27.9 C
Sri Lanka
15 August,2022

ඥානසාර හිමිට සමාව දුන්නොත් ජනාධිපතිට නඩු

Must read



අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී අවුරුදු 6ක සිරදඬුවමක් විඳිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, එළැඹෙන ජාතික දිනය දා ජනාධිපතිවරයා විසින් සමාව දෙනු ලැබීමට නියමිත බවට ලැබී ඇති තොරතුරු මත, එසේ සමාව දීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට පියවර ගනිමින් පවතින බව වාර්තා වෙයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේදී, අධිකරණයේ අවසරයකින් තොරව, නඩුවේ පාර්ශ්වකාරයකුද නොවී, අධිකරණය අමතා, අධිකරණයට අපහාස කිරීම හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිීතිඥවරයාට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2018 අගෝස්තු 8 වැනිදා අභියාචනාධිකරණය විසින් වරදකරු කරන ලද අතර, වසර 19ක සිරදඬුවමකට ඔහු යටත්කරන ලදි. ඒ සිරදඬුවම අවුරුදු 6ක කාලයක් තුළ ගෙවි යන පරිදිය.
පසුගිය දිනවල ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් දෙන්නැ’යි විවිධ පාර්ශ්වවලින් ජනාධිපතිවරයාට ඉල්ලීම් ලැබී ඇති අතර, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරාද එසේ සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ අය අතර සිටියි. එළැඹෙන පෙබරවාරි 4 වැනිදා ඥානසාර හිමිට සමාව දීමට අදාළ කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපති කාර්යාලයේ අදාළ නිලධාරීන්ට නියෝග ලැබී ඇතැ’යි වාර්තා වන අතර, එසේ සමාව දෙන්නට පෙර හෝ පසුව, ඊට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට බලාපොරොත්තු වේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවූ හෝ කඩවීමට අත්‍යාසන්න යැයි පෙනීයන හෝ අයකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකිය.
ජනාධිපති සමාව දීමේදී සාමාන්‍යයෙන් නීතිපතිවරයාගෙන් හා අධිකරණ ඇමතිගෙන් වාර්තා කැඳවීම සාමාන්‍යයෙන් සිදුවන නමුත්, ඥානසාර හිමිට සමාව දීමට පෙර එවැනි වාර්තා ඒ දෙදෙනාගෙන් කැඳවා නැති බවද දැනගන්නට තිබේ.
ඥානසාර හිමි මේ වන තෙක් බන්ධනාගාරයේ ගතකර ඇත්තේ මාස 5ක කාලයක් පමණක් වන අතර, මුළු සිරදඬුවමෙන් හතරෙන් එකක්වත් ගෙවී නැති තත්ත්වයක් යටතේ එසේ සමාව දීම වැරදි බව නීතිඥවරු කියති. ඔහු වරදකරු වි සිටින්නේ සාමාන්‍ය අපරාධයකට නොවන බවත්, රටේ සමස්ත අධිකරණ පද්ධතියට අපහාස කිරීම සම්බන්ධයෙන් බවත් කියන නීතිඥවරු, එවැන්නකුට ජනාධිපති සමාවක් දීම යළිත් අධිකරණයට අපහාස කිරීමක් බවද කියති.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර අඩංගු ලිපියක් අද පුවත්පතේ 7වැනි පිටුවේ පළවෙයි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි