No menu items!
25.5 C
Sri Lanka
17 September,2024

සිදුවේ යැයි නොසිතූ දේ සිදුවීමට නියමිතයි

Must read

■ අමිල නිශාන්ත

මෙතෙක් කලක් සිනමාපටවල හෝ විද්‍යා ප්‍රබන්ධ කතාවල පමණක් අප දුටු ඇතැම් සිදුවීම් හා අවස්ථාවන් හැබැහින් දැකීමට නුදුරු අනාගතයේ දී ලෝකවාසීන්ට අවස්ථාව උදා වනු ඇත. ඒ ලොව අංක එකේ ධනවතා ලෙස විරුදාවලිය ලැබූ ඊලෝන් මස්ක්ගේ අනාගත සැලසුම් අනාගතයේදී සැබෑ ලෙසටම ක්‍රියාත්මක වූ විටය.


ඊලෝන් මස්ක් පසුගිය වසර කිහිපය පුරාවටම ලොව පුරා ජනප්‍රිය මාතෘකාව බවට පත් වූයේ ඔහු හුදෙක් සාමාන්‍ය ධන කුවේරයෙකුට එහා ගිය අනාගත සැලසුම් රාශියක් මඟින් ලෝකය විස්මයට පත් කළ අයෙකු වූ නිසාය.spaceX සහ Tesla සමාගම් ප්‍රධානී ඊලෝන් මස්ක් මේ වන විට ලොව අංක එකේ ධනවතා වන අතර, ආර්ථික ස්ථාවරත්වය අතින් මෙන්ම විද්‍යා හා තාක්ෂණික විෂයන්වලින් ලොවට නව නිර්මාණ හා යෙදවුම් හඳුන්වාදීමේ අංක එකේ සිටින පුද්ගලයා බවටද පත්ව හමාරය.


අඩු මිලට ලෝකයටම වේගවත් අන්තර්ජාල පහසුමක් ලබාදීමේ වැඩසටහන ඊලෝන් මස්ක්ගේ වැඩපිළිවෙලෙහි කැපී පෙනෙන අංගයක් ලෙස සැලකීමට හැකි අතර ඔහු දැනටමත් එය ක්‍රියාවට නංවා අවසන් ය.


2012 වසරේදී ලොවටම අන්තර්ජාල පහසුකමක් ලබා දීමට මෙවැනි ව්‍යපෘතියක් ගූගල් සමාගම ආරම්භ කළ අතර ඔවුන්ගේ අදහස වූයේ ඉහළ අහසේ බැලූන් රඳවා ඒ මඟින් දූරස්ථ ස්ථානවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමයි. කල් යත්ම එම ව්‍යාපෘතිය අසාර්ථක වූ අතර එයට හේතුව ලෙස ගූගල් සමාගම පැවසුවේ එහි නිෂ්පාදන වියදම අධික නිසා දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස එය පවත්වාගෙන යාම අපහසු වූ බවය. එහෙත් මේ වන විට එයට සමාන දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ කාර්යයට ඊලෝන් මස්ක් අත ගසා ඇති අතර එම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ Starlink ලෙසයි.


අද ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම සියලු තොරතුරු ඕනෑම අයෙකුට උකහා ගැනීමට භාවිත කරන මෙවලමක් ලෙස අන්තර්ජාලය හැඳින්විය හැකිය. අන්තර්ජාලය භාවිත කරන බහුතරයකට හුවමාරු වේගය පිළිබඳ ගැටලු ඇති වන අතර මන්දගාමී අන්තර්ජාල සබඳතා එදිනෙදා එය භාවිත කරන්නන් අපහසුවට පත් වන කරුණක් වී ඇත. එහෙත් නුදුරු අනාගතයේදී අන්තර්ජාල වේගය නිසා අපහසුවට පත්වන්නන්ට ඊලෝන් මස්ක්ගේ Starlink ව්‍යාපෘතිය හරහා පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇත.


අප වෙබ් අඩවියකට පිවිසෙන විට, ජංගම දූරකථනය හෝ පරිගණකය, රවුටරයට හෝ මොඩමයට සම්බන්ධවී කේබල් මගින් හෝ 4G වැනි තාක්ෂණයකින්, අපට අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනයේ Server එකට සම්බන්ධ වන අතර, ඉන්පසු ඒ හරහා අපට අවශ්‍ය වෙබ් අඩවිය පිහිටුවා ඇති Server එකට සම්බන්ධ වීම ඔස්සේ අන්තර්ජාල පහසුකම සපයා ගැනීමට හැකියාව ඇත. විශාල පිරිසක් සමග ගනුදෙනු කරන වෙබ් අඩවියක් නම් එය Data Center එකක් තුළ ඔවුන්ගේ දත්ත ගබඩා කර පවත්වාගෙන යනු ලබයි. මෙම Data Center සහ Server එක එකිනෙක සම්බන්ධ කරනු ලබන්නේ Fiber Optic නැතහොත් චන්ද්‍රිකා මඟින් වන අතර ඒවා මත අන්තර්ජාල වේගය රඳා පවතී. වර්තමානයේ අන්තර්ජාලය සේවා සඳහා ස්ථාපිත කර ඇති චන්ද්‍රිකා කක්ෂගත කර ඇත්තේ පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 36000ක් දුරින් ඇති භූස්ථාවර කක්ෂයක වන අතර එය අන්තර්ජාල වේගය අඩු වීමට බලපෑමක් කරයි. ඊලෝන් මස්ක්ගේ ව්‍යාපෘතියට අනුව ඔහුගේ චන්ද්‍රිකා කක්ෂගත කරනුයේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 340, 550 සහ 1160 දුරින් පිහිටි ත්‍රිමාන කක්ෂයකයි. මෙහිදී පෘථිවි භූමියේ ආවරණය කරනු ලබන පරාසය අවම නිසා විශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් කක්ෂගත කිරීමට සිදු වන බවත් ඒ හරහා වඩා වේගවත් අන්තර්ජාල සේවාවක් තම සමාගමට සැපයීමට හැකි බවත් මස්ක් තම අනාගත සැලසුම් හෙළිකිරීමේදී දක්වා ඇත.


Starlinkඅන්තර්ජාල වේගයේ දැනට සාමාන්‍ය අගය 97ඵඉචි පමණ වන අතර එය දැනට ලංකාවේ පවතින Fiber අන්තර්ජාල වේගයට සමාන වෙයි. ඊලෝන් මස්ක්ගේ Starlink ආයතනය සතුව ආරම්භයේ පැවතියේ චන්ද්‍රිකා 1000කට ආසන්න සංඛ්‍යාවකි. පසුව එය 1800 දක්වා වැඩි කිරීමට ඔහු සමත් විය. මේ හේතුවෙන් අන්තර්ජාල වේගය 65Mbps සිට 100Mbps දක්වා වැඩි වූ අතර එය 1Gbps දක්වා වැඩි කිරීම තමාගේ අරමුණ බව මස්ක් කියයි.
මේ වන විට ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපයේ රටවල් 14ක Starlink ආයතනයේ අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අවශ්‍ය වන චන්ද්‍රිකා 540ක් මේ වන විට කක්ෂගත කර ඇත. ඉදිරියේදී එය ලොව පුරා ව්‍යාප්ත කිරීම තම අරමුණ බවත් එයට චන්ද්‍රිකා 10000ක් කක්ෂගත කළ යුතු බවත් මස්ක් පවසා ඇත. නුදුරු අනාගතයේදී ලොව පුරා ව්‍යාප්ත කරලීමට බලාපොරොත්තු වන මස්ක්ගේ Starlink ව්‍යාපෘතිය හරහා වේගවත් හා මිලෙන් අඩු අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට ලෝකවාසීන්ට හැකිවනු ඇත.


“නයිට් රයිඩර්” යනු ලොව පුරා ජනප්‍රිය වූ රූපවාහිනී කතා මාලාවකි. එහි භාවිත වූ මෝටර් රථය එදා මෙදා තුර ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහී නොයන්නක් බව පැවසිය යුතුය. ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන එම මෝටර් රථය සංකල්පයක් ලෙස එම රූපවාහිනී කතාමාලාවට එක් කර තිබුණු අතර එය රියැදුරු නොමැතිව වුවද ගමන් කළ හැකි රථයක් විය. තව දුරටත් එවැනි මෝටර් රථ හිතලුවක් පමණක් නොවේ. ලෝක ප්‍රකට ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලෝන් මස්ක් තම අනාගත වැඩපිළිවෙළ යටතේ ස්වංක්‍රියව ධාවනය වීමේ හැකියාව ලබා දෙන “ඔටෝපයිලට්” මෘදුකාංගය යාවත්කාලීන කර රියැදුරන් නොමැතිව ගමන් කළ හැකි මෝටර් රථ අනාගතයේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. 2028 වන විට රියැදුරු උපාංග නොමැති රථවාහන නිපදවීම ටෙස්ලා සමාගමේ මූලික සංකල්පය වන අතර දැනටත් එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. තව වසර කිහිපයකදී මිනිසුන්ට ඉතා ආරක්ෂාකාරීව රිය ධාවනය සදහා මෘදුකාංග නිෂ්පාදනය තම සමාගම විසින් කෙරෙන බව ටෙස්ලා සමාගම පෙන්වා දී ඇත.
ඊලෝන් මස්ක් පවසන්නේ 2025 වන විට රියැදුරන් පදවන රථවාහනවල අනාරක්ෂිත බව නිසා බොහෝ රටවල් ස්වයං පාලන පද්ධති නොමැති රථවාහන තහනම් කිරීමට ඉඩ ඇති බවයි. 2028 වන විට රථවාහන නිෂ්පාදන සමාගම් රථවාහන නිෂ්පාදනය කරන විට සුක්කානම්, පැඩල් වැනි උපාංග අනවශ්‍ය උපාංග ලෙස සලකා ඒවා රථ වාහනවලට ඇතුළත් නොකර ඒවා නිෂ්පාදනය කරනු ඇතැයි මස්ක් පවසයි. මෝටර්රථවලින් නොනැවතී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බස්රථ කන්ටේනර් ගෙනයන රථ වැනි ප්‍රවාහන ක්ෂේත්‍රයට අයත් සියලු රථවාහන නිපදවීමට මස්ක් මේ වන විට සැලසුම් සකස් කර ඇත.


ලොව පුරා බොහෝ රථවාහන සමාගම් අද වන විට වැඩි මුදලක් වෙන් කරන්නේ විදුලියෙන් ගමන් කරන වාහන සෑදීමට හෝ හයිබි්‍රඩ් වාහන සෑදීමටයි. පොසිල ඉන්ධන මඟින් ධාවනය වන කිසිදු රථ වාහනයක් 2025 වන විට නිෂ්පාදනය නොකළ යුතු බව ඊලෝන් මස්ක්ගේ අදහස වන අතර පැරණි පොසිල ඉන්ධන දහනය මගින් ක්‍රියාත්මක වන රථවාහන නැවත ලබාගෙන ඒ වෙනුවෙන් වට්ටම් සහිතව ඉලෙක්ටි්‍රක් වාහන ලබාදීමට කටයුතු කිරීමට දැවැන්ත රථවාහන සමාගම් ක්‍රියා කළ යුතු බව මස්ක් පවසයි.


මස්ක්ගේ තවත් අනාගත සංකල්පයක් ලෙස භූගත උමං මාර්ග ජාලය හඳුන්වා දිය හැකිය. Boring Company නම් උමං මාර්ග සාදන සමාගමක් මස්ක් සතුව ඇති අතර එම සමාගම හා එක්ව පර්යේෂණාත්මක මට්ටමෙන් මේ වන විටත් එහි කටයුතු සිදු කරමින් පවතී. ලෝකයේ ජනගහනය අධික නගර අතර දිවෙන උමං මාර්ග ජාලයක් මගින් මාර්ග තදබදයට විසඳුමක් ලබා දීමට හැකි බව මස්ක් පවසා ඇත. අමෙරිකාවේ කරන මෙහි මුල් අදියරවල සාර්ථකත්වය මත 2030 වන විට ලොව පුරා බොහෝ ප්‍රධාන නගර අතර මාර්ග තදබදය සෑහෙන දුරට අවම කිරීම ඊලෝන් මස්ක්ගේ අරමුණයි. මහා මාර්ගවලට වැය වන අධික කාලවේලාව ඉදිරියේදී ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට මෙම ක්‍රියාවලිය අවසන් වූ විට ලෝකවාසීන්ට හැකි වනු ඇත.


ඊලෝන් මස්ක්ගේ මෙම සංකල්ප මීට දශක කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක කළ හැකි සංකල්පයන් ලෙස සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයක තිබූ සංකල්ප විය. 2022 වසර වන විට සැබෑ ලෝකයේ මෙම සංකල්ප ක්‍රියාත්මක වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී ලෝකය වෙනස් කිරීමට එම සංකල්ප මූලික වනු ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි