No menu items!
24.3 C
Sri Lanka
6 November,2026

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශන ප්‍රගතිය නොවැම්බර් 20දා වාර්තා කරන්නැයි අල්ලස් කොමිසමට නියෝගයක්

Must read

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (06) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

මෙම නඩුවට අදාළව ඇප මත මුදාහැර සිටින නමුත් වෙනත් නඩුවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එහි තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළව කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, හිටපු ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩම ක්‍රිෂ් සමාගමට පැවරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම, මෙම නඩුවට අදාළ විමර්ශනයට භාජනය වී ඇති ලේඛනයක සඳහන් නාමල් රාජපක්ෂ මහතාගේ අත්අකුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා එම ලේඛනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ද අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

එම පරීක්ෂණය සිදුකිරීම සඳහා අදාළ ලේඛනයේ මුල් පිටපත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති බව ද ඇය පැවසුවාය.

එම මුල් ලේඛනය කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ පවතින නඩු ගොනුවක ඇතුළත් බැවින්, එය ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය නියෝගයක් අදාළ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන ලෙස ද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ එම ඉල්ලීම අද අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ ඇතුළත් නොවන බවයි. ඒ අනුව, අදාළ ඉල්ලීම සනාථ කරන ලේඛන සමඟ ඉදිරි දිනයකදී එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

අනතුරුව නඩුව නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් ජානකී සිරිවර්ධන මහත්මිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිෂ් සමාගමට පැවරීමේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි