No menu items!
21.9 C
Sri Lanka
10 September,2025
Home Blog Page 578

ගලහෙන් ඉගෙනගැනීම

0

වලිප්පුව සෑදී පැමිණි දරුවකු මියයාම මූලික කරගෙන ගලහ රෝහලේදී ඇතිවූ කලබලය හමුවේ ප‍්‍රකෝප වූ ගම්වාසීන් රෝහලට පහර දීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය. පොලිසිය මැදිහත්වීමෙන් ඒ අවස්ථාව පාලනය කළත් මේ වනවිට එම රෝහලේ සිටි වෛද්‍යවරුන් ද වෙනත් රෝහලකට මාරු කර යවා රෝහල අකර්මණ්‍ය තත්වයක පවතී. මේ පසුබිම මත විවිධ කෝණවලින් සිදුවීම විග‍්‍රහ කිරීමට බොහෝ දෙනා පෙළඹී ඇත. වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන් එම සිදුවීම ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්, පහර දීමට වගකිව යුතු අය අත්අඩංගුවට ගැනීමට බලකිරීම්, වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම යනාදිය ගැන මත පළවෙද්දී තවත් පාර්ශ්ව සිදුවීමට අදාළව සහ නොමැතිව වෛද්‍ය ක්ෂේත‍්‍රය විවේචනය කිරීමට ඉක්මන් වන බවක්ද පෙනෙන්නට තිබුණි.

කිසියම් සිදුවීමක් විග‍්‍රහ කරගත යුත්තේ තනි සිදුවීමකට වඩා පවතින සන්දර්භයද සැලකිල්ලට ගෙන බව මගේ පිළිගැනීම වේ. එපමණක් නොව තමා නියෝජනය කරන ක්ෂේත‍්‍රයේ සිදුවීමක් හෝ කරුණක් ගැන මතයක් පළ කිරීමේදී හැඟීම්බර වනවාට වඩා හැඟීම්වලින් ස්වායක්තව අදහස් තෝරාබේරා ගැනීමේ වැදගත්කමද අවධාරණයෙන් සැලකිල්ලට ගත යුතුය. එසේ කිරීම දුෂ්කරය. එහෙත් අවසානයේ ඉදිරිගාමී, ප‍්‍රයෝජනවත් අදහසක් සමාජයට එකතු කිරීමට නම් හැඟීම් සහ තර්ක බුද්ධිය අතර විසංවාදය වැදගත් වේ.

ගලහ සිදුවීම් පෙළක එක තැනකි
වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝදෙනා ගලහ සිදුවීම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට වෙහෙස වීම දක්නට ලැබුණි. එම දරුවාගේ රෝගී තත්වය, ලබා දුන් ඖෂධය, පිළිගත් ප‍්‍රතිකාර ක‍්‍රම, සංකූලතා ඇති වුණ ආකාරය සහ ඒවාට මුහුණ දුන් ආකාරය ආදි විෂය කරුණු සහිත පැහැදිලි කිරීම් බෙදාහැරෙන්නට වුණි. එවැනි කරුණු ගැන සාමාන්‍ය ජනතාවගේ දැනුවත්කම පහළ අඩියක පවතී. ඒ නිසා එවැනි සිදුවීමකින් පසුව මහජන අවබෝධය වැඩි කිරීමට යම් මැදිහත් වීමක් අත්‍යවශ්‍යය. ගැටලූ‍ව වන්නේ එවන් පැහැදිලි කිරීමකින් බලාපොරොත්තු වන්නේ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ අඳුරු කර එක් තැනකට පමණක් චෝදනාව එල්ල කිරීම නම් එකී බලාපොරොත්තුව හුදෙක් ආත්මාර්ථය වෙනුවෙන් යැයි හැඟීමක් සමාජයේ ඇතිවීමයි. සිදුවීම ගැන මහජන විරෝධය එල්ල වන්නේ එම තනි සිදුවීම ගැන මහජනයාගේ තිබෙන නොදැනුවත්කම නිසා බවට මතයක් සමාජගත වෙමින් තිබේ. සත්‍යය ඊට වඩා සංකීර්ණය.

ගලහ සිදුවීමට පෙර වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් වැනි විවිධ පාර්ශවවලින් ගුණාත්මක වෛද්‍ය ක්ෂේත‍්‍රයක වැදගත්කම ගැන බරපතළ චිත‍්‍රයක් සමාජය හමුවේ තැබිණ. ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍යවරුන් බිහි වුවහොත් ඔවුන් රෝගී ජීවිත බිල්ලට ගනු ඇති බවට අනාවැකි පළකිරීම් සමගය. ගුණාත්මක වෛද්‍යවරයා සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාව ගැන සමාජ සම්මතයන් නිර්මාණය කිරීමට උත්සාහ කළේ ඔවුන්මය. යම් හේතුවකට වෛද්‍යවරයෙකු අතින් සිදුවිය හැකි වැරැද්දක් හෝ අතපසු වීමකට වෙනස්, භාවාතිශය මුහුණුවරක් දුන්නේ ඔවුන්මය. එවන් වරදක් අතපසු වීමක් හෝ මානුෂීය වරදකට (human error) එහා ගිය ”සුදුසුකම් නොලැබීම නිසා/ හොර වෙදෙක් වීම” නිසා සිදුවිය හැකි සාපරාධී ක‍්‍රියාවක් ලෙසට අර්ථ වෙනස් කළේ ඔවුන්මය. ඊට පෙර සමාජයේ වෛද්‍යවරයකු අතින් සිදුවන වරදක් දෙස මෙවන් සාපරාධී කෝණයෙන් බැලූ අවස්ථා අඩුය. ඊට හොඳ නිදසුනක් ලෙස මීට අවුරුදු කිහිපයකට පෙර ඇඟලූ‍ම් සේවිකාවක මීගමුව මහ රෝහලේදී මියගිය සිදුවීම ගත හැකිය. ඇත්තටම සාපරාධී ස්වභාවයක් තිබී වුවද එකල එම සිදුවීම අලලා සමාජ විරෝධයක් මතුවුණේ නැත. එම සිදුවීමම අද දින සිදුවුණා නම් ගලහ සිදුවීමේ භයානක මුහුණුවරක් අපට මීගමුව රෝහලේදී දැකගන්නට හැකිව තිබුණි. මේ අප අත්විඳින්නට පටන් ගත්තේ වෘත්තිය සුදුසුකමකට භාවයන් ආරෝපණය කිරීමේ ආදීනවය.

වෛද්‍යවරුන් සමාජයෙන් විතැන්වීම
එකී දරුවාට සේලයින් නොදීම ගැන පිළිබඳ සාමාන්‍ය වැසියන් කරන චෝදනාව ගැන හාස්‍යොත්පාදිත කතා බොහොමයක් අසන්නට ලැබිණ. දරුවාගේ ශ්වසනය අක‍්‍රිය වූ පසු ලබා දෙන මූලික ප‍්‍රතිකාරවලට බාධා පැමිණවීම ගැනද ඒ ආකාරයේම කතා මතු විය. ඒ ආකාරයෙන් සිදුවීම ගැන වෛද්‍යවරුන්, ප‍්‍රමුඛවම සමාජ මාධ්‍ය හරහා සිදු කළ කරුණු දැක්වීම්වලින් පැහැදිලි වන කාරණයක් තිබේ. එනම් කුලකයක් ලෙස වෛද්‍ය ප‍්‍රජාව ක‍්‍රම ක‍්‍රමයෙන් සාමාන්‍ය ජනයාගෙන් ඈත්ව පොදු සමාජයෙන් පරිබාහිරව කටයුතු කිරීමට පටන් ගෙන තිබීමයි. එම තත්වය වඩාත් දුරදිග ගොස් තම කණ්ඩායම හැර අනෙක් සියලූ‍ සමාජය තමාට එදිරිවාදී පිරිසක් ලෙස දැකීමට හුරුව තිබේ. නොදන්නා විෂය කරුණු ගැන ඒ සමාජයට උසුලූ‍ විසුලූ‍ කිරීමේ අර්ථය එයයි. කාලයක් පුරාවට හේතු විරහිතව වෛද්‍ය ප‍්‍රජාව විවේචනය කළ සමාජ කොටස්ද මේ සඳහා වග කිවයුතු වේ. එහෙත්, වෘත්තිකයන් ලෙස වඩා සංවේදී සමාජ කියවීමක් වෛද්‍යවරුන්ගෙන් පුහුදුන් සමාජය බලාපොරොත්තු වේ. සිදුවීම්වලින් හැඟීම්බර වීම ඕනෑම මනුෂ්‍යයකු මුහුණ දෙන සාමාන්‍ය දෙයකි. ඒ හැඟීම් ම ප‍්‍රකාශන ලෙස සමාජගත කිරීමේදී ප‍්‍රවේශම් විය යුත්තේ ද ප‍්‍රකාශ හැඟු‍ම් බර වීම නිසාමය. හැඟු‍ම්බර ප‍්‍රකාශ සමාජය කියවා ගන්නේ හැඟු‍ම් බරවම ය. ඒ හරහා නිකුත් කරන්නට බලාපොරොත්තු වන දේශපාලන පණිවුඩය යටගොස් අනවශ්‍ය භාවයන් පමණක් අවසානයේ සමාජය වෙත යනු ඇත. ගලහ සිදුවීම හරහා වෛද්‍යවරුන් විසින් නිකුත් කරන්නට යෙදුණු උපහාසාත්මක ප‍්‍රකාශන නිසා සාමාන්‍ය සමාජය ඔවුන් දෙස බලන කෝණය තව තවත් එපා කරවනසුලූ‍ එකක් මිස නිශ්චිත ප‍්‍රශ්නය තේරුම් ගැනීමක් නොවේ.

උදාහරණයකට ප‍්‍රාදේශීයව පිහිටා තිබෙන රෝහල්වල ගැටලූ‍ බොහොමයක් ඇත. කාර්ය මණ්ඩලය, යටිතල පහසුකම් ප‍්‍රමාණවත් නොවීම, මහජනයාගේ සෞඛ්‍යය ගැන තිබෙන ආකල්ප පිළිබඳ ගැටලූ, සම්පත් අවභාවිතය යනාදි ප‍්‍රශ්න ගැන පුළුල් සමාජ කතිකාවක් ඇති කළ හැකිව තිබූ අගනා අවස්ථාවක් මග හැරී ගියේ ය. මේවා ප‍්‍රාදේශීය මෙන්ම ජාතික දේශපාලන අධිකාරීන්ගේ අවධානය යොමු නොවන කරුණු ය. එදා සිදු වීමට මේවාද බලපා තිබේ. එහෙත් අවසානයේ සාකච්ඡුාව දිශාගත වුණේ වෛද්‍යවරුන්ට පහර දීම, වෛද්‍යවරුන්ගේ ජීවිත අනතුරේ යෑම, දැනුම නොමැති මිනිසුන් වෛද්‍ය කටයුතුවලට මැදිහත් වීම යනාදි එක් කුලකයකට පමණක් බලපාන කරුණු කෙරෙහි ය.

සහකම්පනය සහ සන්නිවේදන හිස්තැන
මා වටහාගෙන තිබෙන ආකාරයට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන විශාලතම ගැටලූ‍වක් වන්නේ සහකම්පනය සහ සන්නිවේදනය පිළිබඳව තිබෙන ගැටලූ‍වයි. සාමාන්‍ය අර්ථයෙන් සහකම්පනය/එම්පතිය යනු රෝගියා සිටින තත්වය පිළිබඳ අවබෝධයක් සහිතව තමා ඒ තත්වයේ සිටියා නම් බලාපොරොත්තු වන ආකාරයට රෝගියාට සහාය වීමයි. එය පහසු නැත. සියයට සියයක එම්පතියක් කිසිම වෛද්‍යවරයකුට දැක්විය නොහැකිය. රෝගියකු සමග ගනුදෙනු අවස්ථාවේදී ඇතිවන හැඟීම් දැනීම්, ප‍්‍රායෝගික අපහසුතා, අධික වැඩබර, පුද්ගල චරිත ස්වභාවයන්ගේ වෙනස්කම් ආදි කරුණු එම්පතියට හරස් වීම ස්වාහාවිකය. එහෙත් වඩා අවධානයකින් යුක්තව හැකි සෑම අවස්ථාවකදීම රෝගියා කෙරෙහි සහකම්පනයකින් යුක්තව කටයුතු කිරීම ගැන සැලකිලිමත් වීම වැදගත්ය. යම් සිදුවීමකින් පසුව තමා අතින් සිදුවූ ප‍්‍රමාදයන් ගැන සිතා බැලීමේ පුහුණුවක් වෛද්‍යවරයාට අවශ්‍යය. සහකම්පනය පිළිබඳ රෝගියාටද දැනෙන්නට සැලැස්වීම වෛද්‍ය-රෝගී සන්නිවේදනයෙන් සිදු කෙරේ. ප‍්‍රතිඵලය කුමක් වුවත් එසේ ප‍්‍රමාණවත් සන්නිවේදනයක් නොමැති සෑම අවස්ථවක්ම කෙලවර වන්නේ රෝගියා සහ වෛද්‍යවරයා අතර අනවබෝධයකිනි.

උක්ත සිදුවීමම සලකා බැලූ‍වහොත් වෛද්‍යවරයා කෙතරම් එම්පතියකින් එම දරුවා කෙරෙහි කටයුතු කර තිබුණා වුවද එය දරුවාගේ පවුලේ අයට සන්නිවේදනය වීමේ බරපතළ හිඩැසක් තිබේ. වෛද්‍යවරයාගේ ප‍්‍රතිකාර කර්තව්‍යය කෙරෙහි ප‍්‍රතිකාර ලබන පාර්ශ්වය තුළ විශ්වාසය ගොඩ නැගෙන්නේ එලෙසය. වෛද්‍යවරයා තම දරුවා කෙරෙහි උපරිම සැලකිල්ල දක්වන බවටත් ඔහු කෙරේ විශ්වාසය තබා ගත හැකි බවටත් රෝගීන්ගේ ඥාතීන්ගේ සිත් තුළට ස්වාභාවිකවම ඒත්තු ගැන්වීම සරල සන්නිවේදනයකින් සිදු කළ හැක. මට සිතෙන ආකාරයට අපේ පද්ධතිය තුළ ප‍්‍රශ්නය තිබෙන්නේ එම්පතියටත් වඩා මෙම සන්නිවේදනය පිළිබඳව ය. එවැනි සන්නිවේදනයක් ගැන මා ලැබූ වෛද්‍ය අධ්‍යාපනය තුළ ප‍්‍රායෝගික තලයේ ප‍්‍රමාණවත් පුහුණුවක් ලැබුණේ නැත. මගේ දැනීමේ හැටියට එවන් පුහුණුවක් තවමත් වෛද්‍ය විද්‍යාලවලින් ලැබෙන්නේද නැත. ඊට වඩා අදටත් ප‍්‍රමුඛත්වය ලබා දෙන්නේ රෝගියා කෙතරම් අපහසුතාවකින් සිටියද ඔහුගෙන් ඉගෙන ගත යුතු, හැකි දේ ගැනීම කෙරෙහිය. ප‍්‍රායෝගික වෛද්‍ය අධ්‍යාපනයේ සිට මෙම ගුණාංගය වැඩිදියුණු කළ යුතුව ඇත. මේ සිදුවීම හරහා එවන් සාකච්ඡුාවකට ඉඩකඩ වෙන් වුවද කිසිමාකාරයකින් එය සාකච්ඡාවට බඳුන් වූයේ නැත.

මූලික සෞඛ්‍ය කරුණු ගැන මහජනයාගේ නොදැනුවත් බව.

මෙය නිවැරදි කළ හැකිද?
සෞඛ්‍ය සාක්ෂරතාව හෙවත් health literacy යන්න ලෝකයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන, පර්යේෂණ කෙරෙන මාතෘකාවකි. සාමාන්‍ය සාක්ෂරතාව කෙතරම් දියුණු රටවල් වුවද සෞඛ්‍ය කරුණු ගැන අඩු මට්ටමේ සාක්ෂරතාවක් උසුලයි. රෝගීන් වෛද්‍යවරයා දෙන උපදෙස් පිළිපැදීම, මූලික සෞඛ්‍ය කරුණු ගැන ‍රෝගීන්ගේ තිබෙන අවබෝධය වැනි දෑ එම ක්ෂේත‍්‍රයේ අය උපකල්පනය කරනවාට වඩා බොහෝ අඩු මට්ටමක පවතී. ලෝකය පුරා මේ කරුණ එක සමානය.

ලංකාවේ මේ පිළිබඳ ප‍්‍රමාණවත් අධ්‍යයනයන් සිදුකෙරී නැතිවා පමණක් නොව ප‍්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරද නැත. දියුණු රටවල සෞඛ්‍ය සාක්ෂරතාව වැඩි කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග ලංකාවේ අපට තව බොහෝ දුරය. ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටක කර ඇති අධ්‍යයනයන්වලට අනුව ඔවුන්ගේද සාක්ෂරතාව 12% ක වැනි අගයක් ගනී. ඔවුන්ගේ වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකකට සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක උපදෙස් පිළිපැදීමේ හැකියාවක් නැත. කාලයත් සමග සෞඛ්‍ය සේවාව කෙතරම් දියුණු වුවද ඔවුන්ගේ මහජන සෞඛ්‍ය සාක්ෂරතාව වෙනස් වීද නැත. සමහර විට ජනතාවගේ සෞඛ්‍යය ගැන තිබෙන සාක්ෂරතාව එක් ලක්ෂ්‍යයකින් එහාට වැඩිකළ නොහැකි වීමට ද ඉඩ තිබේ. එතැනින් එහාට වගකීම ඇත්තේ ඔවුන්ගේ නොදැනුවත්බව තේරුම් ගෙන ඊට ගැළපෙන ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වෙනස්කම් කිරීමය. එතැනදීත් සහකම්පනය සහ සන්නිවේදනය වෙත වැඩි බරක් යෙදේ. ජනතාවගේ නොදැනුවත් බවට අනුකම්පා කිරීම එහි පළමු අංගයයි. හාස්‍යයට බඳුන්කිරීම සහකම්පනයට හාත්පසින්ම විරුද්ධ ඉවුරේ සිටින්නකි.

ප‍්‍රාථමික වෛද්‍ය සේවාවේ වෙනස්කම්වලට කාලය

තවමත් රටේ ක‍්‍රියාත්මක වන්නේ දශක කිහිපයකට පෙර ස්ථාපිත වූ රෝහල් ව්‍යුහයකි. නාමකරණයේ යම් යම් වෙනස්කම් සිදු වුවද පරිපාලන ව්‍යුහයේ හෝ රෝගී සත්කාර ක‍්‍රම විධිවල එතරම් වෙනස්කම් සිදුව නැත. ග‍්‍රාමීය මට්ටමේ තත්වය තවත් දරුණු ය. සෞඛ්‍ය සම්පත් නාස්ති වීම සහ අවභාවිතය නිරීක්ෂණය කළ හැක. ඒ ගැන ප‍්‍රමාණවත් විගණනයක්ද සිදුව නැත. ප‍්‍රජා සෞඛ්‍ය සේවාව (preventive sector -සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකා ආදි ) වෙනස්කම්වලට භාජනය වෙමින් උසස් තත්වයක පැවතියද ඊට ගැළපෙන ලෙස ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රතිකාර සේවා (curative sector) වෙනස්කම්වලට භාජනය වී නැත. බොහෝ ප‍්‍රදේශවල සුළු‍ අසනීපවලට ප‍්‍රතිකාර පමණක් සිදු කරන රෝහල්, වෛද්‍ය ඒකක තිබෙන බව නිරීක්ෂණය වේ. මේවා නඩත්තුවට අධික පිරිවැයක් දරනවා මෙන්ම ඒවාහි වෛද්‍ය ඇතුළු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ස්ථානගත කිරීමෙන් සම්පත් අවභාවිතයක් සිදුවේ. විසඳුම ලෙස මේවා වසාතැබීමට යෝජනා කරනවාට වඩා නිසි අධ්‍යයනයකින් ප‍්‍රාථමික වෛද්‍ය සේවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ඉතාම කාලෝචිතය. අමාත්‍යවරයා පවා එවැනි අදහසක් මතු කර තිබිණ.

ගලහ සිදුවීම හුදෙක් එක් සිදුවීමක් නොවේ. එය සමාජයේ කතාබහට ලක්විය යුතු කරුණු රැුසක් අන්‍තර්ගත කෙරුණු එක් මුහුණතක් පමණි. සමාජ ප‍්‍රශ්න එළියට එන්නේ ඒ ලෙසටය. ඒවා කියවා ගැනීමට දක්ෂ නොවන්නේ නම් ඒ ප‍්‍රශ්නවලට විසඳුම්ද කිසිදා නිර්මාණය නොවනු ඇත. එහෙත් ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන තෙක් ගලහ වැනි සිදුවීම් යළි යළිත් සිදුවනු ඇත. අවාසනාවට ඒ එක් සිදුවීමක් වැරදියට කියවා ගැනීමම ඊළඟ සිදුවීමට හේතු සාධක වනු ඇත.

වෛද්‍ය හසිත උදලාගම

මැයි රැලියට ගෝල්ෆේස් ආ කට්ටියවත් මෙදා ආණ්ඩුව පෙරළන්න නොආවේ ඇයි?

0

 

ජන බලය කොළඹ වටලා ආපසු හැරී ගොස් ඇතත්, කොළඹ වෙනදා මෙන්ම තිබේ. ආණ්ඩුවද වෙනදා මෙන්ම තිබේ. පිරිසක් කොළඹ ඇවිත්, සමහරුන් රැුයක්ද ගතකර ආපසු ගියා මිස, කිසිවක් වෙනස්වන්නට කිසිම හේතුවක් ඇතිවුණු බවක්ද නොපෙනේ. පිටතින් බලා සිටිය අය කෙසේ වුණත්, ජනබලයට සහභාගිවුණු අයටවත් එය මහා විප්ලවයක් කළ, බලපෑමක් කළ අවස්ථාවක් ලෙස පෙනෙන්නේද? එයින් මහා පරිවර්තනයක් වුණු බව පෙනෙන්නේද?

ජන බලයේ අවසාන ප‍්‍රතිඵලය කුමක්ද? කිසිවක් නැත. කවුරුත් දන්නා විදියට කියනවා නම්, ‘අපේ චූන් අපට චූන්’ තත්ත්වයෙන්ම වැඬේ අහවර විය. ආණ්ඩුව වටලන්නට තරම් පිරිසක් කොළඹට ආවේද නැත. ලක්‍ෂ ගණනක් ඇවිත් කොළඹ සම්පූර්ණයෙන්ම අවුල් කොට, ආණ්ඩුව ගන්නවායැයි කීවද ලක්‍ෂ ගණනින් ගණන් කරන්නට මිනිසුන් ලේක්හවුස් අවට මාර්ගවල සිටියේද නැත. පිට පළාත්වලින් කොළඹට ආ බහුතරයක් බස්වල හිටියේ පහක දහයක බැගින් පිරිසකි. ආ පිරිසෙන් බහුතරයකටද ආණ්ඩුව පෙරලනවා තියා කෙලින් හිටගන්නටවත් හැකියාවක් තිබුණේ නැත. සමහරුන්ට කොළඹ රවුමක් දමා, අඩියක් ගසා, ඩෝලැක්කියක් හෝ පපර බෑන්ඞ් එකක් ගසා සිංදුවක් කියා, යට ඇඳුමෙන් නැටුමක් නටා ගෙදර යන සතුට, ආණ්ඩුව පෙරලනවාට වඩා හොඳටම ඇති වාගේ පෙනුණේය.

ජන බලය, සංවිධානය අතින් අන්තිම පහළට වැටුණු ව්‍යාපෘතියකි. ඒකාබද්ධ විපක්‍ෂයට හිතවත් අයද එය පිළිගනිති. රැලිය පැවැත්වීම සඳහා කොළඹ නගර සභාවට අයත් හයිඞ් පාක්, කැම්බල් පාක්, කිරුළපන ක‍්‍රීඩාංගණය වැනි ප‍්‍රධාන පෙළේ සියලූම පිට්ටනි, පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත‍්‍රීවරුන් විසින් වෙන්කරවාගෙන තිබුණි. එහෙත්, ඒ පිට්ටනිවල රැුලිය පැවැත්වුවහොත්, කොළඹට එදිනෙදා එන යන සාමාන්‍ය මහජනතාවට, පාසල් දරුවන්ට ‘උපරිම පීඩාවක්’ කරන්නට බැරි බව තේරුම් ගත් ජන බල නායකයෝ රැුලිය ලේක්හවුස් ඉදිරිපිටට ගෙනගියහ. අවසන් මොහොත දක්වා රැුලිය තිබෙන ස්ථානය හෙළි නොකර සිටීමේ පිළිවෙතක් අනුගමනය කළේ, ආණ්ඩුවේ මර්දනයක් ගැන ව්‍යාජ බියක් මවන්නටය. එහි ප‍්‍රතිඵලය වුණේ, කිසිම සනීපාරක්‍ෂක පහසුකමක් නැති, අඩු ගණනේ ජන බල නායකයන්ට මහජනයා අමතන්නට වේදිකාවක් වත්, ශබ්ද විකාශන යන්ත‍්‍රවත් නැති ඉතාම අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමයි.

ඇත්ත වශයෙන්ම, ලංකාවේ හතර දෙසින් බස්වල පටවා කොළඹට ගෙන ආණ්ඩුව පෙරලන්නටයැයි කියා ගෙන ආ පිරිස ඔවුන්ගේ දේශපාලන නායකයන් විසින් කොළඹදී අතරමං කරනු ලැබූහ. පැය ගණනක්, සමහර විට දවසක් බස් රථවල ගාල්වී පැමිණි පිරිසට කිසිම පහසුකමක් සපයන්නටවත් මේ නායකයෝ සමත් නොවුණාහ. ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් ඉටුකරගන්නට අඩුගණනේ වැසිකිළි පහසුකම්වත් සපයාදී නොතිබිණි. රැුලිය පැවැත්වුණු පසුව මහින්ද රාජපක්‍ෂ ඇතුළු නායකයන් පිටත්ව ගිය අතර, රාත‍්‍රිය මහපාරේ ගතකරන්නට නියමවී තිබුණු පිරිසක් පාර පුරා වාඩිලාගෙන උදේ වනතුරු සිටියහ. රාත‍්‍රියේ ඔවුන් සමග සිටියේ සුසිල් පේ‍්‍රමජයන්ත මන්ත‍්‍රීවරයා පමණක් බව පෙනිණි. මුළු ප‍්‍රදේශයම කසළ යායක් බවට පත්වී තිබිණ.

සවස් යාමේ පන්දම් අතැතිව ‘සත්‍යක‍්‍රියාවක’ යෙදීම එහි විකාර සහගතම අවස්ථාවක් විය. සත්‍යක‍්‍රියාවක යෙදෙන්නට තරම් අවම මට්ටමේ සත්‍යයක්වත් කියන, සත්‍යවාදී කිසිවෙක් ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින්නේද? එහි ඉහළම මට්ටමේ නායකකාරකාදීන්ගෙන්ද, මැද හා පහළ මට්ටමේ නායකයන්ගෙන්ද බහුතරයක් වංචා, දුෂණ, අපරාධ, අල්ලස් හා මහජන මුදල් මංකොල්ලකෑම්වල චුදිතයෝය. මුල් පෙළේ නායකයකු වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මේ වන විටත් ඉන්නේ සතොස භාණ්ඩ අවභාවිතයකට චෝදනා ලැබ රිමාන්ඞ් භාරයේය. නාමල් රාජපක්‍ෂගේ, විමල් වීරවංශගේ පටන් ප‍්‍රසන්න රණතුංග හරහා උදය ගම්මන්පිල දක්වා සියලූ දෙනාම පාහේ, සමහරුන් තමන්ගේ කලත‍්‍රයන්ද සමග අධිකරණය ඉදිරියේ අපරාධ සඳහා අධිචෝදනා ලද්දාහු වෙති. තමන්ට එරෙහිව ගෙනඑන චෝදනා තමන්ගෙන් පළිගන්නට කරන ඒවා ලෙස බොරු කියමින් මහාජනතාව රැුවටීමේ යෙදී සිටින්නෝ වෙති. මෙවැනි පිරිසක් ‘සත්‍යක‍්‍රියා’වක යෙදෙනවායැයි කී විට එය විකාරයක් ලෙස නොපෙනෙන්නේ කාටද?

‘අපි ආපහු රත්නපුරේට එන්නේ ආණ්ඩුව පෙරළලා මහින්ද අගමැති කරගෙන’යැයි කී පවිත‍්‍රා වන්නිආරච්චිට ජනබලය අවසානයේ ඒ කිසිවක් කරගන්නට බැරිවම අත පිහදා ගෙන රත්නපුරේ යන්නට සිදුවිය. ආණ්ඩුව පෙරළා දමා මිස නොනැගිටිය යුතුයැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට, ආණ්ඩුව නොපෙරළාම කා බී මත්වී, හිස් අතින් ගෙවල්වලට යන පිරිස දැකගන්නට තරම් පවක් පලදී තිබිණ.

කොටින්ම, ආණ්ඩුවේ හුස්ම හිරකරන්නට ආ පිරිසට, ආණ්ඩුවට අලූත් හුස්මක් දී යන්නට සිදුවිය. වැනි වැනී සිටින ආණ්ඩුව ඒ හුස්මෙන් තවත් දුරක් දුවනවා නොඅනුමානය.

මීට පෙර ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය සඳහා ගෝල්ෆේස් පිටිය පිරෙන්නට සෙනග ගෙනැවිත් පෙන්නුවේය. එය ඒකාබද්ධ විපක්‍ෂය තමන්ගේ ජන බලය පෙන්නූ ශක්තිමත්ම අවස්ථාවකි. ගෝල්ෆේස් පිටිය පිරෙන්නට එදා ජනතාව ආවේ මැයි රැලියක් පවත්වන්නටය.
නිකංම නිකං මැයි රැුලියකට එපමණක් ආවා නම්, ආණ්ඩුව පෙරලා, මහින්ද අගමැතිත් කර ගෙදර යන්නට, ගෝල්ෆේස් පිටිය වාගේ හත් අට ගුණයක ජනතාවක් කොළඹ පැමිණිය යුතු විය. එදා මෙන් සිය ගුණයක උද්වේගයක්, ආවේගයක්, ශක්තියක් ඒ ජන පිරිසට තිබිය යුතු විය. එහෙත් ඒ කිසිවක් නොවීය. මනුවර්ණ යෝජනා කරන්නේ, ගෝල්ෆේස් පිටියට පැමිණි සෙනගවත් ජන බලයේදී පෙන්වන්නට බැරිවීමම ඒකාබද්ධ විපක්‍ෂයේ දැවැන්ත පරාජයක් බවය. මෙතෙක් ආණ්ඩුව සමග සිටි මන්ත‍්‍රීවරුන් 15 දෙනකුද දැන් ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවී සිටින කල, මේ පරාජය තවත් දරුණු එකක් වෙයි. ඒකාබද්ධ විපක්‍ෂ නායකයන්, වියතුන්, කලාකරුවන් දිනපතා, පැයකට වරක් මෙන් මාධ්‍ය සාකච්ඡුා තබමින් කීවේ, මෙතෙක් කිසිදාක කොළඹට නොආ ජනගඟ සැප්තැම්බර් 5 කොළඹට ගලනු ඇත කියාය. එක්කෝ ඔවුන් එය කියන විටම, එසේ නොවන බව දැන සිටියා විය යුතුය. නැතිනම්, ඇත්තටම එසේ වෙතැයි විශ්වාසයෙන් කීවා විය යුතුය. සමහර විට ඒ ඒ ප‍්‍රාදේශීය දේශපාලකයන් පොරොන්දු වූ පරිදි ලක්‍ෂ ගණනක පිරිසක් කොළඹට එන්නට ලැයිස්තුගත කර තිබුණා වන්නටද හැකිය. එහෙත්, අවසානයේ, ජන බලයත්, ආඬි හත්දෙනාගේ කැඳහැලිය බවට පත්වුණේ කොහොමදැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් මනා සිහි නුවණින් සලකා බැලිය යුතුය. එපමණක් නොවේ, එන්න එන්නම තමන්ගේ ජන බලය හීනවන ආකාරයක් පෙනෙන්නේ ඇයිදැයි සලකා බැලිය යුතුය. ආණ්ඩුව පෙරළන්නට එන්නට කී විට, එය නොසලකා තමන්ගේ වැඩක් කරගත් පාක්‍ෂිකයන් ගැනත් නැවත සිහිනුවණින් කල්පනා කළ යුතුය. 5 වැනිදා සවස 7 වන විට, ජනප‍්‍රිය දේශපාලන විචාරකයකු වන අජිත් පැරකුම් ජයසිංහ සිය මුහුණු පොතේ සටහන් කළේ, ‘පළාත් පාලන ඡුන්දය පොහොට්ටුවේ පීක් එක බවත්, දැන් ඇත්තේ පල්ලම් බැසීම බවත් ජනබලයෙන් ඔප්පු විය’ යනුවෙනි. සමාජ මාධ්‍යවල සමස්තයක් ලෙස ඒ වන විටත් ජනබලය විහිළුවට ගැනීම ආරම්භ වී තිබුණි. මේ එයින් එකකි. ‘බීලා ඉවරෙකුත් නැහැ. ඇවිදල ඉවරෙකුත් නැහැ. මේ යකා අගමැති වෙන පාටකුත් නැහැ. දනහිස් කඩිත්තුවත් හැදිලා ඉන්නේ ඕයි අම්මපා’.

කොළඹ වටලන්නට ආ ජනබලය මුළුමනින්ම අපතේ ගිය ශක්තියකි. මීට වඩා තීරණාත්මක අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගන්නට ඒ බලය තබා නොගෙන අදුරදර්ශී හා ළාමක හා දඩිබිඩි දේශපාලන තීරණ මත මෙවැනි ශක්තිය අපතේ හැරීම් ඒකාබද්ධ විපක්‍ෂය යළි යළිත් කරමින් සිටින්නේය. මහනුවර සිට ආ පාගමන එකකි. ගෝල්ෆේස් පිටියට සෙනග පිරවීම තවත් එකකි.

මේ ඒ තරම් ජනබලයක් පාරට කැඳවන්නට හේතුවක් තිබෙන මොහොතක් නොවේ. ඒකාබද්ධය හා ඔවුන්ගේ මාධ්‍ය විසින් උලූප්පා පෙන්වන හා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවත් තමන්ගේ භාවිතයෙන්ම පෙන්වන විවිධාකාර දුර්වලකම් හා අවුල් මැද්දේ වුවද, ආණ්ඩුව යෙදී සිටින්නේ ධනාත්මක ගමනකය. ආණ්ඩුව තුළ තිබෙන අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් මර්දනීය බලයක් ජනතාව වෙත එල්ල නොකිරීම නිසා, ආණ්ඩුව දුර්වලයැයි කිසිවකු කල්පනා කළත්, එය අරාජික තත්ත්වයක් නොවේ. කවර විවේචන තිබුණා වුණත්, මේ ආණ්ඩුව මේ මොහොතේ පලවා හරින්නට සිතන මැදිහත් පිරිසක් රටේ නැත.

ඒ වාගේම, මහමගට ලක්‍ෂ ගණනක් පැමින ආණ්ඩුව වටලන්නට තරම් ක්‍ෂණික දැවෙන ගැටලූවක්ද මේ මොහොතේ රටේ නැත. අනෙක් අතට. ටියුනීසියාවේ, ඊජිප්තුවේ, තායිලන්තයේ මහ පාරට පැමිණ වාඩිලාගෙන දවස් ගණන් සිටි පිරිස මෙන් ‘පුරවැසි මනස’ක් ඇති පිරිස් ඒකාබද්ධ විපක්‍ෂයේ මහජන කුලකය තුළ කොහෙත්ම නැත. (එවැනි පිරිසක් සිටිනවා නම් ඒ සිටින්නේ හරියටම ඒකාබද්ධයට, පොදු ජන පෙරමුණට විරුද්ධ පැත්තේය) මේ පිරිසට විනයක්, උද්යෝගයක්ද නැත. ඒකාබද්ධයේ පදනම හුදු ඡුන්දදායකයෝය. කැමැත්තෙන් වහලූන් හැටියට ඉන්නට කැමැත්තෝය. හැකි හැම අවස්ථාවකදීම අපරාධවලට කැමැත්තෝය. මේ වන විට විවිධාකාර අපරාධ නිසා හිරේ විලංගුවේ වැටි සිටින පොදුජන පෙරමුණේ පළාත් පාලන සභිකයන් ගණන වුවත් පෙන්වන්නේ ඒ ඇත්තයි.

මහපාරේ උද්ඝෝෂණවලින් ආණ්ඩු පෙරළන්නට තරම් තැනකට මේ රටේ දේශපාලනය ගමන් කර නැත. එය දියුණු දේශපාලන ලක්‍ෂණයක්ද නැද්ද කියන්නට නොහැකි වුණත්, මැතිවරණයකදී ඒ වෙනස්කම් කිරීම සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය හැටියට සැලකිය හැකිය. අනෙක් අතට විධායක ජනාධිපති ධුරයට එවැනි පීඩනයකට ඔරොත්තු දීමේ තනි ශක්තියද තිබේ. එයට ආණ්ඩු යාන්ත‍්‍රණයද එකතුවූ කල, පිටතින් එන අවිධිමත් බලවේගයකට ආණ්ඩුවක් කාලයට පෙර ගෙදර යවන්නට හැකියාවක් නැත. අඩු ගණනේ පාර්ලිමේන්තුව තුළ ඔළු ගෙඩි මාරුවකින් ආණ්ඩු මාරුවක් කිරීමේ හැකියාවක් තිබුණද, මහපාරේ සටන්වලින් එවැනි දේ සිදු නොවේ. දැන් ධුරයේ සිටින ජනාධිපතිවරයා, මෙවැනි අවස්ථාවකදී පාවිච්චි කළ හැකි මර්දනීය බලතලවලින් මහින්ද රාජපක්‍ෂට වඩා කිසිසේත් අඩු කෙනෙක්ද නොවේ.
අවසානයේ සිදුවුණේ, ‘අපේ චූන් අපිම බලා ගෙදර යන’ තත්ත්වයකට පොදු ජන පෙරමුණේ දේශපාලකයන් හා ඡුන්දදායකයන් පත්වීමය. මේ පළමුවැනි වාරය බවත්, ඊළඟට කොළඹ එන්නේ ආණ්ඩුව අල්ලාගන්නට බවත් ආචාර්ය නාලක ගොඩහේවා මෙන්ම මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාද එහිදී කිායනු අසන්නට ලැබුණි. එහෙත්, මීට පෙර මහනුවර සිට කොළඹට පාගමනකින් ආ අවස්ථාවේදීද, ඊළඟට එන්නේ ආණ්ඩුව අරගෙන යන්නටයැයි කීවා ඔවුන්ට අමතක වී ඇතිවා සේය. මේ විදියට තව කීප සැරයක් ආවත්, ආණ්ඩුව වැටෙන බවක් නම් නොපෙනේ. එහෙත්, ඒ හැම වාරයක් පාසාම පොදු ජන පෙරමුණේ ජන බලය අඩුවන බවක් නම් දැනටත් පෙනේ.

ලංකාවේ අපි බොන්සායි ගස් වගේ විමුක්තිජයසුන්දර

0

විමුක්ති මේ දවස්වල කෙටි චිත‍්‍රපටයක් කරමින් ඉන්නවා කියලා දන්නවා. හැබැයි අපේ තරුණ සිනමාකරුවන් කෙටි චිත‍්‍රපට කරන්නේ දිගු චිත‍්‍රපටයක් කරන්න නිකං පෙරහුරුවකට වගේ නේද?..
ඔව්, එහෙම අවුලක් තිබෙනවා. හැබැයි මම නම් දිගටම කෙටි චිත‍්‍රපට කළා. ඒක ඉදිරියටත් එහෙමයි. මේක වෙනස් මාධ්‍යයක්. හරියට කෙටිකතාවයි නවකතාවයි වගේ තමයි. හැබැයි අපි නවකතාවක් ලියන්න කලින් කෙටිකතා ලියන්නේ නැහැනේ. මෙතැන තමයි අපි අඳුනාගන්න ඕනෑ දේ තියෙන්නේ. කෙටි චිත‍්‍රපටයට අනන්‍ය දේවල් ටිකක් තිබෙනවා. අනන්‍ය සෞන්දර්යක් තිබෙනවා. අපි ඒ දේවල් අඳුනාගත්තොත් විතරයි මේක කරන්න පුළුවන්. දැන් අපි මේ කරන එකට කියන්නේ ඔම්නිබස් කියලා. බැලූ‍වාම එක දිගට පැයක් විතර බලන්න පුළුවන්. හැබැයි කෙටි චිත‍්‍රපට තමයි තිබෙන්නේ. අපි හිතමු ෆිල්ම් මේකර්ස්ලා පස්දෙනෙක් කියලා.. ඔවුන් එක මාතෘකාවක් යටතේ ෆිල්ම් පහක් කරනවා. මේක මීට කලින් මුම්බායිවල නිව්යෝක්වල කෙරිලා තියෙනවා. මම, බූඩි, කිංග් රත්නම්, හඳගම සහ ඩෙනිස්. අපි හයදෙනා තමයි මේ කෙටි චිත‍්‍රපට මාලාව කරන්නේ. කොළඹ කියන මාතෘකාව යටතේ තමයි අපි ෆිල්ම්ස් හදන්නේ. එක චිත‍්‍රපටයක් බොහෝවිට විනාඩි 7ක් විතර වෙයි කියලා හිතනවා.

නගරය කියන දේ ෆිල්ම් එකක් ඇතුළට ගෙනෙන්නේ කොහොමද?.. සුළඟ එනු පිණිස ගත්තොත් ගම ගැන තමයි කතා කරන්නේ..
නගරය සංස්කෘතිකයි. ඒකට අදහස් ගොඩාක් තිබෙනවා. නගරයක් කියන්නේ බිල්ඩින්ග් ගොඩාක් විතරක්ම නෙවෙයි. නගරය, නාගරිකත්වය කියන සංකල්ප වඩා පරිණත විදියට සහ ගැඹුරින් සාකච්ඡුා කරන ෆිල්ම්ස් ලෝකයේ බිහිවෙලා තිබෙනවා. විශාල පිරිසක්, විශාල අභිලාෂයන් ගොඩාක් එක්ක තමයි නගරය බිහිවෙන්නේ. ඒ අභිලාෂයන් සියල්ලටම ආමන්ත‍්‍රණය කරන්න සහ ඒ අස්සේ මිනිස්සු රඳවාගන්න නගරයට පුළුවන් වෙලා තිබෙනවා. එතකොට විනයක් එක්ක තමයි නගරය හැදෙන්නේ. අනෙකා ගැන හිතන්න බැහැ.

සොයන්න බැහැ. පැවැත්ම සඳහාම යම් දුරස්ථකරණයක් නගරය ඇතුළේ නිර්මාණය වෙලා තිබෙනවා. අනික සුරක්ෂාව පිළිබඳ වූ, අප මත නගරය විසින්ම ගොඩනගලා තිබෙන විශ්වාසය. ඒක දේශපාලනික තත්ත්වයක්. ඉතිං අපි නගරය ගැන ෆිල්ම් එකක් අස්සේ කතාකරනවා නම් මේ දේශපාලනික සහ සංස්කෘතික කාරණා අපේ ෆිල්ම් එකේ රූප රාමු අස්සේ තිබෙන්න ඕනෑ. හැබැයි මේ බැ?රුම් කතාව බිල්ඩින්ග් ටිකක් පෙන්නුවාට අපිට දනවන්නත් බැහැ. අපි යුරෝපයේදී කතාකරන ගම සහ නගරය කියන දෙයත් මෙහි නැහැ. මෙහෙ තියෙන්නේ නගරයටත් නැති ගමටත් නැති විපරිත තත්ත්වයක්. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. ඒ අර්ථයෙන් මේ නගරවල මිනිස් ජීවිත වෙනස්.

සුළඟ එනු පිණිස චිත‍්‍රපටයට පස්සේ ඔබ කරන්නේ අහසින් වැටෙයි කියන චිත‍්‍රපටය. මට හිතෙන්නේ ඔබ මේ සිනමාකෘතිය හරහා ඔබගේම සිනමාවක් ගොඩනගාගන්නවා. දැන් ඒ සිනමාව ආධ්‍යාත්මික සිනමාවක් දක්වා පුළුල් වෙලා විචිත‍්‍ර වෙලා.. කොහොමද මේක වෙන්නේ? ජීවන දර්ශනය වෙනස් වීම සමගද මේ වෙනස් වීම සිදු වන්නේ…
එක්තරා කාලයකදී මම සිනමාව හෙව්වා. ඒ මේ මාධ්‍යයේ තිබෙන බලය නිසා. දැන් මෙහෙම හිතන්නකෝ.. දහසක් මිනිස්සු කළු කාමරයකට ගෙනල්ලා, ඒ මිනිස්සු හිඳුවලා අපි සිනමාව හරහා එකම විදියට සිතන්නට පොළඹවනවා. හැඟීමක් දනවනවා. මේක ආශ්චර්යයක් නෙවෙයිද? මම මුලින්ම ආකර්ෂණය වෙන්නේ මේකට. ඊට පස්සේ කල්පනා කළේ කොහොමද මේක හොඳිිින්ම කරන්නේ කියලා. එතකොට මේ මාධ්‍යයේ තිබෙන හයි ස්කේල්ස් මට රසවත්ව දැනෙන්න ගත්තා. අන්ද්‍රෙ තර්කොව්ස්කි, බර්ග්මාන්, කියොරොස්තාමි වගේ සිනමාකරුවන් මුණ ගැහෙන්නේ එහෙම. දැන් පුටුවක් හදන වඩුවෙක් ගන්නකෝ.. එයාට මේක හොඳටම අල්ලලා ගියොත් එයා පුටුවක් හැදීම කියන තැනින් නතර වෙන්නේ නැහැනේ. එයා ඒකේ අත්වලට කකුල්වලට කැටයම් දායි, ඔය වගේ දේවල් කරනවානේ. එතකොට එයා සාමාන්‍ය මිනිහා ඉල්ලන දේට එහා ගිහින් ෆෝම් එක ගැන, ශාප්නස් එක ගැන හිතන්න ගන්නවා. මම මෙතැනින් කියන්නේ නැහැ සිනමා කෘතියක් කිරීම පුටුවක් තනනවා වගේ දෙයක් කියලා. හැබැයි අපිට යම් විෂයක් රසවත්ව දැනෙන්න වුණාම එහෙමයි. මගේ සිනමාවත් එහෙමයි. මම සිනමාවේ නියැලීමෙන් වින්දනයක් ලබනවා. අනික් පැත්තට සිනමාව මාව වෙනස් මිනිහෙක් කරලා තිබෙනවා. මම හැමදාම හිතපු දෙයක් තමයි මොකටද මේ ජීවිතය කියන දේ. එතකොට මම එක පැත්තකින් ජීවිතය සොයාගෙන යෑම තමයි මේ කරන්නේ. මගේ ජීවන ගමනේ වෙනස්කම්වලට අනුව මගේ සිනමාවත් වෙනස් වෙනවා. දැන් මම සිත ගැන ගොඩක් හිතනවා. බුදුදහම, භාවනාව වගේ දේවල් ගැන ගවේෂණයක දැන් මම ඉන්නේ. අනික මම ප‍්‍රායෝගිකව ඒ ගවේෂණයේ ප‍්‍රතිිඵල විදිමිනුයි දැන් ජීවිතය ගෙවන්නේ. එතකොට මගේ සිනමාවත් එහෙම වෙන්න ඕනෑ නේද?

හැබැයි අනික් පැත්තෙන් හැම සිනමාකරුවාම කරන්නේ ඔය දේ තමයි. ඒත් තමන්ගේ ආකෘතියට පේ‍්‍රක්ෂකාගාරයක් හැදුණාම ඒ පේ‍්‍රක්ෂකයෝ ගැන හිතලා කෙනෙකුට එතැන නවතින්න පුළුවන්. ඊට පස්සේ මුදල් වෙනුවෙන් ඔවුන් ජීවිතයේ අර අභිලාෂය කල් දමාගන්නවා. උදාහරණයකට දකුණු ඉන්දියානු සිනමාවේ රැජිනි ගන්නකෝ, ඔහු අද හොඳ ගාන්ධිවාදියෙක්. රබර් සෙරප්පු දෙක දාගෙන කොණ්ඬේ රැුවුල ඩයි කරන්නේ නැතුව තැනකට සරලව යන්න පුළුවන් ඔහුට. ඔහු හිමාලයට ගිහිං භාවනා කරනවා. හැබැයි ඔහුට ඔහුගේ මේ පුද්ගලික ජීවිතය ඔහුගේ සිනමාව ඇතුළට ගෙන්න පුළුවන්ද? නැත්නම් ඔහුට ඔහු විදිහට සිනමාව ඇතුළේ ඉන්න පුළුවන්ද? බැහැ නේ. මේක අද ලෝකය පුරා තිබෙන ප‍්‍රශ්නයක්.

මෙතැනින් එළියට ගිහිං, ‘නෑ මම පේ‍්‍රක්ෂකයින්ට ඕනෑ දේ දෙන්නේ නැහැ’ කියූ සිනමාකරුවෝ හිටියා.. ඉන්නවා. කියොරොස්තාමි එහෙම කෙනෙක්. කිසලොව්ස්කි, ‘නැහැ මම එහෙම චිත‍්‍රපටි කරන්නේ නැහැ’ කියලා ගෙදර ගිහිං සිගරැුට් බිබී ඉඳලා මැරුණා. මම සල්ලි හම්බකරන්න මේ මාධ්‍යය පාවිච්චි කරන්නේ නැහැ. මම ජීවත්වීම සඳහා කරන්නේ ඇඞ්වර්ටයිසින්. අවුරුද්දකට වැඩිම වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂණය කරන පළමු තුන්දෙනා අතරේ මම අදටත් ඉන්නවා. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන්, ‘ජරා බිස්නස් එකක ඉන්න උඹට බැහැ ශුද්ධවූ සිනමා කලාවක් ගැන කතා කරන්න’ කියලා. හැබැයි එවැනි තර්ක මේ සියවසට ගැළපෙන්නේ නැහැ. ඒ මොකද එහෙම කියන එකාත් ඒ ජරා බිස්නස් එකේම කොටස්කාරයෙක් වෙන්න පුළුවන් නිසා.

ඔබ සුළග එනු පිණිස චිත‍්‍රපටයට විෂය කරගන්නේ යුද්ධය. එතකොට අද ඔබ යුද්ධය දකින්නේ වෙනස් විදියකට වෙන්න පුළුවන්..
මෙහෙමයි, මේ වෙනස යූ-ටර්න් එකක් නෙවෙයි. ඒක කියන්න ඕනෑ. හැබැයි එදා දැක්කාට වැඩිය දේවල් අද මම දකිනවා. ඒ කියන්නේ මගේ දැක්ම පුළුල් වෙලා තිබෙනවා. මේ සමාජය ඇතුළේ අපිට වයිඞ් වෙන්න, නැතිනම් පුළුල් වෙන්න අවස්ථා හරි අඩුයි. අද සීමිත අවකාශයක තමයි හැම දෙයක්ම රඳවලා තිබෙන්නේ. සමාජය රඳවන්න කැමති වුණාට, මම එහෙම එක සීමාවක රැුඳෙන්න කැමති මිනිහෙක් නෙවෙයි. යුද්ධය ගැන කතාකළොත් ආයි යුද්ධය නොඑන තැනට වැඩ කළ යුතුයි කියලායි අද මම හිතන්නේ. අපි යුද්ධයට පස්සේ සංහිදියාව ගැන ෆිල්ම් කළාම මිනිස්සු කියනවා ‘ඒවා හරි ප‍්‍රචාරාත්මකයි’ කියලා. ‘ඉතිං, ඔව්’ කියලා තමයි කියන්න වෙන්නේ. අනික් පැත්තෙන් කියනවා ‘හරි සරලයි’ කියලා. ‘ඔව්, සරලයි තමයි.’ මම හිතන්නේ අපි දැන්වත් මේ ප‍්‍රශ්නය සරලව තේරෙන භාෂාවකින් කතාකරන්න ඕනෑ. සුළඟ එනු පිණිස ගත්තොත්, ඒ කාලේ මට හිතුණේ මිනිස්සුන්ට ප‍්‍රශ්න තිබෙන්නේ බාහිර එක්ක කියලා. හැබැයි මම අද එතැන නැහැ. මම දැන් හිතන්නේ අපේ ප‍්‍රශ්නය තියෙන්නේ අපි අස්සෙමයි කියලා. අනික් පැත්තෙන් සිනමාව කියන්නේ හිත. ඒ වාගේම හිත දකින තැන. එතකොට මේ හිත ගැන, සිතුවිලි ගැන අපි සිනමාව හරහා කතා කළ යුතුයි. එනිසා සිනමාව හරහා සිත විවරණය කළ යුතුයි.

ඔබ මෙතෙක් කළ සිනමා කෘති අතර හොදම කෘතිය චත්රක් කියලා තමයි මගේ හැඟීම. ලංකාවේ බොහෝ විචාරකයන්, විමුක්ති අපිට ආයිත් කැලයට යන්න කතාකරනවා වගේ තැනකින් තමයි මේ කෘතිය කියෙව්වේ..
ඔව්, එහෙම අවුලක් තිබුණා. මම කියන්නම් චත්රක් පටන්ගත්ත විදිය. ඇත්තටම මට තවමත් ඒක හිතාගන්න බැහැ. ‘සුළඟ ගිනි අරං’ කියන චිත‍්‍රපටය කරන්න පටන් අරගෙන නිෂ්පාදකයාගේ ප‍්‍රශ්නයක් නිසා ෆිල්ම් එක නැවතිලා මම නැවත පැරීසියට ගිහිං ලොස්ට් වෙලා හිටපු වේලාවක් ඒක. ඒ වේලාවේ තමයි මගේ ඉන්දියන් මිත‍්‍රයෙක් ෆෙස්බුක් එකේ චැට් කරන ගමන් කිව්වේ, වරෙන් මෙහේ චිත‍්‍රපටයක් කරමු කියලා. මම හිතුවා විහිළුවක් කියලා. මම හිනා මුහුණක් යවලා නිකං හිටියා. පස්සේ මගේ ඊමේල් එකට ටිකට් එකක් එනවා. ඕනෑ මගුලක් කියලා මම ඉන්දියාවට ගියා. සති දෙකක් කල්කටාවේ හැම තැනම ඇවිද්දා. කල්කටාව කියන්නේ පුදුම තැනක්. මේ නගරය කොලොනියල් නගරයක් වෙන්නේම ඊට කලින් ඉන්දියාව ඇතුළේත් මේ නගරයට තිබුණු තැන නිසා. සිනමා කෘතියකට අවශ්‍ය හැම දෙයක්ම එතැන. අපිට තියෙන්නේ බොන්සායි කරපු ගස් වගේ පුංචි සීමාසහිත ජීවිතයක්. ඒත් කල්කටාව කියන්නේ විශ්වය තරම් ලෝකයක්. අනික බෙංගාලි බස. අපිට යම් මනුෂ්‍ය සිදුවීමක් අභව්‍ය වෙන්න පුළුවන්, හැබැයි ඉන්දියාව වගේ රටක කල්කටාව වගේ තැනක ඒක එහෙම නැහැ. මම ආයෙත් පැරිස් ගිහිං සක‍්‍රිප්ට් එක ලිව්වා. ඊට පස්සේ ආයෙත් ඉන්දියාවට ඇවිත්, චන්න දේශප‍්‍රියත් ගෙන්නාගෙන ෂූට් කළා. එක මම ඉක්මණින්ම වැඩ නිමකළ චිත‍්‍රපටය.

දැන් කැලය ගැන කතා කරමුකෝ, ‘අහසින් වැටෙයි’ ෆිල්ම් එකේ මම කැලේ ගන්නේ කොච්චර ප‍්‍රචණ්ඩයිද කියන තැනින්. ඉතිං මම කොයි වෙලාවකවත් කැලේට යන්න කියන්නේ නැහැ. අපි කැලේ තවත් සතෙකුට ගොදුරක් වෙයි කියලා කොච්චර බයෙන්ද හිටියේ. එතකොට කැලෙන් එළියට ආවා කියන්නේ හොඳ දෙයක්. ඉතිං මම කියන්නේ නැහැ අපි ආයිත් කැලේට යන්න ඕනෑ කියලා. හැබැයි අපිට අවස්ථාවන් එනවා කැලේට යන්න වෙන. අපි මෙහෙම හිතමු.. අද වනචාරි කිව්වාම ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මම නම් කියන්නේ වනචාරී කියන්නේ හොඳ දෙයක් කියලා. වනචාරී වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? අපි අද ගෝත‍්‍රිකයි කියලා බනිනවා. ගෝත‍්‍රික කියන එක මේ නූතන තත්ත්වය එක්ක සසඳන කොට කොච්චර හොඳයිද? එදා මිනිහෙක් මැරුවේ තර්ජනයක් තිබෙයි නම් විතරයි. අද එහෙමද? අද මිනී මරන්නේ ඇයි? අද ලෝකයේ හැම රටකම වගේ මිනිස්සු කරන්නේ මොනවද, කතාකරන්නේ මොනවද කියලා හොරෙන් බලාගෙන ඉන්න, අහගෙන ඉන්න, බුද්ධි අංශ කියලා ජාතියක් තියෙනවා. මේවා නෙවෙයිද ම්ලේච්ඡු? මේවා කැලේට වැඩිය විකාර නැද්ද? අනෙක් පැත්තෙන් සංස්කෘතික සහ දේශපාලනික අර්ථයකින් ගත්තාම කැලේ කියන්නේ මේ අපි ජීවත්වෙන සමාජයම තමයි.

මේ ටික ඔළු‍වේ තියාගෙන චත්රක් ගැන හිතන්න. කල්කටාව ගැන මම මුලින් කිව්වානේ. මේ නගරයෙන් පලායන මිනිස්සු ගැන තමයි මම කතා කරන්නේ. මම කල්කටාවට යනකොට හැම තැනම බිල්ඩින්ග් හැදෙනවා. එතකොට මේ බිල්ඩින්ග්වල වැඩ කරන්නේ කලින් ඒ ගොවිබිම්වල ගොවිතැන් කළ මිනිස්සු. දැන් මේ බිල්ඩිම හදලා ඉවරවුණාම ඒ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නෑ කරන්න රස්සාවකුත් නෑ. එතකොට මේ මිනිස්සුන්ට තාවකාලිකව යන්න තියෙන තැන තමයි කැලේ. ඒ විප්ලවය සඳහා වෙන්නත් පුළුවන්. ඒ වගේම අධ්‍යාත්මය දියුණු කරන්න වෙන්නත් පුළුවන්. නැවත සංවිධානය වෙන්න උනත් කැලයට යන්න පුළුවන්නේ. මේ සමස්තයෙන් ගැළවෙන්න තාවකාලිකව හෝ කැලයට යනවා හැර වෙන මොනවා කරන්නද? මේක සර්කල් එකක්.

‘දැවෙන විහඟුන්’ තිරගත වුණාට පස්සේ බටහිර කේන්ද්‍රීය ෆෙස්ටිවල් සිනමාව අපේ සමාජය ඇතුළේ බරපතළ විදියට සාකච්ඡුා වෙන්න පටන්ගත්තා. මේ සාකච්ඡුාව නිසා ආර්ට් හවුස් චිත‍්‍රපට කරන්න බලාපොරොත්තුවෙන් සිටි තරුණ සිනමාකරුවන් ව්‍යාකුල වුණා..
මෙහෙමය, අහසින් වැටෙයි චිත‍්‍රපටය මා ගැන වෙස්ට් එක ඩිසපොයින්ට් වුණ චිත‍්‍රපටය. ඔවුන් හිතුවේ මම ආපහු සුළඟ එනු පිණිස වගේ චිත‍්‍රපටයක් කරයි කියලා. ඒ්් නිසාම කාන් ෆෙස්ටිවල් එක මගේ චිත‍්‍රපටය තෝරාගන්නේ නැහැ. ඒක යන්නේ වෙනිස්වලට. වෙනිස්වලටත් තෝරාගන්නේ කලින් කාන් අවොර්ඞ් එක ගත්ත නිසා. මේක තමයි බටහිර අපි දිහා බලන විදිය. ඔවුන් හැම වේලාවේම මානව විද්‍යාත්මක ඇසකින් තමයි අපේ කෘති නරඹන්නේ. ඔවුන් සමාජීය විදියට විසඳාගෙන තිබෙන ප‍්‍රශ්න අප ඇතුළේ තවම තිබෙනවා නම්, ඔවුන් එයින් සසළ වෙනවා. එතකොට ඉබේටම ෆොමියුලා එකක් හැදෙනවා. ඒක හරියට ග‍්‍රහණය කරගෙන ඒ පැත්තෙන් කෙනෙකුට යන්නත් පුළුවන්. එතකොට සිනමාව වැඩක් නෑ. මේකෙන් ගැලවිලා මහා සිනමාකරුවන් විදියට පවතින නිර්මාණකරුවන් අද ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා. Tsai Ming-liang, Apichatpong Weerasethakul වගේ. සත්‍යජිත් රායි ගත්තත්, අකිරා කුරසාවා ගත්තත් ඔවුන් මේ වෙස්ට් එකට ඕනෑ දේ තමයි මුලින්ම කළේ. හැබැයි ඔවුන්් පස්සේ කළ චිත‍්‍රපට එතැනින් වෙනස් වෙනවා. ඒ නිසා අද ඔවුන් ලෝකයේ ප‍්‍රකට සිනමාකරුවන් විදියට, මැරුණත් අපි අතරම ඉන්නවා. අබ්බාස් කියොරොස්තාමි ගත්තත් එහෙමයි. ඉතිං මම හිතන්නේ අපිට අද මේ සිනමා උත්සව සම්මාන උළෙල ප‍්‍රතික්ෂේප කරලා පවතින්න බැහැ. හැබැයි අපිට ඕනෑ නම් ඒවාට තමන්ගේ කෘති ඉදිරිපත් කරමින් ඒ ඒ දේශපාලන ව්‍යාපෘතීන් සහ සංස්කෘතික ව්‍යාපෘතීන්වලට නතුවෙන්නේ නැතුව නිර්මාණ කරන්න පුළුවන්. ඒක තමයි මේ වෙලාවේ වැදගත්.

 

ජනබලයේ අනෙක් පැත්ත

0

 

අපගේ බන්දුල ගුණවර්ධන ඇදුරුතුමා නිතර කියන ‘ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලා නොවිය යුතුය’ යන වදන සත්‍යයකි. එහෙත් ඇත්තටම සිදුවී ඇත්තේ එතුමාද ඇතුළුව හැට හැත්තෑවක් පමණ දෙනා මුදලාලිගේ ඕඩරයට ප්ලේන්ටී, ටී ආදිය හදන ටී මේකර්ලාගේ තත්වයට වැටීමය. එකී පිරිසටද, ඒ අයට එකතු වන්නට බලාපොරොත්තුවෙන් සිටින ආසන සංවිධායක මට්ටමේ අයටද සිය පක්ෂය නියෝජනය කරන 3436ක පළාත් පාලන සභික පිරිස හරහා ඉතාම ක‍්‍රමානුකූලව පිරිස් රැුස් කළ හැකිය. (යහපාලන ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ පැවැත්වූවා නම් පොදුජන පෙරමුණට මෙතරම් විශාල සභික පිරිසක් හා පළාත් පාලන ආයතන අතිබහුතරයක බලය නොලැබී යා හැකිව තිබිණි.) සොරකම් කරන ලද ජනතා මුදල් ඔවුන් සතුව ඇති නිසා ඕනෑම කටයුත්තකට නිර්ලෝභීව වියදම් කිරීමටද හැකිය. පිරිස් රැුස්කිරීමට කටයුතු කරන අය නාමල් රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණගැසී හෝ දුරකථනයෙන් අමතා ධෛර්යමත් කර ඇති බවද සැලය. සැප්තැම්බර් 5 මෙහෙයුම හා ඉදිරියේ පැවැත්වීමට නියමිත තවත් ක‍්‍රියාකාරිත්වයන්ට සොරකම් කරන ලද ජනතාවගේ මුදල් කෝටි ගණනින් ගමන් ගාස්තු, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාරපාන, වෙනත් වියදම් හා සන්තෝසම් ලෙස යෙදවෙනු ඇත.

පවතින තත්ත්වය යටතේ ආණ්ඩු පෙරළිය සඳහා වන මැතිවරණ දෙකම එනම් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නියමිත දින වකවානුවලදී පැවැත්වෙනු ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන්නේ නම් ලබන වසරේදී ජාතික මැතිවරණ නැත. එසේ නම් අප කල්පනා කළ යුත්තේ රාජපක්ෂලා දෙතුන් දෙනෙකු සමඟ එක්ව ලෝ මේකර්ස්ලා කණ්ඩායමක් මේ කරන්‍නට යන්නේ කුමක්ද යන්නයි.

2015න් පසුව තෙල් මිල අඩු කිරීම, වැටුප් විශාල ප‍්‍රමාණයකින් වැඩිකිරීම ආදි සහන ජනතාවට ලැබුණි. එහෙත් අපේක්ෂා කළ අයුරු විදේශීය ආයෝජන ගලා ආවේ නැත. එනිසා ආර්ථිකය ප‍්‍රසාරණය වූයේ නැත. එසේ නොවීමට ප‍්‍රධානම හේතුව වූයේ පොදුජන එක්සත් පෙරමුණ හා එජාපය එක්ව ඇතිකරගත් සන්ධාන ආණ්ඩුවෙන් රාජපක්ෂවාදී පිරිස් ඉවත්ව නිර්මාණය කරනු ලැබූ දේශපාලනිකව අස්ථායි වාතාවරණයයි. ඒ සඳහා ඔවුහු නීත්‍යනුකූල විපක්ෂය තිබියදී පොදු විපක්ෂය යයි ලෝකයේ කොහේවත් නැති ජාතියේ පාර්ලිමේන්තු කල්ලියක් අටවා ගත්හ. ආණ්ඩුව පෙරලිය නොහැකි බව හොඳින්ම දැනදැනත් ලබන පෝයට පෙරලනවාය කියමින් කටයුතු කරන අතර තම හෙන්චයියන් වූ නිලධාරී තන්ත‍්‍රයද, වෘත්තීය සමිතිද, විවිධ වූ අන්තවාදී කල්ලිද හරහා නිතර විරෝධතා, කඩාකප්පල්කාරී ක‍්‍රියා, ආගම්වාදී කලකෝලාහල ආදිය ඇතිකිරීම නිසා රට තුළ ගැටලූ සහගත තත්වයක් ඇති බව ජාත්‍යන්තරයට පෙනීගිය හෙයින් මහා පරිමාණ ආයෝජකයන් පැමිණියේ නැත. පැමිණ සිටි සමහරු තම මුදල් කොටස් වෙළඳපළෙන් ඉවත් කර ගත්හ. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ලෙස තරඟකර ලෝ මේකර්ලා ලෙස පත්ව වෙනම කල්ලියක් ලෙස රජයේ කටයුතු අවුල් කරන්නට පටන්ගත්හ.

පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කිට්ටු කර එවැනි ක‍්‍රියා මාර්ගයක නිරත වූවා නම් එය බල පෙරළිය සඳහා කරනු ලැබූවක් ලෙස අවබෝධ කරගත හැකිය. ජනමතය ප‍්‍රකාරව ආණ්ඩුවට අවුරුදු කීපයක් තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගන්නට ඉඩදී තම පක්ෂයේ/ කණ්ඩායමේ බල ව්‍යාපෘතිය ආරම්භ කළා නම් එය සාධාරණය. 2015 අගෝස්තුවේ සිට රාජපක්ෂවාදී පිරිසගේ හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ ඔවුන් එදා සිටම රටට/ජනතාවට ද්‍රෝහී ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද දෙකඩ කරමින් තම පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව ජනතාව රවටමින් ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමේ ක‍්‍රියාදාමයක නිරතව සිටින බවයි.

මෙම කරුණුද සැලකිල්ලට ගෙන 5 වැනිදා කොළඹට විශාල ජනකායක් එක්රැුස් කිරීම පිළිබඳව කථා කළ යුතුය. ආණ්ඩුවේ කටයුතු අවුල් කර ජනතාව නොමඟ ඇරීමේ බලය පිළිබඳ වන අරමුණට අමතරව තවත් අරමුණු මෙම ව්‍යාපෘතියේ ඇති බව පෙනේ. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ‘ජනබලය කොළඹට’‍ ව්‍යාපෘතියට නායකත්වය දෙන සමහරු බරපතළ අපරාධ වැරදිවල චුදිතයෝය. අධිකරණයට බලපෑම් නොකෙරුණොත් වැරදි ඔප්පු වී දඬුවම් ලැබිය හැකිය. තම ජන බලය පෙන්වා ආණ්ඩුවේ නායකයන් ඞීල්වලට පොළඹවා ගතහොත් ඒ හරහා අධිකරණවලට බලපෑම් කළ හැකි බව ඔවුහු දනිති. (අධිකරණවලට අවශ්‍ය තොරතුරු ලබා නොදෙන්නැයි ආරක්ෂක ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා දැනටම නියෝග කර ඇති බව සැලය). ඉදිරියේ එන මැතිවරණයකදී සන්ධානගත වීම් පිළිබඳව පවා සමහර විට තීන්දු තීරණ ගැනීමට ඉදිරියේදීත් නැවත නැවතත් පැවැත්වීමට නියමිත මේ ආකාරයේ රැලිද හේතුකාරක වනු ඇත. එමෙන්ම පසුගිය පළාත්පාලන මැතිවරණයේදී එහි ජයග‍්‍රහණය හරහා මහින්ද රාජපක්ෂ අගමැති කළහැකි යයි ජනතාව රැවැට්ටුවා සේ මොකක් හෝ උප්පරවැට්ටියක් කර ගැත්තන් ඉත්තන් නැවත නැවත රවටා ඔවුන්ව තමන් වටා ගාල් කර තබාගැනීමටද මෙවැනි ක‍්‍රියාමාර්ග උපකාරී වේ.

පි‍්‍රයදර්ශනී ආරියරත්න

ජනබලයේ අනෙක් පැත්ත

0

 

අපගේ බන්දුල ගුණවර්ධන ඇදුරුතුමා නිතර කියන ‘ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලා නොවිය යුතුය’ යන වදන සත්‍යයකි. එහෙත් ඇත්තටම සිදුවී ඇත්තේ එතුමාද ඇතුළුව හැට හැත්තෑවක් පමණ දෙනා මුදලාලිගේ ඕඩරයට ප්ලේන්ටී, ටී ආදිය හදන ටී මේකර්ලාගේ තත්වයට වැටීමය. එකී පිරිසටද, ඒ අයට එකතු වන්නට බලාපොරොත්තුවෙන් සිටින ආසන සංවිධායක මට්ටමේ අයටද සිය පක්ෂය නියෝජනය කරන 3436ක පළාත් පාලන සභික පිරිස හරහා ඉතාම ක‍්‍රමානුකූලව පිරිස් රැුස් කළ හැකිය. (යහපාලන ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ පැවැත්වූවා නම් පොදුජන පෙරමුණට මෙතරම් විශාල සභික පිරිසක් හා පළාත් පාලන ආයතන අතිබහුතරයක බලය නොලැබී යා හැකිව තිබිණි.) සොරකම් කරන ලද ජනතා මුදල් ඔවුන් සතුව ඇති නිසා ඕනෑම කටයුත්තකට නිර්ලෝභීව වියදම් කිරීමටද හැකිය. පිරිස් රැුස්කිරීමට කටයුතු කරන අය නාමල් රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණගැසී හෝ දුරකථනයෙන් අමතා ධෛර්යමත් කර ඇති බවද සැලය. සැප්තැම්බර් 5 මෙහෙයුම හා ඉදිරියේ පැවැත්වීමට නියමිත තවත් ක‍්‍රියාකාරිත්වයන්ට සොරකම් කරන ලද ජනතාවගේ මුදල් කෝටි ගණනින් ගමන් ගාස්තු, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාරපාන, වෙනත් වියදම් හා සන්තෝසම් ලෙස යෙදවෙනු ඇත.

පවතින තත්ත්වය යටතේ ආණ්ඩු පෙරළිය සඳහා වන මැතිවරණ දෙකම එනම් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නියමිත දින වකවානුවලදී පැවැත්වෙනු ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන්නේ නම් ලබන වසරේදී ජාතික මැතිවරණ නැත. එසේ නම් අප කල්පනා කළ යුත්තේ රාජපක්ෂලා දෙතුන් දෙනෙකු සමඟ එක්ව ලෝ මේකර්ස්ලා කණ්ඩායමක් මේ කරන්‍නට යන්නේ කුමක්ද යන්නයි.

2015න් පසුව තෙල් මිල අඩු කිරීම, වැටුප් විශාල ප‍්‍රමාණයකින් වැඩිකිරීම ආදි සහන ජනතාවට ලැබුණි. එහෙත් අපේක්ෂා කළ අයුරු විදේශීය ආයෝජන ගලා ආවේ නැත. එනිසා ආර්ථිකය ප‍්‍රසාරණය වූයේ නැත. එසේ නොවීමට ප‍්‍රධානම හේතුව වූයේ පොදුජන එක්සත් පෙරමුණ හා එජාපය එක්ව ඇතිකරගත් සන්ධාන ආණ්ඩුවෙන් රාජපක්ෂවාදී පිරිස් ඉවත්ව නිර්මාණය කරනු ලැබූ දේශපාලනිකව අස්ථායි වාතාවරණයයි. ඒ සඳහා ඔවුහු නීත්‍යනුකූල විපක්ෂය තිබියදී පොදු විපක්ෂය යයි ලෝකයේ කොහේවත් නැති ජාතියේ පාර්ලිමේන්තු කල්ලියක් අටවා ගත්හ. ආණ්ඩුව පෙරලිය නොහැකි බව හොඳින්ම දැනදැනත් ලබන පෝයට පෙරලනවාය කියමින් කටයුතු කරන අතර තම හෙන්චයියන් වූ නිලධාරී තන්ත‍්‍රයද, වෘත්තීය සමිතිද, විවිධ වූ අන්තවාදී කල්ලිද හරහා නිතර විරෝධතා, කඩාකප්පල්කාරී ක‍්‍රියා, ආගම්වාදී කලකෝලාහල ආදිය ඇතිකිරීම නිසා රට තුළ ගැටලූ සහගත තත්වයක් ඇති බව ජාත්‍යන්තරයට පෙනීගිය හෙයින් මහා පරිමාණ ආයෝජකයන් පැමිණියේ නැත. පැමිණ සිටි සමහරු තම මුදල් කොටස් වෙළඳපළෙන් ඉවත් කර ගත්හ. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ලෙස තරඟකර ලෝ මේකර්ලා ලෙස පත්ව වෙනම කල්ලියක් ලෙස රජයේ කටයුතු අවුල් කරන්නට පටන්ගත්හ.

පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කිට්ටු කර එවැනි ක‍්‍රියා මාර්ගයක නිරත වූවා නම් එය බල පෙරළිය සඳහා කරනු ලැබූවක් ලෙස අවබෝධ කරගත හැකිය. ජනමතය ප‍්‍රකාරව ආණ්ඩුවට අවුරුදු කීපයක් තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගන්නට ඉඩදී තම පක්ෂයේ/ කණ්ඩායමේ බල ව්‍යාපෘතිය ආරම්භ කළා නම් එය සාධාරණය. 2015 අගෝස්තුවේ සිට රාජපක්ෂවාදී පිරිසගේ හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ ඔවුන් එදා සිටම රටට/ජනතාවට ද්‍රෝහී ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද දෙකඩ කරමින් තම පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව ජනතාව රවටමින් ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමේ ක‍්‍රියාදාමයක නිරතව සිටින බවයි.

මෙම කරුණුද සැලකිල්ලට ගෙන 5 වැනිදා කොළඹට විශාල ජනකායක් එක්රැුස් කිරීම පිළිබඳව කථා කළ යුතුය. ආණ්ඩුවේ කටයුතු අවුල් කර ජනතාව නොමඟ ඇරීමේ බලය පිළිබඳ වන අරමුණට අමතරව තවත් අරමුණු මෙම ව්‍යාපෘතියේ ඇති බව පෙනේ. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ‘ජනබලය කොළඹට’‍ ව්‍යාපෘතියට නායකත්වය දෙන සමහරු බරපතළ අපරාධ වැරදිවල චුදිතයෝය. අධිකරණයට බලපෑම් නොකෙරුණොත් වැරදි ඔප්පු වී දඬුවම් ලැබිය හැකිය. තම ජන බලය පෙන්වා ආණ්ඩුවේ නායකයන් ඞීල්වලට පොළඹවා ගතහොත් ඒ හරහා අධිකරණවලට බලපෑම් කළ හැකි බව ඔවුහු දනිති. (අධිකරණවලට අවශ්‍ය තොරතුරු ලබා නොදෙන්නැයි ආරක්ෂක ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා දැනටම නියෝග කර ඇති බව සැලය). ඉදිරියේ එන මැතිවරණයකදී සන්ධානගත වීම් පිළිබඳව පවා සමහර විට තීන්දු තීරණ ගැනීමට ඉදිරියේදීත් නැවත නැවතත් පැවැත්වීමට නියමිත මේ ආකාරයේ රැලිද හේතුකාරක වනු ඇත. එමෙන්ම පසුගිය පළාත්පාලන මැතිවරණයේදී එහි ජයග‍්‍රහණය හරහා මහින්ද රාජපක්ෂ අගමැති කළහැකි යයි ජනතාව රැවැට්ටුවා සේ මොකක් හෝ උප්පරවැට්ටියක් කර ගැත්තන් ඉත්තන් නැවත නැවත රවටා ඔවුන්ව තමන් වටා ගාල් කර තබාගැනීමටද මෙවැනි ක‍්‍රියාමාර්ග උපකාරී වේ.

පි‍්‍රයදර්ශනී ආරියරත්න

යමපාලනයෙන් යහපාලන අරාජිකත්වයට

0

ඇරිස්ටෝටල්ට අනුව, දරුණු පීඩාකාරී තත්වයන් නැතිනම් බලය ඉතා ඉහළ මට්ටමකින් කේන්ද්‍රගතවූ තත්වයද අතිශය මෘදු පාලනයන් පවතින තත්වයන්ද යන අවස්ථා දෙකෙහිදීම අරාජිකවාදී දේශපාලන ව්‍යුහයක් හා තත්වයන් සංවර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැක. සමාජීය දේශපාලන සත්වයා රාජ්‍යය තුළින් සිය ආරාක්ෂාව හා සුභසාධනය මූලිකවම අපේක්ෂා කරයි. රාජ්‍යය විසින් මෙම අවශ්‍යයතාවන් නිසි පරිදි සම්පූර්ණ නොවන තත්වයකදී රාජ්‍යය හා ජනයා අතර පවතින සම්මුතිය අර්බුදයට ලක්වෙයි.

අනෙක් අතට රාජ්‍යයක අරාජිකත්වය හෝ දේශපාලන අස්ථාවරභාවය යනු දේශීය හා විදේශීය නැතිනම් අභ්‍යන්තර හා බාහිර යන සාධකවලින් මතුවන බලපෑම්වල ප‍්‍රතිඵලයක් බව මූලික වශයෙන් වටහාගත හැක. වර්තමාන සමාජයන්හි පවතින දේශපාලන අරාජිකත්වය තුළ පවතින මූලික ලක්ෂණ මොනවාද? මෙහිදී ආණ්ඩුවක් පවතින අතරේදීම දේශපාලනික අවනතභාවය නොපවතින තත්වයන් වර්ධනය වීම අරාජිකත්වය වශයෙන් මතුවන බව අපට පෙනීයයි. මෙයට උදාහරණයක් වශයෙන් 2015 ජනවාරි 08 දින බලයට පැමිණි යහපාලන රජය වර්තමානයේ මුහුණ දෙන තත්වය සාකච්ඡා කළ හැක.

යහපාලන රජය යනු එවකට පැවති පීඩාකාරී පාලන තන්ත‍්‍රයක් වශයෙන් හඳුනාගත් පාලනයකට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර සිවිල් සමාජය එක්ව දියත් කළ සටනක ප‍්‍රතිඵලයකි. එවකට පැවති පාලන තන්ත‍්‍රය ඉතාමත් සුළු පරතරයක් සහිත මැතිවරණ ප‍්‍රතිඵලයකින් බලයෙන් පහකළ හැකිවුවද, බලයට පැමිණි යහපාලනයට එතෙක් වර්ධනය වෙමින් පැවති අරාජිකත්වයට ශක්තිමත් පිළිතුරක් ලබාදීමට හැකිවූයේද යන්න ගැටලූවකි.

මූලිකවම යහපාලන රජය දේශපාලන අත්තනෝමතිකභාවය මතුපිටින් ප‍්‍රතික්ෂේප කරයි. එසේම නීතිය පසිඳලීමේ නිසි කි‍්‍රයාවලිය අනුගමනය කරන බවට අද දක්වාම ප‍්‍රකාශ කරමින් සිටියි. එහෙත් යථාර්ථය තුළ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සතු බලයන් එකිනෙක හා තුලනය වන තත්වයක් පවතින නිසා එම රජයට දේශපාලන බලය පිළිබඳ දැඩි ආධිපත්‍යයක් සමාජය මත පැනවීමට තවමත් නොහැකිවී ඇත. මේ තත්වය හා තවත් බොහෝ තත්වයන් නිසා යහපාලන රජය වශයෙන් ජනතාව අවබෝධ කරගනිමින් සිටින්නේ පාලනය පිළිබඳ අසාර්ථක නැතිනම් අරාජිකභාවයට තුඩු දිය හැකි සංසිද්ධියක් වශයෙනි.

රාජපක්ෂ රජය පීඩාකාරී පාලන තන්ත‍්‍රයක් පිළිබඳ ප‍්‍රබල උදාහරණයක් සැපයුවේ යම් සේද යහපාලනයද අතිශය දුර්වල පාලන ක‍්‍රමයක් වශයෙන් නාමකරණයට පත්වෙමින් තිබේ. එම නිසා අරාජිකත්වය පිළිබඳ ආදර්ශයන්වලදී යහපාලනය සේම ‘යමපාලනය’ ද (රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතිකභාවය හැඳින්වීමට කිසිවෙක් මේ පදය යොදාගත් අවස්ථා තිබේ) මෙරට දී ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරන, අරාජිකත්වයන් නිර්මාණය කරන දේශපාලන තත්වයන් ද්වයක් බව පෙනීයයි.

මෙලෙස ‘යහපාලනය’ හෝ ‘යමපාලනය’ වශයෙන් වටහා ගන්නා පාලන තන්ත‍්‍රයන් දෙකටම දේශපාලනික සුජාතභාවය සපයන තත්වයන් නිර්මාණය කරගැනීමට නැතිනම් ‘සුජාතභාවය’ තම දේශපාලන ඛණ්ඩාංකය තුළ නිවැරදිව සලකුණු කර ගැනීමට නොහැකිවූ බව පැහැදිලිය. රාජපක්ෂ පාලනය විසින් සුජාතභාවය පිළිබඳ කාරණය අතිශය පටු තැනකලා සලකනු ලැබූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙසට ලිබරල් සිවිල් සමාජය තුළ සිය දේශපාලන දෘෂ්ටිවාදය තහවුරු කරගැනීමට එයට නොහැකිවිය. එසේම ලිබරල් ජාත්‍යන්තරය තුළද එම පාලනයට එරෙහිව විශාල ප‍්‍රතිවිරෝධයක් වර්ධනය වුණි. අනෙක් අතට ලිබරල් ජාත්‍යන්තරය දිනාගත් නමුදු, යහපාලනයට දේශීය වශයෙන් තමන් බලයට ගෙනා පංතීන්ගේ හා සිවිල් සමාජීය කොටස්වල විශ්වාසය තවදුරටත් රඳවාගැනීමට නොහැකිවීම නිසා දේශීය සුජාතභාවය ඌනවීම පිළිබඳ අර්බුදයට වර්තමානයේ මුහුණ දෙමින් සිටී.

මේ ආකාරයට පැවති හා පවතින පාලන තන්ත‍්‍ර දෙකම මුහුණ දුන් අර්බුදයන්ගේ ප‍්‍රකාශමානිත ප‍්‍රමුඛ ලක්ෂණය වන්නේ දේශපාලන බලය අත්පත් කරගත් උපාය මාර්ගය අඛණ්ඩ වශයෙන් පවත්වාගනිමින් දේශපාලන බලය ආරක්ෂා කරගැනීමට එම තන්ත‍්‍රයන් දෙකම දක්වන අසමත්කමයි. යම් හෙයකින් යහපාලන රජය ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරීමට මේ මොහොත තුළ ඉඩ පවතින්නේ නම්, සැබවින්ම එය අත්පත් කරගෙන සිටින සුජාතභාවය හා පිළිගැනීම පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට අපහසු නොවනු ඇත. එසේම පැවති පළාත් පාලන මැතිවරණය දර්ශකයක් වශයෙන් ගෙන බලන විට වුවද පවතින පාලනය බහුතරයේ අප‍්‍රසාදයට පත්වී ඇති බව ඉතා පැහැදිලිය.
කෙසේ නමුත්, යහපාලනය මඟින් මූලිකවම පිළිවදන් දුන් දුෂණය තුරන් කිරීම, දුෂිතයන්ට දඬුුවම් දීම හා ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප‍්‍රමුඛ ප‍්‍රතිමානීය ප‍්‍රතිපත්තිමය රාමුව යථාර්ථයක් බවට පත්වී නොමැත. එම නිසාම පැවති පාලන තන්ත‍්‍රයට එරෙහිව ගොඩනැඟුණු බලවේග අද වන විට යහපාලනයට එරෙහිවද මතුවෙමින් තිබේ. කේන්ද්‍රීය වශයෙන් යහපාලන තන්ත‍්‍රය තුළ පවතින බලය පිළිබඳ අභ්‍යන්තර අර්බුදය වර්තමානයේදී අතිවිශාල අරාජික මනෝභාවයක් සමාජය තුළ නිර්මාණය කොට තිබෙයි. මෙම අරාජිකත්වය පිළිබඳ සමාජීය මනෝභාවයේ දිගුවක් වශයෙන් ආඥාදායකත්වයක් සහිත පාලනයක් නැවත බිහිකළ යුතුය යන තර්කයද සමාජය හමුවට පැමිණ තිබේ. සංඝ සමාජයේ සමහර පිරිස් හා ජාතිකවාදී කණ්ඩායම් දැනටමත් මෙම ආඥාදායකත්වය සුජාත කිරීමේ දේශපාලනය අරඹා තිබේ.

යහපාලනය දැන් මුහුණ දෙන අභියෝගය නම් මතුවෙමින් පවතින ආඥාදායක දේශපාලන නායකත්වය පිළිබඳ අදහස දේශපාලනිකව පරාජය කරන්නේ කෙසේද යන්නයි. කෙසේමුත්, ජනතාව ආර්ථික හා දේශපාලනික වශයෙන් සමාජය තුළ අත්විඳින පීඩාවන්ට පිළිතුරු දීමට නම් රජය වහාම දේශපාලන අරාජිකත්වයට විසඳුම් සැපයිය යුතුය. නැවත මෙරට යමපාලනයන් බිහිවීම වැළැක්වීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යුහයන් ශක්තිමත් කරන අතරම වඩාත් ස්ථාවර සුභසාධන ආර්ථික සැලැස්මක් අවශ්‍ය කර තිබේ.

අතුල සිරිසමරකෝන්

කියනු මැන වත්මන් දේශපාලනයේ අරුත!!

0

මා ඉහත මාතෘකාව තනා ගනු ලැබූයේ ගුණදාස අමරසේකර ගේ ”‍කියනු මැන දිවි අරුත”‍ කෙටිකතා සංග‍්‍රහය ආශ‍්‍රයෙනි. මේ කෙටිකතා පොතේ නම මගේ සිහියට නැඟු‍ණේ අද දින (සැප්තැම්බර් 5) පැවැති රාජපක්ෂ කඳවුරේ උද්ඝෝෂණයට සහභාගි වූ ඇතැම් පුද්ගලයන්ගේ චර්යාව පිළිබඳ විවිධ උපහාසාත්මක තොරතුරු, ඡායාරූප යනාදිය සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙනු දුටු විටය. ඒ හරහා මුලින්ම මට කෘතියේ එන මැයි දිනය යන කතාව සිහිවිය. කෙසේ වෙතත් මා මේ සටහනට මූලික වශයෙන් මාතෘකා කරගන්නේ වෙනත් දෙයකි.
ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ, කොළඹ නගරාධිපති ධුරයට තරඟ කළ මිලින්ද රාජපක්ෂ මහතාගේ පොතක් සහ එය දොරට වැඞීමේ උත්සවය පිළිබඳ වූ මතභේදාත්මක තත්වයකි. මේ පොතට රාජපක්ෂ කඳවුර සිය පරම සතුරෙකු ලෙස සලකන සුනන්ද දේශප‍්‍රිය පෙරවදනක් සපයා ඇති බව කියැවේ. එසේ ම මේ පොත ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රාජපක්ෂ කඳවුරේ එවැනිම සතුරෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල බව ද කියැවේ. එසේ ම පොත දොරට වැඞීමේ අවස්ථාවේ කථිකයන් ලෙස උග‍්‍ර රාජපක්ෂ විරෝධියකු වන චම්පික රණවක ද, ජවිපෙ නලින්ද ජයතිස්සද සහභාගී වීමට නියමිතය. රාජපක්ෂ කඳවුරේ ක‍්‍රියාකාරී තරුණ බුද්ධිමතෙකු වන, එමෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රබල ප‍්‍රකාශකයෙකු වන නාමල් උඩලමත්ත මහතා මේ සංයුතිය සම්බන්ධව සිය ෆෙස්බුක් ගිණුම හරහා තියුණු විවේචනයක් මිලින්ද රාජපක්ෂ මහතා වෙත එල්ල කර තිබුණි.

ඉතා පැහැදිලිව ම උඩලමත්ත මහතාගේ විවේචනය බෙහෙවින් ම ඒත්තුයනසුලූ එකකි. රාජපක්ෂ කඳවුරේ දේශපාලන ඉදිරි දැක්ම සම්බන්ධව සිංහල-බෞද්ධ ජාතිකවාදී බලවේගයේ බුද්ධිමය කේන්ද්‍රය වෙතින් ඉදිරිපත්වන න්‍යාය පත‍්‍රය අනුව සලකා බැලූ‍වහොත් මිලින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ සමාව දිය නොහැකි වරදකි. එය සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය බලවේගය විසින් පරිකල්පනය කරන දේශපාලන දැක්මට සාපේක්ෂව දරුණු ස්වයං විනාශකාරී පියවරකි. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය බලවේගයේ (නලින් ද සිල්වා හැර) අනාගත ජනාධිපති සිහිනය වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ද වෙමින් මිලින්ද රාජපක්ෂ මහතා මෙසේ කිරීම අතිශයින් ම ස්වයං-විනාශකාරී ය.

මගේ උත්සාහය වන්නේ රාජපක්ෂ මහතාගේ ක‍්‍රියාව විනිශ්චය කිරීම නොව, උඩලමත්ත මහතාගේ විවේචනය පසුපස ඇති බැ?රුම් සත්‍යයක් නිරාවරණය කිරීමටයි. මිලින්ද රාජපක්ෂ මහතාගේ අදාළ ක‍්‍රියාව දෙස කිට්ටුවෙන් නිරීක්ෂණය කිරීමේ දී පෙනෙන දෙය වන්නේ මිලින්ද රාජපක්ෂ මහතා දේශපාලනය පරිකල්පනය කරන ආකාරය සහ නාමල් උඩලමත්ත මහතා දේශපාලනය පරිකල්පනය කරන ආකාරය අතර බරපතළ වෙනසක් පවතින බවයි. මෙම වෙනස ඊයේ දිනයේ (සැප්තැම්බර් 5වන දින) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැුළිය පිළිබඳව එල්ල වූ ඇතැම් විවේචන ඇසුරෙන් ද සලකා බැලිය හැක. ඊට එල්ල වූ විවේචන බොහොමයක් පදනම් වී තිබුණේ සහභාගිවූවන්ගේ බීමත් හැසිරීම් මුල් කරගෙනයි. කෙසේ වෙතත් මෙම තත්වය තම දේශපාලන අරමුණු සමඟ ආසන්න වශයෙන් පරස්පරතා මතුකරන අවස්ථාවක් ලෙස සිංහල-බෞද්ධ බුද්ධිමය කතිකාව තුළ හඳුනාගනු ලැබූයේ නැත. විශේෂයෙන්ම උඩලමත්ත මහතා පවා එවැනි විවේචකයන් වෙත තියුණු වාග් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණි.

නමුත් මගේ නිරීක්ෂණය වන්නේ මේ මහජන රැුළිය තුළ දක්නට ලැබුණු එකී ලක්ෂණ මිලින්ද රාජපක්ෂ මහතාගේ යථෝක්ත ක‍්‍රියාව මෙන්ම අපගේ අවධානයට යොමුවිය යුතු බවයි. මා ඉහත සඳහන් කර ඇති ගුණදාස අමරසේකරගේ කියනු මැන දිවි අරුත කෘතිව නිකුත් වූයේ රාජපක්ෂ පාලනය පැවැතී සෑහෙන කාලයකට පසුවයි. එම කෘතියේ එන ”‍මැයි දිනය”‍ කතාව මගින් මූලික වශයෙන්ම විචාරයට භාජනය වන්නේ පාලන බලය දරන පක්ෂය (එනම් එක්සත් ජනතා නිදහස් සංධානය) ගැමි දුගීන් කෑම පැකට්ටුවක්, අරක්කු අඩියක් හා රුපියල් පන්සියයක් අල්ලස් ලෙස ලබා දී සිය මැයි රැළියට මිනිසුන් රැගෙන යාමේ සංසිද්ධියයි. අමරසේකර එය ඉදිරිපත් කරන්නේ තමා පෙනී සිටින දේශපාලන මාවතෙන් මෙවැනි අවක‍්‍රියා කෙතරම් දුරස්ථද යන්න හැඟවෙන ආකාරයෙනි.

සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය කතිකාව අපට යෝජනා කරන්නේ පවත්නා අධිපති (බටහිර ගැති පරිභෝජනවාදී) දේශපාලන සංස්කෘතියෙන් මූලික වශයෙන් වෙනස් වන්නා වූ මාවතකි. මිලින්ද රාජපක්ෂ මහතාගේ පොත් දොරට වැඩුමෙන් මෙන්ම රාජපක්ෂවාදීන්ගේ මහජන රැුළි තුළ අඩංගු ඉහත ලක්ෂණවලින්ද පෙනී යන්නේ ඒවා සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධිමතුන්ට කොයිතරම් අභියෝගාත්මක ද යන්නයි. සිංහල-බෞද්ධයාට පේනතෙක් මානයක නායකයෙක් නැතැ යි නලින් ද සිල්වා කියන්නේ මේ නිසා ද?

නිර්මාල් රංජිත්

සභ්‍යත්ව රාජ්‍යය සංවාදය ගැන නැවතත්

0

මා මිත‍්‍ර මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් ලියන ලද අලූත් පොත් දෙකක් ලබන සතියේ ප‍්‍රකාශයට පත් කරන්නට නියමිතය. මේ කෘති දෙකම අභිමුඛ කර ඇත්තේ මාක්ස්වාදී දේශපාලනය සම්බන්ධ විචාරාත්මක සාකච්ඡාවන්ට බව දැනට දැනගන්නට ලැබී ඇති කාරණාය. මා මේ සටහන ලියන්නට සිතුවේ මහාචාර්ය සුමනසිරිගේ මේ අලූත් පොත් දෙක ගැන නොව ඔහු විසින් මීට වසරකට පෙර ප‍්‍රකාශයට පත් කළ ‘සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය’ යන කෘතිය පිළිබඳව යම් ආවර්ජනයක් කිරීමටය. එසේ ඒ පොත ගැන යළිත් ලිවිය යුතු යැයි සිතුණේම වැදගත් කාරණාවක් නිසාය. එනම් මෙරට වාමාංශික බුද්ධි ධාරාවේ අය ජාතිකමය වූ බුද්ධි ධාරාව ගැන කරන ‘බැහැරකිරීම්වාදී කියවීම්’වලින් යම් ආකාරයකට එළියට පැමිණ සිදුකර ඇති සුමනසිරිගේ මෙම කෘතිය පිළිබඳව මෙරට සමාජයේ එතරම් සාකච්ඡුාවක් නොකෙරෙන නිසාය.

සුමනසිරි මේ කෘතිය ලීවේ ගුණදාස අමරසේකරයන් විසින් රචිත ‘සභ්‍යත්ව රාජ්‍යය’ නම් වූ කෘතියට යම් ආකාරයක ප‍්‍රතිචාරයක් ලෙසින්ය. මා මුලින් කියූ පරිදි මෙය ඇතුළත්වීම්වාදී ප‍්‍රතිචාරයක් ලෙසින් නම් කිරීමේ වැරැද්දක්ද නැත. අමරසේකර ස්වකීය සභ්‍යත්ව රාජ්‍යය සංකල්පය ගොඩනගන්නේ චීනයේ වත්මන් දේශපාලන තත්වය ගැන මාටින් ජැක් විසින් ලියන ලද Civilizational State නැමති තර්කය මත පදනම් වෙමින්ය. මාටින් ජැක් කියන්නේ චීනයේ ආධිපත්‍යය යටතේ හැසිරවෙන ලෝකයක් පිළිබද සිහිනයක් තුළ තබා අනාගත ලෝකය පිළිබඳව තේරුම් ගැනීම හරහා වික්ටෝරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාවන්වලින් එපිට ගොඩනැගෙන නව ආකෘතියක් (ආකෘතීන්) පිළිබඳව සිතිය යුතු බවයි. අමරසේකර ස්වකීය කෘතියේ විමර්ශන විෂය වස්තුව (object of inquiry) බවට පත් කරන්නේම යටත්විජිත පාලකයන් විසින් අපට ලබාදී ඇති දැන් තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයයි. අමරසේකර එය කියන්නේ මෙසේයි.

‘ඉංග‍්‍රීසිකාරයා විසින් හිමිකර දුන් පාර්ලිමේන්තුව පක්ෂ දේශපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන පාලන උපකරණයන් විසින් අපව පාලනය කිරීම අර්බුදයට යාම පසුපස ඇති පළල් කථාව වන ජාතිකමය වූ විඥානය පාගා විජාතික වූ විඥානයක් මත පදනම් වූ මෙම ක‍්‍රමය පරාජයට පත් කිරිම සහ ඒ ගැටලූව තේරුම් ගැනීමේ ඥානවිභාගයක් ගොඩ නගා ගැනීම යන කාරණයයි.’

සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය ලෙසින් නම් කර ඇති සුමනසිරි ලියනගේගේ කෘතිය මගින් යෝජනා කෙරෙන්නේ අමරසේකර ඉදිරිපත් කරන ආකාරයේ විසඳුමක් නොවන බව මුළින්ම පිළිගත යුතු වුවත් ඔහු සාකච්ඡුා කරන්නේ මෙරට සාම්ප‍්‍රදායික චින්තනමය පදනම්වල පැවති නෛසර්ගිකමය වූ සමූහත්වවාදී ගුණයක් විසින් සමසමාජ ව්‍යාපාරය යම් ආකාරයකට පෝෂණය කළ බවයි. මෙරට ‘වමේ දේශපාලනය සහ සංස්කෘතික අවිඥානයන්’ අතර 1956 බණ්ඩාරනායකගේ ආගමනයට පෙර තිබූ යම් ආකාරයක වූ සම්බන්ධයක් පිළිබඳව ඉතාමත් වැදගත් සාකච්ඡුාවක් සුමනසිරි ලියනගේගේ කෘතිය තුළින් ඉදිරිපත් වන බව මගේ තේරුම් ගැනීමයි.

තවත් පැත්තකින් බැලූවහොත් ලියනගේ මතු කරන්නේ මේ රටේ මාක්ස්වාදී ව්‍යාපාරය ස්ථානගත වන්නේ ඒ වන විටත් නොනැසී පැවති යම් සාම්ප‍්‍රදායික අවිඥානයක් මතද යන කාරණයයි. තමා සමාජවාදියෙකු වන්නේ මාක්ස්වාදියෙකු වීමට පළමුවෙන් බව කියන ඔහු තමා ‘සමාජවාදියෙකු වූයේ ප‍්‍රඥාව නිසා නොව කරුණාව නිසායැයි’ යැයි මතුකරන කාරණය අපගේ අවධානයට ලක්විය යුතු දෙයක් බව මගේ මතයයි.

අනෙක් වැදගත් කාරණය වන්නේ ශ‍්‍රීලනිපයේ ආරම්භය හා මෙම ජාතිකමය වූ විඥානයේ සම්බන්ධතාව පිළිබඳව අමරසේකරයන්ගේ විමර්ශනය පිළිබඳව සුමනසිරි ලියනගේ මහතා විසින් මතුකරන විවේචනයයි. අමරසේකරයන් විසින් අවස්ථා කීපයකදීම ඉදිරිපත් කර ඇති ප‍්‍රවාදයක් වන ශ‍්‍රීලනිපය හා ධර්මපාල ව්‍යාපාරය අතර පවතින සම්බන්ධය පිළිබඳව ලියනගේ විසින් මතු කරන වැදගත් නිරීක්ෂණයක් ඇත. ඔහු කියන්නේ අමරසේකර විසින් කියන පරිදි මේ රටේ පැවති සංස්කෘතික සාධකය කෙරෙහි බණ්ඩාරනායකගේ අවධානය යොමුවූවාට අමතරව එතෙක් පැවති අනෙකුත් වැදගත් තත්වයක් වන 1930 පසුව මූලික වශයෙන් මතුවී පැමිණි ගුණසිංහගේ හා සමහර අනෙකුත් නායකයන්ගේ ව්‍යාපෘතින්ද ඇතුළත් මෙරට වමේ ව්‍යාපාරයේ සමහර පදනම් කෙරෙහි බණ්ඩාරනායකගේ තිබූ සංවේදනයයි. ලියනගේ සංක්ෂිප්ත ආකාරයෙන් කියන්නේ ධර්මපාල විසින් මතු කළ ජාතිකානුරාගය පිළිබඳ තර්කය පමණක් නොව ඒ දක්වා මෙරට වමේ ව්‍යාපාරය විසින් මතු කළ අධිරාජ්‍ය විරෝධ පිළිබඳ තර්කය යන දෙපැත්තම අතට ගැනීමට බණ්ඩාරනායකට හැකිවූයේ කෙසේද යන කාරණය අපගේ විමර්ශනයට භාජනය විය යුතු බවයි.

මට හැෙඟන ආකාරයට මෙරට වමේ ව්‍යාපාරයේ අයෙකු විසින් සිංහල ජාතික ව්‍යාපෘතියේ දේශපාලනය පිළිබඳව සිදුකර ඇති සාධනීය හා පළල් විවේචනයක් සුමනසිරි ලියනගේගේ කෘතිය තුළින් මතු කරන බවත් ඒ පිළිබඳව පළල් සාකච්ඡාවක් සිදුකිරීම ඉතාමත් සුදුසු බවත්ය.

චරිත හේරත්

දැන් සමාජ වාදයක් සදහා විලිරුදාවක් නෑ ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක

විසිවැනි සංශෝධනය තියෙන්නේ කුමන අදියරේද?
රට විසිඑක්වැනි සියවසට ගැළපෙන පාලනයකට යන්නට තියෙන ප‍්‍රධානතම බාධාව විධායක ජනාධිපති ධුරය. මේක ගල් යුගයට අයිති තනතුරක්. මේ තනතුර නිසා ලංකාවේ යහපැවැත්මට සිදුකරලා තියෙන හානිය බැලූ‍වත් මේ තනතුර අහෝසි කිරීම අත්‍යවශ්‍යයි. මේ තනතුර නැති කරන්න ගත හැකි ව්‍යවස්ථානුකූල පියවර තමයි ආණ්ඩුව විසින් ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීම. එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේක නොකරමින් ජනාධිපතිවරණයට ඉල්ලන්න ලෑස්ති වෙන බව පෙනෙනවා. ඔවුන් මේක අහෝසි නොකරන බව පැහැදිලියි. ඒ නිසා තමයි ජවිපෙ කල්පනා කළේ කල්ගත වෙන ක‍්‍රියාවලියක් වුණත්, පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට විසිවැනි සංශෝධනය ගෙනෙන්න. මේක නීතිපතිවරයාට කථානායකවරයා විසින් යොමු කරලා තිබුණා. නීතිපතිවරයාගේ නිර්දේශ කතානායකවරයාට ලැබිලා තිබුණා.

නීතිපතිවරයා නිර්දේශ කළේ මොකක්ද?
නීතිපතිවරයාට මේක යොමු කළේ පනත් කෙටුම්පත දහතුන්වැනි සංශෝධනය සමඟ ගැටෙනවාද යන්න විමසන්න. මේක පළාත් සභාවලට අදාලද නැද්ද යන්න විමසන්න. පළාත් සභාවලට අදාළ නම් මේක පළාත් සභාවලටත් ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙනවා මේක පළාත් සභාවලට අදාළ නැති බව. ඒ අනුව දැන් තිබෙන්නේ මේක පනත් කෙටුම්පතක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව. ඒ සඳහා මුලින් කළ යුත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන පෞද්ගලික මන්ත‍්‍රී පනත් විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවට යොමු කිරීම. එහි නිගමනය ලැබුණු පසුව අධිකරණ අමාත්‍යාංශයේ නිගමනය ලබාගත යුතුයි. ඉන්පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. මේක දීර්ඝ ක‍්‍රියාවලියක්. අපි දකිනවා ක‍්‍රියාවලියේ ප‍්‍රශ්නයක් නැහැ. අපේ උත්සාහයයි වැදගත් වෙන්නේ. ජනතාවට මේ ක‍්‍රියාවලිය තුළින් තේරුම්ගත හැකියි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියලා බලයට පත්ව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර සිටීමේ සම්ප‍්‍රදායට අනුවම මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ දෙපළ කටයුතු කරනු ඇතිද යන්න. එහෙම නොවුණොත් මේ ක‍්‍රියාවලිය හරහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගන්න පුළුවන් වේවි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව 2014 දෙසැම්බර් වනවිට අවිවාදිතව පිළිගන්නා කාරණයක් වී තිබුණා. එහෙත් මේ වෙද්දී විධායක ජනාධිපති ක‍්‍රමය අවශ්‍ය බවට තර්ක නැ‍‍ගෙනවා..
මීට පෙරත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බව කියැවුණා. දෙවරක් ඒ බව කියැවුණේ නැහැ. ඒ ඞී.බී. විජේතුංග මහතා බලයේ සිටි මොහොතේත්, 2002-2004 කාලයේදී එජාපයට පාර්ලිමේන්තුව සහ චන්ද්‍රිකා බණ්ඩාරණායකට ජනාධිපතිධුරය තිබුණු කාලයේදීත්. එහෙම වෙන්න හේතුව තමයි විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලය නැතිවුණාම ඔහුගේ යම් බලතල ක‍්‍රියාත්මක කිරීමේ සීමාවක් ඇතිවීම. එහෙම වෙලාවක පෙනෙනවා මේක කියන තරම් බලවත් තනතුරක් නොවන බව. දැන් උදාවෙලා තියෙන්නේ එහෙම තත්වයක්. එහෙත් මේ තත්ත්වය හැමදාම පවතින්නේ නැහැ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක ළඟ පවත්වනවා. ජනාධිපතිවරණය දිනන පුද්ගලයාගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග‍්‍රහණය කරනවා. එහෙම සාමාන්‍ය අවස්ථාවකදී මේ තනතුරේ බලය අවභාවිත කරන බව හොඳින්ම පෙනෙනවා. දැන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලය නැති පසුබිමක පවා බලය මොන තරම් අවභාවිත කළාද යන්න අපි දන්නවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකිරීමම හොඳ උදාහරණයක්. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියටත් වැඩිපුරම බාධා කළේ ජනාධිපතිවරයා. රාජපක්ෂවරුන් සම දුෂණයේ යෙදුණු පුද්ගලයන්ට ඇමතිකම් දීම සිදුවුණෙත් ජනාධිපති තනතුරේ බලය පාවිච්චි කරමින්. ඊට අමතරව වර්තමාන කණ්ඩායම සමඟ එක්වෙච්චි ඇමතිවරුන්ගේ දුෂණ පිළිබඳ පරීක්ෂණවලට බාධා කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න මහේස්ත‍්‍රාත් නියෝග තිබියදී අත්අඩංගුවට නොගෙන ඉන්නේ ජනාධිපති ධුරයේ බලතල මත. ඇතැම් තනතුරුවලට දුෂිතයන්ව පත් කළ බවත් අපි දන්නවා.

විසිවැනි සංශෝධනය එන්නේ අලූ‍ත් ව්‍යවස්ථා ක‍්‍රියාවලිය අඩපණ වූ නිසා. ව්‍යවස්ථා ක‍්‍රියාවලියට වුණේ මොකක්ද?
පවතින ව්‍යවස්ථාවට රට ගොඩනඟන්න බැරිවීම නිසා අලූ‍ත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වීම තර්කානුකූලයි. ජවිපෙ අපේම ප‍්‍රතිපත්ති මාලාවක් මත රටේ සියලූ පක්ෂ එකතුවුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සම්බන්ධ වුණා. ඒ ක‍්‍රියාවලියට කාලයක් ගතවීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒකට විවිධ පාර්ශ්වයන්ගේ අදහස් රැුගෙන එකඟතාවන්ට පැමිණීමට කාලයක් අවශ්‍යයි.

ව්‍යවස්ථා සම්පාදක කාර්යයේදී ප‍්‍රධාන විෂයන් තුනක් සහ අතුරු විෂයන් හයක් විදියට බෙදාගත්තා. ප‍්‍රධාන විෂයන් තුන වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය සහ පළාත් සභා. මේ තුන පිළිබඳ යෝජනා සකස් කිරීම මෙහෙයුම් කමිටුව විසින් කළා. ආර්ථිකය, නීතිය හා සාමය, ඉඩම් වැනි අනෙක් විෂයන් උපකමිටු හයක් යටතේ සියලූ‍ පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කළා. මේ කමිටු සියල්ලට සහාය ලබාදීමට විද්වතුන්ගේ මණ්ඩලයක් පත්වුණා

හිරවුණේ කොතැනද?
අනුකමිටු හයත්, මහජන අදහස් ලබාගැනීම සඳහා පත්කළ කමිටුවත් මාස හයක් තුළ වාර්තා සකස් කළා. සියලූ පළාත් සභාවල මහඇමතිවරුන් පැමිණ අදහස් ඉදිරිපත් කළා. ඒකට සාධාරණ කාලයක් ගතවුණා. ඒත් ඒවා අවුරුදු එකහමාරක් පමණ ඇතුළත අවසාන වුණා. එහෙත් ඉන්පස්සේ පහුගිය වසරක කාලය තුළදී මේ කාරණය කල් ගත වුණා. මැතිවරණ ක‍්‍රමය ගැන සීයට අනූපහක් පමණ දක්වා එකඟ වුණා. බලය බෙදීම ගැනත් සීයට අනූවක් පමණ එකඟතා ඇතිවුණා. අඩු තරමේ එකඟවිය හැක්කේ කුමන කරණා ගැනද, එකඟවිය නොහැක්කේ කුමන කාරණාවලටද කියලා හඳුනාගත්තා. ප‍්‍රශ්නය ආව තැන තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන. එතැනදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පැත්තෙනුත් සුවිශාල බාධා ඇතිවුණා. එතුමා විධායක අගමැති ක‍්‍රමයක් යෝජනා කළා. ඒකෙන් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ අයගේ තර්ක ශක්තිමත් වුණේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වෙනම ඡුන්දයකින් පත් කරගන්නා ක‍්‍රමයකුත්, අගමැතිවරයා කලින් නම් කරලා ජනාධිපති අපේක්ෂකයෙක් වගේ අගමැතිවරයා පත්කරන විධායක අගමැති ක‍්‍රමයක් යෝජනා කළා. මෙය ව්‍යවස්ථාමය පටලැවිල්ලක් වුණා. මේක මගින් රනිල් වික‍්‍රමසිංහව විධායක අගමැති කෙනෙක් කරන්න සූදානම් වෙන බවට තර්කයක් ගොඩනඟන්න අවශ්‍ය පෙට‍්‍රල් ලැබුණා.

අනෙක් පැත්තෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නියෝජනය කරපු කණ්ඩායම බාධා කළා. ඔවුන් විශාල කාලයක් ගත්තා විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ඔවුන්ගේ මූලික අදහස කියන්නට. ඔවුන් තර්කයක් ගෙනාවා ජනාධිපතිවරයා ජනතාවට නැතිව, ශ‍්‍රීලනිපයට වගකියන බවට.

මීට අමතරව දෙමළ ජාතිවාදීන් සහ සිංහල ජාතිවාදීන්ගෙන් බාධා එල්ලවුණා. දකුණේ රාජපක්ෂ පිළ විසින් මේක පිළිබඳ විශාල භීතියක් ගොඩනැඟු‍වා. ඒ භිතිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ රැුඳීසිටීමේ සහ නැවත ඉල්ලීමේ සැලසුමට ආශීර්වාදයක් කරගත්තා. අද ව්‍යවස්ථා සම්පාදනය නැවතිලා තියෙන්නේ එතැන.

ඒ ක‍්‍රියාවලියට ඊළඟට වෙන්නේ මොකක්ද?
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පසුගිය පාර්ලිමේන්තු සතියේදී රැුස්වුණා. මේ වෙද්දී මම කලින් කී විද්වත් කමිටුව විසින් මෙතෙක් තිබුණු කරුණු සැලකිල්ලට ගෙන ලියැවිල්ලක් සකස් කරලා තියෙනවා. දැන් ඒ ගැන මෙහෙයුම් කමිටුව සාකච්ඡුා කළ යුතුයි. අපි දකින්නේ නැහැ නව ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය දේශපාලන වුවමනාව රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබෙන බව. මේ වෙද්දී ව්‍යවස්ථා වෙනසකට දේශපාලන ඉඩකඩක් සමාජයේ පුළුල් වශයෙන් නැහැ. ජවිපෙ තනිවම විසිවැනි සංශෝධන යෝජනාවක් ගෙනෙන්න හේතුවත් මේ කාරණය. අලූ‍ත් ව්‍යවස්ථාවක් එන්නේ නැති බව නිශ්චිතයි. අපි දන්නේ නැහැ අඩු තරමේ ලියැවිල්ලක් විදියට පාර්ලිමේන්තුවටවත් ඒවිද කියලා.

විසිවැනි සංශෝධනය සම්මත කරගැනීමට ගැළපෙන දේශප ාලන වටපිටාවක් තිබෙන බව ජවිපෙ තර්ක කළා නේද?
රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් පෙනෙන්නේ නැහැ. සමාජ අර්බුදයටත් විසඳුමක් පෙනෙන්නේ නැහැ. දැන් සමාජය එවැනි ප‍්‍රශ්න විසඳන්නට ජනප‍්‍රිය යෝජනා ගෙනෙනවා. එල්ලලා මරන්න ඕනෑ බව කියන්නේ ඒ නිසා. මෛත‍්‍රීපාල සිරිසේන වැනි දේශපාලනඥයන් එවැනි සමාජ ඉල්ලූ‍මක් උස්සලා ගන්නවා. හැබැයි එල්ලන්න යද්දී තමයි තේරෙන්නේ එල්ලන්නේ ග‍්‍රෑන්ඞ්පාස් වගේ ප‍්‍රදේශවල ඉන්න පහළ පන්තික මිනිස්සුන්ව බව.

අද ආණ්ඩුව දෙකට බෙදිලා තියෙන නිසා තමයි ඔය ඉල්ලූ‍මට සැපයුමක් විදියට දේශපාලන මර්දනය විශාල වශයෙන් එන්න පටන්ගෙන නැත්තේ. අද මිනිස්සු මේ ආණ්ඩුවට පණ නැති බව කියන්නේ හිටපු ආණ්ඩුව වගේ ගහන්නේ නැති නිසා. මිනිස්සුම මර්දනය ඉල්ලනවා. කළුකඩ ජනමාධ්‍ය අයිතිකාරයන් විසින් ඒ ඉල්ලූ‍ම හදනවා මිනිස්සුන්ට. මේ ඉල්ලූ‍ම සමඟ ඊළඟට එන පාලකයාට මර්දනකාරී පාලනයකට යා හැකියි. ඒක රටට හොඳ නැහැ. අනෙක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ආ විගස විදේශ බලවේගවලට හොඳට රට නටවන්න පුළුවන්. මොකද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැදීමේ වුවමනාවට මුවා වෙලා අපි වගේ රටවලට මුවාවෙනවා. අද රනිල්-මෛත‍්‍රී ගැටෙද්දී රනිල් වික‍්‍රමසිංහ දුවන්නේ අමෙරිකන් තානාපතිවරයා ළඟට. ඒක අපි වගකීමෙන් කියනවා. ඒ නිසා ඊළඟට හැදෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුවකින් අපේ ස්වෛරීත්වය අහිමි වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් ජයග‍්‍රහණය කරන කෙනා කොළපාටින් ආවත් නිල්පාටින් ආවත් විධායක ජනාධිපති ධුරය පාවිච්චි කරලා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ඇතිවෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ඉල්ලන්න බැහැ. තමන්ට ජයග‍්‍රහණය කරන්න බැරි ඡන්ද ක‍්‍රමයකින් එතුමාට වැඩක් නැහැ. ඉතින්, මේ ක‍්‍රමය අහෝසි කරලා එන අගමැති ක‍්‍රමයක් යටතේ එතුමාට එන්න අවස්ථාවක් තියෙනවා.

අනෙක් පැත්තෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා. දැන් තිබෙන බරපතළ දේශපාලන පිරිහීම නිසා එජාපයෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළත්, ජනාධිපතිවරණයක් දිනන්න කිසිසේත්ම බැහැ. දැන් පොදු අපේක්ෂක ක‍්‍රියාවලිය වෙන්න ඉඩක් නැහැ. මෑත අනාගතයේදී නම් එවැන්නක් වෙන්නේ නැහැ. එජාපයෙන් කුමන අපේක්ෂකයෙක් දැම්මත් දිනන්න බැහැ. සමහරවිට මේ මොහොතේ පක්ෂ නායකකම ඩැහැගෙන, අනාගතයේදී ජනාධිපති වෙන්න බලාගෙන සජිත් පේ‍්‍රමදාස වගේ කෙනෙක් අපේක්ෂකත්වය ගන්න ඉඩ තියෙනවා. එහෙම වුණත් එජාපයේ යම් තේරුමක් තිබෙන අය හිතනවා දෙමළ, මුස්ලිම් ඡන්ද පදනමක් තිබෙන නිසා පාර්ලිමේන්තු ක‍්‍රමයක් යටතේ ආණ්ඩුවක් ගැටගහගන්න ඉඩක් තිබෙන බව.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමයි මේ දිනවල ඉන්න ලොකුම දේශපාලන අනාථයා. අල්ලපු අත්තටත්, පයගහපු අත්තටත් පයින් ගහපු දේශපාලන ජුදාස් කෙනෙක්. රාජපක්ෂ මහතා ජනතාවගේ සතුරෙක්. එහෙත් ඔහුට ඡුන්දය දුන්න ජනතාවගේ වීරයෙක්. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්න මිනිස්සුන්ට තාමත් සතුරෙක්. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්න මිනිස්සුන්ට ද්‍රෝහියෙක්. ඉතින් එතුමා මෑත කාලීන දේශපාලනයේ දැවැන්තම දේශපාලන පාවාදීම් කරපු අසාර්ථක පාලකයෙක් බවට පත්වෙලා තියෙනවා. මොකද අනූහතරේ සිට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට ඇවිත් පොරොන්දුව කඩකරපු අය විපක්ෂයේ ඉඳලා, යම් දේශපාලනයක් කරලා ජනාධිපති තනතුරට ආ අය. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2014 නොවැම්බර් වනතෙක්ම එතෙක් හිටපු ආණ්ඩුවේ ප‍්‍රධාන මුරභටයෙක්. දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ඉල්ලන්න සූදානමින් සිටින බව ආරංචිවෙනවා. එහෙත් ඔහුට දිනන්න බැහැ. ඔහුට මේ මොහොතේ වැදගත් යමක් කරලා දේශපාලනයෙන් විශ‍්‍රාම යන්න තියෙන ක‍්‍රමය තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. එහෙත් මේ කාරණා අමතර කාරණා පමණයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පුළුවන් වෙන්නෙ ජනතාවගේ එකතුවීමකින්.

ජවිපෙ 2020 වෙද්දී කරන්නෙ මොනවද?
අපේ රටේ සාම්ප‍්‍රදායික ධනපති පක්ෂ දෙකටම තනි බලයක් ගන්න බැහැ. මම දැක්කා පස්වැනිදා උද්ඝෝෂණයේ සංවිධායකයන්. බැලූ බැල්මට පේනවා රාජපක්ෂ මහතාට 2015 ජනවාරි හිටපු අයම මිස අලූ‍ත් අය නැති බව. එදා හිටපු අයගෙනුත් සමහර අය දැන් නැහැ. ඉතින් මුහුණු වශයෙන්වත් ඔවුන්ට අලූ‍ත් දේශපාලන බලවේග එකතුවෙලා නැහැ. එදා ඉඳන් මහින්ද රාජපක්ෂ එක්ක හිටපු කළු මාධ්‍ය ආයතන ටිකක් ඉන්නවා, එදා හිටපු ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා, කලාකරුවන් ටිකක් ඉන්නවා. අලූ‍ත් බලවේග එකතුවෙලා නැහැ. එතුමා එක්ක හිටපු ව්‍යාපාරික පැළැන්තියත් ඒ වගේ. රාජපක්ෂ මහතාට අලූ‍ත් දේශපාලන බලවේග එකතුකර ගැනීමේ හැකියාවක් තවම පෙන්වලා නැහැ.

රනිල් වික‍්‍රමසිංහ මහතාත් ඒ වගේ. එජාපය එදා වගේ දෙමළ, මුස්ලිම් ජනතාව එක් කරගන්නත් සමත් වෙලා නැහැ. මධ්‍යම පන්තික වෘත්තික බලවේගයත් අහිමි වෙලා. ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පවා ප‍්‍රතිසංස්කරණවාදී අදහස් එක්ක එජාපයට කිට්ටු මුහුණුවරක් තිබුණු අය හිටියා. ඒ අය පවා දැන් අන්දොස් වෙලා ඉන්නෙ. ඉතින් එජාපයටත් බහුතර ආණ්ඩුවක් හදන්න බැහැ. ඒක හොඳ දෙයක්.

ඒ නිසා තමයි 2015 දී වුණත් මහින්ද රාජපක්ෂ ඇතුළු හුඟක් අය බලාපොරොත්තු නොවූ දේශපාලන ප‍්‍රතිඵලයක් ආවේ. දැන් රටේ ඉන්නවා රටේ ඉන්න ප‍්‍රධාන පක්ෂ දෙකට එක් නොවූ දැවැන්ත බලවේගයක්. ඔවුන් තමයි ජනවාරි 08 මෛත‍්‍රීපාල සිරිසේන මහතාව ගෙනාවේ. ඒ අයව තමයි මෛත‍්‍රීපාල සිරිසේන විසින් පාවාදුන්නේ. ඒ බලවේගය තමයි රටේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයකට අවශ්‍ය වෙන්නේ.

දැන් සමාජය තුළ සමාජවාදයක් සඳහා සමාජ විලිරුදාවක් නැහැ. දැන් තියෙන්නෙ ධනපති ප‍්‍රතිසංස්කරණයකින් හෝ තීන්ත ටිකක් ගාලා මේ වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න ක‍්‍රමයක් හොයලා දෙන්න කියන එක. රට වැටිලා තියෙන වලේ හැටියට ඒක පවා නරක දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි 2015 අගෝස්තු ඡුන්ද දෙකෙන් පස්සේ ජවිපෙත්, 2015 බලවේගයත් අතර පාලමක් නිර්මාණය කරගන්නට අපි උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් උගතුන් ඡුන්ද ආසන්නයේ භූමිකාවක් ඉටු කරනවා. පසුගි ය කාලයක් තිස්සේ උගතුන්, කලාකරුවන් ස්වෙච්ඡුාවෙන් දේශපාලන ක‍්‍රියාකාරීත්වයක නිරත වුණා. ඇත්තටම ඒ සිවිල් බලවේගයෙන් සියට අනූපහක්ම ජනාධිපතිවරයාගේ තනතුරු ගත්තේ නැහැනේ. ඉතින්, තනතුරු නොගෙන සමාජය හොඳ පැත්තට හරවාගන්නට උත්සාහ කරන උගතුන් බුද්ධිමතුන් ඉන්නවා.

ඔවුන්ගෙන් දහසක පමණ පිරිසක් සමඟ ජවිපෙට එකඟතාවක් තියෙනවා. ඔවුන් ජවිපෙට එන්නේත් නැහැ. අපි ප‍්‍රතිපත්ති වෙනස් කරගන්නේත් නැහැ. එහෙත් මේ එකතුව ගමේ මිනිස්සුන්ට සම්පේ‍්‍රෂණය වෙලා නැහැ. ඡුන්ද තියෙන්නේ ගමේ. ගමේ අය එකතු වුණොත් තමයි වෙනස කරන්න පුළුවන්. ඉදිරි අවුරුද්දක කාලය තුළදී ඉහළ මට්ටමේ එකට වැඩකරපු මධ්‍යස්ථානය ගමට ගෙනයෑමේ කටයුත්තක නිරත වෙනවා. අපි දකිනවා මේ දේශපාලන මධ්‍යස්ථානයට බලය මාරුකිරීම හැර වෙන දේශපාලන විකල්පයක් රටේ නැති බව. දැන් මිනිස්සු හිතනවා ෂෝට් කට් ගැන. ව්‍යාපාරිකයන් ගැන, සංගක්කාර ගැන මිනිස්සු කතාකරනවා. ඒත් ඒවා හරහා රට ගොඩගන්න බැහැ. දැන් ගෙඩිය පිටින් මේ බලවේගය නොපෙනුණත් ඉදිරි කාලය තුළදී මේක ජනතාව අතරට ගෙනයන්න බලාපොරොත්තු වෙනවා.

අද මාධ්‍ය හරහා ඊළඟ ජනාධිපතිවරණයකට ගැළපෙන තරු සෙවීමේ ව්‍යාපෘතියක ඉන්නවා. තවමත් රටේ ජනතාව අවබෝධ කරගෙන නැහැ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරමුණ. යම් පුද්ගලයෙක් ඇවිත් තමන්ව ගලවාගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා….
තරුවන් සරණයි තමයි චැනල්වල තේමාව. චැනල්වලින් තරු තමයි ගේන්න හදන්නෙ. මහා දැවැන්ත ප‍්‍රාග්ධනයක් යොදවලා දුෂිත මුදල්වලින් දුවන මාධ්‍ය රටට බරපතළ ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. මේවා ඔවුන් හදන දේවල්. පාරම්පරිකව මිනිස්සු හුරුවෙලා තියෙන්නෙත් රජවරු වන්දනා කරන්න. මිනිස්සුන්ගේ තියෙන අවංක අධ්‍යාශයන්ට මාධ්‍යවලින් තරු ඔබ්බවනවා. කොහොම වුණත් තරුවලට කරන්න පුළුවන් දෙයක් නැහැ. ජවිපෙ, ශිෂ්‍ය ව්‍යාපාර වැනි කණ්ඩායම් අඩුපාඩුකම් මැද්දේ වුණත් රටට ශක්තීන් දීලා තියෙනවා. තනි වීරයන් නෙවෙයි, සාමූහික ක‍්‍රියාකාරකම්වලින් රටට දේවල් කළ හැකි බව පෙන්වලා තියෙනවා. ඔබේ පුවත්පත වුණත් තනි වීරයන් වෙනුවට සාමූහික ශක්තිය පෙන්වන උදාහරණයක්. ඒ නිසා සාමූහිකව ඔය ප‍්‍රවාහය අබිබවන්න පුළුවන් බවට විශ්වාසයක් අපට තියෙනවා.

රාජපක්‍ෂ මග යන පොලිසිය

0

 

ඒකාබද්ධ විපක්‍ෂය හා ඔවුන්ගේ අනු ගාමිකයන් කොළඹ දී පැවැත්වූ ජන බල විරෝධතාව සිතූ තරම් සාර්ථක නොවීම වෙන ම කතාවකි.

එහෙත්, ඔවුන්ට කරදරයක් නැතිව කොළඹට අවුත්, කරදරයක් නැතිව කොළඹ මහාමාර්ග අවහිර කරමින්, කරදරයක් නැතිව උද්ඝෝෂණය කර, කරදරයක් නැතිව මහමග වාඩි ලා ගෙන, රැුයක් පහන් කොට නිරුපද්‍රැතව පසුදා ගෙදර යන්නට පුළුවන් තරම් නිදහස් අවකාශයක් රට තුළ ගොඩ නැගී තිබීම පිළිබඳව අප සතුටු විය යුතු ය. එය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිනිසුන් බලාපොරොත්තු වූ තත්ත්වයකි.

පරණ ආණ්ඩුව කාලයේ නම්, මෙලෙස මහමග රාත‍්‍රී වාඩි ලා සිටීම මරණය කැඳවා ගැනිමකි. එක්කෝ අතුරුදහන් විය හැකි නිසා ය. නැතිනම් හතර පැත්තෙන් පොලූ අතැති ව කඩා පනින මැරයන්ගේ ප‍්‍රහාරයකට ලක් විය හැකි නිසා ය.

මෙදා ජන බලයට කොළඹට ආ පිරිස කඩාකප්පල්කාරී ක‍්‍රියාවල යෙදෙනු ඇතැ’යි පූර්වානුමාන කරන්නට තරම් සාධාරණ කිසි ම දෙයක් තිබුණේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සිට ඒ පෙරමුණේ සිටියෝ මහමග සාමකාමී උද්ඝෝෂණවල ඕනෑ තරම් යෙදී මනා පළපුරුද්දක් ලත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ පිරිසකි. කඩාකප්පල්කාරී ක‍්‍රියාවල යෙදීම නිසා ඇති විය හැකි නීතිමය හා දේශපාලනික විපාකයන් ගැන හොඳින් දන්නා ඒ පිරිස, තම අනුගාමිකයන් වුවමනාවෙන් ම එවැනි ක‍්‍රියාවලට පොළඹවනු ඇතැ’යි සිතන්නට ද සාධාරණ ඉඩක් නොතිබිණි. මේ නිසා, සාමකාමී ව කොළඹට ඇවිත්, සාමකාමී ව විරෝධය පා, සාමකාමී ව ඔවුන් විසිර යනු ඇතැ’යි සිතන්නට හොඳටම ඉඩකඩ තිබිණි.

එහෙත්, අපේ පොලිසියට අමුතු නුවණක් පහළවී තිබුණේ ය. ඒ, මේ උද්ඝෝෂකයන් පිරිස, කොළඹට කඩා පැන අවහිර කොට, ආණ්ඩු බලය පැහැර ගනීවි ය කියා ය. ඒකාබද්ධ විපක්‍ෂය මේ උද්ඝෝෂණය පවත්වන්නේ කොළඹ කොතැනදැ’යි අවසන් මොහොත වන තුරුත් නොදැන සිටි පොලිසිය ඇතුළු ඔත්තු අංශවලට, මෙවැනි කඩාකප්පල්කාරී ක‍්‍රියා කරන්නට යන බවට හදිසියේ දැනුම් තේරුම් ඇති වුණේ කොහොම ද යන්න ප‍්‍රශ්නයකි. මේ හේතුවෙන්, එවැනි ක‍්‍රියා විය හැකි බවට අධිකරණයට වාර්තා කොට, කොළඹ අවට ඒ ඒ පොලිස් වසම්වල උද්ඝෝෂණ පැවැත්විය නොහැකි වන සේ තහනම් නියෝග ගැනීමේ ලජ්ජාසහගත වෑයමක පොලිසිය යෙදුණේ ය.

පසුගිය ආණ්ඩු කාලයේ නම්, මෙවැනි ඉල්ලීමක් පොලිසිය කළ විට, හැරෙන තැපෑලෙන් ම ඒ තහනම් නියෝගය නිකුත් කරන්නට සැදී පැහැදී සිටි අධිකරණයක් රටේ තිබුණේ ය. එහෙත්, ඒ ආණ්ඩුවේ ම අන්තිම කාලයේ, පොලිසිය තහනම් නියෝග ඉල්ලන්නට ආ විට, නොදී සිටි සමහර මහේස්ත‍්‍රාත්වරුන් ද සිටි බව ගෞරවයෙන් සඳහන් කළ යුතු ය.

ඒ යහපත් සම්ප‍්‍රදාය ඉදිරියට ගෙන එමින්, මෙදා පොලිසිය කළ ඉල්ලීම් සියල්ල ම ඉවත දමන්නට මහේස්ත‍්‍රාත් අධිකරණ කටයුතු කිරීම වනාහි විශිෂ්ට පැවැත්මකි. එය මහජනතාවගේ රැුස්වීමේ, අදහස් පළ කිරීමේ හා දේශපාලන නිදහසට ගරු කිරීමකි.

පසුගිය කාලයේ පොලිසිය කළේ මේ නීතිමය අවකාශය අවභාවිත කිරීමකි. අහවල් දේ ගැන තොරතුරු ඇතැ’යි කියන විට, පොලිසිය ඉල්ලන නියෝගය දෙනවා මිස, ඒ ගැන දිගින් දිගට හාරා අවුස්සන සම්ප‍්‍රදායක් පෙර අධිකරණවල තිබුණේ නැත. මේ නිසා, ‘කඩාකප්පල්කාරී ක‍්‍රියා, මහජන සාමයට බාධා’ වැනි පොලිසිය විසින් ම ගොතන ලද, ඔවුන් පමණක් ම දන්නා අර්ථ නිරූපණ සහිත වචන මෙහිදී අවභාවිත කෙරිණි.

ප‍්‍රශ්නය ඇත්තේ, අදත් පොලිසිය මෙවැනි තහනම් නියෝග ගන්නට කළ උත්සාහය ගැන ය.

ඒ හරහා පොලිසියත් පොලිස්පතිවරයාත් පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් තවමත් සිතන්නේ රාජපක්‍ෂ පන්නයේ මනසකින් බව ය. ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස කළේ මේ රාජපක්‍ෂ චින්තනයට එරෙහිව ය. අපේ පොලිසිය තවමත් ඒ පරපීඩක චින්තනයෙන් මිදී නැති නම්, වහා ඒ සඳහා පියවර ගැනීම ඔවුන් බාර ව සිටින දේශපාලන අධිකාරින්ගේ වගකීමකි.x