No menu items!
21.8 C
Sri Lanka
28 March,2024

සෙරීනා – ඔසාකා තරඟයෙන් පසු..

Must read

 

 

ගැහැනු රූපය පිරිමි රූපයට වඩා සුන්දරයි. එමෙන්ම ක‍්‍රීඩාව වර්ණවත් වෙන්නේ මිනිස් රූපයේ සුන්දරත්වය නිසාමයි. ක‍්‍රීඩාව තවදුරටත් ක‍්‍රීඩකයන්ගේ කලාවක් නොවී පේ‍්‍රක්ෂකයන්ගේ කලාවක් වෙන්නේ ක‍්‍රීඩාවෙහි මැවෙන සුන්දර හැඩතල රටා නිසායි. ලෝක ඉතිහාසය පුරාවට ක‍්‍රීඩාව කාන්තාවන්ට වඩා පිරිමින්ට අයිති වේදිකාවක්ව තිබුණා. කාන්තාවන් ක‍්‍රීඩාවෙහි යෙදුණත් පිරිමින්ට හැමවිටම කාන්තාවන්ට වඩා ක‍්‍රීඩාවේදී අවස්ථාව ලැබුණා. මේ ඡුායාරූප දෙකේ සිටින නයෝමි ඔසාකා සහ සෙරීනා විලියම්ස් කියන්නේ පරම්පරා දෙකක් නියෝජනය කරන කාන්තා සුන්දරත්වය. එකම ක‍්‍රීඩා විලාසය ඇති ක‍්‍රීඩිකාවන් දෙදෙනෙක්. මේ දෙදෙනා පසුගිය මාසයේදී ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී හමුවුණා. එය ඉතාම තියුණු තරගයක්. තරගය අවසාන වුණත් තරගයෙන් පසු ඇතිවූ සංවාදය එන්න එන්නම තියුණු වෙනවා මිසක් අඩුවක් පෙනෙන්නට නැහැ.

කාන්තාවන්ගේ ක‍්‍රීඩා අතරින් ඉදිරියෙන්ම තිබෙන ක‍්‍රීඩාව තමයි ටෙනිස්. ෆෝබ්ස් ගණනය කිරීම් අනුව 2017 වසරේ ධනවත්ම ක‍්‍රීඩිකාවන් දසදෙනාගේ ලැයිස්තුවට එක්ව සිටින ටෙනිස් ක‍්‍රීඩාවට අයත් නොවන එකම ක‍්‍රීඩිකාව වන්නේ අසමසම මික්ස් මාෂල් ආට් ක‍්‍රීඩිකාව වන රොන්ඩා රවුසි පමණයි. ඒ තරම් ටෙනිස් ක‍්‍රීඩිකාවන් ලෝක ක‍්‍රීඩා වේදිකාවේ බලවතුන්. ඒ බලවතුන් අතරත් ඉහළම බලවත් ක‍්‍රීඩිකාව වන්නේ තනි ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ජයග‍්‍රහණ 23ක් සහ වීනස් සමඟ ද්විත්ව ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ජයග‍්‍රහණ 14ක් ලබා සිටින සෙරීනා විලියම්ස්.
ටෙනිස් ක‍්‍රීඩාවේ දැවැන්තම ක‍්‍රීඩා තරගාවලි හතර ‘ග‍්‍රෑන්ඞ්ස්ලෑම් තරගාවලි’ ලෙස හඳුන්වනවා. ප‍්‍රංශ විවෘත, ඕස්ටෙ‍්‍රලියානු විවෘත, විම්බල්ඞ්න් සහ ඇමෙරිකානු විවෘත යන තරගාවලි හතර තමයි එලෙස හඳුන්වන්නේ. වාර්ෂිකව පවත්වන ටෙනිස් තරගාවලි අතරින් අවසාන ග‍්‍රෑන්ඞ්ස්ලෑම් තරගාවලිය තමයි ඇමෙරිකානු විවෘත තරගාවලිය.

සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වුණ ඇමෙරිකානු විවෘත තරගාවලයේ අවසන් තරගයේදී සෙරීනා විලියම්ස් කේන්ති ගත් බව ලංකාවේ මාධ්‍ය පවා වාර්තා කළා. සෙරීනා විලියම්ස් වැරැද්දක් කොට, එයට විනිසුරුවන් දඬුවම් කිරීමෙන් පසුව සෙරීනා විලියම්ස් කේන්ති ගත් බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒත් කතාව ඊට වඩා පුළුල් එකක්. දීර්ඝ එකක්. මේ වෙද්දී සෙරීනා විලියම්ස්ට අසාධාරණයක් වුණ බවත්, එය ඇය කාන්තාවක් නිසාම සිද්ධවුණ අසාධාරණයක් බවත් පුළුල් සංවාදයක් ටෙනිස් ක‍්‍රීඩා රසිකයන් අතර ඇතිවෙලා තිබෙනවා.

සෙරීනාගේ කේන්තිය
සිදුවීම වුණේ මෙහෙමයි. සෙරීනා ක‍්‍රීඩා තරගයේ ක‍්‍රීඩා කරන අතරේදී විනිසුරුවරයා සෙරීනාට අවවාද කරනවා ඇගේ පුහුණුකරු ඇයට උපදෙස් දීම වැරදි බවට. ටෙනිස් ක‍්‍රීඩාවේ නීතිරීති අනුව එය තහනම් කාරණයක්. වෙනත් ක‍්‍රීඩාවල පුහුණුකරුවන් විසින් ක‍්‍රීඩා තරගය මැද උපදෙස් ලබාදෙනවා. එහෙත් ටෙනිස් ක‍්‍රීඩාවේදි එය තහනම්. එය මඳක් අමුතු නීතියක්.

කැමරාවට පැහැදිලිව හසුවූ තිබුණු අන්දමට ඇගේ පුහුණුකරු තරගය මැද්දේ අයට විවිධ සංඥා ලබා දී තිබුණා. එහෙත් තරගය නිරීක්ෂණය කළ බොහෝ අය කියා තිබුණේ ඔහු සංඥා කරන අයුරු සෙරීනා දැක නොතිබුණු බව. ඇයට පුහුණුකරුව පැහැදිලිව පෙනෙන්නේ නැහැ. පුහුණුකරු ඉන්නේ පේ‍්‍රක්ෂකාගාරයේ. ඒ නිසා විනිසුරු ඇයට උපදෙස් දුන් මොහොතේ විනිසුරුවරයාගෙන් ඇය විමසන්නේ තමා වංචා නොකළ බව. විනිසුරුවරයා ඇගේ ප‍්‍රකාශය නොතකා ඇයට අවවාදය නිකුත් කරනවා. ඉන්පසුව ඇය ඉන්නේ කේන්තියෙන්. තරගයේ ඇයට එරෙහිව අතිදක්ෂ ඔසාකාගෙන් ප‍්‍රහාර එල්ලවෙද්දී ඇය තමන්ගේ ටෙනිස් පිත්ත පොළොවේ ගසනවා. ඉන්පසුව සෙරීනාට විරුද්ධව ගේම් පොයින්ට් එකක් විනිසුරුවරයා ලබාදෙනවා. මෙය ටෙනිස්වලදී විශාල ගැටලූ‍වක්. පාපන්දු ක‍්‍රීඩාවේ පැනල්ටියක් වගෙයි.

කොහොම වුණත් ඒ ගැන සෙරීනා විලියම්ස් කෝප වෙනවා. ‘ඔබ මගේ ලකුණු හොරකම් කළා.’ ඇය විනිසුරුවරයාට ඇඟිල්ල දිගු කරමින් කියනවා. ඇය කිහිප වතාවක්ම විනිසුරුවරයාට කේන්තියෙන් කතාකරනවා. මෙය ක‍්‍රීඩාවේදී නිතර දකින්න ලැබෙන කාරණයක්. රග්බි, ඇමෙරිකන් පාපන්දු, බාස්කට්බෝල්, බේස්බෝල් වැනි ක‍්‍රීඩාවක මේ තත්වය ඉතා බරපතළයි. විනිසුරුවරුන් සමඟ මීට වඩා තදබල ලෙස හැප්පෙන්නට අවස්ථාව එවැනි ක‍්‍රීඩාවල තිබෙනවා. බොහෝ ක‍්‍රීඩකයන් මේ සිදුවීමෙන් පසුව ඒ බව කියා තිබුණා. පුහුණුකරුවන්ගෙන් හස්ත සංඥා ලැබීමත් බොහෝවිට ටෙනිස් ක‍්‍රීඩකයන් විසින් ප‍්‍රායෝගිකව කරන කාරණයක් බව කියනවා.

සෙරීනාට දඩුවම් කිරීම ඇතැම්විට නිවැරදි විය හැකියි. එසේනම් පිරිමි ක‍්‍රීඩකයන්ටත් එලෙස දඩුවම් කළ යුතුයි. කොහොම වෙතත් ක‍්‍රීඩාවේදී පිත්ත පොළොවේ ගැසීම, ආවේගය, කේන්තිය සාමාන්‍ය දේවල්. ඒවා ක‍්‍රීඩාවේදී දකින්න ලැබීම සාමාන්‍ය දෙයක්. එමෙන්ම එවැනි අවස්ථා ක‍්‍රීඩාව වර්ණවත් කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ක‍්‍රීඩාව තියෙන්නේ ජයග‍්‍රහණය වෙනුවෙන්. ජයග‍්‍රහණය අහිමිවෙන ක‍්‍රීඩකයෙකුගේ පීඩනය නීතිවලින් වැළැක්විය යුතුද යන්න ප‍්‍රශ්නයක්. සෙරීනාගේ සිදුවීම්වලින් පසුව ඒ පිළිබඳවත් සාකච්ඡා වෙනවා.

කලිනුත් කී සේම ක‍්‍රීඩාව කියන්නේ තවදුරටත් යම් පිරිසක් ශරීර සුවතාව හෝ විනෝදය පිණිස ක‍්‍රීඩා කිරීම පිළිබඳ කතාවක් නොවෙයි. එය රූපමය සුන්දරත්වයක් පිළිබඳ කතාවක්. ක‍්‍රීඩාව කියන්නේත් පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් දැවැන්ත වියදමක් දරා සිදු කරන රංගයක්. ක‍්‍රීඩාවෙන් මැවෙන සුන්දරත්වය තියෙන්නේ රූපයේයි. වඩාත් සුන්දර රූපය මැවීම ක‍්‍රීඩාවෙහි අරමුණයි. ඉතින්, ක‍්‍රීඩිකාවන් විසින් මැවෙන සුන්දරත්වය අසමසමයි. මිනිස් සිරුරෙහි පමණක් නෙවෙයි, ඔවුන්ගේ මුහුණුවල මැවෙන වේදනාව, අපේක්ෂාව, අපේක්ෂා භංගත්වය, කේන්තිය ඇතුළු සියල්ල ක‍්‍රීඩාවේදී සාමාන්‍ය දේවල්. සෙරීනාගේ කේන්තිය යනු ක‍්‍රීඩාවේ සාමාන්‍ය ප‍්‍රතිඵලයක්. එය සාමාන්‍ය දෙයක්. ඕනෑතරම් ක‍්‍රීඩා තරග මැද්දේ ජනප‍්‍රිය ටෙනිස් ක‍්‍රීඩකයන් කේන්ති ගන්නා අවස්ථා දැකිය හැකියි. ක‍්‍රීඩාශිලීත්වය විසින්ම ආවේගයද මැවීම සාමාන්‍ය කාරණයක්. ඒ නිසා සෙරීනාගේ කේන්තිය ක‍්‍රීඩා රසිකයන් ඉතා සාමාන්‍ය කාරණයක් ලෙස බාරගන්නවා.

මේ සංවාදය මේ තනි සිදුවීම පිළිබඳ සංවාදයක් නොවෙයි. ටෙනිස් ක‍්‍රීඩාවේ කාලයක පටන් පැමිණෙන සංවාදයක කොටසක්. සෙරීනා පවසන ආකාරයට ඇය ඇතුළු ටෙනිස් ක‍්‍රීඩිකාවන් මුහුණදුන් අසාධාරණයන් රැුසක් පිළිබඳ වේදනාව පිට කිරීමක්.

සෙරීනා විලියම්ස් නැවත ක‍්‍රීඩා පිටියට ආවේ ඇගේ දරුවාට උත්පත්තිය ලබාදීමෙන් පසුව. දරු උපතෙන් පසුව ඇගේ සිරුරේ උණුසුම රඳවාගන්නට ඇය තරග කිහිපයකට සහභාගී වි තිබුණේ මුළු සිරුරම වැසෙන, සිරුරට ඇලූණු කළුපැහැ ක‍්‍රීඩා ඇඳුමකින්. ඒ ඇඳුමද නීති උල්ලංඝනය කළ එකක් බව පවසමින් ක‍්‍රීඩිකාවන් ඇඳිය යුතු ඇඳුම් පිළිබඳව විනිසුරුවරුන් බලපෑම් කර තිබුණා. එමෙන්ම ක‍්‍රීඩිකාවක් පිටියට එද්දී හැඳ සිටි ඇඳුමක තිබුණු අඩුපාඩුවක් සැකසීම නිසා ඇයට දඬුවම් කරනු ලැබුවා. ඒ ඇය ඇඳුම් පිළිබඳ නීති උල්ලංඝනය කළ බව කියමින්. එහෙත් ඇයට දඬුවම් කිරීමේ සිදුවීම සමඟ මාධ්‍ය වාර්තා කර තිබුණේ ඒ දිනවලම ජනප‍්‍රිය පිරිමි ක‍්‍රීඩක නොවැක් ජේකොවික් උඩුකය නිරුවත්ව තරගය අතරතුර විවේකයේදී සිටියත් ඒවා සම්බන්ධයෙන් නීති ක‍්‍රියාත්මක නොවූ බව.

නයෝමි ඔසාකා
මේ සියලූ‍ සංවාද මැද්දේ ඇමෙරිකානු විවෘත තරගාවලිය ජයගත් නයෝමි ඔසාකාගේ කතාව මඟහැරෙනවා. ඇයට ඒ වේදිකාවේදී මුහුණදෙන්නට සිදුවුණේ අමිහිරි අත්දැකීමකට. ඇය ලෝකයේ දැවැන්තම ක‍්‍රීඩා තරගාවලියක්, සෙරීනා විලියම්ස් පරාජය කිරීමෙන් පසුව ජයගන්නවා. එහෙත් ඇය පසුව සාකච්ඡාවලදී කියන්නේ ඇගේ ක‍්‍රීඩා ජීවිතයේ ඉහළම අවස්ථාව වන එය ඇගේ ජීවිතයේ සුන්දරම මතකය නොවන බවයි.

‘‘ඒ අත්දැකීම මතක් කරද්දී මට සතුටක් දැනෙන්නේ නැහැ. ජීවිතයේ සුන්දරම අවස්ථාවක් බව දැනෙන්නේ නැහැ. මට තේරුණේ නැහැ පේ‍්‍රක්ෂකාගාරය විරෝධය දක්වන්නේ මටද කියලා. මුළු පේ‍්‍රක්ෂකාගාරයම විරෝධය පළකරන්න ගත්තා. කෑගහන්න ගත්තා. ඒත් සෙරීනා මට සහතික කළා මේ විරෝධය මට නොවෙන බව. ඇය මාව සැනසුවා.’’ නයෝමි ඔසාකා පසුව කියා තිබුණා.

සෙරීනාගේ අමිහිරි අත්දැකීම විසින් ඔසාකාගේ දැවැන්ත ජයග‍්‍රහණය පිළිබඳ සාකච්ඡුාව යටපත් කරනු ලැබුවා. ඇය ජපානයෙන් බිහිවූ පළමු ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ජයග‍්‍රාහිකාව. ඔසාකාගේ ක‍්‍රීඩා විලාසය මඳක් ආක‍්‍රමණශීලියි. ඇගේ පන්දුව පිරිනැමීම ඉතාම වේගවත්. ඒ නිසාම මාරියා ෂරාපෝවා, සෙරීනා විලියම්ස් ඇතුළු මඳක් වියපත් දැවැන්ත ක‍්‍රීඩිකාවන් පරාජය කරන්නට ඇය සමත් වෙනවා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයේ සිටින ඇය වයස අවුරුදු විස්සක තරුණියක්. ඇය ඇත්තෙන්ම ක‍්‍රීඩා විචාරකයන්ගේ අවධානයට යොමුවෙන්නේ අවුරුදු 19ක් වෙද්දී. වඩා ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාසයක් ඇති, දෙපැත්තෙන්ම ජයග‍්‍රාහී ප‍්‍රහාර එල්ල කළ හැකි මේ ප‍්‍රහාරාත්මක බේස්ලයිනර් වර්ගයේ ක‍්‍රීඩිකාව ගැන සාකච්ඡුා වෙනවා. ඇත්තෙන්ම සෙරීනා විලියම්ස් කියන්නේත් ආක‍්‍රමණශීලි බේස්ලයිනර් කෙනෙක්. පැයට කිලෝමීටර් 147ක පමණ වේගවත් ප‍්‍රහාරයක් එල්ලකිරීමේ හැකියාවක් නයෝමිට තිබෙනවා.

සෙරීනා විලියම්ස් තමන්ගේ මුල්ම ජයග‍්‍රහණ කිහිපය ඒ වෙද්දී පළමු 10දෙනා අතර සිටින ක‍්‍රීඩිකාවන් ඉදිරියේදී ලබන්නේ නයෝමි ඔසාකා ඉපදී සති කිහිපයකට පසුව. 1997 අවුරුද්දේ. ඔසාකාගේ ක‍්‍රීඩා ලොව වීරවරිය මෙන්ම ඇගේ ක‍්‍රීඩා ශෛලිය හැඩගැසෙන්නේද සෙරීනා විලියම්ස් ආදර්ශයට ගනිමින්. 2016 ඔස්ටේ‍්‍රලියන් ඕපන් තරගාවලියේදි ඔසාකා ගැන සෙරීනා මෙසේ කියනවා. ‘මම දැක්කා ඇය සෙල්ලම් කරනවා. ඇය ඉතාම තරුණයි. ඉතාම ආක‍්‍රමණශීලීයි. ඇය විශිෂ්ටයි. භයානකයි.’

විනිසුරු සම්බන්ධ සිදුවීම් කෙලෙස සිදුවුණත් ඔසාකා කෙතරම් භයානකද යන්න අවසන් තරගයේදී පැහැදිලිවම දැකගත හැකි වුණා. ඒ තරගය 2018 වසරේ සුන්දරම ක‍්‍රීඩා තරගයක් බවට පත්වූවා පමණක් නොවෙයි, ක‍්‍රීඩාව පිළිබඳ සංවාදය පුළුල් කරන්නක් බවටත් පත්වුණාග

අනුරංග ජයසිංහ

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි