No menu items!
21.3 C
Sri Lanka
8 June,2025
Home Blog Page 199

වීරක්‍රියාව ප්‍රොජෙක්ටර් කාමරේට කිට්ටු කරන එක! – හිනිදුම සුනිල් සෙනෙවි

චිත්‍රපටි රසිකයෙක් වුණ හැටි මතකද?
දැන් මගේ පුතා උසස්පෙළ කරන වයසේ. එයාගේ සිනමා රසිකත්වය සකස් වෙන හැටි, මගේ සිනමා රසිකත්වය හැදුණු විදියෙන් සීයට සීයක් වෙනස්. දැන් විශ්වවිද්‍යාලයේ පාළු තැනක එකට ඉඳගෙන ඉන්න පෙම්වතුන් යුවළක් ෆෝන් දෙකෙන් වෙන වෙනම චිත්‍රපටි දෙකක් බලන හැටි මා දැකලා තියෙනවා. අද සිනමා රසිකත්වය ඒ වගේ පෞද්ගලිකයි. ඒක පුංචි තිරයක, රසිකයාට සමීප තැනකට මාරු වෙලා. ඒකේ වරදක් නෑ. ඒත් අපි අත්විඳපු සිනමා රසිකත්වය වෙනස්.
මම ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම්පත්තුවේ හිනිදුම කියන ගමේ තමයි ඉපදුණේ. හැතැප්මවලින් කීවොත්, ගාල්ලෙන් හැතැප්ම තිස්දෙකක් ඇතුළේ පිහිටි පිටිසර ගමක් තමයි හිනිදුම. මම හැත්තෑදෙකේ උපන්නේ. මම පළවැනි සිනමා අත්දැකීම ලැබුවේ ගමට කිට්ටු ප්‍රධාන නගරය වන ගාල්ලේදී. දින වකවානු එක්ක මට මතකයි. හැත්තෑනවයේදී. ගාල්ලේ සරසවි සිනමා ශාලාවේ යසපාලිත නානායක්කාරගේ ‘මොණරතැන්න’ බැලුවේ. ඒකෙ හොඳටම මතක හිටින දේ තමයි ගීත. අම්බරේ දිලී දිලී, සෙවණේ කුඹුක් සෙවණේ වගේ සිංදු. මම ළමයෙක් හැටියටනේ බැලුවේ. මාලනී ෆොන්සේකා ළමා නිවාසයක ළමයෙක් බලාගන්නකොට හඳ හාවුන් හඳේ කියන ගීතයත් හුඟක් වැදුණා. කොටින්ම මගෙ පුතා 2003 ඉපදුණාම, එයා නළවන්න පාවිච්චි කරපු ගීත අතරේ අම්බරේ දිලී දිලී සහ හඳ හාවුන් හඳේ තියෙනවා. සෑහෙන කාලයක් යනතුරු නිදාගන්න යනකොට අම්බරේ කියන්න කියලා එයා ඉල්ලුවා.

ලොකු තිරයේ රූප දැකපු පළවැනි වතාව…
ලොකු තිරයේ නෙවෙයි. කුමන හෝ තිරයක රූප දැකපු පළවැනි වතාව. හැත්තෑනවය වෙද්දී ගමට රූපවාහිනී ඇවිල්ලා නැහැ. ටීවී ලංකාවට ආවෙත් හැත්තෑනවයේදී. අවුරුදු අටක කෙනෙක්ට මහා තිරයේ දැවැන්ත රූප දැකීම පුදුම අත්දැකීමක්. අපට අසූදෙකේදී ජාතික රූපවාහිනිය ආවාට පස්සෙයි, ටීවී ආවේ. ඉතින්, අපේ ලෝකයට මහ තිරයේ කළු සුදු රූපවල ඉන්න දැවැන්ත මිනිසුන් කියන්නේ මාර මායාවක්. මං පුදුමයට පත් වුණා, මේ තරම් විසාල මිනිසුන් කොහෙන්ද කියලා. පුදුමයකට වගේ මං එදා දැක්කේ ලංකාවේ සුරූපීම දේහ සෞන්දර්යයක් හිමි විජය සහ මාලනී. හැමදාම චිත්‍රපටි බැලිය යුතුයි කියන අදහස එදා පැළපදියම් වුණා.

එතැනින් චිත්‍රපටි බලන්න පටන්ගත්තා…
ගමේ ඉඳන් ගාල්ලට එන හැම කෙනෙක්ම කරන වැඩ කිහිපයක් තිබුණා. කොටු බැම්ම දිහේ ඇවිදිමින් මුහුද නැරඹුවා. කේඑල්එච් කියන තැනින් අයිස්ක්‍රීම් කෑවා. වෙස්ට් එන්ඩ් කියන ස්ටුඩියෝ එකෙන් හෝ ගීතා කියන ස්ටුඩියෝ එකෙන් පවුලේ කට්ටිය පින්තූරයක් ගැහුවා. පොඩි ළමයා ටීපෝ එකක් උඩ තියාගෙන. පුංචි ළමයෙක් නං අස්සයා ගෝං එකක නැගලා. චිත්‍රපටියක් බැලුවා. ප්‍රසිද්ධ හෝටලයකින් කෑම අරන් දුන්නා. ගාල්ලට ගිහින් එන එක වීර චාරිකාවක් වගේ.
ප්‍රින්ස් ගාල්ල, ක්වීන්ස් ගාල්ල සහ සරසවි ගාල්ල කියලා සිනමාහල් තුනක් තිබුණා. අපේ යාළුවන් අතර ලංකාවේම සිනමා ශාලාවල ලැයිස්තු එකදිගට කියන සෙල්ලමක් තිබුණා. සිත්තම්පලම් අනුරාධපුරය, ඡායා කෑගල්ල, වායු සමනය කළ එම්පයර් ආදී වශයෙන් එකදිගට කිව්වා. ඒකට හේතුව තමයි ගුවන් විදුලියේ යන වෙළඳ දැන්වීම. අහවල් චිත්‍රපටිය ආවා. ඒකේ රඟපාන්නේ අහවල් අය කියලා ලැයිස්තුව. ඊට පස්සේ තමයි පත්තරේට ආවේ. අද නම් ලංකාදීප වගේ පත්තරවල තවමත් සිනමාහල් තීරුව තියෙනවානේ. එදා ඒක මුලින් ආවේ ගුවන් විදුලියෙන්. ඒ කාලයේ අලුත් චිත්‍රපටියක් එනකොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළා. කතා රසය නොනැසෙන විදියට කතා වස්තුව කීවා. තිසා වීරාට අන්තිමට සිදුවෙන දේ නරඹන්න නම්, ඔබ නැරඹිය යුතුයි කියලා. චිත්‍රපටියේ රහස හෙළි කළේ නෑ.

ඊට පස්සේ..
සිනමා අත්දැකීමට ඉණිමං බැඳපු… නෑ, විදුලි සෝපාන සවි කරපු අත්දැකීමක් සිද්ධ වුණා. අපේ ගමට පොල් අතු සවි කරපු සිනමාහලක් ලැබුණා.තැනින් තැනට යන කූඩාරම් සිනමාව නෙවෙයි. ස්ථීරව තිබෙන, පොල් අතු සෙවිලි කරපු සිනමාශාලාවක්. සුද්දා අපේ ගම් ප්‍රදේශයට දුන්න නම හේකොක්. හිනිදුම් කන්දට සුද්දාගේ සිතියමේ තියෙන්නේ හේකොක් කන්ද කියලා. ඒ නිම්නයට ‘හේකොක් වැලි’ කිව්වා. අපේ ගමට අල්ලපු ගම තවලම. ඒකේ තමයි ජැස්මින් වැලි තියෙන්නේ. අපේ ගමේ සිනමාහලට මුලපුරපු වැඩහිටියන් හේකොක් සිනමා හිනිදුම කියා දැම්මා. අසූව දශකයේදී, සම්පූර්ණ සිනමා අත්දැකීම ලැබෙන්න ගත්තා.

සම්පූර්ණ අත්දැකීම කීවේ…
චිත්‍රපටිය ගමට රැගෙන ඒම, ප්‍රචාරණ කටයුතු, විචාරය සහ අනුකරණය. අපේ ගමේ පුංචි ළමයින් මේ වැඩේට වහ වැටුණා. අපේ ගමේ කුඩා තේ ඉඩම් තියෙන්නේ. අපි උදේ අම්මලා එක්ක වතු වල වැඩ කළා. නොයෙකුත් දේවල් කළා. උදේ දහයට එකොළහට හයයි තිහේ චිත්‍රපටියේ ප්‍රචාරණ වෑන් එක ගම පුරා දිව්වා. ගමේ කොල්ලෙක් කතා කළා. සිංහල සිනමාවේ ජනකාන්ත නළු විජය කුමාරතුංගගේ රංගනයෙන් කියලා පටන්ගත්තේ. ඔබ ඇවිත් බලාගන්න කියා ව්‍යවහාරික භාෂාවකින්, ඒ තරුණයාටම ආවේණික විදියට ප්‍රචාරය සිද්ධ වුණා. ගමේ කොළු නඩය වේලාසනින් වැඩේට ලෑස්ති වුණා. රුපියලක වගේ පුංචි ටිකට් එකක්. ශාලාව ටිකක් දිගයි. කදිමට පොල් අතු හෙවිලි කරලා තිබුණා. පන්ති තුනක් තිබුණා. වෙනම කවුළු තුනකින් ඇතුල් කළා. පොල් කොටවල පිට ලෑලි ගහලා බංකු තිබුණා. තේ කඩ, බුල්ටො කඩ, බුලත් විට විකුණන අය එක්ක සිනමාහල වටේට උප සංස්කෘතියක් හැදුණා. හෝල් එකේ සිගරට් බොන්න එපා කියලා නෑ. දුම්වලින් පිරිච්ච, රටකජු සුවඳින් පිරිච්ච සිනමා අත්දැකීමක්. රිදී තැල්ල, තිසා වීරා කතාව, කදිරා නාමලී කතාව ආදී නොයෙකුත් චිත්‍රපටි ගොන්නක් බැලුවේ එතැන.

චිත්‍රපටි පෙන්වන හැටිත් බලන්න ඇති..
අපේ අත්දැකීමේ ලොකුම වීරක්‍රියාව වුණේ ප්‍රොජෙක්ටර් කාමරේට කිට්ටු කරන එක. පොල් අතුවලින් ඒක වෙන් කරලා. ඒක ඇතුළේ ඉන්නේ බරපතලම වීරයෝ. ඒකේ කවුළු දෙකකින් නිල් පාට ආලෝක ධාරාව ආවේ. ගාල්ලේ ඉඳන් හිනිදුමට හවස එන සීටීබී බස් එකේ තමයි සිනමා පට ගෙනත් දැම්මේ. කිරිහට්ටි වගේ එක පිට එක තියපු තැටි, කොහු ලණුවලින් බැඳලා. අපි තමයි මේවා කරගහං යන්න ඉදිරිපත් වුණේ. චිත්‍රපටියේ විවේක කාලය කියන ස්ලයිඩ් එක නැති වුණාම, කුරුටු පෑනකින් විවේක කාලය කියලා නොපිට ලියලා එයාලාම ප්‍රොජෙක්ට් කළා. සමහර වෙලාවට සිනමා පටයේ කෑලි කපලා අයින් කළා. ඔන්න, චිත්‍රපටි කෑලි එළියට විසි වුණා. ඒ කෑලි ගෙදර ගෙනැත්, තාත්තාගේ කෑලි තුනේ ටෝච් එකෙන් බිත්තියට ප්‍රක්ෂේපණය කරන එක තමයි ඊළඟ පියවර.

චිත්‍රපටි අනුකරණය කරපු බවත් කීවා..
ඒක තමයි ඊළඟ කෑල්ල. රිදී තැල්ල චිත්‍රපටියේ ගල්වලට මුවාවෙලා, පොලීසියට වෙඩි තියන කැලෑ වැදුණු තරුණයෙක් ඉන්නවා. ඒ වගේ තුවක්කු රාශියක් ලීවලින් හදාගත්තා. පිනිජම්බු මල ඇතුළට ඇපල දාලා බට තුවක්කුව කියා එකක් හැදුවා. ලී තුවක්කුවෙන් සද්දය නෑ. බට තුවක්කුවෙන් තමයි සද්දය. ගේ ගාව වන රොදේ කළු ගල් තියෙනවා. හැංගෙමින් වෙඩි තියන්න පුරුදු වුණා. ඒ කාලෙ රස කෑමක් වුණත් කැලෑවේ ඉඳන් කෑවේ. ඒ ශාලාව සෑහෙන කාලයක් තිබුණා. ඒත් ඒක එහෙමම විනාස වුණා.

රූපවාහිනිය ගමට ආවේ කොහොමද?
ඒකත් අලුත් අත්දැකීමක්. කල්යද්දී චිත්‍රපටි බලපු අත්දැකීම සෑහෙන දුරට ටීවී බැලීමට මාරු වුණා. හැම බදාදාම රූපවාහිනියේ චිත්‍රපටි පෙන්වන්න ගත්තා. වෙළඳ දැන්වීම් දෙකතුනයි තිබුණේ. ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන්, පැනඩෝල් ආදී දැන්වීම්. සිටුවර මොන්ත ක්‍රිස්තෝ, ටාසන්, මනුතාපය වගේ ටයි මහත්තයා හඬ කැවූ මාලා නාටක යන්න ගත්තා. ඒකත් මහ පුදුම අත්දැකීමක්. ටීවී එකක් තියෙන ගෙවල්වල ටීව වෙනුවෙන් බංකු හැදුවා. ඉස්සරහා මාගල් එළලා පොඩි අය වාඩි කෙරෙව්වා. ගෙවල් දහයක පහළොවක සෙනඟ ආවා. රණ්ඩු නොවී මේ අත්දැකීම ගමේ අය බෙදාගත්තා. ඒ කාලෙ චිත්‍රපටි පැය තුනක් විතර දිගයි. පැය එකහමාරේ චිත්‍රපටි වැඩිපුර ආවේ දෙදාහෙන් පස්සේ වගේ. ඉතින්, රෑ දොළහ විතර වෙනතුරු ඉන්න ඕනෑ. චිත්‍රපටිය අතරමැද්දේ හැලප කෑල්ලක්, වැලිතලප කෑල්ලක් එක්ක තේ දුන්නා. සමහර වෙලාවට චිත්‍රපටිය මැද්දේ අපට නින්ද ගිහින්. වැඩිහිටියන් වඩාගෙනයි ගෙදර එක්කාගෙන ගියේ. අඟල් 12 හෝ 14 ටීවී තිබුණේ. චැනල් දෙකයි. ජාතික එකයි, අයිටීඑන් එකයි. චැනල්වලට ගමේ කිව්වේ එකයි දෙකයි කියලා. අතින් තමයි ටකස්, ටකස් ගාලා චැනල් මාරු කළේ. ටික කලක් යනකොට ඒකේ ප්ලාස්ටික් කෑල්ල කැඩුණා. ටීවී එක ගාව කටර් අඬුව තිබ්බේ ඊට පස්සේ. ඒකෙන් තමයි නාලිකා මාරු කළේ. ටීවී එක වැඩ කරන්නේ කාර් බැටරියෙන්. ඒකේ වතුර මාරු කරන්නට කර තියාගෙන ගිහින්, අපේ කමිසවල හිල් හැදිලා තිබුණා. ඒ මොනවා වුණත්, සිනමාහලට ගිහින් නියම සිනමාව දැකබලාගැනීමත් දිගටම කළා. පසුකාලීනව ටීවී එකෙන් බැලුවේ ටෙලිනාට්‍ය. දේවිකා මිහිරාණි, අනුර මැදගොඩ ඉන්න දිමුතු මුතු හොඳට මතකයි. ලා හිරු දහසක්, මැණික් නදිය ගලා බසී, මවකගේ ගීතය, දූ දරුවෝ වගේ ඒවා ඉතා ජනප්‍රිය වෙන්න ගත්තා. අපි උසස්පෙළ කරපු කාලය වන අනූ ගණන් වෙද්දී ජයන්ත චන්ද්‍රසිරිගේ, ධර්මසේන පතිරාජගේ ටෙලිනාට්‍ය ඇවිත් අත්දැකීම පුළුල් වුණා.

අද සමහර අය චිත්‍රපටි බැලීම ‘නරක දෙයක්’ කියා හිතනවා…
අපේ තාත්තා අප හැදුවේ ඉතා දැඩි නීතිරීති යටතේ. මම පවුලේ අටවැනියා. ඒත් කිසිම කලෙක චිත්‍රපටි බැලිල්ල සහ ටීවී බැලිල්ල සීමා කළේ නෑ. ඒ කාලෙ මහ රෑ චිත්‍රපටි බලන්න ගියේ හුළුඅතු අරගෙන. ඒ එළියෙන් තමයි ගියේ. මේක අවදානම් ගමනක්. සමහර දවසක ශාලාව ඇතුළෙදී කෙනෙක්ට සර්පයෙක් ගැහුවා. එහෙම වුණත් මහ රෑ වෙනතුරු මේවා බලන එක තාත්තා සීමා කළේ නෑ. මහ රෑ වෙනතුරු චිත්‍රපටි තිබුණා. දොළහයි තිහ දර්ශනය පවා. මට මතකයි ගාල්ලේ දොළහයි තිහ දර්ශනය ඉවරවුණාම ගෙදර එන්නත් සීටීබී බස් එකක් තිබුණා. ඒ කාලෙ ගමනාගමන මණ්ඩලයේ සභාපති අනිල් මුණසිංහ චිත්‍රපටි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයෙක්. චිත්‍රපටි බලලා ප්‍රේක්ෂකයා ගෙදර යන්න ඕනෑ නිසා. අපේ පාසල් ගුරුවරු හොඳ චිත්‍රපටි බලන්න කියලා අප පෙළඹවූවා. සිනමා රසිකත්වය කියන්නේ ඒ කාලයේ බොහොම පරෙස්සමෙන් රැකගත්, ගරු කරපු දෙයක්.

දැන් නම් චිත්‍රපටියක් එනකොට සමාජ මාධ්‍යවල යන ඒවා, පූර්ව ප්‍රචාර, ශ්‍රේණිගත කිරීම් බලලා යනවා. ඒත් එදා තත්වය වෙනස්…
දැන් අපි හොඳ සූදානමක් එක්ක ශාලාවට යනවා. අකමැති චිත්‍රපටියක් නොබලා ඉන්න පුළුවන්. ඒත් එදා අපි එන එන චිත්‍රපටිය බැලුවා. අපි විමතියෙන් බලා හිටියා. චිත්‍රපටියක් බලද්දී ඊළඟ චිත්‍රපටියේ පුංචි දර්ශන කිහිපයක් පෙන්වුවා. විශේෂයෙන් කරන්නේ ප්‍රධාන නළුනිළියන් සහ ගීත හඳුන්වන එක. අපට සමාජ මාධ්‍යවලින් හෝ වෙන ක්‍රමවලට ඒ නළු නිළියන් බලන්න ක්‍රම තිබුණේ නෑ. බලනවානම් තිරයෙන් තමයි. මට හොඳට මතකයි සියැසින් මාලනී දැකපු මුල්ම දවස. කතරගම ගිහින් ඉන්නකොට ඇය පාලමේ ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එමින් හිටියා. මාලනී දැකපු හැටි, හමේ වර්ණය, නළලට වැටුණු කියඹු වැල් දෙක ගැන බොහෝ කාලයක් කතා කළා.■

තුවාලෙටත් චරිත ලක්ෂණ තියෙනවා – අංග රචනා ශිල්පී විදුර අබේධීර

0

■ නිත්‍යා සෙව්වන්දි

ඔබගේ වෘත්තීය පසුබිම කොහොමද?
මම වෘත්තීය අංග රචන ශිල්පියෙක්. ලංකාවේ ඉස්සර නම් ජ්‍යෙෂ්ඨයන් ළඟ වැඩ කරලා ගත්ත අත්දැකීමෙන් තමයි ඊළඟ අංග රචනා ශිල්පීන් බිහි වුණේ. මේ තත්වය වෙනස් වුණේ ජයන්ත රණවක ඇමරිකාවට ගිහින් අංග රචනය ගැන උපාධියක් අරන් ආවාට පස්සේ. එයා තමන් වෘත්තියේ යෙදෙනවාට එහා ගිහින් අංග රචන ශිල්පීන් පුහුණු කරන වෘත්තීය මට්ටමට ගේන්න මැදිහත් වුණා. ඊට පස්සේ තමයි එන්.වී.කිවු ලෙවල් 4 වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් මේ ශිල්පයට ලැබෙන්නේ. අත්දැකීම් ගන්න අතරේම විධිමත් අධයාපනයක් ලබන්න උනන්දු වෙලා තියෙනවා. මේක දැන් තියෙන හොඳ තත්වයක්. පිටරට ගිහින් පවා වෘත්තීය අධ්‍යාපනය අරන් ඇවිත් කටයුතු කරන තරමට දැන් ශිල්පීන් උනන්දුයි.

විධිමත් අධ්‍යාපනය ලැබීමෙන් පසු ක්ෂේත්‍රයේ සිදු වූ වෙනස්කම් මොනවද?
අපිට මුල් කාලයේ ඉඳන්ම හිටියා හොඳ දක්ෂ අංගරචන ශිල්පීන්. චරිත ලක්ෂණ ගොඩනගන්න ඕනෑ විදිය එයාලා දැනගෙන හිටියාට ඒකට අවශ්‍ය මූලික දැනුම, තාක්ෂණික දැනුම වගේ දේවල් තිබුණේ නෑ. එයාලා ලොකු උත්සාහයක් ගත්තා මේක වෙන්න ඕනෑ විදිය එයාලාම හිතලා ක්‍රම ශිල්ප අරගෙන එන්න. ඒ විදියට ක්ෂේත්‍රය රැකගෙන ආ නිසා තමයි ඒක දියුණු කරන්න පුළුවන් වුණේ. නළුනිළියන්ට කොණ්ඩ රැවුල් දාන ඒවා, තුවාල වාගේ හැම දෙයක්ම අංග රචන ශිල්පියාට චරිත. තුවාලෙටත් තියනවා චරිතවලට තියෙන ලක්ෂණ. වයසක් තියෙනවා, ජන්මයක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. සෞඛ්‍ය තත්වයක් තියෙනවා. දැන් වෙච්ච තුවාලයක් නම් ඒක වෙනස්. වැටිලා වෙන කොට වෙනස්, කැපිච්ච තුවාලයක් නම් වෙනස්, ඒ වගේම දින දෙක තුන ගෙවිච්ච තුවාල වෙනස්. සෞඛ්‍ය තත්වය අනුවත් ඒක වෙනස් වෙනවා, මේ විදියට කලින් නොතිබුණු ශිල්පීය ක්‍රම හා තාක්ෂණ මේ චරිතවලට භාවිත වෙනවා.

ඔබ කොහොමද අංග රචන ශිල්පියෙක් බවට පත් වුණේ?
මම පාසල් යන කාලේ නම් ඉස්සරහට ගිහින් කතාවක්වත් පවත්වන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒක නිසාද මන්දා ඒ කාලෙ ඉඳන් ආස වුණේ වේදිකාව පිටුපස වැඩ කරන්න. නළුවෙක් වෙන්න නෙමෙයි. ඊට පස්සේ මට හම්බවුණා හොරණ යාත්‍රා නාට්‍ය කණ්ඩායමේ සමන් චන්දන. වේදිකා නාට්‍යවල වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම නාරද තොටගමුව අංග රචන ශිල්පියා ගාව සහාය අංග රචන ශිල්පියෙක් විදිහට වැඩ කළා. මට මං කරන දේ ගැන විශ්වාසයක් තිබුණේ නෑ. ඒ කියන්නේ ජ්‍යේෂ්ඨ ශිල්පීන් දිහා බලලා වැඩ කරන්න දන්නවා වුණාට, මේක ඇයි පාවිච්චි කරන්නේ කියලා ඇහුවොත් කියන්න දන්නේ නෑ. කියන්න තරම් ශක්තියක් නෑ. ඊට පස්සේ මම ගියා පාඨමාලාවක් හදාරන්න. දැන් අවුරුදු 18ක් වගේ කාලයක් තිස්සේ අංගරචන ශිල්පියෙක් විදියට වෘත්තියේ නියැලෙනවා.

ඔබ අංගරචනය කළ නිර්මාණ සඳහන් කළොත්,
මේ දවස්වල මම අංග රචනය කරනවා ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ. ඉලන්දාරි හැන්දෑව, චක්‍ර ටෙලිනාට්‍ය, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි, සරිගම, ජංගි හොරා චිත්‍රපටි මෑතකදි කළ නිර්මාණ. චක්‍ර නාට්‍ය වෙනුවෙන් සුමති ටෙලි සම්මානය, සරිගම චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මාන ලැබිලා තියෙනවා.

වෘත්තීය අංග රචන ශිල්පියෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද?
විධිමත් අධ්‍යාපනය, අත්දැකීම්, ආකල්ප කියන තුනම ඉතාමත් වැදගත්. පාඨාමාලාවක් කළාට මදි. ක්ෂේත්‍රයේ අත්දැකීම් එකතු කරගන්න ඕනෑ. අවම වශයෙන් මාස 6ක කාලයක්වත් සහය අංග රචන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ඕනෑ. ඒ වගේම වැදගත් ආකල්ප, ශිල්පියා විෂය ගැන දරන ආකල්ප, වැඩ කරන කණ්ඩායම ගැන දරන ආකල්ප, ඒ වගේම සමාජ දේශපාලන කියවීමක් තියෙන්න ඕනෑ.

අංගරචන ශිල්පියා නිර්මාණයකට සූදානම් වෙන්නේ කොහොමද?
නළු නිළියන්ට පිටපත ලැබෙනවා වගේ අපටත් ලැබෙනවා පිටපත. ඒ පිටපතට කියවද්දී චිත්ත රූප මැවෙනවා. ඒ චරිත ස්වභාවය තේරුම් ගන්නේ ඒකෙන්. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා දැනුම් දෙනවා තෝරගන්න නළු නිළියෝ. සමහර වෙලාවට අපිත් එක්කත් සාකච්ඡා කරලා නළු නිළියෝ තෝරගන්න අවස්ථා තියෙනවා. ඒ නළුනිළියෝ ටික දැක්කාට පස්සේ අපි අඳිනවා ඒ ඒ චරිතය අංග රචනය කරන්න ඕනෑ විදිය. මේ වගේ තැන්වලදී අංගරචන ශිල්පියාගේ ආකල්ප ගොඩාක් වැදගත් වෙනවා. නිර්මාණයක් බිහි වෙන්නේ මුළු කණ්ඩායමේම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදිහට.
අපේ මේ වෘත්තිය තුළ හැම දෙයක්ම හරිම රසවත් අත්දැකීම්. එක වතාවක් චිත්‍රපටියක් රූගත කරද්දි උදයන්ති කුලතුංග වෙනුවට අපි හැදුවා ඩමියක් ඇල්ලකින් පහළට දාන්න. ඉතින් ඔය ඩමිය හදාගෙන ඇල්ලෙ මුදුනට ගියා අපි තුන්දෙනෙක් විතර. මමයි ප්‍රේමලාල් ලියනගෙයි තමයි ඩමිය අල්ලගෙන හිටියේ. ඇල්ලෙන් පහළට මේක දාන්න කලින් වතුර පාරට ඩමිය තියන් ඉන්න ගිය වෙලාවේ ඇල්ලේ වතුර පාර සැරට මාව ඩමියත් එක්ක ඉස්සරහට තල්ලු වුණා. තව තප්පර දෙකකින් විතර ජීවිතේම නැති වෙන්න තිබුණා. එතැන තිබුණ ගහක් අල්ලගෙන බේරුණා.

ලෝක සිනමාවේ අංග රචනය ශිල්පීය ක්‍රම සමඟ සසඳන විට ලාංකීය සිනමාවේ අංග රචන ශිල්පය පවතින්නේ කෙබඳු මට්ටමක ද?
මේ වෙලාවේ ලෝක සිනමාවෙ අංග රචන භාවිත එක්ක ලංකාවේ භාවිතය පැත්තෙන් ඉන්නේ අඩු තැනක. ඒක දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ දැනුම තියෙන දක්ෂ ශිල්පීන් පිරිසක් මේ වෙද්දි බිහිවෙලා ඉන්නවා. ඒ දැනුම භාවිත වෙන්නේ නෑ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. අංග රචනයේදී කරන්න පුළුවන් දේවල් ගේන්න මුලින්ම දායක වෙන්න ඕනෑ පිටපත. ලෝක සිනමාවේ විවිධ ෂානර වර්ග දකින්න තියෙනවා. අපේ රටේ තියෙන්නේ ෂානර වර්ග දෙකයි. එකක් ප්‍රධාන ධාරාවේ සිනමාපට අනෙක කලාත්මක. ඔය දෙකෙන් එහාට යන්නේ නෑ. තව ගොඩක් ෂානර ලෝකයේ භාවිත වෙනවා.
තවත් හේතුවක් වෙන්න පුළුවන් ලංකාව තුළ මේ වෙද්දි සිනමා ශාලාවකට යන ප්‍රේක්ෂක ප්‍රමාණය අඩු වීම. කොවිඩ් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඊට කලින් ඉඳන්ම. එතකොට විවිධ ෂානරවලට අදාළ පිටපත් ගෙනාවාම ප්‍රේක්ෂක පිරිස තවත් අඩු වෙලා නිර්මාණය අසාර්ථක වෙයි කියලා පිටපත් රචකයන් හිතනවා වෙන්නත් පුළුවන්. තව කාරණයක් තමයි ප්‍රයෝග යොදවන්න යන වියදම. නිෂ්පාදකයාට සහ අධ්‍යක්ෂවරයාට ඒ ශිල්ප ක්‍රම භාවිත කරන්න ලොකු මුදලක් වියදමක් යන නිසා මුදල මත තීරණය වෙච්ච තැනකින් චරිතය නවත්තගන්න අවස්ථාත් තියෙනවා.

මේ තත්වය දියුණු කළ හැක්කේ කෙසේද?
මේ තත්වය දියුණු කරන්න නම්, අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාටත් අවබෝධයක් තියෙන්න ඕනෑ, අංග රචනයෙන් කරන්න පුළුවන් දේ සම්බන්ධව. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන ප්‍රමාණය අඩුයි. එතකොට අපිට ඒවා පිටරටින් ගෙන්න ගන්න වෙනවා. සිනමාවේ අංග රචනයට භාවිත කරන මේකප් අයිටම් එකක් ආව ගමන් ලොකු බදු මුදලක් ගහනවා ඒක අයිති වෙන්නේ සුඛෝපභෝගී ගණයට කියලා. එහෙම වුණාම ලොකු මුදලක් වෙනවා අමුද්‍රව්‍ය අපි ළඟට එනකොට. ඒ මිල නිෂ්පාදකවරයෙකුට දරන්න වෙන අවස්ථාත් තියෙනවා. එහෙම නැතුව නිර්මාණයක් වෙනුවෙන් හරි මේ අමුද්‍රව්‍යවලට බදු සහනයක් දෙනවා නම්, නිෂ්පාදකයන්ට පුළුවන් අංග රචන ශිල්පයට අවස්ථාවක් දෙන්න. මේවා වෙනස් වෙනවා නම් මේ රටේ ශිල්පය දියුණු වෙනවා.■

 

ඔහුගේ දියුණු අදහස් මගේ ළපටි අදහස් ගැළපුණේ නෑ – රංගන ශිල්පිනී මොරින් චාරුණී

0

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

ඔබේ පළමු රංගන ප්‍රවිෂ්ඨය ‘කරදිය වළල්ල’ විත්‍රපටය?
කරදිය වළල්ල අධ්‍යක්ෂණය කළේ සිරිල් වික්‍රමගේ. කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න, තිර රචනය උදයකාන්ත වර්ණසූරිය. කරදිය වළල්ලේදී ස්වර්ණා මල්ලවාරච්චි, විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්. ජයසිරි වගේ ප්‍රවීණයන් එක්ක උප ප්‍රධාන චරිතයක් කරන්න හාහා පුරා කියලා මට අවස්ථාව ලැබුණා. සිනමාව හෝ කලාව ගැන මොනවත්ම දන්නේ නැතිව හිටිය මගේ දායකත්වය කරදිය වළල්ලට එකතුවෙන්නේ ඒ ප්‍රවීණයන් මට දැක් වූ සහයෝගය නිසා. මම ඉහළට නගිනකම් ඔවුන් ඉනිමග ශක්තිමත්ව අල්ලාගෙන හිටියා.
මම ක්ෂේත්‍රයට එනකොට ටෙලි නාට්‍ය තිබුණේ නෑ. මහා සිනමාව තමයි තිබුණේ. පටන් ගත්තේ සිනමාවෙන්. වීඩියෝ තාක්ෂණයේ වගේ නෙමෙයි සිනමාවෙදි වැරදි, වැරදි නැවත නැවත එකම රූප රාමුව ගන්න බෑ. එහෙම වුණොත් විශාල වියදමක් පටල පට සඳහා වැය වෙනවා. ඒ නිසා කැමරාවට පුහුණු වෙනවා. ආලෝකකරණයට පුහුණු වෙනවා. ශබ්දවලට පුහුණු වෙනවා. සියලුම අංග සම්පූර්ණ වුණාට පස්සේ රූගත කිරීමකට යන්නේ. එවැනි පුහුණුවීම් ගණනාවක් කළාම චරිතය බොහෝ ඔපමට්ටම් වෙනවා. රංගනයේ හා අනෙක් අංශවල තියෙන අඩුපාඩු අවම කරගන්න අවස්ථාව ලැබෙනවා. දර්ශන තලයට යන්න කලින් පිටපත කියවීම කරනවා. දර්ශන තලයේදීත් තවත් සූදානම් වෙලා තමයි අපි රූගත කිරීමකට යන්නේ. එහෙම වුණාම හොඳ ස්ථාවර භාවයක්, හොඳ පෝෂණය වීමක්, හොඳම නිර්මාණයක් බිහි වීමේ ඉඩකඩක්, රංගන ශිල්පීන්ට, ශිල්පිනියනට රංගනය ඉතා ඉහළින් කිරීමේ හැකියාවක් ලැබෙනවා. අද තාක්ෂණය දියුණු වෙලා තිබුණත් එදා අනුගමනය කළ ක්‍රමවේදය අදටත් අදාලයි. මගේ දෙවැනි චිත්‍රපටිය චණ්ඩින්ගෙත් චණ්ඩියා. ඒකේ මට ප්‍රධාන චරිතය ලැබෙනවා.

ගම්පෙරළිය ටෙලි නාට්‍යය ඔබට විශේෂ වුණේ කොහොමද?
ගම්පෙරළියේ නන්දාගේ චරිතය රඟපාන්න ලැබීම මගේ ජීවිතේ සුවිශේෂ කාරණාවක්. පුණ්‍යා හීන්දෙනිය ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය උපරිමයෙන් කරලා සම්මානයට පාත්‍ර වෙලා තිබුණේ. බර්ට්‍රම් නිහාල් මහත්මයාගේ ගම්පෙරළිය ටෙලිනාට්‍යයට එනකොට මම විත්‍රපටි 10ක විතර රඟපාලා තිබුණේ. මගේ පළමු ටෙලි නාට්‍යය තමයි බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ සාමයේ තරුව නත්තල් නාට්‍යය. ඒකේ මරියතුමියට රඟපෑවේ මමයි. ඊට පස්සේ බර්ට්‍රම් නිහාල්ගේම සුභ ප්‍රාර්ථනා, සාම පූජා ටෙලි නාට්‍යවල හා ඔහුගේම ජයතු ක්‍රිස්තු ටෙලි චිත්‍රපටියේ රඟපාලා තිබුණා. සංඛ්‍යාත්මකව නිර්මාණ ප්‍රමාණය වැඩි වුණාට මට සිනමාව හා රංගනය පිළිබඳව ලොකු දැනුමක් තේරුමක් තිබුණේ නෑ. ඒ වෙනකොට මම ගම් පෙරළිය චිත්‍රපටය බලලා තිබුණේ නෑ. තිස්ස අබේසේකර මහත්තයා තමයි ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ තිර පිටපත ලිව්වේ. තිස්ස අබේසේකර මහත්තයා මට කිව්වා චිත්‍රපටිය බලන්න කලින් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, අපේ ගම පොත් ටික කියවන්න කියලා. ඒ වෙනකොට තිස්ස අබේසේකර මහත්තයාගේ දොළොස් මහේ ගංගාව, තුන්කල් සිහිනය ටෙලි නාට්‍ය දෙකකට මම සම්බන්ධ වෙලා තිබුණා. එයා තමයි මට රංගනය ගැන, සිනමාව ගැන බොහෝ දේවල් කියලා දුන්නේ. දෙබස් කියනකොට කොහොමද හඬ පාලනය කරගන්නේ කියා දුන්නේ. පොත පත ඇසුරු කරන්න, ලෝකයේ උසස් සිනමා කෘති රස විඳින්න උනන්දු කළේ. ඒ පුහුණු කිරීම්, මග පෙන්වීම්වලින් පස්සේ තමයි තිස්ස අබේසේකර මහත්තයා මා බර්ට්‍රම් නිහාල් මහත්තයා ළඟට යොමු කළේ. බර්ට්‍රම් නිහාල් මහත්තයාත් මට සෑහෙන්න උපදෙස් දුන්නා. ගම්පෙරළියේදි ජෝ අබේවික්‍රම, වසන්ත කොටුවැල්ල, චාන්දනී සෙනෙවිරත්න, ජැක්සන් ඇන්තනී, අනුලා බුලත්සිංහල, රිචාඩ් වීරක්කොඩි, අමිත්ත වීරසිංහ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ශිල්පීන් එක්ක මම නවකයි. මහැමෝගෙන්ම ලැබුණු ආදරය, ගෞරවය, අනුශාසනා, අවවාද දිරි ගැන්වීම් පුදුමයි. දැනටත් මට චරිතයක් ලැබුණාම දර්ශන තලයට යන්නේ විවෘත මනසින්. අධ්‍යක්ෂවරයා කියන්නේ මොකක්ද කියලා බලලා ඒ අනුව රඟපානවා. මගේ සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් ඒ මගේ හැකියාවට වැඩියෙන් එදා ඉඳන් මට වැඩ කරන්න හම්බ වෙච්ච ප්‍රවීණ අධ්‍යක්ෂවරු, කැමරා අධ්‍යක්ෂවරු, අංග රචනා ශීල්පීන් හා සහෝදර නළු නිළියන් නිසා කියලයි මම හිතන්නේ. අවුරුදු තිස් අටක් තිස්සේ මේ හැමෝම තමයි මාව හදලා මේ තරම් දුර අරන් ඇවිත් තියෙන්නේ.

දෙපා නොළත් දෙපාදයෝ චිත්‍රපටයේදි මොකද වුණේ?
ෂෙල්ටන් පයාගල මහත්තයාගේ ගොළු මුහුදේ කුණාටුව චිත්‍රපටයට මම රඟපෑමෙන් සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටයේ වැඩ ඉවර වුණායින් පස්සේ එකතු වෙලා නිර්මාණයක් කරමු කියලා පයාගල මහත්තයා මට යෝජනා කළා. මගේ ළඟ විශාල මුදලක් තිබුණේ නැති නිසා මගේ අම්මා, නංගි, මාමාගේ දායකත්වයෙන් අපි චිත්‍රපටයක් කරමු කියලා මම යෝජනා කළා. ඒ අනුව තමයි 1991 දෙපා නොලත් දෙපාදයෝ කියලා චිතටයක් කරන්න පටන් ගත්තේ. මම එහි ප්‍රධාන චරිතය රඟපෑවා. දෙපා නොලත් දෙපාදයෝ චිත්‍රපටයේ යේසුස් වහන්සේගේ ජීවිතය බොහෝම යථාර්ථවාදී ආකාරයෙන් පෙන්නුම් කරලා තිබුණා. ඒ නිසා කතෝලික භක්තිකයෝ මේ චිත්‍රපටයෙන් යේසුස් වහන්සේට අගෞරවයක් වෙනවා කියලා හිතයි කියන බය මට ඇති වුණා. මගේ පියාත් කතෝලිකයෙක්. දෙපා නොළත් දෙපාදයෝ චිත්‍රපටියේ 1971 විප්ලවයට සම්බන්ධ අදහස් එහෙමත් ඇතුළත් වෙලා තිබුණා. චිත්‍රපටිය 50% ක් විතර රූගත වේගන යනකොට, මේ පිළිබඳව ෂෙල්ටන් මහත්තයා හා මා අතරේ මත ගැටුම් ඇති වුණා. මට චිත්‍රපටය දියාරු කරන්න බෑ. මම බය නෑ. වගේ දැඩි අදහසක ෂෙල්ටන් මහත්තයා හිටියේ. එයා විප්ලවවාදියානේ. ඒ කතාව දුර දිග ගිහින් ඔයාට ඕනෑ විදිහට ඔයා ඕක කරගන්න මගේ නමක්වත් චිත්‍රපටයට ගාව ගන්න එපා කියලා පයාගල මහත්තයා චිත්‍රපටයෙන් අයින් වුණා. ඒ සිද්ධියෙන් පස්සේ එල්මෝ හැලිඩේ, සෝමපාල රත්නායක හා මම එක්වෙලා චිත්‍රපටය ඉවර කරන්න කටයුතු කළා. පයාගල මහත්තයාගේ දෙපා නොලත් දෙපාදයෝ කියන නම අයින් කරලා හංස විලාපය කියලා නම දැම්මා.

චිත්‍රපටය පාඩු ලැබුවා?
මුදල් ලැබෙනවා නැති වෙනවා. ඒ ගැන මගේ පසුතැවීමක් නෑ. ෂෙල්ටන් පයාගල කියන්නේ විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඒ වගේම උතුම්, ගෞරවාන්විත මනුස්සයෙක්. අවාසනාවකට ඔහුගේ දියුණු අදහස් හා මගේ ළපටි අදහස් ගැළපුණේ නෑ. චන්ද්‍රරත්න මාපිටිගම එක්ක පයාගල මහත්තයා සම අධ්‍යක්ෂණය කළ මලට නොඑන බමරු චිත්‍රපටයේ තේමාව වගේම දෙපා නොලත් දෙපාදයෝ චිත්‍රපටයේ තේමාවත් තවමත් මේ රටේ කිසිදු කලාකරුවෙක් අත තියපු නැති තේමා. ඒවා ඉතාම නිර්භීත නිර්මාණකරුවෙකුට පමණක් කරන්න පුළුවන් නිර්මාණ. පයාගල මහත්තයා චිත්‍රපටියේ 80% ක් අධ්‍යක්ෂණය කරලා තිබුණේ. අඩි 80,000ක්. ඒ දර්ශන ඉතාම ලස්සනට රූගත කරලා තිබුණා. මම බයට ඒවායෙන් බොහෝ කොටස් අයින් කළා. අයින් කළ පටල පට තියාගෙන හිටියා නම් අඩුම තරමේ චාර්තා චිත්‍රපටයක් හරි හදන්න තිබුණා. සාමාන්‍ය ජීවිතේ ගැනත්, කලාව ගැනත් පයාගල මහත්තයාට විශාල අත්දැකීම් තිබුණා. අද තමයි මට ෂෙල්ටන් මහත්තයාගේ නිර්මාණයේ ගැඹුර, වටිනාකම දැනෙන්නේ. ඔහුගේ විශිෂ්ට නිර්මාණය මම නිසා දියාරු වීම ගැන මම ඉතාම කනගාටු වෙනවා. ඔහු අපට සලකපු විදිහෙන්, ඔහු අපිව මෙහෙයවපු විදිහෙන් ඒ බව ස්ථිර වෙලා තියෙනවා. ඔහුගේ ඒ නිර්මාණ ශක්තියටයි මම බලපෑම් කළේ. වාර ගණනාවක් පයාගල මහත්තයා එක්ක කතා කරන්න මම උත්සාහ කළා. මට ඔහුගෙන් සමාව ඉල්ලන්න වුවමනා වෙලා තිබුණා. සමාව ඉල්ලනවාට පයාගල මහත්තයා කැමති නෑ. එයා කියන්නේ වැරදි නොකර ඉන්න. එතකොට සමාව ඉල්ලන්න ඕනෑ නෑ කියලා. ඒ අදහස හරියටම හරි. ජීවිතේ ඇත්ත හරියටම අල්ලගත්ත මනුස්සයෙක් එයා. ලෞකික සැපසම්පත් එයාට අදාළම නෑ. පයාගල මහත්තයා මැරෙන්න කලින් සමාව ගන්නවත් ඉඩක් මට ලැබුණා නම් හිතට සහනයක්. ඒ අවස්ථාවත් මට ලැබුණේ නෑ.

දශක හතරකට ආසන්න කාලයක් ටෙලි නාට්‍යයට, සිනමාවට ඔබේ දායකත්වය ලබා දෙමින් ඉන්නවා?
අවුරුද්දක් තිස්සේ කොවිඩ් ප්‍රශ්නේ දිහා බලාගෙන ඉඳලා බැරිම තැන වැඩ පටන් ගත්තා. ධනුෂ්ක රත්නායකගේ දාම්, රොහාන් සමරදිවාකරගේ කොටදෙනියාව නාට්‍යවල හා ලක්ෂ්මන් පුෂ්ප කුමාරගේ නාට්‍යක රඟපෑම් කරගෙන යනවා. චන්න පෙරේරාගේ සඳදිය චිත්‍රපටයේ රූගත කිරීම් සිද්දවෙනවා. කොවිඩ් වෛරස් තත්වයට අදාළ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. දවසට කිහිප වතාවක් අත් හෝදන්න ඕනෑ. පරතරය තබා ගැනීම ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ, පිඟන් කෝප්ප වෙනම තියාගෙන අපි අපිම හෝදා ගන්න ඕනෑ. ■

මහගෙදරින් පුංචි තියටරේට ආ නාමෙල් – හැම චරිතයකටම මාව ගන්න උත්සාහ කළත් අසාර්ථකයිෟ

0

■ පවිත්‍රා රූපසිංහ

‘නාමෙල් මාලිනී පුංචි තියටර්’ ලංකාවේ නාට්‍ය කලාකෙතේ පැලකළ නැවුම්වූත්, අපූරුවූත් සංකල්පයක්. එහි හිමිකරු නාමෙල් වීරමුණි සිය අත්දැකීම් සිහිකැඳවන්නේ මෙහෙමයි.

සිල්වා, වීරමුණි වූ වග
වර්ෂ 1934 අගෝස්තු 31වනදා මා ඉපදුණත්, රෙජිස්ටර් කර තිබෙන්නේ සැප්තැම්බර් දෙවනදායි. ඉතින් මට උපන්දින දෙකක් තියෙනවා. නමත් ඒවගෙයි. මගේ මුල් නම තිස්ස නාමෙල් ද සිල්වා. ඩොක්ටර් එදිරිවීර සරච්චන්ද්‍ර පසුකලෙක මට කියනවා සිල්වා ඉවත්කරගන්න කියලා. තාත්තාගේ වාසගම ඉවත්කරගෙන මා අම්මාගේ වාසගම ගත්තා. එදා පටන් මම නාමෙල් වීරමුණි. නාලන්දාවෙන්, ලංකා විශ්වවිද්‍යාලයට 1957දී ඇතුළු වූ මා 1956 මනමේ නාට්‍යයේ පළමුවන දර්ශනය නැරඹූ ප්‍රේක්ෂකයෙක්. නාට්‍යයේ මනමේ කුමාරියන් දෙදෙනෙක් රඟපෑවා. පළමු දවසේ ටි්‍රලීෂියා ගුණවර්ධන, දෙවන දවසේ හේමමාලි ගුණසේකර.
රඟපෑමට තිබූ ආසව නිසාම පුංචි කාලෙදිත් චිත්‍රපටවල රඟපෑමේ සම්මුඛ පරීක්ෂණවලට ගියා. කුරුණෑගල, පළමුව ගිය පරීක්ෂණයේදී ඇසුවා ‘චිත්‍රපටයට කොච්චර සල්ලි දාන්න පුළුවන්ද?’ කියලා. ‘සල්ලි දීලා රඟපාන්න මගේ ළඟ සතයක්වත් නෑ’ මම කිව්වා. ඒ නිසාම තේරුණේ නැහැ. දෙවන පරීක්ෂණයේ සිටියේ ජනප්‍රිය විකට නළුවෙක් වූ හියුගෝ ප්‍රනාන්දු. ඒ පරීක්ෂණයටත් මා තේරුණේ නැහැ. ඊළඟට මාව තේරුණා සිරිල් බී. පෙරේරාගේ රචනයක් වූ ‘තිසාහාමි’ චිත්‍රපටයට. මම, ගැමුණු විජේසූරිය සහ සන්ධ්‍යා කුමාරිත් සිටියා. ගිවිසුම් අත්සන් කරද්දී රුපියල් 100ක ඇඩ්වාන්ස් එකක් ලැබුණා. චිත්‍රපටය එළියට ආවේ නැහැ.

රත්තරං සහ කදාවළලු
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී නෝටිස් බෝඩ්එකේ තිබුණා සරච්චන්ද්‍රගේ නාට්‍යවලට නළු නිළියන් අවශ්‍යයි, සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ලෙක්චර්ස් ඉවරවෙලා යද්දී ටිකක් ප්‍රමාදයි. මගේ ළඟ එඩ්මන් විජේසිංහ හිටියා. වේදිකාවේ පරීක්ෂණයෙන් නළුනිළියන් තෝරද්දී මං නොගිහින් බයේ හිටිද්දී, එඩ්මන් මාව තල්ලු කළා.
මම නැගිට්ටාම මුළු හෝල්එකෙන්ම ආ සූ ශබ්දයට මම ලජ්ජාවට පත්වුණා. ඩොක්ටර් සරච්චන්ද්‍ර ඇහුවා මොකද එඩ්මන් කියලා. සර් මෙයත් අහනවා එන්නද කියලා. මම වේදිකාවට ගියාම ස්ක්‍රිප්ට්එක දීලා ඩොක්ට කිව්වා නළුවෙක් කරන්න පුළුවන්ද කියලා බලමු කියලා. ඒ නාට්‍යයේ නම ‘රත්තරං’. මට ලැබුණු ප්‍රධාන චරිතය මෝඩ චරිතයක්. පිටපත කියවද්දී ඩොක්ට කිව්වා, ඔයා නරකම නැහැ කියලා. චරිතයට මාව තෝරාගෙන 1958දී ‘රත්තරං’ සහ ‘කදාවළලු’ ඉදිරිපත් කළා. වෙළෙන්දෝ දෙන්නාට රඟපෑවේ එඩ්මන් විජේසිංහයි, සරත් අමුණුගමයි. ඒ නාට්‍ය සංස්කෘත දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලයේ නාට්‍ය උළෙලෙත් පෙන්නුවා.
අපි ඒ කාලෙ රඟපෑවේ සල්ලිවලට නෙමෙයි. පසුකාලෙකදී නාට්‍යවලට සල්ලි ලැබුණා. දවසක් රත්තරං නාට්‍යය රිහසල්වලදී සරච්චන්ද්‍ර කිව්වා, නාමෙල්, ඔයාගේ උච්චාරණය චරිතයට හරියන්නෑ, වෙන විදියකට කියන්න කියලා. මම, සර් මම බලපිටියේ මිනිස්සු කතාකරන විදියට කියන්නද අහද්දී ඩොක්ට කැමති වුණා. කුඩාවියේදී බලපිටියේ පොළේදී අම්මාට වෙළෙන්දෙක් ඒ පළාතේ භාෂා ශෛලියෙන් කිව්වා, ඇයි හාමිනේ කේවල් කරන්නේ කියලා. ඒ කටහඬ මගේ ඔළුවේ තිබුණා. ඒ විදියට මම නාට්‍යයේ වාක්‍ය උච්චාරණය කළා. නාට්‍යයේ මගේ භාර්යාව අනුලා අබේසිංහ, අම්මා සෝමලතා සුබසිංහ. මගේ රඟපෑම ගැන පුවත්පතකත් ලියා තිබුණා, මේ චරිතයට හොයා නොගත හැකි නළුවෙක් හොයාගෙන තිබෙනවා යනුවෙන්. නාට්‍යය මුලින්ම පෙන්නුවේ හිල්ඩා ඹබේසේකර හෝල්එකේ. නාට්‍යය බලන්න ඉංග්‍රීසි පුවත්පත් විචාරකයන් වන රෙජී සිරිවර්ධන, බෙනඩික්ට් දොඩම්පෙගම ඇවිත් සිටියා.
1959දී දවසක් කැම්පස්එකේ නේවාසිකාගාරයටම ඩොක්ටර් සරච්චන්ද්‍ර මාව සොයා ඇවිත් කිව්වා, මම නාමෙල්ටම නාට්‍යයක් ලිව්වා කියලා. ‘එලොව ගිහින් මෙලොව ආවා’ නාට්‍යය. රිහසල් කරද්දී හැම චරිතයකටම මාව ගන්න උත්සාහ කළත් අසාර්ථකයි. මට ගීත ගායනය බැරි නිසා එවකට අග්‍රගණ්‍යයේ නළුවෙක් වන අභය අත්තනායක ඊට තෝරාගත්තා. ගයන්න බැරි නිසා නාට්‍ය ධර්මී නාට්‍යවල රඟපෑමට මට අවස්ථාව නැතිවුණා.

නාට්‍ය අධ්‍යක්ෂණයට
විශ්වවිද්‍යාලයේ 1958දී මම ඒකාංක නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කළා. ඒ කාලේ කැම්පස් එකේ ශිෂ්‍යයෙක් සිංහල නාට්‍යයක් අධ්‍යක්ෂණය ප්‍රථම අවස්ථාව එයයි. එකක් එදා පළමු වසරේ සිසුවෙක් වූ මහාචාර්ය විමල් දිසානායක අනුවර්තනය කළ ‘ගොළු බිරිඳ’යි. එය තාමත් පෙන්වනවා. ඊළඟ නාට්‍යය ‘මුහුදු යන්නෝ’ පරිවර්තනය කළේ මහාචාර්ය රංජනී ඔබේසේකර.
ඩොක්ටර් සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, පී. වැලිකල, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධනවගේ එදා රටේ නාට්‍ය කළේ සීමිත පිරිසක්. 1963න් පසුව ‘විරූප රූප’ නමින් ස්වතන්ත්‍ර නාට්‍යයක් කළා. මං ලෝකධර්මී නාට්‍යකලාවට පසුව යොමුවුණා. නාට්‍ය කරන්න අපිටම කියලා තැනක් තිබුණා නම් කියලා එදා මා සිතුවා. එවැනි තැනක් හදාගැනීම සඳහා 1963දී ආධුනික නළු නිළි සංගමය හැදුවා. සභාපති එඩ්මන්ඩ් විජේසිංහ, ලේකම් මමයි. මනමෙ, කුවේණි වගේ නාට්‍යයන් පෙන්වලා අරමුදලක් එකතුකළා. ඉස්සර මිනිස්සු හරියට නාට්‍ය බලනවා. එන්නේ මඟුල් ගෙදරක යනවා වගේ ලස්සනට. රනිල් වික්‍රමසිංහගේ අම්මා හැමදාම නාට්‍ය බලන්න ආවා. ඉහළ පැළැන්තියේ අය විශේෂයෙන්ම නාට්‍ය බලන්න පැමිණියා.
දෙවන වසරේ සංගමයේ නිලවරණයේදී, එහි සිටියෙක් මගේ අකුරු කැතයි, සටහන් හරියට නෑ කියමින් විවේචනයක් කළා. මට දුක හිතුණා. ඒක කියපු කෙනාටම සටහන් පොතයි චෙක්පොතයි දීලා නැගිටලා මගේ බිරිඳ මාලිනීට කිව්වා අපි යමු කියලා. මම මාලිනීට කිව්වා නැවත සංගම්වලට බැඳෙන්නේ නෑ කියලා. ‘නාමෙල් මාලිනී’ පුංචි තියටර් එක පිළිබඳ සංකල්පය මට මේ අවස්ථාවේ ඇතිවුණා. පසුව මා, රැලෙක්ස් රණසිංහ, ටෝනි රණසිංහ, සිරිල් බී. පෙරේරා, වික්‍රම බෝගොඩ, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාල ද සිල්වා සම්බන්ධ ‘අපේ කට්ටිය’ ඇසුරට වැටුණා.
සරච්චන්ද්‍රගේ ගෝලයෙක් නිසා සුගතපාල ද සිල්වා සිතුවේ නැහැ තාත්වික නාට්‍යවල රඟපාන්න මට පුළුවන් කියලා. ඒ කාලෙ සුනන්ද මහේන්ද්‍රගේ ‘ගැහැනියක්’ නාට්‍යයේ මා රඟපෑවා. මේ අතර සුගත්ගේ ‘හරිම බඩු හයක්’ නාට්‍යයේ අම්මාගේ චරිතයට මගේ බිරිඳ මාලිනීව ගත්තා. රිහසල් බලාසිටිද්දී, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ චරිතය නැතිව නාට්‍යය හැමදාම රිහසල් කරනවා මා දකිනවා. මම සුගත්ට කිව්වා, නාට්‍යය හොඳට හදාගන්න නම් සුරේන්ද්‍ර එනකම් කවුරුහරි අරගෙන රිහසල් කරන්න කියලා. සුගත් මට ආරාධනා කළා. මං භාරගත්තා. පසුව සුරේන්ද්‍ර පැමිණි විට මම කිව්වා, මචං දැන් උඹ මේක කරපන් කියලා. එවිට සුගත් කිව්ව, නෑ නාමෙල්ම කරන්න කියලා. මගේ රංගනයෙන් අලුත්ම චරිතයක් මතුවුණා සහ තමා හිතුවාටත් වඩා එය හොඳයි කියලා සුගත් කිව්වා. සුගතපාලද සිල්වාට මා එකතුවුණේ එහෙමයි. අපි හැමදාම රිහසල්වලින් පසුව ප්‍රෙස්ක්ලබ් එකට ගිහින් ඩි්‍රන්ක්එකක් අරගෙන කලාව, රඟපෑම්, චිත්‍රපට ගැන කතාබහ, විවේචන කරනවා. ඉන් අපව පෝෂණය වුනා.

නළුකමයි අධ්‍යක්ෂණයයි
නළුකම සහ අධ්‍යක්ෂණය එකට කිරීම මට අභියෝගයක් වුණේ නැහැ. මම අධ්‍යක්ෂනය කළ හැම නාට්‍යයකම මම රඟපෑවේත් නැහැ. විශේෂයෙන්ම අධ්‍යක්ෂණයේදී මා ගොඩනඟුවේ අවධානාත්මක ශෛලියයි. සුගතපාල ද සිල්වා සොඳුරු ආඥාදායෙක් වුණත්, මා ඒකාධිපතියෙක් විදියටයි නළුනිළියන් හැසිරවූවේ. ‘නැට්ටුක්කාරයෝ’ නාට්‍යයේදී උපාලි අත්තනායක, ධම්ම ජාගොඩ සහ මම මාරුවට එකම චරිතය රඟපෑවා. මේ නාට්‍යයට රුක්මණී දේවිත් ආවා. බස්වල එන්න අමාරු නිසා එයා කිව්වා ‘මම ෂෝඑක දවසට ඇවිත් කැරුක්ටර්එක කරන්නම්’ කියලා. එයා සිංහල දෙබස් ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි කියන්නේ. එයා රිහසල් එන්නෙ නැති නිසා අපට බය හිතුණා. විමල් කුමාර ද කොස්තා තමයි අනෙක් චරිතය කළේ. ඒ චරිතයට මම සෝමලතා සුබසිංහව ගත්තා. නාට්‍යය පෙන්වන දවසේ රුක්මණීයි, එඩීයි ආවා. නාට්‍ය බලා කිව්වා, අනේ නාමෙල් මට කවදහරි මේ චරිතය ඕනේ, මේ මගේ ජීවිතය කියලා. ඇය නැතිවුණ නිසා ඊට අවස්ථාව දෙන්න බැරිවුණා.
1972දී මම කළ ‘වංශක්කාරයෝ’ නාට්‍යයට හොඳම නිෂ්පාදනය, හොඳම රචනය සහ හොඳම නිළිය ඇතුළු සම්මාන ගණනාවක් ලැබුණා. ඒ කාලෙ නාට්‍යවල මනුෂ්‍යත්වය පිළිඹිඹු කරවමින්, බහුලව යටිපෙළ දේශපාලනය සාකච්ඡා කරමින් ගැඹුරු කතිකාවක් ඇතිකළා. සෑම නාට්‍යයකම සදාකාලික බවක් තිබුණා. අද ප්‍රේක්ෂකයන් නාට්‍ය බලන්නේ, නළු-නිළියෝ බලන්නයි, හිනාවෙන්නයි. ඔවුන් පුංචි තියටර් එකට කෝල් කරලා අහන්නේ, රඟපාන්නේ කවුද, හිනාවෙන්න පුළුවන්ද කියලායි.
මම ජීවත්වෙන්නේ පුංචි තියටර් එකේම නිසා, හැමදාම වගේ නාට්‍ය බලනවා. ඇත්තටම කොමඩිවලත් ගැඹුරක් තියෙන්න ඕන. ග්‍රීක නාට්‍යකරු වන ඇරිස්ටොෆානිස්ගේ කොමඩිවල ලොකු ගැඹුරක් තිබුණා.

වේදිකාවෙන්, සිනමාවට
මම මුලින්ම රඟපෑවේ වසන්ත ඔබේසේකරගේ ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටයේයි. හිරෙන් පැන්නෙක් විදියට. සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටියත් එහි රඟපෑවා. චිත්‍රපටයේ අන්තිම සීන්එකට මම තාමත් ආදරෙයි. ඒ වෙලාවේ මා පොලිස්කාරයෝ දෙස බලාසිටි දර්ශනය එදා විචාරකයන්ගේ පැසසුමට ලක්වුණා. ‘සිංහබාහු’ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මා ඇමෙරිකාවේත් පෙන්වූවා. ‘හරිම බඩු හයක්’ බපරිවර්තන නාට්‍යයේ ඉංග්‍රීසි නාට්‍යය මා පිටරටදී දැක තිබෙනවා. ඒ හැම එකකටම වඩා සුගත්ගේ නිෂ්පාදනය ඉහළයි.

නාමෙල් මාලිනී පුංචි තියටර්
මම එංගලන්තයේදී ජී.ඩී.එල් පෙරේරා අධ්‍යක්ෂණය කළ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ ‘රටගිය ඇත්තෝ’ මාලා ටෙලිනාට්‍යයේ රඟපෑවා. මම පිටරටදී දැකපු විශේෂ දෙයක් තිබුණා. ඒ ‘ලිට්ල් තියටර්’. වේදිකාවක් සහිත කුඩා ස්ථානයක නාට්‍ය පෙන්වනවා. එක තියටර් එකක් තිබුණා, නාට්‍ය බලන්න පුළුවන් නවදෙනාටයි. එක නාට්‍යයක් අවුරුදු තුනක් පමණ පෙන්වනවා. මම එහෙම බලපු නාට්‍යයකට සම්මාන එකොළහකුත් ලැබුණා. ලංකාවේදීම මට පුංචි තියටර් ගැන 1963දී පමණ අදහසක් ඇතිවෙලායි තිබුණේ. නමුත් මට එදා සල්ලි තුබුණේ නැහැ. මේ තියටර් නිසා හොඳ රචකයන්, නිෂ්පාදකයන් බිහිවෙනවා. නිෂ්පාදන පිරිවැයත් අඩුයි. යුරෝපයේ මේවා හරියට තියෙනවා. මේ තියටරයක නාට්‍යයක් කිරීම ගෞරවයක් විදියටයි ඔවුන් සලකන්නේ.
ලංකාවට මුලින්ම ලිට්ල් තියටර් සංකල්පය ක්‍රියාත්මක කළේ මායි. මං අපේ මහගෙදර විකුණලා මිලියන හැටක් වියදම් කරලා බොරැල්ලේ නගර මධ්‍යයේ නාමෙල් මාලිනී පුංචි තියටර් එක හැදුවා. මගේ යෝජනාව ලංකාව පුරාම ලිට්ල් තියටර් හදන්න කියන එකයි. නාමෙල් මාලිනී පුංචි තියටර් එකේ ආසන 202යි. අනෙත් නාට්‍යශාලාවලට වඩා තියෙන සහනයක් තමයි ලාභයි. පුංචි තියටර්එකට හුරුවුණු වෙනම ප්‍රේක්ෂකයන් සිටිනවා. ශාලාව ඇතුළේ හැමදාම ශබ්ද ඇසෙනවා. එක්කෝ නාට්‍යයක් පෙන්වනවා. නැත්නම් රිහසල්. එයින් මා පුදුම වින්දනයක් ලබනවා.’■

ජාතිය වනාහි..

0

■ පවිත්‍රා රූපසිංහ

‘අප අතර ව්‍යවහාරයේ පවතින, අප කවුරුත් තේරුම දන්නා බොහෝ දේ තිබේ. එහෙත් ඒ කුමක්දැයි විස්තර කරන්නැයි කිසිවකු ඉල්ලා සිටිනතාක් පමණි. ජාතිය යනු එබන්දකි’ වෝකර් බැජට් නම් ජර්මානු චින්තකයා ජාතිය විස්තර කරන්නේ එසේය. අපි කවුරුත් පාහේ ජාතිය කුමන අරුත් ඇති සංකල්පයක්ද කියා ඉවෙන් මෙන් දනිමු. එහෙත් එය විස්තර කිරීමට අපට නොහැකිවීමට ඉඩ තිබේ. එවන් සීමාවන් මධ්‍යයේ වුවද, මේ අතිශයින් කාලෝචිත මොහොතේ, ජාතිය යනු කුමක්දැයි විමසා බැලිය යුතුමය.

විශ්ව සාහිත්‍යයේ ප්‍රශස්ති නෑ
වාස්තු විද්‍යාඥ උදුල බණ්ඩාර අවුසදහාමි..
සිංහලයේ ‘ජ’ අයත් වචනය මුලින්ම සලකා බැලිය යුතුයි. ‘ජගත්’ එහි තේරුම ජනතාව සහ ලෝකයයි. මේ නිසාම රජුට ‘ජගත්පති’ කියනවා. ‘ජගත් නාථ’ කියන්නේ ලෝක කේන්ද්‍රීයත්වය හිමි විෂ්ණු දෙවියන්ටයි. සාමාන්‍ය වශයෙන් ‘ජංගම’ කියන්නේ චලනයටයි. ‘ජටා’ යනු හිස මස්තකයයි. මේ අනුව ‘ජටා මකුට’ නාමපදය හිස සමඟ ගොඩනැඟී තිබෙනවා. ‘ජන්ම ස්වභාවය’ යනු වරිග කුලමල උත්පත්තිය නිසා ඇතිවන සම්බන්ධයයි. ‘ජන්මාන්තර’ යනු ‘ජන්මය සමඟ ඇතිවූ’ යන්නයි. ‘ජනක, ජන්‍යය’ යනු පියාට, ජනනය කරන්නා යන්නයි. ‘ජායා, ජන්යා’ මවට, බිරිඳට ජනිත කරන්නාට යෙදෙන පදයයි. ජානු/ජන යනු මිනිසා, මිනිස් වර්ගයා උපත සහ නිෂ්පාදනය යන්නයි. ‘ජාත’ යනු උපන් තැනැත්තායි. ‘ජාතක’ යනු උපත හෝ උපත ඇතිකරවීමයි. මේ අයුරින් ජනන යන්නයි, ස්ත්‍රී ලිංග පදය ජනනී යෙදෙන්නේ මවට හෝ මවගේ ලක්ෂණ සඳහායි. ‘ජාති’ යනු උත්පත්තිය හා සම්බන්ධ වූ බවයි. ජාති අන්ධ, ජාති වෛර මෙලෙස ගොඩනැඟෙනවා.
ජනපද, ජනපද රෝග, ජනප්‍රවාද, ජනරංජන, ජනශූන්‍ය, ජනශුති, ආදි බවත් ජනආශ්‍රය කොට ගොඩනැඟෙනවා. ‘ජා’ යන්න ‘ජන්ම’, ‘ජන්මධාරී’ සහ ‘ජන්මය’ ලබාදෙන්නා වෙනුවෙන් පෙනී සිටියි. ජය වෙනුවෙනුත් ජය ශ්‍රී, ජයන්ත, ජයන්තී යන පද පෙනී සිටිනවා. ‘ජා’ යන්න ඊට ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් ‘රා’ සමඟ සම්බන්ධ වී ‘ජරා’ යන පදය ගොඩනැඟෙනවා. ‘ජාතිය’ යනු ඉපදීම, ජනනය, වර්ගය, විවිධ වර්ග, උස්මිටිකම්, මානව පන්තිය, වෙනුවෙන් පෙනී සිටිනවා. එයින් ‘ජාතිවාද, ජාති වෛරී’ ගොඩනැඟී තිබෙනවා.
‘ජනගනමන අධි නායක ජයහේ’ (ඉන්දීය ජාතික ගීය), ‘නව ජීවන දෙමිනේ ජය භූමි කරා’ (ලංකා ජාතික ගීය) මේ අවස්ථා දෙකේදිම ‘ජ’ යන්න ආශ්‍රිත පද යෙදී තිබෙනවා. ඉපදීම යන්නට පර්යාය පදයක් ලෙස ‘ජ’ පෙනී සිටිනවා. ජන්මය මේ නිසාම ‘ජාතිය’ නැත්නම් ‘මානව වර්ගයා’ මේ ආශ්‍රයෙන් ගොඩනැගී තිබෙනවා. කතා කරන භාෂාව, තමන්ගේ වර්ගය අයත්වූ දේශය, අදහන ආගම, සමේ පැහැය, ඇස්වල වර්ණය, උස යන ඉතිහාසය මේ සියල්ලෙන් මානවයා වර්ගීකරණයට ලක්වෙනවා.
රාජ්‍ය තාන්ත්‍රිකව මෙම වර්ගීකරණය නැතියැයි සැලකුවත් ඇමෙරිකාවේත් එවැන්නක් පවතින බැව් පසුගිය කාලයේ ඇතිවුණු වාර්ගික ගැටුම්වලින් සනාථ වුණා. ඊශ්‍රායලයේ ජුදා ආගම පවා ඊශ්‍රායල් ජාතිකයන්ට පමණක් උරුමවුණ දෙයක්. ‘ජ’ අක්ෂරයෙන් උපත ලබන බොහෝ වචනවලට ‘උපත’ බද්ධව පවතිනවා. ඉන්දීය සහ ලංකා දීර්ඝ භාෂා හා මානව ඉතිහාසය පුරා එය පවතින්නක්. ‘නජච්චා වසලො හොතී, නජච්චා හොති බ්‍රාහ්මණො’ යන බෞද්ධ ප්‍රකාශයේ සඳහන් අන්ත දෙක වන ‘වසල සහ බ්‍රාහ්මණ’ දෙපදය භාරතයේ උපන් හින්දු ධර්මයේ සාමාන්‍ය ජනතාව අදටත් අදහමින් පවතින හින්දු ආගම තැනූ සංකල්පයක්. මෙම වෙනස ‘ජන්මය’ සමඟ ලැබෙන බව හින්දු ආගම ප්‍රකාශ කර සිටිනවා. එහෙත් බෞද්ධ ධර්මයට අනුව, මිනිසා වර්ග කළ යුත්තේ ජන්මයෙන් නොව, ඔහුගේ ක්‍රියාවෙනුයි. දීර්ඝ ඉතිහාසය පුරා පැවත එන ජන්මය ප්‍රමුඛයැයි සැලකූ සම්මත සත්‍යය මත සිටගෙන, අසත්‍යය පැවසීම සිදුවනවා.
වර්තමානයේදීත් ජන්මය, දේශය, භාෂාව, උපන් පළාත, ඉගෙනගත් පාසල, ආශ්‍රයකරුවන් ආදි වර්ගීකරණයක් කරනවා. එම නාමපදවලින් පෙනීසිටින ස්ථාන උස්පහත් ලෙස ගර්හාවට මෙන්ම ප්‍රශස්තියට ලක්වෙනවා. මෙය විශ්ව කලාකෘතියකදී දකින්නට නොහැකියි. උසස් නවකතාවක, චිත්‍රපටයක ගතහොත්, රචකයා අතින් ඉහත කී සියල්ල මැනවින් ස්පර්ශ වෙනවා. ගීතයේ සහ චිත්‍රවලදී කෙරෙන ප්‍රකාශවලදී මෙම විශ්ව සාධාරණත්වය නිතර කියා සිටිනවා. ඒවා තුළ ජාති මමත්වය වැනි කිරුම් මිනුම් ප්‍රශස්තියට ලක්වන්නේ නැහැ.
විශේෂයෙන්ම බුදුදහමේදී මෙම භාවිත මිථ්‍යාව සුවිශේෂව අවධාරණය කරනවා. අංගුලිමාල සෝපාක හා විවිධ ගණයේ සමාජයේ මිථ්‍යාදෘෂ්ටියෙන් ඇලුම් කෑ මිනිසුන් වෙත බුදු දහමින් සැපයුණ සෙවණ හා ආරක්ෂාව මේ බව ප්‍රකට කරනවා. ඉතිහාසයක් සහිත භාෂා ධ්වනිවලට බුදුදහම නව අර්ථ සපයනු ලබනවා.
‘ජන්මය’ වෙනුවට අද ඔසවාගෙන යනු ලබන්නේ ‘මිනිසා සතු සම්පත් ප්‍රමාණයන්’. නැතහොත් ධනවත් ක්‍රමය, අනෙක් ධනවතුන්ගේ ප්‍රමාණ සමීපත්වයයි. ධනවත්භාවය ප්‍රමුඛකරගත් අනෙක් කරුණ, දේශපාලන පක්ෂ නැතහොත් බලකඳවුරුවල සමීපත්වයයි. සදාකාලික බලය සහ ධනය, දේශපාලනයේදී පළල් අන්දමට ගොනුවී පවතිනවා. මේ සියල්ල මිථ්‍යා ආජීවයන්. මෙයින් මිදීම මිනිසාගේ චින්තනය නිරවුල් කිරීමට උපකාරී වෙනවා. එහෙත් එය පොදු මිනිස් ක්‍රියාවක් නොවී ආගමික ක්‍රියාවකට ලඝුවෙලා. එය එසේ නොවිය යුතු බව ප්‍රත්‍යක්ෂ වූ කරුණක්.
බුදුන්, මිනිසා පිළිබඳ මූලික ජනන ආකෘතිය පැහැදිලි කරනවා. සියලු‍ පක්ෂීන් සම නොවී විවිධ වර්ග පවතිනවා. ඔවුන් අතරින් සිය ප්‍රජාව ජනනය කළ හැක්කේ විශේෂ වර්ග එකතු වුවහොත් පමණයි. උරගයින්ටද අනෙක් සත්ව වර්ගලටද මෙය පොදුයි. ඒත් මිනිසා කවර දේශයක, ආගමක සිටියත් කායිකව එක්කළ හැකි එකම ජීව ප්‍රජාවක්. බුදුන් කියන්නේ, මිනිසා අතර ඇති සියලු‍ භේද විවිධතා මිනිසාම ගොඩනගාගෙන ඇති බවයි. මින් ප්‍රකට කරන්නේ මිනිසා යනු එකම ජීව ප්‍රජාවක් බවයි. කාලාම සූත්‍රයෙන් පැවසෙන්නේ මෙයයි.

රැස යනු ඉතාමත් ප්‍රබුද්ධ සංකල්පයක්
සාහිත්‍යවේදී එස්.ජී. පුංචිහේවා..
ජාතිය යන්නට නිශ්චිත අර්ථයක් නැහැ සහ එය ඓතිහාසික ගොඩනැංවීමක්. මනුෂ්‍යයන් දේශපාලනික වශයෙන් සංවිධානගත වීමේදී, විවිධ ජනකොට්ඨාස විවිධ පිළිගැනීම් භාරගත්තා. පොදුජන සමූහය විවිධ අනන්‍යතාවන් සමඟ හදාගත් ජාතිය යන්න විවිධ කාලවලදී විවිධාකාර ලෙස ගොඩනැඟු‍වා. ආරක්ෂාව, දේශ සීමා, භාෂාව යන පොදු හැඟීම් ඇති යම් ප්‍රදේශ තුළ සිටින ජන කොටස් එකක් ලෙස පාලනය වීම ඇරඹුණා. අපේ දේශසීමාව එක නම්, පොදු සිතීමක සිටී නම්, පොදු හැඟීම් සමුදායක් දරා සිටිනවා නම්, එය ජාතිය විදියට පොදුවේ හඳුනාගැනුණා.
ජාතියක් තුළ වෙන්වූ වර්ගයන් යනුවෙන් අදහසක් ඇතිවන්නේ නැහැ. සිංහල නම් ජනවර්ගය ජාතියක් වන්නේ නැහැ. ජාතිය කාලයෙන් කාලයට වෙනස් අරුත් ගත්තා. මීට දශක ගණනාවකට පෙර කුලය හැඳින්වූවේත් ජාතිය නමිනුයි. ජාතිය සංකල්පය වැඩි වශයෙන් පවතින්නේ ධනේශ්වර සමාජ තුළයි. වැඩවසම් සමාජයේ, ධනේශ්වරය ස්ථාපිත වද්දී සමාජගත වූවේ සූරාකෑමයි. සූරාකෑම සඳහා ජාතිය සහ දේශසීමා මිනිසා භාවිත කළා. ධනවාදී ආර්ථිකය තුළ දේපළ හිමියෝ ජාතියට විශාල පිළිගැනීමක් ලබාදුන්නා. ජාතිය මේ අනුව ඍජුවම ධනවාදී ආර්ථිකයට සම්බන්ධයි.
ධනවාදී සමාජයක ජාතියක් තුළ පවා අසාධාරණකම්, අකටයුතුකම් සහ ගැටුම් ඇතිවනවා. ජාතියක්යැයි කියාගන්නා පිරිස තුළ පවා වෛරය ව්‍යාප්ත වෙනවා. ධනවාදී අර්ථ ක්‍රමයක් තුළ සමාජයේ සමානාත්මතාව තහවුරු වන්නේ නැහැ සහ මුල්බැස ගන්නේ සමාජ විෂමතාවයි. ඒ අවස්ථාවේදී සමාජයේ බරපතළ ගැටුමක් හටගන්නවා. මෙම ලක්ෂණ ධනවාදයේ නියත ස්වභාවයයි. ධනවාදී රටක ජාතිවාදී ගැටුම් බහුල වන්නේ එහෙයිනුයි.
කුමාරණතුංග මුනිදාස හඳුන්වාදුන් දෙස, බස, රැස සංකල්පයේ රැස යනුවෙන් හැඳින්වෙන්නේ ජාතියයි. විශේෂයෙන්ම ඒ ‘සිංහල ජාතිය’ ගැන කියූවක් නොවෙයි. සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු‍ ජනවර්ගයන්හි එකතුවක් ජාතියක් ආකාරයෙන් ඔහු හැඳින්වූවා. රැස යනු ඉතාමත් ප්‍රබුද්ධ සංකල්පයක් වුණත්, වර්තමානයේ ජාතිය යන්න ලංකාවේ ඒ ආකාරයට අර්ථවත් වන්නේ නැහැ. ලොව සියලු‍ මනුෂ්‍ය වර්ගයා එක ජාතියක්ය යන අදහසත් අද කතාබහට ලක්වී තිබෙනවා. එහිදී සංකල්පීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මුල් වෙනවා. ඒ අනුව සමාන අයිතිවාසිකම් ගැන නැවත කතා කෙරෙනවා. සෑම ජනකොටසක්ම අතර පොදු සමානාත්මතාවක් ඇති අයිතිවාසිකම් ඇතිවාක් මිස ජාතීන් වශයෙන් වෙන්කොට සැලකීමක් සිදුවන්නේ නැහැ.
පොදු මනුෂ්‍ය වරිගයක් ගැන කතා කිරීමට නම් ඒ සඳහා සමාජය සංවිධානාත්මක විය යුතුයි. විරැකියාව, දිළිඳුකම සමග සියලු‍ මනුෂ්‍යයන් එකට ජීවත් වෙද්දී, ඒ අයට හිතන්න බැහැ ලෝක සියලු‍ මානවයන් එක ජාතියක් බව. සමාජ සමානත්මතාව පවතින ලෝකයක, ‘පොදු මනුෂ්‍යයා, එකම ජාතියක්’ පිළිබඳ සංකල්පය ඇතිවේවි. ලංකාව අධිරාජ්‍යවාදයෙන් මිදීමට ගත් උත්සාහයේදී, ජාතිය ඉස්මතු කළා. එහිදී වර්ගය අතර සමඟියක් ඇතිවුණා. ජාතිවාදය ගැන කියද්දී, මහ ජාතිය නිරන්තරව කල්පනා කරන්නේ තමන්ට වැඩි අයිතිවාසිකම් අවශ්‍යයි යනුවෙනුයි. එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෞද්ගලික දේපළ අයිතිය පිළිගැනීමත්, වැඩි වශයෙන් පෞද්ගලික දේපළ හිමි සුළු කොටසක් සිටීමත් අද දැකිය හැකියි. ඒ අය අපේ ජාතිය යනුවෙන් යමකට පිළිගැනීම ලබාදෙනවා. එහි යම් ජාතිවාදී ඇඟවුමක් තිබෙනවා. සිංහල ජනවර්ගයේ විශාල කොටසක් සිටිනවා වරප්‍රසාදයන් නැති. ඔවුන් සමානයන් වෙන්න ඕනෑ කිව්වාට එහෙම වෙන්නේ නැහැ. සූරා කන සමාජයක ජාතිය පටු සංකල්පයක්. විශ්වීය මනුෂ්‍යයෙක් යන සංකල්පය ඇතිවීමට ආර්ථික සමානාත්මතාව අත්‍යවශ්‍යයි.

ගෝත්‍රය ජාතිය බවට පෙරළුණා
කිවියර නන්දන වීරසිංහ..
බෙනඩික් ඇන්ඩසන් කියන පරිදි ජාතිය යනු සිතින් මවාගත් සංසිද්ධියක් යන්න මාගේ පිළිගැනීමයි. එය පරිකල්පන තත්ත්වයක්. එහිදී ඔහු මතුකරන තර්කයක් වන්නේ, කුමන රාජ්‍යයක ජීවත්වන පිරිසක් අතර පවා මේ සිතින් මවාගත් දෙය හෙයින් ගැටුමක් ඇතිවිය හැකි බවයි. ඒ වාගේම ජන සන්නිවේදන ක්‍රියාකාරීත්වයකින් තොරව මෙම පරිකල්පනයට පැවැත්මක් නැහැ. ජාතිය යන්නේ පැවැත්මට විද්‍යුත් ජන සන්නිවේදනය අනිවාර්ය අංගයක් වෙලා තිබෙනවා. සල්මන් රුෂ්ඩි පවසනවා, වසර ගණනාවක් ඉන්දීය ඉතිහාසයේ කිසිම විටෙක එක්සත් අදහසක් නොතිබුණු බව. ජාතිය සංකල්පය කුමක්දැයි ඔහු මතුකරන්නේ ඒ බව කියමිනුයි.
ආදිවාසීනුත් උතුරු ඉන්දීයයන් සමඟ සංයෝජනයක් තිබෙනවා. ඉන්දු ආර්ය භාෂා පවා ලංකාවට හුරුවන්නේ එහෙමයි. විවිධ වර්ග අතර මිශ්‍ර වීමක් ආදිවාසීන් තුළ පවා ඇති බව පොදුවේ සනාථ කළ හැකි දෙයක්. පිරිසිදු ජාතියක් ලෙස හුවා දැක්වීමට ඒ අනුව අපට සාධක නැහැ. ජනවර්ග එකිනෙකා මිශ්‍රවී ශුද්ධ ජාතියක් හෝ පරම ජාතියක් සේ සැලකෙන පරිකල්පනයක් පමණයි ඉතිරිවී තිබෙන්නේ. මීට ගරුඩවාදය කියා කියන්න මං කැමතියි. ලෝකයේ සියලු‍ ජයග්‍රහණයන් ජාතික වශයෙන් බෙදී පවතිනවා. වෙන්ව පවතින්න සීමා හදාගත්තේ අපමයි. ජාතිය අනාදිමත් කාලයක සිට පැවතෙන්නේ අපගේම නිර්මාණයක් වශයෙනුයි. ජාතිය ගැඹුරින් පරීක්ෂා කරද්දී පාරිශුද්ධ කිසිවක් ඒ තුළ නැහැ. ජාතිය පිළිබඳ ඇති හුදු ළැදිකමක් මිස අද ලෝකයේ විශ්වීය මිනිසෙක් පිළිබඳ ළැදිකමක් ඇතිවන්නේ නැහැ. විද්‍යුත් මාධ්‍යයේ ශීඝ්‍රතාව මත මේ ආකාරයෙන් ජාතිය උත්කර්ෂයට නංවනවා දැකිය හැකියි. ජාතිය යන්න මුල් කරගෙන දිග ගමනක් යන්න බැහැ. ගෝත්‍රවාදය තමයි ජාතිය බවට පෙරළුණේ.
ජර්මනිය රාජ්‍ය ගණනාවකට බෙදී සිටියදී, ජර්මන් ජනතාව තනි ජර්මනියක් වශයෙන් ඒකරාශි කිරීමේදී රාජ්‍යතාන්ත්‍රික බිස්මාක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඔබේ ලෙයින් සිතන්න යනුවෙන්. ලෙයින් සිතද්දී තර්ක විතර්ක ඉවත දැමිය යුතුයි. තම සහෝදර ජනතාව සමඟ ඇති ලෝහිත බන්ධනය, සියලු‍ භේදයන් අබිබවා යන බන්ධනයක් විය යුතුයි. ලෝකයේ එකදු ජාතියක්වත් හුදෙක් පිරිසිදු ලේ නෑයින්ගෙන් සමන්විත නැති බව පොදු සත්‍යයයි. ඒ අනුව ජාතිය යන්න අසත්‍යයක් වුවත්, හුදෙක්ම ජාතිය පිළිබඳ සංකල්පයේදී වැදගත් වන්නේ ජීව විද්‍යාත්මක සත්‍යය නොව, සම්මුති සත්‍යයයි. ජාතියක් යනු, තම පාරම්පරිකත්වය පිළිබඳව පොදු භ්‍රමයක් නිසාත්, ඒ මත අසල්වැසියන් පිළිබඳව පොදු අකමැත්තක් නිසාත් එකතු වූ ජන පිරිසක් යනුවෙන් කාල් ඩොයිෂ්ට් සමාජ විද්‍යාඥයාගේ හැඳින්වීම අපට ඉතාමත් සමීපයි. ඇත්ත වශයෙන්ම ජාතිය යනු භාවමය හැඟීමක්. එය හුදෙක්ම තර්කඥාන ක්ෂේත්‍රයෙන් ඈත්වූ, විශ්වාස ක්ෂේත්‍රයෙහි පිහිටියක් පමණයි.■

සටන්කිරීමට අමරණීයත්වය පැතූ මහස්වෙතා දේවි

0

■ පවිත්‍රා රූපසිංහ

‘සමාජය තුළ ලේඛකයා රඟදක්වන භූමිකාව අවබෝධ කරගත හැක්කේ ඇගේ හෝ ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වය මතය’ යන්න මහේස්වෙතා දේවි දැඩිව එල්බගෙන සිටි අදහසක්. ඇය තදින් අමරණීයත්වය පිළිබඳ අපූරු අදහසක් දැරුවා. සදාකාලික ජීවිතයක් උදෙසා වූ ඒ ඇල්ම වූකලි හුදෙක් ජීවිතාශාවක් නොව, ඈ අවට ලෝකයේ තිබෙන අයුක්තියට, අසාධාරණයට එරෙහිව හඬනඟන්නට ඇයට තිබූ අව්‍යාජ උවමනාවයි. 2016 වසරේ ඇය ජීවිතයෙන් සමුගත්තද, ඉන්දියාවේ ජීවත්වූ නොමියෙන ලේඛකයන් සහ සටන්කාමීන් අතර ඇය අමරණීයත්වයට පත්වුණා.
මධ්‍යම පන්තික සාහිත්‍යලෝලී උගත් බෙංගලි පවුලක 1926දී උපන් දියණියක වූ ඇය, ඉන්දීය දේශසීමා වෙන්වීමට පෙර ඩකාවේදී ද්විතීයික අධ්‍යාපනය නිමකළා. පසුව රවීන්ද්‍රනාත් තාගෝර් කල්කටාවේ බොලාපූර්හි පිහිටුවූ, විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධාරිනියක බවට පත්වනවා. ශාන්ති නිකේතනය සහ විශ්වභාරතිය, ඇය නිදහස් අරගලයේ උද්වේගයට නිරාවරණය කර තිබෙනවා. ඩකා නුවර ජීවත්වන නූගත් බෙංගලි දියණියන්ට අධ්‍යාපනය ලබාදීමට දතකන අම්මාගෙන් ජීවිතය උගත් ඇය, බාලවියේ පටන්ම පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කැපවනවා.
බෙංගාලයේ ජීවත්වූ සම්භාව්‍ය සාහිත්‍ය චරිතයක් වූ ඇගේ රචනා බොහෝමයක් වෙනත් ඉන්දීය සහ යුරෝපීය භාෂාවන්ටත් පරිවර්තනය වෙනවා. ඇගේ ලේඛන දිවිය නවකතා සියයක්, කෙටිකතා වෙළුම් විස්සකට වැඩි ගණනක් උත්පාදනය කරන අතර, ඇගේ ප්‍රථම තීව්‍ර නවකතාව වන්නේ ‘ජනාසීර් රාණි’යි. ඊට පෙර ‘නති’ නමින් පළවූ නවකතාව පාදක කරගෙන තිබුණේ ජාන්සි නගරයේ අවුරුදු පතා පවත්වන හරිද්‍ර කුම් කුම් උත්සවයේදී ජනයා ගායනා කරන, කුදාබක්ෂ් – මොතිබායි පෙම් පුවත අළලා රචනා කෙරුණු සින්දුයි. පසුව කරන ලද ‘අමිරිතාසන්චෙ’ නවකතාව පාදක කරගත්තේ බුන්දෙල්කාන්ද් පළාතේ ඇති වූ ජන නැගිටීම්.
ලියන්නියක සහ සටන්කාරියක ලෙස එකවර කටයුතු කරන ඇයට ඉන්දියාව තුළ පිරිනැමෙන සෑම සාහිත්‍ය ත්‍යාගයක්ම පාහේ හිමිව තිබෙනවා. ‘රමෝන් මැග්සේසේ’ 1997දී ඇය ලබාගන්නා අතර, සාහිත්‍යය ඇකඩමි ත්‍යාගය, පද්ම ශ්‍රී සම්මානය, පද්ම විභූෂණ සම්මානය, බටහිර බෙංගාල ආණ්ඩුව පිරිනමන ඉහළම ප්‍රජා සම්මානය වන බංගබීභූෂන් සම්මානය, සාහිත්‍යබ්‍රහ්ම යාවජීව සම්මානය ඇය ලැබූ සම්මාන අතරින් කිහිපයක්.
ඉන්දීය සමාජයේ ජීවත්වන වඩාත්ම පීඩිත පයට පෑගෙන ජනකොටස්වල, එනම් අපරාධකාරී සහ ආන්තික යනුවෙන් හංවඩු ගසා තිබෙන ආදිවාසී ගෝත්‍රිකයන්ගෙන්, දාලිතයන්ගෙන්, සංක්‍රමණිකයන්ගෙන් සහ දුප්පත් අනාථයන්ගෙන් සමන්විත ජන කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් නොකඩවා සටන් කරන්නට ඇගේ ජීවිතය මිඩංගු කර තිබීම සුවිශේෂයි. මේ දුක්ඛිත ජීවිත පිළිබඳ ඇත්ත කතාව ලෝකයට එළිකරමින් පෑන හැසිරවූ ඇය එපමණකින් නොනැවතී, ඒ වෙනුවෙන් සමාජය සංවිධානයට ද මැදිහත් වූවා.
මහස්වෙතා දේවිගේ ‘ද හසාන් චෞරාසි කී මා’ හෙවත් ‘අංක 1084 අයිති අම්මා’ නවකතාව 1998 ගෝවින්ද් නිහලනිගේ මැදිහත්වීමෙන් වාර්තා චිත්‍රපටයක් බවට පත්වන අතර, එය ලාංකීය සමාජයේත් ඉතාමත් ජනප්‍රියයි. 1984 යනු හුදු අංකයක් පමණක් නොවෙයි. බ්රෝති නම් සරසවි සිසුවාගේ මෘතදේහයේ පාදයක ඒ අංකය එල්ලෙමින් තිබුණා. දහස් ගණනක් මරාදැමුණු සිසුන් අතර බ්රොති, ඔහුගේ අම්මාට ප්‍රාණසරි පුතුයි. ඉන්දියානු සමාජයේ නිදන්ගත ගතානුගතිකවාදයට එරෙහිව වීදි බට ආදරණීය පුතුයි. මහා ඉන්දියාවේ තමා යනු මිනිස් ආත්මයක් බව වටහාගත් එකම මනුෂ්‍ය පුතුයි. නක්සල්බාර් විමුක්ති අරගලය ඒ කෘතියේ තේමාව වුණා. එය ඉන්දීය ලෝකය ඉතාමත් උපායමාර්ගිකව අමතකකර දැමූ අරගලයක්. ඒත් මහස්වෙතා දේවි ඒ අරගලය නැවතත් ඉන්දීය සමාජයේ ජීවමාන කරමින් සහ සමාජයේ ඉදිරියට කාලාන්තරයක් පවතින එකක් කරමින් ‘බ්රෝතිගේ අම්මා’ නැමති කාල්පනික චරිතය සජීවී කළා. ඇයගේ උත්සාහය වූවේ අරගලය තුළ වන මානවවාදය මතුකිරීමයි. කැරලිකරුවන්ගේ මානවවාදී අධ්‍යාත්මය නිරාවරණය කිරීමට ඇය සිය ලේඛනය තුළ මහත් ඉඩක් වෙන්කර තිබුණා. ‘සැබෑ ඉතිහාසය නිර්මාණය කරන්නේ පොදු ජනතාවයි’ යන්න මහස්වෙතා සිය ජීවිත කාලය පුරාම අඛණ්ඩවම විශ්වාස කළා. ■

පැණිලන්තය – භාගයක් මටය භාගයක් තොපටය

0

■ අතුල දිසානායක

යුරෝපයේ, මැසිඩොනියාවේ ඉතා ඈත පළාතක, කඳුකර ප්‍රදේශයක, මිනිසුන් අත්හැර ගිය ගමක, සාමකාමී හුදකලා ජීවන අරගලයක යෙදෙන කාන්තාවක සහ ඇගේ වයෝවෘද්ධ මවගේ කතාන්දරය රැගත් වාර්තා චිත්‍රපටියකි. ඔවුන්ට සිය පැවැත්ම සඳහා ඇති එකම මාර්ගය ස්වාභාවික මී පැණි නෙලීමය. වියළි කාලයේ කඳුශිඛර තරණය කර මී වද නෙලා ගැනීමෙන් සහ කුඩා මීමැසි ජනපදයක් පවත්වාගනිමින් මී පැණි නිෂ්පාදනය කරන මේ ගැහැනිය ඒවා වෙළඳපොළට ගොස් විකුණා ලබාගන්නේ සොච්චම් මුදලකි. ඇය ඒවා වියදම් කරන්නේ සිය අතිප්‍රාථමික අවශ්‍යතා ඉටුකර ගැනීමටය. මේ ගෝලීය යුගයේ යුරෝපයේ අතිදුෂ්කර, හුදකලා කඳුකර ප්‍රදේශයක මානව ජීවිතය සියුම් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙස ඉදිරිපත් කරන මෙම වාර්තා චිත්‍රපටය දේශගුණ විපර්යාසය, ජෛව විවිධත්වයේ විනාශය, මෙන්ම ස්වාභාවික සම්පත් සූරාකෑමේ ආදිනව ද කියාදෙයි.
වාර්තා චිත්‍රපට කලාවේ එක් සුවිශේෂ අත්දැකීමක් මෙන්ම සුවිශේෂ ආකෘතිමය ලක්ෂණයන්ගෙන් සමන්විත Honeyland හෙවත් පැණිලන්තය මනුෂ්‍යත්වය පිළිබඳ නව්‍ය අත්දැකීමක්තිළිණ කරයි. ලෝකය පුරා පැවැති වාර්තා චිත්‍රපට උළෙලවලින් සම්මාන රැසක් දිනාගත් හනිලෑන්ඩ් Tamara Kotevska, Ljubomir Stefanovගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය නිසා එය හොඳම වෘතාන්ත වාර්තා චිත්‍රපටය (Best Documentary Feature) සහ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය (Best International Feature Film) යන අංශ දෙකෙන්ම මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත් විය. වාර්තා චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙලක දී වාර්තා සහ වෘත්තාන්ත යන අංශ දෙකටම තේරී පත්වුණු පළමු අවස්ථාව ද මෙයයි.
චිත්‍රපටයේ කතා නායිකාව වන්නේ 54 හැවිරිදි තුර්කි සම්භවයක් ඇති හටිඩ්සේ මුරටොවා (Hatidže Muratova) නම් ගැමි ගැහැනියයි. විදුලිය නැති, උල්පත් වතුර පමණක් බීමට ඇති, නගරයට යාමට ඒමට හරිහමන් පාරක් තොටක් නැති මේ හුදකලා ගම්මානයේ ජීවත් වන්නට සිතන්නේ කිසියම් උන්මත්තක හැඟීමක් ඇති අයෙකු මිස අන් කිසිවකු නොවන බව ප්‍රේක්ෂකයා මුල් රූපරාමුවලින්ම සිතන්නට පෙළඹෙයි. සියල්ලෝම ගම හැර ගොසිනි. එහි ජීවත්වන්නේ හටිඩ්සේ සහ ඇගේ අම්මා පමණි. සහෝදරයන් සිටියත් ඔත්පලව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මව බලා ගන්නට ඉතිරි වන්නේ ඇය පමණි. වෙනත් ගම්වල සිටින ඇගේ සහෝදරයන් බැලීමට, වෙළෙඳපොළට යාමට, වෛද්‍යවරයකු ළඟට යාමට ඇයට පැය ගණන් ඇවිදින්නට සිදුවේ. නගරයේ වෙළෙඳපොළට ගොස් මීපැණි විකුණා ලබාගන්නා මුදලින් ඇය තම සුදුපැහැ ගැන්වෙන කොණ්ඩය කළු කරගැනීමට ආලේපන මිලදී ගනී. ඇය කියන්නේ වයසට ගියත් තරුණ පෙනුමෙන් සිටිය යුතු බවයි. වාර්තා චිත්‍රපටය තුළ වයෝවෘද්ධ මව සහ දියණිය අතර ඇති මානුෂීය බැඳීමද තාත්වික සහ නාටකීය ආකාරයෙන් නිරූපණය වෙයි.
ඇය සතු විශිෂ්ට පරිචය වන්නේ සැමවිට මීපැණිවලින් හරි අඩක් පමණ නෙලාගැනීමය. ඉතිරි අඩ මීමැස්සන්ටය. අපේ වහරින් කියන්නේ නම් ඇයට අවශ්‍ය මල නොතලා රොන් ගන්නටය. ඈ කියන්නී සීත සමය එන විට මී මැස්සන්ට ජීවත් වීමට කොටසක් ඕනෑ නිසා එසේ කරන බවය.
හටිඩ්සේගේ සාමකාමී හුදකලා ජීවිතයට බාධා එල්ල වන්නේ ඇයගේ ගමට කිරි හරක් රංචුවක් සමග පදිංචියට එන හුසෙන් සෑම් (Hussein Sam), ඔහුගේ බිරිඳ සහ දරුවන් නිසාය. සෑම්ගේ පවුල ලොකු පොඩි ළමුන් හත්දෙනෙකුගෙන් යුත් එකකි. හටිඩ්සේ මේ නව අසල්වාසී පවුල සමග මිතුරුවෙයි. ඔවුන්ගේ කුඩා දරුවන් සුරතල් කරයි. ඇගේ හුදකලා බව පහව යයි. මුලින් කිරි පිණිස ගවයන් ඇති කරන සෑම්, හටිඩ්සේගේ මීපැණි ජනපදය දැක තමන්ටත් මීපැණි නිපදවීමට අවශ්‍ය බව හටිඩ්සේට කියයි. හටිඩ්සේ සිය මීපැණි නිෂ්පාදනය කිරීමේ දැනුම අසල්වැසි පවුල සමග බෙදාගනී. අසල්වැසියාට මීමැසි ජනපදයක් ඇති කරගැනීමට තම මීමැස්සන්ගෙන් කොටසක් ලබාදෙයි. අසල්වැසි පවුලම මධ්‍ය පරිමාණයෙන් මීමැසි පාලනය ආරම්භ කරයි. ඒ සමගම හටිඩ්සේගේ මීමැසි පාලනයට බාධා එල්ලවෙයි. ඇය ඒවා විඳ දරාගනී. ඇයගේ මීපැණි අස්වැන්න අඩුවෙයි. ගමට මීපැණි එකතුකරන්නට එන ව්‍යාපාරිකයාට අවශ්‍ය වන්නේ වැඩිපුර මීපැණිය. හටිඩ්සේගේ උපදෙස් නොතකන අසල්වාසියා කරන්නේ මීමැස්සන්ට කොටසක් නොතබා සිය මීමැසි කොලණියේ මීපැණි සියල්ලම නෙලාගැනීමයි. ප්‍රතිඵලය වන්නේ සීතකාලයේ දී මීපැණි නැතිව නිරාහාරව සිටින අසල්වැසියාගේ මීමැස්සන් හටිඩ්සේගේ මීමැසි ජනපදයට ප්‍රහාර එල්ල කිරීමයි.
මේ සියලු දුෂ්කරතා සහ ගැටුම් මැද, අබිරහස් රෝගයකින් සෑම්ගේ ගව පට්ටියේ ගවයෝ මියයති. සෑම් සිය පවුල සහ ඉතිරි වී ඇති ගව රංචුව සමග වෙනත් ගමකට යයි. උතුරු මැසිඩෝනියාවේ මේ පළාතේ ගැමි සම්ප්‍රදායට අනුව පවුලක අවසන් ගැහැනු දරුවා සිය දෙමව්පියන් මියයන තෙක් රැක බලාගත යුතුය. ඔවුන් ජීවත්ව සිටියදී විවාහයක් කර ගැනීම ඇයට තහනම්ය. එහෙයින් සියලු දුෂ්කරතා මැද ඇඳට වී සිටින සිය මවට උවටැන් කරමින් සිටින්නට හටිඩ්සේට සිදුවෙයි. එහෙත් රූගත කිරීම් අතරතුර ඇගේ මවද මියයයි. අන් කිසිවකු නැති එම ගම්මානයේ හටිඩ්සේ තනිවෙයි.
ලෝකය පුරා චිත්‍රපට විචාරකයන්ගේ නොමඳ අවධානය සහ ඇගැයීම දිනා ගැනීමට මෙම වාර්තා චිත්‍රපටය හැකිවන්නේ එහි ඇති මානව විද්‍යා සහ පාරිසරික ප්‍රවේශය නිසාය. හනිලෑන්ඩ් රූගත කොට අවසන් කිරීමට වසර තුනක කාලයක් ගත වූ බව සඳහන්වෙයි. පැය 400ක දර්ශන රූගත වෙයි. සියලුම රූගත කිරීම් ස්වාභාවික ලෙස සිදුවූ බවත් සියයට පහක දර්ශන ප්‍රතිනිර්මාණය කරන්නට (Re enact) කරන්නට සිදුවූ බවත් එහි අධ්‍යක්ෂවරු කියති. වාර්තා චිත්‍රපට කීමේ විවිධ විලාසයන් වූ Fly-on-the-wall, Direct cinema, සහ Direct cinema එක හමුවන තැනක් ලෙස හනිලෑන්ඩ් වාර්තා චිත්‍රපටය හැඳින්විය හැකිය. එමෙන්ම එය සමස්තයක් ලෙස නිරීක්ෂණාත්මක වාර්තා චිත්‍රපට (Observational Documentary Film) ගණයට ද අයත් වෙයි. වාර්තා චිත්‍රපටයේ පසුබිම් කථනයක් නැත. ඇත්තේ චරිතවල කතාබහ සහ හුදු ස්වාභාවික ශබ්ද පමණි. චිත්‍රපටයේ කතානායිකාව වන ගැමි ගැහැනිය ලෝකය පුරා පැවැත්වුණු වාර්තා චිත්‍රපට උළෙලවලට රැගෙන යාමට මෙම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු දෙපළ කටයුතු කරති. ලෝකයේ විවිධ නගර, විවිධ ජනවර්ග, ආහාර සහ අලුත් අලුත් දේ දැකීමෙන් ඇය ප්‍රමුදිත වෙයි.
චිත්‍රපටය පිළිබඳ අදහස අධ්‍යක්ෂවරුන් තුළ ඇතිවීම ද අහම්බයකි. උතුරු මැසිඩෝනියාවේ ගංගාවක් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කිරීමට යන අධ්‍යක්ෂවරුන්ට මෙම කාන්තාව හමුවන අතර ඇය ගැන වාර්තා චිත්‍රපටයක් කිරීමට ඔවුහු අදහස් කරති. නමුත් මුලදී වාර්තා චිත්‍රපටයට පෙනීසිටීමට ඇය අකමැත්තක් දක්වයි. පසුව එකඟවේ. හටිඩ්සේ පරිසර සංරක්ෂණය පිළිබඳව පැරණි සමාජයන් සතු පාරම්පරික දැනුම මෙහිදී පෙන්වා දෙයි. මීපැණි අස්වැන්න නෙලද්දී ඇය නිතරම කියන්නේ ‘half for me, half for you’ යනුවෙනි. ඇය ඒ කියන්නේ සීයාගෙන් ලැබුණු දැනුම අනුවය. මීමැස්සන්ට පියෑඹීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට සහ උන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා තමන්ගේම පැණි තිබිය යුතු බව සීයා ඇයට කියා දී ඇත.
මෙම වාර්තා චිත්‍රපටයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බලධාරීන්ගේ මැදිහත් වීම සුවිශේෂය. 2019 සර්ජේවෝ චිත්‍රපට උළෙලේදී Sarajevo Film Festival තුර්කියේ ගුවන්විදුලි සහ රූපවාහිනී සංස්ථාව (Turkish Radio and Television Corporation) යූරෝ 30,000ක (රුපියල් හැත්තෑ ලක්ෂයක්) ත්‍යාගයක් පිරිනැමීමයි. අධ්‍යක්ෂවරුන් එම මුදල් වැය කරන්නේ මෙම වාර්තා චිත්‍රපටයේ කතා නායිකාවට ඇගේ පවුලේ අය සහ මිතුරන් ජීවත්වන ගම්මානය ආසන්නයෙන් නිවසක් තනා දීමටය. අධ්‍යක්ෂවරුනි දෙපළ Donate for the Honeyland Community නම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ හටිඩ්සේ, ඇගේ ප්‍රජාවට සහ අසල්වැසි පවුල්වලට ප්‍රතිලාභ ලබාදීමටය. එමගින් පිරිසිදු මීපැණි නිෂ්පාදනය කෙරෙන අතර ඒවා අරමුදල් සපයා දෙන්නන්ට ලබාදෙනු ඇත. වාර්තා චිත්‍රපට නම් කලාව දෙස දියුණු ඇසින් බලන නිලධාරි පැලැන්තියක් සිටින රටක ලැබෙන ප්‍රතිඵලය එසේය.
අවසානයේ හනිලෑන්ඩ් වාර්තා චිත්‍රපටය අපට කියාදෙන්නේ කුමක්ද? මානව ශිෂ්ටාචාරය සිය ලෞකික පැවැත්ම සාක්ෂාත් කරගත යුත්තේ සොබාදහම ද සමබරව රැකගනිමින් බවය.■

චුදිතයන් සෝදා පිරිසිදු කළ පළිගැනීමේ කොමිසම අධිකරණයට අපහාස කිරීමට එරෙහිව අධිකරණය මොනවා කරාවිද?

  • රාජපක්‍ෂවරුන් වන්දනා කරයි.
  • අධිකරණයේ නඩු ඉල්ලා අස්කරගන්න කියයි.
  • චුදිතයන් නිදොස්කර නිදහස් කරන්න කියයි.
  • අධිකරණයත් නීතිපතිත් ඊට යටත් වේවිද?

ජනාධිපති ගෝඨාභය, 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ඇමති මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට, කොමිෂන් සභාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව නිල නොවන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත්වී තිබේ.
වාර්තාව කියවන විට, ලංකාවේ ජනාධිපති කොමිෂන් සභා දේශපාලන පළිගැනීම් සඳහා කොයිතරම් අපයෝජනය කරන්නේද යන ප්‍රශ්නය පළමුව ඇතිවේ. දෙවනුව ඇතිවන්නේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට මේ තරම් අපකීර්තිමත්, පහළ තැනකට වැටිය හැකිද? වැටිය යුතුද? යන ප්‍රශ්නයි. තුන්වැන්න, මෙවැනි කැළෑ කොමිසමක් අභියෝගයට ලක්කරන්නට සමත් නීතියක් හා බලවත් දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නැතිද යන්නයි. සිව්වැනි ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය නම්, මෙවැනි කැළෑ කොමිසමකින් දෙන නියෝග නීතිපතිවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළු අධිකරණ පද්ධතියත් පිළිගන්නේද යන්නයි. නැතිනම්, එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා තම ගෞරවය රැකගැනීම සඳහා කටයුතු කරන්නේද යන්නයි.
අප සිතන අන්දමට නම්, රන්ජන් රාමනායක අධිකරණයට අපහාස, අගෞරව කිරීම ගැන අවුරුදු හතරක සිරදඬුවමක් නියම කළ අධිකරණයට, දැන් තමන්ගේ ගෞරවය රැකගැනීම පිළිබඳ අම්ල-භෂ්ම පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදුව ඇත්තේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ ගැන කරන්නේ මොනවාද? කැළෑ කොමිසමකින් තමන් වෘත්තියේ යෙදෙන අධිකරණයට බලවත් අපහාසයක් කර තිබියදී නීතියේ පාලනය රැකගැනීමට කැපවී සිටින නීතිඥ සංගමය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ප්‍රකට නීතිඥවරයකු මෙන්ම රටේ අධිකරණ පද්ධතිය ගැන ගෞරවයෙන් ක්‍රියාකරන අධිකරණ ඇමතිවරයා තමා සිටින ඇමති මණ්ඩලය අනුමත කළ මේ නිර්දේශ ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද?
කොමිෂන් සභාවේ වාර්තාව පටන්ගන්නේම විහිළුකාර රාජපක්‍ෂ වන්දනාවකිනි. ඒ වචනවලින් සංකේතවත් වන්නේ කොමිසමේ සාමාජිකයන් වන උපාලි අබේරත්න, චන්ද්‍රා ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු කොයිතරම් රාජපක්‍ෂ අන්තේවාසිකයන්ද යන්නයි. ඒ වාගේම කොයිතරම් නොපැසුණු අයද යන්නයි. ඒ විතරක් නොවේ. මේ තුන්දෙනා, ලෝකයේ සිදුවන දේ ගැන කොයිතරම් අන්ධද යන්නයි. ඒ වාගේම, සිදුවන දෙයින් තමන්ට වුවමනා කොටසක් අල්ලාගෙන පක්‍ෂපාතී අර්ථකථන දෙන්නට කොයිතරම් සමතුන්ද යන්නයි. මෙවැනි අමනොඥයන් තිදෙනකු මුලසුන හෙබවූ කොමිසමකින් නීතියේ පාලනය බිඳවැටීමක් මිස වෙනත් යහපතක් බලාපොරොත්තු වන්නේ කෙසේද?
මේ, කොමිෂන් වාර්තාවේ පෙරවදන හෙවත් පසුබිම කියවන්න.
පසුබිම
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැගුණු ආක්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනු විසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම යුගයේ වීරයන් පහළ වූ අතර ඔවුන් ආක්‍රමණිකයින් මෙන්ම දේශීය කැරලිකරුවන් ද පලවා හැර රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට අභීතව සටන් කළහ.
අවසන් වශයෙන් බි්‍රතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්කරගෙන ශතවර්ෂාධික කාලයක් ගෙන ගිය පාලනයෙන් රට මුදවා ගැනීමට මහත් අරගලයක් සිදු කරමින් 1948 වර්ෂයේ දී නිදහස ලබාගෙන ඒකීය රාජ්‍යයක් තුළ ලාංකික ජනතාවට සාමකාමී ලෙස ජීවත්වීමේ වරම ලබා දීමට මෙම දිවයිනේ බිහි වූ ජාතික වීරයින් ට අවකාශය ලැබිණි.
එසේ වුවත් එසේ ලබාගත් නිදහසට 1971 වර්ෂයේ දියත් කළ ත්‍රස්තවාදී කැරැල්ලෙන් බරපතල හානි පැමිණුනි. ත්‍රස්තවාදීන් කැරැල්ලේ ගිනි පුපුරු නිවී යාමටත් ප්‍රථම 1976 වර්ෂයේ දී යාපනය නගරාධිපති දොරේ අප්පා මහතාට වෙඩි තබමින් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් නැවතත් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට සහ සාමකාමීත්වයට බාධා පමුණුවමින් සිවිල් වැසියන් ඝාතනය කරමින් රට දෙකඩ කර වෙනම පාලනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව එංගලන්තය ඇතුළු බටහිර රාජ්‍ය කිහිපයක ආශීර්වාදයෙන් යාපනය ප්‍රදේශය මුල් කරගෙන ලේ හලන බිහිසුණු අරගලයක් දියත් කළහ.
1975 වර්ෂයෙන් පසුව මෙරට පාලනය භාරගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ජනාධිපති ආර් ප්‍රේමදාස, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන රාජ්‍ය නායකයන් මෙම ද්‍රවිඩ ඊලාම් ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්වීමට අසමත් වූහ.
මෙම කාලය තුළදී මෙම ත්‍රස්තවාදී කැරැල්ල කොතෙක් දුරට වර්ධනය වූවා ද කිවහොත් 2005 වන විට ලංකාවේ පැරණිම රාජධානිය වූ අනුරාධපුරයෙන් ඔබ්බට යාපනය දෙසට සාමාන්‍ය පුද්ගලයෙකුට යාමට නොහැකි වන අන්දමට මෙම දිවයිනෙහි පාලන තන්ත්‍රය දෙකඩ වී ගොස් තිබුණි.
අවුරුදු 30කට වැඩි මෙම අඳුරු යුගය තුළ ද්‍රවිඩ ඊලාම් කොටි ත්‍රස්තවාදීන් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ද ලෝක උරුමයක් වූ ද ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ කර ලෙයින් තෙත් කළහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයින්, සිවිල් පුරවැසියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළහ. කටුනායක ගුවන් තොටුපල ඇතුළු මහජන දේපල බෝම්බ දමා විනාශ කළහ. 2005 වර්ශය වන විට ශ්‍රී ලංකාව වන විට අරාජික තත්වයක් කරා ළඟා වෙමින් තිබුණි.
මෙවන් අඳුරු යුගයක දී 2005 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ අතර එතුමාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් බිහිකර ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හමුදා අත්දැකීම් උපයෝගී කරගෙන ත්‍රිවිධ හමුදාව සහ පොලිස් බලකාය මෙහෙයවමින් ඊලාම් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධයට එරෙහි මානුෂීය සටන නව මුහුණුවරකින් දියත් කරන ලදී.
අවුරුදු කීපයක් පුරා සිදුකරන ලද බිහිසුණු සටන්වලින් පසුව 2009 වර්ෂයේ මැයි 19 වන දින ඊලාම් කොටි ත්‍රස්තවාදීන් පලවා හරිමින් ශ්‍රී ලංකාව නැවතත් ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමට මෙම වීරෝදාර නායකයන්ට සහ රණවිරුවන්ට හැකිවිය.
ද්‍රවිඩ ඊළාම් ත්‍රස්තවාදීන් පෝෂණය කළ බටහිර නායකයන්ට මෙම විජයග්‍රහණය ඔවුන්ගේ මනදොල සපුරන්නක් නොවීය. එබැවින් ද්‍රවිඩ ඊලාම් යුද්ධයේ අවසන් මානුෂීය සටනේදී යුද අපරාධ සිදු කළ බවට අභූත චෝදනා ඊලාම් යුද්ධයේ සැබෑ විරුවන්ට එරෙහිව ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් පන්නරය ලද බටහිර නායකයන් විසින් එල්ල කරන ලදී.
2015 ජනවාරි 8 වන දින පිහිටුවනු ලැබූ නව රජය මේ සඳහා සුදුසුම තෝතැන්න බවට තෝරාගත් බටහිර නායකයින් නව රජයේ අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාවලිය සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවලිය දඩමීමා කරගත් නව රජය තම සිතැඟි ඉටුකර ගැනීමේ අභිප්‍රාය ක්‍රියාත්මක කරමින් තම දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවටත් එසේම දේශපාලන පළිගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථය යටතේ ක්‍රියාත්මක කෙරුණු දූෂණ විරෝධී කමිටුව නමැති නිල නොවන සංවිධානයක් පිහිටුවා එහි නිර්දේශයන් ඒ සමගම පිහිටුවා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැමැති නිල නොවන පොලිස් ඒකකයක් මගින් ද එසේ ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍ර්‍රීි ලංකා පොලිසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ක්‍රියාත්මක කළ බවටත් සඳහන් කරමින් පළිගැනීමට ලක්වූ පුද්ගලයන්ගෙන් පැමිණිලි ගලා එන්නට විය.
මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද විරුවන්ට එරෙහිව අසත්‍ය නඩු පවරා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමරිකාව හා බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රාජ්‍ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සතුටු කිරීමට නව රජය ක්‍රියා කරන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම චෝදනා එල්ලවිය. යුද නායකයින් හා රණවිරුවන් සිරගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට තමන්ට මෙම දේශපාලනයෙන් බලපෑමක් බලපෑම් කරන බවට රාජ්‍යතන්ත්‍රයේ ඉහළ නිලතල දැරූ නිලධාරීන් ප්‍රසිද්ධියේම නව රජයට එරෙහිව චෝදනා කළහ.
අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සහාව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයා විසින් සිදුකරනු ලබන සමහර පැමිණිළි නොසලකා හරින බවට දේශපාලන පළිගැනීම සඳහා රජයට අවශ්‍ය පැමිණිළි විභාග කර නඩු පැවරීම් සිදු කරන බවටත් චෝදනා එල්ල විය.
එබැවින් මෙම පැමිණිලි සහ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදි.’
මේ පෙරවදනත්, එහි පාවිච්චි කර ඇති 5වැනි ශ්‍රේණියේ සිසුන් රචනා ලියන වචනත්, එහි ඇති වන්දනාමානනයත් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? තමන්ට පැවරී ඇති රාජකාරිය කිරීමට කිසිම සුදුසුකමක් මේ තුන්දෙනාට නැති බවයි. ඒ සඳහා අවශ්‍ය මධ්‍යස්ථ සිහිකල්පනාවකුත්, ලෝකය ගැන දැනුමකුත්, ඉස්පාසුවකුත් ඔවුන්ට නැති බවයි.
මීට පෙරද අප ලියා ඇති පරිදි, යහපාලන ආණ්ඩුව විසින් දූෂණ විරෝධී කමිටුව හා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා තීරණය කළේ එම ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. ඊට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන වෙන්කිරීම, අවශ්‍ය නිලධාරීන් බඳවාගැනීමට අනුමැතිය දීම කළේද ඇමති මණ්ඩලයයි. ඒ නිසා, එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම ඇමතිවරුන්ගේ සාමූහික වගකීමකි. අගමැති ලෙකම්වරයා විසින් කරන ලද නිල ඉල්ලීමකට, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කමිටුවේ කාර්ය සඳහා යෙදවූයේ නීතිපතිවරයාගේ නියමයෙනි. ඒ ගැන විස්තර මීට පෙර අනිද්දා පුවත්පතේ පළවී තිබේ. එහෙව් නීත්‍යනුකූල ආයතනයක්, මේ කොමිසමට අනුව, ‘රාජ්‍ය නොවන සංවිධානයකි.’ වාර්තාව පුරා ඔවුන් දූෂණ විරෝධී කමිටුවටත්, ලේකම් කාර්යාලයටත් පාවිච්චි කර ඇති හැඳින්වීම එයයි. ඔවුන්ගේ නිගමනය වන්නේ, එවැනි රාජ්‍ය නොවන සංවිධානයකට මුදල් වියදම් කිරීම, රජයේ නිලධාරීන් සේවයේ යෙදවීම අපරාධයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
මේ අද්විතීය දැනුම කොමිසමට දී ඇත්තේ කවුද? ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂය. පුදුමයකට මෙන්, මේ මහතා, එවකට ඇමති මණ්ඩලයේද සාමාජිකයෙකි. ඉහත කී සාමූහික වගකීමෙන් බැඳෙන්නෙකි. තමා කමිටුව පත්කිරීම ගැන විරුද්ධ වීම නිසා ඇමති මණ්ඩලය තුළ තමාට එරෙහිව මතයක් පැනනැගුණු බව ඔහු කොමිසම හමුවේ කියා තිබේ. එහෙත්, ප්‍රකට කාරණය නම් කුමක්ද? නීති විරෝධී ආයුධ ජාවාරමක් ගැන සහ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම ගැන බරපතළ චෝදනා ලැබූ නිශ්ශංක සේනාධිපති සමග විජේදාස රාජපක්‍ෂ මහතා සමීප සම්බන්ධතා පැවැත්වූ බවයි. ඔවුන්ගේ පවුල් එකම රථයේ විදේශ රටවල සංචාරවල යෙදුණු ඡායාරූප ඒ කාලයේ සමාජ මාධ්‍ය අවකාශයේ සුලබ විය.
කොමිසමේ අමනොඥබව එක උදාහරණයක් මගින් පමණක් වුවද පැහැදිලි කළ හැකිය.
මරණ දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ පියා මේ කොමිසමට ගියේය. ඒ වන විට, කොමිසමේ පැමිණිලි ගැනීමේ කාලය අවසන්ව, විමර්ශනද අවසන්ව, වාර්තාව ලිවීමට පමණක් ජනාධිපති විසින් සති දෙකක කාලයක් ලබාදී තිබුණ අවස්ථාවක් විය. ඒ අනුව, එක, පැමිණිල්ල බාරගත්තේ අවසාන දිනයට පසුවය. දෙක, පැමිණිල්ල පිළිගත් කොමිසම, දින දෙකක් තුළ ප්‍රකාශ ලියාගෙන, දුමින්ද සිල්වාගේ පියාගෙන් (පමණක්) සාක්‍ෂිද පුදුම හදිසියකින් ලබාගත්තේය. තුන, දුමින්ද සිල්වා රජයේ සේවකයෙක් නොවේ. කොමිසම පත්කර තිබුණේ 2015න් පසු රජයේ සේවකයන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන සෙවීමටය. හතර, දුමින්ද සිල්වාට විරුද්ධව චෝදනා නැගුණේ 2015න් පසු නොවේ. 2011 ඔක්තෝබර් 8 පළාත් පාලන මැතිවරණයේදී කළ ඝාතනයක් ගැනය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදීය. එනිසා කොමිසමේ නිල විමර්ශන කාලයට ඒ කාලය හසු නොවේ. පහ, දුමින්ද ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් තීන්දුව, දුමින්ද විසින්ම අභියාචනය කරන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එලෙසම තහවුරු කරන ලදි.
එහෙව් කාරණයක් ගැන මේ කොමිසම කියන්නේ කුමක්ද?
‘කොළඹ මහාධිකරණයේ නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුය. දුමින්ද සිල්වා වරදකරු කිරීම පිළිබඳ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතුය.’ යනුවෙනි.
මෙවැනි කොමිසමක වාර්තාවක්, අප සැලකිය යුත්තේ නීතියේ පාලනයට කෙරෙන මහා විනාශයක් ලෙස නොවේද?
මේ කොමිසමේ තීරණ හා නිර්දේශවලින් සමහරකි.
1. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ (පැමිණිලි අංකය 01-2020, 5-2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කරඇති බී732/09 වාර්තාවෙහි සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යුතුය. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති 1448/2020 දරන නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම මගින් එකී අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කර පැමිණිලිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
2. හේවා ගුණරත්න භාෂ්වර සේනාංක (816/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි බී2881/2016 වාර්තාවෙහි සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු ය. භාෂ්වර සේනාංක සහ දොන් සතරසිංහ ජයවීරට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අංක එච්සී 50/2018 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.
3. උදය ප්‍රභාත් ගම්මන්පිල (545/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි බී2254/2015 වාර්තාව ඉල්ලා අස්කර ගෙන සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ 8394/2016 සහ 8395/2016 අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම මගින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
4. යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ (1963/2020)
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කර ඇති බී 9823/2015 වාර්තාවෙහි චෝදනාවලින්ද, ගල්කිස්ස මසේත්‍රාත්අධිකරණයෙහි ගොනුකර ඇති බී828/2016 වාර්තාවෙහි සියලුම චෝදනාවලින්ද නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ පවරා ඇති අංක එච්සී 8331/16 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
4. රොහාන් වැලිවිට (1964/2020)
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බී9823/2015 වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කෙට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී 8331/16 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
5. නාලක ගොඩහේවා (432/2020)
අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ බී787/15 දරන බී වාර්තාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ 8133/15 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කෙට නිදහස් කළ යුතුය.
6. වැඩෙනකොණ්ඩ ආරච්චිගේ නිශාන්ත ආසිරි ප්‍රනාන්දු සහ සෙල්ලකපු කමින්ද හර්ෂජිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී884/16 බී වාර්තාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් රුවන්ජීව ප්‍රනාන්දුට කොළඹ මහාධිකරණයේ එච්සී/පීටීබී/02/02/2019 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම.
7. පොල්පාගොඩ ගමගේ තිළිණ සජෝත වින්සන්ට් (04/2020)
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ 1912/16 බී වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී555/2019 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
8. අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා (1969/2020)
අරුමාදුර රෙමෙලෝ දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ එච්සී 7781/15 නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සී 8331/16 දරන අධිචෝදනා පත්‍රයේ සඳහන් වරදවලට දුමින්ද සිල්වා වරදකරු කොට මහාධිකරණය විසින් මරණ දඬුවම සහ සිර දඬුවම් නියම කර එකී දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබු අවස්ථාවේදී, මෙම කොමිසම ඉදිරියේ ඉදිරිපත් කෙරුණු නව සාක්‍ෂි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් නොකිරීමෙන් යුක්තිය අවගමනය වී ඇති හෙයින් දුමින්ද සිල්වා වරදකරු කිරීම පිළිබඳ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතුය.
9. ලලිත් ජයසිංහ (115/2020)
පැල්මඩුල්ප මහේස්ත්‍රාත් අධිකරණයේ බී757/2017 වාර්ාතාවෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සීආර් 215/2017 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
10. ප්‍රේම ආනන්ද උදලාගම (238/2020)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බී93/2009 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. ගම්පහ මහාධිකරණයේ එච්සී 212/19 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
11. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (885/20)
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 1357/05 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. මඩකලපුව මහාධිකරණයේ එච්සීඩී/3057/17 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
12. ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය (1116/2020)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී21/2016 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පැමිණිලිකරුට එරෙහිව ඇමරිකානු රජය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරලීම සඳහා ලංකා රජය විසින් ඊට අවශ්‍ය කෙරෙන නියෝග සහ හෝ නිවේදන ඇමරිකානු රජය වෙත යවා පැමිණිලිකරුට එරෙහිව ක්‍රියාත්මක වන එකී විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතුය.
13. සමන්සිරි දිසානායක හා සුජාතා දමයන්ති ජයරත්න (402/2020, 206/2020)
දෙදෙනාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 44146/15 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. සමන්සිරි දිසානායකට එරෙහිව කොළඹ මහාදිකරණයේ එච්/සී/ටීඒබී/751/19 නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
14. නිශ්ශංක යාපා සේනාධිපති (50/2020)
ගාල්ල මහේසත්‍රාත් අධිකරණයේ බී 32528/15 සහ 44146 බී වාර්තාවේ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. කොළඹ මහාධිකරණයේ එච්සීබී 25/2017 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.
15. මෝසස් රංගජිව නෙවමාල් (07/20)
ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින එච්සී(ටීඒබී) 03/19/493 නඩුව තවදුරටත් පවත්වා ගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම වාර්තාව තුළ හෙළිදරව් වන්නාවූ කරුණු සලකා බලා තීරණයක් ගත යුතුය.
16. ලමාහේවාගේ එමිල් රංජන් (12/2020)
ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින එච්සී(ටීඒබී) 03/19/493 නඩුව නිර්මාණය කරන ලද සාවද්‍ය සාක්‍ෂි මත ගොඩනගන ලද්දක් බවට වූ දෝෂාරෝපණයන් නීතිපතිවරයාගේ අවධානයට යොමු කළ යුතු ය. එය තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතුය.
17. උදයංග වීරතුංග (1081/2020)
එෆ්සීඅයිඩීය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කරනු ලැබූ බී639/15 නඩුවෙන් ලබාගත් සිතාසිය නියමිත කාර්ය පටිපාටියට අනුකූලව බාර දීමට ක්‍රියා නොකිරීම.
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමෙන් බලවත් මූල්‍ය අක්‍රමිකතාවක් කොට ඇතැයි උපකල්පනය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කර ඇති බී 639/15 නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුර ක්‍රියාත්මක වීමක් සිදු නොකරන බවට අධිකරණයට වාර්තා කළ යුතුය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017.01.04 දින උදයංග වීරතුංග නමට ඇති සියලුම බැංකු ගිණුම්වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටුවීමට නිකුත් කරන ලද අධිකරණ නියෝගය ඉවත්කරන මෙන් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතුය.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් 2015.04.29 දින සිට උදයංග වීරතුංග නමට ඇති බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රිය කරනු ලැබ පසුව බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය මත අක්‍රිය කිරීමේ කාලසීමාව දීර්ඝ කරනු ලැබ ඇති බැවින් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් එකී ගිණුම් අක්‍රිය කිරීමේ නියෝගය අවලංගු කිරීම හෝ නැවත දීර්ඝ නොකිරීම.
18. කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න (24/2020)
හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ බී7417/2015 වාර්තාවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
කොළඹ මහාධිකරණයේ එච්සී(ටීඒබී) 725/19 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම තුළින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
හෝමාගම කලාපයේ මහාධිකරණ නඩු අංක එච්සී 209/19 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගෙන නිදොස් කොට නිදහස් කළ යුතුය.
19. තිරුකුමාර් නඩේසන් 1968/2020
එෆ්සීඅයිඩීයට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර නඩේසන් හා බැසිල් රාජපක්‍ෂට එරෙහිව බී8674/15 වාර්තාව මගින් අසත්‍ය පැමිණිල්ලක් ගොනුකිරීමට කටයුතු කළ අයට එරෙහිව නිසි අධිකරණය ඉදිරියේ නඩු පැවරිය යුතුය.
20. ධම්මික අමල් කරුණාසේකර, බණ්ඩාර දිසානායක බුලත්වත්ත, නිශාන්ත ජයතිලක, චාමික සුමිත්, චන්ද්‍රාභය ජයසූරිය, ප්‍රභාත් දුමින්ද වීරරත්න, පේඩිගේ නිශාන්ත කුමාර, ලසන්ත විමලවීර
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බී 1535/08 වාර්තාවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
21. සුමිත් රණසිංහ (03/2020)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී732/2009 වාර්තාවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
22. ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි
මහේස්ත්‍රාත් අධිකරණයේ 7439/2/6 නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.
කොළඹ මහාධිකරණයේ එච්සී(ටීඒබී)1448 නඩුවේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීම මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය.■
තවත් විස්තර ලබන සතියේ

 

 

කිතුනුවාගේ දේශපාලනය කුමක් විය යුතුද?

0
  • ‘කිතුනුවන්ගේ දේශපාලනය කුමක් විය යුතුද’ යන්නට සැබෑ ක්‍රිස්තියානි දේව ධර්මය තුළ පිහිටා පිළිතුරක් ගොනු කරමු.

■ කිතුසර කණ්ඩායම

‘කාදිනල්වරයාගේ හා මෙරට කතෝලික ජන කොටසේ දේශපාලනය කෙසේ විය යුතුද?’
මැයෙන් සිරිල් එf`ඩ්රමුල්ල මහතා විසින් 2020.12.27 අනිද්දා පුවත්පතට ලියන ලද ලිපිය කාලීන සාකච්ඡාවක් පොදු මාධ්‍යයකින් (කිතුනු නොවන) ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් කර ගැනීම මෙරටේ පොදු දේශපාලනයටද වැදගත් යැයි සිතන නිසා මෙය ලියමු.
ආරම්භයේදීම එf`ඩ්රමුල්ල මහතාගේ ලිපියේ මාතෘකාවේ සීමා මායිම් පුළුල් කර අපගේ සාකච්ඡාව ස්ථානගත කරමු.
1. කාදිනල්වරයා වෙනුවට කාදිනල්වරයා ඇතුළු කිතුනු ගිහි පැවිදි නායකත්වයක්
2. කතෝලික ජන කොටස වෙනුවට කතෝලිකද ඇතුළත් කිතුනු ජනතාවගෙන් දේශපාලනය ලෙසත් නායකයන්ගේ දේශපාලනය හා ජනතාවගේ දේශපාලනය දෙකක් නොව එකක්ම විය යුතු නිසා කිතුනුවන්ගේ දේශපාලනය ලෙස මාතෘකාව පුළුල් කරමු.
අපගේ වියමනට පෙර තවත් එක් ප්‍රශ්නයක් පැහැදිලි කරගත යුතු බව සිතමු. එනම් කිතුනුවන්ට දේශපාලනය කැපද? කිතුනු පැවිද්දන්ට හා පූජකයන්ට රදගුරුවරුන්ට කාදිනල්වරුන්ට පාප්තුමාට දේශපාලනය කැපද? යන ප්‍රශ්නයයි.
තවමත් යම් පිරිසක් මේ ප්‍රශ්නයට පිළිතුර ලෙස පූජක පැවිද්දන් දේශපාලනය නොකළ යුතුය යන අදහසේ සිටිති. එහෙත් ඉතා පැහැදිලි ලෙස ‘දේශපාලන කැපවීම දයා සේවාව ඉහළින්ම කළ හැකි මාවත බව’ කතෝලික සමාජ දර්ශනය මෙන්ම ලෝක ක්‍රිස්තියානි සභා සමුළු ඉගැන්වීම් මගින් ද තහවුරු කර අවසානය. එසේ නොවුණද උප්පන්න සහතිකයේ සිට රාජ්‍යයට මිනිසා බැඳෙන වර්තමාන ලෝක යථාර්ථය තුළ දේශපාලනයෙන් බැහැර කිසිවක්ම නැත.
දැන් එf`ඩ්රමුල්ල මහතා නගන ප්‍රශ්නයට අප විසින් විස්තාරණය කරන ලද පුළුල් බව තුළ සිට ‘කිතුනුවන්ගේ දේශපාලනය කුමක් විය යුතුද’ යන්නට සැබෑ ක්‍රිස්තියානි දේව ධර්මය තුළ පිහිටා පිළිතුරක් ගොනු කරමු.
කිතුනුවන්ගේ දේශපාලනය ජේසුගේ දූත කාර්යය, දැක්ම, ශුද්ධ බයිබලීය දැක්ම වර්තමාන සංදර්භය තුළ ක්‍රියාත්මක කිරීමේ දේශපාලනය විය යුතුය.
අපි ඒ පිළිතුර දැන් මඳක් විස්තාරණය කරමු.
■ කිතුනුවන්ගේ දේශපාලනය සම්භාව්‍ය අරුතින් ලොව පිළිගත් ශිෂ්ට සම්පන්න ප්‍රඥා සම්පන්න විමුක්තිවාදී දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය පෘථිවියේත් මානව වර්ගයාගේත් තිරසර නිදහස් විමුක්ති පැවැත්ම තහවුරු කරන, ඒ මෙහෙවර සඳහා සේවය කිරීමට බලය භාවිත කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ‘ලාභය’ වෙනුවට ‘ප්‍රේමය’ මුල් කරගත් දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය මේ ලොව තුළ දේව පාලනයක් හෙවත් ප්‍රේමයේ පාලනයක් පවත්වාගෙන යාම සඳහා වන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය වාර්ගික, ආගමික, සංස්කෘතික, ලිංගික වෙනස්කොට සැලකීමෙන් තොර සමානාත්මතාව මත පදනම් වූ ආර්ථීක දේශපාලන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ හා පවත්වා ගැනීමේ දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජෛව විවිධත්වය පමණක් නොව වාර්ගික, ආගමික, භාෂාමය, සංස්කෘතිකමය, ලිංගිකමය ආදි විවිධත්වයන් ප්‍රමාණාත්මක සුළුතර බහුතර බව මත පදනම් නොවී පිළිගන්නා, අගය කරන, ආරක්ෂා කරන ඒ විවිධ වූ සියල්ලන්ගේ ස්වයං තීරණ අයිතියත් සමගරුත්වයක් සහාභාගිත්වත් දායකත්වයත් එක සේ පිළිගන්නා දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය තමන්ද ඇතුළු සියලු ජන කොටස්වල ඇති අගතිගාමී තත්වයක් ස්වයං විවේචනයට හා විවේචනයට ලක් කරන සෑම ජන ප්‍රජාවක්ම, නිරන්තරයෙන් ආත්ම සෝදිසියක යෙදෙමින් නිවැරදි වීමේ, වර්ධනය වීමේ ගමනක යෙදිය යුතුය බව පිළිගන්නා හා ඊට යොමු කරන දේශපාලනය විය යුතුය..
■ කිතුනුවන්ගේ දේශපාලනය සියලු මිනිසුන්ගේ ජීවත්වීමට අදාළව ආර්ථික දේශපාලනික සංස්කෘතික සමාජීය පාරිසරික අයිතින් පිළිගන්නා මිනිසුන්ගේ පමණක් නොව ගහකොළ ඇළ දොල සතා සිව්පාවාගේ පවා හිමිකම් තහවුරු කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය දරිද්‍රයා, පීඩිතයා තෝරා ගන්නා පීඩිතයාගේ පැත්තේ සිට ගන්නා, පීඩිත මිනිසුන්ගේ, ගැහැනුන්ගේ, ජාතින්ගේ, ලිංගිකයන්ගේ පමණක් නොව පීඩිත සොබාදහම් පැත්තේ සිට කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය පීඩකයා තණ්හාවෙන් මුදන, පීඩිතයා දරිද්‍රතාවෙන් මුදන සොබාදහම සූරාකෑමෙන් මුදන දේශපාලනය විය යුතුය.
■ කිතුවන්ගේ දේශපාලනය කිසියම් එක් දෘෂ්ටිවාදයක වහල්භාවයට පත් නොවූ ධාර්මික (ආගමික නොවේ) සාරාර්ථයන්ද වර්තමානය වන විට පොදු මානව උරුමයක් බවට පත්ව ඇති තව දුරටත් සංවර්ධනය වන මාක්ස්වාදය, ලිබරල්වාදය, මානව හිමිකම් ආදි දියුණු දර්ශනයන්ගේ සාරාර්ථයන්ගෙන්ද පෝෂණය ලබමින් වෙනස් වෙමින් ඉදිරියට යන දේශපාලනය විය යුතුය. ■ කිතුනුවන්ගේ දේශපාලනය ව්‍යාජ දේශ ප්‍රේමයෙන්ද ව්‍යාජ විශ්වාන්තරවාදයෙන් මිදුණු, මිනිසා පය ගසා සිටින භූමියෙන් උරුම වූ පාරම්පරික මිථ්‍යා මත නොවන ඥාන සම්භාරයෙන්ද විශ්වීය ගෝලීය විiාවන්ගෙන්ද පෝෂිත ඥාන සම්භාරයන්ගෙන්ද පෝෂණය වන දේශපාලනයයි.
■ කිතුනුවන්ගේ දේශපාලනය පෞද්ගලික නිදහසට ගරු කරන නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය සුරක්ෂිත කරන දේශපාලනය විය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජාතිවාදී ආගම්වාදී දේශපාලනය නොවිය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය තමාගේ පෞද්ගලික උන්නතිකාමය උදෙසා හෝ තම ප්‍රජාවේ සභාවේ වත්කම්, වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගීතාවාදී ලෙස වර්ගවාදී ජාතිවාදී අධිකාරිවාදී හෝ වෙනත් ඕනැම දේශපාලනයකට නියමින් හෝ අනියමින් සහය පළ කරන දේශපාලනයක් නොවිය යුතුය.
■ කිතුනුවන්ගේ දේශපාලනය ජේසුස්ගේ කොන්දේසි විරහිත, වෛර කරන්නාටද ප්‍රේම කරන ප්‍රේමය මත පදනම් වූවක් මිස තම ජාතියේ, තම ආගමේ නොවන අනෙකාට සිදුවූ විශාල අසාධාරණකම් ඉදිරියේ මුනිවත රකිමින් සිට තම ප්‍රජාවට සිදුවන අසාධාරණයක් ඉදිරියේ පමණක් සාධාරණය ඉල්ලා කෙරෙන දේශපාලනයක් නොවිය යුතුය.
■ කිතුනුවාගේ දේශපාලනය තම ප්‍රජාවේ ඡන්ද ගොඩ බොරුව, වංචාව, දූෂණය, මිනිමැරීම ඇතුළු දස පනතම කඩ කළ බව, කඩ කරන බව හොඳින් දන්නා පවිටු දේශපාලනයකට හරවන දේව විරෝධී දේශපාලනයක් නොවිය යුතුය.
■ ගෝලීය හා දේශීය බලලෝභී දේශපාලනය න්‍යාය පත්‍රවලට නියමින් හා අනියමින් සේවය කරන ගෝලීය හෝ දේශීය පවිටු දේශපාලනයෙන් වරදාන ලබාගන්නා දේශපාලනයක් නොවිය යුතුය.■

චම්පිකගේ තනතුරට සජබ විරෝධයක්

0

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට ඉදිරි සතියේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන තනතුරක් ලබා දීම සඳහා සාකච්ඡා පවත්වා ඇතත්, ඔහුට තනතුරක් ලබාදීමට සජබ ප්‍රබලයන් අතර විරෝධයක් දක්වා ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක වැනි තනතුරක් ඔහුට ලබා දීම පිළිබඳ සාකච්ඡා කර ඇතත්, තමන්ට ඉහළින් විශේෂ තනතුරක් චම්පික රණවකට ලබා නොදිය යුතු බව සමගි ජන බලවේගයේ ඇතැම් නායකයන් කියා තිබේ.
අනිද්දා සමඟ අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ප්‍රකාශ කළේ හරි හැටි පක්ෂ සාමාජිකත්වයත් ලබා නොගත් කෙනෙකුට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා නොදිය යුතු බවය. තවත් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ ඔහුට ජ්‍යෙෂ්ඨ උප සභාපති වැනි තනතුරක් ලබා දුන්නද, වෙනත් විශේෂ තනතුරක් ලබා නොදිය යුතු බවය.■