No menu items!
24.4 C
Sri Lanka
20 May,2024

තවමත් රඟදෙන පාස්කු නාටකය..!

Must read

ඇත්ත චුදිතයන් කවුද සොයාගැනීමට අවශ්‍ය නම්,
අබුහින්ද් ගැන හොයන්න
සාරා ජස්මීන් ගැන හොයන්න
සොනික් සොනික් ගැන හොයන්න
ජමීල්ට පැමිණි ඇමතුම ගැන හොයන්න

විපක්ෂය විසින් ගෙන ආ යෝජනාවකට අනුව, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේදී පිළිතුරු කතාව කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙසේ ප්‍රකාශ කළේය.

‘දෙහිවල ට්‍රොපිකල් නමැති ආපන ශාලාවේදී පුපුරුවාගෙන මියගිය අබ්දුල් ලතීෆ් ජමීල් නමැත්තා පුපුරුවා ගැනීමට පෙර ටාජ් සමුද්‍රා හෝටලයේ භෝජනාගාරය තුළදී මරාගෙන මැරීමට සූදානම් වෙද්දී ඔහුගේ ජංගම දූරකථනයට ඇමතුමක් එනවා. සී.සී.ටී.වී. කැමරාවල ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ කෝල් එක ආවට පස්සේ තමයි ඔහු පුපුරුවා ගන් නැතුව ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවෙලා යන්නේ. ඒ දුරකථන ඇමතුම ලැබුණේ කාගෙන්ද? ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරුවා නොගෙන පිටව යෑමට දූරකථන පණිවුඩයෙන් උපදෙස් ලැබුණාද?

සමහර යූටියුබ් වැඩසටහන්වලදී කියනවා මෙම දූරකථන ඇමතුම දීලා තියෙන්නේ යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් අන්සාර් නමැති පුද්ගලයකු කියලා. මේ අන්සාර් කියන්නේ කවුද?

පාස්කු ඉරුදින ප්‍රහාරයට පැය කිහිපයකට ප්‍රථම ජමීල් නමැත්තා විසින් ඔහුගේ බිරියට වොයිස් පණිවුඩයක් යොමු කරමින් මොහුගේ ජීවිතයේ අවසන් කැමැත්ත පිළිබඳව හා ඔහු දෙවියන් වහන්සේ ළඟට යන බවට ඇය වෙත දැනුම්දී ඇයට යම් ගැටලුවක් ඇති වුවහොත් මේ හඬපටය පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර ඔහුට නැවත ඇමැතුම් ලබා නොගන්නා ලෙස දන්වා ඇත. එම පණිවුඩය ඔහුගේ බිරිය අසා ඇත්තේ උදෑසන කාලයේ වන අතර එය ඇසූ සැණින් ඇය ජමීල් සමග දූරකථනයෙන් සම්බන්ධ වීමට කිහිපවතාවක්ම උත්සාහ දරා ඇති බව ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මෙම දූරකථන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ කාලය හා සී.සී.ටී.වී. දර්ශන අතර සංසන්ඳනය කිරීමේදී බොහෝදුරට මෙම ප්‍රශ්නගත ඇමතුම බිරිය විසින් ලබා ගන්නා ලද ඇමතුම් බවට සැක කරනු ලබනවා.’

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පසුගිය දා පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේදී මෙසේ ප්‍රකාශ කරනු ලැබූ බව පසුගිය අප්‍රේල් 29 වෙනිදා මව්බිම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව මතභේදාත්මක කරුණු රැසක් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ ප්‍රකාශ බොහෝ ප්‍රමාණයක් දැනටමත් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටය තුළින් මෙන්ම නොයෙක් යූටියුබ් වැඩසටහන් තුළින් ද අභියෝගයට ලක්වී ඇත. එනිසා හරි නම් රජය දැන් කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී අනාවරණය වී ඇති නව කරුණු හරහා පරීක්ෂණ තවදුරටත් සක්‍රිය කිරීමය.

ඉහත කරුණ පිළිබඳව ඇත්ත තත්ත්වය කුමක්ද යන්න සොයාබැලීමේදී අනාවරණය වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ පරීක්ෂණයේදී මෙහි සඳහන් අබ්දුල් ලතීෆ් ජමීල් නැමැත්තාගේ බිරිඳගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත්තත් අමාත්‍යවරයා කියන ආකාරයේ දෙයක් එහිදී වාර්තා නොවුණ බවය. මෙම ත්‍රස්ත කණ්ඩායම තම ජාලය ඇතුළත ඇමතුම් ත්‍රීමා නම් ඇප් එකක් භාවිත කරමින් ලබාගෙන තිබුණ බැවින් එම දූරකථන ඇමතුම දුන් පුද්ගලයා සොයාගැනීමට නොහැකිවී ඇත. එහෙත් අමාත්‍යවරයා මෙම කතාවේදී සීසීටීවී දර්ශන පිළිබඳව සඳහන් කරමින් අපූර්ව සන්සන්දනයක් ද කරමින් මෙම කරුණ ප්‍රකාශ කරයි.

එහෙත් මෙතන තිබෙන හෙළිකරගත යුතු වටිනාම කතාව වන්නේ සීඅයිඩීය විමර්ශන ආරම්භ කරන විටත් ජමීල්ගේ බිරිඳගේ සහ ඔහුගේ මවගේ ගෙදරට ගිය බුද්ධි නිලධාරීන් කවුද යන්නයි. එසේ ගියේ ඇයි සහ එසේ යන්නට ඔවුන් දැනුවත් වුණේ කෙසේද යන්නයි. ඒ දැනුවත් වීම පිළිබඳව ද අමාත්‍යවරයා හරි අපූර්ව විස්තරයක් සිදුකරන අතර එම ප්‍රකාශයන් තුළින්ද සිදුවන්නේ සැකය තීව්‍ර වීමය. දැන් මෙම සම්බන්ධතාව පිළිබඳව නව තොරතුරු රැසක් අනාවරණය වී ඇත. හරි නම් රජය කළ යුත්තේ මේ එළියට ඇවිත් තිබෙන තොරතුරු පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකිරීමය.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කීපදෙනෙකු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් මෙම නිවෙස්වලට ගොස් ඇති අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වන්නේ පරීක්ෂණ ආරම්භ කර දින 10ක් පමණ ගිය පසුවය. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවක ප්‍රධානියා මාරුවී ගොස් සීඅයිඩීයේ සිටි නිලධාරියෙකු එම තනතුරට පත්වූ පසුවය. එම අනාවරණයෙන් පසුව එවක සීඅයිඩීයේ ප්‍රධානියා සේ කටයුතු කළ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂට ඒ පිළිබඳව වෙනමම විමර්ශනයක් කරන්නට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එසේ ගිය බුද්ධි නිලධාරීන් ගෙන්වාගෙන ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තම බුද්ධි කණ්ඩායම ජමීල් නම් පුද්ගලයා කාලයක් තිස්සේ අවේක්‍ෂණය කරමින් සිටි බවය. මෙසේ ආවේක්‍ෂණය කරමින් සිටියා නම් අප්‍රේල් 21 දවසේ ඔහු රැඳී සිටින්නේ කොහේද යන්න, ඔහු කරන්නට සැලසුම්කර තිබෙන්නේ කුමක්ද යන්න එම නිලධාරීන්ට අනාවරණය නොවුණේ ඇයි? එසේ නොදැන සිටියා නම් ජමීල්ගේ පිටුපස සිටිමින් ඔහුව ආවේක්‍ෂණය කළේ කුමක් වෙනුවෙන්ද? මේවා බරපතළ ප්‍රශ්නයන් ය. අනෙක් පැත්තෙන් ජමීල්ගේ සමීපතමයින්ට යුද්ධ හමුදා බුද්ධි අංශය සමග තිබුණ බැඳීම කුමක්ද?

වව්නතිව් සිදුවීම

2018 නොවැම්බර් මස 29 වැනි දින වව්නතිව් පොලිස් මුරපොළ තුළදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කරනු ලැබූ අතර එම සිදුවීම පිළිබඳ පරීක්ෂණයේදී බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමඟ යවනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වන විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ප්‍රකාශ කරනු ලැබුවේ කාලයකට කලින් ය. පසුව ඔහු එය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී ද ප්‍රකාශ කරනු ලැබීය.

එම කතාවට ද ටිරාන් අලස් අමාත්‍යවරයා මෙම පාර්ලිමේන්තු කතාවෙන් උත්තර ලබාදෙයි. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ ‘යුද හමුදා බුද්ධි අංශය විසින් 2018.12.05 දින සිට 2019.04.12 දක්වා අවස්ථා 05කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (රවි සෙනෙවිරත්න) වෙත වාර්තා 05ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාවලින් ලබාදී ඇති තොරතුරු, තොරතුරුකරුවන් මාර්ගයෙන් ලබා ගන්නා ලද තොරතුරු බැවින් එහි සඳහන් සැක කටයුතු පුද්ගලයන් ගණනාවක් පිළිබඳව විවෘත විමර්ශනයක් කරන ලෙසට මෙම වාර්තාවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය මඟින් 2019.04.12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතමින් යොමු කරන ලද 05 වැනි සහ අවසන් වාර්තාවේදී වවුනතිව් නිලධාරීන් දෙදෙනා ඝාතනය, සහරාන්ගේ අනුගාමිකයන් වන රිල්වාන් නමැත්තා හා මොහොමඩ් මොහිදීන් ආමි මොහිදීන් විසින් සිදුකර ඇති බැවින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නා ලෙස ඉල්ලා තිබෙනවා‘

මව්බිම වාර්තා කරන මෙම වාර්තාවට අනුව අමාත්‍යවරයා මේ කරන ප්‍රකාශයට අනුව නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි හැටි පරීක්ෂණ සිදුකර නැත. එහෙත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන මේ කතාව ඇත්තම ඇත්ත කතාවද? විමසා බැලිය යුතුය.

අපට දැනගන්නට තිබෙන ආකාරයට වව්නතිව් සිදුවීම සිදුවුණ දවසේම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස්, පොලිස් පරීක්ෂක විජේතුංග, ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මඩකලපුවට ගොස් ඇති අතර එහිදී එම අපරාධ ස්ථානයට පැමිණ සිටි රාජ්‍ය බුද්ධි අංශය, යුද්ධ හමුදා බුද්ධි අංශය, ගුවන් හමුදා බුද්ධි අංශය වැනි බුද්ධි අංශයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ වැඩක් බවය. එයට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊට ආසන්න දිනයක හිටපු එල්ටීටීඊ සංවිධාන සාමාජිකයන් පිරිසක් මහවිරු සැමරුමක් තියෙන්නට උත්සාහ කිරීම සහ එම උත්සාහය පොලීසිය විසින් ව්‍යර්ථ කිරීමය.

ඒ අනුව අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් මෙයට සැක බවත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් අත්අඩංගුවට ගන්නට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. වව්නතිව් සිදුවීම සිදුවී මාස 5ක් හෝ 6ක් යන තෙක් බුද්ධි අංශයන්ගේ ස්ථාවරය වී ඇත්තේ ද මෙම ඝාතන හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසින් සිදුකර ඇති බවය.

මේ පිළිබඳව යුද්ධ හමුදා බුද්ධි අංශයේ බි්‍රගේඩියර් චුලා කොඩිතුවක්කු සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දැනුවත් කර ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශය අවසන් වරට එවනු ලැබූ ලිපිය තුළද මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මෙම සිද්ධිය පිටුපස සිටින බවට සැක කර ඇතිවා පමණක් බවත් ඔවුන් නිශ්චිතව කවුරුන්ද යන වග ප්‍රකාශ කර නැති බවත් දැනගන්නට ලැබෙයි. දැන් හරි නම් ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කළ යුතු වන්නේ මේ නොමඟ යවනසුලු පණිවිඩ එවනු ලැබූ බුද්ධි නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයන් සිදු කිරීමය.

21 ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විදෙස් බුද්ධි අංශ වාර්තාවක් උපුටා දක්වමින් 2019 අප්‍රේල් 09 වෙනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කරන්නට ලිපියක් යවන අතර එහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියාටද එවා ඇත. පොලිස්පතිවරයාට යවනු ලැබූ ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොපිකළ පමණින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද? අනෙක් පැත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු ප්‍රහාර මැඬ පවත්වන බලගණයක් නොවෙන බව කවුරුත් දනියි.

එය පොලිස්පතිවරයා වඩාත් හොඳින් දන්නා බැවින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියාමාර්ග ගන්න යැයි දැනුවත් කිරීමක් සිදුකර නැත. ඒ වෙනුවට ඔහු බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බලකාය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අංශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අය වෙත සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ක්‍රියාත්මක වෙන්නට දැනුම්දීම් සිදුකර ඇත. ඒ අනුව මේ පිළිබඳව ද ප්‍රකාශ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහර ගැසීම මුවහමට තඩිබානවා වැනි වැඩක් ය.

වනාතවිල්ලුව

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන ක්‍රියාවලිය විවේචනය කරන ටිරාන් අලස් ප්‍රමුඛ ආණ්ඩුවේ බොහෝ පිරිස් චෝදනා කරන තවත් දෙයක් වන්නේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සහරාන්ගේ පුහුණු කඳවුරක් සොයාගැනීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නට අපොහොසත් වීම හරහා ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථාව අහිමි වූ බවය. එහෙත් ඇත්ත ඒකද?

2018 නොවැම්බර් 29 – වවනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, 2018 දෙසැම්බර් 23 – 25 – මාවනැල්ල ආගමික ප්‍රතිමා හානි කිරීම, 2019 ජනවාරි 16 – වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍යය අත්හදා බැලීම, 2019 මාර්තු 08 – තල්සීම්ට වෙඩි තැබීම, 2019- අප්‍රේල් 16 – කාත්තන්කුඩි තාලංකුඩාහිදී යතුරුපැදියක් පුපුරුවා හැරීම වැනි සිදුවීම් බුද්ධි අංශයන් වෙත දැනගන්නට නොලැබුණේ කෙසේද යන ප්‍රශ්නය අප මුලින්ම ඇසිය යුතුය. මේ කිසි දෙයක් නොදැනගත්තත් ඔවුන් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව පමණක් තොරතුරු දැන ගැනීම සැක සහිතය. අනෙක් පැත්තෙන් එයත් දෙගෙඩියාවටය. වනාතවිල්ලුවේ සහරාන්ගේ පුහුණු කඳවුර පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගොස් එම ස්ථානය වටලන විටම එම ස්ථානයට යුද්ධ හමුදා බුද්ධි අංශය පැමිණියේ කෙසේද යන්නත් මෙහි ප්‍රධාන ප්‍රශ්නයක් ය.

ඊට කලින් නොදැන සිටි තැනක් පිළිබඳව සීඅයිඩීය සොයාගත් පසුව යුද්ධ හමුදා බුද්ධි අංශය දැනගත්තේ කෙසේද? ජමීල්ගේ ගෙදරට යාම තරම්ම මෙයත් සැක සහිතය. වනාතවිල්ලුවෙන් සැකකරුවන් හතර දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා විට සොනික් සොනික් හිටියේ කොහේද? ප්‍රශ්න මේවාය. ඒ අනුව වනාතවිල්ලුව පිළිබඳව බුද්ධි අංශයන් නොදැන සිටියා යැයි සිතිය හැකිද?

වනාතවිල්ලුවෙන් හෙළිවෙන තොරතුරු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා මන්නාරම ප්‍රදේශයට, වැලිකන්ද ප්‍රදේශයට, කාතන්කුඩියට යන අතර ඒ අතරේ බුද්ධි අංශයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන්නේ සහරාන් සිටින්නේ අක්කරෙයිපත්තුවේ කියා ය. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගන්නේ සහරාන් සිට ඇත්තේ වත්තල ප්‍රදේශයේ බවය. මෙසේ වැරදි තොරතුරු ලබාදීම මගින් බුද්ධි අංශ බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක්ද?

2019 ජනවරි 16න් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පරීක්ෂණ මෙහෙයවන අතරේ යුද්ධ හමුදා බුද්ධි අංශය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් පිළිබඳව විමර්ශනය කරමින් සිට ඇත්තේ 2013 වසරේ සිටය. දැන් අසන්නට සිදුවන්නේ 2013 සිට 2019 ජනවාරි වෙනකම් ඉහත අංශයන් සිදුකළේ කුමක්ද යන්නයි. අවශ්‍ය නම් පොලීසිය භාර ඇමතිවරයාට මේ පිළිබඳවද විමර්ශනයක් සිදු කළ හැකිය.

ඇමතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිද්ධ කරමින් සහරාන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට විදේශ බුද්ධි අංශයක් මඟින් අනාවරණය කරගන්නා ලද අයිපී ලිපිනය භාවිත කරන ලද්දේ කවුරුන් විසින්ද? යන්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට බාධා කරමින් අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ කවුරුන් විසින්ද? යන කරුණ පිළිබඳව ද අදහස් දක්වා ඇත.

පස්රුල් රහුමාන් මොහොමඩ් සහරාන් හෙවත් පොඩි සහරාන් නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවිට යුද හමුදා බුද්ධි ප්‍රධානී බි්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දර්ෂිකා කුමාරිට කතා කරමින් කීවේ කුමක්ද? පොලීසිය භාර අමාත්‍යවරයා මේ පිළිබඳවත් සොයා බලනවා නම් හොඳය. ඉහතින් අප නම් සඳහන් කළ සොනික් සොනික් නම් බුද්ධි නිලධාරියා ද සීඅයිඩීයට පැමිණ ජාතික ආරක්ෂාව නාමයෙන් කෙටි ප්‍රකාශකයක් කර පිටව ගොස් ඇත. අවශ්‍ය නම් අමාත්‍යවරයාට ඒ පිළිබඳව ද සොයා බැලිය හැකිය. ඊටත් අමතරව අවශ්‍ය නම් වව්නතිව් පොලිස් මුරපොළ අසලින් සොයාගත් ජැකැට්ටුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය පිළිබඳව ද කරුණු සොයා ගත හැකිය. මෙවැනි ප්‍රකාශ කරන්නට කලින් මේවා පිළිබඳව සොයාබැලුවා නම් කතාව තවත් සාරගර්භ වනු ඇත.

ගෝඨාභයගේ කෙරුවාව නිසා නැවතුණ පරීක්ෂණ

2019 දෙසැම්බර් 31 දා එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රවී සෙනෙවිරත්න මහතා විශ්‍රාම යනවිටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අවසන් වී තිබුණේ නැත. ඒ වෙනකොට සිදුවී තිබුණේ මෙම ප්‍රහාරය සඳහා සහරාන් වෙත ආධාර සහ අනුබල දුන් පුද්ගලයින් සොයා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම පමණි. ඊට එහාට තවත් බොහෝදුරකට මේ පරීක්ෂණ යා යුතුව තිබුණි.

සහරාන්ට ඉහළින් සිට මෙම දැවැන්ත ප්‍රහාරය මෙහෙයවූවෝ කවුරුන්ද? එය සොයා ගතයුතුව තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැණින් ඒ සියල්ල වෙනස් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගත් සැණකින් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ එවක සීඅයිඩීයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම ධුරයෙන් ඉවත් කර ඔහු මාරුකර යැවීමය. එතනිනුත් නොනැවතුණු ඔහු මෙම පරීක්ෂණයන් භාරව සිටි ප්‍රධාන පොලිස් නිලධාරීන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර හැරීම සිදුකළේය.

ඒ අනුව ෂැංග්‍රීලා බෝම්බය ගැන පරීක්ෂණ මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවිල මහතා, මහවිල ගාර්ඩ්න් පරීක්ෂණ මෙහෙයවූ එස් එස් පී ලොකුහෙට්ටි මහතා, කිංස්බරි බෝම්බය ගැන පරීක්ෂණ මෙහෙයවූ එස් පී කලණසිරි මහතා, කොච්චිකඩේ දේවස්ථාන බෝම්බය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ එස් එස් පී බී එස් තිසේරා මහතා, කටුවාපිටිය දේවස්ථාන බෝම්බය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති ජේපීඩී ජයසිංහ මහතා, සියොන් දේවස්ථාන බෝම්බය සහ සයින්දමරුදු පුපුරුවා ගැනීම පිළිබඳව පරීක්ෂණ මෙහෙයවනු ලැබූ එස් එස් පී සිරිවර්ධන මහතා ප්‍රමුඛව මෙම පරීක්ෂණ මෙහෙයවමින් සිටි දක්ෂ නිලධාරීන් සියල්ල මාරුකර හරින්නට කටයුතු කළේය.

ටිරාන් අලස් ඇමතිට අවශ්‍ය නම් හිටපු ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳව ද ප්‍රශ්න කළ හැකිය. මේ අනුව මෙම පරීක්ෂණ මෙහෙයවූ සීඅයිඩීයේ කටයුතු කළ දක්ෂයන් 36 දෙනෙක් වහාම මාරු කර යවන්නට තරම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තිබුණ හේතුව කුමක්ද? එය සොයනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහෝ දේවල් අනාවරණය වෙනු ඇත.

දැන් රජයට පාස්කු ප්‍රහාරය ඇත්ත චූදිතයන් කවුද යන්න සොයාගැනීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ අබුහින්ද් පිළිබඳව, සරා ජස්මීන් පිළිබඳව, සොනික් සොනික් පිළිබඳ, ජමීල්ට පැමිණි ඇමතුම පිළිබඳ, කරළියට පැමිණ තිබෙන නව තොරතුරු පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමය. හාදියා ලබාදුන් දීර්ඝ ප්‍රකාශය හරහා තවතවත් විමර්ශනයන් සිදුකිරීමය. චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටයේ අන්තර්ගත තොරතුරු ද මෙහිදී අපට බැහැර කළ නොහැකිය. ඒ අනුව පිල්ලෙයාන් කල්ලිය පිළිබඳ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය පිටුපස සිටි පිරිස් පිළිබඳව ද පරීක්ෂණ සිදු කළ හැකිය. මෙම පරීක්ෂණ එසේ පුළුල් නොවෙන තාක් සත්‍ය තව තවත් අඳුරට වැටෙනු ඇත.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි