන්නක් අත්සන් කළ බවත්, එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් බවත් තිරසාරව කියා සිටියේ ය. විමල් වීරවංශ ඇමතිවරයා කිව්වේ, සියයට හතළිහක කොටස් දුන්නේ ඇමෙරිකානු සමාගමකට බවත්, සමාගමක් කියන්නේ අමෙරිකාවට නොවන බවත් ය. එහෙත්, මේ ගිවිසුමට තමන් එකඟ නැති බවත්, ඒ ගැන කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කළ බවත් ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්‍ෂ කීවේ ය. ලොකුගේ ඇමතිවරයා කිව්වේ, කිසි විරෝධයක් කැබිනට් මණ්ඩලයේ දී නොනැගුණ බව ය. වාසුදේව නානායක්කාර මහතා කිව්වේ, ගිවිසුමක් අත්සන් කරන බව කීවත්, අන්තර්ගතය ගැන කැබිනට් මණ්ඩලයට දැනුම් නොදුන් බව ය.

මේ තරම් හතර විලිලජ්ජා නැති තත්වයකට ආණ්ඩුව පත් වී ඇත්තේ අප පෙර ද කී පරිදි, තමන් ම ගෙල වටා පටලවා ගත් වැල් නිසා ය. යහපාලන ආණ්ඩු කාලයේ ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා ඩොලර් මිලියන හයසියයකට ආසන්න සම්පූර්ණ ප්‍රදානයක් ලංකාවට ලැබෙන්නට යන විට, එදා විපක්‍ෂයේ සිටි අද ආණ්ඩුවට හිතවත් ටියුෂන් ගුරුවරුන් පවා තම ළමයින්ට ලංකාව මැදින් ඉරක් ගසා එම්සීසී ගිවිසුමෙන් රට දෙකඩ වෙන හැටි පෙන්වා දුන්නේ ය. සීතා අරඹේපොළ වැනි වියත් කාන්තාවන් පෙන්වා දුන්නේ ඇමෙරිකන්කාරයන් එන්නේ අපේ වැටමාර සුද්ද කරන්නට නොවන බව ය. ඒ හැර යහපාලන ආණ්ඩුවෙන් පිටරටට විකුණන දේපළ තමන් බලයට ආ විට යළි පවරා ගන්නා බවට ද තර්ජනය කරන ලදි.

එසේ කී දේශපාලකයන් අද වැටී ඇති දුර්භාග්‍ය සම්පන්න තත්වය කෙසේ විස්තර කළ හැකි ද?

ලංකාවේ වසර සියගණන් පවතින ඉඩම් අයිතිය පිළිබඳ ආරාවුල් විසඳා ඒවා නිරවුල් කරන්නට මෙන් ම රටේ ප්‍රවාහන හා මාර්ග පද්ධතිය දියුණු කරගන්නට විශාල මුදලක් හුදු ප්‍රදානයක් ලෙස පමණක් ලබා දෙන එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් එකල විපක්‍ෂය මැවූ ගෝනිබිල්ලා අද ඔවුන්ගේ ම ආණ්ඩුවේ ගෙලෙහි වැටී ඇති මන්ද බවට පත් වී තිබේ. එය සැපයක් යැයි කලකට පෙර ගෙල පළඳා ගත්තේ ද මේ ආණ්ඩුවේ දේශපාලන නායකයන් ම ය.

2019 අප්‍රේල් 21 වැනි දා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය, එවක ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා සිදු වූ මහා මිනිස් ඝාතනයක් ලෙස එදා පෙන්වන ලදි. පාස්කු දින ප්‍රහාරය සිදු වී දින කිහිපයකින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව ප්‍රකාශ කෙළේ ය. 2019 නොවැම්බර් ජයග්‍රහණයට, පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් නිර්මාණය කල බොරු උපරිම සේවයක් කළ බව කවුරුත් දනිති. තමන් බලයට පැමිණි පසු පාස්කු දින ප්‍රහාරකයන්ට උපරිම දඬුවම් හා වින්දිතයන්ට උපරිම යුක්තිය ඉටු කරන බවට ද එදා විපක්‍ෂය පොරොන්දු විය.

එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද? පාස්කු මහ මොළකරු සඟවා ගෙන සිටින බවට ඒ ආණ්ඩුවට ම චෝදනා එල්ල වීම ය. ජනාධිපති කොමිසමෙන් අපරාධ නඩු පැවරිය යුතු යැයි නිර්දේශ කළ අයට තම දේශපාලන හෝ වෙනත් වුවමනා මත නඩු නොපවරා සිටින බවට ද ආණ්ඩුව චෝදනාවලට ලක් වෙයි. ඒ අතර ආණ්ඩුවේ නායකයන්ට විදෙස්වලදී පවා විරෝධතා විඳින්නට සිදු වි තිබේ.

තමන් විසින් මුදා හරින ලද භූතයන් ඇඟේ හැපෙමින් සිටින වටාපිටාවක සියතින් ගෙල වැල දාගෙන සිටින අසරණයකුගේ මුහුණ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගෙන් ද මැනැවින් ප්‍රදර්ශනය වේ.■

මාධ්‍යමය
ප්‍රබන්ධයකින් මැවූ
බුබුළ පිපිරීම

ලංකාව විනාශය පේන මානයේය. විනාශයට හේතුව වසංගතය යයි තීන්දු කිරීම වරදකි. ක්‍රමයෙන් විනාශය කරා තල්ලු වෙමින් තිබුණ රට වත්මන් ජනාධිපතිවරයා විනාශයේ මකර කට ළඟටම සාහසික අන්දමට ළං කරන්නට සමත් විය. ප්‍රධාන හේතුව ඔහු නායකයෙක් නොවීම ය. අසීමිත බල කාමය හැර වෙන කිසි යහපත් දෙයක් ඔහුගෙන් දකින්නට නොහැකි විය. අනික රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකලාපයයි. රට භුක්තියට සවි කරගැනීමට කිසි ලෙසකින් හෝ පසු නොබා කටයුතු කිරීමයි. අද වන විට ගඳ සුවඳ දැනෙන කවරෙකුට වුව වටහා ගත හැකි කාරණාවකි 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම නිවැරදි තීන්දුවක් බව. අභාග්‍යය නම් ඒ පරාජයෙන් පෙරළා යළි පරාජයක්ම උරුම වීම ය. මේ ගැන අප කොතෙකුත් ලියා ඇත. දැන් අප ඉදිරියේ තිබෙන්නේ යළි රාජපක්ෂවරුන් පරාජය කිරීම නොවේ. 2015 දී සිදුවුණ වරද යළි නොවීමේ වගකීම වෙනුවෙන් සන්නද්ධ වීම ය.

ජවිපෙත් නොතිබුණා නම්


ජනාධිපතිවරයා ජන වරමක් ලබන්නේ තනිකරම බොරුවෙන්ය. ආණ්ඩු බලය – තුනෙන් දෙකේ බලය ද එහෙම පිටින්ම බොරුවෙන්මය. ජන විඥානය කෝපයට පත් කළ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පමණක් නොව, පාස්කු ප්‍රහාරය ද භූමරංගයක් බවට පත්වන එක වලක්වන්නට ජගතෙකුටත් නොහැකි ය. සියලු බොරු ඇස් පනා පිට හෙළි වී තිබුණත් තව තව බොරුවලින්ම ඒවා සාධාරණය කිරීමට මාධ්‍ය බලය උපරිම වශයෙන් පරිහරණය කරන අන්දම විද්‍යමාන වේ. හොරකමේ වේගය ආණ්ඩුවටවත් හිතා ගන්නට බැරි තරම් වේගවත්ය. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මේ ආණ්ඩුව තරම් දූෂිත නැත, වංචනික නැත, අසාර්ථක නැත. අභාග්‍යය නම් මාධ්‍ය බලයෙන් පිම්බී සිටින්නට සමත්ව සිටීම ය. ආණ්ඩුව බලයට පත්වුණ පසුව කළ සාපරාධී ගනුදෙනු ගැන දත්ත සහිතව කතා කරන්නට සමත්වී සිටින්නේ ජවිපයයි. විපක්ෂය එහිදී විදහාපාන්නේ අසරණ බවකි. වියත්මගෙන් මතුවුණ තැනැත්තෙකු දුක්බර අන්දමින් පවසා තිබෙන්නේ ජවිපෙ නොතිබුණා නම් ආණ්ඩුව කරන කිසි දෙයක් අඩුම ගාණේ පුවතක් බවට හෝ පත් නොවන බවය. එය ඇත්තක් යයි සිතමි. යකඩ පෙට්ටියක නිරුවතින් සිටින්නෙකු එළියට ඇද පෙන්නුවත් ගාණක් නැති තාලයෙනි ආණ්ඩුව වැඩ කරන්නේ. එහි අර්ථය වන්නේ ආණ්ඩුව හිතක් පපුවක් නැති අන්දමට කළ හැකි හැම අපරාධයක්ම රටට කරන්නට බය සැක නැති බව ය.


උරුලෑවෙකුටවත් ඉවසන්නට බැරි නිරිසත්ව ගන්ධයකි හමන්නේ. එහෙත් ජවිපෙට අවලාද නැඟීම එකම විලාසයකින් විද්‍යමාන වේ. ඒ සියලු අවලාද නඟන්නේ කුලී හේවායන්ම නොවන බව ඇත්තකි. ශීලචාර මිනිසුන් යයි සිතා සිටි දන්න හඳුනන කිහිප දෙනෙකු නිතර නිතර පළ කරන පෝස්ටු දැක මම කම්පා වීමි. දුමින්ද සිල්වා නිදහස් කිරීම හා ඔහුට රජයේ ඉහළ පදවියක් පිරිනැමීමවත් වරදක් ලෙස දකින්නේ නැද්දයයි කෙනෙකු විමසා සිටි විට ඊට ප්‍රතිචාරය, ‘ජෙප්පන් එක්ක අපට නෑකම් එපා‘ යන්නය. එහි තේරුම කුමක් ද? ආණ්ඩුව තැන නොතැන මල පහ කිරීම පවා අභිරුචියෙන් ඉවසීමය, ඒ අසූචිත් සුවඳ යයි සිතීමය. මේ අන්ධභාවයට මුග්ධභාවයට සිනාසීම – හාස්‍යයට ලක් කිරීම සැනසීමට හේතුවක් නොවේ. මාධ්‍ය බලයක් නැති සංදර්භයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධිත අන්දමින් ප්‍රතිචාර දැක්වීම හැකි උපරිමයෙන් කළ යුතු ය. විපක්ෂයත් සිදුවන විනාශයන් ගැන සංවේදී හැම පුරවැසියෙකුත් ඒ වගකීම භාරගත යුතු යයි සිතමි. විද්‍යමාන තත්වය නම්, ‘මෙහෙම කළොත් අරයලට වාසියි අපට වාසියක් නෑ‘ යනුවෙන් හොරගල් ඇහිලීම ය. ඉන් ගම්‍ය වන්නේ බලය අත්පත් කරගැනීම විනා අනෙකක් නොවේ. මේ ඉතා නරකම තත්වයකි. මෙහි ප්‍රතිඵලය වෙන පාටකින් පරණ මෝස්තරේටම ඇඳුම මැසීම ය. අලුත් පාටක් අලුත් ඇඳුමක් අවශ්‍ය බව වටහාගන්නට හේතු කාරණා ඉහටත් උඩින් ය.

කාලය ලබා දී ඇත


විනාශයෙන් අත් මිදෙන්නට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යම වේ. මේ සාමූහික ප්‍රයත්නය එක එක අයට අවශ්‍ය කොන්දේසි මත පිහිටා ගොඩ නඟන එකක් නොවිය යුතු ය. මැතිවරණයක් ආසන්න වන විට බොහෝ අය තම තමන්ගේ බලයක් පෙන්වමින් (සමහර විට නැති) අවබෝධතා ගිවිසුම්ගත වෙන්නට පේ වෙති. දේශපාලන පක්ෂත් එයම ය කරන්නේ. ඇමතිකම් – නියෝජ්‍ය ඇමතිකම් – සංස්ථා සභාපතිකම් – තානාපතිකම් යනාදි වශයෙන් තම තමන්ගේ කෝටා වෙන්කර ගැනීමට හැකියාව තකාගෙන පෙරට එන කිසිවෙකුත් රට විනාශයෙන් ගොඩ ගන්නට සමත් වනු නැත. මේ පහත් ක්‍රියා කලාපයට තිත තැබිය යුතුය. එසේ නොවුණහොත් ආයෙම පරණ වැසිකිළියක්මය අලුතින් හැදෙන්නේ.


සමාජ ව්‍යාපාරයකට සම්බන්ධව සිටි කෙනෙකු ලෙසින් මා වටහා ගත් කරුණක් වන්නේ ස්වයංසිද්ද බල පෙරළියකට අයිතිවාසිකම් කියා පාමින් ඔප්පු තිරප්පු ලියා ගැනීමට අවිනීත ලෙස ‘සිවිල් චරිත‘ ඉදිරිපත් වීම ය. ඇතැම් තැනක තමා සිටි බව ඔප්පු කරන්නට තමන් සන්තකයේ තිබෙන ඡායාරූප ද රැගෙන පෝලිම්වල එන උදවිය සෑහෙන කාලයක් තිස්සේ පුරුදුව සිටින පිළිවෙත දුරින් දුරු කළ යුතුය.


වියත් මඟ නම් බැලූම පිම්බූ උදවියගේ න්‍යාය පත්‍ර කවරේදැයි අනාවරණය වුණේ බෙරගෙඩි පැළෙන විදිහටය. ජාතික ආරක්ෂාව ගැන කැට තියා කටමැත දෙඩවූ – දේශවාත්සල්‍යයෙන් මඬනා ලද එක සිංහයෙක් කැබිනට් මණ්ඩලය පත් කරන්නටත් පෙරම ලේකම් පදවියක් ලබා ගත්තේය. විලිරුදා ඉවසාගත නොහැකිව යටි ගිරියෙන් කෑ ගසන්නා සේ කෑ ගැසූ දේශප්‍රේමී සීතාවක් නොපමාව පළ කළේ කෑදරකම් ය.
උසස් පදවිවලට පත් කිරීමට විද්‍යාත්මක තේරීම් කමිටුවක් පත් කරමින් වැඩ පටන් ගත්තේ. විද්‍යාත්මක බව විදහාපාමින් කමිටුවේ සාමාජිකයන් සේරටම කලින් තම තමන්ගේ පදවි තෝරාගැනීමටය වග බලා ගන්නේ.


මේ ආදි වශයෙන් යහපත් ආණ්ඩුකරණයකට කිසිසේත් අදාළ නොවන – යා නොදෙන ක්‍රියාදාමයන් විචාරශීලිව අධ්‍යයනය කොට ඒ ගැන බොරු මැතිවරණ ප්‍රකාශවල ලියන මුළාවෙන් බැහැරව යහපත් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් පැවති, විනාශ කර දමා ඇති ක්‍රමවේද හඳුනාගත යුතුය. එහෙත් එවැනි කටයුතු වෙනුවෙන් මේ ආණ්ඩුව ලබා දී තිබෙන කාලයෙන් ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ.

පහසු උඩ පන්දු අතහැරීම


ලංකාවේ දේශපාලන සංස්කෘතිය පාදඩකරණය වී ඇති අන්දම දිගින් දිගටම එක වේගයකින් දකින්නට හැකි විය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන් පැවරූ නඩු ඉල්ලා අස්කර ගැනීම බල පෙරළියකට මත්තෙන් කළා නම් ඒ ඒ නිලධාරීන්ගේ වෘත්තීය මට්ටමක් ඉන් විශද වෙන්නට තිබුණි. හැම නඩුවක්ම ඉල්ලා අස් කර ගන්නේ – ඉවත දමන්නේ – චුදිතයන් නිදහස ලබන්නේ – නිදොස් වන්නේ බලපෙරළියකින් පසුව ය. මේ කොතරම් අවාසනාවන්ත තත්වයක් ද? ඒ හැම දෙයක්ම නීතියට අනුව සිදු නොවී නම් මහජනතාවගේ බදු මුදල්වලින් වැය කරන ධනස්කන්ධය ගගේ මූදේ දැම්මා සමානය.


ලංකාව ගොඩ ගැනීමට නම් අවශ්‍යයෙන්ම ‘ප්‍රමාදය‘ නම් රෝගයට ප්‍රතිකාර අවශ්‍ය වේ. සියලු විමර්ශන අවසන් කොට නිසි විනිවිදභාවයකින් යුතුව කෙළවරකට ගෙන යාමට තිබුණ නඩු ප්‍රමාදය නිසා ප්‍රතිඵලය පරාජයයි. පහසුවෙන් අල්ලා ගන්නට තිබුණ උඩ පන්දු අතහැර පරාජය වැළඳගැනීමට එය නොදෙවෙනිය.


රාජ්‍ය යාන්ත්‍රණය තුළ කඩිනමින් කළ යුතු කළ හැකි කවර කටයුත්තක් වුව අනවශ්‍ය අන්දමින් ප්‍රමාද වීම කිසිසේත්ම හොඳ තත්වයක් නොවන බව විස්තර කළ යුතු නොවේ. මෙය රට ගොඩ නැඟීමට අවංක උවමනාවක් තිබෙන කවුරුත් ගැඹුරින් වටහා ගත යුතු කාරණාවකි. ‘පහු පහු වෙන කොට කොහු කොහු‘ යන්න රනිල් -මෛත්‍රී ඩබලට උපමා අලංකාරවලින් පැහැදිලි කර දුන්නේ සෝභිත හිමියන්ය. එහෙත් ඉතා ඉක්මනින් උන් වහන්සේ පසක් කර ගත්තේ කිසිම යහ පාලන අපේක්ෂාවක් වෙනුවෙන් නිර්භීත හා අවංක කැපවීමක් නැති බව ය. යම් දෙයක් හෝ සිදුවුණා නම් ඒ සිදු වුණේ සිවිල් සංවිධානවල පෙනී සිටීම මගහැරයාම අපහසු වූ නිසා ය. එබැවින් මේ තාක් ආණ්ඩුකරණය තුළ තිබුණ බොරුව හා වංචාව ගැන ඉතා තදින් සංවේදී වීම අවශ්‍ය වේ.

ස්වාධීනත්වය ව්‍යාජයක් වූ විට


ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යනු පාලකයන් හදවතින්ම සතුටු වන කටයුත්තක් නොවේ. ඒවා ගැන හඬ නඟන්නේ පාලකයන් වන්නට අරඅඳින උදවියයි. ඒ ඇයි? නීති ගරුක පුරවැසියන්ගේ කැමැත්ත ඒවාට ඉහළින්ම ලැබීම ය. එපමණක් නොව ඔවුන් ඒ වෙනුවෙන් මතවාදී තලයක සිට ජන විඥානයට බලපෑම් කිරීමටත් උත්සුක වීමය. රටක් යථා තත්වය ගොඩ නැඟීමට හෝ රටක් සැබෑ ලෙස දියුණු කිරීමට එය වැදගත්ය, අවශ්‍ය ය. උත්ප්‍රාසය නම් රාජ්‍ය පාලනයට වරමක් ලබා ගත් පසුව පාලකයන් ඒ වෙනුවෙන් උදාසීන වීම ය. මේ වන විට මැනවින් ඉගෙන ගන්නට ලැබී තිබෙන පාඩම වන්නේ ‘දේශපාලන ප්‍රතිසංස්කරණ‘ කල් මැන කළ නොහැකි බවය. ලංකාව ඒ සම්බන්ධයෙන් අති විශේෂය. ඒ මන්ද? ජන වරමක් ලබා ගැනීමේදී ජන මනස මුසපත් කරන්නේ බොරු ලොරි පිටින් බෑමෙනි. ඒ නිසා දිළිඳු හා නූගත් ජනයාගේ අපේක්ෂා විශාලය. සත්‍යය නම් ඒ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කිරීමට පහසු නොවීම ය. එවිට පටන් ගන්නේ ආණ්ඩුවක් අපකීර්තියට – පිරිහීමට ලක්වීමය. මෙය වඩාත් හොඳින් වත්මන් ආණ්ඩුව ‘සිංහල බෞද්ධ ආණ්ඩුව‘ තහවුරු කර තිබේ. මාධ්‍යමය ප්‍රබන්ධකරුවන් ටක්කෙටම ගෝඨාභය රාපක්ෂට ලබා දුන් උපදෙස නම් බලය මිට මොලවා ගන්නට අදාළ ප්‍රතිසංස්කරණ මොහොතක් හෝ පමා නොකරන්න යන්නය. ඔහු ඒ උපදෙස හරියටම පිළිපැද්දේය. වසංගත එකක් නොව පේළියක් ආවත් ඔහු නොපමාව බලය මිට මොළවාගැනීමට අදාළ ප්‍රතිසංස්කරණ සිද්ධ කර ගත්තේය. එහි ආනුභාවය තුන්කල් නුවණින් දුටු බැසිල් නම් ඉසිවර සුළු පක්ෂවල හීන්තැන්වලින් මිරිකා බෙලසුන් කර ‘ඔහුට වඩාත් ප්‍රිය දේශපාලන ජාවාරම‘ නිල වශයෙන්ම අතට ගත්තේය. මොන තරම් අනීතික වැඩ කළත් – සාපරාධී වැඩ කළත් සිවිල් සමාජයට හෝ විපක්ෂයට හෝ අධිකරණයෙන් පිහිට ලබාගැනීමට අවස්ථාවක් නැත. ළමයා ප්‍රසූත කළ පසුව මව පිරිමි ද ගැහැනු ද කියා දැන ගැනීමට ස්කෑන් කරන්නේ කුමට ද? ලංකාවේ පරිහානිය යනු නීතියේ ආධිපත්‍යය පාලකයා මිට මොළවා ගැනීම හේතුවෙන් පටන්ගෙන උඩු දුවා තිබෙන බව ගැන මොන තරම් දේ විද්වතුන් ලියා පහදා තිබේ ද?


තල් ගහට පොල් ගහ කීම


තොරතුරු දැනගැනීමට නිල වශයෙන් උරුම කර ගත් අයිතිය මහජනයාට අහිමි විය. මහජන මුදල් හා මහජන දේපළ අවභාවිත කිරීමට අවසරය ඉන් හොඳහැටියට ලැබී තිබේ. ආණ්ඩුව පොහොර ප්‍රශ්නයෙන් අමුඩ කඩා ගත්තේ මහ දවල්ය. නිකං පොහොර දෙන බවට ගොවියන්ට ගෝඨාභය ප්‍රතිඥා දුන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන්ම ඔහු කළේ ටෙලි ප්‍රොම්ටරය පෙන්වන අකුරු අහුලමින් කියවීමය. කිව්වේ මොනවාද යන්න ඔහු දැන නොසිටින්ටත් ඇත. ඔහුට පැවරී තිබුණේ මාධ්‍ය ආයතන හිමි ප්‍රචාරණවාදීන් ලියා දෙන දේ කෙසේ හෝ කියවා දැමීමය. කෙසේ හෝ නායකයා වුණ පසුව ඔහුට කපන්නට සිද්ධ වන්නේ කේක් ගෙඩියක හැඩයට සාදා තිබෙන කළු ගලකි. රුවැන්වැලි සෑය සමීපයේ සිට කේක් ගෙඩිය කපන අන්දම ගැන නිමැවුණ ගීයද ටෙලිප්‍රොම්ටරයෙන් කියවා දැමීය. ඒ හැම දෙයක්ම නිම කළ පසුව ඔහුට සිදු වන්නේ ගල් ගෙඩිය කපන්ටය. කොපමණ කැපුවත් කැපෙන්නේ නැත. කපන්නට කපන්නට වෙර දරන විට හති වැටෙන්නට පටන් ගත් විට දැන් ඔහු කැපිල්ල අත්හැර දමා ඇති සේය. එහෙත් ඔහුව පුටුවේ වාඩි කළ ‘මරු බඩු ටික‘ හිතේ හැටියට බුරියානි බුදිති. එහි වග විත්ති ගැන අසීමිත බලතල ඇති විධායක ජනාධිපතිට ඇස් වසාගෙන සිටිනවා හැර කරන්නට දෙයක් නැත.


හැම දේම වෙනුවෙන් රෙදි කරට අරන් කුලප්පු වී නැටූ ජාතිවාදී නැට්ටුවන් රොත්තට අඤ්ඤකොරොස් වී සිටියත් මල නල ශුද්ධ කිරීම හැර වෙන විසඳුමක් ඔවුන්ට නැත. බටහිර විරෝධී – දේශප්‍රේමීන් සෙට් එකට නකුට පස්සේ හංගාගෙන පැත්තකට වී සිටින්නටද බැරිය. ‘යුතුකම‘ වෙනුවෙන් වමාරා බුදින්නට සිදුව තිබේ. ලේ රත් කරන හැම අපරාධයක්ම සිසිල සුව සදන සත්ක්‍රියාවන් ලෙසින් හිරිකිතයකින් තොරව දෙසා බාන්නට ද ඔවුන්ට සිදු තිබේ.

අවධිය හා පියවි සිහිය


ආණ්ඩුව හතර ගාතෙන් වැටී තිබුණත් මාධ්‍ය බලය ඔවුන් සන්තකය. මැතිවරණයක් එළඹෙන විට අන් සියලු දෙනාටම මාධ්‍ය බලය අහිමි කරන එක අනිවාර්ය විය හැකිය. සමාජ මාධ්‍ය වාරණය උපරිමයෙන් කරනු ඇත. අනෙක් කාරණාව නම් රට වැසියන් අහේනියෙන් පීඩා විඳින විට බැසිල් බලය ක්‍රියාත්මක වීම ය. නියඟයෙන් දා ගිය මහ පොළව මතට කෘත්‍රිම වැස්සක් ඇද හෙළුවත් පිපාසයෙන් සිටින්නන්ට එය සම්පතකි. කෘත්‍රිම වැස්ස තාවකාලික බව – මුළාවක් බව වටහා ගන්නේත් නැත.


මැතිවරණයකට පිවිසෙන්නේ අසාමාන්‍ය ධනස්කන්ධයක් පොම්ප කරමිනි. එක පැත්තකින් කෘත්‍රිම වැස්සක් ද – ව්‍යාජ සෞභාග්‍යයක් ද මාධය බලය විසින් ඔජ වඩා විදහා දැකීමට කල් මැන පටන් ගනු ඇත. කාට වුව සටන් බිමට යන්නට සිදුවන්නේ සමහර විට නිරායුධව වෙන්නට පුළුවන. මේවා ගැන කල්පනා කොට සැලසුම් සම්පාදනය කළ යුතු වේ. පහසුවෙන් කාගේවත් ඔඩොක්කුවට බලය වැටෙන්නට මෙවර ඉඩ නොදෙන්නේ රාජපක්ෂවරුන් පමණක් නොව, ජාවාරම්කාර තක්කඩිරැළ ඔවුන්ටත් ඉදිරියෙන් පෙනී සිටිනු ඇත.


ඊටත් වඩා නරකම තත්වය විය හැක්කේ මැතිවරණ ක්‍රියාදාමයම හමුදාකරණයට හසු කොට ක්‍රියාවට නැංවීමය. මැතිවරණ කොමසාරිස්වරයාට ඉතිරි වන්නේ නිවේදක භූමිකාව පමණක් විය හැකි ය.


මේ කිසි කරුණක් හුදු භීතිය පැළ කිරීම පිණිස නොවේ. අවධානය හා විමසිලිමත් වීම වෙනුවෙනි.


සතුරා සතු අවි සහ ශක්‍යතා නොදැන සටන ගිය විට මරු මුව වැටෙන්නේ සේනාවක්ම වේ.

ප්‍රබන්ධය රසවත් වීම


ලංකාවේ ජනතාව යුද්ධයෙන් පීඩා වින්දේය. යුද්ධය අවසන් කිරීමෙන් අනතුරු වීර කාව්‍යයක් ප්‍රබන්ධ කෙරිණි. ඒ වීර කාව්‍යය ජනතාව අතට පත් කරන්නේ රසවත් ගායන වාදන නැටුම්වලිනි. ජනතාව වීර කාව්‍යය රස විඳින්නේ උඬඟු මනසකිනි. ඒ උඬඟු මනස මාධ්‍ය බලය විසින් උරුම කරන ලද්දකි. එහෙත් ජනතාවට අවබෝධ නොවුණ කාරණාව වන්නේ තමන් රස විඳින්නේ සැබෑ වීරයා නැති වීර කාව්‍යයක් බව ය. මාධ්‍ය බලය ඊට ඉඩක් තියන්නේ ද නැත.


ප්‍රබන්ධගත වීර කාව්‍යය මොන තරම් අනුහස් සහිතද යත් ඕනෑම අවස්ථාවක ප්‍රබන්ධයෙන් වර්ණවත් කොට තිබෙන වීරයා රණවිරුවන් ගැන සිහි කොට රට ගැන පද දෙක තුනක් ගැයූ විට ජනතාව යළි මුසපත් වේ. ඒ වෙනුවෙන් පේ වී සිටින පිරිහුණ සංඝජාලයක් ද රටේ ඇත.


ලංකාව ගොඩ ගැනීමට උර දෙන්නට නම් අවශ්‍යයෙන් මේ වීර කාව්‍යය යථාර්ථවත් ප්‍රබන්ධයක් නොව, අද්භුත ව්‍යාජයක් බව රටට පසක් කරදීම අවශ්‍ය යයි සිතමි.■