No menu items!
24 C
Sri Lanka
19 May,2024

දේශබන්දු තෙන්නකෝන් කියන්නේ ඇත්තද?

Must read

■ ධනුෂි ලිහිණිකඩුව

ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 85,000 ක් පමණ සේවය කරන ස්ථානයකි. රටේ සාමය පවත්වාගෙන යාම, අපරාධ අඩුකිරීම හා මාර්ග නීති පවත්වාගෙනයාම, මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීම් වේ. එසේ වුව ද පසුගිය මැයි 09 වන දා ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගල භූමියට කඩා වැදුණු අගමැති ආධාරකරුවන් වැළැක්වීමට සහ ඔවුන්ගේ පහර දීම් නැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය අසමත් වූ බව පැහැදිලි කරුණකි. එම පහරදීම්වලින් පසු දෙපිරිස අතර ගැටුම මැඩ පැවැත්වීමට පවා පොලිසිය විසින් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද තෘප්තිමත් විය නොහැක.


මේ පිළිබඳව ප්‍රධාන වගකීම යොමු වන්නේ පොලිස් ධුරාවලියේ ඉහළ තනතුරු හොබවන නිලධාරින්ට ය. කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මහජනයා තුළ ඇත්තේ ඍණාත්මක අදහසක් බව ඉකුත් මැයි 10 වන් දා ඔහු කිහිපදෙනෙකුගේ ප්‍රහාරයට ලක් වීමේ සිදුවීමෙන් පැහැදිලි වේ. එදින දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදී ය. ඔහු තම නිල රථයේ ගමන් කරමින් සිටියදී එය නතර කර මෙම පහර දීම සිදු කර ඇත. තුවාල ලැබූ ඒ මහතා පොලිස් රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇත.


අරගලයට පහරදීමට අගමැති නිල නිවසේ සිට පැමිණෙන පිරිස සහ ඔහු අතර සිදුවන සිදුවීමක් හා අරගල භූමිය වෙත යමින් සිටි හිටපු මන්ත්‍රී සනත් නිශාන්ත සමග සමීපව පැමිණීමේ සිදුවීමක් එලෙස පහරදීම සඳහා ආසන්නත ම හේතු වූ බව සිතිය හැකි ය.


කෙසේ වුවද සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දේශබන්දු තෙන්නකෝන් සහ ප්‍රචණ්ඩකාරී මැර පිරිස අතර සිදු වන සංවාදයේ දී ඔහුගේ ආධාර අනුබල දීම මෙම මැර පිරිසට ලැබුණු බව අතිශය පැහැදිලි ය. මේ පිළිබඳව කළ විමසීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ සඳහන් කර තිබුණේ විශාල පිරිසක් සමග අරගල භූමිය දෙසට එමින් සිටි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පෞද්ගලිකව කථා කර, ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දුන් බවත් මෙම ක්‍රියාව නොකරන ලෙස ඉල්ලා සිටි බවත්, අනතුරුව පොලිස්පතිවරයා ඒ සම්බන්ධව දැනුවත් කළ බවත් ය. මෙවැනි ඕනෑම උද්ඝෝෂණකාරී අවස්ථාවකදී පහරදී විසුරුවා හැරීමට පෙර එම උද්ඝෝෂණය මෙහෙයවන ප්‍රධානියකු හඳුනාගෙන ඔහුව අවනත කරගැනීම පොලිස් රෙගුලාසිවලට අනුකුල බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.


මෙම ප්‍රකාශය ඔහු සිදු කර ඇත්තේ ඉකුත් මැයි 09 වන දින අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මැයි 17 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ය. පැය 08ක් පුරාවට දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව එදින පස්වරු 4.00 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.


ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වළක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ බවත්, ජල විදින රථ දෙකක් සහ කඳුළු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද සමගින් දෙසීයකට අධික පොලිස් භට පිරිසක් සමග ගාලු මුවදොර වටරවුමේ සිටි නමුත්, අවසාන මොහොතේදීත් ‘ජනපතිවරයා කුමන උපදෙසක් ලබාදුන්නද කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස’ තමාට හා එහි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට කථා කොට බලපෑම් කළ බවත් ඒ සම්බන්ධයෙන් තමා දැක්වූ ප්‍රතිචාරය එම අවස්ථාවේ තමා සමග සිටි නිලධාරීන් දන්නා බවත් ඔහු කොමිසම හමුවේ පැවසූ බව ආරංචි මාර්ග තහවුරු කරයි.


ඒ සමගම කලහකාරී පිරිස බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත්කරමින් ගාලුමුවදොර පිටියට ඇතුළු වූ බවත් තමා ජනපතිවරයාට තත්ත්වය පවසා බලධාරීන් දෙදෙනකු තමාට බලපෑම් කරන බව දැන්වූ බවත් එම අවස්ථාවේදී ඉහත බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසිරුවා හැරීමට තමන්ට ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් අනුව කලහකාරීන් වෙත ජල ප්‍රහාර, කඳුළු ගෑස් මෙන්ම බැටන් ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවා හැරීමෙන් සිදුවීමට තිබූ මහත් විනාශයක් අවම කිරීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගැනීමට ඇත.


කෙසේ නමුත් ගෝටාගෝගම ප්‍රහාරයක් සඳහා යන අවස්ථාවේ ඔවුන්ට බාධා නොකර යන්නට අවස්ථාව සලසන ලෙස නියෝග කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ප්‍රකාශ නිකුත් කළ කමල් ගුණරත්න බව නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රතිලක විසින් සිය පොලිස් ලොග් පොතේ යොදන ලද සටහනකින් අනාවරණය වන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ය. ඔහු පවසන ආකාරයට කමල් ගුණරත්න කළ නියෝගය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රතිලක වෙත දැනුම් දී ඇත.


එහිදී සිය රාජකාරි ලොග් පොතේ මෙම නියෝගය සටහන් කිරීමට නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රතිලක කටයුතු කර ඇත. මේ හේතුව නිසා මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ගෝලයකු ලෙස කටයුතු කරන කමල් ගුණරත්න වෙත පැවරීම නොවැළැක්විය හැකිය. පොලිස් දෙපාර්තමේන්තුවේ ආණ්ඩු ගැති නිලධාරීන් මෙවැනි ප්‍රහාරයක් සිදුවන බව දැන දැනම එය වළක්වා ගැනීමට කටයුතු නොකළේ ඇයිද යන්න මෙයින් පැහැදිලිවන බව මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් මැරයන් කැඳවා ප්‍රහාරයට මෙහෙයවන විට ආරක්ෂාව භාර පුද්ගලයන් එයට ආවරණය සැලසූ ආකාරය අධිකරණයකදී ඔප්පු කළ හැකි පොලිස් ලොග් සටහන විනාශ කිරීමට උත්සාහයක් ඇති බව ය.


ප්‍රකාශය ලබා දෙමින් නි. පොලිස්පති දේශබන්ධු, ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර කළ එම විසිරවීම හේතුවෙන් එම අවස්ථාව වනවිට ගෝඨාගෝගම තුළ තිබූ ඉදිකිරීම් 186 න් 26 කට පමණක් එම සිද්ධියෙන් හානි සිදුවූ බවත් ගෝඨා ගෝ ගම රැඳී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් සුළු තුවාල සිදුවූ බවටත් කොමිසම හමුවේ අනාවරණය කර ඇත.


ඉකුත් 09 වන දින සිද්ධිය සිදුවූ මුල් අවස්ථාවේම මෙම බලධාරීන් දෙදෙනා තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මානව හිමිකම් කොමිසමට ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරී යෙදවූ ඕනෑම කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කැඳවා ඒ පිළිබඳව විමසන ලෙස කොමිසමෙන් ඉල්ලා ඇත. ඔහු විසින් ඉහත කරුණු සනාථ කිරීමට අවශ්‍ය තාක්ෂණික වාර්තා කිහිපයක්ද මානව හිමිකම් කොමිසම වෙත එම අවස්ථාවවේදී භාර දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගත වූයේ පැය විසිහතරකටත් නොඅඩු කාලයකි. එහෙත්, සාමාන්‍ය ජනතාව ඇතුළු දස දෙනෙකු මරණයට පත් වීමට හේතු වූ වගකිවයුතු ඉහළ පෙළේ අයවලුන් අත්තඩංගුවට ගැනීමට නීතිපතිවරයා ලබා දුන් නියෝග ක්‍රියාත්මක වීමට මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි ද යන්න බරපතළ ගැටලුවකි. කෙසේ වුව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් පසුවත් ඊට ඉහළින් නියෝග නිකුත් කිරීමට වෙනත් අමාත්‍යාංශ ප්‍රධානීන්ට සහ නිලධාරීන්ට ඇති හැකියාව ද ගැටලු සහගත ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන පැනය අපි ඔවුන් ඉදිරියේ තබමු.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි