No menu items!
31.3 C
Sri Lanka
20 April,2024

Must read

 

අනිද්දා සති අන්ත අලූත්ම පුවත්පත අද සිට ඔබට මහත් ගෞරවයෙන් පිළිගන්වමු. එය අලූත්ම හා නවීන පුවත්පතක් වනවාට අමතරව, මෙතෙක් කාලයක් ඔබ හොඳින් දන්නා මා ඇතුළු අනිද්දා සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයන් මෙතෙක් නිමග්නව සිටි මාධ්‍ය භාවිතාවේම දිගුවක්ද වෙයි.

 

අනිද්දා පිටු විස්ස මත, ලංකාවේ හා ලෝකයේ දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික හා කලාත්මක ඉසව්වලට අදාළව මහත් වැරවෑයමෙන් එකතු කරගන්නා ප‍්‍රවෘත්ති හා අනෙකුත් තොරතුරුද, සාරගර්භ විශ්ලේෂණ හා විචාරද, උද්යෝගිමත් සංවාදද සංග‍්‍රහ කොට ඔබට පිළිගැන්වීම අපේ අරමුණයි.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පාලන ව්‍යුහය, නීතියේ පාලනය, මානව ගරුත්වය, ජනවාර්ගික සමානාත්මතාව මෙන්ම විවාදාපන්න අනෙක් ක්‍ෂෙත‍්‍රවලද අනිද්දා සංස්කාරක අපේ මතය වෙනුවෙන් පෙනීසිටිමින්ම, ඊට විසම්මුතික අදහස් දරන සියලූ දෙනාටද අනිද්දා පිටුවලට ඇතුළුවී හරවත් සංවාදයකට දායකවීමට අවශ්‍ය ඉඩහසර ඇතිකිරීමට අපි වගබලා ගනිමු.

 

අනිද්දා එක් ප‍්‍රාග්ධන හිමිකාරයකුගේ මුදල් යෙදවීමෙන් පවත්වාගෙන යන්නක් නොවේ. අප මෙන්ම මේ සමාජය යහපත් වෙනසක් කරා ගෙනයෑමට කැපවීමෙන් කටයුතු කරන බොහෝදෙනකු තම ශක්ති ප‍්‍රමාණයෙන් කරන, විනිවිදභාවයෙන් යුත් මූල්‍යමය දායකත්වය මත පවතින්නකි. අනිද්දා ප‍්‍රකාශයට පත්කරන්නේ, සමාගමේ ලාභ කිසිවකුට ලබාගත නොහැකි, අලූතෙන්ම පිහිටුවන ලද සමාගමක් විසිනි. එහි අධ්‍යක්‍ෂවරු වන්නෝ, නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, නීතිඥ උපුල් කුමරප්පෙරුම, වෛද්‍ය රංජිත් සෙනරත් පතිරණ හා අනිද්දා ප‍්‍රධාන සංස්කාරකවරයාය.

 

අනිද්දා සඳහා ඔබට දායක විය හැකි ප‍්‍රමුඛතම මාර්ගය නම්, ඔබ කැමති ක්‍ෂෙත‍්‍රයක ඔබේ අදහස් ඇතුළත් ලිපි හා  විශේෂාංග අප වෙත එවීමයි.

 

අනෙක් අතින්, අනිද්දා ගැන පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමෙන්, පුවත්පත නොවරදවාම මිලදී ගැනීමෙන් මෙන්ම එය මිලදී ගැනීම සඳහා වෙනත් අය පෙළඹවීමෙන්ද අපට උදව්කරන්නට ඔබට හැකිය.

 

අනිද්දා දායකත්වය ලබාගන්නා ලෙස මෙරට හෝ පිටරට ඔබේ සමීපතමයන් හෝ ආයතන උනන්දු කරන්නටද ඔබට හැකිවනු ඇතැ’යි අපි විශ්වාස කරමු. ඒ සඳහා වැඩි විස්තර අපේ බෙදාහැරීම් අංශයෙන් විමසන්න.

 

ඊට අමතරව, අනිද්දා පවත්වාගෙන යෑම සඳහා මූල්‍යමය වශයෙන් ඔබට හෝ, ඔබේ පෙළඹවීමෙන් ඔබේ හිතමිතුරන්ට හෝ කළ හැකි මූල්‍යමය දායකත්වයක් වේ නම් අපි ඉහළින් අගය කරමු. ඔබේ අරමුදල් අංශුමාත‍්‍රයකින්වත් පෞද්ගලික පරිහරණයෙන් තොරව අනිද්දා වෙනුවෙන් විනිවිදභාවයෙන් හා පලදායක ලෙස පරිහරණය කරන බවට අපි සහතික වෙමු. අනිද්දාට මූල්‍යමය වශයෙන් පරිත්‍යාග කිරීමට කැමති හිතවතුන්ට, ඞීඑෆ්සීසී බැංකුවේ, කොටුව, කෙළින් වීදිය ශාඛාවේ, අංක 0871 1500 1993 දරන අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි* ලිමිටඞ් ගිණුමට එම පරිත්‍යාගයන් බැර කළ හැකිය. ඔබ එසේ කළ පසු, අපට ¥රකථනයෙන් ඒ බව දැනුම්දෙන්නට කාරුණික වන්න.

 

අද සිට සෑම සිකුරාදාම උදේ වෙළෙඳපොළට නිකුත්වන අනිද්දා නොවරදවා කියවන්න. එය අප සියල්ලන්ගේම ජීවිත, රට හා සමාජය මීට වඩා යහපත් තැනක් කරගන්නට කැපවුණ මිනිසුන්ගේ වැඩබිමක් බවට පත්කරගන්නට  ඔබේ දායකත්වයත් අපට දෙන්න.

 

කේ ඩබ්ලිව් ජනරංජන

ප‍්‍රධාන සංස්කාරක

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි