No menu items!
26.2 C
Sri Lanka
28 March,2024

මෙහෙමත් රටක
වසන අපට
ආණ්ඩුවක් මොකටද?

Must read

ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නා පුද්ගලයකු, එය නිවසට ගෙන ගොස්, විසිත්ත කාමරයේ අල්මාරියක දින කිහිපයක් තබා ප්‍රදර්ශනය කර පසුව එයින් උයන්නට පටන් ගන්නා බවට ආණ්ඩුව සිතාගෙන සිටින බව පෙනේ. ඒ නිසා, ආණ්ඩුව දැන් කියන්නේ, දෙසැම්බර් 4 වැනි දාට පෙර මිල දී ගත්, මුද්‍රාව නොකැඩූ, එනම් මේ දක්වා පාවිච්චි නොකර තබා ගෙන සිටි, සම්පූර්ණ ගෑස් සිලින්ඩර පමණක් ආපසු ගෙන ඒවා වෙනුවට අලුත් ආරක්‍ෂිත වැසුම් යෙදූ සිලින්ඩර ලබා දෙන බව ය.

ආණ්ඩුව කරන-කරවන වියත් සභාවන් දැන නොසිටියාට, ලංකාවේ ගෑස් පාරිභෝගිකයන් අලුත් ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නට යන්නේ, තිබෙන සිලින්ඩරයේ පතුලට ම ගෑස් හිඳී, තවදුරටත් එයින් උයා පිහා ගන්නට බැරි වූ විට ය. ගෙන එන අලුත් සිලින්ඩරය ද ඒ වහා ම උදුනට සවි කර උයාපිහා ගන්නට පාවිච්චි කෙරෙයි. පසුගිය දිනවල එක දිගට නිවෙස්වල කුස්සිවල පිපිරුවේ එහෙම ගෙනා ගෑස් සිලින්ඩර ය. ඒවායේ මුද්‍රා නොකඩා පැත්තකට කර තබන්නට සියලු ම පාරිභෝගිකයන්ට හැකි වුණා නම්, මෙහෙව් විනාසයක් රට පුරා කුස්සි ඇතුළේ සිදු වන්නේ නැත. සිලින්ඩර එහෙම පුපුරා ගියේ ගෘහිණියන්ගේවත් පාරිභෝගිකයන්ගේ වත් වරදකින් නොවේ.

ඒ මදිවාට, ගෑස් කාන්දුවක් වහා ම දැන ගත හැකි වන පරිදි ගෑස්වලට යොදා ඇති දැඩි ගන්ධයක් ඇතිවන රසායනිකය ද, පසුගිය කාලයේ ගෑස් සිලින්ඩරවලට යොදා නැති බව ආණ්ඩුවට පැහැදිලි වුණේ, මේ විදියට සිලින්ඩර ගණනාවක් පුපුරා ගිය පසුව ය. ඒ රසායනිකය සිලින්ඩරවලට එකතු නොකළේ ද ගෑස් සමාගම් මිස, පාරිභෝගිකයා නොවේ.

ගෑස් පුපුරා ගියේ කුස්සියේ නිසා අලාභ හානි සිදු වුණේ කුස්සියට ය. මරණ බිය ඇති වී පාන්දර නැගිට කුස්සියට යන්නට නොහැකි තත්වයක් ඇති වුණේ, ගෘහිණියන්ට ය. ඒ, ගෑස් සමාගම්වලින් මිලදී ගත් පුපුරන බෝම්බ වැනි ගෑස් සිලින්ඩර ගෙදර ගොස් කුස්සියේ තබා ගත් වරදට ය.

එහෙත් දැන් සිදුවන්නේ කුමක් ද? ‘උඹලා ගෑස් ගෙනිච්චා නම් උඹලා ම විඳවාපන්’ ආකාරයේ විසඳුමක් ආණ්ඩුවෙන් පාරිභෝගිකයන්ට ලබා දීම ය. විසඳුම නම්, දෙසැම්බර් 4 වැනි දාට පෙර මිලදී ගත්, මෙතෙක් මුද්‍රා නොකැඩූ සිලින්ඩර පමණක් ලබා ගන්නට නියම කිරීම ය.

එවිට අසන්නට සිදුවන්නේ, දෙසැම්බර් 4 වැනි දාට පෙර මිල දී ගත් ගෑස්, ගෑස් නොවේ ද? කියා ය. පිපිරුණේ ඒවා නොවේ ද? කියා ය. ඒවායින් කුස්සියට අලාභහානිත් හිත්වල මරණ බියත් ඇති නොවුණේ ද? කියා ය.

එසේ ඇසූ විට වගකීම් සහගත පිළිතුරක් ලැබෙන්නේ, වගකීම් සහගත ආණ්ඩුවක් තිබුණොත් ය. දැන් මේ ආණ්ඩුව ඉන්නේ හැම දෙයක් ගැන ම වගකීම් අත්හරින තත්වයේ ය. ගෑස් නිසා කුමන විනාසයකට, පාඩුවකට තමන්ගේ රටේ මහජනතාව මුහුණ දුන්න ද, සමාගම්වල ලාභ අලාභ බලා විසඳුම් තීරණය කරනවා මිස, මහජනතාවට සිදු වුණු පාඩු-අලාභ බලා විසඳුම් තීරණය කරන ආණ්ඩුවක් නොවේ ය මේ.

හරි නම් කළ යුතුව තිබුණේ කුමක් ද? සමාගම්වල ලාභ පාඩු නොබලා මේ වන විට නිකුත් කර ඇති සියලු ම ගෑස් සිලින්ඩර නැවත ලබා දී අලුත් ආරක්‍ෂක පියවර සහිත ගෑස් සිලින්ඩර ගෙනයන ලෙස පාරිභෝගිකයන්ට දැන්වීම ය. පාඩුව පියවා ගත යුතු ව තිබුණේ සමාගම විසිනි. පාඩුව තමන් ම දරා ගත යුතු යැ’යි සමාගම්වලට නියම කළ යුතුව තිබුණේ ආණ්ඩුව විසිනි. එහෙත්, පාරිභෝගිකයා හෙවත් මහජනතාව ගැන නොදන්නා, නොඅසා, නොදැක සිටින ආණ්ඩුවකට එවැනි විසඳුමක් දෙන්නට පුළුවන්කමක් නැත. එවැන්නක් සිදු වුණා නම්, තමන්ට ඇතිවූ මර බිය ඇතුළු අනෙක් අලාභවලට අඩු ගණනේ ආණ්ඩුව විසඳුමක් දුන්නා යැයි සිතන්නට වත් පාරිභෝගිකයාට අවකාශයක් තිබුණි. එහෙත් කළ යුතු දේ වෙනුවට ආණ්ඩුව පම්පෝරි කියන්නේ සමාගම්වලට නඩු දමන බවට ය.

ඉතින් මෙවැනි රටක සිටින අපට ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක් ද?

ඒ අතර, විදුලිබලය කපා හැරීම් හැම දාම, වේලාවක් අවේලාවක් නොබලා දවස පුරා ම එක එක පැතිවල සිදු වෙයි. ආණ්ඩුව කිව්වේ, නොරොච්චෝලේ බලාගාරයේ ගල්අඟුරු ටර්බයින නැවත වැඩ කරන තුරු, සවස 6 සිට රාත්‍රි 10 දක්වා, එනම් වැඩිම පරිභෝජනයක් ඇති වෙලාවේ, උපරිම පැයක කාලයකට යටත් ව තැනින් තැන විදුලිය කපා හරින බව ය. නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීම නිසා දවස් කිහිපයක් මුළුමනින් ම අඳුරේ ගෙවා අතීත අත්දැකීම් ලබා ඇති අපට පැයක කාලයක් අඳුරේ සිටීමට හිත හදා ගැනීම අමාරු දෙයක් නොවේ.

එහෙත්, දැන් විදුලිය කැපෙන්නේ එසේ නොවේ. දවසේ උදේ ද, දහවල් ද, සවස ද යන ඕනෑ ම වෙලාවක, ඕනෑ ම කාලයක් කැපෙන විදුලිය බාරගැනීමට අප සූදානම් විය යුතු ය. කාට පැමිණිලි කරන්න ද? කවුරු පියවරක් ගනිත් ද? එවැනි දේ සිදු වන්නේ ඇයි? නොසිදුවන දිනයක් කවදා උදා වේද? මේ කිසිවක් මේ රටේ මිනිසුන් දන්නේ නැත. සියලු දෙනාගේ ම ඉරණම වී ඇත්තේ, අපේ ආණ්ඩුව කියන දෙයක් අසාගෙන පාඩුවේ සිටීම ය.

ඉතින් මෙවැනි රටකට ජනාධිපතිවරයකු කුමට ද? අගමැති කෙනකු, ඇමතිවරුන් කුමකට ද? ඒ කිසිවකු නොසිටියත් රට වැටිය හැකි මීට වඩා පහළක් තිබේ ද?■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි