No menu items!
31.6 C
Sri Lanka
13 September,2024

මහින්දගේ විෂයන්ට ගෝඨභය අත පොවයි

Must read

චමල්, ජනක බණ්ඩාර, ජොන්ස්ටන් හා එස්.එම්.ගේ විෂයන් ඒ අතර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්ථාපිත කර ඇති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය මගින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ හා තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසකගේ විෂයන්වලට අදාළ කටයුතු සිදුකිරීමේ බලය ලබාගෙන තිබේ.

ජනවාරි 25 දිනැති අංක 2159 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවා ඇත.

ඒ මගින් දක්වා ඇති කරුණු අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති බැංකු කටයුතුවලටත්, අග‍්‍රාමාත්‍යවරයා යටතේම ඇති නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ජල සම්පාදන මණ්ඩලටයත් උපදෙස් ලබාදීම හා රාජකාරි පැවරීමේ බලය ලබාගෙන ඇත.

ඊට අමතරව චමල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතභාවය හා පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සතොස, සතොස හා මාක්ෆෙඞ් යන ආයතනත් එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ඉඩම් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවත්, බිම් සවිය වැඩසටහනත් වනජීවි දෙපාර්තමේන්තුවත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යටතේ ඇති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනත්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා යටතේ ඇති මහාමාර්ග අමාත්‍යාංශයත් එම කාර්යසාධක බලකායේ උපදෙස් හා රාජකාරි පැවරීමේ බලය යටතට ගෙන ඇත.

එම කාර්ය සාධක බලකායට පවරා ඇති කර්තව්‍යයන් ඉටුකිරීමට අදාළව අවශ්‍ය විය හැකි උපදෙස් නිකුත් කිරීමට බලය පවරා ඇති අතර, එම උපදෙස්වලට අනුකූලව ක‍්‍රියා කළ යුතු යැයි හා සියලූම සහාය දිය යුතු යැයි සියලූ රජයේ නිලධාරීන්ට විධාන කොට ඇත.

එමෙන්ම කිසියම් රාජ්‍ය සේවකයෙකු, අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන ලද රාජකාරි හා වගකීම් ඉටුකිරීම ප‍්‍රමාද කිරීම හෝ පැහැර හරින සියලූ අවස්ථා තමාට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා කාර්යසාධක බලකායට විධාන කර ඇත.

භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම් එස්.බී. දිවාරත්නගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයන් වන්නේ විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, මහාචාර්ය එච්.එම්.ඩබ්ලිව්. ආරියරත්න හේරත්, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය එස්.එස්. සිවකුමාර්, හිටපු දිස්ත‍්‍රික් ලේකම් නිමල්  අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ගයාත‍්‍රි ගුණරුවන්, සංජීව ගුණවර්ධන හා සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් හෝ අමාත්‍යාංශ විෂයක් ඔහු යටතේ තබාගත නොහැකි අතර ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්නොකර ආරක්ෂක අමාත්‍යාංශයද ජනාධිපතිවරයා මේ වනවිට තබාගෙන සිටින්නේ නිල නොවන ආකාරයටය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි