දොම්පේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු කාන්තාවකට ශාරීරිකව පහරදීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, අදාළ පොලිස් කොස්තාපල්වරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් මාස හයක් ඇතුළත ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
විනිසුරු ජනක් ද සිල්වා, විනිසුරු මෙනකා විජේසුන්දර සහ විනිසුරු සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයකු තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් ජයසිංහගේ නිර්මලා කාන්ති මහත්මිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන අවසන් කිරීමෙන් අනතුරුවය.
මෙහිදී පළමු වගඋත්තරකරු වන ලක්මාල් (84253) නමැති පොලිස් කොස්තාපල්වරයා විසින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. වධහිංසා පැමිණවීම සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලින් ආරක්ෂා වීම සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් සහතික කර ඇති අයිතිවාසිකම මෙහිදී උල්ලංඝනය වී ඇති බව අධිකරණය තීරණය කර ඇත.
2019 ඔක්තෝබර් 7 වැනිදා සිය සැමියාට දිවා ආහාර පාර්සලයක් ලබාදීම සඳහා දොම්පේ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ පොලිස් කොස්තාපල්වරයා තමන්ට ශාරීරිකව සහ වාචිකව පහරදුන් බව පෙත්සම්කාරිය චෝදනා කර තිබිණි. නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබූ බව ද පෙත්සමේ සඳහන් වේ.
තම චෝදනා තහවුරු කිරීම සඳහා පෙත්සම්කාරිය වෛද්‍ය-නීති පරීක්ෂණයට අදාළ ලදුපතක්, රෝග විනිශ්චය පත්‍රිකාවක් සහ තුවාල පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එම ඡායාරූපවල දැක්වෙන තුවාල වෛද්‍ය ලේඛනවල සටහන් කර ඇති තුවාල සමඟ ගැළපෙන බව අධිකරණය නිරීක්ෂණය කර ඇත.
අදාළ සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඇය ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට රැගෙන ගොස් පසුව ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරකුගේ දිවුරුම් ප්‍රකාශයක් ද පෙත්සම්කාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම ප්‍රකාශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ කරුණු තහවුරු වන බව ද අධිකරණය සලකා බලා ඇත.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය පෙනී සිටියාය. පළමු වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් කලණ ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ උදය බණ්ඩාර මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.


