No menu items!
30.4 C
Sri Lanka
17 September,2024

අවුරුදු 50ක් තිස්සේ සා.පෙළ හා උ.පෙළ විභාග
එක් ආගමික කණ්ඩායමකට
වෙන වේලාවක ලියන්න ඉඩ දීලා

Must read

‘විභාග පනතට පටහැනි ක්‍රියාකාරකම්


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාල සටහනකට අනුව දිවයින පුරා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගය පවත්වනු ලබන අතර එම විභාගයන් හි රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීම අරමුණු කරගෙන දිවයින පුරා දිවා කාලය තුළ එකම කාල සීමාවක එකම කාල සටහනකට අනුකූලව විභාග පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය කරනු ලබයි.


ශ්‍රී ලංකාවේ පවතින එක් ආගමික ආයතනයකට අයත් සිසුන් සුළු පිරිසකට පමණක් එදින දිවා කාලයේ ආගමික කටයුතුවල යෙදීමට අවස්ථාව ලබාදී එම ආගමික නිකායට අයත් විසින් විභාග කොමසාරිස්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සාමාන්‍ය විභාග පැවැත්වෙන වේලාවට පැය 9 කට පසුව මෙලෙස එම සිසුන්ට විභාගයට මුහුණ දීමට අවස්ථාව ලබා දී තිබුණි. තවද 1970/71 වර්ෂයේ සිට විගණිත දින දක්වාම වාර්ෂිකව නොකඩවා සබත් දිනය ලෙසින් හඳුන්වන සෙනසුරාදා දිනයන්වලදී යෙදෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගවල විෂයන් රටේ අනෙකුත් සමස්ත සිසුන් දිවා කාලයේදී ලියන ලද ප්‍රශ්න පත්‍රවලටම මෙම ආගමික නිකායේ සිසුන් රාත්‍රී කාලයේදී පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු විභාග කොමසාරිස්ගේ දැනුවත්භාවය මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉටු කර තිබුණි. බාහිර පාර්ශ්වයක් වන මෙම ආගමික සභාවේ ඉල්ලීමකට අනුව රාත්‍රී කාලයේ පවත්වා තිබුණු මෙම විභාගය සම්බන්ධයෙන් වරින් වර පත්වූ විභාග කොමසාරිස් ජනරාල්වරුන් ගරු විෂයභාර අමාත්‍යවරයා හෝ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමට හෝ ක්‍රියා නොකර නීතිමය ප්‍රතිපාදන නොමැති මෙම විභාගය පැවැත්වීමේ ක්‍රියාව අඛණ්ඩව වර්ෂ 5 ක පමණ කාලයක සිට සිදුකර තිබුණි.


රටේ සමස්ත විභාග අයදුම්කරුවන් එකම වේලාවක ඉතා තීරණාත්මක ජාතික විභාග සඳහා පෙනී සිටින අතර දෙපාර්තමේන්තු නීති රීතිවලට පටහැනිව සීමිත අයදුම්කරුවන් පිරිසක් සාමාන්‍ය විභාගය ආරම්භ කර පැය 09 කට පමණ පසු එම විභාග ප්‍රශ්න පත්‍රයටම පෙනී සිටීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබුණි. සාමාන්‍ය විභාග පැවැත්වෙන වේලාවට පැය 9 කට පසුව මෙලෙස සබත් දින විභාග පැවැත්වීම මගින් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ 6.1 වගන්තිය ප්‍රකාරව විභාග ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවය ආරක්ෂා වීම ගැටළුකාරී වී ඇත.’


මෙසේ සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති 2020 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවේ අධ්‍යාපනය සම්බන්ධ පරිච්ඡේදයේය.
මෙය වසර 50ක කාලයක් තිස්සේ සිදුවී ඇති විභාග අක්‍රමිකතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඇතුළු එහි විගණන නිලධාරීන්ට අප ස්තූති වන්ත විය යුතුය. එමෙන්ම එවැනි විභාග අක්‍රමිකතාවක වසර 50 ක කාලයක් තිස්සේ නියැලීමට අවස්ථාව ලබාදුන් විභාග කොමසාරිස්වරුන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් කර දඬුවම් ලබාදිය යුතුය. මන්ද පොදු ජාතික විභාගයක් යනු රට පුරා නිශ්චිත දිනයක හා නිශ්චිත වේලාවක එකවර පවත්වන එකක් නිසාය. එවැනි විභාගයකට ආගම, ජාතිකත්වය හෝ වෙනත් වෙනස්කම් අදාළ වන්නේ නැත. විගණකාධිපති වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇති ඉහත සඳහන් අපොස සා.පෙළ/උ.පෙළ විභාග මෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයද ඒ ආකාරයට පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්වන ජාතික විභාගයන්ය. එම විභාගයන්වල විශේෂ කොට සැළකීමක් වන්නේ ජාතිය, ආගම හෝ වෙනත් හේතුවක් මත යම් අයකුට නියමිත දිනයෙන් හා නියමිත වේලාවෙන් පසු එම විභාගයට මුහුණ දීමට අවස්ථාව සලසා දීමය. ඒ මගින් සිදු වන්නේ එසේ නියමිත දිනයෙන් හෝ නියමිත වේලාවෙන් පසු විභාගයට මුහුණ දෙන්නාට අමතර වාසියක් ඇතිව එම විභාගයට මුහුණ දීමට හැකියාව ලැබීමය. මන්ද ඒ වනවිටත් ඔහු හෝ ඇය මුහුණ දෙන විභාගයට අදාළ කරුණු හෙළිදරව් වී ඇති නිසාය.
මේ ආකාරයේ යම් ආගමික කණ්ඩායමකට පොදු ජාතික විභාගයකදී විශේෂ කොට සැලකීම එම ආගමික කණ්ඩායමේ යම් හරයකට ගරු කිරීමක් නොව පැහැදිලිවම විභාග අක්‍රමිකතාවකි. ඉහත සඳහන් කරන ලද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ 6.1 වගන්තියේ එය පැහැදිලි ලෙසම මෙසේ සඳහන් කර තිබේ. ‘ යම් ප්‍රසිද්ධ විභාගයක් සඳහා පිළියෙළ කරනු ලබන සෑම ප්‍රශ්න පත්‍රයක්ම, මෙම පනතෙහි කාර්යයන් සඳහා, ඒ ප්‍රශ්න පත්‍රය පිළියෙළ කරුනු ලැබූ වේලාවෙහි සිට ඒ විභාගයේදී අපේක්ෂකයින් විසින් ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ වීමට නියමිත වේලාවෙහි පටන් පැය භාගයක් ඉකුත් වන තෙක් රහස් ලේඛනයක් විය යුතු අතර, “ රහස් ලේඛනය ” යන වචන මෙම පනතෙහි මින්මතු යෙදෙන කවර අවස්ථාවකදී වුවද එලෙස තේරුම් ගත යුතුය.’


ඒ අනුව පැහැදිලි කරුණ වන්නේ වසර 50ක කාලයක් තුළ අපොස සා.පෙළ හා උ.පෙළ විභාගයන්හි සබත් දින ලෙස හඳුන්වන සෙනසුරාදා දිනවල පැවැත් වූ විෂයන්හි රහස්‍යභාවයක් එම ආගමික නිකායේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබී නැති බවය. මන්ද එම විෂයන්ට ඊට පෙර මුහුණ දෙන සිසුන්ගෙන් හෝ විභාග රාජකාරිවල යෙදෙන්නන්ගෙන් එම විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර තොරතුරු දැන ගැනීමේ හැකියාව තිබෙන නිසාය.


එකම ප්‍රශ්න පත්‍රයට ඊට පැය ගණනාවකට පසු මුහුණ දුන් සිසුන්ගේ සාමාර්ථ්‍යයන් ගැන ආපසු පරීක්ෂණයක් සිදුකළහොත් ජාතික පොදු විභාගයක එම සිසුන්ට ලැබී ඇති අමතර විශේෂ වාසිය අනිවාර්යයෙන් හඳුනාගත හැකි වනු ඇත.


මෙසේ ජාතික පොදු විභාගයකදී එසේ සබත් දින අමතර වාසිය ලැබූ ආගමික කණ්ඩායම කවුද? එම ප්‍රශ්නය අප අසන්නේ ආගමික නොසනුසුන්තාවක් ඇති කිරීමේ අරමුණෙන් නොවේ. එම ආගමික කණ්ඩායමට අවුරුදු 50 ක කාලයක් තුළ පවතින විභාග නීති රීති කඩකරමින් විශේෂයෙන් සැළකීමට හිටපු විභාග කොමසාරිස්වරුන්ට බලපෑ හේතු හඳුනා ගැනීම සඳහාය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි