No menu items!
27.3 C
Sri Lanka
5 November,2026

TIN සහතික අනිවාර්ය කිරීමේ නියමය 2027 අප්‍රේල් 1 දක්වා කල් දමයි

Must read

නිශ්චිත ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ නියමය 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම නියමය මුලින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ 2026 නොවැම්බර් 1 වැනිදා සිටය. එහෙත් මහජනතාව අතර TIN සහතික සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළ බව දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

නිශ්චිත ගනුදෙනු සඳහා සහතිකය අවශ්‍ය පුද්ගලයන්ගෙන් පමණක් නොව සාමාන්‍ය මහජනතාවගෙන් ද TIN සහතික සඳහා ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගෙන මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103(6) වගන්තියට, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සිදුකළ සංශෝධනයට අනුව මෙම නියමය හඳුන්වා දී තිබිණි. ඒ සම්බන්ධයෙන් 2026 සැප්තැම්බර් 22 වැනිදා SEC/PN/IT/2026/05 අංක දරන චක්‍රලේඛය ද නිකුත් කර තිබේ.

කල් දැමූ කාලසීමාව තුළ දැනටමත් TIN අංකයක් ලබාගෙන ඇති පුද්ගලයන්ට එම සහතිකය ලබාගැනීම සඳහා වඩාත් පහසු විකල්ප ක්‍රම හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

තවද, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ මාර්ගගත විද්‍යුත් සේවා (e-Services) පද්ධතිය ඔස්සේ ලියාපදිංචි වන ලෙස ද දැනුම් දී තිබේ.

මෙම නියමය අවලංගු කර නොමැති අතර කල් දමා ඇති බව අවධාරණය කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, එය 2027 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි