මැයි 25 වැනිදා, පන්නිපිටියේ දෙව්රම් වෙහෙරේදී උත්සවයක් පැවැත්විණි. ඒ අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක හිපන්කන්දේ සද්ධාසිරි හිමියන් වෙත මියෙන්මාරයෙන් ලැබුණු ගෞරව නාමයක් පිළිගැන්වීම සඳහාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂාව බාර නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඇතුළු පිරිසක් එහි සභාවේ අසුන් ගෙන සිටියහ.
උත්සව සභාව ඇමතූ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි කී කතාවක්, එදින රූපවාහිනී නාලිකා ප්රවෘත්තිවල විශේෂ තැනක් අල්ලාගත්තේය. එහිමියන් කී කතාව අපේ වචනයෙන් මෙසේයි. ‘බුද්ධාගමට රටේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතුයි කියන නිසි තැන දැන් ලැබෙන්නේ නැහැ. අපේ රාජ රාජ මහාමාත්‍යවරු ඒ ගැන හොඳට තේරුම් ගත්තා. නූතන පාලකයන්ට ඒ ගැන තේරුමක් නැහැ.
මේ රටේ විවිධ විහාරස්ථානවල සේවය සඳහා හමුදාවල සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෝ දාලා තියෙනවා. අපේ පන්සල්වල හිටියා. අද අපිට ඒක නැතිවෙලා තියෙනවා. මේවා සංඝරත්නය ඉල්ලලා ගත්තු දේවල් නෙවෙයි. ශාසනයට ලැබුණු දේවල්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම රජයේ වගකීම. භික්ෂූන් වහන්සේලාට ආගමට පන්සලට හිමි තැන ඒ විදියටම සුරකින්න ඕනෑ. එසේ දිගට සුරැකෙන්නේ නැත්නං මං හිතනවා වෙලාවක මේ රටේ ගිහි පැවිදි බෞද්ධ අය ශාසනය රැකගන්න ඉදිරියට එනවාය කියලා. පන්සල්වලට මෙතෙක් කරපු සේවය ලබාදෙන්න.’
රාහුල හිමියන්ගේ මේ කතාවට සජිත් ප්‍රේමදාස මහතා කුමන ප්‍රතිචාරක් දැක්වූයේ දැයි පැහැදිලි නැත. එහෙත් ඒ කතාවට අංශු මාත්රයකින්වත් ඔහු විරුද්ධ වන්නේ නැති බව නම් විශ්වාසය. ප්‍රේමදාස මහතා, මීට පෙර ලංකාව විනාශ කළ රාජපක්ෂවරුන් මෙන් ම පන්සල් කර පිට තබාගෙන දේශපාලනය කරන්නෙකි. යහපාලන ආණ්ඩු කාලයේ බුද්ධ ශාසන ඇමතිවරයා හැටියට කටයුතු කරද්දී හෙතෙම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් හිතුමතේ පන්සල්වලට බෙදා දුන්නේය.
හරියට, ජනාධිපති අරමුදලේ මුදල් සිය දේශපාලන හිතවතුන්ට පසුගිය ජනාධිපතිවරුන් බෙදා දුන්නාක් මෙනි. ඒ නිසා රාහුල හිමියන්ගේ ඉල්ලීම, සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණු දවසක නම් ඉන්තේරුවෙන්ම ඉටුකරනු ඇතැයි සිතිය හැකිය.
රාහුල හිමියන්ගේ කතාව, එක් පැත්තකින් තර්ජනයකි. එහිදී නූතන පාලකයන් හැටියට ඔහු හඳුන්වන්නේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව විය යුතුය. එහිමියන් කියන්නේ, මේ පාලකයන්ට පන්සල්වලට හිමිවිය යුතු තැන ගැන අවබෝධයක් නැති බවකි. පන්සල්වලට පරණ ගෞරවය දෙන ලෙස එහිමියෝ ඉල්ලති. නැතිනම් මිනිසුන් පාරට බසිනු ඇති බව කියති. මිනිසුන් පාරට බස්සනු ඇත්තේ කවුද යන්නද එහිමියන්ගේ කතාව අනුව පැහැදිලිය.
යම් හෙයකින්, පන්සල්වලට හමුදා සෙබළුන් යොදවා ‘සේවය කිරීම’ මේ ආණ්ඩුව නවතා දැම්මා නම්, අපට අනුව නම්, එය ඉතා යහපත් වැඩකි. කළ යුතුම දෙයකි.
හමුදා සෙබළුන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් පන්සල්වල වැඩට යෙදවීම ඇරඹුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිය. විශේෂයෙන් සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, වැඩක් නැති තත්වයට පත්වුණු හමුදා සොල්දාදුවන්ට, වැටුප් ගෙවමින් නිකං තබාගන්නවාට වඩා, මොකක් හෝ වැඩක යෙදවීම අවශ්‍ය විය. රාජපක්ෂලාට පන්සල් මතක් වෙන්නේ ඒ අනුවය. හමුදා සෙබළුන් යහමින් පන්සල්වල වැඩට යෙදවීම ඉන්පසු අරඹන ලදි.
මේවා නිකම්ම නිකම් පන්සල් නොවේ. ඉතිහාසය පුරා රාජපක්ෂලාට සේවය කළ හාමුදුරුවන් ඉන්නා පන්සල්ය. පන්සල්වල වැඩ යනු මොනවාද? පන්සල්වල තිබෙන විවිධාකාර ඉදිකිරීම් වැඩ සඳහා මේ සෙබළු යොදාගන්නා ලදහ. බුදු ගෙවල් ඉදිකිරීම, චෛත්‍ය ඉදිකිරීම, මකර තොරණ, හාමුදුරු නිවස්න ඉදිකිරීම ආදි මෙකී නොකී සියලුම ඉදිකිරීම් වැඩ මේ සෙබළුන් ලවා සිදුකෙරිණි. හාමුදුරුවන්ට මේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම ලැබුණේ නොමිලේය. එපමණක් නොවේ, පන්සල් පිරිසිදු කිරීම, මිදුල ඇමදීම, දානය ගෙන එන්නට දායක ගෙවල්වලට යාම, හාමුදුරුවන්ට රියැදුරු වශයෙන් සේවය කිරීම, පන්සලේ වාහනය සේදීම, පන්සලේ සුරතලයට ඇතිකරන බල්ලන් බළලුන්ට සත්කාර කිරීම, හාමුදුරුවන්ට අවශ්‍ය දෛනික පහිණිපත් කිරීම යනාදි සියල්ලමද මේ සෙබළුන් ලවා කරවාගන්නා ලදි. පන්සලක මෙවැනි දෛනික පහිණිපත් කරන්නා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ඇබිත්තයා නමිනි. එය අගෞරව නාමයක් නොවේ. පන්සල්වලට අනුයුක්ත කරන ලද මේ හමුදා සෙබළුන්ද හැම අතින්ම සමාන වුණේ ඇබිත්තයන්ටය. එක අතකින් එය රාජපක්ෂවරුන්ගේ ඊනියා රණවිරු ගාය සංකේතවත් කරන අවස්ථාවක්ද වෙයි.
වරක් ලියුම්කරු ඇමතූ, නුගේගොඩ, කොහුවල බලවත් පන්සලක දායිකාවක කියා සිටියේ, තමන්ගේ මාසික මුරදානයට, පන්සලේ ඉදිකිරීමේ වැඩ කරන නාවික හමුදා භටයන් පිරිසට අවශ්‍ය ආහාර ප්‍රමාණයද එකතු කර ලබාදෙන ලෙස විහාරාධිපති හිමියන් පැවසූ බවයි. මේ විහාරාධිපති හිමියන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් දිනවීම, බෞද්ධයන් නිවනට යන අන්දමේ පිංකමක් බව කියූ මහාචාර්ය හිමියන්ය. දායිකාව වැඩිදුරටත් කීවේ, ‘හාමුදුරුවන් සෝල්ජර්ස්ලාගෙන් නිකං වැඩ කරවාගන්නා ගමන්, ඒගොල්ලන්ගේ කෑමත් දායකයන්ගෙන් නිකං ගෙන්වාගන්නවා’ කියාය.
ලියුම්කරු නිතර දෛවේලේ යන එන මහමඟ පසෙක පිහිටි මේ පන්සලේ අලුත් බුදුමැදුරක් ඉදිකිරීමේ වැඩට මෙපරිදි නාවික හමුදා සෙබළුන් යොදවා තිබිණ. (ඉදිකළේ බුදුමැදුරක් පමණක් නොවේ, යාබද මංසන්ධියක පන්සලට අයත් ඉඩමක දෙමහල් කඩ පේළියක්ද මේ සෙබළුන් ලවා ඉදිකෙරිණි. එය තිබෙන්නේ පොලිසියට අල්ලපු වැටේය. දැන් ඒවා කුලියට දී තිබේ.)
ඒ කොරෝනා වසංගතයෙන් රට වෙලාගත් කාලයයි. කිසිවකුට සිය දෛනික ජීවනෝපාය මාර්ගවල යෙදිය නොහැකි විය. ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ කරන කිසිවකුටත් වැඩ කළ නොහැකි විය. එහෙත්, මේ පන්සලේ ඒ කාලය තුළත් නාවික හමුදා සෙබළු බුදුමැදුර ඉදිකිරීමේ වැඩෙහි නොනවත්වා යෙදී සිටියහ. වසංගතයක් නැතිවාක් මෙනි. ලියුම්කරු මේ ගැන පැමිණිලි කරන්නට, ළඟම තිබුණු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට ඇමතීය. කොරෝනා නිසා ඉදිකිරීම් ක්ෂේත්රවල වැඩ කළ හැකි දැයි විමසූ විට ස්ථානාධිපති තදින් කියාසිටියේ, කිසිම තැනක කිසිම වැඩක් කිරීම තහනම් කර ඇති බවය. එසේ නම්, පොලිස් ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඉහත පන්සලේ බුදුමැදුර ඉදිකරන්නේ කෙසේදැයි විමසූ විට ඔහුගේ නීතිය වෙනස් විය. ‘ඒක ඉතින් අපේ පන්සලක්නේ. බෞද්ධ වැඩක්නේ. බෞද්ධ වැඩකට නීති තදින් ක්‍රියාත්මක කරන්නට බැහැනේ’ කියා කීවේය.
මේ පන්සලේ රැස්වළල්ල කොරෝනා වසංගතයද අබිබවමින්, ක්‍රියාත්මක වූ ස්වභාවය තේරුම් ගැනීමට හොඳ අවස්ථාවකි ඒ.
හමුදා සෙබළුන් පන්සල්වල ඇබිත්තකමේ යෙදවීම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිද, ඔහුගෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිද හොඳින්ම කරගෙන ආවේය. ‘ආණ්ඩුවේ පන්සල්වල’ හාමුදුරුවරු, එයින් අයුතු ලාභයක් ගත්හ. සාක්කුව හිස්වුණේ රටේ බදු ගෙවන මහජනතාවගේය.
එයින් රාජපක්ෂලා, පන්සල්වල හාමුදුරුවරුන්ගේ වරප්‍රසාද වරදාන ලැබීමේ අනවරත ආසාව තෘප්තිමත් කර, පන්සල හා භික්ෂූන් තමන්ගේ අන්තේවාසිකයන් තත්වයේ දිගටම තබාගන්නට සමත්වුණෝය.
දැන් කොටපිටියේ රාහුල හිමියන් නැවත තර්ජනාත්මකව ඉල්ලන්නේ මේ ‘සේවය’ ලබාදෙන්න කියාය.
රජය මේ තර්ජනවලට අංශුමාත්‍රයකින්වත් බය විය යුතු නැත. එවැනි සේවයක් පන්සල්වලට හෝ ඕනෑම ආගමික සිද්ධස්ථානයකට හෝ සැපයීමට කිසිම බැඳීමක් රජයට ඇත්තේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවෙන්, බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන්නෙන් කියන්නේ, පන්සල්වල වැඩට සෙබළුන් නොමිලේ සැපයිය යුතුය යන්න නොවේ. රාජපක්ෂලා තම බලය රැකගැනීම සඳහා සංඝයා වහන්සේලා අවනත කර තැබීම සඳහා පවත්වාගෙන ගිය මේ ජරාජීර්ණ වැඩපිළිවෙළ මුළුමනින්ම නවතා දැමිය යුතුය. එසේ නවතා, මේ වංචාකාරී ක්‍රියාවෙන් හාමුදුරුවරුන් ගලවාගෙන ඔවුන්ට නිවන් මගෙහි යන්නට පහසු කළ යුතුය.
එපමණක් නොවේ, පසුගිය කාලයේ හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් කළ ඉදිකිරීම් ආදිය හා වෙනත් සේවාවන් සඳහා, ඒ ඒ පන්සල්වලට බිල් යැවිය යුතුය. මන්ද එසේ නොකළොත් මහජන මුදල් කොල්ලයක් වන බැවිනි. සාමාන්‍යයෙන් දවසකට පෙදරේරුවකු අය කරන මුදලම මේ හමුදා ශ්‍රමය සඳහාද අය කළ යුතුය. එසේ නොකරන්නේ නම්, රජය දැනුවත්වම මහජන මුදල් අවභාවිතයේ යෙදවීමට ක්‍රියාකළ තත්වයට පත්වෙයි.
පසුගිය ආණ්ඩුවලින් සිදුවුණු මහජන මුදල් කාබාසිනියා කිරීම් ගැන මේ ආණ්ඩුව ඉතාමත් උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන බව පැහැදිලිව පෙනේ. මේද එසේ ප්‍රතිචාර දැක්විය යුතු දූෂණයකි. මහජන මුදල් අපයෝජනයකි. ඒ ගැන පියවර ගැනීම පමා කළ යුතු නැත. සියලුම හමුදා කඳවුරුවලින් ඒ ඒ පන්සල්වවලට යෙදූ සෙබළ ශ්‍රමය සඳහා වියදම ගණනය කොට පන්සල්වලට යැවිය යුතුය. ආරක්ෂක නියෝජ්‍ය ඇමති ඊට පියවර ගත යුතුය.
කොටපිටියේ රාහුල හිමියන් එදා කිව් පරිදි, සමහර පන්සල්වලට එවැනි බිල් දැනටමත් ලැබී තිබේ. ඉතා හොඳය. අනෙක් පන්සල්වලටද එවැනි බිල් යැවිය යුතුය. මේ පන්සල් බලවත් ධනවත් දේශපාලන ගැතිකම් සහිත ඒවා වන නිසා, ඒ මුදල් ගෙවීම ඔවුන්ට අපහසු නැත. අපහසු නම්, ඒ ඒ පන්සල්වල නායක හිමිවරුන් පාවිච්චි කරන නවීන පන්තියේ වී8, බෙන්ස්, මර්සිඩීස් බෙන්ස් වැනි සුඛෝපභෝගී වාහන විකුණා ඒ මුදලිවලින් බිල් පියවන්නට හාමුදුරුවරුන්ට හැකිය. එවිට, නිවනට යාමේ මග ඔවුන්ට පහසු වෙයි.
සිස්ටම් ඇත්තටම චේන්ජ් වනු ඇත්තේද එවිටය.