No menu items!
21.6 C
Sri Lanka
12 September,2025
Home Blog Page 205

සටන්කිරීමට අමරණීයත්වය පැතූ මහස්වෙතා දේවි

0

■ පවිත්‍රා රූපසිංහ

‘සමාජය තුළ ලේඛකයා රඟදක්වන භූමිකාව අවබෝධ කරගත හැක්කේ ඇගේ හෝ ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වය මතය’ යන්න මහේස්වෙතා දේවි දැඩිව එල්බගෙන සිටි අදහසක්. ඇය තදින් අමරණීයත්වය පිළිබඳ අපූරු අදහසක් දැරුවා. සදාකාලික ජීවිතයක් උදෙසා වූ ඒ ඇල්ම වූකලි හුදෙක් ජීවිතාශාවක් නොව, ඈ අවට ලෝකයේ තිබෙන අයුක්තියට, අසාධාරණයට එරෙහිව හඬනඟන්නට ඇයට තිබූ අව්‍යාජ උවමනාවයි. 2016 වසරේ ඇය ජීවිතයෙන් සමුගත්තද, ඉන්දියාවේ ජීවත්වූ නොමියෙන ලේඛකයන් සහ සටන්කාමීන් අතර ඇය අමරණීයත්වයට පත්වුණා.
මධ්‍යම පන්තික සාහිත්‍යලෝලී උගත් බෙංගලි පවුලක 1926දී උපන් දියණියක වූ ඇය, ඉන්දීය දේශසීමා වෙන්වීමට පෙර ඩකාවේදී ද්විතීයික අධ්‍යාපනය නිමකළා. පසුව රවීන්ද්‍රනාත් තාගෝර් කල්කටාවේ බොලාපූර්හි පිහිටුවූ, විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධාරිනියක බවට පත්වනවා. ශාන්ති නිකේතනය සහ විශ්වභාරතිය, ඇය නිදහස් අරගලයේ උද්වේගයට නිරාවරණය කර තිබෙනවා. ඩකා නුවර ජීවත්වන නූගත් බෙංගලි දියණියන්ට අධ්‍යාපනය ලබාදීමට දතකන අම්මාගෙන් ජීවිතය උගත් ඇය, බාලවියේ පටන්ම පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කැපවනවා.
බෙංගාලයේ ජීවත්වූ සම්භාව්‍ය සාහිත්‍ය චරිතයක් වූ ඇගේ රචනා බොහෝමයක් වෙනත් ඉන්දීය සහ යුරෝපීය භාෂාවන්ටත් පරිවර්තනය වෙනවා. ඇගේ ලේඛන දිවිය නවකතා සියයක්, කෙටිකතා වෙළුම් විස්සකට වැඩි ගණනක් උත්පාදනය කරන අතර, ඇගේ ප්‍රථම තීව්‍ර නවකතාව වන්නේ ‘ජනාසීර් රාණි’යි. ඊට පෙර ‘නති’ නමින් පළවූ නවකතාව පාදක කරගෙන තිබුණේ ජාන්සි නගරයේ අවුරුදු පතා පවත්වන හරිද්‍ර කුම් කුම් උත්සවයේදී ජනයා ගායනා කරන, කුදාබක්ෂ් – මොතිබායි පෙම් පුවත අළලා රචනා කෙරුණු සින්දුයි. පසුව කරන ලද ‘අමිරිතාසන්චෙ’ නවකතාව පාදක කරගත්තේ බුන්දෙල්කාන්ද් පළාතේ ඇති වූ ජන නැගිටීම්.
ලියන්නියක සහ සටන්කාරියක ලෙස එකවර කටයුතු කරන ඇයට ඉන්දියාව තුළ පිරිනැමෙන සෑම සාහිත්‍ය ත්‍යාගයක්ම පාහේ හිමිව තිබෙනවා. ‘රමෝන් මැග්සේසේ’ 1997දී ඇය ලබාගන්නා අතර, සාහිත්‍යය ඇකඩමි ත්‍යාගය, පද්ම ශ්‍රී සම්මානය, පද්ම විභූෂණ සම්මානය, බටහිර බෙංගාල ආණ්ඩුව පිරිනමන ඉහළම ප්‍රජා සම්මානය වන බංගබීභූෂන් සම්මානය, සාහිත්‍යබ්‍රහ්ම යාවජීව සම්මානය ඇය ලැබූ සම්මාන අතරින් කිහිපයක්.
ඉන්දීය සමාජයේ ජීවත්වන වඩාත්ම පීඩිත පයට පෑගෙන ජනකොටස්වල, එනම් අපරාධකාරී සහ ආන්තික යනුවෙන් හංවඩු ගසා තිබෙන ආදිවාසී ගෝත්‍රිකයන්ගෙන්, දාලිතයන්ගෙන්, සංක්‍රමණිකයන්ගෙන් සහ දුප්පත් අනාථයන්ගෙන් සමන්විත ජන කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් නොකඩවා සටන් කරන්නට ඇගේ ජීවිතය මිඩංගු කර තිබීම සුවිශේෂයි. මේ දුක්ඛිත ජීවිත පිළිබඳ ඇත්ත කතාව ලෝකයට එළිකරමින් පෑන හැසිරවූ ඇය එපමණකින් නොනැවතී, ඒ වෙනුවෙන් සමාජය සංවිධානයට ද මැදිහත් වූවා.
මහස්වෙතා දේවිගේ ‘ද හසාන් චෞරාසි කී මා’ හෙවත් ‘අංක 1084 අයිති අම්මා’ නවකතාව 1998 ගෝවින්ද් නිහලනිගේ මැදිහත්වීමෙන් වාර්තා චිත්‍රපටයක් බවට පත්වන අතර, එය ලාංකීය සමාජයේත් ඉතාමත් ජනප්‍රියයි. 1984 යනු හුදු අංකයක් පමණක් නොවෙයි. බ්රෝති නම් සරසවි සිසුවාගේ මෘතදේහයේ පාදයක ඒ අංකය එල්ලෙමින් තිබුණා. දහස් ගණනක් මරාදැමුණු සිසුන් අතර බ්රොති, ඔහුගේ අම්මාට ප්‍රාණසරි පුතුයි. ඉන්දියානු සමාජයේ නිදන්ගත ගතානුගතිකවාදයට එරෙහිව වීදි බට ආදරණීය පුතුයි. මහා ඉන්දියාවේ තමා යනු මිනිස් ආත්මයක් බව වටහාගත් එකම මනුෂ්‍ය පුතුයි. නක්සල්බාර් විමුක්ති අරගලය ඒ කෘතියේ තේමාව වුණා. එය ඉන්දීය ලෝකය ඉතාමත් උපායමාර්ගිකව අමතකකර දැමූ අරගලයක්. ඒත් මහස්වෙතා දේවි ඒ අරගලය නැවතත් ඉන්දීය සමාජයේ ජීවමාන කරමින් සහ සමාජයේ ඉදිරියට කාලාන්තරයක් පවතින එකක් කරමින් ‘බ්රෝතිගේ අම්මා’ නැමති කාල්පනික චරිතය සජීවී කළා. ඇයගේ උත්සාහය වූවේ අරගලය තුළ වන මානවවාදය මතුකිරීමයි. කැරලිකරුවන්ගේ මානවවාදී අධ්‍යාත්මය නිරාවරණය කිරීමට ඇය සිය ලේඛනය තුළ මහත් ඉඩක් වෙන්කර තිබුණා. ‘සැබෑ ඉතිහාසය නිර්මාණය කරන්නේ පොදු ජනතාවයි’ යන්න මහස්වෙතා සිය ජීවිත කාලය පුරාම අඛණ්ඩවම විශ්වාස කළා. ■

පැණිලන්තය – භාගයක් මටය භාගයක් තොපටය

0

■ අතුල දිසානායක

යුරෝපයේ, මැසිඩොනියාවේ ඉතා ඈත පළාතක, කඳුකර ප්‍රදේශයක, මිනිසුන් අත්හැර ගිය ගමක, සාමකාමී හුදකලා ජීවන අරගලයක යෙදෙන කාන්තාවක සහ ඇගේ වයෝවෘද්ධ මවගේ කතාන්දරය රැගත් වාර්තා චිත්‍රපටියකි. ඔවුන්ට සිය පැවැත්ම සඳහා ඇති එකම මාර්ගය ස්වාභාවික මී පැණි නෙලීමය. වියළි කාලයේ කඳුශිඛර තරණය කර මී වද නෙලා ගැනීමෙන් සහ කුඩා මීමැසි ජනපදයක් පවත්වාගනිමින් මී පැණි නිෂ්පාදනය කරන මේ ගැහැනිය ඒවා වෙළඳපොළට ගොස් විකුණා ලබාගන්නේ සොච්චම් මුදලකි. ඇය ඒවා වියදම් කරන්නේ සිය අතිප්‍රාථමික අවශ්‍යතා ඉටුකර ගැනීමටය. මේ ගෝලීය යුගයේ යුරෝපයේ අතිදුෂ්කර, හුදකලා කඳුකර ප්‍රදේශයක මානව ජීවිතය සියුම් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙස ඉදිරිපත් කරන මෙම වාර්තා චිත්‍රපටය දේශගුණ විපර්යාසය, ජෛව විවිධත්වයේ විනාශය, මෙන්ම ස්වාභාවික සම්පත් සූරාකෑමේ ආදිනව ද කියාදෙයි.
වාර්තා චිත්‍රපට කලාවේ එක් සුවිශේෂ අත්දැකීමක් මෙන්ම සුවිශේෂ ආකෘතිමය ලක්ෂණයන්ගෙන් සමන්විත Honeyland හෙවත් පැණිලන්තය මනුෂ්‍යත්වය පිළිබඳ නව්‍ය අත්දැකීමක්තිළිණ කරයි. ලෝකය පුරා පැවැති වාර්තා චිත්‍රපට උළෙලවලින් සම්මාන රැසක් දිනාගත් හනිලෑන්ඩ් Tamara Kotevska, Ljubomir Stefanovගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය නිසා එය හොඳම වෘතාන්ත වාර්තා චිත්‍රපටය (Best Documentary Feature) සහ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය (Best International Feature Film) යන අංශ දෙකෙන්ම මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත් විය. වාර්තා චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙලක දී වාර්තා සහ වෘත්තාන්ත යන අංශ දෙකටම තේරී පත්වුණු පළමු අවස්ථාව ද මෙයයි.
චිත්‍රපටයේ කතා නායිකාව වන්නේ 54 හැවිරිදි තුර්කි සම්භවයක් ඇති හටිඩ්සේ මුරටොවා (Hatidže Muratova) නම් ගැමි ගැහැනියයි. විදුලිය නැති, උල්පත් වතුර පමණක් බීමට ඇති, නගරයට යාමට ඒමට හරිහමන් පාරක් තොටක් නැති මේ හුදකලා ගම්මානයේ ජීවත් වන්නට සිතන්නේ කිසියම් උන්මත්තක හැඟීමක් ඇති අයෙකු මිස අන් කිසිවකු නොවන බව ප්‍රේක්ෂකයා මුල් රූපරාමුවලින්ම සිතන්නට පෙළඹෙයි. සියල්ලෝම ගම හැර ගොසිනි. එහි ජීවත්වන්නේ හටිඩ්සේ සහ ඇගේ අම්මා පමණි. සහෝදරයන් සිටියත් ඔත්පලව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මව බලා ගන්නට ඉතිරි වන්නේ ඇය පමණි. වෙනත් ගම්වල සිටින ඇගේ සහෝදරයන් බැලීමට, වෙළෙඳපොළට යාමට, වෛද්‍යවරයකු ළඟට යාමට ඇයට පැය ගණන් ඇවිදින්නට සිදුවේ. නගරයේ වෙළෙඳපොළට ගොස් මීපැණි විකුණා ලබාගන්නා මුදලින් ඇය තම සුදුපැහැ ගැන්වෙන කොණ්ඩය කළු කරගැනීමට ආලේපන මිලදී ගනී. ඇය කියන්නේ වයසට ගියත් තරුණ පෙනුමෙන් සිටිය යුතු බවයි. වාර්තා චිත්‍රපටය තුළ වයෝවෘද්ධ මව සහ දියණිය අතර ඇති මානුෂීය බැඳීමද තාත්වික සහ නාටකීය ආකාරයෙන් නිරූපණය වෙයි.
ඇය සතු විශිෂ්ට පරිචය වන්නේ සැමවිට මීපැණිවලින් හරි අඩක් පමණ නෙලාගැනීමය. ඉතිරි අඩ මීමැස්සන්ටය. අපේ වහරින් කියන්නේ නම් ඇයට අවශ්‍ය මල නොතලා රොන් ගන්නටය. ඈ කියන්නී සීත සමය එන විට මී මැස්සන්ට ජීවත් වීමට කොටසක් ඕනෑ නිසා එසේ කරන බවය.
හටිඩ්සේගේ සාමකාමී හුදකලා ජීවිතයට බාධා එල්ල වන්නේ ඇයගේ ගමට කිරි හරක් රංචුවක් සමග පදිංචියට එන හුසෙන් සෑම් (Hussein Sam), ඔහුගේ බිරිඳ සහ දරුවන් නිසාය. සෑම්ගේ පවුල ලොකු පොඩි ළමුන් හත්දෙනෙකුගෙන් යුත් එකකි. හටිඩ්සේ මේ නව අසල්වාසී පවුල සමග මිතුරුවෙයි. ඔවුන්ගේ කුඩා දරුවන් සුරතල් කරයි. ඇගේ හුදකලා බව පහව යයි. මුලින් කිරි පිණිස ගවයන් ඇති කරන සෑම්, හටිඩ්සේගේ මීපැණි ජනපදය දැක තමන්ටත් මීපැණි නිපදවීමට අවශ්‍ය බව හටිඩ්සේට කියයි. හටිඩ්සේ සිය මීපැණි නිෂ්පාදනය කිරීමේ දැනුම අසල්වැසි පවුල සමග බෙදාගනී. අසල්වැසියාට මීමැසි ජනපදයක් ඇති කරගැනීමට තම මීමැස්සන්ගෙන් කොටසක් ලබාදෙයි. අසල්වැසි පවුලම මධ්‍ය පරිමාණයෙන් මීමැසි පාලනය ආරම්භ කරයි. ඒ සමගම හටිඩ්සේගේ මීමැසි පාලනයට බාධා එල්ලවෙයි. ඇය ඒවා විඳ දරාගනී. ඇයගේ මීපැණි අස්වැන්න අඩුවෙයි. ගමට මීපැණි එකතුකරන්නට එන ව්‍යාපාරිකයාට අවශ්‍ය වන්නේ වැඩිපුර මීපැණිය. හටිඩ්සේගේ උපදෙස් නොතකන අසල්වාසියා කරන්නේ මීමැස්සන්ට කොටසක් නොතබා සිය මීමැසි කොලණියේ මීපැණි සියල්ලම නෙලාගැනීමයි. ප්‍රතිඵලය වන්නේ සීතකාලයේ දී මීපැණි නැතිව නිරාහාරව සිටින අසල්වැසියාගේ මීමැස්සන් හටිඩ්සේගේ මීමැසි ජනපදයට ප්‍රහාර එල්ල කිරීමයි.
මේ සියලු දුෂ්කරතා සහ ගැටුම් මැද, අබිරහස් රෝගයකින් සෑම්ගේ ගව පට්ටියේ ගවයෝ මියයති. සෑම් සිය පවුල සහ ඉතිරි වී ඇති ගව රංචුව සමග වෙනත් ගමකට යයි. උතුරු මැසිඩෝනියාවේ මේ පළාතේ ගැමි සම්ප්‍රදායට අනුව පවුලක අවසන් ගැහැනු දරුවා සිය දෙමව්පියන් මියයන තෙක් රැක බලාගත යුතුය. ඔවුන් ජීවත්ව සිටියදී විවාහයක් කර ගැනීම ඇයට තහනම්ය. එහෙයින් සියලු දුෂ්කරතා මැද ඇඳට වී සිටින සිය මවට උවටැන් කරමින් සිටින්නට හටිඩ්සේට සිදුවෙයි. එහෙත් රූගත කිරීම් අතරතුර ඇගේ මවද මියයයි. අන් කිසිවකු නැති එම ගම්මානයේ හටිඩ්සේ තනිවෙයි.
ලෝකය පුරා චිත්‍රපට විචාරකයන්ගේ නොමඳ අවධානය සහ ඇගැයීම දිනා ගැනීමට මෙම වාර්තා චිත්‍රපටය හැකිවන්නේ එහි ඇති මානව විද්‍යා සහ පාරිසරික ප්‍රවේශය නිසාය. හනිලෑන්ඩ් රූගත කොට අවසන් කිරීමට වසර තුනක කාලයක් ගත වූ බව සඳහන්වෙයි. පැය 400ක දර්ශන රූගත වෙයි. සියලුම රූගත කිරීම් ස්වාභාවික ලෙස සිදුවූ බවත් සියයට පහක දර්ශන ප්‍රතිනිර්මාණය කරන්නට (Re enact) කරන්නට සිදුවූ බවත් එහි අධ්‍යක්ෂවරු කියති. වාර්තා චිත්‍රපට කීමේ විවිධ විලාසයන් වූ Fly-on-the-wall, Direct cinema, සහ Direct cinema එක හමුවන තැනක් ලෙස හනිලෑන්ඩ් වාර්තා චිත්‍රපටය හැඳින්විය හැකිය. එමෙන්ම එය සමස්තයක් ලෙස නිරීක්ෂණාත්මක වාර්තා චිත්‍රපට (Observational Documentary Film) ගණයට ද අයත් වෙයි. වාර්තා චිත්‍රපටයේ පසුබිම් කථනයක් නැත. ඇත්තේ චරිතවල කතාබහ සහ හුදු ස්වාභාවික ශබ්ද පමණි. චිත්‍රපටයේ කතානායිකාව වන ගැමි ගැහැනිය ලෝකය පුරා පැවැත්වුණු වාර්තා චිත්‍රපට උළෙලවලට රැගෙන යාමට මෙම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු දෙපළ කටයුතු කරති. ලෝකයේ විවිධ නගර, විවිධ ජනවර්ග, ආහාර සහ අලුත් අලුත් දේ දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි.
චිත්‍රපටය පිළිබඳ අදහස අධ්‍යක්ෂවරුන් තුළ ඇතිවීම ද අහම්බයකි. උතුරු මැසිඩෝනියාවේ ගංගාවක් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කිරීමට යන අධ්‍යක්ෂවරුන්ට මෙම කාන්තාව හමුවන අතර ඇය ගැන වාර්තා චිත්‍රපටයක් කිරීමට ඔවුහු අදහස් කරති. නමුත් මුලදී වාර්තා චිත්‍රපටයට පෙනීසිටීමට ඇය අකමැත්තක් දක්වයි. පසුව එකඟවේ. හටිඩ්සේ පරිසර සංරක්ෂණය පිළිබඳව පැරණි සමාජයන් සතු පාරම්පරික දැනුම මෙහිදී පෙන්වා දෙයි. මීපැණි අස්වැන්න නෙලද්දී ඇය නිතරම කියන්නේ ‘half for me, half for you’ යනුවෙනි. ඇය ඒ කියන්නේ සීයාගෙන් ලැබුණු දැනුම අනුවය. මීමැස්සන්ට පියෑඹීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට සහ උන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා තමන්ගේම පැණි තිබිය යුතු බව සීයා ඇයට කියා දී ඇත.
මෙම වාර්තා චිත්‍රපටයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බලධාරීන්ගේ මැදිහත් වීම සුවිශේෂය. 2019 සර්ජේවෝ චිත්‍රපට උළෙලේදී Sarajevo Film Festival තුර්කියේ ගුවන්විදුලි සහ රූපවාහිනී සංස්ථාව (Turkish Radio and Television Corporation) යූරෝ 30,000ක (රුපියල් හැත්තෑ ලක්ෂයක්) ත්‍යාගයක් පිරිනැමීමයි. අධ්‍යක්ෂවරුන් එම මුදල් වැය කරන්නේ මෙම වාර්තා චිත්‍රපටයේ කතා නායිකාවට ඇගේ පවුලේ අය සහ මිතුරන් ජීවත්වන ගම්මානය ආසන්නයෙන් නිවසක් තනා දීමටය. අධ්‍යක්ෂවරුනි දෙපළ Donate for the Honeyland Community නම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ හටිඩ්සේ, ඇගේ ප්‍රජාවට සහ අසල්වැසි පවුල්වලට ප්‍රතිලාභ ලබාදීමටය. එමගින් පිරිසිදු මීපැණි නිෂ්පාදනය කෙරෙන අතර ඒවා අරමුදල් සපයා දෙන්නන්ට ලබාදෙනු ඇත. වාර්තා චිත්‍රපට නම් කලාව දෙස දියුණු ඇසින් බලන නිලධාරි පැලැන්තියක් සිටින රටක ලැබෙන ප්‍රතිඵලය එසේය.
අවසානයේ හනිලෑන්ඩ් වාර්තා චිත්‍රපටය අපට කියාදෙන්නේ කුමක්ද? මානව ශිෂ්ටාචාරය සිය ලෞකික පැවැත්ම සාක්ෂාත් කරගත යුත්තේ සොබාදහම ද සමබරව රැකගනිමින් බවය.■

චුදිතයන් සෝදා පිරිසිදු කළ පළිගැනීමේ කොමිසම අධිකරණයට අපහාස කිරීමට එරෙහිව අධිකරණය මොනවා කරාවිද?

  • රාජපක්‍ෂවරුන් වන්දනා කරයි.
  • අධිකරණයේ නඩු ඉල්ලා අස්කරගන්න කියයි.
  • චුදිතයන් නිදොස්කර නිදහස් කරන්න කියයි.
  • අධිකරණයත් නීතිපතිත් ඊට යටත් වේවිද?

ජනාධිපති ගෝඨාභය, 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ඇමති මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට, කොමිෂන් සභාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව නිල නොවන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත්වී තිබේ.
වාර්තාව කියවන විට, ලංකාවේ ජනාධිපති කොමිෂන් සභා දේශපාලන පළිගැනීම් සඳහා කොයිතරම් අපයෝජනය කරන්නේද යන ප්‍රශ්නය පළමුව ඇතිවේ. දෙවනුව ඇතිවන්නේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට මේ තරම් අපකීර්තිමත්, පහළ තැනකට වැටිය හැකිද? වැටිය යුතුද? යන ප්‍රශ්නයි. තුන්වැන්න, මෙවැනි කැළෑ කොමිසමක් අභියෝගයට ලක්කරන්නට සමත් නීතියක් හා බලවත් දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නැතිද යන්නයි. සිව්වැනි ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය නම්, මෙවැනි කැළෑ කොමිසමකින් දෙන නියෝග නීතිපතිවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළු අධිකරණ පද්ධතියත් පිළිගන්නේද යන්නයි. නැතිනම්, එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා තම ගෞරවය රැකගැනීම සඳහා කටයුතු කරන්නේද යන්නයි.
අප සිතන අන්දමට නම්, රන්ජන් රාමනායක අධිකරණයට අපහාස, අගෞරව කිරීම ගැන අවුරුදු හතරක සිරදඬුවමක් නියම කළ අධිකරණයට, දැන් තමන්ගේ ගෞරවය රැකගැනීම පිළිබඳ අම්ල-භෂ්ම පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදුව ඇත්තේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ ගැන කරන්නේ මොනවාද? කැළෑ කොමිසමකින් තමන් වෘත්තියේ යෙදෙන අධිකරණයට බලවත් අපහාසයක් කර තිබියදී නීතියේ පාලනය රැකගැනීමට කැපවී සිටින නීතිඥ සංගමය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ප්‍රකට නීතිඥවරයකු මෙන්ම රටේ අධිකරණ පද්ධතිය ගැන ගෞරවයෙන් ක්‍රියාකරන අධිකරණ ඇමතිවරයා තමා සිටින ඇමති මණ්ඩලය අනුමත කළ මේ නිර්දේශ ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද?
කොමිෂන් සභාවේ වාර්තාව පටන්ගන්නේම විහිළුකාර රාජපක්‍ෂ වන්දනාවකිනි. ඒ වචනවලින් සංකේතවත් වන්නේ කොමිසමේ සාමාජිකයන් වන උපාලි අබේරත්න, චන්ද්‍රා ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු කොයිතරම් රාජපක්‍ෂ අන්තේවාසිකයන්ද යන්නයි. ඒ වාගේම කොයිතරම් නොපැසුණු අයද යන්නයි. ඒ විතරක් නොවේ. මේ තුන්දෙනා, ලෝකයේ සිදුවන දේ ගැන කොයිතරම් අන්ධද යන්නයි. ඒ වාගේම, සිදුවන දෙයින් තමන්ට වුවමනා කොටසක් අල්ලාගෙන පක්‍ෂපාතී අර්ථකථන දෙන්නට කොයිතරම් සමතුන්ද යන්නයි. මෙවැනි අමනොඥයන් තිදෙනකු මුලසුන හෙබවූ කොමිසමකින් නීතියේ පාලනය බිඳවැටීමක් මිස වෙනත් යහපතක් බලාපොරොත්තු වන්නේ කෙසේද?
මේ, කොමිෂන් වාර්තාවේ පෙරවදන හෙවත් පසුබිම කියවන්න.
පසුබිම
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැගුණු ආක්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනු විසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම යුගයේ වීරයන් පහළ වූ අතර ඔවුන් ආක්‍රමණිකයින් මෙන්ම දේශීය කැරලිකරුවන් ද පලවා හැර රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට අභීතව සටන් කළහ.
අවසන් වශයෙන් බි්‍රතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්කරගෙන ශතවර්ෂාධික කාලයක් ගෙන ගිය පාලනයෙන් රට මුදවා ගැනීමට මහත් අරගලයක් සිදු කරමින් 1948 වර්ෂයේ දී නිදහස ලබාගෙන ඒකීය රාජ්‍යයක් තුළ ලාංකික ජනතාවට සාමකාමී ලෙස ජීවත්වීමේ වරම ලබා දීමට මෙම දිවයිනේ බිහි වූ ජාතික වීරයින් ට අවකාශය ලැබිණි.
එසේ වුවත් එසේ ලබාගත් නිදහසට 1971 වර්ෂයේ දියත් කළ ත්‍රස්තවාදී කැරැල්ලෙන් බරපතල හානි පැමිණුනි. ත්‍රස්තවාදීන් කැරැල්ලේ ගිනි පුපුරු නිවී යාමටත් ප්‍රථම 1976 වර්ෂයේ දී යාපනය නගරාධිපති දොරේ අප්පා මහතාට වෙඩි තබමින් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් නැවතත් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට සහ සාමකාමීත්වයට බාධා පමුණුවමින් සිවිල් වැසියන් ඝාතනය කරමින් රට දෙකඩ කර වෙනම පාලනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව එංගලන්තය ඇතුළු බටහිර රාජ්‍ය කිහිපයක ආශීර්වාදයෙන් යාපනය ප්‍රදේශය මුල් කරගෙන ලේ හලන බිහිසුණු අරගලයක් දියත් කළහ.
1975 වර්ෂයෙන් පසුව මෙරට පාලනය භාරගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ජනාධිපති ආර් ප්‍රේමදාස, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන රාජ්‍ය නායකයන් මෙම ද්‍රවිඩ ඊලාම් ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්වීමට අසමත් වූහ.
මෙම කාලය තුළදී මෙම ත්‍රස්තවාදී කැරැල්ල කොතෙක් දුරට වර්ධනය වූවා ද කිවහොත් 2005 වන විට ලංකාවේ පැරණිම රාජධානිය වූ අනුරාධපුරයෙන් ඔබ්බට යාපනය දෙසට සාමාන්‍ය පුද්ගලයෙකුට යාමට නොහැකි වන අන්දමට මෙම දිවයිනෙහි පාලන තන්ත්‍රය දෙකඩ වී ගොස් තිබුණි.
අවුරුදු 30කට වැඩි මෙම අඳුරු යුගය තුළ ද්‍රවිඩ ඊලාම් කොටි ත්‍රස්තවාදීන් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ද ලෝක උරුමයක් වූ ද ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ කර ලෙයින් තෙත් කළහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයින්, සිවිල් පුරවැසියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළහ. කටුනායක ගුවන් තොටුපල ඇතුළු මහජන දේපල බෝම්බ දමා විනාශ කළහ. 2005 වර්ශය වන විට ශ්‍රී ලංකාව වන විට අරාජික තත්වයක් කරා ළඟා වෙමින් තිබුණි.
මෙවන් අඳුරු යුගයක දී 2005 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ අතර එතුමාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් බිහිකර ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හමුදා අත්දැකීම් උපයෝගී කරගෙන ත්‍රිවිධ හමුදාව සහ පොලිස් බලකාය මෙහෙයවමින් ඊලාම් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධයට එරෙහි මානුෂීය සටන නව මුහුණුවරකින් දියත් කරන ලදී.
අවුරුදු කීපයක් පුරා සිදුකරන ලද බිහිසුණු සටන්වලින් පසුව 2009 වර්ෂයේ මැයි 19 වන දින ඊලාම් කොටි ත්‍රස්තවාදීන් පලවා හරිමින් ශ්‍රී ලංකාව නැවතත් ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමට මෙම වීරෝදාර නායකයන්ට සහ රණවිරුවන්ට හැකිවිය.
ද්‍රවිඩ ඊළාම් ත්‍රස්තවාදීන් පෝෂණය කළ බටහිර නායකයන්ට මෙම විජයග්‍රහණය ඔවුන්ගේ මනදොල සපුරන්නක් නොවීය. එබැවින් ද්‍රවිඩ ඊලාම් යුද්ධයේ අවසන් මානුෂීය සටනේදී යුද අපරාධ සිදු කළ බවට අභූත චෝදනා ඊලාම් යුද්ධයේ සැබෑ විරුවන්ට එරෙහිව ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් පන්නරය ලද බටහිර නායකයන් විසින් එල්ල කරන ලදී.
2015 ජනවාරි 8 වන දින පිහිටුවනු ලැබූ නව රජය මේ සඳහා සුදුසුම තෝතැන්න බවට තෝරාගත් බටහිර නායකයින් නව රජයේ අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාවලිය සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවලිය දඩමීමා කරගත් නව රජය තම සිතැඟි ඉටුකර ගැනීමේ අභිප්‍රාය ක්‍රියාත්මක කරමින් තම දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවටත් එසේම දේශපාලන පළිගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථය යටතේ ක්‍රියාත්මක කෙරුණු දූෂණ විරෝධී කමිටුව නමැති නිල නොවන සංවිධානයක් පිහිටුවා එහි නිර්දේශයන් ඒ සමගම පිහිටුවා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැමැති නිල නොවන පොලිස් ඒකකයක් මගින් ද එසේ ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍ර්‍රීි ලංකා පොලිසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ක්‍රියාත්මක කළ බවටත් සඳහන් කරමින් පළිගැනීමට ලක්වූ පුද්ගලයන්ගෙන් පැමිණිලි ගලා එන්නට විය.
මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද විරුවන්ට එරෙහිව අසත්‍ය නඩු පවරා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමරිකාව හා බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රාජ්‍ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සතුටු කිරීමට නව රජය ක්‍රියා කරන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම චෝදනා එල්ලවිය. යුද නායකයින් හා රණවිරුවන් සිරගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට තමන්ට මෙම දේශපාලනයෙන් බලපෑමක් බලපෑම් කරන බවට රාජ්‍යතන්ත්‍රයේ ඉහළ නිලතල දැරූ නිලධාරීන් ප්‍රසිද්ධියේම නව රජයට එරෙහිව චෝදනා කළහ.
අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සහාව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයා විසින් සිදුකරනු ලබන සමහර පැමිණිළි නොසලකා හරින බවට දේශපාලන පළිගැනීම සඳහා රජයට අවශ්‍ය පැමිණිළි විභාග කර නඩු පැවරීම් සිදු කරන බවටත් චෝදනා එල්ල විය.
එබැවින් මෙම පැමිණිලි සහ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදි.’
මේ පෙරවදනත්, එහි පාවිච්චි කර ඇති 5වැනි ශ්‍රේණියේ සිසුන් රචනා ලියන වචනත්, එහි ඇති වන්දනාමානනයත් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? තමන්ට පැවරී ඇති රාජකාරිය කිරීමට කිසිම සුදුසුකමක් මේ තුන්දෙනාට නැති බවයි. ඒ සඳහා අවශ්‍ය මධ්‍යස්ථ සිහිකල්පනාවකුත්, ලෝකය ගැන දැනුමකුත්, ඉස්පාසුවකුත් ඔවුන්ට නැති බවයි.
මීට පෙරද අප ලියා ඇති පරිදි, යහපාලන ආණ්ඩුව විසින් දූෂණ විරෝධී කමිටුව හා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා තීරණය කළේ එම ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. ඊට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන වෙන්කිරීම, අවශ්‍ය නිලධාරීන් බඳවාගැනීමට අනුමැතිය දීම කළේද ඇමති මණ්ඩලයයි. ඒ නිසා, එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම ඇමතිවරුන්ගේ සාමූහික වගකීමකි. අගමැති ලෙකම්වරයා විසින් කරන ලද නිල ඉල්ලීමකට, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කමිටුවේ කාර්ය සඳහා යෙදවූයේ නීතිපතිවරයාගේ නියමයෙනි. ඒ ගැන විස්තර මීට පෙර අනිද්දා පුවත්පතේ පළවී තිබේ. එහෙව් නීත්‍යනුකූල ආයතනයක්, මේ කොමිසමට අනුව, ‘රාජ්‍ය නොවන සංවිධානයකි.’ වාර්තාව පුරා ඔවුන් දූෂණ විරෝධී කමිටුවටත්, ලේකම් කාර්යාලයටත් පාවිච්චි කර ඇති හැඳින්වීම එයයි. ඔවුන්ගේ නිගමනය වන්නේ, එවැනි රාජ්‍ය නොවන සංවිධානයකට මුදල් වියදම් කිරීම, රජයේ නිලධාරීන් සේවයේ යෙදවීම අපරාධයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
මේ අද්විතීය දැනුම කොමිසමට දී ඇත්තේ කවුද? ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂය. පුදුමයකට මෙන්, මේ මහතා, එවකට ඇමති මණ්ඩලයේද සාමාජිකයෙකි. ඉහත කී සාමූහික වගකීමෙන් බැඳෙන්නෙකි. තමා කමිටුව පත්කිරීම ගැන විරුද්ධ වීම නිසා ඇමති මණ්ඩලය තුළ තමාට එරෙහිව මතයක් පැනනැගුණු බව ඔහු කොමිසම හමුවේ කියා තිබේ. එහෙත්, ප්‍රකට කාරණය නම් කුමක්ද? නීති විරෝධී ආයුධ ජාවාරමක් ගැන සහ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම ගැන බරපතළ චෝදනා ලැබූ නිශ්ශංක සේනාධිපති සමග විජේදාස රාජපක්‍ෂ මහතා සමීප සම්බන්ධතා පැවැත්වූ බවයි. ඔවුන්ගේ පවුල් එකම රථයේ විදේශ රටවල සංචාරවල යෙදුණු ඡායාරූප ඒ කාලයේ සමාජ මාධ්‍ය අවකාශයේ සුලබ විය.
කොමිසමේ අමනොඥබව එක උදාහරණයක් මගින් පමණක් වුවද පැහැදිලි කළ හැකිය.
මරණ දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ පියා මේ කොමිසමට ගියේය. ඒ වන විට, කොමිසමේ පැමිණිලි ගැනීමේ කාලය අවසන්ව, විමර්ශනද අවසන්ව, වාර්තාව ලිවීමට පමණක් ජනාධිපති විසින් සති දෙකක කාලයක් ලබාදී තිබුණ අවස්ථාවක් විය. ඒ අනුව, එක, පැමිණිල්ල බාරගත්තේ අවසාන දිනයට පසුවය. දෙක, පැමිණිල්ල පිළිගත් කොමිසම, දින දෙකක් තුළ ප්‍රකාශ ලියාගෙන, දුමින්ද සිල්වාගේ පියාගෙන් (පමණක්) සාක්‍ෂිද පුදුම හදිසියකින් ලබාගත්තේය. තුන, දුමින්ද සිල්වා රජයේ සේවකයෙක් නොවේ. කොමිසම පත්කර තිබුණේ 2015න් පසු රජයේ සේවකයන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන සෙවීමටය. හතර, දුමින්ද සිල්වාට විරුද්ධව චෝදනා නැගුණේ 2015න් පසු නොවේ. 2011 ඔක්තෝබර් 8 පළාත් පාලන මැතිවරණයේදී කළ ඝාතනයක් ගැනය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදීය. එනිසා කොමිසමේ නිල විමර්ශන කාලයට ඒ කාලය හසු නොවේ. පහ, දුමින්ද ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් තීන්දුව, දුමින්ද විසින්ම අභියාචනය කරන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එලෙසම තහවුරු කරන ලදි.
එහෙව් කාරණයක් ගැන මේ කොමිසම කියන්නේ කුමක්ද?
‘කොළඹ මහාධිකරණයේ නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුය. දුමින්ද සිල්වා වරදකරු කිරීම පිළිබඳ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතුය.’ යනුවෙනි.
මෙවැනි කොමිසමක වාර්තාවක්, අප සැලකිය යුත්තේ නීතියේ පාලනයට කෙරෙන මහා විනාශයක් ලෙස නොවේද?
මේ කොමිසමේ තීරණ හා නිර්දේශවලින් සමහරකි.
1. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ (පැමිණිලි අංකය 01-2020, 5-2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කරඇති බී732/09 වාර්තාවෙහි සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යුතුය. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති 1448/2020 දරන නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම මගින් එකී අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කර පැමිණිලිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
2. හේවා ගුණරත්න භාෂ්වර සේනාංක (816/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි බී2881/2016 වාර්තාවෙහි සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු ය. භාෂ්වර සේනාංක සහ දොන් සතරසිංහ ජයවීරට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අංක එච්සී 50/2018 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.
3. උදය ප්‍රභාත් ගම්මන්පිල (545/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි බී2254/2015 වාර්තාව ඉල්ලා අස්කර ගෙන සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ 8394/2016 සහ 8395/2016 අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම මගින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
4. යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ (1963/2020)
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කර ඇති බී 9823/2015 වාර්තාවෙහි චෝදනාවලින්ද, ගල්කිස්ස මසේත්‍රාත්අධිකරණයෙහි ගොනුකර ඇති බී828/2016 වාර්තාවෙහි සියලුම චෝදනාවලින්ද නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ පවරා ඇති අංක එච්සී 8331/16 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
4. රොහාන් වැලිවිට (1964/2020)
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බී9823/2015 වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කෙට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී 8331/16 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
5. නාලක ගොඩහේවා (432/2020)
අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ බී787/15 දරන බී වාර්තාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ 8133/15 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කෙට නිදහස් කළ යුතුය.
6. වැඩෙනකොණ්ඩ ආරච්චිගේ නිශාන්ත ආසිරි ප්‍රනාන්දු සහ සෙල්ලකපු කමින්ද හර්ෂජිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී884/16 බී වාර්තාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් රුවන්ජීව ප්‍රනාන්දුට කොළඹ මහාධිකරණයේ එච්සී/පීටීබී/02/02/2019 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම.
7. පොල්පාගොඩ ගමගේ තිළිණ සජෝත වින්සන්ට් (04/2020)
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ 1912/16 බී වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී555/2019 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
8. අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා (1969/2020)
අරුමාදුර රෙමෙලෝ දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ එච්සී 7781/15 නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී 8331/16 දරන අධිචෝදනා පත්‍රයේ සඳහන් වරදවලට දුමින්ද සිල්වා වරදකරු කොට මහාධිකරණය විසින් මරණ දඬුවම සහ සිර දඬුවම් නියම කර එකී දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබු අවස්ථාවේදී, මෙම කොමිසම ඉදිරියේ ඉදිරිපත් කෙරුණු නව සාක්‍ෂි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් නොකිරීමෙන් යුක්තිය අවගමනය වී ඇති හෙයින් දුමින්ද සිල්වා වරදකරු කිරීම පිළිබඳ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතුය.
9. ලලිත් ජයසිංහ (115/2020)
පැල්මඩුල්ප මහේස්ත්‍රාත් අධිකරණයේ බී757/2017 වාර්ාතාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සීආර් 215/2017 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
10. ප්‍රේම ආනන්ද උදලාගම (238/2020)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බී93/2009 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. ගම්පහ මහාධිකරණයේ එච්සී 212/19 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
11. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (885/20)
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 1357/05 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. මඩකලපුව මහාධිකරණයේ එච්සීඩී/3057/17 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
12. ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය (1116/2020)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී21/2016 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පැමිණිලිකරුට එරෙහිව ඇමරිකානු රජය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරලීම සඳහා ලංකා රජය විසින් ඊට අවශ්‍ය කෙරෙන නියෝග සහ හෝ නිවේදන ඇමරිකානු රජය වෙත යවා පැමිණිලිකරුට එරෙහිව ක්‍රියාත්මක වන එකී විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතුය.
13. සමන්සිරි දිසානායක හා සුජාතා දමයන්ති ජයරත්න (402/2020, 206/2020)
දෙදෙනාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 44146/15 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. සමන්සිරි දිසානායකට එරෙහිව කොළඹ මහාදිකරණයේ එච්/සී/ටීඒබී/751/19 නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
14. නිශ්ශංක යාපා සේනාධිපති (50/2020)
ගාල්ල මහේසත්‍රාත් අධිකරණයේ බී 32528/15 සහ 44146 බී වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සීබී 25/2017 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.
15. මෝසස් රංගජිව නෙවමාල් (07/20)
ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින එච්සී(ටීඒබී) 03/19/493 නඩුව තවදුරටත් පවත්වා ගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම වාර්තාව තුළ හෙළිදරව් වන්නාවූ කරුණු සලකා බලා තීරණයක් ගත යුතුය.
16. ලමාහේවාගේ එමිල් රංජන් (12/2020)
ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින එච්සී(ටීඒබී) 03/19/493 නඩුව නිර්මාණය කරන ලද සාවද්‍ය සාක්‍ෂි මත ගොඩනගන ලද්දක් බවට වූ දෝෂාරෝපණයන් නීතිපතිවරයාගේ අවධානයට යොමු කළ යුතු ය. එය තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතුය.
17. උදයංග වීරතුංග (1081/2020)
එෆ්සීඅයිඩීය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කරනු ලැබූ බී639/15 නඩුවෙන් ලබාගත් සිතාසිය නියමිත කාර්ය පටිපාටියට අනුකූලව බාර දීමට ක්‍රියා නොකිරීම.
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමෙන් බලවත් මූල්‍ය අක්‍රමිකතාවක් කොට ඇතැයි උපකල්පනය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කර ඇති බී 639/15 නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුර ක්‍රියාත්මක වීමක් සිදු නොකරන බවට අධිකරණයට වාර්තා කළ යුතුය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017.01.04 දින උදයංග වීරතුංග නමට ඇති සියලුම බැංකු ගිණුම්වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටුවීමට නිකුත් කරන ලද අධිකරණ නියෝගය ඉවත්කරන මෙන් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතුය.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් 2015.04.29 දින සිට උදයංග වීරතුංග නමට ඇති බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රිය කරනු ලැබ පසුව බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය මත අක්‍රිය කිරීමේ කාලසීමාව දීර්ඝ කරනු ලැබ ඇති බැවින් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් එකී ගිණුම් අක්‍රිය කිරීමේ නියෝගය අවලංගු කිරීම හෝ නැවත දීර්ඝ නොකිරීම.
18. කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න (24/2020)
හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ බී7417/2015 වාර්තාවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
කොළඹ මහාධිකරණයේ එච්සී(ටීඒබී) 725/19 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම තුළින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
හෝමාගම කලාපයේ මහාධිකරණ නඩු අංක එච්සී 209/19 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගෙන නිදොස් කොට නිදහස් කළ යුතුය.
19. තිරුකුමාර් නඩේසන් 1968/2020
එෆ්සීඅයිඩීයට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර නඩේසන් හා බැසිල් රාජපක්‍ෂට එරෙහිව බී8674/15 වාර්තාව මගින් අසත්‍ය පැමිණිල්ලක් ගොනුකිරීමට කටයුතු කළ අයට එරෙහිව නිසි අධිකරණය ඉදිරියේ නඩු පැවරිය යුතුය.
20. ධම්මික අමල් කරුණාසේකර, බණ්ඩාර දිසානායක බුලත්වත්ත, නිශාන්ත ජයතිලක, චාමික සුමිත්, චන්ද්‍රාභය ජයසූරිය, ප්‍රභාත් දුමින්ද වීරරත්න, පේඩිගේ නිශාන්ත කුමාර, ලසන්ත විමලවීර
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බී 1535/08 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
21. සුමිත් රණසිංහ (03/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී732/2009 වාර්තාවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
22. ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි
මහේස්ත්‍රාත් අධිකරණයේ 7439/2/6 නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
කොළඹ මහාධිකරණයේ එච්සී(ටීඒබී)1448 නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීම මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.■
තවත් විස්තර ලබන සතියේ

 

 

කිතුනුවාගේ දේශපාලනය කුමක් විය යුතුද?

0
  • ‘කිතුනුවන්ගේ දේශපාලනය කුමක් විය යුතුද’ යන්නට සැබෑ ක්‍රිස්තියානි දේව ධර්මය තුළ පිහිටා පිළිතුරක් ගොනු කරමු.

■ කිතුසර කණ්ඩායම

‘කාදිනල්වරයාගේ හා මෙරට කතෝලික ජන කොටසේ දේශපාලනය කෙසේ විය යුතුද?’
මැයෙන් සිරිල් එf`ඩ්රමුල්ල මහතා විසින් 2020.12.27 අනිද්දා පුවත්පතට ලියන ලද ලිපිය කාලීන සාකච්ඡාවක් පොදු මාධ්‍යයකින් (කිතුනු නොවන) ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් කර ගැනීම මෙරටේ පොදු දේශපාලනයටද වැදගත් යැයි සිතන නිසා මෙය ලියමු.
ආරම්භයේදීම එf`ඩ්රමුල්ල මහතාගේ ලිපියේ මාතෘකාවේ සීමා මායිම් පුළුල් කර අපගේ සාකච්ඡාව ස්ථානගත කරමු.
1. කාදිනල්වරයා වෙනුවට කාදිනල්වරයා ඇතුළු කිතුනු ගිහි පැවිදි නායකත්වයක්
2. කතෝලික ජන කොටස වෙනුවට කතෝලිකද ඇතුළත් කිතුනු ජනතාවගෙන් දේශපාලනය ලෙසත් නායකයන්ගේ දේශපාලනය හා ජනතාවගේ දේශපාලනය දෙකක් නොව එකක්ම විය යුතු නිසා කිතුනුවන්ගේ දේශපාලනය ලෙස මාතෘකාව පුළුල් කරමු.
අපගේ වියමනට පෙර තවත් එක් ප්‍රශ්නයක් පැහැදිලි කරගත යුතු බව සිතමු. එනම් කිතුනුවන්ට දේශපාලනය කැපද? කිතුනු පැවිද්දන්ට හා පූජකයන්ට රදගුරුවරුන්ට කාදිනල්වරුන්ට පාප්තුමාට දේශපාලනය කැපද? යන ප්‍රශ්නයයි.
තවමත් යම් පිරිසක් මේ ප්‍රශ්නයට පිළිතුර ලෙස පූජක පැවිද්දන් දේශපාලනය නොකළ යුතුය යන අදහසේ සිටිති. එහෙත් ඉතා පැහැදිලි ලෙස ‘දේශපාලන කැපවීම දයා සේවාව ඉහළින්ම කළ හැකි මාවත බව’ කතෝලික සමාජ දර්ශනය මෙන්ම ලෝක ක්‍රිස්තියානි සභා සමුළු ඉගැන්වීම් මගින් ද තහවුරු කර අවසානය. එසේ නොවුණද උප්පන්න සහතිකයේ සිට රාජ්‍යයට මිනිසා බැඳෙන වර්තමාන ලෝක යථාර්ථය තුළ දේශපාලනයෙන් බැහැර කිසිවක්ම නැත.
දැන් එf`ඩ්රමුල්ල මහතා නගන ප්‍රශ්නයට අප විසින් විස්තාරණය කරන ලද පුළුල් බව තුළ සිට ‘කිතුනුවන්ගේ දේශපාලනය කුමක් විය යුතුද’ යන්නට සැබෑ ක්‍රිස්තියානි දේව ධර්මය තුළ පිහිටා පිළිතුරක් ගොනු කරමු.
කිතුනුවන්ගේ දේශපාලනය ජේසුගේ දූත කාර්යය, දැක්ම, ශුද්ධ බයිබලීය දැක්ම වර්තමාන සංදර්භය තුළ ක්‍රියාත්මක කිරීමේ දේශපාලනය විය යුතුය.
අපි ඒ පිළිතුර දැන් මඳක් විස්තාරණය කරමු.
■ කිතුනුවන්ගේ දේශපාලනය සම්භාව්‍ය අරුතින් ලොව පිළිගත් ශිෂ්ට සම්පන්න ප්‍රඥා සම්පන්න විමුක්තිවාදී දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය පෘථිවියේත් මානව වර්ගයාගේත් තිරසර නිදහස් විමුක්ති පැවැත්ම තහවුරු කරන, ඒ මෙහෙවර සඳහා සේවය කිරීමට බලය භාවිත කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ‘ලාභය’ වෙනුවට ‘ප්‍රේමය’ මුල් කරගත් දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය මේ ලොව තුළ දේව පාලනයක් හෙවත් ප්‍රේමයේ පාලනයක් පවත්වාගෙන යාම සඳහා වන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය වාර්ගික, ආගමික, සංස්කෘතික, ලිංගික වෙනස්කොට සැලකීමෙන් තොර සමානාත්මතාව මත පදනම් වූ ආර්ථීක දේශපාලන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ හා පවත්වා ගැනීමේ දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජෛව විවිධත්වය පමණක් නොව වාර්ගික, ආගමික, භාෂාමය, සංස්කෘතිකමය, ලිංගිකමය ආදි විවිධත්වයන් ප්‍රමාණාත්මක සුළුතර බහුතර බව මත පදනම් නොවී පිළිගන්නා, අගය කරන, ආරක්ෂා කරන ඒ විවිධ වූ සියල්ලන්ගේ ස්වයං තීරණ අයිතියත් සමගරුත්වයක් සහාභාගිත්වත් දායකත්වයත් එක සේ පිළිගන්නා දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය තමන්ද ඇතුළු සියලු ජන කොටස්වල ඇති අගතිගාමී තත්වයක් ස්වයං විවේචනයට හා විවේචනයට ලක් කරන සෑම ජන ප්‍රජාවක්ම, නිරන්තරයෙන් ආත්ම සෝදිසියක යෙදෙමින් නිවැරදි වීමේ, වර්ධනය වීමේ ගමනක යෙදිය යුතුය බව පිළිගන්නා හා ඊට යොමු කරන දේශපාලනය විය යුතුය..
■ කිතුනුවන්ගේ දේශපාලනය සියලු මිනිසුන්ගේ ජීවත්වීමට අදාළව ආර්ථික දේශපාලනික සංස්කෘතික සමාජීය පාරිසරික අයිතින් පිළිගන්නා මිනිසුන්ගේ පමණක් නොව ගහකොළ ඇළ දොල සතා සිව්පාවාගේ පවා හිමිකම් තහවුරු කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය දරිද්‍රයා, පීඩිතයා තෝරා ගන්නා පීඩිතයාගේ පැත්තේ සිට ගන්නා, පීඩිත මිනිසුන්ගේ, ගැහැනුන්ගේ, ජාතින්ගේ, ලිංගිකයන්ගේ පමණක් නොව පීඩිත සොබාදහම් පැත්තේ සිට කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය පීඩකයා තණ්හාවෙන් මුදන, පීඩිතයා දරිද්‍රතාවෙන් මුදන සොබාදහම සූරාකෑමෙන් මුදන දේශපාලනය විය යුතුය.
■ කිතුවන්ගේ දේශපාලනය කිසියම් එක් දෘෂ්ටිවාදයක වහල්භාවයට පත් නොවූ ධාර්මික (ආගමික නොවේ) සාරාර්ථයන්ද වර්තමානය වන විට පොදු මානව උරුමයක් බවට පත්ව ඇති තව දුරටත් සංවර්ධනය වන මාක්ස්වාදය, ලිබරල්වාදය, මානව හිමිකම් ආදි දියුණු දර්ශනයන්ගේ සාරාර්ථයන්ගෙන්ද පෝෂණය ලබමින් වෙනස් වෙමින් ඉදිරියට යන දේශපාලනය විය යුතුය. ■ කිතුනුවන්ගේ දේශපාලනය ව්‍යාජ දේශ ප්‍රේමයෙන්ද ව්‍යාජ විශ්වාන්තරවාදයෙන් මිදුණු, මිනිසා පය ගසා සිටින භූමියෙන් උරුම වූ පාරම්පරික මිථ්‍යා මත නොවන ඥාන සම්භාරයෙන්ද විශ්වීය ගෝලීය විiාවන්ගෙන්ද පෝෂිත ඥාන සම්භාරයන්ගෙන්ද පෝෂණය වන දේශපාලනයයි.
■ කිතුනුවන්ගේ දේශපාලනය පෞද්ගලික නිදහසට ගරු කරන නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය සුරක්ෂිත කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජාතිවාදී ආගම්වාදී දේශපාලනය නොවිය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය තමාගේ පෞද්ගලික උන්නතිකාමය උදෙසා හෝ තම ප්‍රජාවේ සභාවේ වත්කම්, වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගීතාවාදී ලෙස වර්ගවාදී ජාතිවාදී අධිකාරිවාදී හෝ වෙනත් ඕනැම දේශපාලනයකට නියමින් හෝ අනියමින් සහය පළ කරන දේශපාලනයක් නොවිය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජේසුස්ගේ කොන්දේසි විරහිත, වෛර කරන්නාටද ප්‍රේම කරන ප්‍රේමය මත පදනම් වූවක් මිස තම ජාතියේ, තම ආගමේ නොවන අනෙකාට සිදුවූ විශාල අසාධාරණකම් ඉදිරියේ මුනිවත රකිමින් සිට තම ප්‍රජාවට සිදුවන අසාධාරණයක් ඉදිරියේ පමණක් සාධාරණය ඉල්ලා කෙරෙන දේශපාලනයක් නොවිය යුතුය.
■ කිතුනුවාගේ දේශපාලනය තම ප්‍රජාවේ ඡන්ද ගොඩ බොරුව, වංචාව, දූෂණය, මිනිමැරීම ඇතුළු දස පනතම කඩ කළ බව, කඩ කරන බව හොඳින් දන්නා පවිටු දේශපාලනයකට හරවන දේව විරෝධී දේශපාලනයක් නොවිය යුතුය.
■ ගෝලීය හා දේශීය බලලෝභී දේශපාලනය න්‍යාය පත්‍රවලට නියමින් හා අනියමින් සේවය කරන ගෝලීය හෝ දේශීය පවිටු දේශපාලනයෙන් වරදාන ලබාගන්නා දේශපාලනයක් නොවිය යුතුය.■

චම්පිකගේ තනතුරට සජබ විරෝධයක්

0

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට ඉදිරි සතියේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන තනතුරක් ලබා දීම සඳහා සාකච්ඡා පවත්වා ඇතත්, ඔහුට තනතුරක් ලබාදීමට සජබ ප්‍රබලයන් අතර විරෝධයක් දක්වා ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක වැනි තනතුරක් ඔහුට ලබා දීම පිළිබඳ සාකච්ඡා කර ඇතත්, තමන්ට ඉහළින් විශේෂ තනතුරක් චම්පික රණවකට ලබා නොදිය යුතු බව සමගි ජන බලවේගයේ ඇතැම් නායකයන් කියා තිබේ.
අනිද්දා සමඟ අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ප්‍රකාශ කළේ හරි හැටි පක්ෂ සාමාජිකත්වයත් ලබා නොගත් කෙනෙකුට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා නොදිය යුතු බවය. තවත් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ ඔහුට ජ්‍යෙෂ්ඨ උප සභාපති වැනි තනතුරක් ලබා දුන්නද, වෙනත් විශේෂ තනතුරක් ලබා නොදිය යුතු බවය.■

නිකාය නිසා පත්වීම දුන්නේ නෑ

0

■ පවිත්‍රා රූපසිංහ

තමාට කොළඹ රාජකීය විද්‍යාලයේ පත්වීම බාර නොදී සිටීමට හේතුව නිකාය භේදයක් යැයි හැඟෙන බව අම්බලන්ගොඩ ධම්මාලෝක හිමි පවසයි.
අනිද්දා කළ විමසීමකදී එහිමියන් මෙසේ පැවසීය. ‘මුලින්ම විද්‍යාලයට ගිය දවසේ රාජකාරී භාරගත් පසුව දානය වළඳන්න තැනක් නැති බව විදුහල්පති පැවසුවා. දෙවන දිනයේ පාසලේ අනෙක් හාමුදුරුවරු සමඟ මේ බව කතා කළ යුතු බව පැවසුවා. තෙවන දිනයේදී පසුව පැමිණෙන ලෙස කියූ අතර, මේ අකාරයෙන් දින 06 ක් මා වැඩ භාර ගැනීමට පාසලට ගියා. අවසාන දිනයේදී විදුහල්පති පැවසුවේ පාසලට ගුරුවරයෙක් බඳවා ගැනීමට අතිරික්තයක් නැති බවයි.’ යනුවෙනි. ■

රන්ජන් වෙනුවෙන් අභියාචනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කරන බව කියමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වඩා විශාල විනිසුරු මඬුල්ලකින් විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට විපක්ෂයේ නීතිඥ කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වේ.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ තීන්දුව ලබාදුන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයකින් වන අතර පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්, සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හෝ සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලීමට නියමිතය.
සමගි ජන බලවේගයේ නීතිඥවරුන් සහ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව අනිද්දා සමඟ අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ නායකයන් කිහිපදෙනෙක් පැවසූහ.
අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අත්සන් තබා ඇති බවත්, එම ප්‍රඥප්තියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙන බවත්ය. ඒ අනුව අදහස් ප්‍රකාශනයේ අයිතිය තහවුරු කළ යුතු බවත්, යම් නඩු තීන්දුවක් එක් වතාවක් හෝ අභියාචනයකට ලක් කිරීම සඳහා අධිකරණය බැඳී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.■

 

මන්ත්‍රීවරු පීසීආර් මඟහරිති

0

■ අනුරංග ජයසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණ පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් වෙන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් නොකිරීම නිසා බව වාර්තා වේ.
ජනවාරි 28 දිනැතිව වේත්‍රධාරීවරයා එම නිවේදනය නිකුත් කර තිබේ.
මේ වන විට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ 1300ක් පමණ කර තිබේ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් පීසීආර් පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 34 දෙනෙකු පමණි. එලෙස පැමිණි කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආසාදිත බව තහවුරු වී නැත. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, අරුන්දික ප්‍රනාන්දු, පියල් නිශාන්ත සහ වසන්ත යාපා බණ්ඩාර කොවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් නොව, පෞද්ගලිකව කරන ලද පීසීආර් පරීක්ෂණවලින්ය.■

 

මැති ඇමති ප්‍රබලයෝ නඩුවලින් නිදහස්! -බැසිල්, ගම්මන්පිල, දුමින්ද, ගොඩහේවා, සේනාධිපති..

දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාව තුළින් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසකගේ නඩු ඉවත්කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවලට අවසර ඉල්ලා තිබේ.
2015 ජනවාරි මස 8 වැනි දින සිට 2019 නොවැම්බර් 16 දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම යනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත.
ඒ මඟින් කැබිනට් මණ්ඩලයේ අනුමැතීන් කිහිපයක් ඉල්ලා ඇති අතර එම වාර්තාව හා එහි වෙළුම් පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයක් වශයෙන් ඉදිරිපත් කිරීම, යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධි කමිටුව සම්බන්ධයෙන් වූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීම, කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම ඒවා වේ.
බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, නාලක ගොඩහේවා, යෝෂිත රාජපක්ෂ, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, දුමින්ද සිල්වා, තිරුකුමාර් නඩේසන් යන ප්‍රබලයන්ගේ නඩු නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත යුතු යැයි නිර්දේශ කර ඇත. නඩු ඉවත් කර ගැනීමට නිර්දේශ කර ඇති අනෙක් පුද්ගලයන් වන්නේ නිශ්ශංක සේනාධිපති, නිහාල් ජයතිලක, කිත්සිරි රණවක, බන්දුල තිලකසිරි, ඩී එස් ජයවීර, ඩබ්ලිව් විමලසේන, භාෂ්වර සේනාංක, රොහාන් වැලිවිට, ජාලිය වික්‍රමසූරිය, ප්‍රේම් ආනන්ද උදලාගම, මහින්ද කහඳගම, වික්ටර් සමරවීර ආදීන්ය.
එසේම තරුණයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ නඩුවලට අදාළ වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයින්ද, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවල ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා සාමාජිකයින්ද, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයින්ද එම නඩුවලින් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබේ.■

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර

0

පසුගිය දා අබිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ(?) සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයන් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාසයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාස පිහිටා ඇත. මේ මැතිවරණ කොට්ඨාස තුනම කුල පදනම මත බෙදා වෙන් කළ මැතිවරණ දේශ සීමාවන් ය. රත්ගම සලාගම වනවිට අම්බලන්ගොඩ කරාව ය. කරන්දෙණිය දේව වාංශික ය. අම්බලන්ගොඩට යාබද බලපිටිය ගත්ත ද එයත් කුලය සලකා සීමා නිර්ණය කළ අසුනක් ය. එහි ද බහුතරය සලාගමය. මෙම බෙදිල්ලට පසුව රත්ගම ප්‍රාදේශීය සභා සීමාව ද යළි නැවත හික්කඩුව නගර සභාව සහ රත්ගම ප්‍රදේශීය සභාව ලෙස යළි සැකසෙන්නේ කුල පදනම මත බෙදෙමින් ය. ඒ අනුව කරාව බහුතරය වටකර හික්කඩුව නගර සභා නාමපෝරුව එල්ලා ඇත. රත්ගම බහුතර සාලිග්‍රාමයෝ කියන්නේ රත්ගම ප්‍රදේශීය සභාවට සල්ලි යහමින් පැමිණි හික්කඩුව වටකර කරාව වාංශිකයෝ හික්කඩුවට නගර සභාවක් දිනා ගත් බවය. දැන් ඔබට මේ ප්‍රදේශය කේන්ද්‍රගත කුල ක්‍රමය පිළිබඳව යම් වැටහීමක් ලැබෙන්නට ඇත. ඉතිං දැන් අපිට අපගේ මූලික කතාවට නැවත යන්නට ඇහැක් ය.

ඇත්තටම හාමුදුරුවෝ මැරුනද? මැරුව ද?
ඉහත ප්‍රශ්නය මම රත්ගම බොහෝ දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන්ට ඒ සඳහා නෙක පිළිතුරු තිබුණි. එය රෂෝමන් සිහි ගන්වයි. “හාමුදුරුවෝ එහෙම කා එක්කවත් කතා කරපු ආශ්‍රය කරපු කෙනෙක් නෙවෙයි, පොල්ගස්දූවට වෙලා භාවනා කළා. ඔරුව පැදගෙන ඇවිත් ගමේ පින්ඬපාතේ වැඩියා. එහෙම අපේ ගෙවල්වලට වැඩියාම වුණත් සීමිත වචන ප්‍රමානයක් තමයි කතා කළේ. ඉතිං හාමුදුරුවන්ට මේ මොකද වුණේ කියලා හිතා ගන්න බැහැ.“ මේ එක් රත්ගම වාසියෙකුගේ හඬය. ඔහුට අනුව හාමුදුරුවන්ට සියදිවි හානිකරගන්නට හේතුවක් නැත. ඒ වගේම හාමුදුරුවන්ව ඝාතනය කරන්නද හේතුවක් නැත. “ හාමුදුරුවන්ගේ මිනිය හම්බවෙන්න කළින් හාමුදුරුවෝ භාවිතා කරපු ඔරුව පරක්කු දූවට පාවෙලා ඇවිත් තිබුණා. සමහර දවසට එහෙම පාවෙලා එනවා, එතකොට ජිනවංස හාමුදුරුවෝ පීනගෙන ඇවිත් අරගෙන යනවා, ඒ නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් පහුවෙනිදා හාමුදුරුවන්ගේ සිරුර පාවෙනකොට තමයි අපිත් මේ සිද්ධිය අඳුර ගත්තේ“ මේ හඬ පොල්ගස්දූව සහ පරක්කුදූව යන රත්ගම කළපුව මැද දෙදූපත් වලට ඔරු ගමන අරඹන ජැටියට ආසන්නව ජීවත්වෙන ගැමියෙකුගේ ය. පොල්ගස්දූව සහ පරක්කුදූව යන දූපත් දෙකේම අයිතිය ඇත්තේ බම්බලපිටිය වජිරාරාමයටය. මෙම ආරණ්‍ය සෙනසුන අවුරුදු 100කට වඩා පැරණි බව දැනගන්නට ඇත. මෙහි වැඩවසන විස්සකට මඳක් වැඩි සඟුන් භාවනානුයෝගීහුය. එනිසාම ඔවුනට මෙම දූපතට යාබද රත්ගම හෝ දොඩන්දූව සමග හෝ එහෙමට ඇයි හොඳයියක් නැත. “ මේ හාමුදුරුවෝ එක්ක එකටම හිටපු හාමුදුරුවරු කියන්නේ මේ හාමුදුරුවන්ට හොඳටම විෂාධිය තිබුණා කියලා. ඒ හින්දා ගොඩක් අය හිතනවා මේක හාමුදුරෝ විසින්ම කරගන්න ඇති කියලා. කොහොම වුණත් තවත් පිරිසක් කියනවා මේ කළපුව හරහා අලුතින් ඉදිවෙන පාලම සහ පාර සහ මේ මරණය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද මේ අලුත් පාරට මේ පොල්ගස්දූවේ හාමුදුරුවරු විරුද්ධයි.“ මේ පොල්ගස්දූව පෙනෙන ඉමේ කටුදම්පේ ගමේ ගැමියෙක් මේ මරණය දකින් අයුරු ය. හාමුදුරුවන් මානසික තැවුල් සිත නිසා මෙය කරගත්තා ද? දෙපයේ ගල් ගැටගසාගෙන ඔරුවෙන් ගඟට පැන්නා ද? සියදිවි හානිකරගන්නට සිතුනු වෙලාව සහ ඒ සඳහා ගත්වුණ කාලය පිළිබඳව සිතීමේදී හාමුදුරුවන්ගේ සිත නොවෙනස් වීම පුදුමයක් ය!!. කොහොම වුණත් ඉදිරි කාලයේ දී මේක සියදිවි හානිකරගැනීමක් ද නැතිනම් මිනී මැරුමක් ද යන්නට උත්තරයක් ලැබෙනු ඇති. මම හාමුදුරුවන් ගේ මරණය ගැන සෙවීම පසෙක තබා රත්ගම කළපුව හරහා අලුතින් ඉදිකරන්නට යෝජිත පාලම සහ එම පාලමට දෙපසින් දැනට ඉදිවෙන මාර්ගය පිළිබඳව කරුණු සොයන්නට වෙහෙසුණි.

මොකද්ද මේ පාර ?
රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් කටුදම්පේ ගලගොඩවත්තේ සිට හෙන්නාතොට ගොරකගස් බොක්ක දක්වා රත්ගම කළපුව හරහා මිටර්100ක දිගින් යුතු යකඩ පාලමක් සමගින් කිලෝමීටරයක් ( හික්කඩුව ප්‍රදේශීය සභාව කියන ලෙස ) දිග මාර්ගයක් මේ වනවිට ලහි ලහියේ ඉදිවෙමින් ඇත. මම රත්ගම ප්‍රදේශීය සභාවට අයත් කටුදම්පේ ග්‍රාමයේ නිග්‍රෝධාරාම විහාරය අස සිට නව මඟේ ගමන් කළෙමි. කඩොල් රක්ෂිතයට සමාන්ත්‍රව බොහෝ තැනක කඩොල් කැලේ විනාශ කරමින් පාර කැපී ඇත. යකඩ පාලම ඉදිකරන්නට යෝජිත සීමාවේද ඇත්තේ කොළට කොළ කඩොල් කටු කැලයක් ය. මම ඇවිද ගිය රත්ගම සීමාවේ මාර්ගයට යාව නිවෙස් එහෙමට කියා දකින්නට නැත. මිනිස් වාසයකුත් නැතිනම් ඇයි මෙහෙම පාරක්? ඇයි ගඟ හරහා පාලමක්? නැඟෙන ප්‍රශ්නය එයයි. ඊළඟ ප්‍රශ්නය රත්ගම ප්‍රදේශීය සභාවට අයත් මේ භූමියේ හික්කඩුව නගර සභාව පාරක් කපන්නේ ඇයි ? මේ පාරට පොල්ගස්දූව ආරණ්‍ය සෙනසුනේ සඟුන් විරුද්ධ වුණේ ඇයි? මම මේ ප්‍රශ්නවලට පිළිතුරු එම ගම ප්‍රජාවගෙන්ම එකතු කළෙමු. ඒ රත්ගම කටුදම්පේ ගලගොඩවත්ත හෙන්නාතොට ආශ්‍රයෙන් ය.
“රත්ගම කටුදම්පේ තමයි මේ ප්‍රදේශයට කියන නම. ප්‍රධාන ගම ඒක. මේ කියන කටුදම්පේ සලාගම සහ කරාව කුලවලට අයිති මිනිස්සු සමව වගේ ඉන්නවා. ඊට අමතරව හින්නා කුලය, දුරාව කුලය, ගොවිගම කුලය වගේ කුලවල මිනිස්සුත් ඉන්නවා. හැබැයි අපි කිසි ප්‍රශ්නයක් නැතුව මෙච්චර කාලයක් සාමයෙන් සමගියෙන් හිටියා. ඒත් දැන් අපිට ඒක නැතිවෙලා. ඒකට හේතුව උග්‍ර කුලවාදියෙක් වෙන හික්කඩුව නගර සභාවේ නගරාධිපති විනී කාරියවසම් තමන්ගේ කරාව කුලයේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ දෙකක් යා කරන්න හදන මේ පාලම“ මිනිස්සු පාලම් හදන්නේ එකතු කරන්නටය. එහෙත් කඩොල් රක්ෂිතය ද කඩාගෙන නීතියට පිටින් මේ හැදෙන පාර සහ පාලම මිනිස් බැඳීම් දෙකඩ කරමින් සිටින්නේ කුලවාදය ප්‍රමෝදයට පත් කරමිය.
“කටුදම්පේ මේ පාර අලුතින් කැපෙන රත්ගමට අයිති හරියේ වැඩිපුර ඉන්නේ කරාව මිනිස්සු. ඒ හින්දම පළාත් පාලන ඡන්දයේ දී මේ කොට්ඨාශයට ජනසෙත පෙරමුණෙන් ඡන්දය ඉල්ලපු කරාව මනුස්සයා දිනුවා. රත්ගම කළපුවේ මානන් ඔයට උඩින් තමයි පාලම යනවැයි කියන්නේ. කළපුවේ අනික් පැත්ත තමයි ගොරකාගස් දෙබොක්ක, එහෙත් බහුතරේ කරාව. ඉතිං විනී කාරියවසම්ට ඕනෑ මේ ප්‍රදේශ දෙක එකතු කරන්න. ඊට පස්සේ මේ රත්ගමට අයිති මේ ප්‍රදේශයත් හික්කඩුවට ඈද ගන්න. මේක රත්ගම ප්‍රදේශීය සභාවේ සභාපතිට තේරෙන්නේ නැහැ. නැත්තං මෙච්චර රත්ගම මිනිස්සු විරුද්ධ වෙද්දි විනී කාරියවසම්ගේ මැර බලයට මෙහෙම පාරවල් කපන්න ඉඩ දෙයිද? ඔය මනුස්සයාම තමයි කරාව මිනිස්සු වට කරලා හික්කඩුව නගර සභාව හැදුවෙත්. අන්තිමට මිනිහෙක් මරලා හිරේ ගියා. මරණ දඩුවමට නියමවුණා. මහින්ද මහත්තයා තමයි එළියට දැම්මේ. මිනිහගේ මැර දේශපාලනයට පොලීසියත් බයයි. ඒකයි ඇත්ත.“ මේ රත්ගම කටුදම්පේ මැදහත් පුරවැසියෙකු මේ පාලමේ අභ්‍යන්තරයට එබෙන විදිහය.
පාලම ගැන සහ පාර ගැන කතා කරන කරාව වාංශිකයන් කියන්නේ මේ පාර නිසා ඉක්මනින් තමන්ට දොඩන්දූව නගරයට යන්නට ඇහැක් වෙන බවය. එහෙත් මම කළ නිරීක්ෂණයේදී පැහැදිලි වුණේ කටුදම්පේ මිනිසුන්ට රත්ගම හරහා ද ගොරකාගස් දෙබොක්ක මිනිසුන්ට පින්කන්ද හරහා ද දොඩන්දූවට යන්නට විනාඩි 10ක් පමණ යන බවය. දෙපසම මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ඇත. අනෙක් වැදගත් කාරණය වන්නේ දොඩන්දූවට වඩා නාගරීකරණය වූ බිම රත්ගම වීම තුළ රත්ගම කටුදම්පේ කරාව වාංශිකයන් තමන්ට නාගරික අවශ්‍යතා සපුරා ගැනීමට ඉක්මනට දොඩන්දූවට යන්නට මේ මඟ අවශ්‍යයි පැවසීමය. සාමාන්‍ය ජනතාවගේ මේ අවශ්‍යතාවය විනී කාරියවසම් වැනි උග්‍ර කුලවාදී යැයි කියන මිනිසුන් ඇති කළ හැඟීමක් වන්නට බැරි නැත, අනෙක් පැත්තෙන් මේ කොට්ඨාශයෙන් රත්ගම ප්‍රදේශීය සභාවට පත්ව සිටින නියෝජිතයා වන තිලක් පුෂ්පකුමාරට ද මේ පාර අවශ්‍ය වී ඇත. ඒ ගැන අදහස් දක්වන ගම්මුන් කියන්නේ ඊළඟ ඡන්දයට හික්කඩුව නගර සභාවෙන් මේ ප්‍රදේශයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් මේ පුද්ගලයාට ඇති බවය. මේ සියලු තත්ත්වයන් මැදහත්ව නිරීක්ෂණය කරන කුලය කරේ ගසාගෙන නොන්ඩි ගසමින් නොඇවිදින මේ බිමේ බහුතරයක් මැද මාර්ගික මිනිසුන් කියන්නේ මේ තත්ත්වය නිසා මේ පාලම හෝ පාර හැදුවොත් එක මේ ප්‍රදේශය තුළ කුල ගැටුමක් වර්ධනය කරනු ඇති බවය. එනිසා ඔවුන් කියන්නේ මෙවැනි පාරක් සහ කඩොලාන රක්ෂිතය විනාශ කරන පාලමක් අවශ්‍ය නැති බව ය.

පාරක් ඕනෑ
මේ ප්‍රදේශයේ ජීවත් වෙන කුල සමගිය අගයන, අපි එකට සහජීවනයෙන් ජීවත් වෙන්න අවශ්‍ය යැයි සිතන බොහෝ දෙනෙක් මේ පාර අවශ්‍ය නැති බව කියද්දීත් මේ පාර හදන්නේ කාගේ උවමනාවට ද? හික්කඩුව නගර සභාව ප්‍රකාශ කරන්නේ මේ මාර්ගය සාදන්න යැයි රත්ගම සුනන්දාරාමයේ විහාරාධිපති හික්කඩුවේ තිලක හිමියන් ඒ සඳහා විනී කාරියවසම් නගරාධිපතිවරයාගෙන් ලිපියක් මාර්ගයෙන් ඉල්ලා ඇති බවය. මෙම ලිපිය දුටුවා යැයි ප්‍රකාශ කරන පන්සල ආසන්නයේ ජීවත් වෙන පුද්ගලයෙක් ප්‍රකාශ කළේ, පාලමක් සාදා මේ ගම් දෙක එකතු කරන්න යැයි එමගින් ඉල්ලා ඇති බවය. මම මේ හිමියන් ගෙන් මේ පිළිබඳව විමසීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. මේ කතාව සත්‍යක් නම් සුනීත සෝපාක පරපුරේ වර්තමානය එය ය. එක ඛේදයක් මය..!
මේ මගට සහ පාලමට පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනාධිපති රත්ගම විවේකවිහාරි හිමියෝ විරුද්ධය. ඒ හිමියන් මේ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ මේ මාර්ගය සහ පාලම නිසා කළපු කඩොලාන සංරක්ෂිත කලාපය විනාශ වෙන බවය. මේ ගැන අදහස් දක්වන මැද මාර්ගික ගම්මුන් කියන්නේ මේ මාර්ගය නිසා ආරණ්‍ය සේනාසන දෙකෙහි භික්ෂූන්ට හිරිහැර වෙන්නට පුලුවන් බවය. සාමකාමී පරිසරය මෙමගින් විනාශ වෙනු ඇති බවය. හික්කඩුව නගර සභාව නම් කියන්නේ මේ මාර්ගය නිසා පරිසර විනාශයක් නොවෙන බවය. අනෙක් පැත්තෙන් මේ මාර්ගය නිසා ආරණ්‍ය සේනාසනයට එහි නිසසල බවට හානියක් නොවෙන බවය. මෙය දානපතියන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙන එකක් බවය. මේ දානපති කතාවේ යටද තිබෙන්නේ කුලවාදයම මිස අන් යමක් නොවෙන බව අප තේරුන් ගත යුතුය. මේ මාර්ගයට යන්නට බොහෝ දුරකට කළින් කඩොල් රක්ෂිතය අරඹයා ඉදිකළ සංරක්ෂණ නාමපෝවරුව දකින්නට හැකිය. එයින්ද පෙනෙන්නේ හික්කඩුව නගර සභාව කුමක් කීවත් මෙය පරිසර සංහාරයක් බවය. අනෙක් පැත්තෙන් හික්කඩුව නගර සභාව තම සීමාව ආක්‍රමනය කරමින් මෙවැනි පාරක් ඉදිකිරීම දෙස රත්ගම ප්‍රදේශීය සභාවේ සභාපති ටී නිමල් ඇස් කන් වසාගෙන සිටීම ද ප්‍රශ්නයක් ය. එයට හේතුව විනී කාරියවසම් ගේ මැර දේශපාලන ඉතිහාසය වන්නට බැරි නැත.
එනිසා මධ්‍යම රජය, මේ ප්‍රදේශීය මැර මෙන්ම කුලවාදී ගෝත්‍රික දේශපාලනය පිටුදකිමින් මේ මාර්ගය ඉදිකිරීම නතරකර දැමිය යුතුය. එය රත්ගම සහජීවනයටද හිත්වත් ය.■