No menu items!
22.3 C
Sri Lanka
15 September,2024

අයර්ලන්තය සිහසුනට ගෙනා ස්ටොක්ඬේල්

Must read



ස්ටොක්ඬේල්ට තවම වයස අවුරුදු 22ක් පමණක් වන නිසා ඔහුගේ හැකියාව ගැන ලියැවෙන කතාවක හතරෙන් එකක්වත් තවම ලියැවී නැති බව සැබෑවක්. ලියැවී තිබෙන හතරෙන් එකක කොටස ගැන කීයද්දී, රග්බි රසිකයන් නොවන අයෙකු වුව ස්ටොක්ඬේල්ගේ තරග සොයා නරඹන්නට යෝජනා කළ යුතුමයි. යූටියුබ් අඩවියෙන් ඔහුගේ විස්කම් නැරඹිය හැකියි. කවුද මේ ස්ටොක්ඬේල්? අප කියන්නට සූදානම් වෙන්නේ ස්ටොක්ඬේල්ගේ රසවත් කතාව ගැන.
ක්‍රීඩාවේ සුන්දරම අවස්ථාවක් තමයි කණ්ඩායමකට එක්වෙන නවක ක්‍රීඩකයෙක්, තරග කිහිපයක් ඇතුළත තමා විශේෂ ක්‍රීඩකයෙක් බව ඔප්පු කොට පෙන්වන අවස්ථාව. දැන් ක්‍රීඩාව ඩිජිටල්කරණය වී තිබෙන නිසා එවැනි ක්‍රීඩකයෙක් කෙතරම් දක්ෂදැයි අන්තර්ජාතික තරගවලට කලින්ම හඳුනාගන්න පුළුවන්. එහෙත් වෙනත් වේදිකාවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන්, අන්තර්ජාතික තරගවලදී බලාපොරොත්තු කඩ කරන අන්දම ඕනෑ තරම් දකින්න පුළු‍වන්. ඒ නිසා හැමවිටම නවක ක්‍රීඩකයෙක් අන්තර්ජාතික තරගයකට එළැඹ දස්කම් පෙන්වද්දී අප විස්මයෙන් විස්මයට පත්වෙනවා. අයර්ලන්ත රග්බි ක්‍රීඩක ජේකබ් ස්ටොක්ඬේල් පසුගිය වර්ෂයේදී රග්බි ක්‍රීඩාවේ දැක්වූ විස්කම් සියල්ල නිසා, ස්ටොක්ඬේල් අයිති වෙන්නේ රග්බි රසිකයන්ගේ දෑස් විස්මයෙන් පිරවූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට.

රග්බි ලෝක කුසලානය
රග්බි ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2019 වර්ෂයේදීයි. සියලු‍ රග්බි කණ්ඩායම් ලෝක කුසලානයට සූදානම් වෙමින් සිටිනවා. එවන් පසුබිමක අයර්ලන්ත රග්බි කණ්ඩායම 2018 වර්ෂය අවසාන කරන්නේ 2018 ලෝක රග්බි කණ්ඩායම ලෙස ගෞරවය ලබමින්. නවසීලන්තය ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට දමමින් අයර්ලන්ත කණ්ඩායම ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටිනවා. ඇතැම්විට අයර්ලන්තයට පළමු වතාවට රග්බි ලෝක කුසලානයක් ජයගැනීමට 2019 වර්ෂයේදී අවස්ථාව ලැබේවි.
පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නවවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය. මීට පෙර පැවති තරගාවලි අටේ විශේෂත්වයක් තිබෙනවා. මෙතෙක් පැවති ලෝක කුසලාන දිනා ඇත්තේ නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය යන රටවල් හතර පමණයි. එංගලන්තය හා එංගලන්ත සංස්කෘතිය උපරිමයෙන්ම ආරක්ෂා කළ රටවල් තුන රග්බි ආධිපත්‍යය ඉසිලීම රග්බි ක්‍රීඩාව කෙතරම් බි්‍රතාන්‍යමය ක්‍රීඩාවක්දැයි පැහැදිලි කරනවා.
නවසීලන්තය ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කොට තිබෙනවා. අවසන් කුසලාන දෙකම ජයග්‍රහණය කළේ ඔවුන්. දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව කුසලාන දෙක බැගින් ජයගෙන තිබෙනවා. එංගලන්තය එක් තරගාවලියක් ජයගෙන තිබෙනවා. ඉහත කී රටවල් හතරට අමතරව ලෝක කුසලාන අවසන් තරගයකට පැමිණ ඇත්තේත් ප්‍රංශය පමණයි. ඒ සියලු‍ තොරතුරු තහවුරු කරන්නේ රග්බි ක්‍රීඩාව යුරෝපයේ හා යුරෝපීය සංස්කෘතිය තිබෙන, වෙනත් කලාපවල රටවල් කිහිපයකට ආධිපත්‍යයට නතුවී තිබුණු අන්දමයි. මීට සමාන අනෙක් ක්‍රීඩාව තමයි ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවකට එය ඉන්දියාව වැළඳගත්තා. ඒ නිසා දැන් ක්‍රිකට් ක්‍රීඩාව ලොව දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව තිබෙනවා. ඉන්දියාව රග්බි ක්‍රීඩාව සමග ආසක්ත වී තිබුණේ නැහැ.
2019 ලෝක කුසලාන තරඟාවලියේදී රග්බි ක්‍රීඩාවේ මේ සම්පූර්ණ ඉතිහාසය උඩු යටිකුරු වනු ඇතැයි රග්බි ලෝකය කල්පනා කරනවා. එයට හේතුව කණ්ඩායම් කිහිපයක විශේෂ ක්‍රීඩා විලාසය. පෙර කී ලෙස අයර්ලන්තය අතිශයින් ශක්තිමත් කණ්ඩායමක් ලෙස අංක එකේ වැජඹෙනවා. තුන්වැනි ස්ථානයේ සිටින වේල්ස් කණ්ඩායමත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙන කණ්ඩායමක්. හතරවැනි තැන එංගලන්තයත්, පස්වැනි තැන දකුණු අප්‍රිකාවත් සිටිනවා. ඉන්පසුව ස්කොට්ලන්තයත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස හයවැනි ස්ථානයේ සිටිනවා. 2018 වර්ෂයේදී ඔවුන් දීප්තිමත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම හඳුන්වාදෙන්නට සමත් වුණා. ඔවුන් 2019 සැප්තැම්බරය වෙද්දී ස්කොට්ලන්තය තවත් ඉදිරියට ගෙනඒමට සමත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
හත්වැනි ස්ථානයේ සිටින ඕස්ටේ්‍රලියාවට නම් 2018 වර්ෂය තමන්ගේ රග්බි ඉතිහාසයේ අසාර්ථකම වර්ෂය ලෙස නම් කරගන්නට සිදුව තිබෙනවා. මීට සමාන කළ හැකි අසාර්ථක වර්ෂයක් ඔවුන්ට හමුවී තිබෙන්නේ 1958 වර්ෂයේදී.

ස්ටොක්ඬේල්
එවැනි පසුබිමක තමයි ජේකබ් ස්ටොක්ඬේල් අපට මුණගැසෙන්නේ. ඔහු 1996 දී උතුරු අයර්ලන්තයේ උපත ලද තරුණයෙක්. වොලස් උසස් පාසලේදී ඔහු රග්බි ක්‍රීඩාවට යොමුවී තිබුණා. පාසල් කාලයේදීම යුල්ස්ටර් ප්‍රාන්තයේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. අවුරුදු 18 දී ස්ටොක්ඬේල් පළමු වතාවට අයර්ලන්තයේ වයස අවුරුදු 20න් පහළ ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළා. 2018 වර්ෂයේදී අයර්ලන්ත විස්සෙන් පහළ කණ්ඩායම විස්සෙන් පහල ලෝක කුසලාන අවසන් තරගයට ගෙන එන්නට ස්ටොක්ඬේල් විශාල මෙහෙයක් ඉටු කළා. එහෙත් ඔහු ක්‍රීඩා කළේ ෆුල් බැක් ක්‍රීඩකයෙක් ලෙස.
වයස අවුරුදු 19 වෙද්දී ඔහු යුල්ස්ටර් ප්‍රාන්ත කණ්ඩායමට එක්වුණා. ස්ටොකී ජොකී නම් ඔහුගේ අන්වර්ථනාමය ලැබෙන්නේ ඒ කාලසීමාවේදීමයි. ස්ටොක්ඬේල් ෆුල්බැක් සිට වින්ග් සහ සෙන්ටර් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්නේ යුල්ස්ටර් කණ්ඩායමේදීයි. වින්ග් ස්ථානයේ ඔහු පෑ දස්කම් සමඟ අයර්ලන්ත ජාතික කණ්ඩායමේ වින්ග් ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නට ස්ටොක්ඬේල්ට හැකිවුණා.
2017 වෙද්දි ඔහුව අයර්ලන්ත ජාතික රග්බි කණ්ඩායමට තෝරාගැනෙනවා. දකුණු අප්‍රිකාව සමග 2017 නොවැම්බරයේදී ඔහු පළමු තරගය ක්‍රීඩා කළා. ඒ පළමු තරගයේදීම ඔහුගේ වේගවත් ගමන ආරම්භ වුණා. පළමු තරගයේදීම ඔහු උත්සාහක දිනුමක් වාර්තා කළා. ඒ නොවැම්බර් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති පළමු තරගයේදී. තරගාවලිය සති දෙකක් පැවතුණා. සති දෙක අවසාන වුණේ ස්ටොක්ඬේල් තරගාවලියේ වීරයා බවට පත් කරමින්. ඔහු ක්‍රීඩා විචාරකයන් විස්මයට පත් කරවන ක්‍රීඩා විලාසයක් පෙන්වුවා. ආජන්ටිනාව සමග පැවති අවසන් තරගයේදී ඔහු උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළා. ඔහු පෑ විස්කම් නිසා ‘ස්ටොක්ඬේල් ද ස්ටාර්’ යැයි බීබීසී ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය ඔහු ගැන ලීවා. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 21ක් පමණයි. එතැන් පටන් වසරක් ගතවී හමාරයි. අයර්ලන්තය 2018 වසරේදී රග්බි සිහසුන දක්වා ගෙනයන්නට ස්ටොක්ඬේල් තමාගේ උපරිම දායකත්වය ලබාදුන්නා.
ආජන්ටිනාව සමඟ පැවති තරගයේදී දෙවැනි අර්ධය ආරම්භ වෙද්දීම ස්ටොක්ඬේල් වාර්තා කළ උත්සාහක දිනුම අතිවිශිෂ්ටයි. ස්ටොක්ඬේල් අතට පිටිය මැදදී බෝලය හමුවෙනවා. ඉන්පසුව විස්මයජනක වේගයක් සහ ධෛර්යයක් පෙන්වමින් ස්ටොක්ඬේල් දිවයන අන්දම බලන්නට අපූරුයි. ඔහු ඉදිරියට එන ප්‍රතිවාදී ක්‍රීඩකයන් උපක්‍රමශීලී ලෙස මඟහරිමින් තුරඟ වේගයෙන් ඔහු දිවගිය අන්දම ඔහුගේ අනාගතය පිළිබඳ අපූරු සහතිකයක් බවට පත්වුණා.

සික්ස් නේෂන්
සික්ස් නේෂන් තරගාවලිය යැයි හැඳින්වෙන්නේ එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් හයක් අතර වාර්ෂිකව පැවැත්වෙන රග්බි තරගාවලියක්. 2018දී සික්ස් නේෂන් තරගාවලියේ ජයග්‍රහණය අයර්ලන්තය වෙත දිනාදෙන්නට ස්ටොක්ඬේල් ප්‍රමුඛ කණ්ඩායම සමත්වුණා. ස්ටොක්ඬේල් උත්සාහක දිනුම් හතක් වාර්තා කළා. එය සික්ස් නූතන නේෂන් තරගාවලියක තනි ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාව ලෙස වාර්තාගත වුණා. ඔහු තරගාවලියේ විශිෂ්ටම ක්‍රීඩකයා බවට පත්වුණා. අයර්ලන්තය අපරාජිතව තරගාවලිය අවසන් කොට, ග්‍රෑන්ඞ්ස්ලෑම් ශූරයන් බවට පත්වුණා. ඒ සියල්ල අවසානයේදී සියල්ලන්ගේ සාකච්ඡා මාතෘකාව බවට ස්ටොක්ඬේල් පත්වුණා.

ඩබ්ලින් ත්‍රිලර්
සික්ස් නේෂන් තරගාවලියේදී ස්ටොක්ඬේල් පෑ විස්කම් සියල්ල, ඔහුගේ විස්මයජනක ක්‍රීඩා විලාසයේ අවසානය වුණේ නැහැ. රග්බි ක්‍රීඩාවේ දැවැන්තයන් වූ නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කරන තැනට අයර්ලන්ත කණ්ඩායම ගෙනයන්නට ඔහු සමත්වුණා. ඒ වෙද්දීත්, තරගාවලි කිහිපයක් ජයගනිමින් තමන් විශිෂ්ට බව පෙන්වූ අයර්ලන්ත කණ්ඩායම නවසීලන්තය පරදවන්නට තරම් විශිෂ්ටද යන පැනය සියල්ලන්ට තිබුණා. නොවැම්බරයේදී ඩබ්ලින් නුවරදී අයර්ලන්තය සහ නවසීලන්තය අතර පැවති තරගය ඩබ්ලින් ත්‍රිලර් ලෙස හැඳින්වුවා.■

■ අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි