21 C
Sri Lanka
6 October,2022

අනෙකා තේරුම් ගැනීමට
නර්තනය

Must read

■ ඇන්තනී වෙරංග පුෂ්පික

‘අපි බොහෝ දෑ ලදිමු. එහෙත් උන්නතිකාමයෙන් පෙළීමේ සීමාවක් ද නොදත්තෙමු. අපිට ජීවිතයක් ලැබී ඇත. එහි අරුත තමන් වෙනුවෙන්ම පමණක් ජීවත් විය යුතුයි යන්න ද? ආදරය අවශ්‍ය ය. බෙදාගැනීම අවශ්‍යය. තවකෙකු දරාගැනීම අවශ්‍යය. පුළුවන් හැටියට පොළවේ පය ගසාසිටීම අවශ්‍යය. සතුට රැඳී ඇත්තේ මනුෂ්‍යත්වය තුළම පමණි. හුවමාරු කළ යුත්තේ ද එයම පමණි.


මට අපූරු ගනුදෙනු හමුවිය. ජීවිතය තුළ අහඹු වෙනස් සිතීම්, ක්‍රියාවන් මා ලද්දේ එහෙයිනි. අප ජීවත් විය යුතුයි. කලාවත් ජීවත් කළ යුතුයි. අනෙකාගේ හෘදය ස්ඵන්දනය පවා ග්‍රහණයට ලක්කළ හැකි වන තෙක් කලාවෙන් ද ජීවිත සෙවිය යුතුයි. ඒ සහකම්පනය දැනිය යුතුයි.’


ඇය නලීෆා සලීන්. කුඩා කාලයේ සිටම නර්තනයට තිබූ බලවත් ආශාව නිසාම පාසලේ නර්තනය විෂයක් විදිහට ඉගෙනගෙන උසස් පෙළින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ඇය තේරී පත්වෙනවා. ඇය එහිදී නර්තනයේ විවිධ ශෛලීන් හදාරමින්, නව මානයන් ඔස්සේ යමින් සාම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කොට, නර්තනයේ විවිධ චලනයන් මඟින් අනෙකාව තේරුම් ගැනීමටත්, අනෙකා තුළ විශ්වාසය ගොඩනැගීමටත් සියලුදෙනාම මේ සමාජයේම කොටස්කරුවන් බව පැවසීමටත්, බෙදා වෙන් වී සිටින එකිනෙකට වෙනස් සමාජ කොටස් වෙත ආදරය සහ මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන තරුණියක්. මේ සඳහා ඇය තෝරා ගත්තෙ මිශ්‍රක්ෂමතා කියන නර්තන ප්‍රවේශයයි.
නර්තනය කියන්නෙ රිද්මයානුකූලව කරන දේහ චලනයකට. එය වචන භාවිතයෙන් තොරව සිදු කරන සන්නිවේදනයක්. ලෝකයේ ඇති සියලුම භෞතික හා මානව සංසිද්ධීන් සිදු වෙන්නෙ කිසියම් වූ රිද්මයකට අනුවයි. නාඩි වැටීම- හෘදය ස්පන්දනය වැනි අභ්‍යන්තර ක්‍රියාවලීන් පවා සිදු වෙන්නෙ රිද්මයකට අනුව. ඇතැම් දාර්ශනිකයන් පවසන්නෙ නර්තනයේ ප්‍රභවය මානව සංහතියේ ආරම්භය දක්වා දිව යන බවයි. අද වෙනකොට විවිධ ශෛලීන්, නව සම්ප්‍රදායන් බිහිවෙලා නර්තනය නව මානයන් වෙත ගමන් කර තියෙනවා. ගොඩක් වෙලාවට අපේ නැටුම්වල මූලික වෙන්නෙ විනෝදාස්වාදය පමණයි. වැඩි දෙනෙක් කතා වෙන්නෙ අලංකාරවත්ව ශරීරය ඔප්නංවලා සිදු කරන නර්තනාංගවලට. ඒත් කලාව කියන්නෙ ඊට එහා ගිය මිනිස්සු එක්ක බද්ධ වෙන්න ඕනෑ දෙයකට. කලාව තුළින් මිනිසුන්ගෙ ගැටලුවලට විසඳුම් හොයන්න ඕනෑ. මිනිස්සු තනි වෙන වෙලාවලදි මිනිස්සුන්ට ශක්තියක් වෙන්න ඕනෑ. නර්තනය ඇතුළෙ නලීෆා සෙව්වෙත් මේ දේම තමයි.


‘නර්තනය කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නෙ නටන්න පුළුවන් අය විතරක් කරන එකක් කියලා. හැබැයි නැටුම කියන එක කිසිම තැනකදි වෙන් කරන්න බැහැ. කවුද ඒ සඳහා සුදුසු, කවුද සුදුසු නැත්තෙ කියලා. පොදුවේ මනුෂ්‍යයෙකු වෙලා ඉපදිච්ච ඕනෑම අයෙකුට නටන්න පුළුවන්. කලාව ඇතුළේ සීමාවල් තියෙන්න බැහැ.’


භරතමුනි පඬිතුමා විසින් රචිත නාට්‍ය හා සංගීතය පිළිබඳ පැරණිම ග්‍රන්ථයක් වන ‘නාට්‍ය ශාස්ත්‍රය’ තුළ නාට්‍ය හා සංගීතය පිළිබඳව නීති රීති පද්ධතියක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි නර්තනයේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරද්දි ලිංගිකත්වය අනුව, කුලය අනුව, සමාජ තරාතිරම් අනුව නර්තන කලාවට යම් යම් සීමා පැනවී තිබෙනවා. අද වෙනකොට මේ කියන ගොඩක් සීමාවන් බිඳිලා තිබුණත් දෘෂ්ටිවාදී නොවන සීමාවන් පැනවී තිබෙනවා. ජාතිය, ආගම, ප්‍රදේශය, ආර්ථිකය, සමාජ තත්වය, පෙනුම වගේ හේතු මේ සඳහා බලපා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂ අවශ්‍යතා සහිත විවිධ ආබාධ සහිත පුද්ගලයන්, සමාජයේ අවවරප්‍රසාදිත පිරිස් මේ සමාජය විසින් හිතාමතාම බැහැර කරලා තිබෙනවා. මෙන්න මේ කියන බෙදීම් බිඳ දමන්න කලාව තුළින් මනුෂ්‍යත්වය, සමානාත්මතාව ගොඩනගන්න නිර්මාණය වුණ කලා ප්‍රවේශයක් තමයි මිශ්‍රක්ෂමතා නර්තනය කියන්නෙ. නලීෆා සලීම් ශ්‍රී පාලි මණ්ඩපයේ නර්තනය ඉගෙනගෙන සීමාවාසික පුහුණුව සඳහා විසැබිලිටි සංගමයත් සමඟ එක් වුණාට පස්සෙ තමයි මිශ්‍රක්ෂමතා නර්තනය ගැන දැනගන්නෙ. නල්ලිෆා අපිත් එක්ක මේ ගැන කතා කළා.


‘මම පොඩි දවස්වල ඉඳන්ම නර්තනය ගැන ගොඩක් උනන්දුයි. පාසල් කාලයේ ඉඳන්ම තමයි නර්තනය ගැන ඉගෙන ගන්නෙ. උසස් පෙළින් පස්සෙ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට යන්න පුළුවන් වුණා නර්තනය ගැන වැඩිදුර ඉගෙන ගන්න. එතැනදි නර්තනය පිළිබඳ විවිධ ශෛලීන් ඉගෙන ගන්න ලැබුණා. හැබැයි මම සීමාවාසික පුහුණුව සඳහා විසැබිලිටි කියන සංගමය සමඟ කටයුතු කරන්න ගියාට පස්සෙ තමයි දන්නෙ මිශ්‍රක්ෂමතා කියලා මෙවැනි නර්තන ශෛලියක් තිබෙනවා කියලා. මුලදි මට තිබෙන ප්‍රශ්න කොහොමද කලාව හරහා විසඳගන්නේ කියලා මම දැනගෙන හිටියෙ නෑ.


මට ලොකු කුතුහලයක් තිබුණා නර්තනය හරහා හුදු විනෝදාස්වාදයකට එහා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ සහ ඔවුන් තුළ තිබෙන බාධක කලාත්මක ප්‍රවේශයක් තුළින් ඉවත් කරන්නෙ කොහොමද කියන එක ගැන. ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නෙ සාම්ප්‍රදායික නර්තනය ඇතුළෙම ඉඳගෙන. බැලූ බැල්මට පෙනෙනවා මිශ්‍රක්ෂමතා නර්තන ශෛලිය සහ සාම්ප්‍රදායික නර්තන ශෛලීන් අතර තිබෙන වෙනස. ලංකාව වගේ රටවල තිබෙන සංස්කෘතියත් එක්ක සාම්ප්‍රදායික නර්තනය තමයි ඉදිරියට ගෙනියන්නෙ. හැබැයි ඊට වඩා විශාල පරාසයක් මේ කලාව ඇතුළෙ තිබෙනවා. මිශ්‍රක්ෂමතා ශෛලිය කියන්නෙත් ලෝකයේ තිබෙන නව කලාත්මක ප්‍රවේශයක්. අපි වැඩ කරන්නෙ නර්තනය මූලික කරගෙන.


වාචිකව යමක් කියනවාට වඩා භෞතිකව ගැටෙද්දී විවිධ වූ ශරීර දැනීම් හා ස්පර්ශයන් හඳුනාගන්නවා. මේ තුළින් අපි විවිධත්වය ගැන ආකල්පය අරගෙන යනවා. එකිනෙකා එකිනෙකාට වෙනස් කියන හැඟීම ශරීර මඟින් පෙන්වනවා. අපි චලනයන් නිර්මාණය කරන්නෙ ඒ අරමුණ ඇතිව. ඒ ඒ සමාජ කණ්ඩායම්වල ප්‍රශ්න තේරුම් ගෙන කලාවෙන් ඒ ප්‍රශ්න නැති කරන්නෙ කොහොමද කියන එක ගැන ප්‍රායෝගිකව පෙන්වනවා. මේ නර්තන කලාවත් එක්ක වැඩ කරද්දි කොහොමද මිනිස්සුන්ගෙ අභ්‍යන්තරය දකින්නෙ, අනිත් කෙනාගෙ ශරීරය තේරුම් ගන්න ඕනෑ කොහොමද කියන එක පුරුදු වෙනවා. මේ කලාව ඇතුළෙ තිබෙන ප්‍රැක්ටිස් එකේ තරම කියනවා නම් බස් එහෙක යද්දි කවුරුහරි ආබාධ සහිත පුද්ගලයෙක් ළඟ තැනකින් වාඩි වුණොත් ඒ කෙනාගෙ ශරීරයේ තිබෙන අපහසුතා මොනවාද කියල අඳුනගන්න පුළුවන්. අපි නොදැනුවත්වම ඒ තරම් සහවේදනයක් මේ තුළින් ලැබෙනවා.’


මිශ්‍රක්ෂමතා නර්තනය අනිත් අය හඳුනාගන්න සහ ගැටලු වෙනස්කම් හඳුනාගෙන ඒවා මඟහරවා ගන්න කරන දෙයක් නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේ කොහොමද කරන්නෙ කියලා. ඒ වගේම මේ නර්තනය ඉගෙනගැනීම ගොඩක් අමාරු දෙයක් කියලා. හැබැයි නලීෆා නම් කියන්නෙ මේ ශෛලිය ඕනෑම අයෙකුට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් කියලා. ඒ වගේම ඇයත් මේ කලාවට යොමු වුණේ කලා මණ්ඩපයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුවයි.


‘මේ නර්තන ශෛලිය සාම්ප්‍රදායික නර්තන ශෛලිය වගේ ආකෘතියකට කොටු වෙලා නැහැ. අපි කරන චලනයන් දවස් ගාණක ඉඳන් පුරුදුවෙලා කරන දේවල් නෙමෙයි. මෙහිදී කරන්නේ අපිට හම්බවෙන ඒ ඒ ප්‍රජාවන් අනුව, ඒ අයට කතා කරන්න ඕනෑ විදිහ අනුව ඒ මොහොතෙම චලනයන් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට අපි කන්නාඩියක් ඉදිරියේ යම් කිසි චලනයක් කරනකොට ඒ චලනයේ ප්‍රතිබිම්බය එක හා සමානයි. ඒ වගේ අපි කණ්ඩායමක් හදලා ඒ කණ්ඩායමේ ඉන්න කෙනෙක්ට කැමති චලනයක් කරන්න කියනවා. ඒක ඒ විදිහටම අනෙක් සාමාජිකයිනුත් ඊට පස්සෙ අනුගමනය කරනවා. ආබාධ සහිත කෙනෙක් ඉස්සරහට ගිහින් ඒ දේ කරනකොටත් ඒ විදිහටම ආබාධ රහිත අයත් අනුගමනය කරද්දි ආබාධ සහිත පුද්ගලයාට හිතෙනවා ඔහුව ප්‍රතික්ෂේප කළ, ඔහු බියෙන් හිටිය සමාජය ඔහුත් සමගම එකට ඉන්නවා වගේ හැඟීමක්. මේ වගේ විවිධ වූ චලනයන් ඒ ඒ පුද්ගල කණ්ඩායම් අනුව වෙනස් කරමින් සිදු කරනවා. ඒ වගේම මේ නර්තන ශෛලිය ඉගෙන ගන්න එක අපහසු දෙයක් නෙමෙයි. නමුත් මේක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. අපි කාලයක් තිස්සේ ආබාධ සහිත හා ආබාධ රහිත පිරිස් සමග විවිධ ක්‍රියාකාරකම්, වැඩමුළු පවත්වලා ලබා ගන්න ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි මේ නර්තන ශෛලිය පුරුදු වුණෙ. මේ නර්තන ශෛලියේ දී වැදගත්ම කොටස වෙන්නෙ අනෙකාව තේරුම් ගැනීමයි.’


විසැබිලිටි කියන සංවිධානය හරහා මිශ්‍රක්ෂමතා නර්තනය මඟින් ආබාධ සහිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන් තුළ තිබෙන ගැටලු මගහරින්නට උදවු කරනවා.


නමුත් මිශ්‍රක්ෂමතා නර්තනය කියන්නේ ආබාධ සහිත පුද්ගලයන් විතරක් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. ආබාධ රහිත ඕනෑම ජන කොට්ට්ඨාසයක් වෙනුවෙන් වුණත් කරන්න පුළුවන්. නලීෆා සලීන් ආබාධ සහිත පිරිස් සමග වගේම ආබාධ රහිත විවිධ ජන කණ්ඩායම් සඳහා මිශ්‍රක්ෂමතා නර්තනය මඟින් ඔවුන්ගේ ඇති යම් යම් ගැටලු හඳුනාගෙන ඒව මඟහැරවා ගැනීමටත් උදවු වෙනවා. වතුකරයේ ජනතාව, මහල් සංකීර්ණවල හිරවෙලා ඒකාකාරී ජීවිතයක් ගතකරන ජනතාව, ජාතික හා ආගමික වශයෙන් පීඩාවන්ට ලක්වෙච්ච පිරිස්, සමාජයේ අවවරප්‍රසාදිත ජන කොට්ඨාස, පාසල් ළමුන්, ඒ වගේම ශරීර ලක්ෂණ, පෙනුම වර්ණය වගේ හේතු නිසා සමාජයේ කොන් කළ, ප්‍රතික්ෂේප කරන පිරිස් වගේ විවිධ ජන කණ්ඩායම් අතරට ගිහින් ඔවුනුත් මේ සමාජයේම කොටසක් විදිහට සලකන්න සහ සමාජය ගැන වගේම ඔවුන් තුළ විශ්වාසය ගොඩනගන්න කටයුතු කරනවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි