No menu items!
30.5 C
Sri Lanka
25 June,2024

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

Must read

ගාමිණී මුතුකුමාරණ සහෝදරයා ගේ ‘නොනිමි අරගලයක මතක ගිනි පුපුරු’ කෘතියෙහි ඇතුළත් වනුයේ තමාද සහභාගි වූ තරුණ සන්නද්ධ දේශපාලන අරගලයක ඓතිහාසික මතක සටහන් ගොන්නකි. නිදහසින් පසුව ගෙවී ගිය වසර 75 ක පමණ කාලයක් පුරා මෙරට පාලනය කළ, ධනපති පක්ෂ දෙකක් විසින් යුක්තිය ඉල්ලා සටන් කළ තරුණ තරුණියන්ගේ අරගල 3ක් (1971, 1988 -89 ජවිපෙ අරගලය සහ 1983 සිට 30 වසරක් තිස්සේ ඇදී ගිය දමිළ සන්නද්ධ අරගලය) ලෙයින් යකඩින් මර්දනය කරන ලදි.

තමාද සහභාගි වූ නමුත් පක්ෂග්‍රාහී නොවෙමින් යම් මධ්‍යස්ථ විචාරාක්ෂියකින් ජවිපෙ අරගලය ගැන ලියන්නට ගාමිණී සහෝදරයා සමත් වී ඇත. ව්‍යාපාරය විසින් නොකළ යුතුව තිබුණ සමහර ක්‍රියාකාරකම් සහ නොගත යුතුව තිබූ සමහර තීන්දු තීරණ පිළිබඳව ඔහු අවංකව ම තම ස්ථාවරය සටහන් කරන්නට පසුබට නොවෙන අතර කිසිවිටෙක ‘ද්‍රෝහියෙකු’ නොවීමටත් වගබලා ගනී! ඔහුගේ රචනා ශෛලිය මෙවැනි කෘතියක් කම්මැලිකමින් තොරව කියවාගෙන යාමට අනුබල සපයන්නකි.

“මේ 1971 අප්‍රේල් සිදුවීම්වල තවත් පැරණි කතාවකි. මෙවැනි වැරැදි විප්ලවවාදී ව්‍යාපාර තුළින් පහකළ යුතු බව සඳහන් කළ යුතුය. 1971දී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරය ආසන්නයේ විසූ දොස්තර රෙක්ස් කොස්තා මරා දැමීම නොකළ යුත්තක් හා එය සමාජීය වශයෙන් පක්ෂයට විශාල හානියක් ගෙන දුන් සිදුවීමක් ලෙස දුටුවේය. දොස්තර කොස්තා දෙනියාය අවට පුරා සාමාන්‍ය ජනයා තුළ මහත් ගෞරවයක් හිමිකර ගෙන සිටි පුද්ගලයෙකි.
ඔහුගේ බිරිඳ ද දිළිඳු ජනයා වෙනුවෙන් සමාජ සේවයක යෙදුණු කාන්තාවකි. අ

ප්‍රේල් අරගලය මැඩ පැවැත්වීමට දෙනියායට පැමිණි රජයේ හමුදා නිලධාරීහු මේ දොස්තර කොස්තාගේ නිවස හා සබඳතා පැවැත්වූහ. හමුදා සෙබළුන්ට ප්‍රතිකාර ගැනීමටත් වාහනවලට ඉන්ධන ලබා ගැනීමටත් ඔවුහු වරින්වර එන්නට යන්නට වූවා මිස දොස්තර කොස්තා අරගලකරුවන්ට එරෙහිව හමුදාව සමඟ කටයුතු නොකළේය. වෙඩි වැදුණු අරගලකරුවන්ට ද මේ කාලයේ දොස්තර කොස්තා ප්‍රතිකාර කර තිබිණ. එහෙත් වැරදි මතයක් දැරූ අරගලකරුවන් දිනක් මේ දොස්තර කොස්තාගේ නිවසට පැමිණ ඔහුට වෙඩි තබා මරා දැමීය.

“ළමයිනේ කලබල වෙන්න එපා මම කියන දේ අහන්න” යි වෙඩි තැබීමට පෙර දොස්තර කොස්තා පවසද්දීම කෙනෙකු ඔහුට වෙඩි තබා තිබුණි. මේ අනුවේදනීය සිදුවීම ගැන සිරගෙදරදී රෝහණ ඇතුළු වැඩි දෙනෙකුගේ සිත් කම්පා වුණු බවට අප අසා තිබුණේය. පසු කලෙක දොස්තර කොස්තාගේ ඛේදනීය සිදුවීම වැනිම තවත් බොහෝ ගණනක් සිදු වුණේය. ගාල්ල රත්ගම දොස්තර නන්දදාස ප්‍රනාන්දු කලක් ජවිපෙට හිතවත්ව සිටි අතර 1982 රත්ගම අතුරු මැතිවරණයට ද ජවිපෙ නියෝජනය කළේය. එහෙත් 1988 පළාත් සභා මැතිවරණය වන විට නව සමසමාජ පක්ෂය නියෝජනය කිරීම හා සුළු මත ගැටුමක් හේතුකොට ඔහු ඝාතනය කොට තිබුණි. දයා පතිරණ, සාගරිකා ගෝමස්, ස්ටැන්ලි කල්පගේ (ස්ටැන්ලි විජේසුන්දර විය යුතුයි?) වැනි ඝාතන සිදු කරන්නට තරම් බරපතළ හේතු තිබුණේ නැත.

ඇතැම් පුද්ගල ඝාතන සාමාන්‍ය වැරදි වුවත් සන්නද්ධ කණ්ඩායම්වල තිබූ අපරිණත බව නිසාම ඒවා මග හරවා ගත නොහැකි විය. 1971 අප්‍රේල් අරගලය වන විට ජවිපෙ මුහුණ දෙමින් තිබුණේ ළදරු අවධියක ය. පරිණත මධ්‍යම කාරක සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් එහි නොවීය. අත්දැකීම් මඳ විප්ලවවාදී පක්ෂයකින් අඩු ලුහුඬුකම් සිදු විය හැක. එහෙත් 1988-89 වැනි කාලයක පක්ෂය සිටියේ තරමක පරිණත තත්වයක් තුළය. අනෙක් පැත්තෙන් අප ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයන් සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර තිබුණේ නම් සිදු වූ හානිය අවම කරගත හැකිව තිබිණ.

සතුරාගේ ප්‍රහාර මටසිළුටු නොවනා විට අරගලකරුවන්ගේ ප්‍රහාර තුළින් ද එවැනි මටසිළුටු බවක් සිදු නොවන බවට ඇති ජනප්‍රිය කියමන දියුණු විප්ලවවාදී පක්ෂයක් තුළින් සිදු විය යුතු නැත. අපට එරෙහිව අවි අමෝරා උන් ප්‍රධාන සතුරා හා ඉන් පහළ අපව විවේචනය කළ පුද්ගලයින්ට එරෙහිව සන්නද්ධ බලය යෙදවීම එකම ගණයකට තැබීමේ හානිය තේරුම් නොගෙන කටයුතු කළේය. සතුරාට එරෙහිව කළ ප්‍රහාර හා සමාජීය වශයෙන් සුළු හානි කළ ගමේ ගොඩේ හා නගරවල ජීවත් වූ පුද්ගලයින්ට දඬුවම් ලබා දුන් ඇතැම් ක්‍රමවේද මහජනයාගේ බලවත් අප්‍රසාදයට ලක් වෙමින් තිබුණේය.

අප ජාත්‍යන්තර විප්ලවීය අරගලවල ඉතිහාසය මහත් උද්‍යෝගයෙන් යුතුව කතා කළත් ඒවායෙන් ගත යුතු සැබෑ අත්දැකීම් නොගත්තේය. උදාහරණයක් හැටියට කියුබානු විප්ලවීය අරගලයේ දී ඔවුන් කිසි විටකත් සාමාන්‍ය ජනයාට හානි ගෙන දුන් දෑ නොකිරීමට දැඩි විනයක් පවත්වා ගෙන යන්නට සමත් වී තිබිණ. ඒ නිසාම මේ සාමාන්‍ය ජනයාට රජයේ හමුදා හා විප්ලවීය හමුදාව අතර ඇති වෙනස හඳුනා ගත හැකි විය.” (නොනිමි අරගලයක මතක ගිනි පුපුරු, 278-279 පිටු)

රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනයට ලක්වීමෙන් ඉක්බිතිව ජවිපෙ නායකත්වයට පත් වූයේ සෝමවංශ අමරසිංහ ය. ඔහු විජේවීර තරම් අනුහස් සහිත නායකයෙක් නොවීය. විජේවීර සහෝදරයා සන්නද්ධ හමුදාවන්ට කොටුවීමට සෝමවංශගේ අදූරදර්ශී තීරණයක් හේතු වූ හැටි මෙම කෘතියේ විස්තර කර ඇත!

සෝමවංශ විදේශගතව සිට ලංකාවට පැමිණ ජනතාව ඇමතූ පළමු ජන රැළියේ දී ම (කළුතර දී) ‘තුන්වැනි කැරැල්ලක්’ ගැන වහසි බස් දොඩවමින් සංහාරයකින් පසුව හිස ඔසොවමින් සිටි තම දේශපාලන ව්‍යාපාරයට කරගත්තේ බරපතළ හානියකි. කෙසේ නමුත් ශ්‍රී ලාංකේය විප්ලවීය/ වාමාංශික දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සෑම අයෙක්මත් ජවිපෙ හා පෙරටුගමී ලෙස බෙදී ගිය සහෝදර කණ්ඩායම් විසිනුත් මෙම කෘතිය කියවීම වැදගත් යැයි සිතමි.

පියන්කාරගේ බන්දුල ජයවීර

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි