No menu items!
27 C
Sri Lanka
8 November,2026

‘ඔත්තු බලන තරු’ සිනමාත්මක ප්‍රකාශනයේ අග්‍ර ඵලය සොයා යාමක් – එම්.ඩී. මහින්දපාල

Must read

පසුගියදා කොළඹ ‘හැව්ලොක් සිටි’ හි ‘ස්කෝප්’ සිනමාහල් සංකීර්ණයේ 4 වැනි සිනමා ශාලාවේ දී කිසියම් අපූරු සිනමා නිර්මාණයක් නැරඹීමේ දුර්ලබ අවස්ථාව අපට හිමි විය. එය එසේ වූයේ එදින සිනමාහලේ රැස්ව සිටි ප්‍රේක්ෂක සමූහයා මෙන්ම සිනමාහලේ තාක්ෂණික ගුණාංග හා පරිසරය ද විසින් ඇති කළේ එකී චිත්‍ර පටය නැරඹීම සඳහා වූ කදිම පරිසරයක් වීම නිසයි. ඒ දින සුපුරුදු ලෙස සිනමාහලක ප්‍රචාරය කෙරෙන වෙළඳ දැන්වීම් හෝ පූර්ව ප්‍රචාරක පට කිසිවක් ප්‍රදර්ශනය නොවූ අතර කන් බිහිරි කරවන සංගීතය ද වාදනය නොවී ය. ඒ අනුව චිත්‍රපටය නැරඹීම ට උචිතම වටා පිටාවක් එහි වී යැයි මට සිතිණ. එය ඇත්තෙන් ම අප රටේ තත්වයන් සැලකීමේ දී අතිශයින් විරළ අවස්ථාවකැයි මට සිතේ.
ඒ දින තිරගත වූයේ විමුක්ති ජයසුන්දර නම් ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවාගේ නවතම සිනමා නිර්මාණය වූ ‘ඔත්තු බලන තරු’ නම් සිනමා කෘතිය යි. මෙයට පෙර ඔහු නිර්මාණය කළ කිසිදූ චිත්‍රපටයක් එයාකාරයේ තත්වයක් යටතේ නැරඹීමට මට අවස්ථාව හිමි නොවී ය. එහෙත් ඒවා මගේ හද බැඳි සිනමා කෘති අතරට එක්වුයේ නිරායාසයෙනි. එදින මා සිනමාහලේ නිහඬතාව මැද රිදී තිරය දෙස බලා සිටියේ දෑස් දල්වා ගෙන යි.
ඔත්තු බලන තරු චිත්‍ර පටය පිළිබඳ කරුණු කාරනා කීමට ප්‍රථම යථෝක්ත පූර්විකාව ඉදිරිපත් කිරීමට සිතුණේ චිත්‍රපටයක් නැරඹීම සඳහා එය ප්‍රදර්ශනය කෙරෙන වටාපිටාව හා තාක්ෂණික තත්වයන් කෙතරම් වැදගත් ද යන්න අවධාරණය කිරීමට යි.
ඇත්ත වශයෙන් ම මා සිතුවා නිවැරදි යැයි යන්න එහි ප්‍රථම රූප රාමු පෙළ තිරය මත දිගහැරෙද් දී ම මට වැටහී ගියේ ය. එහි අපූර්වත්වය විසින් මා වසඟ කළ ආකාරයක් මට දැනිණ. එය රූපය විසින් පමණක් නොව හඬ පටය විසින් ද ඇති කළ චමත්කාරයකි. චිත්‍රපටයේ විනාඩි 99 ක පමණ ධාවන කාලය තුළ මා සිනමාහලේ අසුන්ගෙන සිටියේ ධ්‍යානයකට සමවැදුණු ආකාරයකිනැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඇතැම් සිනමා විශාරදයින් පැහැදිලි කරන ‘අනුභූති උත්තර සිනමාව’ (transcendental cinema) යන්න ඔත්තු බලන තරු’ චිත්‍රපටය ට ආදේශ කළ හැකිදැයි මම නො දනිමි. එහෙත් එවැනි සිනමා නිර්මාණ බොහෝවිට අපට හුරු පුරුදු කතන්දර සිනමාව හෙවත් ආඛ්‍යානමය සිනමාවට (narrative cinema) ප්‍රතිපක්ෂ සිනමාවක් හෙයින් පොදු ප්‍රේක්ෂකයාගෙන් දුරස් සිනමා භාවිතාවක් සේ සැලකේ.
මෑතක දී මා කියැවූ, මිෂෙල් ෂියොන් නම් ප්‍රංශ සිනමා විද්වතාගේ ‘Film A Sound Art’ නම් ග්‍රන්ථයේ මෙවැනි සිනමා නිර්මාණ හැඳින්වීම සඳහා ඔහු භාවිතා කරන්නේ යාතු කර්මීය සිනමාව’ (ritualized cinema) නම් යෙදුම යි. ෂියොන් සඳහන් කරන අයුරින් එය කිසියම් ආකාරයකින් කාලය ඝනීභවනය කළ’ සිනමාවකි. ප්‍රංශ සිනමා කවියා’ සේ සැලකෙන රොබට් බ්‍රෙහෝන්ගේ සිනමා ව්‍යවහාරය විවරණය කිරීම උදෙසා ඔහු යොදාගත් යටකී යෙදුම පසු පරම්පරාවේ සිනමාකරුවන් වූ තියෝ ඇන්පිලෝපොලොස්, අන්ද්‍රි ත කොව්ස්කි.මිලොස් ජැන්ස්ස්කෝ, චන්තල් අකර්මාන්,ජිම් ජාමුස්,අකී කවුරිස්මානි, වොන් කාවායි,සායි මිංග් ලියැන්ග් හා අපිවත් පොන්ග් වීර සේතු කල් වැනි සිනමාකරුවන්ගේ නිර්මාණ විමසීම සඳහා ද ඔහු යොදාගනී.
මිෂෙල් ෂියොන් තවදුරටත් මෙසේ පවසයි.
යාතුකර්මීය සිනමාව යනු නිදහස් විවෘත සිනමාවකි. එය දැකීමට ඇති දේ දැකීමට ඉඩ සලසන සිනමාවකි. එසේ කිරීමේ දී එය සංගීතය නම් වූ ‘හාන්සි පුටුව’ කඩා බිඳ දමමින් පසුබිම් කථනය හා දෙබස්, රූපාවලිය සමඟ නිතර මුසු කිරීම අතහැර දමයි. එය එම මොහොතේ දැකීමට ඇති සියල්ල තත්පරයට රූප රාමු 24 ක් තුළ ඝනීභවනය කළ සිමෙන්ති තට්ටුවක් බවට හැරවූ සිනමාවකි.
මගේ අදහසට අනුව ‘ඔත්තු බලන තරු’ චිත්‍රපටය ද එක්තරා ආකාරයකින් දේවල් දැකීමට මෙන් ම විඳීමටත්, විශ්වයේ සියුම් සංසිද්ධින් (සැබෑ ජීවිතයේ දී බොහෝ විට අපට මඟහැරෙන) වෙත අවධානය යොමු කරවන්නේ ඒවායේ ඇති ගූඪ යථාර්ථය මතුකරනාකාරයෙනි. එය කවියත් සංගීතයත් අතර රැඳි සිනමාවකැයි කියැවේ.
වරක් රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී (80 දශකයේ මුල් භාගයේ පමණ) අන්සේ තකොව්ස්කිගේ සිනමාව පිළිබඳ දේශනයක් කරමින් තිස්ස අබේසේකර මහතා සඳහන් කළේ ඔහුගේ සිනමා නිර්මාණ කථාවක් කීමට හෝ නිශ්චිත මතවාදයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන සිනමාවක් නොවන බවයි. සියල්ල රඳා පවතින්නේ ඒ ඒ රසිකයාගේ සංජානනය හා පරිකල්පනය (perception and imagination) මත ය යන්න එහිදී ඔහු අවධාරණය කළේ ය.
කතන්දර කීම සාහිත්‍යය ට අයත් කටයුත්තක් බවත් සිනමාවේ පරමාර්ථයන් එයට හාත්පසින්ම වෙනස් දෙයක් බවත් අන්සේ ත කොව්ස්කි සිය ‘Sculpting In Time’ නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.
‘කලාව හරහා යම් අරුතක් ප්‍රකාශවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කිරීම මට නම් වටහාගත නො හැක්කකි. මන්දයත් ජීවිතය ද එවැනි නිශ්චිත අරුතක් ගෙන එන්නේ නැති නිසයි.’
යනුවෙන් ඩේවිඩ් ලින්ච් වරක් ප්‍රකාශ කළේය. භාවාත්මීය සිනමාව (cinema of Feeling), අනුභූතී උත්තර සිනමාව (transcendental cinema), හෝ යාතු කර්මීය සිනමාව (ritualized cinema) වැනි කවර නාමකරණයක් යටතේ හැඳින්වුව ද මෙකී සිනමාව උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයාගේ භාවයනට ආමන්ත්‍රණය කිරීමට බැව් පැහැදිලි වේ. එකී නිර්මාණ නරඹන වාරයක් වාරයක් පාසා නව අරුත්, නව සංකල්ප අප සිත් තුළ ජනිත වේ. ඒවා කාලයට ඉදිරියෙන් ස්ථානගත කළ හැකි කලා කෘතීන් සේ සැලකිය හැක්කේ එබැවිනි.
සිනමා කැමරාව ක්‍රියාත්මක වීමේ දී සිදු වන්නේ කිසියම් කාල මාත්‍රාවක් හසු කර ගැනීම බවත්, චිත්‍රපටයක් යනු එවැනි කාල මාත්‍රාවන්ගෙන් නිර්මිත මූහුර්තියක් (mosaic) බවත් ත කොව්ස්කි ප්‍රකාශ කළේය.
එහි දී රූප රාමුව තුළ මිනිස් ආත්මයන් මෙන් ම වෙනත් ජීවීන් හා අචේතනික වස්තූන් ද චරිත බවට පත්වෙති. ඒත් ඒවායේ කිසිදු නිශ්චිත අරුතක් ඇතැයි අපට නො සිතේ. එබැවින් අපි අපගේ ම අරුත් සොයා පාදා ගැනීමට උත්සාහ කරමු.
ස්වභාව ධර්මය හා පරිසරය’ යන්න මෙකී සිනමාව තුළ ඇති ප්‍රබල සංඝඨකයකි. එහිදී කැමරාව සියල්ල ඉතා සුපරීක්ෂාකාරී ව නිරීක්ෂණය කරයි. එහෙත් එමඟින් අපට සන්නිවේදය කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද? ඔබ පීවත්වන ලෝකය දෙස හොඳින් බලන්න’ වැන්නක්ද?
ඔත්තු බලන තරු’ හි අධ්‍යක්ෂවරයා ගොඩනඟන රූපක (images) හා ශබ්ද මාතිකාවන් (motifs) අපූර්වත්වයෙන් යුතු වේ. ඒවා මෙයට පෙර එයාකාරයෙන් අප කිසි දිනෙක දැක තිබූ බවක් අපට නො දැනේ. ඒවායේ කිසිදු කෘතීම අලංකරණයක් ගැබ්වී නැත. ඒවා අප සිත් තුළ බහු අරුත් දනවයි.
සුළඟට සෙලවෙන ගස්වැල්,ශාක පත්‍ර, මීදුමින් වැසී ගිය කඳු ශිඛර හා පාවෙන වලාකුලු මඟින් දනවන අරුත වටහා ගැනීමට නොහැකි ප්‍රේක්ෂකයා තම තමනට ම අනන්‍යය වූ අරුත් සොයා පාදා ගැනීමට උත්සාහ ගනී. එකී රූපාවලිය වෙතින් දෑස් ඉවතට ගැනීමට අපට නො සිතේ. කිසියම් විස්මය ජනක යමක් සිදූ වනතුරු අපි බලා සිටිමු. ඒ තුළ මොහොතින් මොහොත වෙනස්වන එමෙන් ම බහු අරුත් ජනනය කරවන ඉන්ද්‍රජාලික ගුණයක් ගැබ් වී ඇතැයි අපට හැඟී යයි.
මෙකී සිනමා ව්‍යවහාරයේ පොදු ලක්ෂණයක් වන්නේ දීර්ඝ රූප ඛණ්ඩ (long takes) භාවිතය යි. එහිදී බොහෝ විට ක්ෂණික ඡේදන මඟ හැරීමක් සිදුවේ. සිය මිසෝන් සේන් භාවිතය හරහා ප්‍රේක්ෂකයා කිසියම් භාවනායෝගී ආස්ථානයක ට රැගෙන යාමක් සිදුවන අතර සියල්ල එනම්, නළු නිළියන්, පසුතලය,රංග භාණ්ඩ, ආලෝකය හා අඳූර එක්කළ සංධ්වනියක් බවට පත් වේ. සියල්ල ඒකාබද්ධ වී ඇත්තේ භාව ස්පන්දනීය ලයමානයකිනි. හඬ සැලසුම (sound design) ද මෙකී රූපමය විශ්වයේ ඓන්ද්‍රීය අංගයකි. එහි දී ඇතැම්විට එක් නිශ්චිත හඬක් ඇසීමට සලස් වන අතර අනෙකුත් සියලු ශබ්ද මකා හරී. ඒ නිශ්චිත හඬට (සුළගේ හඬ හෝ ජල බිඳු වැටෙන හඬ වැනි) පමණක් කන්දෙන ලෙස අපට ආරාධනා කරන්නාක් මෙන් දැනේ. කිසිදු දෙබසක් රහිතව පවා කිසියම් චරිතයක සිතිවිලි විශ්වය (world of thoughts) තුළට එබී බැලීමට එමඟින් ප්‍රේක්ෂකයා යොමු කරවයි.
‘එය දැකීමට පමණක් නොව විඳීමට වැඩි ඉඩක් සලසන සිනමාවකි. එවැනි සිනමාවක ස්වරූපය වන්නේ එය ‘භාවමය සංවේදීතාවන් ප්‍රවාහයක්’ (stream of consciousness) වීමයි’
යන්න අන්සේ තකොව්ස්කිගේ අදහස යි. එය බුද්ධිමය පර්යාලෝකයකින් පැහැදිලි කළ හැකි නොවන බව ඔහු තවදුරටත් කියා සිටී.
‘ ඒවා ඔබට තේරුම් ගැනීමට අපහසු වුව ද ඒවා ඔබට දැනෙනු ඇත. ඒ අනුව එකී සිනමාව වඩාත් ලංවන්නේ සංගීතයට යි.
‘සියලු කලාවන් සංගීතයේ ස්වභාවය ට ලං වීමක් අපේක්ෂා කරයි’ (every art aspire towards the condition of music) යනුවෙන් වෝල්ටර් පේටර් නම් විද්වතා පැවසූයේ එබැවින් විය හැකියි.
- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි