No menu items!
21.7 C
Sri Lanka
23 July,2025
Home Blog Page 285

වඩා බලවත් කොරෝනා ද? දෙවියෝ ද? – නීල් ක්‍රිස්ටෝෆර්

0

අදෘෂ්‍යමාන කොරෝනාවෝ සිය බලය පතුරුවමින් සිටිති. ‘අදෘෂ්‍යමාන සර්වබලධරී දෙවියෝ කැර කියා ගන්නට දෙයක් නැති ව මුව-නාස් වැස්මක් පැළැඳ- ගෙන සැඟවී සිටිති!’ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි යැ’යි කියා පාරම් බෑ මානසික වහල්ලු ද උන්ගේ දෙවියන් ම අනුගමනය කරමින් මුව-නාස් වැස්මක් පැළැඳ බියෙන් සිටිති. මහා බලවත් ආශ්චර්යයක් සැඟවී තිබිණැ’යි කී දෙව්මැඳුරු, පල්ලි, කෝවිල්, පන්සල් වැසී ගොසිනි. බැතිමත්හු ද සැදෑවත්හු ද ඒවායින් පිටමංකැර සිටිති. දෙවියන් ද, පූජකයන් ද කොරෝනාවට බිය බව දකින්නට උන්ට ඇස් නැත. ආගමික විශ්වාසයෙන් අන්ධ වී ඇති නිසා ය. ඔවුහු ‘ඔබ මැ යි, අප සරණේ’ කියා නැති දෙවියකු රවටා, තමන් ද රවටා-ගෙන ජීවත් වන ආගමික වහලුන් බව මරණ බියෙන් අමතක කැර වෛද්‍යවරුන් සරණේ යති. මේ කවර නම් විකට නළුවක් ද?

බෝ ගසක වුවත් දිලීරයක් හට ගතහොත් දිලීර නාශක යෙදීම විනා  එගස යට සිට බෝධි පූජා පැවැත්වීමෙන් කවර පලක් ද? අවිද්‍යාව සුන් කරන්නට සිය දිවිය කැප කළ බුදුන්ටත් නිගා දෙමින් මේ ඊනියා බුද්ධ පුත්‍රයන් අපරාධකාරී දේශපාලඥයන්ගේ අනුග්‍රහය ලබමින් කරන්නේ කුමක් ද? එක්කෝ වෛරස් නාශක එන්නතක් නිපදවන්නට පන්සල්, පල්ලිවල නිදන්ගත ප්‍රාග්ධනය වෛද්‍ය විද්‍යාඥයන්ට ලබා දිය යුතු ය. නැති නම් තම දෙවි දේවතාවන්ට යාඥා කරමින් ‘කොරෝනාවත් පොරක් ද අපේ දෙවියාම තමා පොර’ කියා මුව-නාස් වැසුම් ගලවා සිටිය යුතු ය.

විද්‍යුත් මාධ්‍යවල සංදර්ශන දැක්වූ ජ්‍යෝතිෂවේදීහු දැන් කොහි ද? කොරෝනා මාරයා එන බව කියා ඌ නොආවා නම් ජනතාව බිය වැද්දූ වරදට ගෝඨාභය රාජපක්ෂට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කොට – එයට කළින් හරි ‘හරි’ අනාවැකිය පළ කළ එවුන් පත් කොට – එහි වාර්තාවේ නිගමන අනුව අධිකරණ ක්‍රියා මාර්ගයකට යන්නට තිබිණි!

ඉන්දියාවේ තිරුමලර් කෝවිලට ගොස් ලංකාවේ අනාගතය නොබැලූ වරදට සජිත්, රනිල්, සිරිසේන සහ මහින්ද යන සිව්බෑයන්ටත් මෙයින් බේරෙන්නට බැරි බව ගෝඨාභය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු ය. පිරිසිදු සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් බල ලෝභය සඳහා ඕනෑම දෙවියකු වැඳ නමස්කාර කළ ඔවුන්ට තිරුමලර් කෝවිලේ අග්‍ර පූසාරිතුමන් ලංකාවේ අනාගත අපලය ගැන කිසිවක් නො කීහ’යි පිළිගත හැකි ද? ඉන්දියාවට කොරෝනා එන බවවත් නොදත් එකා මේ රට ගැන කියන්නේ කොහොම ද? පුවත් පත්වල දැන්වීම් දමන කල්ලු , මලයාලම් මන්ත්‍ර දන්නා එක මන්ත්‍රකාරයෙක් වත් නොසිටියේ ද?

කාරණය එය මැ පමණක් නො වේ. බෝ වන රෝගාදිය සුව කරන සාන්තුවරයා ලෙස කතෝලිකයන් සලකන්නේ සෙබස්තියන් මුනිවරයා යි. එතුමන්ගේ ශ්‍රී දේහය මිහිදන් කැර ඇතැ’යි විශ්වාස කරන ඉතාලියට කොරෝනාවෝ මාරාවේශයෙන් ප්‍රවේශ වූහ! සියලු රෝග නිවාරණය කරන ශුද්ධ ජලය තිබෙනවා යැ යි අදහන ලූර්දු ගුහාශ්‍රීත ජලය තිබියදීත් ප්‍රංශයට ද කොරෝනාවෝ ඇතුළු වූහ. ඇතැම් විට ඒ ජලය ගුවන් යානා මගින් පළමු ව ප්‍රංශ භූමිය මත ද ඊළඟට මානුෂීක මෙහෙයුමක් හෝ අන්තර් ජාතික සත්කාරයක් ලෙස සළකා සියලු  රාජ්‍යයන් මත ඉසින ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත සන්දේශයක් ඉදිරිපත් කළ හැකි ය. එයට ශ්‍රී ලංකාව මුල පුරතොත් ලංකාව ගැන ජිනීවා වාර්තා හමස් පෙට්ටියට යනු ඇත! සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකමක් ලෙස සැලැකෙන හෙයින් මුළු ලෝකවාසීන්ගේ ම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලෝක පූජිත වනු ඇත! එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා අස්වී ඉක්බිති ඒ තනතුරට තෝරා ගැනීමට පැවැත්වෙන ඡන්දයේ දී ගෝලීය ඒකඡන්දයෙන් ශ්‍රී ලංකාවට එම තනතුර ලැබෙනු ඇත! එ විට මානව හිමිකම් වැඩියෙන් ම කඩ කළ එකා තෝරා, අපට එම තනතුරට නම් කළ හැකි ය. එවිට ‘මානව හිමිකම්’ යන අපභ්‍රංස, අශෝභන යෙදුම ශබ්ද කෝෂවලින් ඉවත් වී ‘අමානව අයිතිවාසිකම්’ යන්න ඒවාට එකතු වනු ඇත.

මනුෂ්‍ය බුද්ධියෙහි මහිමය සියලු  පුරවැසියන්ගේ සිතට කාවද්දන අධ්‍යාපන ක්‍රමයක් නැති, දේව බලය, බුද්ධ බලය, බුද්ධානුභාවය වැනි පරම මිත්‍යාවන් අහිංසක දරුවන්ගේ ඔළු ගෙඩිවලට කිඳා බස්වන අධ්‍යාපන ක්‍රමයක් ඇති, ආගම්වල පරම සාරය ඉවත ලා, පාලකයන් සමග නිර්ලජ්ජිත සමාගමයෙක යෙදෙන පූජ්‍ය-පූජක පරපෝෂිතයන් ඇති ඕනෑම ප්‍රජාවකට අත් වන්නේ ඉහත සඳහන් විකට නාටකයේ නළුවන් වන්නට යි.

‘මිනිසා තමා වටා නොකැරැකෙන තාක් ආගම මිනිසා වටා කැරැකෙයි’ කියා මාර්ක්ස් කියා ඇත. එයට පොඩිත්තක් එකතු කළ යුතු ය. මිනිසා තමා වටා නොකැරැකෙන තාක් ආගම මිනිසා වටා කැරැකෙමින් ඔහුගේ මනැස කරකවමින්, අඹරවමින්, මිරිකමින් සිටී. බුද්ධිය බෙලහීන කරමින් සිටී.

දැන්, කොරෝනා වෛරසය මුළු මහත් මනුෂ්‍ය සංහතියට ම අභියෝග කැර ඇත. ඊට මුහුණ දෙන සැටි ඔවුන්ට උගන්වන්නෝ පූජකයෝ ද? විද්‍යාඥයෝ ද? දෙවියන් නම් ස්වර්ග රාජ්‍යය සඳහා මුව-නාස් වැසුම් ඇණැවුම් කරමින් ද, වෛරස් නාශක එන්නතක් විද්‍යාඥයන් සොයාගන්නා තෙක් තැති ගනිමින් ද, සැඟැවී සිටින බව සැළ යි!

නිරෝධායන නීතියෙන් දේශපාලන පළිගැනීම

0

රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග, නිරෝධායන නීති ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වෙහෙසක් ගන්නට පොලිසියට සිදු වී තිබේ. මුඛ ආවරණ නොපැළඳීමත්, සමාජ දූරස්ථභාවය නොපැවැත්වීමත් කියන චෝදනා මත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම් ගැන හැමදා ම පුවත්පත්වල සංඛ්‍යා ලේඛන පළ වේ.

නිරෝධායන නීතිවලට මිනිසුන් අනුගත වීම අත්‍යවශ්‍යය. නොවුණහොත්, රටේ බරපතළ මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් උද්ගත විය හැකි නිසා ය. දිගු කලකට පෙර වුව ද, නිරෝධායන නීති පනවා තිබෙන්නේ ම ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ අරමුණෙනි. එහෙත්, ඒ උතුම් අර්ථයෙන් යුතු නිරෝධායන නීති පවා, ආණ්ඩුව පාවිච්චි කරන ආකාරයෙන්, මහජන සෞඛ්‍යයටත් වඩා අරමුණු ආණ්ඩුවට තිබෙන බව පැහැදිළි වෙයි.

එකක්, නීතිය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. පසුගිය දිනවල දැනගන්නට ලැබුණේ මුඛ ආවරණ නොපැළඳීම, එකිනෙකා අතර නියමිත දුර නොතබා ගැනීම යනාදිය නිසා දහස් ගණන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා ඇති බවයි. එය දඬුවම් ලැබිය යුතු නීතියක් හැටියට පොලිසිය ක්‍රියාත්මක කරනවා නම්, අත්අඩංගුවට ගත යුතු ව තිබුණු එක් පුද්ගලයකු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ය. මැයි 19 වැනි දා පැවැති රණවිරු සැමරුම් උළෙලට ජනාධිපතිවරයා සහභාගි වුණේ මුඛ ආවරණ නැතිව ය. ඒ උත්සවයේ දී දූරස්ථතාව කොතරම් කඩ විණිදැයි රූපවාහිනී දර්ශන බලා සිටි ඕනෑ ම කෙනකුට වැටහෙන්නට ඇත. නීතිගරුක රටක් හදන්නට පත්වුණු ජනාධිපතිවරයා, ආදර්ශයෙන් පෙන්වන්නේ මුඛාවරණ නොපැළඳ මහජන උත්සවයකට සහභාගි වීම නම්, රටේ සාමාන්‍ය මිනිසුන් මුඛාවරණ නොපැළඳ සිටීම නිසා පොලිසියේ අත්අඩංගුවට පත් විය යුත්තේ ඇයි?

රාජ්‍ය නායකයෝ වැරදි නොකරති’යි නීතියේ ආප්තයක් තිබේ. වරෙක හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කීවේ, හෙල්පින් හම්බන්තොට නඩුවේ දී මහින්ද රාජපක්‍ෂ තමන් මුදා හැරියේ ‘අගමැතිවරයා වැරදි නොකරයි’ කියන ආප්තය ද උදව් කර ගෙන බව ය. කෙසේ වෙතත්, රාජ්‍ය නායකයා හෝ නායිකාව නීතිමය වරදක් කළත් නොකළත්, ඔහුගෙන් හෝ ඇයගෙන් මෙන් ම ඔහුට හෝ ඇයට ද, රෝගයක් බෝවීමට තිබෙන ඉඩකඩ නැති නොවේ. කොරෝනා ආසාදිතයන් අතර රාජ්‍ය නායකයන් ද සිටි බව අමතක නොකළ යුතු ය. බ්‍රිතාන්‍ය අගමැති බේරුණේ පරලොවට අඩියක් තබා නැවත ගැනීමෙනි. ඔහුගේ බිරියත්, කැනඩා අගමැති බිරියත් ආසාදිතයන්ගේ ලැයිස්තුවේ සිටිති. මොනාකෝ ඔටුන්න හිමි කුමරු, ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ඇතුළු ඒ ලැයිස්තුව බොහෝ දිග ය. මියගියවුන් අතර ද පාලක රජ පෙළපත් සාමාජිකයෝ වෙති.

අනෙක් අතට ලෝකයේ ශිෂ්ට රටවල නායකයන් නිරෝධායන නීති ආරක්‍ෂා කළ යුතු බව ජනතාවට පෙන්නුවේ තමන්ගේ ම ආදර්ශයෙනි. නිරෝධායන නීති නිසා නෙදර්ලන්ත අගමැතිවරයාට, තම මවගේ අවමඟුලට පවා සහභාගි වීමට නොහැකි වූ බව මේ සතියේ මාධ්‍ය වාර්තා කෙළේ ය. නවසීලන්ත සෞඛ්‍ය ඇමතිවරයා නිරෝධායන නීති කැඩූ නිසා ධුරයෙන් පහත හෙළිණ. නෙදර්ලන්තයේ ඇමතිවරියකට, නිරෝධායන නීති කඩ කිරීම නිසා ධුරය අත හරින්නට සිදු විය. අපේ රටේ නිරෝධායන නීති පවා ක්‍රියාත්මක කෙරන්නේ ඒ ඒ අයගේ හැටියට ය. බලවතා රැකෙන අතර දුබලයාට හිමි, නීතියට යටත් වීම ය.

අනෙක් අවලස්සන පැත්ත නම්, විපක්‍ෂ ක්‍රියාකාරීන් මර්දනයත් නිරෝධායන නීති යොදා ගැනීමයි. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සමග ආණ්ඩුවට තිබෙන දේශපාලන විරසකය නිසා, එලව එලවා ඔහුත්, ඔහුගේ දියණියත් ඉලක්ක කොට නිරෝධායන නීතිවලින් පහර දීමේ දුෂ්ට ක්‍රියාන්විතයක් දැන් පැවැත්වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැවැත්වූ සාකච්ඡාවකට ද නිරෝධායන නීතිය යොදා ගෙන අවහිර කරන ලදි. හිටපු ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තිබුණු උද්ඝෝෂණයකට ද දැන් අත්වී ඇත්තේ නිරෝධායන නීතිවලින් පහර කෑමේ ඉලක්කය වන්නට ය. එහෙත් වසංගතය ඉහළම තිබුණු මොහොතක ප්‍රසිද්ධ උත්සවයක් පැවැත්වූ සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද හමුදාපති ඇතුළු පිරිසට සැලකුණේ වෙනත් විදියකට ය.

එක, නිරෝධායන නීති කඩ කිරීමට කිසිවකුට අයිතියක් හෝ බලයක් හෝ නැත. කිසිවෙක් ඒවා කඩ කරයි නම් ඔවුන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. හැබැයි, නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හැම දෙනාට ම සමානව ය. ඉහළ තනතුරු දරන්නන්ට එක විදියකටත්, සාමාන්‍ය මිනිසුන්ට තව විදියකටත් නොවේ. ඒ වාගේ ම විරුද්ධ අදහස් දරන්නන් මර්දනය කිරීමට නිරෝධායන නීති වැනි නීති පවා යොදා ගන්නේ නම්, අනාගතයේ යොදා නොගනු ඇත්තේ මොනවා ද?

සීඑස්එන්-ආණ්ඩු සමථය

0

සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව සීඑස්එන් ආයතනය පවරා තිබූ නඩුව සමථයකට පත්කරගෙන තිබේ.

ඒ ඒ පිළිබඳව අභියාචනාධිකරණයේ පැවති රිට් පෙත්සම් නඩුවේදීය. ඒ අනුව සීඑස්එන් ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙනුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබූ ලිපිය එම අමාත්‍යාංශය ඉල්ලා අස්කරගෙන තිබේ.

ඊට අමතරව සීඑස්එන් ආයතනයේ විකාශයන් නවතා දමන මොහොතේ එම ආයතනයට ලබාදී තිබූ සංඛ්‍යාතද ඔවුන්ට ලැබෙනු ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය, එම අමාත්‍යාංශ ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසම හා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය.

නව ආණ්ඩුවේ එකී තනතුරු දරන්නන්ට මෙම නඩුව සම්බන්ධයෙන් සමථයකට පත්වීමටත්, සීඑස්එන් ආයතනය ඉල්ලූ සහන ලබාදීමටත් බැරිවන්නට හේතුවක් නැත. මන්ද වත්මන් ආණ්ඩුව යනු සීඑස්එන් නාලිකාවේ හිමිකරුවන්ගේ බාප්පොච්චි හා අප්පොච්චි කරන ආණ්ඩුවක් වන නිසාය.

සීඑස්එන් ආයතනය සිය බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව පැවරූ නඩුවට අමතරව සීඑස්එන් ආයතනයට එරෙහිව කරනු ලැබූ පරීක්ෂණ හා පැවරූ නඩුද තිබුණි. ඒ මුදල් විශුද්ධිකරණය, රාජ්‍ය දේපළ අවභාවිතය ආදි කරුණු සම්බන්ධයෙන්ය.

අප පුදුමයකට පත්විය යුත්තේ එම පරීක්ෂණ හා නඩු සමථයකට පත් නොවුණහොත් පමණය.

පළාත් පාලන අපේක්ෂකයන්ට කොමිසමෙන් පියවර නෑ

මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් තනතුරුවල බලය අවභාවිත කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක ප්‍රධානියෙක් නිර්නාමිකව සිටිනු කැමතිව අනිද්දා සමඟ පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වැනි ව්‍යවස්ථාව අනුව මෙවැනි ක්‍රියාවලට එරෙහිව විධානයක් නිකුත් කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිෂන් සභාවට තිබෙන බවය. එහෙත් එලෙස විධාන නිකුත් නොකිරීම නිසා පළාත් පාලන නියෝජිතයන් නීතිය නොතකා කටයුතු කරන බවද ඔහු කීය. ශ්‍රී ජයවර්ධනපුර, වැලිගම, මොරටුව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක මෙම තත්වය ඇතැයි එම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නායකයා පැවසීය. සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ සහකාර කොමසාරිස්වරුන් සිටින නිසා කොමිසමට අවශ්‍ය නම් මේ ගැන දැඩිව ක්‍රියාත්මක විය හැකි බව ඔහු කීය.

මහකොමසාරිස් නැතිව සීෂෙල්ස් ලාංකිකයෝ අමාරුවේ

සීෂෙල්ස් රාජ්‍යයට මහකොමසරිස්වරිස්වරයෙකු පත් කර නොමැති තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන් දැඩි අපහසුතාවකට පත්වී ඇති බව අනිද්දාට අදහස් දක්වමින් එහි සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පැවසූහ.

ඔවුන් පවසන්නේ මහකොමසාරිස්වරයෙකු නොමැති තත්වය තුළ එම කාර්යාලයේ සිටින ලේකම්වරියක රාජකාරි ආවරණය කරන බවත්, ඇය ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව නිසි පරිදි සොයාබැලීමක් නොකරන බවත්ය. එමෙන්ම දැනට ශ්‍රී ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට්පත් පවා වෙන් කරගෙන සිටින පිරිස සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දී නැති බවද ඔහු කීය.

ඒ පිළිබඳව විමසීමේදී එම තනතුර මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩු සහිතව පවතින බවත් ලංකාවට පැමිණීමට සිටින විදේශිකයන් පිළිබඳව තමා සතුව දත්ත නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය අනිද්දාට පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු සීෂෙල්ස් රාජ්‍යයේ සිටි මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට කැඳවූ අතර ඒ සඳහා වෙනත් පුද්ගලයෙකු මාස පහක කාලයක් ඉකුත් වීත් තවම පත්කර නැත.

විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය මැදිහත් විය යුතුයි : වෘත්තීය සමිති 20ක් කියයි

0

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව වෘත්තීය සමිති 20ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

කුවේට්හි පමණක් 19000 කට අධික පිරිසක් තමන්ගේ වීසා අවසන් වී සිටින බවත්, මෙම ශ්‍රමිකයන් වසංගත තත්වය තුළ මේ වන විට අඩු පහසුකම් යටතේ බරපතළ පීඩාවට ලක්ව සිටින බවත් එම නිවේදනයෙහි සඳහන්ය. එම රටවල් තම රටේ රැඳී සිටින විදේශිකයන්ට සහන කාලයක් ලබා දී ඇති අතර එම සහන කාලය අවසන්වීමට පෙර ඔවුන් ගෙන්වා ගැනීම රජයේ වගකීමක් වන බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ. මේ සඳහා රාජ්‍ය අංශයේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති විවිධ ක්ෂේත්‍රවල ප්‍රබල වෘත්තීය සමිති 20ක් අත්සන් තබා තිබේ.

හංසි මානවඩු

කෝවිද රමණ – උදන් ප්‍රනාන්දු

0
TOPSHOT - An elderly couple wearing face masks sits on a bench in Seville on May 7, 2020, as the country prepares to ease its tough lockdown measures. - Spain's parliament voted to extend the country's state of emergency, allowing stringent coronavirus lockdown measures to remain in place for at least two more weeks. (Photo by CRISTINA QUICLER / AFP) (Photo by CRISTINA QUICLER/AFP via Getty Images)

මාගේ යෙහෙළියකට ලොක්ඩවුන් සමයේ මහා ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදු විය. කොහේවත් යන්නට නොහැක්කෙන් ඈ කුටුම්බයට ම කොටු වී සිටියා තම සැමියා සමග ය. මෙම යුවළ වසර අටක් පමණ කාලයක් විවාහ වී සිටි අතර මහා පෙමකින් ඇලී ගැලී නොසිටිය ද රණ්ඩු සරුවල් නොවී සතුටුදායක මට්ටමක සාමයකින් කල් ගෙවූ හ.  අඹු-සැමි දෙපළ ම රැකියා කළ අතර බොහෝ විට රෑ බෝවන තුරු තම තමන්ගේ රාජකාරි වැඩවල ම නිරත වූ හ. එම නිසා ඔවුහු එකිනෙකා හරියට මුණගැසුණෝ සති අන්තයේ ය. එහෙත් ලොක්ඩවුනයේ දෙදෙනා ම පැය විසි හතර ම සිටියේ එක ම වහලක් යට කුඩා අපාර්ට්මන්ටයක ය. තම සැමියාට නිතර ම කෙටි පණිවිඩ ලැබෙනු හා ඒ සමග සමග ම ඔහු මුල්ලකට වී කා සමග හෝ මනමාල ලෙස කුටු කුටු ගානු බිරිඳගේ රේඩාවට වැටෙන්නට වැඩි කලක් ගියේ නැත. සැකය මෝරා පැස ව ඇති මොහොතක සැමියාගේ ස්මාර්ට් පෝනයේ පොටෝ කිහිපයක් බිරිඳගේ උකුසු ඇසට හසු විය. ඒ තම සැමියා වෙනත් කඩවසම් පුරුෂයෙකු සමග අඩනිරුවත් ව ආලිංගන ඉරියව්වක සිටින අයුරු ය. දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම් සැමියා තමා කලක සිට ‘බයි’යෙකු බවට පාපොච්චාරණය කළේ ය. මෙහි බයියා යනු ලාංකීය දේශපාලන අරුතෙන් නොවන ද්වි-ලිංගික හෙවත් බයි-සෙක්ෂුවල් අරුතෙනි. මෙය ලියන අතර මගේ යෙහෙළිය දික්කසාදයකට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින්නී ය.             

‘බයි’යෙකු වීම (හෝ නොවීම) මා දකින්නේ සදාචාරාත්මක විනිශ්චයික ඇසකින් නොවේ. එහෙත් මගේ යෙහෙළියගේ කතාව ලොව වෙසෙන කෝටි සංඛ්‍යාත වැඩිහිටියන්ගේ සබඳතා මේ ගෙවෙන කෝවිදි සමයේ හැලහැපුණු කතාවලින් තවත් එකක් විය හැක. ලෝ පතළ කෝවිද තත්ත්වය මානව ශිෂ්ටාචාරයේ මූලිකාංග ද මහත් විපර්යාසයකට ලක් කළේ ආසාදනයට ප්‍රතිචාර ලෙස පනවන ලද නව ජීවන රටා රෙජීමය නිසාවෙනි. අඹුසැමියන් දරුවන් සෙසු සාමාජිකයන් මෙතරම් දිගු කාලයක් පැය විසි හතර ම කුටුම්බයකට සිර වී සිටීම එක්තරා ආකාරයකට අභව්‍ය හා අධි-යථාර්ථවාදී තත්ත්වයකි. එක ම කුඩා සංඛ්‍යාවක් හෝ එක පුද්ගලයෙකු පමණක් දැකීම හා ඇසුරු කරන්නට සිදු වීම එකිනෙකා එපා වීමට හා නොරිස්සීමට හේතු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් ගැහැනුන් විවිධ මානසික ඇදවැටීම්වලට බඳුන් වී ඇත.  

මෙම සුවිශේෂ වැඩිහිටි මානසික අසමතුලිත තත්ත්වය ‘නිරෝධායනය’ කරනු වස් විවිධ රටවල විවිධ විධික්‍රම භාවිත කරනට උත්සාහ කෙරෙනු දක්නට ලැබේ. මුලින් ම කෝවිදියාවෙන් දරුණු ලෙස බැට කෑවේ ඉතාලිය ය. දිනකට දහස් ගණනින් මරණ වාර්තා විය. කෑම, බීම, විනෝදය හා ප්‍රියයන් ඇසුර ඉතාලි සංස්කෘතියේ මුල්ගල ය. එවන් ජන කොටසක් ලොක්ඩවුනයෙන් කොටු වී දිනකට දහසක් පමණ තම රටවැසියන් මිය යන ප්‍රවෘත්ති අසමින් බලමින් සිටීම ඔවුන් පණ පිටින් මිය යාම වැනි ය. ඉතාලියේ පල්ලි දහසකුත් තිබුණ ද,  ඒවායේ කුලුනු මත ලැයිස්පීකර බැඳ ‘ආවේ මරීයා‘ සූත්‍රය ජප කළේ නැත. ඔවුන් කළේ ඉතා ප්‍රග්මතික (pragmatic) දෙයකි. එනම් ‘පෝ(ර්)න්හබ්’ නමැති වැඩිහිටි වෙබ්සයිටයේ වීඩියෝ ඉතාලියානුවන්ට නැරඹුමට ප්‍රිමියම් අවසරය නොමිලේ  දීම ය. 

වසර දහයක් පමණ මා ජීවත් වුණේ නෙදර්ලන්තය හෙවත් ඕලන්දයේ ය. මා එරට ගත කළ ඒ කාලය තුළ ද පසුව ද මා නිරීක්ෂණය කළ එක් පැතිමානයක් වූයේ බොහෝ දෙනා සාම්ප්‍රදායික විවාහයට හා එක ගෙයි විසීමට ද ලොකු උනන්දුවක් නොදැක්වීම යි. බොහෝ දෙනෙක් තමන් ‘හැපීලි-සිංගල්’ හෙවත් තුටින්-තනිකඩ කියා කියන්නෝ  ආඩම්බරයෙනි. දෙදෙනෙකු අතර සබඳතාවක් තිබුණ ද ඔවුහු තම තමන්ගේ නිවෙස්වල වෙන් වෙන් ව ජීවත් වෙති. එකිනෙකා හමු වීම එකිනෙකාගේ නිවෙස්වල හෝ උද්‍යානයක හෝ කැෆෙයක කෙරෙයි. කෝවිදියාවෙන් ඕලන්දයේ පන්දහසක පමණ ප්‍රමාණයක් මළෝ ය. පනස් දහසක පමණ ආසාදිත ව සිටිති. ගමනාගමනය සීමා වුණු ලොක්ඩවුන් කාලයේ මට නිතැතින් ම සිහිපත් වුණේ මාගේ හැපීලී-සිංගල් මිතුරු කැලය. තට්ට තනියෙම නිවසකට වී සිටිනු කෙලෙස ද? අප අතර සිදු වූ පණිවිඩ හුවමාරුවේ දී ඔවුන් කී කතාව පාඨක ඔබට ද කියනු වටී. ඕලන්දයේ ද ප්‍රග්මතික විසඳුම් මාලාවක් තම සිංගල් හෙවත් තනිකඩ ජනතාවට ඉදිරිපත් කළේ ය. එනම් එම කාලය තුළ දී හුදෙකලා ව නොහිඳ කෙසේ හෝ විශ්වාසදායක ‘සෙක්ස්-බඩියෙකු’ හෙවත් ලිංගික-සහකරුවෙකු සොයා ගන්නා ලෙස ය. එසේත් නොහැකි නම්, ඔවුනට ඕලන්ද රජය මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි නිරතවන ලෙස නිර්දේශ කළේ ය : 1) ස්වයං මෛථුන්‍යය, 2) තව කෙනෙකු මීටර් 1.5 ඈතින් තබා ඈ/ඔහු දෙස බලා ස්වයං මෛථුන්‍යය, 3) සෙක්ස්ටින්(ග්) හෙවත් ලිංගික තේමාශ්‍රිත ටෙක්ස්ට් පණිවිඩ හා දූරකථන ඇමතුම්, 3) කාම චිත්‍රපට නැරඹීම හා ඉරොතික පොත් කියැවීම, 4) වෙබ් කැමරා උපයෝගී කරගෙන එකිනෙකා සමග ලිංගික ප්‍රමෝදය ලැබීම, 5) දුරස්ථ ව සිටිමින් එකිනෙකා ඉදිරිපිට දෙදෙනා ම ස්වයං මෛථුන්‍යයේ නිරත වීම, 6) ස්ට්රිප්ටීස් හෙවත් ඇඳුම් එකිනෙක රාගික ව හෙමිහිට ගලවමින් නිරුවත් වීම හා  7) කුඩා දෙදරවීමක් සහිත කෘත්‍රිම පුරුෂ ලිංගයකින් ලිංගික ප්‍රමෝදයට පත් වීම (මූලාශ්‍රය: මහජන සෞඛ්‍යය හා පරිසරය පිළිබඳ ජාතික ආයතනය, නෙදර්ලන්තය).

ඉතාලිය හා ඕලන්දය යට කී ප්‍රවේශ අනුගමනය කළ අතර ලොක්ඩවුනයටත් වඩා හපන් ඇඳිරි-නීති සමයේ  වැඩිහිටි අපට  අඳුරේ කළ යුතු කුටුම්බයේ වතාවක් ගැන අපගේ සදාචාර-බුද්ධිය ඇමතුවෝ කඳුකර සීතල පෙදෙසක වැඩ වසන සඟරුවනකි. උන්වහන්සේ පැවසුවෝ මෙවැන්නක් ය. අඹු-සැමි යුවලක් තම වර්ගයා බෝ කරනු වස් සංසර්ගයේ යෙදෙන විට කාන්තාව පුරුෂයාගේ ශරීරයේ කිසිදු කොටසක් නොදැකිය යුතු ය. යට ගිය දවස කුලවමියෝ දහස් ගණනින් වර්ගයා බෝ කර ඇත්තෝ එලෙස ය. එසේ නොමැතිව සංසර්ගයේ යෙදෙන්නෝ තුච්ඡයෝ වෙති. බ්‍රිතාන්‍ය නාට්‍යවේදී පීටර් ෂෙෆර් 1965 දී ‘ද බ්ලැක් කොමඩි‘ නමින් අපූරු නාට්‍යයක් නිෂ්පාදනය කළේ ය. එහි විශේෂත්වය වූයේ නාට්‍යයයේ වැඩි කාලයක් වේදිකාව අඳුරේ පැවතීම යි. ෂෙෆර්ගේ යට කී පිටපත අනුසාරයෙන් ෆීලික්ස් ප්‍රේමවර්ධන ‘කළුවරේ ජරමරේ’ නමින් පසු කාලයකදී ලක් වේදිකාවට ගැන ආවේ ය. ඇඳිරි නීති කාලයේ අප හිමියන්ගේ අනුශාසනා පිළිපදිමින් කළුවරේ කළ ජරමරවල ප්‍රතිඵල ලෙස බිහිවෙන තුච්ඡ නොවන අමිශ්‍ර මතු පරපුරක් තව මාස හතකින් අටකින් පමණ දැකගත හැක.      

වී මාෆියාවේ බයිට් නොවන්නට නම්….- අශෝක හඳගම.

0

වී මාෆියාව ගැන සංවාදය කොරෝනාවට කලින් පටන්ම පැවත එන එකක්. ඒ ගැන විවිධ එමෙන්ම ප්‍රතිපක්ෂ අදහස් සමාජ මාධ්‍ය ජාලාවල ඇති වුණා. එෆ්බී එකේ සංවාදශීලී අදහස් දක්වන කිහිප දෙනෙකුම ඒ ගැන අදහස් දක්වා තිබුණා.

අජිත් පැරකුම් ජයසිංහ ‘දැක්මක් ඇති ජනාධිපතිවරයෙක් නම් ඩඩ්ලි වගේ ව්‍යාපාරිකයන්ට කෙළවන්නට හදන්නේ නැත.’ යනුවෙන් පළකළ අදහසකට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රතිචාර දක්වා තිබුණේ ….

“මගේ අදහස නම් අධිපති ආර්ථික සංවර්ධන දෘෂ්ටිකෝණයෙන් සලකා බැලුවද ඩඩ්ලි සිරිසේන යනු අගය කළ යුතු ව්‍යාපාරිකයෙක් නොවේ. ලංකාවේ සහල් බෙදා හැරීම මෙවැනි ව්‍යාපාරිකයන්ට පවරා දීම ගොවියාගේ පැත්තෙන් මෙන්ම පාරිභෝගිකයාගේ පැත්තෙන්ද නොමනා ක්‍රියාවකි. මෙය ඉතා පහසුවෙන් කාර්යක්ෂම සමුපකාර ක්‍රමයක් හරහා කළ හැක්කකි. ඩඩ්ලි වැනි ව්‍යාපාරිකයින් කළේ 77 ආණ්ඩුව විසින් දුෂ්ට ලෙස විනාශ කර දමන ලද වී බෙදාහැරීමේ ජාලය වෙනුවෙට දේශපාලන අනුග්‍රහය යටතේ නව වී වෙළඳ මාෆියාවක් ගොඩ නැංවීමයි. ඒ මගින් වී සම්බන්ධයෙන් ඊනියා නිදහස් වෙළඳපොළක් තහවුරු නොවීය. ඒ වෙනුවට වුණේ රාජ්‍ය බලය අවභාවිත කොට ගොවියා මත අධි සූරාකෑමක් පතිත කොට වෙළඳපොළ හසුරුවමින් අති දැවැන්ත ධනස්කන්ධයක් කඳු ගැසීමයි. ඩඩ්ලිගේ සූදු කෙළීමේ පුරුද්ද ගැන සොයා බැලීම පමණක් මේ ධනස්කන්ධය අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය. අඩුම තරමින් මේ ධනස්කන්ධය ප්‍රයෝජනවත් ආර්ථික ක්‍රියාකාරකම්හි ආයෝජනය කිරීමේ නැඹුරුවක් හෝ තිබුණා නම් මේ අධි සූරාකෑම යම් තරමකට හෝ සාධාරණීකරණය කිරීමට ඉඩ තිබුණි. මා දන්නා තරමට එවැන්නක් ද සිදුවී නොමැත. ඒ නිසා මෙවැනි ව්‍යාපාර ජාල විනාශ කර දැමීම ගොවීන්ගේ පැත්තෙන් නම් කළ යුතුම දෙයකි.” කියලා.

මේ දෙකම අළලා ප්‍රියන්ත හේවගේ මාතලන් තමන්ගේ පුරුදු භාෂාවෙන් මෙහෙම කියලා තිබුණා.

“..වී මාෆියාව සම්බන්ධයෙන් අපූරු ලිපියක් ලියනවා අපේ පැරා (අජිත් පැරකුම් ජයසිංහ).

පෙරකලෙක විප්ලවවාදියකුව සිට… දැන් රනිල්ටත් වඩා ලිබරල් පැරා කියන්නේ… ඩඩ්ලි සිරිසේන වැනි ව්‍යාපාරිකයෙක් අධෛර්යමත් කිරීම හොඳ දෙයක් නෙමේ කියලා…..

මේක අර්ධ සත්‍යයක්….

ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වන නිර්මාල් රංජිත් දේවසිරි ලැච්චර් සහෝදරතුමා ගෙන එන්නේ පට්ට ෆේල් තියරියක්… ඒ කියන්නේ මේ වගේ ව්‍යාපාර පෞද්ගලික අශයට නොදී පෙර පැවති සම්පාකාර ක්‍රමයකට පවත්වාගෙන යා යුතුයි කියන මතය… සමුපාකාරයක් කියන්නෙම අමු හිඟන පොට් එකක් ඔළුවට එන තැනක්… ඔය වචනෙත් අරහං නිසා තමා ඕක සතොස උණේ… ඒත් අදටත් සතොසට ගොඩවෙන්නේ සහනදායි මිලකට මක්කා හෝ දෙනවා නම් ඉතරයි..

මොකෝ ඒ තරමට එයාලගේ සේවය මිත්‍රශීලියි…. කාර්යක්ෂමයි…. අති විශිෂ්ටයි… ශ්‍රේෂ්ඨයි…. උන් හිතන්නේ අපි බඩු නොමිලේ ගෙනියන්න එන්නේ කියලා… ඕවයේ සේවය කරන්නේ ආණ්ඩුවේ හෙන්චයියෝ… ඉතින් මැනේජර් හිතාන ඉන්නේ… ඌ ජනාධිපති කියලා… ජනාධිපතිත් ගණන් නොගන්න අතුගාන එකා හිතන්නේ උන් කැබිනට් ඇමති කියලා… බඩු විකුණුනා නැතා උන්ගේ පඩිය ඉස්තිරයි…

ඔය වීවලටම 77 එජාප ආණ්ඩුව ආපු ගමන් දැම්මා වී අලෙවි මණ්ඩලය කියලා එකක්…

අපේ කැලණියේ තොරණ හන්දියෙත් තිබ්බා වී අලෙවි මණ්ඩලේ සේල්ස් අවුට්ලට් එකක්…. තුන් දෙනෙක් වැඩ කළා…. මැනේජර් නෝනා ටික කාලෙකින්ම පට්ටිය හන්දියේ හොඳ ගෙයක් හැදුවා…. හාල් ටික තොග වශයෙන් අරගෙන කොට්ටං ගහ යට තියාන විකුණපු සිරිල් මැතිව්ගේ ගෝලයෙක්… ටික කලකින් රජරටින් එයාගේ ලොරියෙම හාල් ගේන මුදලාලි කෙනෙක් උණා…

අර අවුට්ලට් එක වැහිලා ගියා… මම හිතන්නේ ඒ කාලෙම මණ්ඩලෙත් කචල් වෙලා වහලම දැම්මා…. ඒක පෙර පිනක්….

ඊට පස්සෙ තමා මාෆියාව හැදෙන්නේ….

ඉතින් විය යුතු දේ තමා…..

වී වගා කරන එකාත් …. ඩඩ්ලි සිරිසේනගෙ තත්වෙට ගේන ඒක…. ඒත් ඩඩ්ලි තරු පහේ හෝටල් හදද්දි… අරුන් හැමදාම ඤං පඤං ගාගෙන නාමල් කරුණාරත්නයත් එක්ක සමූහ වියෝ ගී ගායනා කරනවා….

ඒ වගේම… ලංකාවේ ප්‍රධානම ආහාරය… සාධාරණ දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබා දීම…..

ඒ නිසා ආණ්ඩුවකට කරන්න පුළුවන් එකම දේ තමා….නිෂ්පාදන වියදම අඩු කිරීම… අක්කරයකින් ලබා ගන්නා අස්වැන්න වැඩි කිරීම…. ගබඩා පහසුකම් ඇති කිරීම…. කුඩා මෝල් හිමියන්ට සහන සැලසීම….

ඕවා කරන්න ලක්ෂ ගානක් උන්නට වැඩක් නෑ….. මොකෝ උන් ආණ්ඩුවෙන් වගේම මාෆියාවෙනුත් කනවා බොනවා…. අනික්වත් කරනවා….. සිරිසේන කැසිනෝ ගහන්න කොළඹ එන්නේ තනියෙන් නෙමෙයි…..

ඒ නිසා දැනට කළ හැකි විකල්ප දෙකක් තියෙනවා….

එක … දැන් කරන දේ… ඒ කියන්නේ උපරිම සිල්ලර මිලක් පැනවීම…

දෙක… පිටරටින් හාල් ආනයනය….මොන ආණ්ඩුවටත් කෙළවෙන්නේ මිනිස්සු ගැන නොබලා නොවෙයි….

බඩ ගැන නොබැලුවාම..” කියලා.

ඒ දෙන්නටම පිළිතුරු දෙමින් කලම්බු ටෙලිග්‍රාෆ් එකේ උවිඳු කුරුකුලසූරිය මෙහෙම කියනවා..

“ ..ඔය මොනව කරත් ලංකාවෙ අක්කරයක ඵලදාව අඩුයි, ඒ නිසා මිල වැඩියි, පිටරටකින් ගේනවට වඩා. ඔය කඳු හෙල්වල තියෙන කුඹුරුයි පහත රට තැනිතලාවල තියෙන කුඹුරුයි අතර අනුපාතය බලන්න. අනික ලංකාවෙ මහපරිමාණ වී ගොවිතැනක් නැහැ. ලංකාවෙ ජනගහනයෙන් ගොවියො කොච්චර ඉන්නවද බලන්න. එක ගොවියෙකුට තව දෙන්නෙකුට කන්න දෙන්න බැහැ. ඕක කොච්චර කරත් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා හැමදාම සහනාධාර දීල පවත්වගෙන යනව, අනිත් පැත්තට පාරිභෝගිකයා දේශීය කියල වැඩි ගානට කන්න ඕනෙද? සංකීරණ ප්‍රශ්නයක්. එච්චර සරල නැහැ.”

මගෙත් අදහස, වී ගොවිතැන පිළිබඳ ගැටලුව අපි හිතනවාට වඩා සංකීර්ණ එකක් කියන එකයි. එයට විසඳුම් සාම්ප්‍රදායික වෙළඳපොළ ආර්ථිකය තුළවත්, රාජ්‍ය මූලික යාන්ත්‍රණයක් තුළ වත් හමු නොවන බවයි. මේ ගැටලුව වෙන විදියකට පරිකල්පනය කරගන්න වෙනවා.

පාරිභෝගිකයාට ලාබෙට හාල් දෙන්න නම්, හාල් ආනයනය තමයි හොඳම පිළියම. මහා පරිමාණයෙන් හාල් නිෂ්පාදනය කරන රටවල්වලින් ලංකාවේ නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට හාල් ආනයනය කරන්න පුළුවන්. සබුද්ධිකව හිතුවොත් ලංකාවේ වී ගොවිතැන සහ වී ගොවියා රැක ගන්න ඕන නිසා ඊට කිසි සම්බන්ධයක් නැති පාරිභෝගිකයෙකු වැඩි මිලක් දීලා හාල් ගන්න ඕනේ නැහැ.

ඒත් අපට වී ගොවිතැන නිකං හලන්න බැහැ. ඒක සංස්කෘතික කටයුත්තක් නිසා. වී ගොවියා සහ වී ගොවිතැන ආරක්ෂා කරන වැඩ පිළිවෙළක් පරිකල්පනය කරගන්න ඕනේ සංස්කෘතික වෙළඳ ප්‍රවර්ධන මොඩල් එකක් ඇතුළෙයි.

අපි පහු ගිය කාලෙම කල්පනා කලේ වී වගාවේ ඵලදායිතාව වැඩි කරමින්, රට සහලින් ස්වයංපෝෂිත කරගන්න. ලංකාවේ පරිසරයට කෙළවෙලා ගියේ හාල්වලින් රට ස්වයංපෝෂිත කරන්න ගිහිං. ඵලදායිතාව වැඩි කරන්න ගිහිං.

වියලි කලාපයට වහින්නේ මාස් වැස්ස. ඒ නිසා වියලි කලාපේ ඉස්සර ගොවියෝ කුඹුරු අස්වැද්දුවේ අවුරුද්දකට එක කන්නයයි. ඒක මදි. කන්න දෙකම නෙවෙයි, පුළුවන් නම් තුනක් වැඩකරන්න පුළුවන් ද කියලා බැලුවා. අඩු මාසේ වී වගාව පටන් ගත්තා. වැස්ස නැති කාලෙට වතුර ගන්න මහවැලි ඇතුළු ගංගා වියලි කලාපෙට හැරෙවුවා. ගංගා ආශ්‍රිත පරිසර සමතුලිතතාව බිඳුණා. උල්පත්වලින් කාන්දු වන පිරිසිදු ජලයෙන් උපදින ගංගාව ඈතට යන්න යන්න වගා බිම්වලට ඉහින රසායනික අපද්‍රව්‍යවලින් දූෂණය වුණා. ඒවායින් යැපුණු වන සතුන් වඳ වෙන්න ගත්තා.

කෘමිනාශක, වල් නාශක ගහලා රසායනික පොහොර නාවලා පස ඉවර කරලා දැම්මා. සමනලයා, බත්කූරාගේ ඉඳන් පුංචි කෘමීන් වඳකළා. වක්කඩේ, ඇළේ දොලේ හිටපු තිත්ත, දණ්ඩි, කොරලි, තල්කට්ටෝ වගේ මාළු විතරක් නෙවෙයි ඔටර්ස් හෙවත් දියබල්ලොත් වඳ කළා. මේ මොනවා කළත් අපේ වී ගොවිතැන රජයෙන් යැපෙන, ඒ කියන්නේ වී ගොවිතැනට කිසි සම්බන්ධයක් නැති ජනතාවකගේ බදු මුදලින් යැපෙන තත්වයෙන් ඉහළට ඔසවන්න අපට තාම බැරි වුණා. පරිසරය විනාශ කරගත්ත එක ඇරෙන්න වෙන කිසිදු ජයග්‍රහණයක් දිනා ගන්න අපට බැරි වුණා. අපි මේක වෙන විදියකට පරිකල්පනය කර ගත්තේ නැතිනම්, මේ උගුලෙන් ගැලවෙන්න අපට බැහැ.

ලංකාවේ වී ගොවිතැන රැක ගන්න නම්, අඛණ්ඩව පවත්වාගන යන්න නම්, ඒක පැරණි සංස්කෘතික අරුතින් නගා සිටවන්න ඕනේ. සාම්ප්‍රදායික වී, සාම්ප්‍රදායික වගා ක්‍රමවලට නැවත යන්න ඕනේ. ඒවා පරිසර හිතකාමීයි. ස්වභාව ධර්මයත් එක්ක සහජීවනයෙන් කෙරෙන ඒ ගොවිතැන පරිසර සමතුලිතතාව රැකගෙන කළ එකක්.

වී ගොවිතැන නම් ඒ සංස්කෘතික ක්‍රියාකාරකම සංදර්ශනාත්මකයි. ඒක ඇතුළේ කවි ගායනා තියෙනවා, නැටුම් තියෙනවා, චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. කුඹුර හාන්න එක ජාතියක කවි. ගොයම් හිටවන්න නෙලුම් කවි. කපන්න වෙනම කවි. බැත පාගන්න වෙනම කවි. දැන් ඒ මොකවත් නැතුව හැමදෙයක් ම කඩිමුඩියේ කරන්න ‘සුනාමි’ මැෂිම තියෙනවා. ඒ නමේම තියෙනවා විනාශය. සාම්ප්‍රදායික ගොවිතැනෙහි අන්තර්ගත සමස්ත සංස්කෘතික ක්‍රියාකාරකමයි විකුණන්න ඕනේ. වී වෙනුවට සමස්ත වී ගොවිතැනම වෙන විදියකට පැකේජ් කර වෙළඳම් කරන විදියක් හිතන්න වෙනවා. ඒකටයි මිලක් නියම වෙන්න ඕනේ.

මේ සංස්කෘතික කටයුත්ත නරඹන එකම, විඳින එකම ආස්වාදයක්. ඒකට නරඹන්නන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වින්දනය සඳහා මිලක් ගෙවන්න සූදානම් ඕන තරම් පිරිස් ඉන්නවා. ඒ සඳහා එය සංචාරක කර්මාන්තය එක්ක බද්ධ කරන්න ඕනේ. එවැනි වගාවකින් ලැබෙන අස්වැන්නට වෙන වටිනාකමක් තියෙනවා. සාමාන්‍ය සහල් වෙළඳපොලේ නෙවෙයි. සුවිශේෂ වෙළඳපොලක. ඒ සඳහා වැඩි මිලක් ගෙවන පාරිභෝගික පිරිසක් ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් හොයා ගන්න පුළුවන්.

මේ ප්‍රශ්නය විසඳන එක ඒ විදියටයි පරිකල්පනය කරගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. නැත්නම් හැමදාම හාල් පාරිභෝගිකයි, ගොවියයි දෙන්නම මාෆියාවක බයිට් ලෙස ගොදුරු වෙන එක විතරයි වෙන්නේ.

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන්

0

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන්

කලා නිර්මාණයක් විශිෂ්ට එකක් වීම සඳහා සකලාංශයන්ගෙන් මිඅපූර්ව’ එකක් විය යුතු ද?  උච්ච ස්වර අතර මේ පැනය කොඳුරන නාද සලරුවක් තුන්වැනි හෝ සිවුවැනි වරටත් දෙනෙතින්, දෙසවනින් පමණක් නොව හද-මනසින් ද විඳ ගතිමි. පාන් ගෙඩියක් සොරා ගත් වරදට යෝන් වැල්යෝන් Jean Valjean නම් දිළින්දා ටූලොන් (Toulon )සිරගෙයට යැවීමත්, ඉන් පැන ගන්නා ඔහු සෙවීමට ජවර්ට් (Javert)  නම් නිලධාරියා කරන ලුහුබැඳුමත්, ෆැන්ටීන් (Fantine ) නම් දිළිඳු කාන්තාවගේ දියණිය වන කොසෙට්ගේ ජීවිතය සාර්ථක කරනු වස් වැල්යෝන් කරන පරිත්‍යාගශීලි අරගලයත් ඇතුළත් කතාව අප හොඳින් දන්නා එකකි. එහෙත් ප්‍රතිනිර්මාණයක් වුවත්  Les Miserables  නම් හඬ සලරුව ද නව පෙමක් සේ අප හද බැඳ ගන්නේ ම ය.

2012 වසරේ දී ටොම් හූපර් විසින් නව නිෂ්පාදනයක් ලෙස යුනිවර්සල් ලේබලය යටතේ ගෙන එන්නේල 1980 වසරේ දී රොබර්ට් හුසේන් විසින් නිමැවූ Les Misarables සංගීතමය චිත්‍රපටයයි. ක්ලෝඩ්-මිචෙල් ෂෝන්බර්ග්ගේ ඉමිහිරි සංගීත දැහැන සහ හර්බට් ක්‍රෙස්ට්මර්ගේ ඉංග්‍රීසි ගේය කාව්‍යයන් මෙවර ද රූප රළ තුළ කිමිදී මෝහනීය රස ගඟුලක් මවයි.

සිංහලෙන් කියවන්නන් වෙත මෙකී කතා පුවත කියා දුන්නේ ‘මනුතාපය – ඊරියගොල්ල’ ලෙස සටහන් වූ මතක හිටින පොත විසිනි. වික්ටර් හියුගෝ විසින් 1862 දී ලියන ලද, ලෝක සාහිත්‍යය එකලු කළ ඒ ප්‍රබන්ධය මිනිසා විසින් මෙතෙක් නිමවන ලද විශිෂ්ටතම සාහිත්‍ය කෘති කිහිපයෙන් එකකි. ‘මනුතාපය’ නම් කදිම නමක් දී මේ කතාව මෙතෙරට ගෙනා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල සූරීන් නමින් ද බුහුමන් හැඟුමක් පා කළ යුතුව ඇත. Les Miserables යන ප්‍රංශ වදන Miserables ලෙස ඉංග්‍රීසියෙන් ද, ‘අවාසනාවන්තයෝ’ ලෙස සිංහලෙන් ද සරලව කීම නිවරද යැයි හඟිමි.

ලිපියේ ඇරඹුම එසේ ලියුව දල ප්‍රංශ බසින් පරිච්ඡේද 365කට ගොනු වූ වචන 655,478කින් යුතු දැවැන්ත නවකතාවකට මෙවන් කෙටි සටහනකින් කවර සාධාරණයක් ඉටු කළ හැකි දැයි වික්ෂිප්ත ව සිටිමි.

හියු ජැක්මන්, රසල් ක්‍රෝ, ඈන් හාත්වේ ආදි ප්‍රවීණයන් රඟන Les Miserables මියුසිකලය දහ නව වන සියවසේ ප්‍රංශයේ සමාජ සංස්ථා, පැරීසියේ තථ්‍ය පසුබිම් සහ 1832 රිපබ්ලිකානු අරගලය ද විචිත්‍ර ලෙස ප්‍රතිනිර්මාණය කරයි. යාචක-වෛශ්‍යා ආදි දුක්ඛිත ජන කොටස්වල ජීවිතය ප්‍රබල ලෙස සංකේතවත් කරන එය වැඩ කරන පීඩිත ජනයාගේ හඬ විරෝධාකල්ප සංගීතය මුසු ගීතවලට නංවයි. එවන් එක් ගීතයක් නම් කර ඇත්තේ At the end of the day නමිනි.

එක දිනයක අවසානයෙදී ඔබ – වියපත් වෙනවා දිනකින් 

  දිළිඳුන්ගේ ජීවන මග පිළිබඳ – එපමණි කීමට පුළුවන් 

කිසිවෙකු කිසිවක් දෙන්නේ නම් නෑ – එය අරගලයක් සටනක්  

  දිනයක් ජීවත් වුණා කියන්නේ – අඩුවීමකි තව දවසක්

බ්‍රිතාන්‍යයේ ග්ලෙන් ජෝර්ඩ්න් විසින් 1978 දී තැනූ Les Miserables පාදක කරගත් ටෙලි චිත්‍රපටයක් ද අදියුරු ටයිටස් තොටවත්ත විසින් හඬ කවන ලදුව අප කුඩා කල රූපවාහිනියෙන් පෙන්වන ලදි. එයින් උපුටාගත් දෙබස් කොටසක් මෙහි ලිවීමට සිත් වේ. එය කතාවේ අවසාන භාගයේ දී වැල්යෝන් සහ ජවර්ට් අතර ඇති වන අදහස් හුවමාරුවකි. නවකතාවේ ඇතුළත් එක් තද තේමා හුයක් ඒ දෙබස් ඛණ්ඩ තුළ දිවෙන බව දැනේ.

”බොහෝ කලකට පෙර පුදුමාකාර මිනිහෙක් හම්බ වුණා. මගෙ හදවත ඔහු අරගෙන, එහි තිබුණු නපුරු අදහස් ඉවත් කරල මා දෙවියන්ට භාර කළා.”

 ”දෙවියෙක් නැහැ. එකයි තියෙන්නෙ. නීතිය! දොස් සහ නිදොස්! නීතියෙන් පිටස්තර දෙයක් නැහැ.”

 ”එහෙම නම් ඔබේ විශ්වාසයල මාව මැරිය යුතුයි.”

මිනිසා නියම කර ගනු ලබන නීතියත්, මෘදු සදාචාර තලය තුළ පිළිගැනෙන යුක්තියත් අතර අනිවාර්යයෙන් ම යම් පරතරයක් පවතී. බොහෝ විට මේ පරතර කලාපය තුළ තැලී ඇඹරී යන්නේ අවවරප්‍රසාදලාභී, පීඩිත මානව පන්තියයි. ප්‍රායෝගික සාමාජීය ජීවිතයේ දී මෙකී හිඩැස පියවීමේ වගකීම නීතිය අර්ථ නිරූපණය කරන්නන්ට පැවරෙන බව සිතිය හැකිය. එහෙත් හෘද සාක්ෂිය තුළින් උපදින යුක්ති ගරුකත්වයේ තර්කනයක් ඔස්සේ එකිනෙකා තම තමන් විසින් ම ද පරම සාධාරණත්වයේ  නිම් ඉවුරු සොයා ගත යුතුව තිබේ.

බටහිර කලාව තුළ නපුරත්, යහපතත් නියෝජනය කරන යක්ෂ-දේව සංකල්පයන් කෙසේ විමසිය යුතු ද යන්න තවත් ගැටලුවකි. වැල්යෝන් සිරගෙයින් පැන එන්නේ සමාජය සහ නීතිය කෙරෙහි වෛරයකින් පිරුණු සිතක් සමගිනි. පියතුමාගේ හමුව ඔහු යුක්තිය පසට ඇද දමයි. ඇත්තෙන් ම මෙය හෘද සාක්ෂියේ පරිවර්තනයකි. එබැවින් වර්තමානයට එන විට එය ආගම්බද්ධ අන්ධ භක්තියකට වඩා යහපත පිළිබඳ තාර්කික දර්ශනයකට නතු වීමක් ලෙස ද වටහා ගත හැකිය.

Les Miserables නිර්මාණය අයුක්තියෙන් යුක්තිය වෙතට, අසත්‍යයෙන් සත්‍යය වෙතට, රාත්‍රියෙන් උදෑසන වෙතට ආදි ලෙස මානව දැක්ම ඉදිරිගාමී දර්ශනයක් වෙත ගෙන යන කෘතියකියි පිළි ගැනේ. මෙය ග්‍රීක ප්‍රවාදයන්හි එන හයිඩ්‍රා නම් ජල මකරා සුර දූතයෙකු බවට පත් වීමක් වැනි යැයි ඇතැමෙක් පවසති. කෙසේ වෙතත් කතුවරයා සිය කෘතිය පිරිනමන්නේ නොසලකා හැරීම් සහ අවාසනාවන් නිසා දුක් විඳීමේ ඉරණමට මුහුණ පෑ ජනතාව වෙතය. එනම් සමාජමය හුස්ම හිරවීම (Social Asphyxia) සමනය කරන සර්වකාලීන කෘතියක් ලිවීම තම අරමුණ බව ඔහු ලියා ඇත. නවකතාව ප්‍රකාශකයන් වෙත හඳුන්වා දෙමින් එවක වික්ටර් හියුගෝ මෙවන් කදිම ප්‍රකාශයක් කළේලු.

‘මේ සමාජ ඛේදය දේශ සීමා ඉක්මවා දිවෙන්නකි. මිනිස් චර්යාවේ ඇති තුවාලවලින්, ලෝකය අපිරිසිදු කරමින් ගලන දැඩි වේදනාවන් සිතියම් මත ඇඳ ඇති රතු සහ නිල් ඉරි අසල නවතින්නේ නැත. යම් තැනක නොසලකා හැරීමෙන් සහ නෂ්ටාපේක්ෂාවන්ගෙන් පීඩාවට පත් මිනිසුන් සිටී නම්, යම් තැනක ආහාරයක් උදෙසා තමාම අලෙවි කරනා තත්වයට පත් ගැහැනුන් සිටී නම් සහ යම් තැනක කියවීමට පොතක් සහ උණුසුම ලැබීමට උදුනක් අහිමි වූ ළමුන් සිටී නම්, මේ පොත ඔවුන්ගේ දොරට තට්ටු කර මෙසේ පවසනු ඇත.

‘අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන්’”

ඒ අනුව විවිධ ආර්ථික-දේශපාලන දර්ශනයන්ට එහා මනුෂ්‍යාත්මීය ස්ථානයක වික්ටර් හියුගෝ නම් ශ්‍රේෂ්ඨ ගත්කතුවරයා නැගී සිටිනු අපට පෙනේ. ලංකාවේ සිට ඔහුගේ මානවවාදී දර්ශනය සුනිල් ආරියරත්න – නන්දා මාලිනී සුසංයෝගයෙන් නිමැවුණු ගීතයක් හා මඳකට සමපාත කිරීම වරදකියි නොසිතමි.

වහින්නට හැකි නම් ගිගුම් දී – වියළි ගම් බිම්වලට ඉහළින්   

 ඉදෙන්නට හැකි නම් බතක් වී – බතක් නොඉදෙන පැලක රහසින්

Les Miserables  නාද සලරුව ඇරඹෙන්නේ Look Down ලෙස හැඳින්වෙන ගැයුම් පෙළහර සමගිනි. නවකතාවේ ඇතුළත් පණිවුඩය ගැබ් කර ගත් ඒ ගීය ද අඳුරක් සිදුරු කරන දෝංකාර සැතක් සේ සීරුම් නගනු තවමත් මට ඇසේ.

බලන්න පහළ!                                                                                                                             දකින්න, පා අසල සිටින යාචකයන්.                                                                    

 බලන්න පහළ!
දක්වන්න, හැකි නම් සුළු කරුණාවක්. 

බලන්න පහළ!                                                                                                                                         දකින්න, අතු ගෑවෙනු මාවතේ රොඩු විලසින් 

 පහළ බලන්න! පහළ බලන්න!

 දකින්න, ඔබ වැනි ම මිනිසුන්!

ලක්ෂාන්ත අතුකෝරල

ආගමත් දේශපාලනයක් පරම්පරාවෙන් නොලැබිය යුතුයි- වෑකඳවල රාහුල හිමි

0
_DSC1233, Lavazza, Karnataka, India, 10/2014. Portrait of a woman and a crying boy. retouched_Ekaterina Savtsova 11/10/2014

සත්ත්ව ලෝකය විවිධත්වයෙන් යුතු ජෛව කාණ්ඩයකි. ආහාර ගැනීම, ආරක්ෂාව, වර්ගයා බෝකිරිම, සංචරණය, පරිසර තත්වයන්ට මුහුණ දීමේදී, දරණ ලක්ෂණ සහ හැකියාවන්, විවිධ රටාවන්ගෙන් විචිත්‍ර වුවකි. මානවයා අනෙක් සත්ත්ව කාණ්ඩ අතර විශේෂණය වීමේදී හා පරිණාමික ක්‍රියාවලියෙ දී, ඔහු සතු ලක්ෂණ සහ හැකියාවන් දියුණු කර ගැනීමට සමත්ව ඇත. එය අනෙකුත් සත්ත්ව විශේෂයන්ගෙන් වෙන් වන්නේ, මානවයා සංස්කෘතියක් ගොඩ නගා ගැනීම හේතුවෙනි. පරිසරයේ අනෙක් සතුන්ට නොමැති මානවයා සතු සංස්කෘතික ලක්ෂණ, විවිධත්වයෙන් පිරි එකකි. එය රටකින් රටකටත් සමාජයෙන් සමාජයටත් වෙනස් ලක්ෂණයන්ගෙන්  යුක්ත වෙයි. අප්‍රිකාව තුළ බිහි වන මානවයා, ලොව පුරා තම ජනාවාස සකසා ගැනීමේදී, එම පරිසර තත්වයන්ට ගැලපෙන ආහාර සකසා ගැනිම්, ඇදුම් පැලදුම්, ඇදහිලි විශ්වාස, සන්නිවේදන ක්‍රමයන් (භාෂාව), නිවාස, කලාව,  නැවත නැවත සංස්කරණය කර ගනිමින්, අද දක්වා ගොඩනගා දියුණු කරගත්, කිසියම් සංස්කෘතික උරුම කරුවන් ලෙස වර්තමානයේ දිවි ගෙවයි.

සංස්කෘතික මිනිසා, පරිසරය තුළ දියුණු අනුවර්තනීය හැකියාවන්ගෙන් යුක්ත සත්ත්වයෙකු වීමට භෞතික සැකැස්මත්, බුද්ධිමය ප්‍රභාවත්, හේතුවිය. මිනිසා යනු උගන්වන ඉගෙන ගන්නා සත්ත්වයෙකි. අනෙක් සත්ත්වයන්ට වඩා මතක ශක්තිය අතින් වැඩිය. කුරුලු ලෝකය තුල ඇතැම් කුරුලු විශේෂයන්ට (ගිරවා, මයිනා) වචන අණුකරනය කළ හැකි වුවද, ඔවුන්ට ඇත්තේ කුරුළු මොළයකි. මිනිස් මොළයේ කපාල ධාරිතාව  නියුරෝන  බිලියන සියයකින් යුක්ත වන බැවින්, මතක ශක්තිය වැඩිය. වයස අවුරුදු 4-5  දරුවෙකුට වචන 1600 -2000  පමණ ශබ්ද ප්‍රමාණයක් අනුකරණය කළ හැකිය. හදා වඩා ගන්නා චිම්පන්සියෙකුට වචන අණුකරනයට පුරුදු කිරිමේදි, වයස අවුරුදු පහක හයක දරුවකු, වචන 2000ක් අනුකරණය කරණ විට වචන 4ක් වැනි ප්‍රමාණයක් පමණක් උච්චාරණය කළ හැකිය. එයට හේතුව ශබ්ද උච්චාරණයට අවශ්‍ය උපකරණ නොමැති කම නොව මොළයේ ව්‍යුහමය සැකැස්මයි.

සත්ත්ව ලෝකයේ අනෙක් සතුන්ගේ ළමා කාලය මානවයාට සාපෙක්ෂව කෙටිය. මිනිසාට දිගු ළමා කාලයක් ඇත. කුඩා අවධියේදී  පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම, පිරිසිදු කිරීම, සෙල්ලම් කරවීම, පුහුණු කිරීම දෙමාපියන් විසින් සිදු කරයි. මෙම ක්‍රියාවලිය අනෙක් සත්ත්ව විශේෂයන්ට වඩා මානවයා, ඉතා දියුණු හා පහසු අකාරයෙන් ඉටු කර ගනී. දෙමාපියන් අනුකරණය කරමින් ඉගෙන ගැනීම, මානවයා නිරන්තරයෙන්  සිදු කරනු ලබයි. දෙමාපියන් අනුගමනයෙන් ඉගෙන ගන්නා බොහෝ දෑ, අප වැඩිහිටි වියට පැමිණි විට කරන කියන දෑහි, පදනම වෙයි.

අනුකරණයන් පුරුදු බවට පත්වී, ඊට අනුව වැඩිහිටි වියේදී  හැසිරෙන්නේ, කිසියම් ආචාර ධර්ම පද්ධතියකට අනුව චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන්නේ, කිසිදු බුද්ධිමය එකඟතාවකට පැමිණ නොවේ. ඒවා අප සිදු කරන්නේ කුඩා කළ තදින් මනසට කා වැදී ඇති අනුකරණයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි. කුඩා කළ අනුකරණයේ පුරුදු අපට අමතකව ගියද, එහි දිගුව වැඩිහිටි වියෙදී ද දැක ගත හැකිය.

මෙම ලක්ෂණයන් ඉතා හොදින් අධ්‍යයනය හැක්කේ සමාජයක් තුල ආගමික හා පක්ෂ, දේශපාලනික වී ඇති අයුරිනි. ලෝකයේ ආගම් 4200ක් පමණ ඇත. එම ආගම්වල, වැඩි බහුතරයක් අනුගාමිකයන් බිහි වී ඇත්තේ, මව්පිය පසින් ලැබුණු දායාදයක් ලෙසිනි. එනිසා එම අනුගාමිකයන්  ඉතා හොදින් තම ආගම් කුලකය තුල කටයුතු කරයි. එය සමාජය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආදි ලෙස දැකිය හැකිය. බෞද්ධයෙකු බෞද්ධ වී ඇත්තේද,  මුස්ලිම් අයෙකු මුස්ලිම් වී ඇත්තේද, එම ආගම් දහම්වල ධර්මය, බුද්ධිමය විමසා බැලීමකින් නොව, දෙමව්පියන් අනුකරණයෙන් ලත් පුරුදු ලෙසය. ආගම්වල විවිධ සංකේත භාවිතාවන් පංච ඉන්ද්‍රියන්ටම (ඇස, කණ , නාසය, දිව, ශරිරය) යෝග්‍ය වන අයුරින්, එහිම අනුගාමිකයන් බවට පත් කර ගැනීමට අවශ්‍ය වතාවත් වලින් යුතු වෙති. දෙමාපියන්ගේ පුහුණුවත්, අනුකරණයත් විසින් බුද්ධියක් සහිත මානවයා, ඒවායේ ගොදුරු බවට පත්වෙති. දෙමාපියන්ගේ ජාන බලපෑම විසින්,  ලක්ෂණ හා හැකියාවන් යම් ප්‍රමාණයක් භෞතික ශරිර ලක්ෂණ විශයෙහි දරුවන්ට ලැබෙති. එහෙත් සිතීමේ හැකියා බුද්ධිය, ආගමික බව හෝ දේශපාලනික බව, ජානගතව රැගෙන යා නොහැකිය. දරුවකුගේ සිත මුල් අවස්ථාව තුළ ඉතා පිරිසිදු එකකි.

නිදසුනක් ලෙස සුදු කඩදාසියක් බඳුය. එය බුදුරදුන්ගේ පෙන්වා දීමට අනුව නම් ‘පබස්සර මිදං භික්ඛවේ චිත්තං’ ආදී වශයෙනි. ඒ දරුවකුගේ සිත ප්‍රභාස්වර බවයි. එනම් පිරිසිදුය යන්නයි. එය විවිධ හැඩයන් සහ ස්වරූපයන් ගන්නේ බාහිර වටපිටාව අනුවයි. මුස්ලිම් මව්පිය දෙපලකට දාව උපදිනා දරුවකු සිංහල බෞද්ධ පරිසරයක ඇති දැඩි කලොත් එම දරුවා මුස්ලිම් සංස්කෘතික හැඩයක් නොව සිංහල බෞද්ධ හැඩයක් ගනියි. හෙළ වහරේ එන කියමනක් වන ‘ජන්මයට වඩා පුරුද්ද ලොකුයි’ යන්න තුලින් කියවෙන්නේද එම අදහසමය. කුඩාකල ආගමික නැඹුරුව විසින් ගෙනා සමහර පුරුදු දැන ඉගෙන ගත්තද, එහි බලපෑමෙන් මිදිය නොහැක.

බෞද්ධයන් නිබඳව මුස්ලිම්, හින්දු සත්ව ඝාතන ගැන කතා කරති. එම ක්‍රියා හෙලා දකිති. එහෙත් අලි ඇතුන් පෙරහැර සංස්කෘතිය සඳහා භාවිතා  කිරීමෙන්  වන සත්ත්ව හිංසනයත්, මෑතකාලීන වන බිම්වලින් අලි සොරකම් කල  භික්ෂුන්ට දඬුවම් දීම නොකළ යුතු දෙයක් ලෙස පවා සිතන්නට වීමත් නිසා බෞද්ධයන් ද එම කුලකයටම අයත් බව පැහැදිලිය. තම ආගම් කුලකය සිදු කරන වරද, වරදක් ලෙස දැකීමේ නොහැකියාව,  අනුකරණයන් හරහා පුරුදු බවට පත්වු වහල් මානසිකත්වයන් ගැන සිතීමේ දී අරුමයක් නොවේ. එනිසා ආගමික කුලකයන් තුල ආත්ම වංචනිකයන් බහුලව දැකිය හැක.

මෙම තත්වය සියලු ආගම්වල අන්ධ භක්තිකයන් තුල දක්නට ලැබේ. එනිසා තමාගේ හිතලුව සාධාරණ ලෙස සිතා තෘප්ත වීම  ඔවුන්ගේ සතුටයි. එවැනි භක්තිවන්ත අනුගාමිකයන්, ආගම සුරැකීම විෂයෙහි, අනෙකා මරා දැමීමට වුවද පෙලඹිය හැකිය. අනුකරණයන්, ජීවන පුරුදු බවට පත්වීමේ වහල්භාවය විසින් විචක්ෂණශීලි බවත්, නිදහස් චින්තනයත්, යටපත් කරයි. එය නොදියුණු ලක්ෂණයකි. වැඩි වැඩියෙන්  ආගම දෙවුරේ තබා කටයුතු කරන සමාජයක්, බුද්ධිමය වශයෙන්  ඉදිරිගාමී නොවේ. එවන් සමාජ තුළ දැකිය හැක්කේ ආගමික වහලුන්ය. ඔවුන් ධර්මයට ඉතා දුර ඇත්තෝ වෙති. ඔවුන් ධර්මය විකෘති කරමින් ආගම දහම රකින්නෝ ලෙස පෙනි සිටිති.

කුඩා කළ හුරු පුරුදු, බුද්ධිමත්ව විමසා බලා වැඩිහිටි වියේදී, ජීවන භාවිතාවන් බවට පත්කර ගැනීමට අසමත් වන විට, අප තුලින් ළදරු මානසිකත්වයන් දැකිය හැකිය. එවිට මාධ්‍ය, ආගමික, දේශපාලනික ව්‍යූහයනට පහසුවෙන් අපව හැසිරවීමටත්, ඔවුන්ගේ පටු අරමුණු කරා අපව මෙහෙයවීමත් ඉතා හොදින් කළ හැකිය. එනිසා ඉතා පුංචි දෙයකින් පවා, අපේ ළදරු මනස අවධි කොට ඉන් ප්‍රයෝජන ගැනීමට, ඉතා සූක්ෂමව ඔවුනට හැකිය. බුද්ධිමය විචාරශීලී තාර්කික බව, අප තුළ නොවන්නට, අප ඔවුන්ගේ ඇම ගිලින්නෝ වෙමු. වර්තමානය තුල, ජාතීන් අතර ගැටුම් සිදුවී ඇති අයුරු හා එය දේශපාලනිකව ප්‍රයෝජනයට ගෙන ඇති අයුරු සැලකීමේදි, මෙය ඉතා හොදින් පැහැදිලි වන්නකි.

මිනිසා දේශපාලනික සත්ත්වයෙකි. එය මුලින් ප්‍රකාශ කළේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. එය සැබෑවකි. අප කිසිවකුටත් දේශපාලනයෙන් මිදිය නොහැක. වැටෙන වැස්ස, කන බත් පත පවා දේශපාලනය හා ගැට ගැසී ඇත. අප අද පත්ව ඇති තත්වයේ ඉරණම්කරුවා, අප විසින් තෝරා ගත් දේශපාලන ප්‍රවාහයන්ගේ ප්‍රතිඵලයන්ය. හැමවිටම ලෝකය එක තැන නොපවතී. එය නිරන්තර ව විකාශනය වෙමින් පවතී. විවිධ අර්ථ නිරූපණ භාවිතාවන් අලුත් වෙයි. එහෙත්, අලුත් අදහස් මතවාද පිළිගැනීමට අපි බියක් දක්වන්නෙමු. නව අදහස් සමීපව ඇසුරු කිරීමකින් තොරව, එම අදහස හදුනාගත නොහැකිය. වැරදි සහගත ආගමික මිථ්‍යාවන් තුල අප එල්බගෙන සිටින්නේද, ඒවා නිරර්ථක බව දැන දැනත්, ක්‍රියාවට නගන්නේ ද  එබැවිනි.

නිසරු දේශපාලන කඳවුරු තුළ, අපි නිත්‍ය සාමාජිකයන් වී සිටිමු. කුඩා කළ දෙමාපිය භාවිතාවන්, කතා බහ අනුව, අපි අපේ දේශපාලනික භාවිතාව තෝරා ගෙන ඇත්තෙමු. එනිසා පක්ෂ අනුව, පරම්පරා ඡන්ද දායකයන් බවට පත්ව, විවිධ දේශපාලන කඳවුරු තුල වහලුන් වී සිටිමු. තමා කැමති දේශපාලනඥයා කුමන මාදිලියේ හොරෙකු, වංචනිකයෙකු, නූගතෙකු, වුවත් කම් නැත. තම ආගමේ හෝ පක්ෂයේ නියෝජනයක් නම් මොන දේ වුවද, එම දේශපාලනඥයා තමා සුරා කන බව දැන දැනම, එම දේශපාලන මතවාදය  හොඳ යැයි ද, සැප යයිද ආවඩති. කෙතරම් යහපත් සාර්ථක දේශපාලනඥයෙක් වුවද, ඔහු දරණ දේශපාලන මතවාදය, පරිසර හිතකාමී මානව ගුණය පිරි එකක් වුවද, ඔහු  තම ආගමත් පක්ෂයත් නොදරයි නම්, එම දේශපාලනඥයා පිළිබඳව ඇත්තේ, තමන්ට නොතේරෙනා කෙන්තියකි. එසේ නොමැති නම් ප්‍රතිවිරෝධයකි. කුඩා කල නිවස තුල වු භාවිතාවන්, පුහුණු වීම්, අප ඇසු දෑ, අනුකරණයන්, අමතකව ගියද එවා අප තුළ තැන්පත් ව වැඩිහිටි වියෙදී  එම ළදරු මනස අවදිව ඊට අනුව අප හැසිරෙති. මිනිසා නිරන්තර කුතුහලය පිරි සත්ත්වයෙකු වුවද, එම කුතුහලය නිවස තුල දීම නැති කොට, ආගමක පක්ෂයක වහලෙකු ලෙස කටයුතු කරන්නට බලකරයි. එහෙත් මේ සමාජය තුල දියුණු අදහසකට යම් පමණ හෝ ඉඩක් ඇත්තේ, වහල් බව පසෙක තබා තර්කානුකූලව, විචක්ෂණශීලිව, අලුත් යමක් සොයා දැන ගැනීමේ කුතුහලයෙන් යුතු, සුලුතරයකගේ  කැපවීම හේතුවෙනි.

පුද්ගල, සිද්ධි, කාලය, අවකාශය පිළිබඳව, තමන් විසින් උපයා ගත්, අවබෝධයකින් බැලීමට නම්, ආගමෙහි සහ පක්ෂ දේශපාලනයේ, වහලුන් නොවිය යුතුය. එනිසා ආගම, පක්ෂ දේශපාලනික බව, පරම්පරා දායාදයන් නොවිය යුත්තේය. වඩාත් යහපත් සමාජයක් විෂයෙහි, සම්ප්‍රදායන් තුල ඇති දෑ, තර්ක කර සියල්ල ඉවත නොදැමිය යුතුය. පාරිසරික යහපැත්මත් මානව ගුණයත්, වගා දිගා කළ හැකි දෑ මෙන්ම, නව අදහස් ද  එකතු කර ගනිමින්, මිත්‍යාවන් පිටුදැකිය යුතුය. අනුකරණයෙන් සාම්ප්‍රදායික  ප්‍රතිපත්ති වල දැඩිව එල්බ නොගැනීමත්,  තර්කයෙන් සියල්ල දිනා ගත හැකියි විශ්වාස නොකිරිමත්,  අතර සමබරතාවකින් යුතුව ප්‍රගතිශීලි බුද්ධි ප්‍රභාවක් අත්පත් කර ගත හැකි නම් වඩා යහපත් සමාජයක් නිර්මාණය කර ගත හැකිය.