No menu items!
23.3 C
Sri Lanka
20 April,2024

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’යළි කරළියට

Must read

තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු සහ පාලකයෙකු සම්බන්ධයෙන් ගත් විට වඩාත් අශෝභන දර්ශනයක් වන්නේය. එහෙත්, සමහරුන්ට එවැනි නරක නාමයකට හිමිකරුවෙකු වීම මොන විදිහකින්වත් ගැටළුවක් හෝ ලැජ්ජාවක් වන බවක් නොපෙනේ.

එය, මේ වගේ ය. නූගත් බව අඩුපාඩුවක් වශයෙන් පෙනෙන්නේ, උගත් බව පිළිබඳ යම් අපේක්ෂාවක් සහ ආශාවක් තිබුණු මුත්, බොහෝවිට යම් පරිබාහිර හේතුවක් නිසා එය අත්පත් කරගත නොහැකි වූ පුද්ගලයෙකුට පමණි. මෙවැනි කෙනෙකුට යම් දවසක මුට්ට කරගැසීමට සිදු වුණොත්, ඔහුගේ කරට බර වර්ග දෙකක් පැටවෙනු ඇත. එකක්, මුට්ටයේ කිලෝ-බර ය. අනෙක, එම තත්වයට නොවැටී සිටීමට තිබුණු අවස්ථාව මඟහැරීම පිළිබඳව ඇති වන දුක්-බර ය. එහෙත් ඉගෙනීමක් ගැන කිසි ආශාවක් හෝ ඊට කිසි වටිනාකමක් කිසි දවසක තිබී නැති පුද්ගලයාට, තමන් නූගත් වීම මොන විදිහකවත් බරක් වන්නේ නැත. සමහරවිට එසේ වීම හෙවත් නූගත් වීම, යහපතක් සහ සැහැල්ලුවක් වශයෙන්ද ඔහුට/ඈට දැනෙන්ට පිළිවන. මෙහි සඳහන් ‘උගත්’ වීම යන්නට ‘වැදගත්’ වීම යන්න යෙදුවොත්, ඒ වැදගත්කම නොවැදගත් කාරණයක් වශයෙන් ගන්නා චරිත දෙකක් මේ රචනාවට අද මාතෘකා වෙයි.
විනිසුරු වෘත්තිය තුළ අතිබහුතරය අභිමානවත් චර්යාවක් අනුගමනය කරති.

එය, විනිශ්චයාසනයේදී පමණක් නොව, බාහිර සමාජය තුළද ඔවුහූ තමන් වෙත පවරා ගනිති. හේතුව, එය ඔවුන්ගේ විශේෂිත වෘත්තිය ස්වභාවය විසින් විසිහතර පැයේ සමාජය විසින් ඉල්ලා සිටින තත්වයක් වන බැවිනි. හරියට, රෝගීන් සුවපත් කිරීම, සමාජය විසින් විසිහතර පැයේම වෛද්‍යවරයෙකුගෙන් ඉල්ලා සිටින්නා සේ ය. පාඩමක් වැරදියට කියාදෙන ගුරුවරයෙකු කෙරෙහි ශිෂ්‍යයන් තුළ ඇති නොවන ආකාරයේ නිරීක්ෂණයක් සහ සුපරීක්ෂාවක් විනිසුරුවරයෙකු කෙරෙහි සමස්ත සමාජය පැත්තෙන් ක්‍රියාත්මක වෙයි.
කෙනෙක් දෙන්නෙක් මේ ශික්ෂණය නොතකති. එසේ වීම ඔවුන් කෙරෙහි යම් පීඩාවක්, ආතතියක් ඇති නොකරතියි සිතිය නොහේ. එවැන්නෝ, පසු අවස්ථාවක හෝ සිය කල්ක්‍රියාව වෙනස් කරගැනීමට බලති. එහෙත් එසේ නොකරන අල්පයක්ද මේ අතර සිටිති. අප ඉහතින් කී, මුට්ටයේ බරත් ප්‍රසන්න සැහැල්ලුවක් වශයෙන් ගන්නා මිනිසුන්ට මොවුන් සමාන ය.

පළිගැනීම් ගැන සොයා බැලූ
‘පළිගැනීමේ කොමිසම’

ගිය සතියේ අපේ අභියාචනාධිකරණය වැදගත් කාරණයක් විනිශ්චය කෙළේය. ගෝඨාභය රාජපක්ෂගේ කෙටි ආණ්ඩු කාලය තුළ සිදු කළ අනේක මනස්ගාතවලින්, අධිකරණය කෙරෙහි කෙලින්ම බලපෑම් කළ, ලජ්ජාසහගත සිද්ධියක් මේ විනිශ්චයට භාජනය විය. 2015-2019 යහපාලන ආණ්ඩුව කාලයේ කරන ලදැයි කියන දේශපාලනික පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ 2020 දී ජනාධිපති කොමිසමක් පත්කෙළේය. එහි සභාපතිත්වයට පත්කරනු ලැබුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන උපාලි අබේරත්න ය. මේ කොමිසමේ ක්‍රියාකලාපය තුළ, සියලු විනිශ්චය ප්‍රමිතීන් හෑල්ලුවට ලක්කෙරුණා පමණක් නොව, ස්වාභාවික යුක්තියත් පිටුදකිමින්, තමන්ට භාර කළ සොයාබැලීමේ නිමිත්ත, එනම් පළිගැනීම යන කාරණය තමන් විසින්මත් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට තරම් එම කොමිසම දුරදිග ගියේය.

එය ඇත්තෙන්ම, ‘පළිගැනීමේ කොමිසමක්’ බවට රූපාන්තරණය වුණි.
දීර්ඝ කතාවක් කෙටියෙන් කිව්වොත්, කප්පම් ලබාගැනීම සඳහා ළමයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම සහ 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ඝාතනය කිරීම ඇතුළු, රාජපක්ෂලාගේ අඬුපඬු විහිදුනු අපරාධවලට සම්බන්ධව පැවරී තිබුණු නඩු රාශියක්, ‘දේශපාලනික පළිගැනීම්’ වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත්, ඒ පදනම මත පිහිටා, ඒ අපරාධවල විත්තිකරුවන් නිfදාස් කිරීමත් මේ ජනාධිපති කොමිසමේ එක් රාජකාරියක් විය. මෙය මොන තරම් විකාරරූපී ස්වභාවයක් ගත්තේද යත්, කොමිසමේ කාලය අවසන් වීමට නියමිත දිනය ළං වෙද්දී තවත් අපරාධ සිද්ධියක් බලධාරීන්ට හිටිහැටියේ මතක් විය. ඒ, දුමින්ද සිල්වාට ලබා දී ඇති මරණ දඬුවමයි. මේ ‘පැමිණිල්ලත්’ විභාග කිරීම සඳහා කොමිසමේ නියමිත කාලය තවත් දින 16 කින් ජනාධිපතිවරයා විසින් දිග් කරන ලදි.

තමන්ට පැවරූ එකී වගකීමත් සුවචව ඉටු කළ උපාලි අබේරත්න කොමිසම, ඒ අනුව, දුමින්ද සිල්වාගේ දඬුවම යළි සලකා බැලිය යුතු බවට නිර්දේශ කෙළේය. එපමණක් නොව, ඔහුට විරුද්ධව බොරු සාක්ෂි දී ඇති අයට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටත් නිර්දේශ කෙළේය. එනම්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සාක්ෂි සියල්ල පරීක්ෂා කර බලා අනුමත කර ඇති දඬුවමක් පවා ප්‍රශ්න කිරීමට තරම් මේ කොමිසම අයි.ආර්.සී. පන්නයෙන් සැහැසි වූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉහළින් තමන්ට වැජඹිය හැකි යැයි මේ උපාලි අබේරත්න ඇත්තෙන්ම විශ්වාස කරන්නට ඇත. මන්ද යත්, ගෝඨාභය රාජපක්ෂ සදාකාලිකව වැජඹෙතැයි ඔහු වැනි මිනිසුන් එදා විශ්වාස කළ බැවිනි. කෙසේ වෙතත්, ඉහත කී අපරාධකරුවන් සහ සොරුන් නිfදාස් කිරීමෙන් පමණක් කොමිසම නැවතුණේ නැත. එම සිදුවීම් විමර්ශනය කළ සහ නඩු පැවරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා විත්තිකරුවන්/වගඋත්තරකරුවන් කිරීමටත් පියවර ගත්තේය.

මොහුගේ කොමිසමේ එකී නිර්දේශ සියල්ල ගිය සතියේ අභියාචනාධිකරණය විසින් කුණු කූඩයට දැම්මේය. එපමණක් නොව, අධිකරණ බලයක් නැති විෂයපථ රාශියකටත් ඔවුන් අතගසා ඇති බවත් අවධාරණයෙන් කියා සිටියේය. මේ මජර කාරිය සඳහා ගෝඨාභය රාජපක්ෂ තෝරාගත් උපාලි අබේරත්න නමැත්තා, අතීතයේ සිටම කුප්‍රකට නාමධාරියෙකි. වික්ටර් අයිවන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් මේ පුද්ගලයා පිළිබඳ කරන ලද පැමිණිලි විභාග කළ අධිකරණ සේවා කොමිසම උපාලි අබේරත්නගේ වැඩ තහනම් කෙළේය. ඊට හේතු වූයේ, ඔහු නඩු විමසූ විෂම ආකාරය තුළ, ස්වාභාවික යුක්තිය ඔළුවෙන් සිටුවා තිබීමයි.

‘පිස්සු පූසෙකුගේ’ පැටිකිරිය

එවකට මොහු දිසා විනිසුරුවරයෙකි. ඒ දිසා විනිසුරු ඉදිරියේ දික්කසාද නඩුවක් විභාග විය. දික්කසාද නඩුව පවරා තිබුණේ, වරලත් ඉංජිනේරුවරයෙකි. තමාගේ බිරිඳ ද්වේෂ සහගත ලෙස තමා අතහැර ගොස් වෙනත් පුරුෂයෙකු සමග දීග කන බව ඔහුගේ පැමිණිල්ල විය. මේ වෙනත් ‘පුරුෂයා’ වුණේ, එවක නීතිපති වශයෙන් සිටි සරත් නන්ද සිල්වා ය. උපාලි අබේරත්න යනු, සරත් නන්ද සිල්වාගේ ගෝලයෙකු සේම මිතුරෙකි. ඉතිං, ඇගෙන් දික්කසාද වීමට ඉල්ලා සිටි අගතියට පත් සැමියාට මේ විනිසුරුවරයා දුන් තීන්දුව කුමක්ද? තම මිත්‍ර සරත් නන්ද සිල්වා සමග දීගකමින් සිටි බිරිඳට විශාල වශයෙන් නඩත්තු ගෙවන ලෙස පරණ සැමියාට නියම කිරීමයි! ඉන්පසු කාලයක, චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් නන්ද සිල්වාව අගවිනිසුරු තනතුරට පත්කරන ලදි. ඉතිං ඔහු, තමාට උපකාර කළ, වෘත්තීය විෂමාචාරය නිසා ඒ වන විට වැඩ තහනමට ලක්ව සිටි උපාලි අබේරත්නව යළි සේවයේ පිහිටුවීය.

සරත් නන්ද සිල්වාට සේවය කළ වහල් මානසිකත්වයෙන්ම රාජපක්ෂලාටත් සේවය කිරීමට උපාලි අබේරත්න සැදී පැහැදී සිටින බව ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේය. ඉහත කී, ‘දේශපාලන පළිගැනීම්‘ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සභාපති වශයෙන් උපාලි අබේරත්නව තෝරාගැනෙන්නේ එකී පදනම මතයි. ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂා කළ පරිදිම, ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සහ සහායකයන් නිදහස් කළ යුතු බවට මේ කොමිසම නිර්දේශ කෙළේය. තමාගේ ජනාධිපති කොමිෂන් නිර්දේශ මගින් නිර්දෝෂී වූ රාජපක්ෂවාදී අපරාධකරුවන්ගේ සහ සොරුන්ගේ සතුට, යම් දවසක තමාට නින්දාවක් වෙතැයි සිතීමට තරම් ආත්ම ගෞරවයක අහලකින්වත් යන හැඟීමක් මොහුට නොවුණි.

අප කලින් සඳහන් කළ ‘හැදුණු කම’ සහ ‘වැදගත් කම’ වැනි සංකල්ප කිසි දවසක ඔහුගේ චින්තන ලෝකය තුළ නොවීම ඊට හේතුවයි. ඒ අතින් ඔහු සමාන වුණේ, අප කලින් සඳහන් කළ, තමාගේ වර්තමාන තත්වය පිළිබඳ කිසි පශ්චාත්තාපයක් නැති මුට්ට කරගසන්නාට ය. විනිසුරුවරයෙකු වෙනවා වෙනුවට, රාජපක්ෂලාගේ කීකරු සේවකයෙකු වීම මොන තරම් අගේට ඔහු කෙළේද යත්, මේ කොමිසමේ පමණක් නොව තවත් කොමිෂන් සභා දෙකකමත් (තොරතුරු දැනගැනීමේ කොමිසම සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේත්) සභාපති වශයෙන් පත්වීම් ලැබීමට තරම් ඔහුගේ ‘කැරැට්ටුව’, මේ දේශපාලන සංස්කෘතිය තුළ, විශේෂ සුදුසුකමක් විය.

එතකොට සිරිසේන?

මොහු වනාහී, ලජ්ජාවක් නැති දූෂිතයෙකු නම්, සිරිසේන යනු ලැජ්ජාවක් නැති විකටයෙකි. විකටයන් වර්ග දෙකකි. එක විකටයෙක් අනුන්ව සිනස්සයි. අනිත් විකටයාට අනුන් සිනාසෙති. ඒ, කෝපයක් සහ ජුගුප්සාවක්ද පෙරදැරිවයි. සිරිසේන අයත් වන්නේ, මේ දෙවැනි වර්ගයටයි. පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු වුණේ ඔහු මෙරටේ ජනාධිපති සහ ආරක්ෂක ඇමති වශයෙන් සිටියදී ය. ඒ ප්‍රහාරයට මාස ගණනකට කලින් සිට ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් ඔහු පවත්වා තිබුණේ, අගමැතිවරයා (වර්තමාන ජනාධිපතිවරයා) සහ පොලිස්පතිවරයා පවා එයින් පිටමං කර තැබීමෙනි. ඒ වෙනුවට ඒ ආරක්ෂක මණ්ඩලයට ඔහු කැඳවාගෙන ගියේ, තිලංග සුමතිපාල සහ මහින්දානන්ද අලුත්ගමගේ වැනි ‘විශේෂඥයන්’ ය. ප්‍රහාරය සිදුවන මොහොතේ ඔහු ලංකාවේ සිටියේ නැත. එහෙත්, ඔහු වෙනුවට ආරක්ෂක ඇමතිවරයෙකු ඔහු පත්කර ගොස් තිබුණේද නැත. රටේ ජාතික ආරක්ෂාව ගැන එතරම් වගකීම් විරහිතව කටයුතු කර ඇති වෙනත් රාජ්‍ය නායකයෙකු එතෙක් අප දැක නොතිබුණි. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කර විශාල දඩයක්ද නියම කිරීමෙන්, ඔහුගේ සාපරාධී වගකීමේ තරම ඔප්පු විය.

ඒ සියල්ල පැත්තකින් තියමු. දැන්, තව සති තුනකින් පාස්කු ප්‍රහාරය සිදු වී අවුරුදු පහක් සම්පූර්ණ වීමට නියමිතයි. එසේ තිබියදී, මේ ප්‍රහාරයේ සැබෑ මොළකරුවා කවුද යන්න තමා දන්නේ යැයි විළිලැජ්ජාවක් නැතිව අද මොහු කියන විට, එය අප භාරගත යුත්තේ රටේ ජාතික ආරක්ෂාවට අදාළ බරසාර හෙළිදරව්වක් වශයෙන්ද, නැත්නම්, තවමත් අර අසරණ ජීවිත සහ වින්දිත පවුල් සමග දේශපාලන සෙල්ලමක් කිරීමට මානබලන මෝඩ විකටයෙකුගේ තවත් සාපරාධී නාඩගමක් වශයෙන්ද? ඒ දෙකෙන් කොයි එක වෙතත්, ඒ සාපරාධීත්වයේ වගකිවයුත්තෙකු වශයෙන් විත්තිකූඩුවට නැංවීමට ඔහු සුදුස්සෙකු වන්නේය. පෙරේදා (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඔහු දුන් දීර්ඝ කටඋත්තරය කුමක්ද යන්න තවම අපි නොදනිමු. ඔහුගේ ප්‍රකාශය පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයා විසින් අද අධිකරණය හමුවේ තැබීමට නියමිතයි. පිල්ලෙයාන් වැනි පුද්ගලයන්ගේ නම් එහිදී කියැවී ඇතැයි වටින්ගොඩින් කියැවෙයි. එහෙත් පිල්ලෙයාන් පවා ‘මහ මොළකරුවෙකුගේ’ භූමිකාවකට කිසි ලෙසකින්වත් නොසෑහෙන බව, පාස්කු ප්‍රහාරයේ දිග පළල පිළිබඳ මෙතෙක් අනාවරණය වී ඇති සහ ඒ ප්‍රහාරය මගින් සාක්ෂාත් කරගත් අවස්ථාවාදී දේශපාලනික බල මාරුවේ ස්වභාවය මගින් අපට පසක් කරදෙයි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි