20.4 C
Sri Lanka
25 September,2022

සල්ගාදු පිටියේ සිට
ජාතියට පාලමක්

Must read

සල්ගාදු පිටියේ කතාවලින් හෙළිවනුයේ තමන්ගේ දේශපාලන පැවැත්ම රැක ගැනීමට ජාතිවාදය හා ආගම්වාදය (ඍජුව හෝ වක්‍රව) ඇවිස්සීම විනා වෙන අන් මගක් රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට නොමැති බවයි.

ෂෙහාන් මාලක ගමගේ සමාජ ක්‍රියාධරයා අත්අඩංගුවට ගැනීම පුදුමයක් නොවේ. නීතිය රකින නිලදරුවන් පාලකයන්ගේ රූකඩ බවට හෑල්ලු වූ රටවල මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත.
පුදුමය නම් මෙම අත්අඩංගුවට ගැනීම මහ දහවල් දෙනෝ දහසක් ඉදිරියේ පැහැර ගැනීමක විලසින් දිග හැරීමය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මෙම සමාජ ක්‍රියාකාරිකයා පොලිසියෙන් කට්ටි පනින්නෙක් නොවේ; පොලිසියේ අණ මත අට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලට භාජනයවූවෙකි. එවැනි පුද්ගලයකු මහමගදී අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණියේ මන්ද? කාගේ උවමනාවටද?


‘සුදු වෑන් භීෂණය’ පිළිබඳව සමාජ මතකය යළිත් අලුත් කිරීම තුළින් විවේචකයන් බිය වද්දා ඔවුන් නිහඬ කළ හැකි යැයි කවුරුන් හෝ කේවට්ටයකු සිතුවාද?


රාජපක්ෂ පවුල් පාලනය විවේචනය කිරීම වැඩිපුරම සිදුවන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය හරහා නොව අන්තර්ජාලය- විශේෂයෙන්ම සමාජ මාධ්‍යය- හරහාය. මෙම සමාජ මාධ්‍යයන් ‘නියාමනය’ කිරීමට නීති ගෙන ඒම ගැන වත්මන් පාලකයන් යළි යළිත් කතා කළද, එය ක්‍රියාවට නොනැගුණි. එවැනි මර්දනකාරී පියවරකට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල විය හැකි විරෝධයත් අධිකරණයෙන් විය හැකි බාධාත් නිසා සමාජ මාධ්‍ය වටකර නීතිමය වැටක් බැඳීමේ උවමනාව ඵල නොගැනුණා විය හැක.


2005-2015 කාලය අතරතුර මෙන්ම යළිත් ජනතාව නිහඬ හා නිසල කිරීමේ දැඩි අවශ්‍යතාවක් පාලකයන්ට තිබීම සාධාරණය. මේ සඳහා වත්මන් ආණ්ඩුව සුලබ ලෙස භාවිත කරන උපක්‍රමයක් වනුයේ සමාජ මාධ්‍යවලින් අදහස් ප්‍රකාශකරන්නන් ප්‍රශ්න කිරීමට කැඳවීමත් ඇතැමුන් අත්අඩංගුවට ගැනීමත්ය. මෙයට දින කිහිපයකට පෙර සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයක් පිළිබඳව තම මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. මේ බ්‍රහස්පතින්දා මනෝරම වීරසිංහ නම් සමාජ මාධ්‍ය ලේඛකයාද ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී.යට කැඳවා ඇත.


සුදු වෑන් සංස්කෘතිය යළිත් පණගැන්වීම සමාජ මාධ්‍යයන් නිහඬ කිරීමේ හොඳම ක්‍රමය යැයි කවුරුන් හෝ සිතුවාද? දුගඳ වායුවක් පිටවන බෝම්බයක් (stink bomb) විසි කරන ආකාරයට ෂෙහාන් මාලක සමාජ ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගන්නේ ඒ නිසාද?


සුදු වෑන් පැහැරගැනීමක විලසින් සිදුවූ මෙම අත්දැකීමට පැය කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාගේ නිවසට ගල් හා අශූචි ප්‍රහාරයක් එල්ල විය. මෙයට දෙසතියකට පෙර, ජනවාරි 3දා ජවිපෙ/ජාතික ජන බලවේගයේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල විය.
බිත්තරවල සිට ගල් දක්වා පැමිණි ගමනේ ඊළඟ පියවර කුමක්ද?


ලසන්ත වික්‍රමතුංග ඝාතනය මහින්ද රාජපක්ෂ පාලනයේ මාද්‍ය මර්දනයේ ආරම්භය නොව එහි උච්චස්ථානය විය. ඊට පෙර අවස්ථා ගණනකදීම මාධ්‍යවේදීන්ට ත්‍රස්තවාදී ලේබලය අලවා ඔවුන් අත්අඩංගුවට ගැනීම, පහරදීම හා පැහැරගෙන යාම සිදුවිය.


සමාජ මාධ්‍ය නිහඬ කිරීමේ ක්‍රියාවලිය පියවරින් පියවර මේ යන්නේ තවත් නර බිල්ලක් කරාද?
බිත්තර ප්‍රහාරය පිළිබඳ ‘පුහුල් හොරා කරෙන් දැනෙන’ ආකාරයේ තොරතුරු රැසක් මේ සතියේ අධිකරණයේදී අනාවරණය විය. මෙම ප්‍රහාරයට පැමිණ හසුවූ පුද්ගලයන් දෙදෙනාම ර්ටි එද රසජයැි අන්දරයක මෙන් විශ්‍රාමික සුළු හමුදා නිලධරයකුව සිට වසර කිහිපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූ නිශ්ශංක සේනාධිපති නමැත්තාගේ අවොන්ගා ආරක්ෂක සේවයේ නියුතුවූවන් බව ජනමාධ්‍යවලින් වාර්තා විය. මොවුන් දෙදෙනා පොලිසියට භාර දුන් පසු පොලිසිය ඔවුන් වතුපිටිවල රෝහලට ගෙන ගොස් තිබේ. ඉන්පසු ඔවුන් රෝහලින් නික්ම ගොස් ඇති බව වාර්තා විණි. මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි අත්තනගල්ල මහේස්ත්‍රාත්වරිය ඇසූ විට පොලිසිය කියා ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් ඇප මත මුදා හළ බවයි.


පාලකයින් විවේචනය කරමින් සමාජ මාධ්‍යවල සටහන් තබනවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට ඇප දීමට විරුද්ධ වන පොලිසිය මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධවූවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමක් පවා නොකොට පොලිස් ඇප මත නිදහස් කිරීම කොතරම් කුලුණුබරද? මානවවාදීද?

ජනතාව සිටින්නේ කොතැනද?


ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය(Centre for Policy Analysis – CPA) තම නවතම ජනතා මත විමසුම පිළිබඳ වාර්තාව ගතවූ සතියේ ප්‍රකාශයට පත් කළේය. Confidence in Democratic Governance Index(ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ විශ්වාසයේ දර්ශකය) නම් වූ මෙය ජනතා මතය පිළිබඳව යම් පමණකින් විද්‍යාත්මක කියවීමක් සපයයි.


මේ වත්මන් ජනතා ප්‍රමුඛතාවන් කවරේද? මෙම මත විමසුමට අනුව ජාතික වශයෙන් 30.3%ක් කොවිඩ් වසංගතය නිමාකිරීමද, 26.1%ක් ජීවන වියදම පාලනයද, 25.9%ක් ආර්ථික වෘද්ධිය අත්කර ගැනීමද තම ප්‍රමුඛතාවන් ලෙස සලකති. සිංහල ජනතාව ගතහොත් 38.3%ක් කොවිඩ් මර්දනයද, 29%ක් ජීවන වියදම පාලනයද, 27.8%ක් ආර්ථික වර්ධනයද තම ප්‍රමුඛතාවන් ලෙස හඳුන්වයි.


රාජපක්ෂ පාලනයේ පදනම සිංහල (විශේෂයෙන්ම සිංහල-බෞද්ධ) බහුතරයයි. මෙම මත විමසුමට අනුව සිංහල බහුතරයෙන් පැහැදිලි බහුතරයක – එනම් 56.8%ක ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකයයි.


ගෝඨාභය-මහින්ද-බැසිල් පාලනය බලයේ සිටි දෙවසරක කාලය තුළ තම ආදායම් තත්ත්වය වෙනස් වූ ආකාරය පිළිබඳ නැගුණු ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු දේශපාලනික වශයෙන් ඉතාමත් වැදගත්ය. මේ දෙවසර තුළ තම ආදායම් තත්ත්වය වඩා යහපත් වූ බව කීවේ ජාතික තලයේ 0.6%ක් පමණි. 7.6%ක් තම ආදායම් මට්ටම ටිකක් යහපත් වූ බවත්, 16.3%ක් තම ආදායම් තත්ත්වය නොවෙනස් වූ බවත් කීහ. තම ආදායම් තත්ත්වය ටිකක් අයහපත් වූ බව 31.5%ක් ප්‍රකාශ කළ අතර, 43.7%ක් කීවේ තම ආදායම් තත්ත්වය බෙහෙවින් අයහපත් වූ බවත්ය. ජනතාවගෙන් අතිබහුතරයක් වූ 75.2%කගේ ආදායම් තත්ත්වය ගෝඨාභය-මහින්ද-බැසිල් පාලන සමය තුළ අයහපත් වූ බව මෙයින් කියවේ.


ආණ්ඩුවේ පදනම වූ සිංහල ජන කොටසේ තත්වයද මෙයට සමානය. ඉන් 71.6%ක් ප්‍රකාශ කළේ ගතවූ දෙවසර තුළ තම ආදායම් තත්ත්වය ටිකක් (32.8%) හෝ විශාල ලෙස (38.8%) අයහපත් වූ බවය.


ආණ්ඩුවේ අතීත ක්‍රියාකාරිත්වය පිළිබඳව තීන්දුව එලෙස නම් ආණ්ඩුවේ අනාගත ක්‍රියාකාරිත්වය පිළිබඳ බලාපොරොත්තුව කුමක්ද? රට යළිත් ගොඩගැනීමට ආණ්ඩුවට හැකි යැයි ජනතාව සිතන්නේද?


මෙම මත විමසුමට අනුව රට වත්මන් අගාධයෙන් මුදාගැනීමට ආණ්ඩුවට විශාල හාකියාවක් ඇතැයි සිතනුයේ ලාංකිකයන්ගෙන් 4.9%ක් පමණි. 26.11%ක් ආණ්ඩුවේ පොරොන්දු පිළිබඳව යම් විශ්වාසයකින් සිටී. 23.2%ක් වූ ලාංකිකයන් ආණ්ඩුවේ පොරොන්දු පිළිබඳ තරමක අවිශ්වාසයකිනුත් 40.9%ක් දැඩි අවිශ්වාසයකිනුත් සිටී. මෙලෙස රට ගොඩගැනීමට ආණ්ඩුවට හැකියැයි විශ්වාස කරනුයේ ලාංකිකයන්ගෙන් 30%ක් පමණි. 64.1%ටම ආණ්ඩුවේ පොරොන්දු හා අනාගත සාර්ථකත්වය පිළිබඳව එවැනි විශ්වාසයක් නොමැත.
ආණ්ඩුවට රට ගොඩගත හැකි යැයි විශ්වාස කරනුයේ සිංහල ජනතාවගෙන් 29.6%ක් පමණි. සිංහල ජනතාවගෙන් 64.9%කට එවැනි විශ්වාසයක් නොමැත.


වත්මන් ආර්ථිකමය හා ජීවන අර්බුදයට සුවිශාල දායකත්වයක් සිදු කරන ජනපතිවරයාගේ පොහොර උන්මාදය පිළිබඳව ජනතා දැක්ම කුමක්ද? රසායනික පොහොර භාවිතය මුළුමනින්ම හා වහාම නතර කළ යුතු යැයි සිතනුයේ ලාංකිකයන්ගෙන් 23%ක් පමණි. 72%ක් සිතනුයේ එය යහපත් නමුත් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුතු ක්‍රියාවක් බවය. රසායනික පොහොරවල සිට කාබනික පොහොර දක්වා ක්ෂණික පරිවර්තනය අනුමත කරනුයේ සිංහල ජනතාවගෙන් 22.1%ක් පමණි. 72.1%ක් ඊට විරුද්ධය. ජනපතිවරයාගේ ක්ෂණික වෙනසට මහනගර සභා වාසීහු 72.9%ක්ද, නගර සභා වාසීහු 77.3%ක්ද ප්‍රාදේශීය සභා වාසීහු 71.4%ක්ද විරුද්ධ වෙති.


සමස්ත චිත්‍රය පාලකයන්ට යහපත් නොවන බව පැහැදිලිය. රාජපක්ෂවරුන්ගේ බල පදනම හා ආරක්ෂක කොටු පවුර වූ සිංහල ජනතාවගෙන් බහුතරයක් තුළ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදීමක් හෝ ඉදිරියේදී රට ගොඩදැමීමට ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳව විශ්වාසයක් හෝ නොමැත.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organisation- FAO)ජනවාරි 26දා නිකුත් කළ අනතුරු හැඟවීමෙන් (Global Information and Early Warning System) මෙම තත්වය තවත් පැහැදිලි වේ. ලංකාවේ ආර්ථික වශයෙන් දුර්වල පවුල් (අඩු ආදායම්ලාභීන්) තමන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩු කිරීම හෝ මිල අඩු නමුත් පෝෂණයෙන්ද අඩු ආහාර ද්‍රව්‍යවලට මාරු කිරීම සිදු කරන බව එයින් කියවේ.


ආණ්ඩුවේ වැරදි, අනුවණ හා අදූරදර්ශී පිළිවෙත් නිසා සිදුවන ආර්ථික කඩා වැටීම ආණ්ඩුවේ ඡන්ද පදනම වූ සිංහල ජනතාවගෙන් බහුතරයකටද දැඩිව බලපාන බවත්, ඒ වේදනාව ඔවුන්ට දැනෙන බවත්, ආණ්ඩුවේ අතීත ආර්ථික කෙරුවාව පිළිබඳව අප්‍රසාදයෙන් පසුවන ඔවුන් තුළ ආණ්ඩුවේ අනාගත ආර්ථික කෙරුවාව පිළිබඳව විශ්වාසයක් නැති බවත් පැහැදිලිය.


සල්ගාදු පිටියේ පැවති ප්‍රථම පොහොට්ටුව පමණයි රැස්වීමේදී ජනපති, අගමැති හා මැති ඇමතිවරුන් කළ සුබවාදී, ස්වයං-ප්‍රශංසනාත්මක කතාත් සමග CPAජනතා මත විමසුමෙන් හා FAO සංවිධානයේ අනතුරු හැඟවීමෙන් පිළිබිඹු වන යථාර්ථයත් අතර ඇත්තේ දැවැන්ත පරතරයකි. තම අනාගත පැවැත්ම තහවුරු කර ගැනීමට නම් මෙම පරතරය පියවන මගක් රාජපක්ෂවරුන් නිර්මාණය කළ යුතුය.


එදා වේල පිරිමසාගැනීම සඳහා රට රටවල හිඟමනේ යාමත්, පාපැදි හා ඇවිදින මංතීරු සාදා ජනතාවට පාපැදිවලින් රැකියාවට එන්න යැයි කීම වැනි විහිළුසහගත යෝජනාත් හැරුණු විට ආර්ථිකය ගොඩදෑම සඳහා කිසිදු ප්‍රතිපත්තියක්, අදහසක් හෝ දැක්මක් පාලකයන්ට නොමැත. එවැනි සංදර්භයක් තුළ තමන්ගේ මනෝ ලෝකත් ජනතාවගෙන් බහුතරයක් (69 ලක්ෂයෙන් බහුතරයකද ඇතුළුව) ජීවත් වන සැබෑ ලෝකයත් අතර රාජපක්ෂවරුන් ගොඩනැගීමට උත්සාහ දරනු ඇත්තේ කවරාකාර පාලමක්ද?

අගතිගාමීත්වයේ ගඩොල් හා භීතියේ සිමෙන්ති


රටම ව්‍යසනයට ඇද දමා ඇති ආර්ථික අර්බුදය සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවලත් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීවරුන්ගේත් හමු දෙකක් පැවති බව මාධ්‍ය මගින් වාර්තා විය. මෙම ක්‍රියාවට මුල්වූයේ ටීඑන්ඒ පක්ෂයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාය. මෙම හමුවීම් දේශපාලන කුමන්ත්‍රණ හෝ රහස් සාකච්ඡා නොවේ. මේ සම්බන්ධයෙන් තම අරමුණ පැහැදිලි කරමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ලියූ ලිපියක් ඉංග්‍රීසි මාධ්‍යවල පළවිය. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා පොදු එකඟතාවක් සකස් කොට එම යෝජනා ආණ්ඩුවට බාරදීම තම අරමුණ බව ඔහු ඉන් පැහැදිලි කළේය.


වගකිවයුතු ආණ්ඩුවක් නම් විපක්ෂයේ මෙම උත්සාහය අගය කළ යුතුය. එය දිරිමත් කළ යුතුය. නමුත් රාජපක්ෂවරුන් වගකියන්නේ රටට, ජනතාවට හෝ 69 ලක්ෂයට නොව, තමන්ටමය. රට අගාධයේ පතුළටම කිඳා බසිද්දී යථාර්ථයට මුහුණ නොදී මායාලෝක මවා පාමින් තම පවුලේ බලය රැක ගැනීමට ඔවුන් සියලු වැර දරනුයේ එබැවිනි.


සල්ගාදු පිටියේ රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් මෙය මැනවින් පැහැදිලි වේ. ඔහු සුමන්තිරන් මන්ත්‍රීවරයා හැඳින්වූයේ ‘කොටි ඒජන්තවරයකු’ ලෙසටය. සුමන්තිරන් මන්ත්‍රීවරයා සංවිධානය කළ හමුව නිකම්ම නිකම් කුමන්ත්‍රණයක් නොව, කොටි කුමන්ත්‍රණයක් බවට ඔහු ඉඟි කළේය.


සල්ගාදු පිටියේ කතාවලින් හෙළිවනුයේ තමන්ගේ දේශපාලන පැවැත්ම රැක ගැනීමට ජාතිවාදය හා ආගම්වාදය (ඍජුව හෝ වක්‍රව) ඇවිස්සීම විනා වෙන අන් මගක් රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට නොමැති බවයි. ජවිපෙ කොටි සංවිධානයට සමාන කරමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුව කළ ප්‍රකාශයෙන්ද මෙය තවත් තීව්‍ර වේ.


පාලකයින් මේ වසරේ පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයකට සූදානම් වන බව අනුමාන කළ හැක. සල්ගාදු පිටියෙන් ආරම්භ වී රට පුරා රැස්වීම් පවත්වන්නේ නිකමට නොවේ; බැසිල් රාජපක්ෂ ඇමතිවරයා දැනටමත් අනුමත කර ඇති සහන හා අලුතින් යෝජනා කර ඇති සහන කාලරාමුවකින් තොරව පවත්වා ගැනීමද ආණ්ඩුවට අසීරුය. එබැවින් යම් මැතිවරණයක් ඉක්මනින් පැවැත්වෙනු ඇත. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉන්දියාවෙන් බලපෑම් එල්ල වීම නිසාත් එදා වේල පිරිමසා ගැනීම සඳහා ඉන්දියාවේ අනුකම්පාව නැතිව බැරි නිසාත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ වැඩිය.
පවතින තත්වය යටතේ ජාතික නොවන මැතිවරණයක් දිනා ගැනීම අසීරු බව පාලකයෝ දනිති. ඒ දුෂ්කරතාව යම් මට්ටමකින් හෝ මගහරවා ගැනීමට රාජපක්ෂවරුන්ට ඇති එකම මග ජාතිවාදය හා ආගම්වාදයයි. කොටි භීතිකාව හෝ මුස්ලිම් භීතිකාව ඇවිස්සවීම ඉදිරි මාස කිහිපයේදී උත්සන්න වීමට ඉඩ ඇත්තේ එබැවිනි. සල්ගාදු පිටියෙන් ලැබෙන පණිවුඩයද එයයි; එනම් ජාතිවාදයෙන් සිංහල බෞද්ධයන්ගේ කුස පිරවීම හැරුණු කොට වෙනත් ගැලවීමේ මගක් රාජපක්ෂවරුන්ට නොහැකි බවයි.


මැතිවරණයක් දිනීම සඳහා අනෙක් රාජපක්ෂ අවශ්‍යතාව නම් විවේචකයන් නිහඬ කිරීමයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා ලේඛකයන් බියගැන්වීමට නීතිය අවභාවිතාවේ යොදනුයේ එනිසා විය හැක.


ජිනීවා මානව හිමිකම් සැසිවාරය අබියසදී හා ජීඑස්පී ප්ලස් සහනයේ අනාගතය තීරණය වෙමින් පවතින මොහොතකදී පාලකයන් මෙලෙස සමාජ මාධ්‍ය දඩයමක් ඇරඹීමෙන් ඉඟි කෙරෙනුයේ මැතිවරණයක් ළඟ බවත්, මොනයම් ක්‍රමයකින් හෝ එය දිනාගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය බවත්ය.


විපක්ෂය 2024 පැවැත්වීමට නියමිතව තිබෙන ජනපතිවරණයකට සූදානම් වීමත් ඒ වෙනුවෙන් පක්ෂ අතර හා පක්ෂ තුළ කුළල් කා ගැනීමත් ආණ්ඩුවට ලැබෙන ආශීර්වාදයකි. ජනපති පුටුවට කෙරෙන මේ ළාමක කුළල් කා ගැනීම නතර නොවුණහොත්, වර්ධනය වන මර්දනයට හා එළඹෙන මැතිවරණ අභියෝගයන්ට මුහුණදීමට විපක්ෂයේ අවම හෝ පොදු එකඟතාවක් ඇති නොවුණහොත් ආර්ථික අර්බුදය මැද වුවද පළාත් සභා/පළාත් පාලන මැතිවරණයක පළමුවැනි තැනට පත්වීමට රාජපක්ෂවරුන්ට හැකිවනු ඇත.


සල්ගාදු පිටියේ සිට සිංහල ජාතිය දක්වා වූ මැතිවරණ ජයගැනීමේ ජාතිවාදී/ආගම්වාදී පාලම ගොඩ නැගීම රාජපක්ෂවරුන් දැනටමත් අරඹා ඇත.


විපක්ෂය තමන් දකින ජනපති සිහිනයන්ගෙන් අවදි වන්නේ කවදාද?■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි