26.6 C
Sri Lanka
7 October,2022

චීනය විනාශකාරී රටක්ෟ
ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවෙන් සහාය ලබාගත යුතුයි
සමසමාජ එකතුවේ සභාපති
වික්‍රමබාහු කරුණාරත්න

Must read

■ අමන්දිකා කුරේ

වර්තමාන දේශපාලන ආර්ථික අර්බුදය ඔබ දකින්නේ කොහොම ද?


මෙය අපේ රටේ තිබුණු ජනතාවාදී දේශපාලනයට විරුද්ධව ආර්ථික වශයෙන් සාමාන්‍ය ධනපති ආර්ථික සැලසුම්වලට ඉඩ දීලා වැඩි වශයෙන් සුළු පරිමාණ නිෂ්පාදකයන්ට පහර වදින විදිහට ආර්ථිකය සකස් කරන්න යෑමෙන් පටන් ගත්ත අර්බුදයක්.


අපේ රටේ සුබසාධන රාජ්‍ය කාලයක් පුරාවටම පැවතුණා. ඒ නිසාම ගම්බද ජනතාව වැඩි වශයෙන් සමුපකාරය සමග තමයි වැඩි වශයෙන් බැඳිලා හිටියේ. නමුත් දැන් එක්වරම ව්‍යාපාරික ක්‍රමයකට යන්න සිදු වෙලා තියෙනවා. හැමදෙයක් ම ව්‍යාපාරික අරමුණකින් බලන්න සිදු වෙලා. තමන්ගේ ඇඳුම, තමන් නාන එක, සබන් ගාන එක වගේ හැම දෙයක් ගැනම ආර්ථික වශයෙන් බලන එකක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ගැටුම තමයි මේ පෙනෙන්නට තිබෙන්නේ කියලායි මම විශ්වාස කරන්නේ.

ඔබ දකින අර්බුදයට විසඳුම් සොයන්න ඔබගේ යෝජනා මොනවාද?


මම දකින විදිහට මේ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සුභ සාධන රාජ්‍යය තුළින් මතුවුණු නායකයෙක්. මේ අර්බුදයට විසඳුම තියෙන්නේ ඒ සුබසාධනවාදී ඉදිරිදැක්ම තුළයි. සම්පූර්ණ විවෘත ආර්ථිකයක් කියලා මේ විදිහට සමුපකාර ක්‍රමය, රජයෙන් දෙන සහනාධාර කපාගෙන ඒ වගේ ම විශාල මූල්‍ය වංචා, ප්‍රයෝග වගේ දේවල් කරලා මේ දේවල් කරන්න අමාරුයි. ගම්බද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. ධනපති ක්‍රමයේ තියෙන කුරිරු ස්වරූපයෙන් ම තමයි මේ ගෙනියන්න හදන්නේ. ඒක වෙනස් කළ යුතුයි. ඒ වෙනුවට ව්‍යාපාරයක් ගෙන යා යුතුයි යුක්තිය, සාධාරණය සහ නිදහස කියන තුන වෙනුවෙන්. ගම්බද ජනතාව විශේෂයෙන් ම මේ දේවල් දිහා බලනවා තමන්ගේ අයිතීන් රැකෙනවාද කියලා. තමන්ගේ අයිතිය විනාශ කරගෙන කාගෙවත් ගාවට හිඟමනේ යන්න ජනතාව කැමති නෑ. ඒ දේවල් ගැන සලකා බලන්නේ නැතිනම් රට විශාල කලබලවලින් පිරිලා යාවි කියලා මම හිතනවා.


සමාජයේ තිබුණු සමාජීය සාකච්ඡාව දැන් නැතිවෙලා ගිහින් තියෙනවා. සමාජවාදය හෝ සම සමාජය ගැන කතා කරන්න ගියාම ඒකට පහරගහනවා අර්ථයක් නැති දෙයක් හැටියට සලකලා. වෙළඳක්‍රමය ස්ථාපනය කිරීම තමයි වර්තමානයේ අධ්‍යාපනය හරහාත් කරන්න හදන්නේ. ඒ නිසා සම සමාජය කියන සංකල්පය අපි මිනිස්සු අතරට ගෙන යා යුතුයි. යුක්තිය, සාධාරණය, නිදහස කියන කරුණු තුනට ළැදිව කටයුතු නොකර ඒවා බිඳ දමලා දේවල් ඉක්මනින් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක නිෂ්ඵල අදහසක්. ඒ නිසා ඒ කරුණු තුන හා ජනතාවගේ අයිතීන් කඩාකප්පල් කරන්නේ නැතිව තමයි ආර්ථික සංවර්ධනය සමාජගත කරන්න ඕනෑ.

ජනතාව දැනටමත් අයිතීන් වෙනුවෙන් පාරට බැහැලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී වාමාංශික පක්ෂවලට හොඳ ප්‍රතිචාර ලැබෙයිද?


ලංකාවේ වාමාංශික පක්ෂ ගොඩක් තියෙනවා. නමුත් සමහර වාමාංශික කියන පක්ෂ ජාතිවාදීයි. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශිකයි කියලා කිව්වාට දමිළ ජනතාවගේ අයිතීන් විනාශ කරලා මිනී මරවලා සාධාරණය කතා කරපු මිනිස්සුන්ටත් වෙඩි තැබුවා. මටත් ඔවුන් වෙඩි තබලා ඉතාම අමාරු තත්වයකින් බේරුණේ. ඒ වගේ ඉතිහාසයක් තියෙන වාමාංශික පක්ෂත් තියෙනවා. නමුත් ඔවුන් වාමාංශිකයි කියන්න අමාරුයි. නමුත් එහෙම නැතිව සමසමාජ ධර්මය තුළ යන පක්ෂ තිබෙනවා. සමහර පක්ෂ ලොකුයි. සමහර පක්ෂ පොඩියි. මම හිතන්නේ වාමාංශික පක්ෂවල එකමුතුවක් හදාගත්තා නම් ජනතා විරෝධය හරි දිශාවකට යොමු කරන්න පුළුවන් කියලා මම හිතනවා.

ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබෙන්නේ සාධාරණ සමාජයක් කියන මූලධර්මය තුළ නෙවෙයි. වෙළඳ ආර්ථිකය උඩයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා ලෝක බැංකුවෙනුත් අපිට යම් ආධාරයක් ලබා ගන්න සිදුවෙනවා. දැනට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පැමිණිලා නිසා ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ යම් යම් වෙනස්කම් සිදුවෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දිහා අපට බලන්න සිදුවෙනවා. ඉන්දියාව, ජපානය වගේ රටවලත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ආයතනවලින් අපට උපකාර ලබා ගන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් කියලා. නමුත් අපි ආර්ථික අර්බුදයට පිළිතුරු ඒ මතින් ම විතරක් හොයන්න යන්න හොඳ නෑ. කලින් තිබුණු සුභසාධන රාජ්‍යය කඩාකප්පල් කිරීම නවත්වලා සමුපකාර සහ සහයෝගීත්ව සංවර්ධනය කියන කාරණාවලට ඉඩ දෙමින් තමයි ජාත්‍යන්තර සහාය ලබා ගත යුතු වන්නේ.

ලංකාවේ විවිධ දේපල චීනය, ඇමරිකාව හා ඉන්දියාව අත්පත් කරගනිමින් තිබෙන බවක් පේනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?


දැන් ලෝකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් දකින්න පුළුවන්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමුඛ කරගත් ඇමරිකාව ඇතුළු රටවල්. ඒ වගේම ඒකාධිපතිවාදයක් ගෙනියන්න හදන චීනය. මේ දෙක අතර ලොකු ගැටුමක් තියෙනවා. චීනය කියන්නේ ඉතාම විනාශකාරී රාජ්‍යයක්. ඒ රට තුළ කිසිම මිනිස් නිදහසක් නෑ. මනුෂ්‍යත්වය අකුලලා දාලා ඒ මිනිස්සුන්ගෙන් සත්තු වගේ වැඩ ගන්න රටක්. ඒකට කොමියුනිස්ට් කියන නමත් ඈඳගෙන ඉන්නේ. මාක්ස්, එංගල්ස්, ට්‍රොට්ස්කි වගේ ඉහළ පෙළේ මාක්ස්වාදීන් ඉදිරිපත් කළ මතයට සම්පූර්ණයෙන් වෙනස් එකක් තමයි දැන් චීනය ක්‍රියාත්මක කරමින් යන්නේ. සම්පූර්ණ ඒකාධිපතිවාදයක් තමයි ඔවුන් ගෙන යන්නේ. ඒ නිසා චීනය ළඟට ගන්න එක අපට විශාල විනාශයකට අත වැනීමක් කියලායි මම දකින්නේ.
ඇමරිකාවේ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ජෝ බයිඩ්න් ජනාධිපතිතුමා පත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් හදලා තියෙනවා. ඒකත් එක්ක ඉන්දියාව ජපානය වගේ රටවලුත් එකතු වෙලා ඉන්නවා. ඔවුන් හරහා අපට සාකච්ඡා කරලා යම් යම් දේවල් කරගන්න පුළුවන් කියලා මම හිතනවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි