යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් අධිකරණ බලතල හෑල්ලුවට ලක්වන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නොවැම්බර් 04 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත.
එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ තීරණ පෙත්සම් 26ක් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි හා සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.
මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය මගින් රැඳවුම් නියෝග සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පොලිස් නිලධාරීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරයකුට පැවරීම හරහා අධිකරණ බලය දුර්වල වන බවයි.
ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව එවැනි බලතල පොලිස් නිලධාරීන්ට පැවරීම පුද්ගල නිදහසට හානිදායක වන අතර අධිකරණ බලතල හෑල්ලුවට ලක් කිරීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, යෝජිත පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ පිළිබඳ සම්මුතියේ මූලධර්මවලට පටහැනි බව ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය. අදාළ සම්මුතිය මගින් ඇප ලබාදීම සඳහා ප්‍රතිපාදන සලසා තිබුණ ද යෝජිත පනත් කෙටුම්පතේ විෂය පථයට අයත් වන වැරදි සම්බන්ධයෙන් ඇප ලබාදීම ප්‍රායෝගිකව අහිමි කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පනත් කෙටුම්පතේ 14(3) වගන්තිය අභියෝගයට ලක් කළේය. එම වගන්තිය මගින් යෝජිත නීතිය යටතේ පැවැත්වෙන අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා අධිකරණයේ පූර්ව අවසරය ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, අදාළ නඩු කටයුතු වාර්තා කිරීමට පෙර අධිකරණයේ අවසරය ලබාගැනීමට මාධ්‍යවේදීන්ට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
තවද, පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය සම්බන්ධයෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය. පුද්ගලයන්ගේ ආශ්‍රයන් සහ බාහිර පෙනුම පදනම් කරගෙන ඔවුන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයන් ලෙස හඳුනාගැනීමට ඉඩ සැලසීම පිළිබඳව ඔහු එහිදී ගැටලු මතු කළේය.
එම වගන්තිය යටතේ පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකුද යන්න තීරණය කිරීමේදී අධිකරණයට සලකා බැලිය හැකි කරුණු කිහිපයක් දක්වා තිබේ. ඒ අතර වෙනත් පුද්ගලයන් සමඟ පැවැත්වූ හමුවීම්, එවැනි කණ්ඩායමක සාමාජිකයන් බවට සැලකෙන පුද්ගලයන් විසින් හඳුනාගැනීම, ඇඳුම් පැළඳුම් රටා, පච්ච සලකුණු, භාවිත කරන භාෂාව, අත් සංඥා, දන්නා සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා සහ ඇතැම් ස්ථානවලට යාම ඇතුළත් වේ.


