20.4 C
Sri Lanka
2 October,2022

ඉල්ලා අස්වෙන්න.

Must read

ජීවත් වෙනවා කියන්නේ මේ තරම් දුකක් යැයි ශ්‍රී ලංකාවේ කෝටි දෙකකට අධික ජනගහනයකට මේ සා කෙටි කාලයක් තුළ කියා දුන්නාට ස්තුතියි, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමනි. දැන් ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී විශ්‍රාම දිවිය ඇරඹීමයි.


මෙවැනි අපරිණත, අදූරදර්ශී සහ අසමත් පාලනයක් හේතුවෙන් මෙතැනින් ඉදිරියටත්, තව දුරටත් ජීවිතය මහා දුක් කන්දරාවක් බවට පත් කර ගන්නට මේ රටේ මහජනතාවට කිසි ම වුවමනාවක් ඇතැ’යි අපි නොසිතමු. මෙවැනි ක්‍රෑර, පීඩාකාරී පාලනයක් තවදුරටත් ඉවසීමට මේ රටේ ජනතාවට යුක්තියක් ඇතැ’යිද අපි නොසිතමු.


දැන් විදුලිය කැපීමේ කාලය පැය දහයකි. හෙටානිද්දා පැය දහතුනක් දක්වා එය දිගු වන බව අසන්නට ලැබෙයි. සමහර ප්‍රදේශවලට පැය දහයක විදුලිය කැපීම අවසන් වන්නේ මධ්‍යම රාත්‍රි දොළහට ය. ඒ වෙලාවේ ලැබෙන විදුලිය, නැවත කපන්නේ අලුයම තුනට ය. ඉතින් විදුලිය පහසුකමක් නිවෙසකට තිබෙන්නේ කුමට ද?


කාර්යාලයට යන වැඩිහිටියන්, පාසල් යන දරුවන් සිටින කුටුම්බයකට මේ පිරිපත තවදුරටත් දැරිය හැකි ද? දැරිය යුතු ද? මේ උපද්‍රවයේ වගකීම භාර ගන්නට ඔබත් ඇතුළු ආණ්ඩුවේ කිසිවෙක් නැත. ඒ වෙනුවට ඔබේ ආණ්ඩුවේ දේශපාලකයන් කියන්නේ, පසුගිය ආණ්ඩුවල වැරදි ය.


ජාතිය අමතා කළ කතාවේදී ‘මගේ තීරණ ගැන වගවීම මම භාර ගනිමි’යි ඔබ කීවාට ඒ තීරණවලින් මුළු රටට ම ඇතිවූ, ඇතිවන, බිහිසුණු විපාක නම් ආපසු හැරෙන්නේ නැත. උදාහරණයකට, ඔබේ ක්‍ෂණික කාබනික පොහොර පරිවර්තනය ගැන ඔබ වචනවලින් වගකීම බාර ගත්තාට වැඩක් නැත. වගවූවාට වැඩක් නැත. එයින් මේ රටේ ගොවි ජනතාවට, ආහාර සුරක්‍ෂිතතාවට, ජන ජීවිතයට, ඇතිවූ මහත්වූ අනිසි විපාක කන්දරාව ආපස්සට හැරෙන්නේ නැත. ක්‍ෂණික කාබනික පොහොර විකාරය නිසා වගා හානිවූ ගොවි ජනතාවට, මහජනතාවගේ මුදලින් ම ඔබ ලබා දෙනවා යැයි කියූ වන්දිය වත් තවම ලැබී නැත. ඉතින් ඔබේ වගවීම කුමකට ද?


මීට පෙරත්, අප ලියා ඇති පරිදි, පරණ රජවරුන් කර ඇති බව කියන විදියට, වෙස් වළාගෙන මිරිහානේ නිවසෙන් පිටතට පැමිණ, තනිව ම මහමග ඇවිද ගිය හොත්, ඔබත්, ඔබේ රාජපක්‍ෂ පවුලත්, ඔබේ ආණ්ඩුවත් කෙතරම් මහජනතාවගේ සාපයට බඳුන් වී ඇතිදැ’යි දැනගන්නට ලැබෙනවා ඇත. රටේ මහජනතාව නිවෙසේත්, මගතොටේත්, වැඩපොළේත් සිටින්නේ තමන්ට අත්කර දී ඇති ඉරණම ගැන ඉහ වහා ගිය කෝපයෙනි.


ඔබත් ඔබේ ආණ්ඩුවත් ඇතිකළ අටෝරාසියක් උපද්‍රව නිසා තවදුරටත් මේ රටේ ජනාධිපති ධුරයේ සිටින්නට ඔබට කිසිම දේශපාලනමය සදාචාරයක්, පිළිගැනීමක් නැති බව අපට පෙනෙන තිත්ත ඇත්තයි. මේ තිත්ත ඇත්ත, ඔබ වටා සිටින උපදේශකයන්වත්,

දේශපාලකයන්වත් නොකියන බව අපි දනිමු. රටේ වෙනත් ජනමාධ්‍යවත් නොකියන බවද දනිමු. එහෙත්, ජනාධිපතිතුමනි, ඒ ඇත්ත නොකියා සිටීමට අප දන්නා ජනමාධ්‍ය භාවිතාව ඉඩ නොදෙයි. අප ඔබට කියන්නේ, ඉල්ලා අස්වී ගෙදර යන ලෙසයි. ඊළඟට පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස තේරී පත්වන කවරකු වුවත් ඔබට වැඩිය සුදුසු විය හැකි ය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි