ජාතික ජන බලවේගය බලය හොබවන මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල කළුආරච්චි මහතා එම ධුරයෙන් සහ තම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන සභික ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රකාශයක් පළ කරමින් ඔහු මේ බව දැනුම් දී ඇත. මෙම තීරණය හදිසියේ ගත් එකක් නොවන බවත්, මීට වසර කිහිපයකට පෙර පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවක් අනුව එය සිදු කළ බවත් ඔහු එම ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
තම ධුර දෙකෙන් ඉල්ලා අස්වීම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ මහජන සේවයෙන් ඉවත්වීමක් ලෙස නොසැලකිය යුතු බව ද අතුල කළුආරච්චි මහතා අවධාරණය කර ඇත.
පවුල් පාලන දේශපාලනය පරාජය කර ජනතා කේන්ද්‍රීය පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට දායක වීමේ අරමුණින් තමන් දේශපාලන වගකීම භාරගත් බව ඔහු සඳහන් කර තිබේ.
2024 සැප්තැම්බර් 21 වැනිදා තමන් ඓතිහාසික දේශපාලන අරමුණක් ලෙස හඳුන්වන ඉලක්කය සාක්ෂාත් කරගැනීමෙන් පසු, රටේ වේගවත් සංවර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වී ඇති බවත්, නව පරපුරේ දක්ෂ තරුණ නායකයන්ට වැඩි වගකීම් භාරගැනීමට අවස්ථාව උදා වී ඇති බවත් ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
පක්ෂය සමඟ මීට පෙර ඇති කරගත් එකඟතාව අනුව තම වෘත්තීය කටයුතු සහ වෘත්තීය ජීවිතය යළි සංවිධානය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද ඔහු පැහැදිලි කර තිබේ.
දේශපාලන ධුර වෙනස් වුවද දේශපාලනය පිළිබඳ තම කැපවීම සහ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් ඇති වගකීම වෙනස් නොවන බව ද ඔහු අවධාරණය කර ඇත.
විවිධ අභියෝග මධ්‍යයේ තමන් සමඟ කටයුතු කළ සහ අඛණ්ඩව සහයෝගය දැක්වූ සියලු දෙනාට ද ඔහු සිය ස්තූතිය පළ කර තිබේ.
දේශපාලන තනතුරු තාවකාලික වුවද ඒවා නියෝජනය කරන අරමුණු සහ ජනතාව වෙනුවෙන් ඇති කැපවීම සදාකාලික බව සඳහන් කරමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කර ඇත.


