No menu items!
32.6 C
Sri Lanka
13 September,2024

දේශපාලන සියදිවි නසාගැනීමක්

Must read

මේ ලියන මොහොතේදී මහින්දගේ සහ මෛතී‍්‍රගේ රැලිය බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වේ. මහින්ද සහ මෛතී‍්‍ර දෙදෙනාම කල්පනා කරන්නට ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන් තමන්ට ඉන්නා බව පෙන්වා මෙම රැලිය විජයග‍්‍රාහී රැලියක් බව පෙන්වන්නටය. සමහර විට අලූත් ඇමති, රාජ්‍ය ඇමති ධුර ලැබූ, අප අසාවත් නැති මන්තී‍්‍රවරුන්ද සහිතව, 113ක් වේදිකාවේ ප‍්‍රදර්ශනය කරන්නට මෛතී‍්‍ර සහ මහින්ද සැලසුම් කරගෙන ඉන්නට ඇත.
මෙම රැුළිය ජයග‍්‍රාහී රැලියක් නොකරන්නට බාධා කර ඇත්තේ වර්ෂාව පමණක් නොවේ. කතානායකවරයා නිකුත් කර ඇති අලූත්ම ප‍්‍රකාශයෙන්ද ජනාධිපතිවරයා මහින්ද අගමැති ලෙස පත් කිරීමේ කි‍්‍රයාවත්, මන්තී‍්‍රවරුන් ධුරයට සහ මුදලට බිලිබා ගැනීමේ කි‍්‍රයාවත් දැඩි ප‍්‍රශ්න කිරීමකට භාජනය කර තිබේ. සාමාන්‍යයෙන් තැන්පත් සහ රළු නොවන පුද්ගලයෙකු වන කරු ජයසූරිය මහතා බියකර ගැනීමට මෛතී‍්‍ර-මහින්ද දෙපළ තම දුතයන් ලවා උත්සාහ ගන්නටද ඇත. මුදල්, අමාත්‍ය තනතුරු, බියවැද්දීම සහ තර්ජනය යනු මීට පෙරද පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා තම සහෝදර බැසිල් ද සමග එකතුව සාර්ථකව භාවිත කළ ආයුධ හතරයි. මෙවර එතුමා එම ආයුධ පාවිච්චි කරන්නේ, යහපාලන සටන් පාඨයේ නිර්මාතෘ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උවමනාව, අනුදැනුම, ආශීර්වාදය සහ සහභාගිත්වය ඇතිව බවද පෙනේ.

හරාකිරි
කනගාටුවෙන් හෝ මෙරට පුරවැසියන්ට කළ හැකි නිරීක්‍ෂණයක් නම් ජනාධිපති සිරිසේන මහතා දේශපාලන වශයෙන්ද හරාකිරි කරගෙන ඇති බවයි. එනම් දේශපාලන සියදිවි නසාගැනීමක යෙදී ඇති බවයි. 2014 ඔක්තෝබර් මාසයෙන් පසුවත් 2015-16 වසරවලත් එතුමා කළ කි‍්‍රයා සහ කළ කථාවලින් පෙන්නුම් කෙළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු, ප‍්‍රතිපත්ති සම්පන්න දේශපාලනඥයෙකු, ශිෂ්ට සම්පන්න දේශපාලනඥයෙකු සහ අනාගත පරම්පරාවට දේශපාලන බලාපොරොත්තු තැබිය හැකි රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වීමේ විභවතාව ඇති නායකයෙකු බවයි. 2018 ඔක්තෝබර් 26 දිනෙන් පසුව එතුමා කරන හැම කතාවකින්ම සහ කරන හැම කි‍්‍රයාවකින්ම පෙන්වන්නේ, එතුමා දේශපාලන වශයෙන් පිරිහුණු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගසන, තම දේශපාලන ස්වාර්ථය සඳහා ඕනෑම පිරිහුණු දේශපාලන කණ්ඩායමක් සමග සන්ධානගත වීමට ලැහැස්ති, ලංකාවේ දේශපාලනයේ වර්තමානයටත්, අනාගතයටත් තමා නුසුදුසු යැයි ඔප්පු කරන, පිරිහුණු නායකයෙකු බවයි.

සංවේගය
ලංකාවේ දේශපාලන ඉතිහාසය සාධනීය ලෙස පරිවර්තනය කිරීමට විභවතාවක් තිබුණු, ඒ නිසා ලංකාවේත්, ලෝකයේත් කීර්තිනාමයක් දිනාගත්, දේශපාලන වශයෙන් කිළිටි නොවූ චරිතයක් තිබූ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අලූත් දේශපාලන ජීවිතය, මහින්ද රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන නිර්දයවාදී දේශපාලන චරිතවල සංයෝගයක් වීම යන කරුණ එතුමා ගැන බලාපොරොත්තු මා ඇතුළු වයසක පරම්පරාවද, මගේ දුව ඇතුළු තරුණ පරම්පරාවද අයත් ලක්‍ෂ සංඛ්‍යාත පුරවැසියන් දුකට, සංවේගයට සහ කෝපයට පත් කරන්නකි. මා පසුගිය දිනවල කතා කළ, යහපාලන සන්ධානය දිනවීමට සහ සිරිසේන මහතා දිනවීමට ඡුන්දය දුන්නා වූත්, වැඩ කළා වූත්, බාල මහලූ, තරුණ සෑම කෙනෙකුගෙන්ම ප‍්‍රතිචාරවල මා හඳුනාගත් එක් ප‍්‍රතිචාරයක් තිබිණ. එය නම් සිරිසේන මහතා ඔක්තෝබර් 26 දා හැන්දෑවේ අප සියලූ දෙනාටම හොරෙන් කළේ මගේ පිටිපස්සට පිහියෙන් ඇනීමක් නේද? යන්නයි. මාද ඇතුළු ඒ හැම කෙනෙකුම එය අත්විඳින්නේ පුද්ගලිකව ලැබූ පාවාදීමක් ලෙසය.

පාපොච්චාරණයක්
එය එසේ වන්නේ ඇයි? අලූතෙන් බලයට පත්වන ආණ්ඩුවේ සමහර අයගේත් ජනාධිපතිතුමා වටේ සිටින සමහර අයගේත් කෝපයේ ගොදුරක් වීමේ අනතුර තිබියදීත් මේ කාරණය පැහැදිලි කළ යුතුය. එය වනාහි මාද, තවත් ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ද මේ දිනවල සෑම උදයකමත්, නින්දට යන විටත්, පුද්ගලිකවත්, අවිඥානකව සාමූහිකවත් කරන ස්වයං-ලජ්ජාව නැතිකර ගැනීම සඳහා කරන පාපොච්චාරණයකි.

අප බොහෝ දෙනා 2015 ජනාධිපති මැතිවරණයේදී සිරිසේන මහතාට වැඩ කළේ, එතුමාගේ දුවගේ පොතේ එතුමා ලබා සිටියේයැයි කියන අනතුරු තමන්ටද තිබියදී, විශාල රිස්ක් ගත්තේ, සිරිසේන මහතා දැක හඳුනාගෙනවත්, එතුමා ගැන තිබූ පුද්ගලික ආදරයක් නිසාවත් නොවේ. තම පරම්පරාවේත්, තරුණ පරම්පරාවේත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අපේක්‍ෂා සංකේතවත් කළ, තම මනසට සහ ශරීරයට එය අන්තර්ග‍්‍රහණය කරගත් තමන්ගේත්, තම රටේත් අනාගත දේශපාලන ඉරණම භාරදීමට තරම් විශ්වාසය තැබිය හැකි වූත්, නව බලාපොරොත්තුවක් කැටිකරගත් දේශපාලනඥයෙකු ලෙස පෙනුණ නිසාය. එහෙත් එවැනි කෙනෙකු පසුගිය ඔක්තෝබර් 26 සිකුරාදා වැසිබර අන්ධකාර සැන්දෑවේ කළ දේශපාලන කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාව, සිරිසේන මහතාගේ දේශපාලන ප‍්‍රතිරූපය සමග 2015 දී තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් අනන්‍ය කරගත් පුරවැසියන් තනි තනිවම, පුද්ගලිකව, අත්විඳි මහා පසුබෑමක් සහ පරාජයක් ද විය.

එය රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ නිසා ඇතිවූ ප‍්‍රතිචාරයක් නම් නොවේ. සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට 2015 ජනාධිපතිවරණයේදී වැඩකළා වූත්, ඡන්දය දුන්නා වූත් මා ඇතුළු බොහෝ දෙනා එසේ කළේ රනිල්ට තිබුණු ආදරයක් නිසා නොවේ. එජාපයේ සාමාජිකයන් බොහෝ දෙනෙකු සිටියේද රනිල් ගැන කලකිරීමෙනි. එහෙත් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දරුණු අර්බුදයකට පත්වී, දරුණු ආපස්සකට යෑමට තිබුණු තත්ත්වයක් තුළ, මහින්ද රාජපක්‍ෂ කඳවුර අතහැර, විපක්‍ෂයට පැමිණි සිරිසේන මහතා, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුරුජ්ජීවනය කිරීමේ පුරවැසි අපේක්‍ෂාවල අලූත් සංකේතයද විය. පසුගිය 26 දා රාති‍්‍රයේ සිට වේගයෙන් වියැලෙමින් මරණයට පත්වෙමින් සිටින්නේ මෙම සංකේතයයි. සිරිසේන මහතා, රනිල් සමග තිබුණු කවර හෝ පුද්ගලික සහ දේශපාලන මතභේද මත වුවත්, මහින්ද රාජපක්‍ෂ මහතා සමග රහසින් එකතුවී, ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තුවටත්, මහජනතාවටත් හොරා කළ කි‍්‍රයාව, තමන් කළ දේශපාලන සියදිවි නසා ගැනීමක් බව සිරිසේන මහතාට වැටහෙන බවක්ද නොපෙනේ.

නොවැම්බර් 05දා හැන්දෑවේ, මහින්ද රාජපක්‍ෂ මහතාද සමග එක වේදිකාවේ නැග, සිරිසේන මහතා කළ කථාවෙන් ප‍්‍රදර්ශනය වුණේ කුමක්ද? 2015 ජනවාරි මාසයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එතුමා දේශපාලන වශයෙන් කිසිදු සාධනීය දෙයක් අලූතෙන් ඉගෙන ගෙන නැති බව පමණක් නොවේ. එතුමාගේ දේශපාලන දැනුම, දේශපාලන විඥානය, දේශපාලන භාවිතාව සහ දේශපාලන සදාචාරය පුදුමාකාර ලෙස පරිහානියට පත්වී ඇති බවයි. මෙය කෙනෙකු කරගෙන ඇති දේශපාලන සියදිවි නසා ගැනීමක් නොවන්නේ නම් කුමක්ද? රෝ ඔත්තු සේවයත්, රනිල් වික‍්‍රමසිංහත් එකතු වී කළා යැයි එතුමාම කියූ එතුමා ශාරීරික වශයෙන් මරා දැමීමේ කුමන්ත‍්‍රණයෙන් බේරීමට ගොස් එතුමා දැන් කරගෙන ඇත්තේ කුමක්ද? සංකේතාත්මක සියදිවි නසා ගැනීමකි. එනම්symbolic – Suicide එකකි.

මගේ අවුරුදු 68 ක ජීවිතය තුළ මගේ සිත කම්පා කළ දේශපාලන නායකයන් දෙදෙනෙකුගේ මරණ සිදුවී තිබේ. පළමුවැන්න ඇත්ත, ශාරීරික ඝාතනයකි. දෙවැන්න සංකේතමය සියදිවි නසා ගැනීමකි. පළමුවැන්න සිදුවූයේ මා අවුරුදු නවයක පාසල් සිසුවකුව සිටියදීය. ඒ කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් අගමැති බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කිරීමයි. එය සිදුවූයේ 1959 දෙසැම්බර් 26 දාය. අසල්වැසි ගෙදරක රේඩියෝවෙන් එතුමාට වෙඩි තැබීම සහ එතුමා මිය යාම පිළිබඳ පුවත් අසා, අපේ ගෙදර ඉස්සරහා එළිපත්තේ ඉඳගෙන නිකට අල්ලේ තබාගෙන සංවේගයෙන් කල්පනා කරමින් හිස අහස දෙස බලාගෙන සිටි හැටි මට තවම මතකයි.

දෙවැන්න සිදුවන විට මගේ වයස අවුරුදු 68 ඉක්මවා මාසයකට වැඩිය, පාසල් හතර වැනි පන්තියේ කොලූවෙකුු ලෙස නොව විශ‍්‍රාමලත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ලෙස සිටින විටය. එය ශාරීරික, ඇත්ත මරණයක් නොවේ. තවත් කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් ද සමග එකතු වී කෙනෙකු කරගත් සංකේතමය සියදිවි නසා ගැනීමකි. දිනය 2018 ඔක්තෝබර් 26 දාය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි