No menu items!
26.2 C
Sri Lanka
18 May,2024

සැරි සර සිරි

Must read

සුගන්ධය පමණක් විඳ විඳ ආපන ශාලාවට මඳක් නුදුරින් සිඟමන් යදින්නා දැක දැකත් නුදුටු විරූ ලෙස මග හැර යන්නට අපොහොසත් වූයෙමි. අනුරාධපුර පොත් ප්‍රදර්ශනය හේතු කොටගෙන උදෑසන ආහාරය එකී හෝටලයෙන් ලබා ගන්නට සිදු වූ හෙයිනි.

සිඟන්නෝ වූ කලී නෙත නොගැටිය යුතු තරමට අපුල දනවන පව්කාර ඇත්තන් බව හඟින පුණ්‍යවන්තයෙකු නොවූයෙන් මහද සැලිණ. සිඟන මුදලාලිලා ගැන අසා ඇතත් ඇතැම් සිඟන්නන් වෙත අධික ධන සම්භාරයක් ඇතැයි පුවත් පවා ඉඳහිට පළ වෙතත් අසමානතාව රජයන රටක සිඟන්නා අරුමයක් නොවේ.

ලොවින් සිඟමන් යදින රටක අපෙන් සිඟන සිඟන්නෙකු අබියස මගේ කුස පමණක් පුරවා ගැනීමේ වරදකාර බවින් මිදෙන්නට තැත් කළෙමි. එහෙත් මගේ දිළිදු පසුම්බියට දරන්නට හැකි තරමද අමතක නොකළ යුතු බැවින් මට හැකි වූයේ බිත්තර බනිසයකින් ඔහු සනසාලන්නටය.
“කන්න… කාලා බොන්න වතුර තියෙනවද..?”
“වතුර බෝතලේ ඉවරයි නෝනේ… කන්ඩ කටක් ලැබෙයිද නැද්ද දෙයියො දනියි.. මං ඉතිං බඩ පිරෙන්ඩ වතුර බිව්වා…”
හිස් වතුර බෝතලය පාමින් ඔහු හිනැහුණේය.
මා වෙත වූ වතුර බෝතලයද ඔහුට පරිත්‍යාග කළෙමි.

“බඩ පිරෙන්ඩ බඩට කනවා මිසක වතුරෙන් බඩ පුරවගන්න සිද්ධ වෙන රටක් ..! නරකම නෑ අප්පා… අඩු ගානේ වතුරවත් තියෙනවානේ…”යි කොඳුරමින් මම ප්‍රදර්ශන භුමිය වෙත ගියෙමි.
ඊළඟ උදෑසන ද හෝටලයට ගොස් පිටතට එන්නට පෙර සුපුරුදු තැන සුපුරුදු පරිදි සිඟමන් යදින්නා උදෙසා කෙටි ආහාරයක් මිලදී ගතිමි.
“ඔතන ඉන්ඩ එපා කියලා මම කිව්වනේ.. මිනිස්සු යන්නෙ බඩගින්නට කන්ඩ.. හෝටලේ දොරකඩම ඉන්න එක මහ මූසලයි..”
“මම ඉන්නෙ දොරකඩම නෙවෙයි නේ.. ටිකක් එහායින්..”
“ඒ ඇයි…”
“කන්ඩ යන අය කැමති වෙයිද අපේ මූණු බල බලා කන්ඩ යන්ඩ..?”
මගේ සිඟන්නා තවත් සිඟන්නියක සමග අඬ දබරයක පැටලිලාය.

“අනේ මගේ දරු පැටියට හුඟක් අමාරුයි.. ඔෆරේසන් එකට ලක්ෂ අටක් ඕනැලු.. ඒක හොයාගන්ඩ මේ දඟලන්නේ…”
ඇය වෙත දරුවකුගේ ඡායාරූපය සමග වෛද්‍ය වාර්තා ඇතුළු කඩදාසි ගොන්නක් තිබිණ.
ඒවා ඇත්ත හෝ බොරු විය හැකිය. එහෙත්..?
“අනේ නිකං පලයං යන්ඩ බං.. කවුරු දනී ඔව්වයෙ හැබෑ බොරු…”
“බොරු නෙවෙයි.. මගේ කෙල්ලගෙ ළමයා.. කෙල්ලයි මායි කොහොම හොයන්ඩද ලස්ස ගණන්?… කවුද අපිට එක රුපියලක් දෙන්නේ..?”
“එව්වයෙං මට වැඩක් නෑ.. උඹ ඔතනින් අහකට යනවද නැද්ද..?”
“මට බලං ඉන්ඩද කියන්නේ දරු පැටියා මැරිලා යනකං.. බැරිම තැන තමා මේ පාරට බැස්සේ…”
දෙදෙනාගේ වාදය කෙළවරක් නැත.

මම ආපසු හෝටලයට ගොස් තවත් බිත්තර බනිසයක් මිලදී ගතිමි.
“වැඩි දෙයක් ගන්න විදියක් නෑ.. පුංචි කෑමක්..”
රණ්ඩු කරන දෙන්නාට ඒ සුළු සංග්‍රහය කරමින් “රණ්ඩු වුණා මදැයි. දැං.. කන්න.. බඩගිනි ඇතිනෙ….”යි කීවෙමි.
නෙතග කඳුලු කෙසඟ දෙකම්මුල් ඔස්සේ රූරා හැලෙයි. කඳුළු සුසුම් අතරේම ඇය මගේ ඇබිත්තං සංග්‍රහය බාරගත්තාය.
ඔහුද රණ්ඩුව මඳකට නවතා බනිසයට අත දිගු කළේය.

“රණ්ඩු කරන්න එපා හොඳේ..”
මම ඉල්ලා සිටියෙමි.
පාර අද්දර ත්‍රීවිල් රථ ගාල මගීන් පතා බලා සිටිනවා වැන්න. ඇතැම් රියකින් බිමට බට රියැදුරන් බලා සිටියද මම තැකීමක් නොකළෙමි.
හදවත අයදින කවරක් වුව ක්‍රියාවේ යොදවන්නට අප පැකිලිය යුතු ද…
“හිඟන්නන්ට දෙන්න පුරුදු වෙන්න එපා.. හිඟනකම ප්‍රවර්ධනය කරන්න එපා.. හිඟන්නො කියන්නේ මහ වදයක්… හිසරදයක්… තුරන් කරන්න ඕන ජාතියක්…”
එහෙම කියන පින්කාර මහතුන් බෝමා…

“කොට්ට උරයක් කණපිට හරවනවා වගේ මේ විසකුරු සමාජය අනික් පැත්ත හරවන්න බෑ නෙවැ… සමාජ ආර්ථික දේශපාලන විපර්යාසයක් වෙනකම් ඉතිං බඩගින්නෙ ඉන්නත් බෑනේ.. ඔන්න ඔහේ කන්ඩ කටක් දෙම්මු එතකං.. කරන්ඩ පුළුවන් දෙයක් තියේනං කරමු අප්පා.. පුංචිම පුංචි දෙයක්… ඇබිත්තංම ඇබිත්තං දෙයක්…”යි වාද කරන්නට කට පොපියයි.
එහෙත් ඒ වෙනුවට නිහඬව නිහඬවම දැවෙන හදවතක පුළිඟු දකිමි.
පොත් ප්‍රදර්ශන භුමියට පිවිසෙන්නට පෙර හැරී බැලුවෙමි.

දෙන්නා දෙපසක හිඳගෙන උදෑසන ආහාරය භුක්ති විදින අයුරු දැක මුව නැගි හීන් හිනාව දුටු ඇසක් නොවිණ.
“බඩගින්න කියන්නෙ උහුලන්ඩ පුළුවන් ගින්නක් නෙවෙයි.. අනික රාන්චි අම්මේ මොන එහෙකටද මනුස්සයා හරි සතා සීපාවා හරි බඩගින්න උහුලන්නේ…? බඩ කට පිරෙන්ඩ කන්ඩ බොන්ඩනෙ ඔනැන්නේ….. ඉන්න ටිකේ උහුලන ගිනි මදිවට තව බඩගිනිත් උහුලපල්ලකෝ… යකාගෙ වැඩක්නේ යකෝ මේක…”
මුත්තම්මාගේ උස් හඬ මගේ දෙකන රැව් පිළිරැව් දෙයි.
“අනේ මුත්තම්මේ මේක යකාගේ රටක් ..”

ශාන්ති දිසානායක
.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි